සතුට යනු කුමක්ද?

සතුට යනු දීර්ඝකාලීන යහපැවැත්ම, මානසික සැනසීම සහ අපේ ජීවිතවලින් සංතෘප්තිය ලැබීම පිළිබඳ හැඟීමකි. අපි සැවොම, සෑම වේලාවකම සොයන්නේ එයය. ඒ පිළිබඳව පුංචි හෝ රසයක් අපට දැනුන විට, එය හැමදාම පවත්වා ගැනීමට අපට උවමනා වේ.

මිනිස්සු නිතරම සතුට යන්න වින්දනය සමග පටලවා ගනිති. හොඳ කෑම කන්නේ නම්, මිල අධික ඇඳුම් අඳින්නේ නම් සහ නිතරම විනෝදයෙන් සිටින්නේ නම් අප සතුටින් සිටින බව සාමාන්‍යයෙන් සිතමු. එහෙත් කුමක් හෝ හේතුවක් නිසා එය කිසිදා සාර්ථක වන්නේ නැත. අපේ සියලු උවමනා එපාකම් තෘප්ත කරවන්නේ නම් එවිට අප සතුටින් සිටින බව සිතීමටද අපි පෙලඹෙමු. එහෙත් ඇත්තෙන්ම, අප ගැන පමණක් සොයා බැලීමෙන් පාළුව සහ අවපීඩනය වෙත අපව යොමුවේ.

ඇතැම් අවස්ථාවලදී අපගේ සිතුවිලි සහ මනෝභාව සමග තනිවී සිටීම අපහසුතාවක් ඇති කරයි. එවිට, හිත වෙනතකට යොමු කිරීම පිණිස සංගීතය, පරිගණක ක්‍රීඩා, ආහාර, ලිංගිකත්වය සහ වෙනත් වෘත්තීන් අපි සොයාගමු. එහෙත් මෙමඟින් සැබෑවටම අපව අන් අය සමග සම්බන්ධ කරන්නේ නැත. එමඟින් සතුට යන්නෙහි සැබෑ තේරුම සපයා දෙන්නේද නැත.

සතුට අත්විඳින්න සහ අන් අය සමග සම්බන්ධ වීමට අවශ්‍ය වූ විට අපි බොහෝ විට සාමාජ මාධ්‍යය වෙත හැරෙමු. අපේ සෙල්ෆියක් වෙනුවෙන් ලැබෙන ලයික් ගණනින් හෝ මිතුරෙකුගෙන් ලැබෙන සටහනකින් අපි ක්ෂණික රසවින්දනයක් ලබමු. එහෙත් එමඟින් තව තවත් ඒවා අවශ්‍ය බවක් ඇති කරයි. ඊළඟ ප්‍රතිචාරය කුමක් වේද’යි සාංකාවෙන් යුතුව අපි අපේ දූරකථනය නිතරම පිරික්සමු. කොපමණ ලයික් ප්‍රමාණයක් ලැබුණත් සටහන් ප්‍රමාණයක් ලැබුණත් අප අනෙක් අය සමග එතරම් සම්බන්ධ නැහැ යන හැඟීමකින් යුතුව අපි අවසන් කරමු.

අන් අයට බොහෝ සෙයින් ආදරය කිරීම සැබෑ සතුට බිහිකිරීමේ මූලාශ්‍රය බව බුදුන්වහන්සේ දේශනා කළහ: අප අන් අයගේ යහපැවැත්ම සහ සතුට ගැන අවංකවම සොයා බලන්නේ නම්, අපට යහපැවැත්ම පිළිබඳ අව්‍යාජ හැඟීමක් දැනෙයි. අපට කායිකවත් වඩා නිරෝගි බවක් දැනෙයි. අනෙකාගේ සතුට ගැන සිතීමෙන්, අපි හැකි උපරිම අයුරින් ඔවුන්ට උපකාර කිරීමටද ඔවුන්ට හානි පමුණුවන දේ නොකර සිටීමටද උත්සාහ කරමු. මෙමඟින් විශ්වාසවන්ත මිත්‍රත්වයක් නිර්මාණය වන අතර එයින් අපේ ජීවිත වඩා අර්ථාන්විතද වෙයි. පවුලේ අයගෙන් සහ මිතුරන්ගෙන් ලැබෙන මනෝභාවමය සහයෝගයෙන් ජීවිතයේ සිදුවන සියලු දේ සමග කටයුතු කරන්න අපට ශක්තිය ලැබේ.

අන් මිනිසුන්ගේ සතුට පිළිබඳව සැබැවින්ම සොයා බලා කටයුතු කරන්න යොමුවීමට පෙර අපට අප පිළිබඳව සොයා බැලීම ආරම්භ කරන්නට අවශ්‍ය වේ. අපට අපේ සතුට ප්‍රාර්ථනා කිරීමේ හැකියාවක් නැතිනම් අපි කෙසේ නම් වෙනත් අයෙකුගේ සතුටක් පතන්නෙමුද?  බුදුදහම තුළ සතුට ප්‍රාර්ථනා කරන්නේ සියල්ලන් වෙනුවෙනි.

සතුට රඳා පවතින්නේ මානසික සැනසීම මත. එය රඳා පවතින්නේ කරුණාබර හදවතක් මත - 14 වන දලයි ලාමා වහන්සේ

වර්තමාන ලෝකයේ ඇති දේවලින් සිදුවන බලපෑමට අපට කිසිවක් කළ නොහැකියි සිතීම පහසුය. මේ නිසා, “මොනව වුණාම මොකෝ” යනුවෙන් අපි සිතමු. එහෙත් යථාර්ථය නම්, අප සම්පූර්ණයෙන්ම නොදන්නා පිරිසකට වුණත් ඔවුන්ගේ ශුභසාධනය ගැන සිතමින්, ඔවුන්ට උදවු කරන්නට උත්සාහ කරමින් අපට යම් බලපෑමක් එල්ල කළ හැකිය. පුංචි සිනහවකින්, එහෙම නැතිනම් පෝලිමේ සිටින අයෙකුට ඉදිරියට යන්න අවස්ථාව දීම වැනි කුඩා දෙයකින් පවා අපට යම් වෙනසක් කළ හැකි බවට හැඟීමක් ඇති වෙයි. අපට යමක් දෙන්න පුළුවන් වැනි ආත්මීය ඇගයීමක හැඟීමක් එයින් ඇති වේ. එය හොඳ හැඟීමකි. එමඟින් අපි අප තුළත් අපේ ජීවිත තුළත් වඩාත් සතුටින්පිරි අය බවට පත්වෙමු.

මේ අනුව, අපව අන් අය සමග සැබැවින්ම බද්ධ කර තබන්නේ ඔවුන්ගේ සතුට ගැන සහ ඔවුන්ට උපකාර කරන්නේ කෙසේද යන්න ගැන සිතීමය. අපේ වටිනාකම් තහවුරු කරගැනීමට සහ අපව සතුටු කරගැනීම පිණිස අන් අය වෙත එබී බැලීමෙන් මෙය සිදු නොවේ. එය එන්නේ තමා ගැන සිතන තත්ත්වය ඉක්මවා ගොස් අන් අයගේ යහපැවැත්ම ගැන සොයා බැලීමෙනි.

මිනිසුන් වන අපි සමාජීය සත්ත්වයෝ වෙමු: අපට වෙර වීරිය වැඩිය හැකි වන්නේ අප අන් අය සමග බැඳී සිටින විට පමණි. සතුටින්පිරි ජීවිතයක ජීවත් වීම පිණිස අප වගා කරගත යුතු දේවල් නම්, අන් අය කෙරෙහි දයාලු වීම, ඔවුන්ගේ ඕනෑ-එපා කම් සොයා බැලීම සහ ඔවුන්ට කරුණාවන්ත වීමය.

Top