සම්බෝධිය යනු කුමක්ද?

සම්බෝධිය යනුවෙන් අදහස් කරන්නේ බුදුබව ලැබීමය, එනම් මානව සංවර්ධනයේ සහ ශක්‍යතාවේ උපරිමය වෙත ළඟා වීමය. එය බුදුදහමේ අවසාන ඉලක්කය වේ. එය මේ පෘථිවියේ වසන සෑම සත්ත්වයෙකුටම ළඟා කරගැනීමේ හැකියාව ඇති දෙයකි.

මේ දැන් සිටින අපි බුදුවරු නොවෙමු. ඒ වෙනුවට, ගැටලුවලින්පිරි සහ නිරන්තර කඩාවැටීම් සහ නැඟිටීම් සහිත ජීවිතයක් අපි අත්විඳිමු. අපි මේ තත්ත්වය තුළ සිරවී සිටිමු. ඇයි ද යත්, අපේ මනස ඉබේම සෑම දෙයක් මතම තේරුමක් නැති දෙයක් පිළිබිඹු කරද්දි එය යථාර්ථය බව අප විශ්වාස කරන බැවිනි. අපට සතුට ගෙන දෙනවා’යි සිතෙන ක්‍රමවලට අනුව අප ක්‍රියා කරන නමුත් ඒවා අවසන් වන්නේ අපට අවාසනාව ගෙන ඒමෙන්ය.

සාමාන්‍යයෙන්, අපට කරන්න අවශ්‍ය දේ අනෙක් අයට කුමන විදිහේ බලපෑමක් එල්ල කරයිද යන කරුණ ගැන ඉතා අඩුවෙන් සිතා අපි ක්‍රියා කරමු. කුමක් නිසාද යත්, මේ විශ්වයේ කේන්ද්‍රය නොහොත් විමසා බැලිය යුතු එකම තැනැත්තා අප ය’යි අපට හැඟෙන නිසාය. මෙවැනි චින්තනයක් යථාර්ථය සමග පෑහෙන්නේ නැත. එය ආත්මාර්ථකාමී වන අතර අපටත් අන් අයටත් නොසතුට ගෙන දේමය. සම්බෝධියට පැමිණීමට නම්, අප පළමුව, 

  • අප මතත් අන් අය මතත් පැටවෙන අපේ හැසිරීම්වල ප්‍රතිඵල අවබෝධ කර ගැනීමත් එමඟින් විනාශකාරී ක්‍රියාවලින් වැළකී සිටීමත් ආරම්භ කිරීම අවශ්‍යය
  • තවදුරටත් අපේ ප්‍රතිනිර්මාණයන් අපව මුළාවට පත් කිරීම සිදුනොවන සේ ඇත්තටම සෑම දෙයක්ම පවතින්නේ කෙසේද යන්න ගැන යථාවබෝධයක් ලැබීමත් අවශ්‍යය.

අපගේ මානසික ප්‍රතිනිර්මාණයන් විශ්වාස කිරීම නවතා දැමූ විට, එම මෝහය මත පදනම් වී ගොඩනැඟෙන කෝපය, වෛරය, ආශාව සහ ඊර්ෂ්‍යාව වැනි කරදරකාරී මනෝභාවයන්ද අපි නවතා දමමු. අපගේ ඍණාත්මක හැඟීම් මත අපි කවමදාකවත් නැවත අවේගාත්මකව ක්‍රියා නොකරමු. මේ සියල්ලටම අවශ්‍යයි:

  • දුර්බුද්ධිමත් හැසිරීම්වලින් වැළකී සිටීමට අවශ්‍ය ශක්තිය සහිත සදාචාරාත්මක ස්වයං-ශික්ෂණය
  • විපිළිසර බව සහ ඔද්දල බව නැති කරන මානසික ඒකාග්‍රතාව
  • උපකාරී වන්නේ කුමක්ද හානිකරන්නේ කුමක්ද යන්නත් සත්‍යය කුමක්ද අසත්‍යය කුමක්ද යන්නත් තේරුම් බේරුම් කරගත හැකි ප්‍රඥාව
  • මෛත්‍රිය, කරුණාව වැනි ශුභවාදී ගුණධර්ම වගා කරගැනීමෙන් ඇති කරගත් මනෝභාවික සමතුලිත බව.

මෙමඟින් අපට මානසික සැනසීමක් ලැබුණත් එය ප්‍රමාණවත් නොවේ. සෑම දෙයකම සහ සෑම කෙනෙකුගේම ඔවුනොවුන් මත යැපීම සහ ඔවුනොවුන් අතර සම්බන්ධතාව දැකීමට අපට තවමත් නොහැකිය. මේ නිසා, අනෙකාට උපකාර කිරීමේ හොඳම ක්‍රමය අපට හරියටම තහවුරු කර ගත නොහැකිය.

මේ සඳහා, අපේ මනස කිසිසේත්ම ප්‍රතිනිර්මාණයන් බිහි නොකරන තත්ත්වය වන සම්මාසම්බුදු බව ලැබීම අවශ්‍යය. පවතින්නාවූ සෑම දෙයකම ඔවුනොවුන් මත යැපීම (ප්‍රතීත්‍යසමුත්පන්න බව) පැහැදිලිව දකී නම් අන් අයට පිහිට වන ආකාරය අපි හරිහැටිම දනිමු. එවිට, අපේ සිරුරුවලට අසීමිත ශක්තියක් ඇති වේ, සෑම කෙනෙකු සමගම ඉතා සාර්ථකව සන්නිවේදනය කළ හැකි වේ, එසේම අපේ මනස හැමදේම පාහේ අවබෝධ කරගනී. සෑම අයෙකුම අපේම ආදරණීය දරුවෙකු වැනිය යන හැඟීමෙන් අපේ මෛත්‍රිය, කරුණාව සහ සියලු සත්ත්වයන් කෙරෙහි සමසිත ඉතා බලවත් වේ. කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී අන් අයගේ යහපත උදෙසා අපි ක්‍රියා කරමු. අප සම්බෝධියට පත් වූ විට, අපගේ ඉවසීම නැති වී ගොස් කේන්තිය පැමිණීමද මිනිසුන් කෙරෙහි ඇලීමද අධික කාර්යබහුලත්වය හෝ අධික වෙහෙස නිසා ඔවුන්ව නොතකා හැරීමද සිදු නොවන්නේමය.

බුදුකෙනෙකු ලෙස අපි සර්වඥ වෙමු. එහෙත් සර්වබලධාරී නොවෙමු. අපට අන් අයගේ දුක දුරු කිරීමට නොහැකිය. එහෙත් ඔවුන්ට ඒ පිළිබඳව ඉගැන්වීම මඟින් සහ ජීවමාන උදාහරණයක් වීම මඟින් මාර්ගය පෙන්වා දිය හැකිය. සම්බෝධිය දක්වාම මාර්ගයෙහි ගමන් කිරීමට අපට

  • ධනාත්මක බලවේගවල අතිමහත් තැන්පතුවක් ගොඩනඟා ගැනීම අවශ්‍යය: එනම් අපට හැකි උපරිම අයුරින් ආත්මාර්ථයෙන් තොරව අන් අයට යහපත සැලසවීමය.
  • යථාර්ථය අවබෝධ කරගැනීම උදෙසා කටයුතු කිරීමට අවශ්‍යය: එනම් ලෝකය මත තෙරුමක් නැති දේ ප්‍රතිනිර්මාණය කිරීම නතර කිරීමය.

සම්බෝධියට අවශ්‍ය හේතු ගොඩනැංවීම උදෙසා ක්‍රියාත්මක අමුද්‍රව්‍ය අප සතුව ඇත. එනම්, භෞතික ශරීරය සහ මිනිස් බුද්ධියය. අහස මෙන්, අපේ මනස නැතහොත් හදවතද මනෝභාවික කැළඹීම් සහ කරදරකාරී සිතුවිලිවලින් ස්වභාවයෙන් දූෂණයෙන් වී නැත.  අප කරන්නට අවශ්‍ය වන්නේ ඒවායේ පූර්ණ හැකියාව වෙත ළඟා වෙන තුරු ඒවා වර්ධනය කිරීම පමණි.

සම්බෝධිය යනු ළඟා වීමට කිසිසේත් නොහැකි ඉලක්කයක්, නැතහොත් ළඟා කරගැනීමට අසීරු දෙයක් ලෙස පෙනී යාමට ඉඩ ඇත. කිසිවෙකුත් එය පහසුය’යි කියා නැත! එහෙත් එය ඉලක්ක කරගෙන ගමන් කිරීම ජීවිතයට ඉමහත් අර්ථයක් ගෙන දෙයි. සෑම කෙනෙකු සමගම අපගේ අන්තර්-සම්බන්ධතාව වටහා ගැනීමෙන් අපි අපවම මානසික අවපීඩනයෙන් සහ කාංසාවෙන් රැකගනිමු. සියල්ලන්ගේ යහපත උදෙසා සම්බෝධියට පැමිණීම යන ශ්‍රේෂ්ඨතම වීර චාරිකාවට ගොඩබට විට අපේ ජීවිත පරිපූර්ණ වේ.

Top