බෞද්ධයෙකුගේ ජීවිතයේ දිනයක්

Study buddhism a day of buddhist

අපේ දෛනික ජීවිතය ගත කරන්නේ කෙසේද යන්න ගැන බෞද්ධ ඉගැන්වීම් බොහෝ උපදේශයන් සපයයි. පහත සටහන බලන්න.

අප අවදිවන විට

අවදිවීමේදී සහ නැඟිටීමට පෙර, අපි තවමත් ජීවත් වෙමු, නව දවසකට මුහුණ දීමට සූදානම්ය යනුවෙන් අපට පුදුමාකාර සතුටක් සහ ප්‍රසන්න බවක් දැනෙන්ට ඕනෑය. අප දැඩි අධිෂ්ඨානයක් ඇති කරගමු:

  1.  දවස අර්ථාන්විත කරගැනීමට.
  2. අප වෙනුවෙන් වැඩ කිරීමට සහ අන් අයට උදවුකිරීමට ලැබෙන වටිනා අවස්ථාවන් අපතේ නොයැවීමට.

අපි රැකියාව බලා පිටත්වීමට නියමිතව සිටිමු නම්, අපේ  රාජකාරි කටයුතු කෙරෙහි උත්සාහවත් වීමටත් ඒ ගැන සිත් යෙදවීමටත් ඵලදායී ලෙස ක්‍රියා කිරීමටත් හිත හදා ගනිමු. අප සමග එක්ව වැඩ කරන අය හා කෝප නොගනිමු, නොඉවසිලිව හෝ කේන්තියෙන් ක්‍රියා නොකරමු. අපි සැවොම සමග මිතුරු වෙමු. එහෙත් තේරුමක් නැති වල්පල් කියැවීමෙන් හෝ ඕපාදූප කියවීමෙන් මිනිසුන්ගේ කාලය විනාශ නොකරමු. අපි පවුලේ කටයුතු සොයා බලන්නෙමු නම්, අපි අපේ ඉවසීම නැති නොකර ගැනීමට අදිටන් කරගෙන අපට හැකි පමණින් ඔවුන්ගේ කායික සහ මනෝභාවික අවශ්‍යතා ගැන සෙනෙහසින් යුතුව සොයා බලමු.

උදාසන භාවනාව

සාමාන්‍යයෙන් උදාසන ආහාරයට පෙර අපි පොඩි වේලාවක් භාවනාවට යොදා ගමු. විනාඩි පහක් දහයක් පමණ සංසුන්ව හිඳගෙන හුස්ම ගැන අවධානය යොමු කිරීම අපට උපකාරයක් වනු ඇත.

අපේ ජීවිත අප වටා සිටින හැම දෙනා සමගම සම්බන්ධ වී තිබෙන අයුරු ගැන අපි ආවර්ජනය කර බලමු. ඔවුනට දැනෙන අයුරු සහ ඔවුන් ක්‍රියා කරන අයුරු අපටත් සෙසු අයටත් බලපෑමක් එල්ලකරයි. එබැවින් “සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා” යනුවෙන් අපි මෛත්‍රියෙන්පිරි උණුසුම් හැඟීමක් ජනිත කරගමු. “සියලු සත්ත්වයෝ දුකින් මිදෙත්වා, කරදර නැත්තෝ වෙත්වා” යයි කරුණාබර හැඟීමක්ද ඇති කරගමු. අපි අදදින හැකි කුමන හෝ ක්‍රමයකින් අන්අයට උදවු කිරීමට උත්සාහ කරමු’යි සහ එසේ කිරීමට නොහැකි වේ නම් අඩුම තරමේ අන්අයට හිංසා කිරීමෙන් වැළකී සිටුමු’යි යනුවෙන් අධිෂ්ඨාන කරගමු.

දවස පුරා සිහි එලවාගෙන

දවස පුරාම අප ක්‍රියා කරන්නේ කෙසේද, කතා කරන්නේ කෙසේද, හිතන්නේ කෙසේද, හැඟීම් ඇති කරගන්නේ කසේද යනුවෙන් සිහි එලවාගෙන සිටීමට උත්සාහ කරමු. කෝපය, ආශාව, ඊර්ෂ්‍යාව, උඩඟුකම යනාදි කරදරකාරී මනෝභාවයන් රහසින්ම රිංගා ගැනීමට උත්සාහ කරන්නේද’යි අපි විශේෂයෙන් හැඳින ගැනීමට උත්සාහ කරමු. අපි ආත්මාර්ථකාමී ලෙස නැතහොත් දුර්බුද්ධිමතුන් ලෙස ක්‍රියා කරන විට එසේත් නැතහොත් ආත්මානුකම්පාවෙන් සහ අගතියෙන් යුතුව ක්‍රියා කරන විට අපි ඒ ගැන සටහන් තබා ගමු. වඩා සියුම් මට්ටමකදී, සාමාන්‍යයෙන් අපි අප ගැන, අනෙක් අය ගැන, යම් යම් අවස්ථාවන් ගැන විකාර කතා හදා ගන්නේ කුමන වේලාවකද යන්න ගැන අවධානයෙන් සිටීමට අරමුණු කරගනිමු. අපට කවදාකවත් අවස්ථාවක් හිමිවෙන එකක් නැහැ, අප වගේ අයට කවුරුවත් සෙනෙහසක් දක්වන්නෙ නැහැ යනුවෙන් සිතෙන අවස්ථා ගැනද “මං පවු අනේ” කියා අප කාටත් හිතෙන අවස්ථා ගැනද අපි සොයා බලමු.

ප්‍රශ්න ඇතිකරවන මෙම දේවල් සමග හැඟීම්බර වී ක්‍රියා කරන විට, කතා කරන විට සහ සිතන විට අපම දැන ගෙන සිහි එලවා ගැනීමේ වෙනත් අදියරක් අපි ක්‍රියාත්මක කරමු. පළමුවෙන්ම, අපට පසුතැවෙන්න සිදුවන ආකාරයේ දෙයක් කිරීමට හෝ කීමට හෝ පෙර අපවම නවත්වා ගැනීමට අපි උත්සාහ කරමු. අප මේ අයුරින් දැනටමත් ක්‍රියා කර ඇත්නම්, වඩාත් නරක දෙයක් කිරීමට හෝ කීමට හෝ පෙර අපවම නවත්වාගමු. ඍණාත්මක සිතුවිලි ක්‍රියාත්මක වන චක්‍රයක අප නිමග්නව සිටින බව දැනුනොත් අපි මේ දෙයම කරමු. මෙම මානසික සහ මනෝභාවාත්මක බාධාකාරී හැඟීම් සමනය කරගැනීමටත්, හඳුනා ගැනීමටත් අවශ්‍ය ප්‍රතිනාශක මනසේ රඳවා ගෙන ක්‍රියාවේ යෙදවීමද අප අපේ මනස ස්ථාවර කර ගන්නා තුරු ඒවා පවත්වා ගැනීමද සිදුකරමු.

රාජකාරි ස්ථානයේදී හෝ නිවසේදී හෝ යම් පුද්ගලයෙකු අපව විවේචනය කරන අවස්ථාවක් නැතිනම් අපව කෝපකරවන යමක් සිදුකරන අවස්ථාවක් අප බොහෝ දෙනෙකුට හඳුනාගත හැකි උදාහරණයකි. මෙහිදී අපි,

  1. කෑමොර දීමෙන් පලක් වන්නේ නැති නිසා අප උදාසනදී කළ මෙන් හුස්ම ගැන අවධානය යොමු කර සංසුන් වීමට උත්සාහ කිරීමට මතක තබාගමු.
  2. සෑම අයෙකුටම සතුට මිස නොසතුට අවශ්‍ය නොවන නමුත් මිනිසුන් මුළාවට පත්ව ගැටලු ඇති වන අයුරින් ක්‍රියා කරන බව සිහිපත් කරගමු.
  3. ඔවුනට සතුට ළඟා කරවන හේතුත් සතුටත් උදාවේවා’යන පැතුම ඇති කරගමු.
  4. ඔවුන් අපට ඇහුම්කන් දේ නම්, ඔවුන්ගේ හැසිරීමේ ඍණාත්මක පලවිපාක පෙන්වා දී ඒවා නවත්වා ගැනීමට ඉල්ලා සිටිමු.
  5. ඔවුන් කිසිසේත්ම ඇහුම්කන් නොදේ නම්, එම සිදුවීම ඉවසීම පිළිබඳ පාඩමක් ලෙස බාරගමු. ඒසේම, යම් යම් කරදරකාරී දේ අවසන් කර දැමීමට අපට හැකි නම් අප කිසිසේත්ම අක්‍රීයව සිටීමත් නොකරමු.

අන් අය අපට දොස් කියන විට ඒවායින් ආරක්ෂාවීමට ඉවකින් මෙන් ක්‍රියා කිරීම තත්ත්වය පාලනය කරගැනීමේ ප්‍රධාන දේවලින් එකකි. සංසුන්ව, ඔවුන් කියන දේ නිවැරදිද’යි අවකංව බලා නිරීක්ෂණය කළ හැකිය. ඉදින් ඒවා නිවැරදි නම්, අපි සමාව ඇයද, අපේ චර්යාව නිවැරදි කරගමු. ඔවුන් කියන්නේ තේරුමක් නැති දෙයක් නම්, නොවැදගත් ඒ දේ අපි හළමු. එය සලකා බැලිය යුතු අර්බුදකාරී දෙයක් නම්, යම් තරම් හෝ අවමන් කිරීමක්, කේන්ති ඇවිස්ස වීමක් සිදු නොකරන ආකාරයෙන් අපට ඔවුන්ගේ චින්තනයේ අඩුපාඩු පෙන්වා දිය හැකිය.

සවස භාවනාව

අප නින්දට යාමට පෙර, හුස්ම ගැන අවධානය යොමු කරමින්, දවසේ ක්‍රියාකාරකම්වලින් හිත සංසුන් කරගෙන තවත් පොඩි භාවනාවක් කළ හැකිය. දවසේ සිදුවීම්ද ඒවා සමග අප ක්‍රියා කළ ආකාරයද අපි ප්‍රත්‍යවේක්ෂා කරමු. අපට අපේ ඉවසීම නැති වුණාද, කුමක් හෝ මෝඩ දෙයක් කීවාද? එය එසේ නම්, අපව පාලනය කරගැනීමට නොහැකි වූවා යයි පසුතැවීමක් ඇතිව, කිසිදු වරදකාරී හැඟීමකින් තොරව, හෙට දිනයේදී වඩා හොඳින් සිදුකිරීමට අදිටන් කරගමු. අප බුද්ධිමත්ව සහ කරුණාබරව ක්‍රියා කළ අවස්ථාවන් ගැනද සටහන් කරගනිමු. අප ඒ ගැන ප්‍රීති වී දිගටම ඒ අයුරින් ක්‍රියා කිරීමට අදිටන් කරගමු. ඉන් අනතුරුව, අපේම වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාමටත් අන්අයට උදවු කිරීමටත් හැකි හෙට දවසක් ගැන ශුභවාදී බලාපොරොත්තුවක් ඇතිව අපි නින්දට යමු. අපගේ වටිනා ජීවිත අර්ථාන්විත කරගත්තෙමු’යි අපට සැබැවින්ම සතුටක් වින්දනය කළ හැකිය.

Top