අපගේ පැරණි චර්යා රටාවන් මත පදනම් වූ මානසික ආවේග කර්ම නම් වේ. ඒවා අප සිදු කරන විදිහේ ක්‍රියාවන් කිරීමට, කතා කිරීමට සහ සිතීමට අපව මෙහෙයවයි. අපේ පුරුදු, අපේ මොළය තුළ ස්නායුක මංපෙත් අතුරන අතර නියමිත අවස්ථාවේ දී උත්තේජනයට ලක්ව අපගේ සාමාන්‍ය හැසිරීම් රටාව නැවත නැවත ක්‍රියාත්මක කරවීමට හේතු වෙයි. සරලවම අපට යමක් කිරීම වැනි හැඟීමක් ඇති වෙයි, එවිට එම චිත්තාවේගයට අනුව එය කරයි.
කර්මය යන්න ඉරණම හෝ කල්තියා තීරණය වූ දෛවය හෝ ලෙස බොහෝ විට වරදවා වටහා ගනියි. යම් අයෙකු තුවාල වූ විට හෝ විශාල මුදලක් අහිමි වූ විට, මිනිස්සු “අයියෝ, නරක කාලයක්, මේක ඉතිං කර්මය තමා” යනුවෙන් කියති. මෙය දෙවියන්වහන්සේගේ කැමැත්තට සමාන වූ අදහසකි - එය අපට තේරුම් ගත නොහැකි හෝ පාලනය කළ නොහැකි හෝ යම් දෙයකි. මෙය කිසිසේත්ම බුදුදහමේ එන කර්ම සංකල්පය නොවේය. කර්ම යන්න මෙහිදී යෙදෙන්නේ මානසික ආවේගවලටය. එනම් යම් අයෙකු අපව කෝප කරවන විට ඒ තැනැත්තාට කෑගසා බැණවැදීමට අපව යොමු කරවන, එසේත් නැතිනම් ගැටලුව ඇමතීමට තරම් සංසුන් වන තුරු ඉවසීමෙන් රැඳී සිටීමට අපව යොමු කරවන ආවේගවලටය. අප පඩිපෙළක් බැසගෙන එන විට පුරුද්දට මෙන් අපේ වළලුකර කරකැවීමට, නැතහොත් ප්‍රවේශමෙන් පුරුද්දෙන් මෙන් බැස යාමට අපව යොමු කරවන මානසික ආවේගද මෙමඟින් අදහස් කෙරේ.
කර්මය ක්‍රියා කරන අයුරු වටහා ගැනීමට දුම්බීම කදිම උදාහරණයකි. ඇයිද යත්, අප ළඟ සිගරට්ටුවක් ඇති හැම විටම එකක් බීමට හැකියි යනුවෙන් එය ක්‍රියා කරයි. අප වැඩි වැඩියෙන් දුම්බොන විට දුම්බීම දිගටම කරගෙන යාමට ඇති නැඹුරුව ප්‍රබල වී නොසිතාම එකක් පත්තු කරගැනීමට ඉබේම ක්‍රියාත්මක වන සේ කර්ම ආවේග අපව ඇදගනියි. දුම්බීම සඳහා හැඟීමක් සහ ආවේග පැමිණියේ කොහෙන්ද යන්න කර්මය පැහැදිලි කරයි. එනම් පූර්වයෙන් ගොඩනඟා ගත් පුරුදුවලිනි. දුම්බීමෙන් එම ක්‍රියාව නැවත නැවත කිරීමට ආවේගයන් නිර්මාණය කරනු පමණක් නොව ශරීරයේ ඇති භෞතික හැකියාවටද එමඟින් බලපෑමක් එල්ල කරයි. උදාහරණයක් ලෙස, දුම්බීමෙන් පිළිකා ඇති කරයි. මෙහිදී, ආවේග හටගැනීම සහ පිළිකාවක් ඇති වීම යන දෙකම පූර්වයෙන් සිදුකළ ආවේගාත්මක ක්‍රියාවල ප්‍රතිඵල වේ. ඒවා “කර්මවිපාක” ලෙස හැඳින්වේ.
අපේ පුරුදු වෙනස් කිරීම
අපේ හැඟීම් සහ ආවේග පැමිණෙන්නේ කොතැනින්ද යන්නත්, අපට ඇතැම්විටෙක සතුටකුත් ඇතැම්විටක නොසතුටකුත් දැනෙන්නේ ඇයි ද යන්නත් පැහැදිලි කරන නිසා කර්ම යන්නෙහි තේරුමක් ඇත. ඒ සෑම දෙයක්ම ආරම්භ වන්නේ අපේම චර්යා රටාවන් නිසාය. මේ නිසා, අප කරන දේත් අපට සිදුවන දේත් කල්තියා තීරණය වූ දේ නොවේ. ඉරණමක් හෝ දෛවයක් හෝ නැත.
“කර්මය” යනු ක්‍රියාකාරී ශක්තිය ගැන කියැවෙන පදයය. එමඟින් හැඟවෙන්නේ අනාගත සිදුවීම් ඔබේ අත් මත ඇති බවය. – 14 වන දලයි ලාමා වහන්සේ
අප අපේ පුරුදුවල වහලුන්ය’යි නිතර හැඟුණත් - අපේ හුරුපුරුදු චර්යාවන් පදනම් වී ඇත්තේ මනා කොට පිහිටියා වූ ස්නායුක මංපෙත් මත වීමත් සැලකීමට ගෙන - ඒවා මැඬලන්න හැකි බව බුදුදහම පවසයි. ජීවිතය පුරාම, අපට අලුත්ම ස්නායුක මංපෙත් සකස් කරගන්නත් ඒවා වෙනස් කරන්නත් හැකියාව ඇත.
යමක් කරන්න’යි අපේ මනසට හැඟීමක් පැමිණීමෙන් පසු කර්මානුරූප ආවේග අපව මෙහෙය වන්නට මත්තෙන් හිස් තැනක් ඇත. කුමන හැඟීමක් මතු වුණත් එවේලේම අපි එය ක්‍රියාවට නඟන්නේ නොවෙමු. අපි වැසිකිළි කරන අයුරු ගැන වුණත් මෙසේ ඉගෙන ගත්තෙමු. ඒ අයුරින්ම, යම් පීඩාකාරී දෙයක් කියන්නට හැඟීමක් මතු වූ විටෙක, “මා මෙය කිවයුතුද? නැතිද?” කියා අපට තෝරාගැනීමක් කළ හැකිය. යම් අයෙකුට කෑගසා අපේ කේන්තිය ප්‍රකාශ කරමින් අපට තාවකාලික සැහැල්ලුවක් අත්විඳිය හැකි නමුත් අන් අයට කෑගැසීමේ පුරුද්දක් තිබීම නොසතුටු මානසික තත්ත්වයකි. සංවාදය මඟින් ගැටුම් නිරාකරණය කරගැනීම වඩාත් සතුට ගෙනදෙන, බොහෝ සාමකාමී තත්ත්වයක් බව අපි සැවොම දනිමු. මෙලෙස සාධනීය සහ නිෂේධනීය ක්‍රියා වෙන්කොට හඳුනාගැනීමේ හැකියාව, සැබැවින්ම තිරිසන් සතුන්ගෙන් මිනිසාව වෙන්කොට දක්වන දේය - අප ලද විශිෂ්ට වාසිදායක දේත් එයය.
එය එසේ කීවද, නිෂේධනීය ක්‍රියාවලින් වැළෙකෙන්නට තෝරා ගැනීම හැමවිටම පහසු නොවේ. හිතට ගලාගෙන එන හැඟීම් පිළිබඳව සිහි එලවා බැලීමට තරම් ප්‍රමාණවත් ඉඩකඩක් අපේ හිසේ ඇති විට එය වඩාත් පහසු වනු ඇත. සිහිබුද්ධිය වැඩිදියුණු කරගැනීමට බෞද්ධ ශික්ෂණය අපව උත්සාහවත් කරවන්නේ මේ නිසාය. අප සංවර වන විට, අප හිතන දේ ගැන සහ අප කියන්නට හෝ කරන්නට සැරසෙන දේ ගැන අපි වඩාත් අවධානයෙන් බලමු. “තවත් කෙනෙකුට පීඩාවක් ඇති විය හැකි දෙයක් කියන්නට මට හැඟීමක් ඇත. මා එය කීවොත්, එමඟින් දුෂ්කරතා පැනනඟියි. ඒ නිසා, මම එය නොකියමි” යනුවෙන් නිරීක්ෂණය කිරීමට අපි ආරම්භ කරමු. මේ ආකාරයෙන් අපට තෝරා ගැනීමක් කළ හැකිය. අප සිහි බුද්ධියෙන් නොසිටී නම්, බොහෝ විට අපේ හිසට එන කුමන හෝ ක්‍රියාවක් සිදුකිරීමේ සිතුවිලි සහ හැඟීම් අපට ඇතිවේ. එමඟින් කෙළවරක් නැති කරදරද ඇති වේ.
ඔබේ අනාගතය ගැන කියන්න
අපේ අතීත සහ වර්තමාන කර්මානුරූපි හැසිරීම මත පදනම් ව අනගතයේදී අප කුමක් අත්විඳීද’යි අපට අනාවැකි කිව හැකිය. දුරතියාම කිවහොත්, සාධනීය ක්‍රියාවන් සතුට දනවන ප්‍රතිඵල ගෙන එන අතර නිෂේධනීය ඒවා නොකැමති ප්‍රතිඵල ගෙන දෙයි.
කිසියම් නිශ්චිත කර්මයක් ප්‍රතිවිපාක දෙන්නේ කෙසේද යන්න බොහෝ සාධක සහ ප්‍රත්‍යය මත රඳා පවතියි. අපි බෝලයක් ඉහළ අහසට විසි කරන විට, එය බිමට වැටෙන බවට අපට අනාවැකි කිව හැකිය. ඒ නමුත්, අපි බෝලය අල්ලා ගන්නේ නම් එවිට එය සිදු නොවේ. මෙපරිද්දෙන්ම, අතීත ක්‍රියාවන් මතින් අනාගතයේදී වෙන්නේ කුමක්ද’යි අපට අනාවැකි කිවහැකි වුවත්, එය පරම තත්ත්වයක් නොවේ. ඉරණමද ගලේ කෙටූ අකුරක්ද නොවේ. වෙනත් නැඹුරු වීම්, වෙනත් ක්‍රියාකාරකම්, වෙනත් අවස්ථා කර්ම ප්‍රතිවිපාක දීමේදී බලපෑමක් එල්ල කරයි. අප තරබාරු නම්, පෝෂ්‍යගුණයක් නැති ආහාර විශාල ප්‍රමාණයක් කෑමට ගන්නවා නම්, අනාගතයේදී දියවැඩියාව වැළඳීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව අපට අනාවැකි කිවහැකිය. එහෙත් අප ආහාර පාලනයක් සිදුකර බර සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කරගන්නේ’යි නම් අපි කිසිසේත්ම රෝගි නොවන්නෙමු.
අපේ කකුල යම් දෙයක වේගයෙන් වැදුණහොත් එයින් දැනෙන වේදනාව අත්විඳින්න කර්මය හෝ හේතු-ඵල හෝ විශ්වාස කිරීමට අවශ්‍ය නැත. අපේ විශ්වාස කුමක් හෝ වේවා, අපි අපේ පුරුදු වෙනස් කරගෙන හිතකර පුරුදු ගොඩ නඟා ගන්නෙමු නම්, ප්‍රතිඵලය ධනාත්මක වනු ඇත.