විශ්වමය ආචාර ධර්ම සමගින් සාම ප්‍රවර්ධනය

Uv promoting peace

වර්තමානයේ මානසික සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන තරුණයන්ගේ සංඛ්‍යාවෙහි අතිශය ඉහළ වර්ධනයක් පෙන්නුම් කරයි. මෙය වූකලි වර්තමාන ලොව ප්‍රධාන අර්බුදයක් වේ. මේ සමගින්, ගැටලුව විසඳන ආකාරය පිළිබඳ ප්‍රශ්නයක්ද ඉස්මතු වේ.

ආග‌මේ නාමයෙන් යැයි පවසමින් සිදුවන බොහෝ යුද්ධ, ගැටුම් හා ත්‍රස්ත ප්‍රහාර සිදුවනු අපි සාක්ෂි දරමින් සිටින්නෙමු. පරම පූජනීය දලයි ලාමා වහන්සේ සංචාරය කරන ඕනෑම ප්‍රදේශයකදී ජනතාව, අධ්‍යාපනවේදීන්, සමාජ ක්‍රියාකාරිකයන් හා වෛද්‍ය ප්‍රවීණයන්ද යන සියල්ලන් විසින් අසන එක් පැනයක් වේ:  ලෝකයට කවරක් සිදුවී ඇත්ද? ත්‍රස්තවාදය, දූෂණය, ස්ත්‍රී/පුරුෂ අසමානතාවය, දුප්පත් - පොහොසත් අසමානතාවය හා තරුණ මානසික ගැටලු ආදිය තුළින් ඉමහත් අර්බුදයක් මැද ලෝකය ගමන් කරයි. මානසික සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පා සිටින තරුණයන්ගේ සංඛ්‍යාවේ සුවිශාල වර්ධනයක් වර්තමානයේ පෙන්නුම් කරයි - එය කෙතරම්ද යත් ලොව ප්‍රධාන අර්බුදයක් බවට එය මේවන විට පත්ව ඇත. එ් අනුව අපට මෙම ගැටලු විසඳිය හැක්කේ කෙසේද?

මානසික සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් සලකා බලන කල, වර්තමාන අධ්‍යාපනය එවන් ගැටලු විසඳීම සඳහාම සැකසුණක්ව පවත්නා තැනෙක, මෙම ගැටලු මෙයාකාරයෙන් වර්ධනය වන්නේ මන්ද යන පැනය අප විසින් විමසිය යුතුව පවතී. සැබැවින්ම ගැටලුව කවරක්ද? එය ඉස්මතු වනුයේ කවරාකාරවද? පරම පූජනීය දලයි ලාමා වහන්සේ වෙතින් විමසනු ලබන පොදු පැනයන් වනුයේ මේවාය. දලයි ලාමා වහන්සේ අප්‍රමාදව දෙන පිළිතුර වනුයේ නවීන අධ්‍යාපන ක්‍රමය තුළ සිදුරු පැවතීමේ හේතුවෙන් එ්වා එසේ වන බවයි. සිදුර වනුයේ අපගේ අධ්‍යාපනික ක්‍රමය මූලිකවම බුද්ධිය ගොඩනැගීම පිණිස සැකසුණක් වීමයි. පන්ති කාමරයක දෙකයි දෙකයි එක්වූ විට සතරක් වන බව පැවසුවහොත් අපි සමත් වන්නෙමු.  ඉතා යහපත් හදවතක් සහිතව, මානව දයාවක් සහිතව හා අප තුළ පවත්නා නායකත්ව ගුණයක්ද සහිතව වුව දෙකයි දෙකයි එකතු වූ විට හතර වැනි දෙයක් ඇතිවන බව පැවසුවහොත් අපි අසමත් වන්නෙමු. මෙහිදී කිසිවෙකු හෝ ඔබගේ හදවත ගණන් නොගන්නා අතර මොළය පමණක් විශ්වාස කරන බව පෙනේ.

මෙයයි වගකිව යුතු දෙය. හුදෙක් මොළය වර්ධනය කිරීම තුළ පමණක් ලොව සතුට හෝ මනුෂ්‍ය වර්ගයා අතර විශ්වාසය, ආදරය හා කරුණාව ඇතිවනු ඇති බවට සහතික වීමක් ලබාදෙනු නොලබයි. ප්‍රායෝගික මට්ටමකින් ගත්කල, මනුෂ්‍ය වර්ගයා වඩාත් ඉහළ සාමයක් හා සහජීවනයක් කරා යොමු කරවනු පිණිස යොදාගත හැකි ගාමක බලය, උත්තේජනය කවරක් විය හැක්කේද? එය වූකලි හදවත හෙවත් අපගේ මනුෂ්‍ය හදවතයි.

මෙම හදවත පීඩාවට පත් නොවන පරිදි ලෝකයට සමෘද්ධිය අත්පත් කරගන්නා බවට සහතික කරනු පිණිස ප්‍රඥාවද අවශ්‍ය වේ. ප්‍රඥාව හා හදවත එකිනෙක හා බැඳී පැවතිය යුතුය. මෙකරුණ සිහි තබා ගනිමින්, ආචාර ධාර්මිකත්වයේ, යහ පැවැත්මේ නැංගුරම වශයෙන් විශ්වමය වටිනාකමක් ගන්නා දෙය වනුයේ කාරුණික හදවතයි. කිසිවෙකු විසින් හෝ මෙය ප්‍රතික්ෂේප නොකරනු ඇත. යම් පුද්ගලයෙකු අනාගමිකයෙකු වේවා, ආගම් අදහන්නෙකු වේවා, උගතෙකු වේවා, නූගතෙකු වේවා එයට කම් නැත. තමා කෙරෙහි යම් ප්‍රේමයක් හා සැළකිල්ලක් දක්වන්නෙකු සිටින්නේ නම් ඕනෑම අයෙකු සතුටට හා ප්‍රමෝදයට පත්වනු ඇත. ආචාර ධර්ම යනු එහි පදනම්ගත අරුතට අනුව, කරුණාව හෙවත් අන්‍යයන් කෙරෙහි යොමුවූ ආදරය හා කරුණාවය යන කරුණ සිහි තබාගන්න.

ඊළඟ පැනය වනුයේ අපට කළ හැක්කේ කවරක්ද යන්නයි. අප විසින් මෙය ප්‍රවර්ධනය කළ හැක්කේ කෙසේද? පළමුව, ලොව වටා පවත්නා මධ්‍යස්ථාන ප්‍රයෝජනවත් විය හැක. නිදසුනක් ලෙස, මා සිටින මෙහි, එනම් දිල්ලියේ, රාමනුජාන් විද්‍යා පීඨයේ ආචාර ධර්ම හා වටිනාකම් සඳහා වූ මධ්‍යස්ථානයේ විශ්වමය ආචාර ධර්ම ප්‍රවර්ධනය කරනු පිණිස පරම පූජනීය දලයි ලාමා වහන්සේගේ අනුග්‍රහයෙන් සුවිශාල ව්‍යාපෘතියක් පැවැත්වේ.

අන්‍යයන් හට වඩාත් දයාන්විත අය වීම පිණිස අවශ්‍ය ආභාසය ලබාදීම සඳහා අපට ක්‍රියාකළ හැක්කේ කවරාකාරයෙන්ද, සිතිය යුත්තේ කවරාකාරයෙන්ද? එය යම් ලබ්ධියක ස්වරූපයෙන් සිදු නොවිය යුතු අතර, විවෘතව, අන්‍යයන් පිළිබඳ සැලකිලිමත්ව හා ආදරයෙන් සිදුවිය යුත්තකි. අපට ලෝකය තුළ සුවිශාල වෙනසක් සිදුකළ හැකි නොවිය හැකි නමුත්, වඩාත් කාරුණිකව කටයුතු කිරීමේ හැකියාවක් සහිත වුවද එසේ කිරීමේ අදහස් නොමැති විය හැකි අප වටා සිටින පුද්ගලයන් හට යම් බලපෑමක් සිදු කිරීමට අවම වශයෙන් අපට උත්සාහ කළ හැක. අපට අන්‍යයන් වෙත බලපෑම් කළ හැක්කේ කවරාකාරවද? ලෝකයට බලපෑමක් කළ හැකි පුද්ගලයන් හමුවීමේ හැකියාවක් අප තුළ නොපවත්නේ නම්, එවිට, විශේෂයෙන් තරුණ පිරිස් අතර අනෙක් අය කවුරුන් වුවද, කරුණාවේ වැදගත්කම පිළිබඳ අදහස ලෝකයට පතුරුවාලිය හැකි ආකාරය විමසා බැලිය යුතුවේ.

Top