විශ්ව ආචාර ධර්ම යනු මොනවාද?

Uv what are universal values

විශ්ව ආචාර ධර්ම යන්නෙහි අර්ථය

“විශ්ව ආචාර ධර්ම” යන යෙදුම අප විසින් භාවිත කරනු ලබන්නේ මන්ද? විශ්ව යන වදන තුළ, ආගම අදහන්නෙකු වේවා, නොඅදහන්නෙකු වේවා සිලු දෙනා හට පිළිගත හැකි දෙයක්ය යන අදහස පවතී. ඔබ හින්දු හෝ මුස්ලිම් හෝ බෞද්ධ හෝ යුදෙව් හෝ ජෛනාගමිකයෙකු හෝ කවර ආගමිකයෙකු හෝ වේවා, වටිනාකම් පිළිගත හැක. විද්‍යාඥයෙකු වුවද, එසේ නොවුවද, උගතෙකු වුවද, නූගතෙකු වුවද, සියලු දෙනා හට මෙම වටිනාකම් පිළිගත හැකි අතර තමාගේම සතුට පතා ඒවා අනුගමනය කිරීම තීරණාත්මක වැදගත්කමකින් යුත් කරුණක්ය යන්න වටහාගත හැක. එයයි විශ්වමය සාධකය. ආචාර ධර්ම වූකලි ඒවාහි නිරත වීම තුළ ඔබ සතුටින් ජීවත් වන පුද්ගලයෙකු බවට පත් කරමින් අන්‍යයන්ගේ සතුටටද සහායක් දක්වන හැසිරීම් විධියකි. එහිදී සමාජය සතුටු වන අතරම ඔබද සතුටු වේ. මෙම දෙක එක්වූ කල එය විශ්වීය ආචාර ධර්මය නම් වේ.

මනුෂ්‍යයෙකු යනු කාලයෙන් හා අවකාශයෙන් සීමිත වූ කොටසක් වන විශ්වය ලෙස අප විසින් හඳුන්වන දෙයෙහි කොටසකි. ඔහු විසින් ඔහුවද, ඔහුගේ සිතිවිලි හා හැඟීම්ද අන්‍යයන්ගෙන් වෙන්වූ දෙයක් ලෙස අත්දකින අතර, එය වූකලි ඔහුගේ සිහිය පිළිබඳ දෘශ්‍යමය මායාවකි. මෙම මායාව අප හා සම්බන්ධවන සිරගෙයක් වන අතර අපගේ පුද්ගලික ආශාවන් හා අපට වඩාත් සමීප පුද්ගලයන් කිහිප දෙනෙකු කෙරෙහි වූ අපගේ ආදරයට පමණක් අප සීමා කරන්නකි. අපගේ කාර්යය විය යුත්තේ අපගේ කරුණාව නමැති චක්‍රය පුළුල් කරමින් සියලු සජීවී සතුන් හා ස්වභාව ධර්මයේ සියලු අලංකාරයන්ද සමගින් එම ස්වභාව ධර්මයද ඇතුළත් කරගනු පිණිස අපගේ කාරුණිකත්වය නමැති චක්‍රය පුළුල් කිරීම මගින් මෙම සිරගෙයින් මිදීමයි. - ඇල්බට් අයින්ස්ටයින්

අයින්ස්ටයින් විසින් ප්‍රකාශ කරනු ලබන ආකාරයට අප විසින් අත් විඳින සියලු ගැටලු ඇතිවන්නේ තමා පිළිබඳ හැඟීමෙන් අපව සිරගත කරන්නාවූ අපගේම පටු සිතිවිලි හේතුවෙන් අප පිළිබඳව පමණක් සිතමින් එකී කුඩා අභ්‍යන්තර චක්‍රයෙහි සිරවී සිටිමින් විශ්වයේ සෙසු සියල්ල අමතක කර දමන පටු චිත්ත ස්වභාවය හේතුවෙනි. කුඩා වූ අභ්‍යන්තර චක්‍රයකට මෙසේ ඇලී සිටීම හුදු මායාවක් බව ඔහු පවසයි. මක් නිසාද? එසේ වනුයේ අප සියලු දෙනා එකිනෙකා හා සම්බන්ධව සිටින බැවිනි. මෙම සිර ගෙයින් පිටතට පැමිණිය හැක්කේ කෙසේද? අන්‍යයන්ද ඇතුළත්වන පරිදි අප විසින් මෙම කරුණා චක්‍රය පුළුල් කරන අතර අන්‍යයන් විසින්ද අප කෙරෙහි වූ ඔවුන්ගේ කරුණා චක්‍රය පුළුල් කළහොත්, එවිට අප සියලු දෙනා සතුටින් සිටිනු ඇත. මෙයයි ඔහු විසින් දිරිමත් කරනු ලබන්නේ.

ආචාර ධර්ම පිළිවෙත් පුරනුයේ මන්ද?

ආචාර ධර්ම යනු හෘදය සාක්ෂියට අනුව සිදුකරන මානව කටයුතු වන අතර එය විසින් පුද්ගලයා තුළ හා පොදු සමාජය තුළද වඩාත් ඉහළ සමාදානයක්, සාමයක් හා සතුටක් ඇති කරවනු ලබයි. යමෙකු විසින් සතුට හෝ අසතුට භුක්ති විඳින්නේ වුවද, අපට එය සොයන්නාවූ දෙය හා ස්වභාවයෙන්ම සහානුබද්ධ වන්නාවූ, අපගේ කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස දැකිය හැක. සියලු ක්‍රියා අපගේ සිතිවිලි හා භාවයන් මගින් ක්‍රියාත්මක කෙරේ. ආචාර ධාර්මික නොවන සිතිවිලි මගින් අප විසින් වර්තමානයේ මේ ලොව තුළ දකින්නාවූ අවාසනාවන්ත ප්‍රතිඵල ගෙන දෙන ක්‍රියාකාරකම් ඇති කරවයි. මෙය මෙසේ සිදු වනුයේ පහත කරුණු තුන අතර පවත්නා සැබෑ හේතුඵල සම්බන්ධතාවය වටහා ගැනීම විෂයයෙහි අප තුළ පවත්නා අසමත්භාවය හේතුවෙනි:

  • සිතිවිලි හා භාවයන්
  • අපගේ ක්‍රියාවන්
  • සතුට හෝ වේදනාව ලෙස ප්‍රතිඵල ගෙනදෙන ප්‍රතිවිපාක ලෙසිනි.

අප තුළ සතුට සොයා යාමේ අපේක්ෂාවක් පැවතිය හැකි නමුදු, සිතිවිලි සමුදායක් මගින් ඇතිවන තල්ලුව හේතුකොට, වේදනාව හා අවාසනාවන්ත බව ඇති කරන ක්‍රියාවන් තුළට අපි කිමිදෙමු. එබැවින්, සිහිය යනු කවරක්ද, සිතිවිලි හා භාවයන් යනු මොනවාද, හා අවසානයේ යම් නිශ්චිත ප්‍රතිඵලයක් ඇති කරවන පරිදි අපගේ ක්‍රියාවන් පාලනය කරන්නාවූ මෙම සිතිවිලි හා සිහියේ ස්වභාවයන්හි යාන්ත්‍රණය කවරක්ද යන්න පිළිබඳ නිවැරදි දැනුමක් අප තුළ පැවතිය යුතුය. ඒ අනුව අපේක්ෂිත ප්‍රතිඵල ඉස්මතු කරවමින් අපගේ කටයුතු පහළ තත්ත්වයකට ඇද දමන්නාවූ සිතිවිලි පන්ති බැහැර කරලන්නාවූ කටයුතු සඳහා පහසුකම් සලසන එම ආකල්ප පෝෂණය කිරීමට තරම් අපි ප්‍රඥාවන්ත වන්නෙමු. මෙයයි ආචාර ධර්ම යනු; සියලු මූලධර්මයන්හි පදනමෙහි පවතින්නේ කරුණාවයි. 

ඒ අනුව සතුට හා අසතුට ඇති කරවනුයේ අපගේ සිත මගිනි. එය ධාවක භාවයන් හා භාවමය සාධකයන් මතද රඳා පවතී. භාවයන් මගින් අපගේ සිතිවිලිද, අපගේ සිතිවිලි මගින් අපගේ ක්‍රියාවන්ද ක්‍රියාත්මක කරවනු ලබයි.  අප තුළ සතුටක් ඇති කරවන භාවයන් “ධනාත්මක භාවයන්” වේ. විශ්වමය අරුතින් ගත්කල, අපට ‘ප්‍රධාන පාපය’ හෝ ප්‍රධාන අන් කවරක් පිළිබඳව හෝ කථා කළ නොහැක. අප විසින් වඩාත් විශ්වමය ස්වරූපයකින් කථා කළ යුතුය. විශ්වමය ස්වරූපයෙන් ගත්කල අවංක සතුට ඉස්මතු කරවනුයේ ධනාත්මක භාවයන් මගින් වන අතර අඳුර හෙවත් අවාසනාවන්ත තත්ත්වයන් ඇති කරවන්නේ පාපකාරී භාවයන් මගින් බව පැවසිය හැක. මේවා සිත පිළිබඳ සිතියමක කොටස් ලෙස අධ්‍යයනය කොට උගත යුතුය; පුද්ගලයනට ඉගැන්වීමේදී එවැනි සිතියමක් ආශ්‍රයෙන් ඉගැන්විය යුතු වේ.

පාසැල් පද්ධතිය තුළ විශ්වමය ආචාර ධර්ම ඉගැන්වීම

පුද්ගලයනට හා සමාජයට අර්ථවත් දේ ඉගැන්වීම විෂයයෙහි ඉමහත් ඇල්මක් ඇතිකර ගැනීමට පුද්ගලයන් යොමු කරවන්නේ කෙසේද? දෙවියන් වහන්සේ කෙරෙහි වූ බිය මත පදනම් වූ ආචාර ධර්ම සහිත අය වෙති. ඇතැම් විට දෙවියන් වහන්සේ නොඅදහන නමුත් කර්මය මත පදනම්ව සිය හැසිරීම් යහපත් අතට හරවාගත යුතු බවට විශ්වාස කරන කර්මවාදීහූද වෙති. ඒ අතර දෙවියන් හෝ කර්මය යන කවරක් හෝ විශ්වාස නොකරන්නෝද වෙති. දෙවියන් වහන්සේ හෝ කර්මය යන සංකල්පයන්ගෙන් තොරව ආචාර ධර්ම යනු අප විසින් වැළඳගත යුතු දෙයක් බවට ජනතාවට ඒත්තු ගන්වන්නේ කෙසේද? මේ සම්බන්ධයෙන් පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් මෙකී කරුණු තුන ඉදිරිපත් කර ඇත:

  • පොදු අත්දැකීම
  • සාමාන්‍ය දැනීම
  • විද්‍යාත්මක සොයා ගැනීම්

මේවා මත පදනම්ව, නවීන අධ්‍යාපනික ක්‍රමය තුළ විශ්වීය ආචාර ධර්ම පිළිබඳ ඉගැන්වීම සඳහා දලයි ලාමා වහන්සේ විසින් පියවර තුනක් යෝජනා කර ඇත.

ඇදහිලිවන්තයන් වේවා, නොඇදහිලිවන්තයන් වේවා, පොදු අත්දැකීම මත පදනම්ව ඉගැන්වීමේ නිදසුනක් ලෙස කුඩා දරුවන් ලෙස මවගෙන් කිරි උරා බීම දැක්විය හැක. මෙය වූකලි කිසිදු ආගමික ස්වරූපයක් හෝ දර්ශනයක් රහිත පොදු අත්දැකීමකි. එය වූකලි අප විසින් මව වෙතින් ලබන්නාවූ ශුද්ධ ප්‍රේමය හා සෙනෙහසයි. මෙම ප්‍රේමය හා සෙනෙහස මගින් මව හා දරුවා තුළ එකිනෙකා කෙරෙහි එවන් විශ්වාසයක් හා රඳා පැවැත්මක් ඇති කරවනු ලබන අතර ඉන් ඔබ්බට අන් සියල්ල විසිර යයි. පාපකාරී හැඟීම් විසිර යන අතර ලොව පවත්නා සියලු අවුල් සහගත ස්වභාවයන්ද විසිර යයි. හුදෙක් ප්‍රේමය හා සෙනෙහස පමණක් ශේෂව පවතී. ත්‍රස්තවාදය, ස්ත්‍රී/පුරුෂ අසමානතාවය, හා දුප්පත් - පොහොසත් වෙනසද යන සියල්ල පවතිනුයේ අන්‍යයන් කෙරෙහි ප්‍රේමය හා සෙනෙහස විරල වූ තැනෙහිය.

පොදු හැඟීම යනු යම් පුද්ගලයෙකු වඩාත් ප්‍රේමණීය අයෙකු වන්නේ නම්, ඔවුන් වටා වැඩි මිතුරු පිරිසක් ඒකරාශි වන අතර, ඔවුනට හුරු පුරුදු ස්වභාවයක් දැනෙන අතරම, තමා වටා සිටින පුද්ගලයන් තම සොයුරු සොයුරියන් මෙන් වන බවක් ඔවුනට හැ‍ඟෙන තත්ත්වයයි. අන්‍යයන් කෙරෙහි මෙවන් ආදරයක් හා සෙනෙහසක් නොදැනෙන විටදී, අපට අපගේම නිවස තුළ පවා හුරු පුරුදු බවක් නොදැනේ. අපගේම සොයුරු සොයුරියන්ද සතුරන් සේ පෙනේ. සාමාන්‍ය දැනීමේ දෘෂ්ටි කෝණයෙන් සලකන කල, ආදරය හා ප්‍රේමය යනු විශ්වමය ආචාර ධර්මයන්හි නැංගුරම බව ඒත්තු ගත යුතුය.

අවසන, විද්‍යාත්මක සොයාගැනීම් සලකා බලමු. නිදසුනක් ලෙස, වඳුරු පැටියන් සිය මව්වරුන් වෙතින් වෙන්කොට සිය මවගේ රැකවරණය නොලැබෙන බව අත්දකින තත්ත්වයක් ඇති කරවන අත්හදා බැලීම් කෙරෙහි යොමුවෙමු. එවිට, ඔවුන් වර්ධනය වන විට, ඔවුහූ වඩා කලහකාරී වෙති. අන්‍යයන් සමගින් සෙල්ලම් කරන ආකාරය නොදන්නා උන් සිය ආත්මාරක්ෂාව පිණිස සටන් කරති. මව සමගින් තැබූ පැටවුන්, මෙයට ප්‍රතිවිරෝධීව, සතුටින් හා සෙල්ලමෙන් කාලය ගත කරති.

මෙම සංකල්ප තුනෙහි පදනම මත, විශ්වීය ආචාර ධර්මයන්හි නැංගුරම වන නිර්ව්‍යාජ ආදරය හා සෙනෙහස සියලු දෙනාගේ සිත් තුළ වගා කරගත යුතුය යන්න දලයි ලාමා තුමාගේ තර්කයයි.

මනුෂ්‍යයෙකු වශයෙන් විශ්වීය අනන්‍යතාවය දරා සිටීම

විශ්වීය ආචාර ධර්ම පිළිබඳ හැඳින්වීමේදී මුහුණ පෑමට සිදුවන එක් අභියෝගයක් වනුයේ අපගේ අනන්‍යතාවයන්ය. “මම තිබ්බතීයයෙක්, මම චීන ජාතිකයෙක්, මම බෞද්ධයෙක්, මම හින්දු භක්තිකයෙක්” වැනි හැඟීම් ඇතිවන විටදී, අපගේ අනන්‍යතාවයන් කෙරෙහි වූ එවන් ඇලීම් ඇතිවන අවස්ථාවේදී, අන්‍යයන් කෙරෙහි ද්වේෂයක් අනිවාර්යයෙන් ඇතිවේ. මෙය සුවිශාල අභියෝගයක් මෙන්ම ඉතා බරපතල කරුණක්ද වේ.

එක් තනි පුද්ගලයෙකු හට විවිධ අනන්‍යතා සිය ගණනක් පැවතිය හැක. නිදසුනක් ලෙස, මට මා මිනිසෙකුය යනුවෙන් පැවසිය හැකි අතර, එම පදනමින් පුරුෂාලය ඉස්මතු වේ. පුරුෂාලයේ පදනමින්, ස්ත්‍රීවාදය ඉස්මතුවේ. මම බෞද්ධයෙකු ලෙස සිතන්නේ නම්, එවිට ඔබ අබෞද්ධයෙකු වේ. මම හින්දු භක්තිකයෙකු හෝ මුසල්මානුවෙකු වේ නම්, එවිට ඔබ හින්දු නොවන හා මුස්ලිම් නොවන අයෙකු වේ. යම් පුද්ගලයෙකු ඉමහත් සේ පරිණාමය වී ඇත්නම් විනා, වඩාත් වැදගත් අනන්‍යතාවය වශයෙන් අඩු වැදගත්කමක් සහිත අනන්‍යතාවයක් ග්‍රහණය කරගෙන සිටීමේ නැඹුරුවක් හෝ අවදානමක් පවතී. මූලධර්මවාදය හා රැඩිකල්වාදය යන සියල්ල ඇතිවනුයේ අඩු වැදගත්කමක් සහිත දෙයක් පරමාදර්ශී දෙය ලෙස ග්‍රහණය කරගෙන සිටීම හේතුවෙනි.

අප සියලු දෙනා හුදක් මනුෂ්‍යයන් වශයෙන් පමණක් වූ අනන්‍යතාවයක් ගොඩනගා නොගන්නේ මන්ද? අප පෘථිවි වාසීන් වන හෙයින් අප විනාශ කළ යුතුය යනුවෙන් පවසමින් පරසක්වල ජීවීන් පැමිණ අපට වෙඩි තබන්නට වුවහොත්, එවිට අප පෘථිවි ග්‍රහලෝකවාසීන්ය යන අනන්‍යතාවය සියලු දෙනා විසින් ගොඩනගාගෙන එක්සත් වනු ඇත. තෙවැනි සාධකයක් විසින් අපගේ අනන්‍යතාවය නිර්මාණය කරන තෙක් බලා සිටිය යුත්තේ ඇයි? මේ අවස්ථාවේම අපගේ අනන්‍යතාවය ගොඩනගා නොගන්නේ ඇයි? අප හා අපගේ ලෝකය වඩාත් සතුටුදායක එකක් බවට පත් කරවනුයේ කවර අනන්‍යතාවයක් විසින්ද? මනුෂ්‍යයෙකු වශයෙන් වන අනන්‍යතාවය ග්‍රහණය කරගනිමින්, අප වඩාත් සතුටින් ජීවත්වන බව අප දක්නා අතර සියලු දෙනා අපගේ සහෝදර සහෝදරියන් ලෙස දකින්නෙමු.

Top