බුදු දහම තුළ යාඥාව යනු කුමක්ද?

Study buddhism prayer 02

සුමේරියානු පන්සල්වල දේවස්තෝත්‍රවල සිට දෙවිවරුන් වෙත සිදුකරන ලද පෞරාණික ඊජිප්තු යැදුම් දක්වාද මනුෂ්‍ය ශිෂ්ඨාචාරයේ පවත්නා ඇතැම් පැරණිතම සාහිත්‍යයන් යාඥාව හා සම්බන්ධ වේ. වර්තමානයේ ලොව සියලු ප්‍රධාන ආගම් තුළ යාඥාවේ යම් මූල ලක්ෂණයක් ගැබ්ව පවතී. ක්‍රිස්තියානින්, මුස්ලිමුන් හා යුදෙව්වන් දෙවියන් වහන්සේට යාඥා කරන අතර හින්දු ලබ්ධිකයන් හට සිය අයැදුම් ඉදිරිපත් කිරීම පිණිස විවිධාකාර වූ දෙවිවරුන් අතරින් තෝරා ගැනීම් සිදුකළ හැක. බාහිරව ගත්කල ‍බුදු දහම තුළද මෙයට වෙනස් අකාරයක් නොපෙනේ. ඕනෑම බෞද්ධ රටක පාහේ පවත්නා පන්සලකට හෝ ආරාමයකට ගොස් විමසා බැලුවහොත් දෑත් එක්කොට වන්දනාමාන කරන සුවිශාල පිරිසක් බුද්ධ ප්‍රතිමා ඉදිරිපිට සිට සිය යැදුම් සිදුකරන ආකාරය දැකගත හැකිවනු ඇත. තිබ්බතීය බුදු දහම සම්බන්ධ අවබෝධයක් ඇති පිරිස් සම්බන්ධයෙන් ගත් කල, යැදුම් මාලා, යැදුම් චක්‍ර හා යැදුම් දද ලෙස වූ විවිධාකාර යැදුම් ක්‍රම එහිද පවතී.

යැදුම නමැති කර්තව්‍යය තුළ සාධක තුනක් පවතී: එනම්, යදින්නා, යදින කාරණය හා යැදීම සිදුකරන වස්තුව වශයෙනි. මෙලෙසින් බුදු දහම තුළ යැදුම නමැති පැණය තරමක් සංකීර්ණ එකක් වේ.  කෙසේ වුවද, මැවුම්කරුවෙකු රහිත අදේවවාදී ආගමක, බෞද්ධයන් යදින්නේ කා හට කවරක් උදෙසාද? අප මත ආශිර්වාද පනවන්නට කිසිවෙකු හෝ නොමැත්තේ නම් යැදුමේ අරුත කවරක්ද?  ‍‍බෞද්ධයන් සම්බන්ධයෙන් සලකා බලන කල, අත්‍යවශ්‍ය පැනය වනුයේ "අපගේ දුක හා ගැටලු අන් කිසිවෙකු විසින් මුළිනුපුටා දැමිය හැක්කේද?' යන්නයි.

හුදෙක් වෙනසක් උදෙසා යාඥා කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. යම් ක්‍රියාවක් පැවතිය යුතුය. -පරම පූජනීය 14වන දලයි ලාමා වහන්සේ

තමන් වහන්සේ තුළ පවත්නා සියලු ප්‍රඥාව හා හැකියාවද සහිතව තමන් වහන්සේද ඇතුළත් කිසිදු අයෙකු හට අප වෙනුවෙන් අපගේ සියලු ගැටලු මුලිනුපුටා දැමිය නොහැකිවන බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. එය කළ නොහැක්කකි. අප විසින් අප වෙනුවෙන් වූ වගකීම දැරිය යුතුය. අපි ගැටලු හා දුක් අත් විඳීමට අකමැති නම් ඒවාහි හේතු වැළැක්විය යුතුය. සතුට අත් විඳීමට කැමැත්තෙමු නම්, සතුටේ හේතු නිර්මාණය කරගත යුතුය. බෞද්ධ දෘෂ්ටි කෝණයකින් සලකා බලන කල, පිරිසිදු පුණ්‍ය චරියාව හා ආචාර ධර්ම අනුගමනය කිරීමෙන් මෙය සාක්ෂාත් කරගත හැක. අපට අවශ්‍ය වන්නාවූ ජීවිතය නිර්මාණය කරගැනීම සඳහා අපගේ හැසිරීම හා ආකල්පය වෙනස් කරගැනීම මුළුමනින්ම අප සතු කාර්යයකි.

බෞද්ධයන් යදින්නේ කා හටද?

පුද්ගලයන් විසින් පිළිමයන් වෙත නමස්කාර කරමින්, පන්සල්වලදී සුවඳ දුම් පූජා කරමින්, ශාලාවන්හි කවි ගායනා කරනු දකින විටදී, ඔවුන් කුමක් නම් ඉල්ලා සිටින්නේද හා ඔවුන් යදින්නේ කා හටද යන පැණය ඉස්මතු වේ. "ශාක්‍යමුණි බුදුරජුනි, කරුණාකර මා හට මර්සිඩිස් රථයක් ලබා දෙන්න" හෝ "ඔසු බුදුනි, කරුණාකර මාගේ රෝගී තත්ත්වය සුව කරන්න" යන සිතිවිල්ල සහිත පුද්ගලයන් සිටිය හැකි අතර, මෙයාකාරයේ යැදුම් තුළින් එතරම් සෙතක් නොසැලසෙන බව බොහෝ බෞද්ධ ගුරුවරුන් විසින් පැවසිය හැක.

ඒ වෙනුවට, බුදු දහම තුළ අපට අපගේම සතුටේ හේතු නිිර්මාණය කරගනිමින් හැකිතාක් දුරට අන්‍යයන් වෙතද සෙත සැලසීමට හැකිවනු පිණිස අවශ්‍ය ප්‍රවර්ධනයන් ඇතිකර ගැනීමේ ශක්තිය හා ආභාසය ස‍ඳහා බුදුරජාණන් වහන්සේ හා බෝධිසත්ත්වයන් වෙත යදින්නෙමු. එහිදී උන් වහන්සේලා අත යම් ඉන්ද්‍රජාලික යෂ්ඨියක් ඇති අතර ක්ෂණිකව එවැනි කටයුතු සිදු කිරීමේ යම් විශේෂ බලයක් ඇති බවක් අදහස් නොවන නමුදු,  උන් වහන්සේලා අපගේ චරිතාදර්ශකයන් ලෙස කටයුතු කරන බැවින් ඔවුන් ආදර්ශයට ගනිමින් "මටද එය කළ හැකිය" යන විශ්වාසයෙන් සිත් පුරවා ගන්නෙමු.

සූත්‍ර සජ්ජායනය, මන්ත්‍ර ජප කිරීම මෙන්ම දෙවිවරුන් සිතින් මවාගැනීම වැනි බෞද්ධ යැදුම් ක්‍රියාකාරකම් සියල්ල කරුණාව, උද්යෝගය, ඉවසීම ආදී ධනාත්මක භාවයන් ගොඩනගා ගැනීමේ අපගේම අභ්‍යන්තර හැකියාව සමගින් සම්බන්ධ වී අන්‍යයන් වෙත උපකාර කිරීමේ ධනාත්මක චර්යාවන්හි නිරත වීම හා සම්බන්ධ වේ.

සත් ඉන්ද්‍රිය යැදුම

සමස්ත බෞද්ධ මාර්ගයේ සාරය තුළ අන්තර්ගත සත් ඉන්ද්‍රිය යැදුම වූකලි ප්‍රකට පිළිවෙතකි. කොටස් සතක් පවත්නා අතර ඒ එක එකක් තුළ නිශ්චිත ඵලයක් පවතී:

(1) ලොව පවත්නා සියලු පරමාණු සංඛ්‍යව මෙන් සුවිශාල ශරීර සංඛ්‍යාවකින් හිස නමමින් තුන් කාලයටම තේජස ලබාදී ඇති සියලු බුදුවරුන්ටද, ධර්මයටද ආර්ය සංඝ රත්නයටද මාගේ නමස්කාරය වේවා.

(2) මංජුශ්‍රී හා අන් අය විසින් ඔබ වහන්සේ වෙත පූජාවන් පවත්වන ලද අයුරින්ම, ජයග්‍රාහී විලාසයෙන් මමද මාගේ සැබෑ ආරක්ෂකයා හා ඔබ වහන්සේගේ ආධ්‍යාත්මික පරපුර වෙතද පූජාවන් පවත්වමි.

(3) මාගේ මෙම ආරම්භයක් නොපෙනෙන සාංසාරික පැවැත්ම පුරා මෙම ජීවිතයේදී හා අනෙකුත් ජීවිත තුළද, මවිසින් නොදැනුවත්වම පාප ක්‍රියාවන්හි නිරතව ඇති හෝ අන් අය ලවා එවන් ක්‍රියාවන් සිදුකොට හෝ ඇති අතර, තවද, මෝහයේ ව්‍යාකූලත්වයෙන් ම‍ඬනා ලදුව, මවිසින් ඒවා සතුටින් සිදුකර ඇත. ඒවා කවරේ වුවද අත් වැරදීම් ලෙස වටහා ගනිමින් මාගේ මුළු හද පත්ලෙන්ම මාගේ ආරක්ෂකයන් වෙත ප්‍රකාශ කොට සිටිමි.

(4) සියලු සීමිත සත්ත්වයන් වෙත සතුට ගෙන එනු පිණිස ඔබ වහන්සේ විසින් පවත්වාගෙන යන බෝධිචිත්ත අරමුණුවලට සම්බන්ධ ධනාත්මක බලයේ හා සීමිත සත්ත්වයන් වෙත ආධාරකව පවත්නා ඔබ වහන්සේගේ ක්‍රියාවන් පිළිබඳ සාගරය තුළ සතුටින් ප්‍රීති වෙමි.

(5) සියලු දිශාවන්හි වැඩ වාසය කරන බුදුවරුනි, දෑත් එක්කොට මෙසේ අයැද සිටිමි: දුක් විඳිමින් අන්ධකාරයේ හසරක් නොදැක ගමන් ගන්නා සීමිත සත්ත්වයන් සඳහා කරුණාකර ධර්මයේ පහන දල්වන්න.

(6) දුක්ඛ සාගරයෙන් එගොඩ වන්නාවූ ජයග්‍රාහකයාණනි, දෑත් එක්කොට මෙසේ අයැද සිටිමි: මෙසේ සසර අයාලේ ගමන් කරන සත්ත්වයන් අන්ධකාරයෙහි හැර නොයමින් කල්ප ගණනාවක් අප සමගින් වැඩ වාසය කරන ලෙස අයැද සිටිමි.

(7) එයාකාරයෙන් මවිසින් සිදුකරන ලද මෙකී සියලු කටයුතු මගින් මවිසින් ගොඩනගන ලද යම් ධනාත්මක බලයක් වේනම්, එතුළින් මා හට සියලු සීමිත සත්ත්වයන්ගේ දුක නිවාලීමට හැකිවේවා.
  • යැදුමේ පළමු කොටස නමස්කාරයයි . බුදුවරුන් විසින් නියෝජනය කරනු ලබන සියල්ලට සිදුකරන ගෞරවයේ සලකුණක් ලෙස උන් වහන්සේලා වෙත නමස්කාර කරන්නෙමු. එසේ නියෝජනය කරන ගුණයන් වනුයේ කරුණාව, ප්‍රේමය හා ප්‍රඥාවයි. හිස හෙවත් අපගේ සිරුරේ මුදුන් කොටස බිම පිහිටුවා කරන නමස්කාරය උඩඟුකම මැඩ පවත්වා නිහතමානිත්වය ගොඩනගා ගැනීමටද අපට උපකාරී වෙයි.
  • ඉන්පසු අපි පූජාවන් පවත්වමු. බොහෝ බෞද්ධයන් විසින් ජල බඳුන් පූජා කරන නමුත් එයට අදාළ වස්තුව කවරක්ද යන්න එතරම් වැදගත් නොවේ. වැදගත් දෙය වනුයේ ඇල්ම මැඩ පැවැත්වීමට අපට උපකාරී වන්නාවූ ලෙස අපගේ කාලය, උත්සාහය, ශක්තිය මෙන්ම අපගේ සන්තකයන්ද දීමේ පෙළඹීමයි.
  • තෙවනුව, අපි අපගේ අඩු ලුහුඬුකම් හා අත් වැරදි පිළිගමු. ඇතැම් අවස්ථාවන්හි අපි කම්මැලි හා ආත්මාර්ථකාමී වන අතර ඇතැම් අවස්ථාවන්හි ඉතා හානිකර ආකාරයන්ගෙන් කටයුතු කරන්නෙමු.  අපි මේවා පිළිගනිමින්, ඒ වෙනුවෙන් පසුතැවිලි වෙමින් එම අත් වැරදි නැවත නැවතද සිදු නොකරනු පිණිස වූ දැඩි අදිටන සමගින් ඉදිරියට ගමන් කරන්නෙමු. මෙය සෘණාත්මක කර්ම ආවේගයන්හි බලපෑමට යටත්ව සිටීමේ තත්ත්වය මැඩපැවැත්වීමේ කාර්යයෙහි කොටසකි.
  • ඉන්පසු අපි ප්‍රීති වෙමු.  අප විසින්ම සාක්ෂාත් කරගෙන ඇත්තාවූ සියලු යහපත් දේ පිළිබඳවද, අන් අය විසින් සිදුකර ඇති අසිරිමත් පුණ්‍ය කටයුතු පිළිබඳවද සිතන්නෙමු. බුදුවරුන් විසින් සිදුකර ඇති මහා දේවල් පිළිබඳවද සිතා බලමු. මෙය ඊර්ෂ්‍යාව වෙනස් කිරීමට උපකාරී වේ.
  • ඉන්පසු, අපි දේශනා පවත්වන ලෙස ඉල්ලමු. එමගින් අප තුළ එම දේශනා ලබාගැනීමේ මානසික ස්වභාවයක් නිර්මාණය කරනු ලබයි. "අපිට ඉගෙනීමට අවශ්‍ය අතර, අපටම මෙන්ම අන් අයටද සතුට නිර්මාණය කිරීමට අපට අවශ්‍යයි" යනුවෙන් පවසමු.
  • අප හැර නොයන ලෙස ගුරුවරුන්ගෙන් අයැද සිටිමු. මෙකී පෙර කොටසේදී, අපි දේශනාවනට විවෘතව සිටින අතර, දැන් අපට ගුරුවරුන් අප හැර නොයා අපට සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් වනතුරු ධර්මය දේශනා කිරීමට අවශ්‍ය වේ.
  • අවසන, කැපවීම නමැති වඩාත් වැදගත් පියවරට එළැඹේ. එමගින් අප වෙත මෙන්ම අන් සියලු දෙනා වෙතද ප්‍රයෝජනයක් සැලසෙනු පිණිස අප විසින් නිමවන ලද යම් ධනාත්මක බලයක් වේනම් එය කැප කරමු.

මෙම යැදුමෙන් පෙනෙන පරිදි, බුදු දහමේ අරමුණ වනුයේ යම් බාහිර බලවේගයක්, සත්ත්වයෙකු ඉහළින් පියඹා පැමිණ අප අපගේ සියලු ගැටලුවලින් මුදවා ගැනීම නොවේ.  "අශ්වයා දිය පහරට කැටුව යා හැකි නමුත් ඌට ජලය පෙවිය නොහැක" නමැති කියමනට අනුව, බුදුන් වහන්සේලා විසින් අපට මාර්ගය පෙන්වා දෙනු ලබන නමුදු ඇල්ම හා නොදැනුවත්භාවය මැඩ පවත්වමින් අප සියලු දෙනා සතු අසීමිත පුණ්‍ය විභවයන් ගොඩනගා ගැනීමේ හා අප සියලු දෙනා සතු අසීමිත ධනාත්මක විභවයන් ගොඩනගා ගැනීමේ උත්සාහය අප විසින් පෞද්ගලිකවම දැරිය යුතුය.

අවසානය

බාහිරව බුදු දහම තුළ යැදුම්වලට අදාළ ආයිත්තම් හා සිරිත් විරිත් පවත්නා අතර, එහි අදහස වනුයේ අපගේ එදිනෙදා ජීවිත තුළ සහාය සඳහා බාහිර සත්ත්වයෙකු වෙත යැදුම් සිදුකිරීම නොවේ. බුදුවරුන් හා බෝධිසත්ත්වයන් යනු අප දැන් සිටින මට්ටමේ සිට සම්මා සම්බද්ධත්වය දක්වා අප වෙත මඟ කියන්නාවූ සර්ව සම්පූර්ණ චරිතාදර්ශයෝ වෙති. බුදුවරුන් හා බෝධිසත්ත්වයන් වෙත යාඥා කිරීම තුළ උන් වහන්සේලා වෙතින් ආභාසය ලබන අපි අපගේ පෞද්ගලික අභ්‍යන්තර හැකියාවන් අවදි කරගන්නෙමු: එසේ අවදි කරගනු ලබන්නේ අප සියලු දෙනා තුළ පවත්නා සීමා රහිත කරුණාව, ප්‍රේමය හා ප්‍රඥාවයි.

Top