What is mind

මොහොතින් මොහොත නිරන්තරයෙන් වෙනස් වන, “යම් දෙයක්” පිළිබඳ ඇති වන පෞද්ගලික වූත් ආත්මීය වූත් අත්දැකීම මනස නම් වේ.

“මනස” යන සංකල්පය විස්තර කිරීමට අපහසුය. විවිධ භාෂාවලින් එය විවිධ අයුරින් සංකල්පීකරණය කෙරේ. මනස යන්නට සංස්කෘත භාෂාවෙන් යෙදෙන බෞද්ධ පදය චිත්ත වන අතර එයට තේරුම් බොහෝ ගණනක් ඇත. ප්‍රත්‍යක්ෂ ඥානය, වාචික සහ අමූර්ත (වචනයට නඟා ගත නොහැකි) සිතුවිලි, මනෝභාව, සතුට සහ නොසතුට ගැන ඇති වන හැඟීම්, සාවධාන බව, ඒකාග්‍රතාව, බුද්ධිය සහ තව බොහෝ තේරුම් එයට ඇතුළත්ය. බුදුදහම මනස ගැන කතා කරන විට එමඟින් සියලු ආකාරයේ මානසික ක්‍රියා අදහස් කෙරේ.

මෙමඟින් කායික පදනමක් - එනම්, මොළය, ස්නායු පද්ධතිය, හෝමෝන යනාදිය - අවධානයට ලක් නොකෙරෙන අතර රසායනික හෝ විද්‍යුත් ක්‍රියාකාරිත්වයද අදාළ නොවේ. බුදුදහම මේවා ප්‍රතික්ෂේප නොකරයි. ඇත්තෙන්ම, මේවා පවතින අතර අනිවාර්යයෙන් අදාළද වේ. එහෙත් මනස යන්නෙන් මොළය තුළ ඇති එක්තරා ආකාරයක ද්‍රව්‍යමය නොවන “දෙයක්” සහ එබඳු දෙයක ක්‍රියාකාරිත්වයක් අදහස් නොකෙරේ. තවද, සමූහික අවිඥානයක් හෝ විශ්වීය මනසක් ගැන බුදුදහම ප්‍රකාශ කරන්නේ නැත.

මානසික ක්‍රියාකාරිත්වය යනු කුමක්ද?

මනස සහ මානසික ක්‍රියාකාරිත්වය යනු යම් දෙයක් පිළිබඳ ඒකපුද්ගල, ආත්මීය අත්දැකීමක් නම්, උදාහරණයක් ලෙස, කේන්ති ගැනීම යනුවෙන් ඇත්තටම අදහස් කරන්නේ කුමක්ද? එය, එකම විට සිදුවන කෝපය මතු වීම සහ ඒ පිළිබඳව දැනීමය. මේ දෙකම එකතු වී යම් දෙයක් අත්විඳීමින් ගලා යන ප්‍රවාහය තුළ එක් සිද්ධියක් විස්තර කරයි. කවරෙකුගේ අත්දැකීමද? මා කේන්තියෙන් පසු වේ නම් එය මගේ අත්දැකීමකි. ඔබේ නොවේ. එහෙත් “මනස” නමැති යන්ත්‍රයේ කෝප නමැති බොත්තම ඔබන, මනසින් පිටස්තර වූ ‘මා’ කෙනෙකු නැත. අපි හුදෙක් අත්විඳීම නමැති සිද්ධියේ කොටසක් වෙමු.


අප ඇපල් ගෙඩියක් වැනි යමක් දකින අවස්ථාවකට මෙය සමානය. විද්‍යාත්මක අවබෝධයකට අනුව බැලුවොත්, ආලෝක කිරණක් අපේ කනීනිකාව හරහා ඇසට ඇතුළු වී දෘෂ්ටිවිතානයේ ඇති ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල මතට වැටෙයි. මෙමඟින් දෘශ්‍ය තොරතුරු මොළය වෙත ගෙනයන විද්‍යුත් ආවේග සක්‍රීය වී මොළයේදී අදාළ වස්තුවේ ඡායාචිත්‍රය සකස් වෙයි. ඇපල් ගෙඩිය යන මානසික ඡායාචිත්‍රයක් මතුකිරීම මෙහි ඇති ආත්මීය අත්දැකීමය. යමක් දැකීම යනුවෙන් අදහස් කරන්නේ මෙයය. කෙසේ වෙතත්, “මනසේ යමක් ඇත” වැනි ප්‍රකාශ මඟින් හැඟවෙන පරිදි මනස යනු ඇපල් ගෙඩිය යන මානසික ඡායාචිත්‍රය බිහිකරන, මොළයේ යම් තැනක තිබෙන හිස් අවකාශයක් නොවේ.

මානසික ඡායාචිත්‍ර මඟින් ශබ්ද, ගඳසුවඳ, රසවර්ග සහ කායික සංවේදනාද නිරූපණය විය හැකිය. එය අපේ පරිකල්පන සහ සිහිනවල පවා සිදුවේ. මානසික ඡායාචිත්‍රයක් මතින් මතුකරන චිත්‍රණයකින් මනෝභාවයන්ගේ නැඟීසිටීමද, මොළයේ විවිධ කොටස්වලින් හෝමෝන වෑහීම මත පදනම් ව සතුට හෝ නොසතුට හෝ මතුකෙරෙන මට්ටමද විස්තර කළ හැකිය.  ඕනෑම මොහොතක ඇති වන අපගේ මානසික ඡායාචිත්‍රයේ අන්තර්ගතය බොහෝ සාධකවල සංකීර්ණ එකතුවකි: දැකීමක්, සිතුවිල්ලක් වැනි විෂය වස්තුවක් මනෝභාවයන් සමග වෙළුණු, සතුට සහ නොසතුට යම් මට්ටමකට එකතු වුණු දෙයකි.

ස්නායුකවිද්‍යාව සහ බුදුදහම

1987දී දලයි ලාමා වහන්සේ සහ චිලීජාතික ස්නායුකවිද්‍යාඥ ෆ්‍රැන්සිස්කෝ වරේලා මැදිහත් වීමෙන්, මනස සහ ජීවිතය පිළිබඳ ආයතනය (Mind and Life Institute) ආරම්භ කළ දිනයේ පටන් ජාත්‍යන්තර විද්‍යාඥ කණ්ඩායම් සහ ව්‍යක්ත බෞද්ධ ආචාර්යවරු මනස සහ මොළය අතර ඇති පොදු සම්බන්ධතාව ගවේෂණය කරමින් සිටිති. ස්නායුකවිද්‍යාඥයන් ආධුනික මෙන්ම පළපුරුදු භාවනානුයෝගීන්ගේ මොළයේ ක්‍රියාකාරිත්ය නිරීක්ෂණය කර ඇති අතර එහිදී දීර්ඝකාලීන භාවනාව මඟින් මොළයේ ස්නායුක කර්මණ්‍යතාවට බලපෑමක් එල්ල වන බවත් එමඟින් ඒකාග්‍රතාව සහ කරුණාව වැනි ධනාත්මක මනෝභාව ජනනය කිරීම පහසු කරවන නව ස්නායුක මංමාවත් හැඩගස්වන බවත් හෙළිදරවු විය.

මේ වන විට, බටහිර විද්‍යාවේ සහ බුදුදහමේ සොයාගැනීම් එකිනෙකාට ඌනපූරණ සපයමින් එකිනෙකාව පොහොසත් කර ඇත. එසේම, ප්‍රායෝගික බෞද්ධයන් සහ මෙම අතිවිශිෂ්ට විද්‍යාඥයන් අතර ඇති හවුල් ක්‍රියාදාමය, දලයි ලාමා වහන්සේ විසින් 21වන සියවසේ බුදුසමය යනුවෙන් හඳුන්වන දෙයෙහි විශිෂ්ටතා මුද්‍රාවද වේ.

ජීවිතය අත්විඳීමේදී ඇති වන මානසික ක්‍රියාවලිය යනු බුදුදහම “මනස” යනුවෙන් හඳුන්වන දේය. මෙම ක්‍රියාවලිය සෑම මොහොතකම වෙනස් වන අතර සැමවිටම විවිධ චෛතසික සාධක සමග එක්වී ක්‍රියා කරයි. ජීවිතය විසින් අප වෙත දමා ගසන සෑම දෙයකම අප වින්දිතයන් නොවන බව බුදුදහම අපට උගන්වයි. එනමුත් ජීවිතය අත්විඳින්නේ කුමන අයුරින්ද කුමක් අත්විඳින්නේද යන කරුණු තුළ වෙන් කළ නොහැකි භූමිකාවක් අපි නිරූපණය කරමු. අපේ මනස හික්මවීම මඟින් අපේ අත්දැකීම් වඩා හොඳ තත්ත්වයකට මුලුමනින්ම වෙනස් කරගමු. දීර්ඝකාලීන පරිශ්‍රමයත් සමග ශුභවාදී වෙනස නිරායාසයෙන් බිහි වේ.

Top