Study buddhism dino 1 1

ඩාවින්ගේ පරිණාමවාදය තුළ ස්වභාවික තෝරාගැනීමේ ක්‍රියාවලිය හා සත්ත්ව වර්ගයාගේ ජීව විද්‍යාත්මක ශරීර වෙනස්වන ආකාරය විමසා බලනු ලබයි. ජීවීන්ගේ සම්භවය (The Origin of the Species) නමින් කරන ලද ඔහුගේ කෘතිය තුළ එහි අන්තර්ගතය මිථ්‍යාමතික වූවක් බවට සලකන ලද්දේ එම න්‍යාය තුළ පිහිටුවන ලද ලෝකයක් හා එතුළ වාසය කරන්නාවූ සියලු නොවෙනස් සත්ත්වයන්ද සර්ව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙකු විසින් මවන ලද්දේය යන අදහසට විරුද්ධ අදහසක් ඉදිරිපත් කරන ලද බැවිනි. අද දිනයේ පවා ඇතැම් ආගම් තුළ පරිණාමවාදය සඳහා එතරම් ඉඩකඩක් විවරව නොමැති අතර, මෙම පොදු අදහසට එරෙහිවන කිසිවක් හෝ බෞද්ධ දේශනා තුළ දක්නට නොලැබේ. සත්‍ය වශයෙන්ම, බෞද්ධයන් සම්බන්ධයෙන් ගත්කල, මෙම න්‍යාය නිර්මාණවාදය සමගින් නොව පටිච්ච සමුප්පාදය සම්බන්ධ බුදුන්ගේ දේශනාවන් සමගින්ද, ධර්මයේ මුද්‍රාවන් අතරින් පළමුවැන්න වන අනිත්‍යය සමගින්ද මුළුමනින්ම අනුගත වේ. ප්‍රපංචයෝ බොහෝ වූ හේතු ප්‍රත්‍ය ගණනාවක් මත පදනම්ව නිරතුරු ඉස්මතු වීම හා පරිණාමය වීම සිදුවන අතර, අස්ථිතිකත්වයේ මෙකී මහා ධාරාවේ කොටසක් බවට සතුන් මෙන්ම මනුෂ්‍යයන්ද පත් නොවී නම් එය අසාමාන්‍ය දෙයක් විය යුතුය.

මින් අදහස් වනුයේ කාලය හා පරිණාමය සම්බන්ධ බෞද්ධ අදහස මුළුමනින්ම ඩාවින්ගේ අදහස හා අනුගතවන බවක් නොවේ. ඩාවින්ගේ න්‍යාය තුළ චේතනාව ඉස්මතු විය හැකි ජීව විද්‍යාත්මක හා‍ භෞතික පදනම් මත අවධානය යොමු කෙරෙන අතර ජීව ආකෘති වඩාත් සංකීර්ණ වන්නට වන්නට වඩ වඩාත් වර්ධනය වන දැනුම සම්බන්ධ අදහසක් පැවතියද, පහළම තලයේ ජීවිත ආකෘතීන්හි සිට බුදුවරයෙකුගේ සම්මා සම්බුද්ධත්වය දක්වා වූ පරිණාමය දක්වා බුදුරජාණන් වහන්සේ විසින් ගෙනහැර දක්වන පරිණාමවාදය තරම් ගැඹුරට එය නොවිහිදේ. තවද, ඩාවින් විසින් සමස්ත ජීවයේ පරිණාමය පිළිබඳව කථා කරන අතර, බුදු දහම තුළ මෙයට අමතරව එක් එක් සත්ත්වයා තුළ සිදුවන දැනුමේ පරිණාමය සම්බන්ධවද කථා කරනු ලබයි.

තවද, ඩාවින්ගේ පරිණාමය තුළ ක්‍රමික හා නිරන්තර 'ප්‍රවර්ධනයක් පවතී' - එනම්, ජීවීන් ක්‍රමිකව හා ධනාත්මකව සිය ආරක්ෂාව හා වර්ගයා බෝ කිරීම සඳහා වඩාත් යහපත් වන්නාවූ ස්වරූපයන් දක්වා සංවර්ධනය වන බවයි. ඕනෑම සවිඥාණික සත්ත්වයෙකු බහුවිධ වූ ස්වරූප ගණනාවක නැවත උත්පත්තිය ලැබිය හැකි අතර මෙම ක්‍රියාවලිය සරල රේඛීය වර්ධනයක් ලෙස සිදු නොවන බව බුදු දහම තුළ දේශනා කරනු ලබයි. එක් එක් සත්ත්වයා හා සමස්ත ජීවී වර්ගද කර්මය හා හේතුප්‍රත්‍යද මත පදනම්ව පසුපසට හෙවත් පහළ තත්ත්වයකට ඇද වැටිය හැක. මෙලෙසින්, විස්තර කිරීම් එකිනෙකට වෙනස් වුවද, මෙම ක්‍රම දෙක තුළම පරිණාමය සම්බන්ධ මූලධර්මය දක්නට ලැබේ.

විශ්වයේ පරිණාමය හා බිඳී යාම

විද්‍යාඥයන්ට අනුව, වසර බිලියන 14කට පෙර සිදුවූ මහා පිපිරීම, සීඝ්‍රගාමී විශ්ව ව්‍යාප්තිය කාලයේ ආරම්භය වූ අතර එමගින් වසර බිලියන 4කට පෙර අපගේ ග්‍රහලෝකය ඇතිවීමේ පදනම නිර්මාණය කරන ලදී. කල් ගතවීමේදී, හයිඩ්‍රජන් වායුව විවිධ තාරකා හා ග්‍රහලෝක බවට වැඩිදියුණු වූ අතර, වර්තමානයේ පෘථිවිය ලෙස හැඳින්වෙන මෙකී ඒක සෛලීය ජීවය ඉස්මතු විය. ඉන්පසු මේවා ක්‍රමිකව සංකීර්ණත්වයෙන් වැඩිදියුණු වෙමින් වර්තමානයේ අපට දක්නට ලැබෙන විවිධ උසස් ජීව ස්වරූප බවට වර්ධනය විය. විශ්වය පුළුල් වෙමින් පරිණාමය වන වසර බිලියන ගණනාවකට පසුව විශ්වය අවසානයකට ළඟාවන අතර එය සිදුවනු ඇත්තාවූ ආකාරය සම්බන්ධ ඔවුන් විසින් විවිධ න්‍යායන් උපකල්පනය කරනු ලබයි.

ආරම්භය පිළිබඳ දැනුම සම්බන්ධ සූත්‍රය හෙවත් පාලි භාෂාවෙන් අග්ගඤ්ඤ සූත්‍රය ලෙස හැඳින්වෙන සූත්‍රය තුළ විශ්වයේ පරිණාමය හා අවසානයේ එය විසිර යන ආකාය පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින් සාකච්ඡා කර ඇත. එතුළ උන් වහන්සේ විසින් අපගේ ග්‍රහලෝකය මත පවත්නා පරිසරය සැකසී අවසන විසිර යන ආකාරය මෙන්ම විවිධ ජීවීන් වර්ග ඉස්මතුවී අවසානයේ වඳවී යන ආකාරයද, විවිධ සමාජයන් ගොඩනැගී ඒවාද අවසන වියැකී යන ආකාරයද විමසා බලනු ලබයි. කෙසේ වුවද නවීන විද්‍යාව හා බුදු දහම අතර පවත්නා එක් වෙනසක් වනුයේ විශ්වයේ ඉස්මතුවීම, පැවැත්ම හා නැවැත්මද එවන් බොහෝ සිද්ධි සහිත චක්‍රයක එක් කොටසක් පමණක් වන අතර කාලයට ආරම්භයක් හෝ අවසානයක් නොමැති බවට වූ බුදුන් වහන්සේගේ දේශනාවයි. සූත්‍ර දේශනාව තුළ මෙසේ ප්‍රකාශ වේ:

වාසෙට්ඨය, යම් කලෙක, බොහෝ දිගු කලක් ඇවෑමෙන් මෙම ලෝකය විසිර යනු ඇත…  එනමුත්, යම් කලෙක, බොහෝ දිගු කලක් ඇවෑමෙන් මෙම ලෝකය පරිණාමය වනු ඇත. වාසෙට්ඨය, එසමයෙහි ලොව එකම ජල දහරාවක් වනු ඇති අතර දසත පැතිර ගිය ගණ අන්ධකාරයක් රජයනු ඇත. ඉර, හඳ නොපෙනේ, තාරකා හා තාරකා මණ්ඩල නොපෙනේ, දිවා රෑ නොපෙනේ, සති හා මාස නොපෙනේ, සෘතු හා වර්ෂයන්ද නොපෙනේ, ස්ත්‍රීන් හා පුරුෂයන්ද නොපෙනේ. සත්ත්වයෝ හුදෙක් සත්ත්වයන් ලෙස (පමණක්) වර්ග කෙරේ….

සත්ත්වයන් සම්බන්ධ සඳහනක්ද සහිතව මෙහි බුදුරජාණන් වහන්සේ විසින් ඉතා පැහැදිලි ලෙස ග්‍රහලෝක මණ්ඩල, මන්දාකිණි පිළිබඳව කථාකරන බව වටහාගත හැක. විවිධ ජන පන්ති පෙළක්ද සමගින් සමාජයන් ගොඩනැගෙන ආකාරය හා ස්ත්‍රී-පුරුෂභාවයන් ඉස්මතුවන ආකාරයද මෙම සූත්‍රය තුළ ඉදිරියට විස්තර කරනු ලබයි. ඉන්පසු එතුළ පරිසරය හා සත්ත්වයන්ද විනාශවී අතුරුදන් වන ආකාරයද විස්තර කරනු ලබයි.

මෙම සූත්‍රය තුළින් හා පටිච්ච සමුප්පාදය හා අනිත්‍යය සම්බන්ධ බෞද්ධ දේශනාවන් තුළින්ද මහා පිපිරීම හෝ මෙම විශ්වයේ අවසානය සම්බන්ධ ඔවුන්ගේ කවර වූ හෝ න්‍යායක් ද පිළිගැනීම සම්බන්ධ පරස්පරයක් නොපෙනේ.

සිරුරු සම්බන්ධ පරිණාමය.

දැන්, ජීව විද්‍යාත්මක ශරීර හා සම්බන්ධ පරිණාමය වඩාත් සමීපස්ථව විමසා බලමු. මෙතුළ පරිණාමවාදය පැහැදිලි වේ - එනම්, අප සියලු දෙනා ඒක සෛලීය සත්ත්වයන් ලෙස සිට පරිණාමය වු බවයි. ඩාවින්ගේ න්‍යාය තුළ සත්ත්වයන් පහළ සිට ඉහළට ගමන් කරන ආකාරයකට හෙවත්, වැඩිදියුණුවන දිශාවට පමණක් පරිණාමය වීමේ සහජ ප්‍රවණතාවයක් යෝජනා කරනු ලබයි. ග්‍රහලෝකයේ භෞතික ජීව ආකෘති හා එතුළ නැවත නැවතද උත්පත්තිය ලබන සත්ත්වයන්ගේ චිත්ත සන්තතිවල අඛන්ඩතාවය අතර ඉමහත් වෙනසක් පවත්නා බව බුදු දහම තුළ ප්‍රකාශ වන බැවිනි.

මෙම ග්‍රහලෝකය තුළ ඉබාගා‍තේ සැරැසැරූ ඩයිනෝසරයන් සිටි නමුදු මේවන විට ඔවුන් වඳවී ගොස් ඇත. දැන් අපට ඩයිනෝසරයෙකු ලෙස පුනරුත්පත්තිය ලැබිය නොහැක්කේ මන්ද? විද්‍යාත්මක න්‍යායනට අනුව, වසර මිලියන 66කට පමණ පෙර, පසුකාලීනව පෝෂණය වී වර්ධනය වූ මනුෂ්‍යයන් වැනි ක්ෂිරපායී සතුන් නොව, ඩයිනෝසරයන් වඳවී යාමට හේතුවූ ඉමහත් ව්‍යසනකාරී සිදුවීමක් සිදුවිය. ඩයිනෝසරයන් "යෝග්‍යතමයන් නොනැසී ඉතිරිවීමේ" තරගය තුළ නොනැසී පැවතීමට අසමත් වූ බැවින් ඔවුන් විශ්වයෙන් ඉවත්වූ බව ඩාවින්ගේ න්‍යාය තුළ ප්‍රකාශ විය හැක.

බෞද්ධ දෘෂ්ටි කෝණයකින් සලකා බලන කල, කර්ම බලවේග හා විභවතාවයන් ‍වැඩී වර්ධනය වීම සඳහා සුදුසු හේතු සාධක පැවතිය යුතු වේ. ඩයිනෝසරයෙකු වශයෙන් පුනරුත්පත්තියක් ලැබීමේ හේතු සාධක මෙම මොහොත තුළ මෙම ග්‍රහලෝකයේ නොපවතී. ඒ වෙනුවට, පුනරුත්පත්තිය සඳහා අප සතුව විවිධාකාර වූ සෙසු භෞතික පදනම් ගණනාවක් පවතී. මේවාද කාලයත් සමග වෙනස් වීමේ නියමයට යටත් වේ. සැබැවින්ම අපගේ විශ්වයේ වෙනත් කොටසක වෙනත් ග්‍රහලෝකයක මේවන විටද ඩයිනෝසරයන් සිටින්නේ නම්, එහි ඩයිනෝසරයන් ලෙස අපගේ පුනරුත්පත්තිය සිදුවිය හැකි බව බුදු දහම තුළ පිළිගත හැක.

පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් විද්‍යාඥයන් සමගින් පවත්වන ලද සාකච්ඡාවකදී, පරිගණකවලට හැඟීම්, දැනීම් සහිත සත්ත්වයන් බවට පත්විය හැක්කේද යන පැනය උන් වහන්සේගෙන් විමසන ලදී: යම් දිනක පරිගණකවලට සිත් සතන් ඇතිවිය හැකිද? ළගන්නා සුළු ලෙස උන් වහන්සේ විසින් ලබාදුන් පිළිතුර තුළ ප්‍රකාශ වූයේ චිත්ත සන්තතියක් සඳහා අවශ්‍ය පදනම ලෙස ක්‍රියාත්මක වීමේ දියුණුව සහිත තත්ත්වයකට පරිගණකයක් හෝ රොබෝවරයෙකු ළඟා වුවහොත්, සිය ජීවිත අතරින් එකක භෞතික පදනම ලෙස මුළුමනින්ම අනෛන්ද්‍රීය යන්ත්‍රයක් සමගින් චිත්ත සන්තතියකට සම්බන්ධ විය නොහැකි වීමට හේතුවක් නොමැත.

පරිගණකයක් යනු සිතක්ය යන්න මෙමගින් ප්‍රකාශ නොවේ. එමගින් පරිගණකයක් තුළ කෘත්‍රිමව සිතක් නිර්මාණය කළ හැකි බවක් ප්‍රකාශ නොවේ. කෙසේ වුවද, පරිගණකයක් අවශ්‍ය තරම් දියුණු කළහොත්, චිත්ත සන්තතියකට එය හා සම්බන්ධව එය සිය භෞතික පදනම බවට හරවාගත හැක. මෙය වූකලි ඩාවින් න්‍යායටද වඩා ඉදිරියට විහිදෙන්නකි.

බුදුරජාණන් වහන්සේ පරිණාමය පිළිබඳව වඩා තොරතුරු විස්තර නොකළේ මන්ද?

බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වූ පසු සියල්ල දත් අයෙකු බවට පත්වූ අතර, එකී සර්ව සම්පූර්ණ දැනුමක් සහිත අයෙකු ලෙස බුදුන් වහන්සේ දකිනා දෘෂ්ටි කෝණයක් තුළ විශ්වයේ ක්‍රියාකාරිත්වය හා සත්ත්වයන්ගේ පරිණාමය සම්බන්ධයෙන් උන් වහන්සේ වඩාත් විස්තරාත්මකව හෙළිදරවු නොකළේ මන්ද යන පැනය අපගේ සිතට නැගිය හැක.

පොදුවේ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සියලු දෙය තුළ අර්හත් හා සම්මා සම්බුද්ධ ඵල දක්වා වූ අපගේ මාර්ගය හෙළි කිරීමේ අරමුණ පැවතිණි. මෙලෙසින්, විශ්වයන් හා එතුළ සිටින සත්ත්වයන් පසු කරන්නාවූ සුවිශාල චක්‍රයන් පිළිබඳ විස්තර කිරීමේ උන් වහන්සේගේ අරමුණ වූයේ පුද්ගලයන් හට තමා ලද අගනා මනුෂ්‍ය පුනරුත්පත්තියේ දුර්ලභත්වය අවබෝධ කරගැනීමට උපකාර කිරීම විය. එහි පවත්නා දුර්ලභත්වය හා එවන් පුනරුත්පත්තියක් නැවත ලැබීමේ දුර්ලභත්වයද ඇගයීමට ලක් කරන තත්ත්වයක මෙකී ආධ්‍යාත්මික අරමුණු සාක්ෂාත් කරගැනීමෙහි ලා තමා දැනට ලබා ඇති තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නැවතද පුද්ගලයන් හට අනුප්‍රාණයක් ලැබෙනු ඇත. බුදුන් වහන්සේ මෙලොවට පහළ වනුයේ අපට විශ්වය පිළිබ‍ඳ අවකාශ විද්‍යාව හෝ තාරකා භෞතික විද්‍යාව ඉගැන්වීමට නොවේ.

එම අරමුණට අදාළ නොවන්නාවූ ගැටලු සම්බන්ධයෙන් විමර්ශනයන් සිදුකිරීම කාලය හා ශක්තිය අප‍තේ යැවීමක් ලෙස සලකනු ලැබේ. විශේෂයෙන් අපගේ සිත් ව්‍යාකූලත්වයෙන් පිරී අප කැළඹිලිකාරී භාවයන් හෙවත් ක්ලේෂයන්ගෙන් ක්‍රියාත්මකවන විටදී, විශේෂයෙන් අදාළ විෂය පිළිබඳ සාවද්‍ය තොරතුරු විශ්වාස කිරීමේ පදනම තුළ, විශ්වය හා එතුළ වාසය කරන සවිඥාණික සත්ත්වයන් පිළිබඳ සිතා බැලීම මගින් හුදෙක්ම අප අර්හත්වයට පත් වී අන් අයට උපකාර කිරීමේ හැකියාව ලබාගැනීම නමැති අපගේ අරමුණින් ඉවත් කරනු ඇත. එමගින් තව තවත් අපගේ මනස ව්‍යාකූල කිරීමක් පමණක් සිදුවනු ඇත.

මෙකරුණ විදහා දක්වන බුදුන් වහන්සේ‍ගේ ජීවිතයෙන් ගතහැකි කථා කිහිපයක් වේ. නිදසුනක් ලෙස, විශ්වය සදාකාලිකද, නැත්ද හා මරණයෙන් පසු ආත්මය තවදුරටත් පවත්නේද, නැත්ද යන කරුණු බුදුන් වහන්සේගෙන් විමසන ලදී. මෙම සියලු අවස්ථාවන්හි බුදුන් වහන්සේ පිළිතුරු නොදෙන්නාවූ නිහඬ පිළිවෙතක් අනුගමනය කළ සේක. අවසන, පුද්ගලයන් ව්‍යාකූලත්වයට පත්ව දේව නිර්මාණවාදය හා නොවෙනස් පැවැත්ම, නිර්මිත ආත්මය වැනි දේ විශ්වාස කරන විටදී, තමා විසින් ලබාදෙන කවර වූ හෝ පිළිතුරක් මගින් ඔවුන්ගේ ව්‍යාකූලත්වය තවදුරටත් වර්ධනය කිරීම පමණක් සිදුවනු ඇති බව උන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදී. නොවෙනස්, මවන ලද ආත්මයක් පවත්නේ නම් එවන් ආත්මයන්ගේ සංඛ්‍යාව සීමිතද, අසීමිතද යන පැණය විමසීමට ඇති හේතු කාරණා කවරේද?

මෙය මේ හේතුකොටම ශ්‍රේෂ්ඨ දේශනාවක් වේ. කෙ‍ෙස් වුවද, අදාළ දේවල්හි පැවැත්ම පිළිබඳ නිවැරදි තොරතුරු අප සතුව පැවතියද, විශ්වයේ විශාලත්වය හෝ එතුළ සිටින සත්ත්වයන් සංඛ්‍යාව දැන සිටීම මගින් අපගේ දුක හා ගැටලු මැඩ පැවැත්වීමට උපකාරයක් ලැබෙන්නේද? එය අන් සත්ත්වයන් වෙත ප්‍රයෝජන සැලසීමෙහි ලා ආධාරක වන්නේද? බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි ලද මෙම වටිනා මිනිස් දිවිය අප‍තේ යවමින්, එවන් කවර හෝ පැණයකට පිළිතුරු ලබාගැනීමට පෙර අප මියයනු ඇත. ඇතැම් විට විනෝදකාමී විය හැකි වුවද, එවන් උපකල්පනයන් සැබෑ ලෙසම අපට ප්‍රයෝජනවත් නොවේ. වැදගත් දෙය වනුයේ අපගේ වර්තමාන තත්ත්වයේ යථාර්ථය හඳුනා ගනිමින් අප ලබාගත් දුර්ලභ අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන සලසා ගැනීමයි. අප සංසාරයේ සැරිසරන්නන් වන නමුදු දැන් අගනා මිනිස් සිරුරක් හා මනසක් ලබා ඇත්තේය යන්න වටහා ගැනීම මගින් ඒවා අපගේ දුක මැඩ පවත්වමින් අන් අය වෙතද උපකාර කරනු පිණිස ප්‍රයෝජනයට ගත හැකිවේ. එම තත්ත්වයට පත්වූ විටදී, ඇතැම් විට පිළිතුරු ලබාගත නොහැකි සියලු පැණයනට අපට පිළිතුරු ලබාගත හැකිවනු ඇත.

Top