සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම යනු කවරක්ද?
සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම වූකලි භාවමය වශයෙන් සෞඛ්‍ය සම්පන්න හා ආචාර ධාර්මිකව වගකීමෙන් බැඳී සිටින පුද්ගලයන්, සමාජ කණ්ඩායම් හා පුළුල් ප්‍රජාවන් පෝෂණය අරමුණු කරගත් වැඩසටහනකි. මූලික වශයෙන් පාසැල්හි සහ උසස් අධ්‍යාපන ආයතනයන්හි පරිහරණය සඳහා නිර්මාණය කොට ඇති මෙම වැඩසටහන සෙසු සන්දර්භයන් තුළ ප්‍රයෝජනය සඳහාද යෝග්‍ය වේ.
එමරි විශ්වවිද්‍යාලයේ චින්තාපර විද්‍යා සහ කරුණා පදනම්ගත ආචාර ධර්ම මධ්‍යස්ථානය විසින් ගොඩනගන ලද මෙම පුහුණු වැඩසටහන තුළ ආචාර ධර්ම පිළිබඳ සවිස්තරාත්මක අවධානයක් යොමු කරනු ලබයි. මෙහිදී ආචාර ධර්ම යනු කිසිදු නිශ්චිත සංස්කෘතියකට හෝ ආගමකට අනුව පදනම්ගත දෙයක් නොව කරුණාව, ඉවසීම හා සමාව දීම වැනි විශ්වමය, මූලික මානුෂික වටිනාකම් මත පදනම් වූවකි. සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම් පිළිවෙත් මගින් ශාරීරික මෙන්ම භාවමය සෞඛ්‍යය සඳහාද තීරණාත්මක වැදගත්කමකින් යුත් කරුණක් වන පුද්ගලයන් විසින් තමා හා අන්‍යයන් කෙරෙහිද දක්ෂ ලෙස සැලකිලිමත් වීමේ වඩාත් ඉහළ හැකියාවක් සහිත වීම කෙරෙහි දායකත්වයක් ලබාදෙනු ලබයි. වඩ වඩාත් සංකීර්ණත්වයට පත්වෙමින් පවත්නා ලෝකයක ජනතාව ගෝලීය පුරවැසියන් බවට සූදානම් කිරීමට උපකාරී වෙමින් එකිනෙකා මත රඳා පැවතීම හා තාර්කිකව සිතීමේ කුසලතාවයන් ගොඩනැගීම කෙරෙහිද අවධානය යොමු කරනු ලබයි.
මෙම වැඩසටහන "විශ්වීය වටිනාකම්" මත පදනම් වන බැවින් අන්තර්ජාතික වශයෙන් සංස්කෘතීන් හා රටවල් අතරද භාවිත කළ හැක. සාමාන්‍ය දැනීම, පොදු අත්දැකීම් හා විද්‍යාව මත පදනම්ව, ඉදිරිපත් කර ඇති ආකාරයෙන් කාණ්ඩ හා පිළිවෙත් භාවිත කිරීම හෝ විවිධ පුද්ගලයන්ගේ ආගමික හෝ සංස්කෘතික වටිනාකම් තුළින් ආභාසය ලබමින් එ්වා අනුවර්තනය කරගැනීම සිදුකළ හැක. මෙම අන්තර්ගත, විස්තරාත්මක වැඩසටහනේ අරමුණ වනුයේ සියලු වයස් කාණ්ඩයන්හි ජනතාව වෙත සමාජමය, භාවමය හා ආචාර ධාර්මික නිපුණතාවයන් ඉගැන්වීමයි. මෙනයින් ගත්කල එය පුද්ගලයන් හට ගණිතය, විද්‍යාව, විදේශ භාෂාවන් හෝ වෙනයම් ශාස්ත්‍රාලයීය විෂයයක් උගන්වන ආකාරයට වඩා වෙනස් නොවේ. පුද්ගලයාගේ මෙන්ම පොදුවේ සමාජයේද වඩාත් ඉහළ සතුටක් හා සහජීවනයක් ඇති කරවන වටිනාකම් හා නිපුණතාවයන් පෝෂණය කිරීම සඳහා අධ්‍යාපනය ව්‍යාප්ත කළ හැකි අතර කළ යුතුද වේ.
ත්‍රිමාණයන් හා පරාසයන් තුන
සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම තුළ පෝෂණය කරවීමට අපේක්ෂා කරන්නාවූ නිපුණතා වර්ග අන්තර්ගත මාන තුනක් වේ:
- දැනුවත්භාවය
- කරුණාව
- කාර්ය නියුක්තිය, වශයෙනි.
තවද, මෙම මානයන් තුන එකිනෙක වෙනස් පරාසයන් තුනකට විහිදේ:
- පුද්ගලික
- සමාජමය
- ගෝලීය, වශයෙනි.
ත්‍රිමානයන්
දැනුවත්භාවය– එනම් අපගේ සිතිවිලි, හැඟීම් හා භාවයන් පිළිබඳ වැටහීමක් ගොඩනගා ගැනීමයි. දැනුවත්භාවය විසින් අපගේ අභ්‍යන්තර දිවිය, සෙස්සන් සිටින බව හා ඔවුන්ගේ අවශ්‍යතා, සහ අපගේ ජීවිතවල අපගේ පැවැත්ම පවතින ලෝකයෙහිද කොටසක් වශයෙන් එකිනෙකා මත රඳා පැවැත්ම අවබෝධ කරගැනීමට උපකාරී වේ. මෙකරුණ වගා කරගනු පිණිස අවධානය පිළිබඳ පිළිවෙත් පිරීම හා අවධානය පිරිපහදු කරගැනීම අවශ්‍ය වේ.
කරුණාව – කරුණාව, සහකම්පනය හා සියල්ලන්ගේ සතුට සහ දුක පිළිබඳ සැලකිලිමත්භාවයක්ද සමගින් අප, අන්‍යයන් හා සමස්ත මනුෂ්‍ය වර්ගයාමද කෙරෙහි සම්බන්ධවන පුහුණුවක් ලබාගැනීමයි. මෙම විෂයයෙහි නිපුණතාවය සඳහා තාර්කික චින්තනය, තමාගේම උවමනා හා අවශ්‍යතා පිළිබඳ වැටහීමක් හා තමාගේ පෞද්ගලික දිගු කාලීන යහපත කවරක් විසින් ගෙන එනු ඇත්තේද යන්න පිළිබඳ පැහැදිලිව දැකීමේ හැකියාවක්ද අවශ්‍ය වේ. එවිට විෂය පථය අන්‍යයන්ගේ අවශ්‍යතාද ඇතුළත් කරමින් අවසන සමස්තයක් ලෙස මනුෂ්‍ය වර්ගයාගේම පොදු අවශ්‍යතා හඳුනා ගැනීම කරා විහිදේ.
කාර්ය නියුක්තිය – දැනුවත්භාවය හා කරුණාව සම්බන්ධ පුහුණුව තුළින් ලද ක්‍රමයන්හි පිළිවෙත් පිරීම. පුද්ගලික, සමාජමය හා ජන ප්‍රජාමය සුවසෙත සලසන්නාවූ චර්යා හා ආකල්ප වර්ග පිළිබඳ ඉගෙනීම මෙයට ඇතුළත් වේ. මේ සඳහා ස්වයං නියාමනය, සමාජ කුසලතා, හා ලෝක පුරවැසියෙකු ලෙසවූ කාර්ය නියුක්තියක්ද අවශ්‍ය වේ.
මූලික වටිනාකම් වශයෙන් මෙම මානයන් තුන ගොඩනැගීම හුදෙක් දැනුම අත්පත් කරගැනීම සම්බන්ධ කරුණක් පමණක් නොව, එ්වාහි අදාළත්වය පෞද්ගලික මට්ටමින් අවබෝධ කරගනිමින් ඉන්පසු එ්වා ගැඹුරින් තමා තුළට සම්බන්ධ කරගැනීම හා සම්බන්ධ වන්නකි. මෙහි පියවර කිහිපයක් පවතී:
- මූලික තොරතුරුවලට නිරාවරණය වෙමින් හා එ් එක් එක් වටිනාකම සම්බන්ධ වැටහීමක්ද ගොඩනගා ගනිමින් ශ්‍රවණය, කියවීම හා අත්දැකීම මගින් පළමුව අපි උගන්නෙමු.
- තාර්කික චින්තනය මගින් ඉනික්බිති විවිධ ප්‍රවේශ මාර්ගයන් යොදා ගනිමින් වටිනාකම් විමසා බලන අතර, අපගේ පෞද්ගලික තත්ත්වයන් තුළට එ්වා යොදන්නෙමු. මෙමගින් "තාර්කික අන්තර්ඥානයක්" ඇති කරවයි. අපගේ ජීවිතවලට පළමු දැනුම් මට්ටම සම්බන්ධ කරමින් පුද්ගලික විදර්ශනා මට්ටමක් සාක්ෂාත් කරගන්නා වූ චිත්ත ප්‍රමෝද අවස්ථාවන් මෙමගින් අදහස් කෙරේ.
- නැවත නැවතද හුරුවීම මගින් වටිනාකම් චරිත ශක්තීන් හා පෞරුෂත්ව ලක්ෂණ බවට පරිවර්තනය කරනු ලබයි. අදාළ වටිනාකම් ස්වයංක්‍රීයව තමා තුළ ක්‍රියාත්මක වන තෙක් සිදුකරන තිරසර පුහුණුව, සාකච්ඡාව හා විවාදයන් මගින් මෙම තත්ත්වය ඇතිවේ.
පරාසයන් තුන
පුද්ගලික– සෙස්සන්ගේ හා පුළුල් සමාජයේමද අවශ්‍යතාවයන් කෙරෙහි අවධානය යොමු කරනු පිණිස අපගේම පෞද්ගලික අවශ්‍යතා සහ අභ්‍යන්තර ජීවිතය කෙරෙහි අවධානය යොමු කිරීමට පළමුව උගත යුතුය. අපටම හා අන්‍යයන් හටද හානි සිදුකළ හැකි බලහත්කාරී චර්යාවන්ගෙන් වැළකී සිටීමේ හැකියාව අප වෙත ලබා දෙමින් භාවයන් හඳුනා ගනිමින් එ්වාහි ඵලයන්ද වටහා ගැනීමට හැකිවන පරිදි භාවමය සාක්ෂරතාවය ගොඩනගා ගැනීම මගින් මෙය සිදුවේ.
සමාජමය – මනුෂ්‍යයන් වශයෙන් ස්වභාවිකවම අපි සමාජ සත්ත්වයෝ වෙමු. අපි අන්‍යයන් සමගින් යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගන්නේය යන්න ඉතා වැදගත් කරුණකි. ඉගෙනුම, සිතා බැලීම හා කාර්ය නියුක්තික පිළිවෙත් මගින් සමාජ ගති ස්වභාවයන් වගා කරගත හැක.
ගෝලීය – දිනෙන් දිනම සංකීර්ණත්වයට පත්වෙමින් පවත්නා ලොවක් තුළ, කරුණාව පමණක් ප්‍රමාණවත් නොවේ. අප ජීවත්වන එකිනෙකා මත රඳා පවත්නා ගෝලීය පද්ධතීන් පිළිබඳ වඩා ගැඹුරු වැටහීමක්ද අවශ්‍ය වේ. විවිධ දෘෂ්ටි කෝණ තුළින් අවස්ථාවන් දකින ආකාරය දැන සිටීම තුළ ගැටලු කුඩා, එකිනෙක සම්බන්ධ නොවන කැබලිවලට කඩා දැමීමේ නැඹුරුව වළකාලමින් ගැටලු විසඳීම වඩාත් සියල්ල අන්තර්ගත ක්‍රියාවලියක් බවට පත්කරනු ලබයි.
ඉගෙනුම් සූත්‍ර
ඉගෙනුම් සූත්‍ර යනු ඉහත කී වටිනාකම් තුන ගවේෂණය කොට, තක්සේරු කොට ,තමා තුළට යොදා ගැනීමේ ක්‍රමයන් වේ. එ්වා විසින් දැඩි පදනමක් මත කාලයාගේ ඇවෑමෙන් එ්වා පිළිබඳවූ දැනුම හා වැටහීම ගොඩනැගී වඩාත් ගැඹුරට විහිදෙන තත්ත්වයක් ඇති කරනු ලබයි. මේ සම්බන්ධ කරුණු සතරකි:
- තාර්කික චින්තනය – වඩාත් ගැඹුරු වැටහීමක් ඇතිකරගනු පිණිස තාර්කික විචාරණය, බහුවිධ දෘෂ්ටි කෝණ, සංවාද හා විවාද තුළින් මාතෘකා සහ අත්දැකීම් ගවේෂණය.
- චින්තන පිළිවෙත්– කුසලතාවයන් තමා තුළ තහවුරු කරගැනීම පිණිස ව්‍යුහගත ආකාරයට පුද්ගලික අත්දැකීම් කරා අවධානය යොමු කිරීම.
- විද්‍යාත්මක දෘෂ්ටි කෝණ– සංස්කෘතිය හෝ ආගම සම්බන්ධයෙන් අපක්ෂපාතී ප්‍රවේශයක් ලබාදෙනු පිණිස අපගේ භාවයන් හා ලෝකය සම්බන්ධ විද්‍යාත්මක දෘෂ්ටි කෝණය වටහා ගැනීම.
- කාර්ය නියුක්ත ඉගෙනුම – පසුව සිතා බැලීම සඳහා අවකාශ සලසාලන නිර්මාණශීලී ප්‍රකාශනයන් (කලා, සංගීත, ලේඛන කටයුතු) හෝ කෘෂිකාර්මික ඉගෙනුම් (සෘජුවම ස්වභාවික ලෝකය සමගින් කටයුතු කිරීම) වැනි සහභාගිත්ව ඉගෙනුම් ක්‍රමෝපායන් සමගින් සම්බන්ධ වීම.
ඉගෙනුම් සූත්‍ර තුනම ත්‍රිමාන මධ්‍යයෙහි පවත්නා කරුණාව නමැති මූලධර්මය තුළ පදනම්ගතව පවතී. අප අභිබවමින් අන්‍යයන් හට ඔවුනට අවශ්‍ය කටයුතු ඉටුකර ගැනීමට අවකාශ සැලසීම, හෝ තර්ජනය හෝ වෙනත් සෘණාත්මක චර්යාවනට පවා ඉඩකඩ සලසන්නාවූ කරුණාව යන්න නිරතුරු දුර්වලතාවයක් වශයෙන් වරදවා වටහා ගනු ලබයි. සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම තුළ සුවිශාල අභ්‍යන්තර ශක්තියක් තුළින් පැන නැගී එවන් ශක්තියක් බිහි කරන්නාවූ, අන්‍යයන් කෙරෙහි දක්වන සැලකිලිමත්භාවයේ දෘෂ්ටි කෝණයක් වන කරුණාව වූකලි දිරිමත් කරුණාවක් ලෙස වටහාගනු ලබයි.
සාරාංශය
සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම තුළ නිරතව සිටීම මගින් අප විසින් අපගේම සිතිවිලි හා හැඟීම් මෙන්ම අන්‍යයන්ගේද සිතිවිලි සහ හැඟීම් හා ඔවුන්ගේ මානසික ජීවිතයද පිළිබඳ පෞද්ගලික දැනුවත්භාවයක් ලබන්නෙමු. අන්‍යයන් කෙරෙහි වූ දිරිමත් කරුණාවක් සහ සියලු තැන්හි සියලු පුද්ගලයන් අගය කරන්නාවූ පොදු මානුෂිකත්වය පිළිබඳ හඳුනා ගැනීමක් සමගින් භාවමය සෞඛ්‍යාරක්ෂක කුසලතාවයන් වගා කරගන්නෙමු. අවසන, ප්‍රයෝජනවත් හැසිරීම් හානිකර හැසිරීම්වලින් වෙන්කොට හඳුනා ගැනීමට හැකිවීම මගින් වඩාත් පුළුල් සමාජ යහපතක් උදෙසා ගෝලීය මට්ටමින් කාර්ය නියුක්ත වීමට උපකාර කරමින් අපට අන්‍යයන් සමගින් නිර්මාණාත්මක හා සැලකිලිමත් ලෙස සම්බන්ධ විය හැක. එ් අනුව, සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම යනු අපට සෞඛ්‍ය සම්පන්න ආත්මාභිමානයක් ගොඩනගා ගැනීමට, අප වටා සිටින්නන් සමගින් මනා සම්බන්ධතා පවත්වා ගැනීමට සහ වගකිව යුතු ගෝලීය පුරවැසියන් බවට පත්වනු පිණිස හැකියාව ලබා දෙන වටිනාකම් හා කුසලතාවයන් වෙත අප යොමු කරවනු ලබන විස්තීර්ණ වැඩසටහනකි.
වඩාත් ගැඹුරට කරුණු විමසා බැලීමට කැමැත්තේ නම් සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම් රාමුවේ සම්පූර්ණ සංස්කරණය කියවා චින්තාපර විද්‍යා හා කරුණා පදනනම්ගත ආචාර ධර්ම මධ්‍යස්ථානයේ සෙසු වැඩසහන් පිළිබඳවද ඉගෙන ගන්න.