සමාජයීය වශයෙන් සම්බන්ධිත බුදු දහම යනු කවරක්ද?

Image%201%20%286%29

සමාජීය වශයෙන් සම්බන්ධ බෞද්ධ දර්ශනය යනු බෞද්ධ මූලධර්ම හා භාවිතයන් සමාජයීය, දේශපාලනික, පාරිසරික හා ආර්ථික ගැටලු සඳහා යොදා ගන්නා සමකාලීන ව්‍යාපාරයකි. කරුණාව, ප්‍රඥාව සහ අහිංසාව යන වටිනාකම් මත පදනම් වූ සමාජීය වශයෙන් සම්බන්ධ බෞද්ධ දර්ශනය, පුද්ගල මට්ටමෙන් පමණක් නොව සමාජ හා ගෝලීය පද්ධති පුරා විහිදී ගිය දුක් පීඩාද අවම කිරීමට උත්සාහ කරයි.

සම්ප්‍රදායික වශයෙන්, බෞද්ධ දර්ශනය බොහෝ විට සමාජයෙන් ඈත් වූ හෝ අධි අභිරහස්‍යමය වූවක් ලෙස සාවද්‍ය අර්ථ නිරූපණයකට ලක්කර ඇත. කෙසේ වෙතත්, බුදුන් වහන්සේගේ ජීවිත කතාවෙන් අපට පැහැදිලි වන්නේ, මිනිසුන් හා සතුන්ද වශයෙන් උන් වහන්සේ වටා සිටියවුන් කෙරෙහි දැඩි කරුණාව උන් වහන්සේ සියලු දෙනා සඳහා දුකින් මිදීමේ මාර්ගයක් සෙවීමට පොළඹවා ඇති බවයි. බෞද්ධ භාවිතය සඳහා වන සමාජීය වශයෙන් සම්බන්ධ ප්‍රවේශය මෙලෙස පුද්ගල පරිවර්තනය හා සමාජ වෙනස අතර අන්තර් සම්බන්ධතාවය අවධාරණය කරයි. එ් අනුව සැබෑ යහපැවැත්ම, ඇතැම් විට නිවන් දැකීම පවා, ලෝකයේ අභියෝගවලින් හුදෙකලාව සම්පූර්ණයෙන් සාක්ෂාත් කළ නොහැකි බව එතුළ පෙන්වා දෙනු ලබයි

සමාජයීය වශයෙන් සම්බන්ධිත බුදු දහමේ මූලාරම්භය

"සමාජීය වශයෙන් සම්බන්ධ බෞද්ධ දර්ශනය" යන පදය 20 වන සියවසේදී ජනප්‍රිය වූ අතර, විශේෂයෙන් වියට්නාමයේ සෙන් ගුරුවරයෙකු වූ තිච් නාට් හන් යුද්ධය, පරිසර හානිය සහ සමාජ අසාධාරණය වැනි පීඩාකාරී ගෝලීය ගැටලු සමඟ සටන් කිරීම සඳහා බෞද්ධ ඉගැන්වීම් භාවිතා කිරීම සඳහා පෙනී සිටියේය. වියට්නාමය විනාශ කළ යුද්ධය අතරතුර තිච් නාට් හන් මෙම ක්‍රියාමාර්ග ගැනීමට පොළඹවා ඇති අතර, විහාරස්ථ හුදකලාව අත්හැර වින්දිතයන් වෙත උපකාර කිරීමට පෙළඹුණි. එනමුත්, මෙම ව්‍යාපාරයේ මුල් බුදුන් වහන්සේගේ මූලික ඉගැන්වීම් තුළ සොයා ගත හැකිය.

චතුරාර්ය සත්‍යය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැනි බුදුන් වහන්සේගේ ඉගැන්වීම් තුළ කරුණාව සහ අන්තර් සම්බන්ධතාවයේ වැදගත්කම අවධාරණය කෙරේ. මේ ඉගැන්වීම් තුළ දුක් නිවීම පුද්ගලයන්ට පමණක් සීමා නොවන අතර, එය සියලු සත්වයන් හා දුක් පීඩාවන්ගෙන් පීඩා විඳිමින් සිටින සියලුම සත්ත්වයන් සහ තත්ත්වයන් දක්වා ව්‍යාප්ත විය යුතුය යන අදහස අන්තර්ගත වේ.

ඉතිහාසය පුරා බෞද්ධ ප්‍රජාවන් බොහෝ විට පුණ්‍ය කාර්යයන්, අවිහිංසාවාදී ප්‍රතිරෝධයන් සහ සමාජ සාධාරණත්ව කටයුතුවල නිරත වී ඇති නමුත්, සමාජීය වශයෙන් සම්බන්ධ බෞද්ධ දර්ශනය සම්ප්‍රදාය තුළ මෙම අංශය විධිමත් කරනු ලබයි. මෙම ව්‍යාපාරය බෞද්ධයන්ට සාමූහික දුක් වේදනාවන්ට දායක වන සමාජයීය, ආර්ථික හා පාරිසරික ව්‍යුහයන් සමඟ සක්‍රීයව සම්බන්ධ වීමට ආරාධනා කරයි.

සුලක් සිවරක්සගේ බලපෑම

සමාජීය වශයෙන් සම්බන්ධ බෞද්ධ ව්‍යාපාරයේ වඩාත්ම බලපෑම් සහිත චරිත අතරින් එකක් වන්නේ තායිලන්තයේ විද්වතෙකු, ක්‍රියාකාරිකයෙකු සහ සමාජ විචාරකයෙකු වන සුලක් සිවරක්ස ය. ඔබට අප විසින් ඔහු සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාව මෙහි ‍කියවිය හැක. බෞද්ධ මූලධර්ම සමාජ සාධාරණත්වය, ආර්ථික සමානාත්මතාවය, පාරිසරික තිරසරභාවය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සමඟ ඒකාබද්ධ කිරීම සඳහා ඔහු හඬ නඟන පෙරගමන්කරුවෙකු වී ඇති අතර - ඔහු බොහෝ විට අත්අඩංගුවට ගනු ලැබ තාවකාලික පිටුවහල් කිරීමකට පවා බල කෙරිණි. තායිලන්තයේ සහ ලෝක ඒකාධිපතිවාදයට අභියෝග කිරීම, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ව්‍යුහාත්මක අසමානතා විසඳීමේ උත්සාහයන්හි ඔහු පෙරමුණ ගෙන ඇත.

සුලක් සිවරක්සගේ ක්‍රියාකාරීත්වය සමාජයේ දුක්ඛයේ මූල හේතු විසඳීම සඳහා බෞද්ධ ඉගැන්වීම් යොදා ගත හැකිය - සහ ඇත්ත වශයෙන්ම යොදා ගත යුතුය - යන විශ්වාසය මත පදනම් වී ඇත. ඔහු ආචාරධර්මීය පාලනය, පරිසර ආරක්ෂාව සහ වඩා ඉහළ ආර්ථික සාධාරණත්වය සඳහා අඛණ්ඩව පෙනී සිටියේය. ඔහු 1989 දී සමාජීය වශයෙන් සම්බන්ධ බෞද්ධයින්ගේ ජාත්‍යන්තර ජාලය ආරම්භ කළ අතර ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත භාවනාකරුවන්ට බුදු දහම පුද්ගලික විමුක්තිය සඳහා මාර්ගයක් පමණක් නොව සමාජ පරිවර්තනය සඳහා ශක්තියක් ලෙසද දැකීමට අනුප්‍රේරණයක් ඇති කළේය.

සමාජයීය වශයෙන් සම්බන්ධිත බුදු දහමේ මූලික මූලධර්ම

සමාජීය වශයෙන් සම්බන්ධ බෞද්ධ දර්ශනයේ හරය තුළ බුදුන් වහන්සේගේ අකාලික දහම නූතන අභියෝග සඳහා යොදා ගැනීමට උත්සාහ කරයි. මෙම ව්‍යාපාරය ප්‍රධාන මූලධර්ම කිහිපයක් මත ගොඩනගා ඇත:

අන්තර් සම්බන්ධතාවය

සියලු සත්වයන් සහ සංසිද්ධීන්ද එකිනෙක හේතු මගින් සම්බන්ධිත බව බුදුන් වහන්සේ ඉගැන්වූහ. පටිච්චසමුප්පාද හෝ පටිච්ච සමුප්පාදය යනුවෙන් හැඳින්වෙන මෙම මූලධර්මයට අනුව, කිසිදු පුද්ගලයෙක් හුදෙකලාව නොපවතී. සමාජීය වශයෙන් සම්බන්ධ බෞද්ධ දර්ශනය විසින් දුක්ඛය බොහෝ විට පුළුල් සමාජයීය, ආර්ථික හා පාරිසරික පද්ධතිවල ප්‍රතිඵලයක් බව හඳුනා ගැනීමට අපව උනන්දු කරවනු ලබයි. එබැවින්, දුක්ඛයේ මූල හේතු විසඳීම සඳහා පුද්ගල හා පද්ධතිමය යන දෙමට්ටමේම ක්‍රියාමාර්ග අවශ්‍ය වේ.

උදාහරණයක් වශයෙන්, පරිසර හානිය, දරිද්‍රතාවය සහ ප්‍රචණ්ඩත්වය යනු හුදෙක් හුදකලා ගැටලු නොව ගෝලීය ප්‍රතිපත්ති, අපගේ පුද්ගලික පාරිභෝගික හැසිරීම් සහ සමාජ අසමානතා සමඟද ගැඹුරින් සම්බන්ධ වේ. මෙම අන්තර් සම්බන්ධතාවය හඳුනා ගැනීමෙන්, අපට සමස්තයක් ලෙස මෙම ගැටලු විසඳීම අරමුණු කළ හැකිය.

භාවිතය තුළ කරුණාව

කරුණාව බෞද්ධ භාවිතයේ මූලික අංගයක් වන අතර, සමාජීය වශයෙන් සම්බන්ධ බෞද්ධ දර්ශනය ස්පර්ශනීය හෙවත් දැනෙන සුළු ආකාරයෙන් කරුණාව භාවිතා කිරීම අවධාරණය කරයි. කරුණාව හුදෙක් සහකම්පනයකට හෝ කාරුණික සිතුවිලිවලට පමණක් සීමා නොවේ - එයට අන් අයගේ දුක දුරලීම සඳහා සක්‍රීයව කටයුතු කිරීමද ඇතුළත් වේ. ප්‍රායෝගික තලයේදී, මෙයට සමාජ සාධාරණත්වය උදෙසා කටයුතු කිරීම, ආන්තිකකරණයට ලක්වූ ජන ප්‍රජාවන්ට සහය දැක්වීම, දේශගුණික විපර්යාස විසඳීම හෝ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම යන කාරණා ඇතුළත් විය හැකිය. කාරුණිකත්ව භාවිතය තුළ, පෞද්ගලික ආධ්‍යාත්මික වර්ධනය හා සමාජයේ දුක් ගැටලු විසඳීම අතර කිසිදු පරස්පරතාවයක් නොමැති බව අපි අත්දකිමු. ඇත්ත වශයෙන්ම, ඒවා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා ශක්තිමත් කරන මාර්ගයන් වේ.

අවිහිංසාව

අවිහිංසාව යනු වෙනත් සත්වයන්ට හිරිහැර නොකිරීම හෝ නොමැරීම යනුවෙන් එන පළමු පඤ්ච ශීල ප්‍රතිපත්තිය මත පදනම් වූ සමාජීය වශයෙන් සම්බන්ධ බෞද්ධ දර්ශනයේ තවත් මූලික මූලධර්මයකි. ප්‍රචණ්ඩත්වය තුළ හුදෙක් දුක් වේදනා පමණක් පවත්වාගෙන යනු ලබන අතර වෛරය හා එකිනෙකා බෙදීමේ චක්‍රයන් එතුළින් ශක්තිමත් කරන බැවින්, අපි සියලු සත්වයන් කෙරෙහි කරුණා පෙරදැරිව හා ගෞරව සම්ප්‍රයුක්තව ක්‍රියා කළ යුතු අතර ශාරීරික, වාචික හෝ ව්‍යුහාත්මක වේවා සියලු ආකාරයේ හානි ප්‍රතික්ෂේප කළ යුතුය. මෙයට යුද්ධ, මර්දනය සහ සියලුම ආකාරවල අසාධාරණකම්වලට එරෙහිව විරෝධය දැක්වීම ඇතුළත් වේ. මේ අනුව, ප්‍රායෝගික බෞද්ධයින් බොහෝ විට සාමකාමී ක්‍රියාකාරීත්වය, මැදිහත්වීම සහ සංහිඳියා උත්සාහයන්හි නිරත වී ඇත.

සිහිය සහ දැනුවත්භාවය

සමාජීය වශයෙන් සම්බන්ධ බෞද්ධ දර්ශනය ලෝකයේ පවත්නා දුක්ඛය විෂයයෙහි අවදිවීමට මෙවලමක් ලෙස සිහිය භාවිතා කිරීමට අපව දිරිමත් කරයි. සිහිය අපට වර්තමානයේ රැඳී සිටීමට, අපගේම ක්‍රියා පිළිබඳව දැනුවත්ව සිටීමට සහ අන් අයගේ අවශ්‍යතා කෙරෙහි විවෘතව සිටීමට උපකාරී වේ. එය අපගේ ජීවන රටා තේරීම්, පරිභෝජන රටා සහ සමාජ පද්ධතිවල සහභාගීත්වය දුක්ඛයට හෝ යහපැවැත්මට දායක වන ආකාරය පිළිබඳව සිතා බැලීමටද අපට උපකාරී වේ. සතිමත්භාවය තුළ අපට අන් අය සහ පරිසරය සමඟ අප විසින් අන්තර්ක්‍රියා කරන ආකාරය පිළිබඳ වඩාත් දැනුවත් විය හැකි අතර එමගින් වගකිවයුතු සහ කාරුණික තෝරා ගැනීම් ප්‍රවර්ධනය කළ හැකිය.

සමානාත්මතාවය

සමාජීය වශයෙන් සම්බන්ධ බෞද්ධ දර්ශනය සමාජ ව්‍යුහයන්හි සාධාරණත්වයේ හා සමානාත්මතාවයේ වැදගත්කම අවධාරණය කරයි. මෙය අප සියලු දෙනාටම සතුට ලබාගනු සඳහා එකම ආකාරයේ ආශාවක් ඇති බවත්, දුකින් මිදීමටද එ් හා සමාන අපේක්ෂාවක් ඇති බවත් පිළිබඳ කාරණය මත පදනම් වේ. මෙහිදී, අපට ආර්ථික සාධාරණත්වය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, වාර්ගික සාධාරණත්වය සහ මිනිසුන් හෝ සතුන් වේවා සියලු සත්වයන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කළ හැකිය. අසාධාරණත්වය යනු දුකෙහි මූලයක් බව හඳුනා ගැනීමෙන්, අපට අසමානතා පද්ධති බිඳ දැමීම සඳහා කටයුතු කළ හැකි අතර සෑම මට්ටමකම සාධාරණත්වය සහ කරුණාව ප්‍රවර්ධනය කළ හැකිය.

සමාජයීය වශයෙන් සම්බන්ධිත බුදු දහමේ ප්‍රතිලාභ

අභ්‍යන්තර සාමය

කාරුණික අරමුණු සහ ක්‍රියාවන් සමගින් ලෝකය සමඟ සක්‍රීයව සම්බන්ධ වීමකදී එය කෙසේ දැනෙනු ඇත්දැයි සිතන්න. මෙය ස්වාභාවිකවම පෞද්ගලික සාර්ථකත්වයක් සහ අභ්‍යන්තර සාමයක් පිළිබඳ හැඟීමකට මග පාදන අතර, එහිදී අප කරන දේ කුමක් වුවත්, එය අපටත් අන් අයටත් ප්‍රයෝජනවත් වන බව දැනගන්නෙමු. විශේෂයෙන් දුක් විඳින අය විෂයයෙහි අප විසින් ධනාත්මක වෙනසක් ඇති කරමින් පවත්නා බව දැනෙන විටදී එය අපට ශක්තිමත් අරමුණක් පිළිබඳ හැඟීමක් ලබා දෙන අතර විද්‍යාත්මකව පෙන්වා දී ඇති පරිදි එමගින් අප වඩාත් සතුටු කරනු ලබයි.

වඩා ශක්තිමත් ජන ප්‍රජාවන්

අප අතරින් බොහෝ දෙනෙකුට සතුටුදායක, සුසංවාදී සමාජයන්හි ජීවත් වීමට කැමත්තක් පවතී. ඔවුන් කවුරුන් වුවත් සහ සමාජයේ ඔවුන්ගේ තත්ත්වය කුමක් වුවත් සියලු සත්වයන් කෙරෙහි කරුණාවෙන් ක්‍රියා කිරීමෙන් අපි වඩාත් ශක්තිමත්, සතුටුදායක සහ සියල්ලන් ඇතුළත් වූ ප්‍රජාවන් නිර්මාණය කරන්නෙමු. කරුණාව සහ අන්‍යෝන්‍ය ගෞරවය සමාජය පුරා වගා කරන විට, එහි ප්‍රතිලාභ සෑම කෙනෙකුටම අත්පත් වේ.

ආධ්‍යාත්මික වර්ධනය

සමාජීය සම්බන්ධතාවය විසින් අපගේ කරුණාව වැඩීම භාවනා ඇතිරිල්ලෙන් පිටතට විහිදුවමින් එය පුළුල් ලෝක වෙතට ගෙන යාමට අවස්ථාව සැලසීමෙන් අපගේ ආධ්‍යාත්මික භාවිතය වඩාත් ගැඹුරු කරයි. එය අපගේ කාලය සහ සම්පත් විෂයගත ත්‍යාගශීලිත්වය, අපට අපහසු ලෙස දැනෙන අය විෂයයෙහි ඉවසිලිවන්තව කටයුතු කිරීම සහ විවිධ මත ඉවසීම වැනි වර්ධනය කිරීමට අවශ්‍ය වන්නාවූ බොහෝ දේ භාවිතා කිරීමේ හැකියාව අප වෙත ලබාදෙයි. මෙම ආකාරයට කටයුතු කිරීම වූකලි ධනාත්මක විභවතාවයන් නිර්මාණය කිරීම සහ නිවන කරා වූ මාර්ගය සකස් කිරීම සඳහා වූ ඉතා ශක්තිමත් ක්‍රමයකි.

නිගමනය

සමාජීය වශයෙන් සම්බන්ධ බෞද්ධ දර්ශනය යනු ආධ්‍යාත්මික භාවිතය සහ සමාජ භාවිතය සම්පූර්ණයෙන් ඒකාබද්ධ කළ යුතු බවට යෝජනා කරන මාර්ගයකි. එය සැබෑ කරුණාව භාවනා ඇතිරිල්ලෙන් ඔබ්බට විහිදෙමින් දුක්ඛයේ ව්‍යුහාත්මක හේතු විසඳීම උදෙසා ලෝකය කරා ප්‍රවේශ වන බැව් උගන්වයි. පුද්ගලයන් සහ ප්‍රජාවන් ලෙස අපි අන්තර් සම්බන්ධිත වෙමු. සෑම පුද්ගලයෙකුගේම යහපැවැත්ම සියලු දෙනාගේම යහපැවැත්ම සමඟ සමීපව බැඳී ඇත. සිහිබුද්ධියෙන් යුත් ක්‍රියාවන්, ත්‍යාගශීලිත්වය, අහිංසාව සහ සාධාරණත්වය කෙරෙහි කැපවීම තුළින් අපට සියලු සත්වයන් සඳහාම වඩාත් කරුණාවන්ත, සාධාරණ සහ සාමකාමී ලෝකයක් නිර්මාණය කිරීමට උත්සාහ කළ හැකිය.

Top