සදාචාරය යනු වඩාත් සතුටින්පිරි ජීවිතයක් ළඟා කර දෙන සේ අපේ චර්යාවන් සකස් කරවන ආචාරාත්මක වටිනාකම් පද්ධතියකි. සදාචාරය මඟින්, අප වටා සිටින අය සමග විශ්වාසය සහ මිත්‍රත්වය ගොඩනඟා ගනිමින් අපි අවංකව ජීවත් වෙමු. සදාචාරය යනු සතුටට යතුරක්ය.
බුදුදහමේ සදාචාරය
අපගේ සිහිකල්පනාව විමසා බැලීම මත බුදුදහම තුළ සදාචාරය පදනම් වී ඇත: නිරන්තරයෙන් පවතින සතුටක් ලබා දෙන දේ සහ නැවත නැවතත් ප්‍රශ්න ඇති වීමට හේතු වන දේ වෙන් කොට හඳුනා ගැනීමට අපි බුද්ධිය උපයෝගී කරගනිමු. එය අන්ධයෙකු සේ නීතිමාලාවකට යටත් වීමක් නොවන අතර තාර්කික වැටහීමක් ඇති වන සේ සදාචාරාත්මක මාර්ගෝපදේශ අනුගමනය කිරීමට පුද්ගලයා පෙලඹවීමකි.
අපි අප ගැන සැබෑවටම සොයා බලන්නෙමු නම්, අප හැසිරෙන ආකාරය පිළිබඳව බුද්ධිමත් තීරණ ගැනීමට එයින් යම් අරුතක් ලැබේ. සෑම අයෙකුටම සතුට අවශ්‍යය, ඒ වගේම සෑම අයෙකුම එයට සුදුසුයි. අපද එම ගණයටම අයත්ය. තමා ගැන අවතක්සේරු කරගැනීමෙන් සදාචාරය නොතකන ආකල්පවලට යොමු වන අතර තමාගේ වටිනාකම පිළිබඳ හැඟීම නිසා ආත්මාභිමානයට යොමු වේ. ආත්මාභිමානයෙන් යුතුව, අපි අප ගැන දැඩි ගෞරවාන්විත බවක් ඇති කර ගන්නා අතර ඒ නිසාම සදාචාර විරෝධී ලෙස ක්‍රියා කිරීමට අපි කිසිදා අපටම ඉඩ නොදෙමු. එබන්දක් නිවැරදිය’යි දැනේනේම නැත.
මීමැස්සෙකු මලින් රොන් ගෙන මලේ වර්ණයට හෝ සුවඳට හෝ හානියක් නොකරන්නේ යම් සේද බුද්ධිමතාද ලොවෙහි එසේ හැසිරෙයි. - ධම්මපද, පුප්ඵවග්ග, 49 ගාථාව
“ඕන දෙයක් වුණාදෙං” යන ආකල්පය හුදකලාව, පාළුව සහ මානසික අවපීඩනය යන හැඟීම් පමණක් ඇති කරවයි. සදාචාරය පිළිබඳ දැනීමක් ඇතිව අපි එබඳු ආකල්ප මැඬලමු. සතුටින්පිරි සහ සාර්ථක ජීවිතයක් උදාකරගැනීම යන පදනම මත පිහිටා අපි විශ්වාසයෙන් යුතු ස්ථාවර මිත්‍රත්වයන් ගොඩනඟමු.
තාර්කික පදනමක් මත සදාචාරය සහ සිල්පද
බෞද්ධ ප්‍රතිපදාව පොදු දැනුම මත පදනම් වී ඇත. අපි ආත්මාර්ථකාමී, අන් අය කෙරෙහි කෝපගන්නාසුලු සහ උඩඟු බවින් යුතු අය වේ නම්, අපි අප කෙරෙහි සාමකාමී, සතුටින්පිරි ජීවිතයක් බලාපොරොත්තු වන්නේ කෙසේද?
බුදුදහමේදී පුද්ගලයෙකුට සමාදන් විය හැකි සිල්පද අදියර කීපයක්ම ඇත. උදාහරණයක් ලෙස, ටිබෙට් සම්ප්‍රදායය තුළ පැවිදි උපසම්පදා ලද භික්ෂුවකට රක්ෂා කිරීමට ශික්ෂාපද 253ක් ඇත. බොහෝ ගිහි බෞද්ධයෝ ගිහි පංචශීලය සමාදන් වෙති. එනම්:
- පණ ඇති සතුන් මැරීමෙන් වැළකීම
- නොදුන් දේ නොගැනීමෙන් වැළකීම
- කාමමිථ්‍යාචාරයෙන් වැළකීම
- බොරුකීමෙන් වැළකීම
- මත්වන දෑ ගැනීමෙන් වැළකීම
බුදුදහම පිළිපදින අය, ප්‍රතිපදාව වෙත යොමු වන ජීවිතයක් නිර්මාණය කරගැනීම පිණිස මේවා ස්වේච්ඡාවෙන්ම සමාදන් වෙති. නිවැරදි දිශානතිය තුළ සිටීමට මෙම නීති අපට උපකාර කරන අතර එමඟින් සතුටින්පිරි, සාර්ථක ජීවිතයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය හේතුද නිර්මාණය කරයි.
සාර්ථක ජීවිතයක් සඳහා සදාචාරය
තමුන්ට ඉමහත් ද්‍රව්‍යමය සම්පත් සහ බලය ඇති ජීවිතයක් සාර්ථක ජීවිතයක් ලෙස ඇතැම් මිනිස්සු සිතති. අපට ඒ දේවල් ලැබුණත් අපි කිසිදිනෙක තෘප්තිමත් නොවන අතර සැමදා ඒ දේවල් නැතිවේයයි මානසික බියෙන් යුතුවෙමු. අපට වැඩි වැඩියෙන් ලැබෙත්ම, විශේෂයෙන්ම අන් අය මත යැපෙමින් ලැබෙත්ම, අපි වැඩි වැඩියෙන් සතුරන් නිර්මාණය කරගමු. මිනිසුන් අපට කැමති නැතිනම් එබඳු ජීවිතයක් සාර්ථක ජීවිතයකි’යි කිසිවෙකු කියන්නේ නැත. සාර්ථක ජීවිතයක් යනු අප බොහෝ මිතුරන් නිර්මාණ කරගන්නා වූද අප සමග ජීවත් වීමේදී මිනිසුන් සතුටින් සිටින්නාවූද ජීවිතයකි. අපට කෙතරම් ධනය හෝ බලය හෝ ඇතිද යන්න එතරම් වැදගත් නොවේ. කුමක් සිදුවුවත් ඒ දේ සමග කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන මනෝභාවාත්මක සහයෝගය අපි ඇති කරගනිමු.
සතුට වෙත යොමු කරවන හැසිරීම් වර්ග සහ ගැටලු නිර්මාණය කරන හැසිරීම් වර්ග සදාචාරාත්මක මාර්ගෝපදේශ මඟින් පෙන්වා දෙයි. අප අවංකව අන් අයට සතුට ගෙන දීමට ප්‍රාර්ථනා කරන්නේ නම්, මිනිස්සු තමුන්ව රවටන්නේ නැති, පීඩාවට ලක් කරන්නේ නැති, නැතහොත් අයථා ලෙස යොදා ගන්නේ නැති බවට අප කෙරෙහි විශ්වාසය තබති. අපට හමු වන සෑම අයෙකු සමගම මිත්‍රත්වය උදෙසා මෙම විශ්වාසය මූලාධාරයක් සපයයි. තමුන්ට බිය වීමට කිසිවක් නැති බව දැන ගැනීමෙන් ඒ අය සැහැල්ලුවෙන්, සතුටින් අප සමග සිටිති. අනෙක් අතට, අපටද ඉමහත් සතුටක් දැනේ. අප ළඟට එන විට, කාටද අවශ්‍ය තමුන්ව ආරක්ෂා කර ගන්න හෝ බියෙන් වෙව්ලන්න? සියලු දෙනා සිනාමුසු මුහුණින් අපව පිළිගනු ඇත.
මිනිස්සු යනු සමාජීය සත්ත්වයෝ වෙති: පැවැත්ම උදෙසා අපට අන් අයගේ උදවු අවශ්‍ය වේ. අප අතදරුවන් ලෙස සිටින විට සහ සාත්තු නිවාසවල වැහැරුණු මහල්ලන්ව සිටින විට පමණක් නොව, අපේ ජීවිතය පුරාම අපට අන් අයගේ උපකාරය සහ රැකවරණය අවශ්‍යය. ආදරණීය මිත්‍රත්වයකින් අප ලබන මනෝභාවාත්මක සහයෝගය පිරිපුන් ජීවිතයක් නිර්මාණය කරයි. සදාචාරය පිළිබඳ ප්‍රබල හැඟීමකින් මුණ ගැහෙන සෑම අයෙකු සමගම මිත්‍රත්වයක් නිර්මාණය කරගැනීමට අපට හැකියාව ලබා දේ.