සමාජ, භාවමය හා ආචාර ධාර්මික (SEE) ඉගෙනුම: ප්‍රධාන කරුණු පිළිබඳ සංක්ෂිප්ත සටහන

සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම, එමරි විශ්වවිද්‍යාලය, සංක්ෂිප්ත රාමුව

පුද්ගලික පරාසය

අවධානය හා ස්වයං-දැනුවත්භාවය

අපගේ සිරුර හා එහි සංවේදනාවන් පිළිබඳ අවධානය යොමු කිරීම

  • අපගේ සිරුරු තුළ සිදුවන දේ පිළිබ‍ඳ අවධානය යොමු කිරීම
  • අධි හා අව ඇවිස්සුම් තත්ත්වයන් හඳුනා ගැනීම (සාංකාව, කෝපය, නිද්‍රාශීලීබව, මානසික අවපීඩනය ආදිය)
  • සමබර සිරුරකට දැනෙන දෙය වටහා ගැනීම

අපගේ භාවයන් හා හැඟීම්වලට අවධානය යොමු කිරීම

  • සතිමත්බව වැනි පිළිවෙත් මගින් අපගේ සිත් පිළිබඳ අවධානය යොමු කිරීම

චිත්ත සිතියමක් අනුගමනය කිරීම

  • භාවයන්, ඒවාහි ලක්ෂණ, හා ඒවා ඉස්මතු කරවන හා ප්‍රවර්ධනය කරවන දෙය හඳුනා ගැනීමට හැකිවීම
  • කළමනාකරණය කරගත නොහැකි භාවමය තත්ත්වයන් බවට පත්වීමට පෙර හානිකර භාවයන් හඳුනාගෙන ඒවා සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ඉගෙනීම.

ස්වයං - කාරුණාව

භාවයන් ඒවාහි සන්දර්භය තුළ වටහා ගැනීම

  • අපගේ තාර්කික සිතිවිලි අපගේ වටිනාකම්, අවශ්‍යතා සහ අපේක්ෂාවනට සම්බන්ධවන ආකාරය වටහා ගැනීම සඳහා තාර්කික චින්තනය යොදා ගැනීම
  • අප තුළ පවත්නා වටිනාකම් අගයමින් ස්වයං වටිනාකම හා අභ්‍යන්තර විශ්වාසය පිළිබඳ හැඟීමක් වගාකර ගැනීම.

ස්වයං - පිළිගැනීම

  • අපගේ පෞද්ගලික සීමා සහිතකම් හා විභවයන් පිළිබඳ යථාර්ථවාදී දෘෂ්ටි කෝණයක් පවත්වා ගැනීම
  • අභ්‍යන්තර ස්ථිරසාරත්වය, සැහැල්ලු බව, නිහතමානිත්වය සහ ධෛර්යය වගාකර ගැනීම
  • කළකිරීම හා ශෝකය යනු ජීවිතයේ ස්වභාවික කොටසක් බව වටහා ගැනීම.

ස්වයං - නියාමනය

පහත සඳහන් කරුණු මගින් සිරුර සමබර කිරීම (අපගේ භෞතික සිරුරු සක්‍රීය, සැහැල්ලු හා සමබර තත්ත්වයකට ගෙනඒම):

  • මිතුරෙකු, කැමති ස්ථානයක් හෝ ප්‍රියජනක මතකයන් වැනි සම්පත් කරා යොමුවන සම්පත්කරණය
  • බිම්ගතකරණය හෙවත් අපට ආධාරකයක් ලැබෙන බවක් හෝ මිහි මත සිටුවා තැබෙන බවට දැනීමක් ඇති කරවන තත්ත්වය
  • යෝග, තායි-චි, සංගීතයට සවන්දීම, චිත්‍ර ඇඳීම හෝ භාවනාව වැනි ක්‍රියාකාරකම්.

හඳුනා ගැනීමේ හා ආවේග පාලනය

  • සිත විසිර යාමට හේතුවන කරුණුවලට හසු නොවන සේ අවධානය පවත්වාගත හැකිවන පරිදි අපගේ අවධානය යොමු කරවීමේ කුසලතාවයන් වර්ධනය

භාවයන් මෙහෙයවීම

  • ප්‍රයෝජනවත් වනුයේ කවර භාවයන්ද, හානිකර වන්නේ කවර භාවයන්ද යන්න හඳුනාගනු පිණිස භාවමය වශයෙන් විනිවිද දැකීමේ හැකියාව ගොඩනගා ගැනීම.
  • අපගේ භාවමය තත්ත්වයන් විසින් අප පාලනය කරනු ලැබීමට වඩා ඒවා අපට පාලනය කිරීමට හැකිවන පරිදි මෙම විනිවිද දැක්ම ධෛර්යයේ හා ආත්ම විශ්වාසයේ හැඟීමක් බවට පරිවර්තනය වීමට අවකාශ සැලසීම.

සමාජ වපසරිය

අන්තර් පුද්ගල දැනුවත්භාවය

අපගේ සමාජ යථාර්ථය කෙරෙහි අවධානය යොමු කිරීම

  • අප සමාජ සත්ත්වයන්ය යන කරුණ වටහා ගැනීම
  • අන්‍යයන් විසින් අපගේ ජීවිතවල වැදගත් කාර්ය භාරයක් ඉටුකරන ආකාරය විමසා බැලීම

අන්‍යයන් සමගින් බෙදාහදා ගන්නා යථාර්ථය විමසා බැලීම

  • අපට මෙන්ම අන්‍යයනටද භාවමය ජීවිත පවත්නේය යන කරුණ වටහා ගැනීම
  • උවමනා, අවශ්‍යතා සහ බිය පවත්නේය යන කරුණ තුළ අප සියලු දෙනා සමානයන්ය යන්න වටහා ගැනීම
  • උවමනා, අවශ්‍යතා සහ බිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නේය යන කරුණට ගරු කිරීම

විවිධත්වය හා වෙනස අගය කිරීම

  • අප හැඩගස්වන්නාවූ ජීවිත අත්දැකීම් අප සියලු දෙනා තුළ පවත්නා ආකාරය විමසා බැලීම
  • විවිධත්වය යනු අප එක්කරවන්නාවූ කරුණක් විනා දුරස් කරවන්නාවූ කරුණක් නොවන බව වටහා ගැනීම.

අන්‍යයන් කෙරෙහි වූ කරුණාව

අන්‍යයන්ගේ හැඟීම් හා භාවයන් අදාළ සන්දර්භය තුළ වටහා ගැනීම

  • පදනමෙහි පවත්නා අවශ්‍යතාවයන් හේතුකොට ඉස්මතුවන භාවයන් මගින් සෙසු පුද්ගලයන්ගේ ක්‍රියාවන් ඉස්මතු කෙරෙන බව වටහා ගැනීම
  • කෝපය හා විනිශ්චයට වඩා පුද්ගලයන්ගේ කටයුතුවලට කාරුණිකව ප්‍රතිචාර දැක්වීම.

දයාව හා කාරුණිකත්වය අගය කිරීම හා වගාකර ගැනීම

  • කරුණාව යනු කවරක්ද හා එසේ නොවන්නේ කවරක්ද යන්න ගවේෂණය
  • කරුණාව යන්න ප්‍රයෝජනවත් දෙයක් ලෙස සලකා එය අගය කිරීම හා එය වගාකර ගැනීමට අපේක්ෂා කිරීම

සෙසු ආාර ධාර්මික ගති ස්වභාවයන් ඇගයීම හා වගාකර ගැනීම

  • භෞතික සම්පත් සතුකර ගැනීමෙන් පමණක් අපගේ සියලු අවශ්‍යතා සපුරාගත නොහැකි බව වටහා ගැනීම
  • අපගේ ජීවිතවලට ප්‍රයෝජන සලසන සෙසු අභ්‍යන්තර ගුණයන් ගවේෂණය
  • ආත්මාර්ථකාමී ආකල්පයක පවත්නා අවාසි පිළිබඳ සිතා බැලීම
  • සෙසු අය කෙරෙහි සහකම්පනයක් හා සමාව දීමේ ස්වභාවයක් උපදවා ගැනීම

සබඳතා කුසලතාවයන්

සහකම්පනීය ශ්‍රවණය

  • විවෘත මනසකින් අන් අයට ඇහුම්කන් දීම
  • කිසිදු ගුණ දොස් ප්‍රකාශ කිරීමකින් හෝ විනිශ්චයකින් තොරව අන්‍යයන්ගේ කථාවනට සවන් දෙන “ගැඹුරු ශ්‍රවණ” අභ්‍යාස පුහුණු කිරීම

කුසල සන්නිවේදනය

  • අප හා සෙස්සන් කෙරෙහිද ඵලදායක හා බලගන්වන සුලු ආකාරයකින් සන්නිවේදනය කිරීමේ හැකියාව ගොඩනගා ගැනීම
  • මිතුරන් සමගින් යම් මාතෘකා පිළිබඳ විවාද කරමින් අප සාමාන්‍යයෙන් විරුද්ධවන පාර්ශ්වය ගෙන එම කෝණයෙන් විමසා බැලීම.

අන්‍යයන්ට උපකාර කිරීම

  • සමාජ සේවය, ස්වේච්ඡා කටයුතු හා අහඹු කාරුණික ක්‍රියාවන්හි නිරත වීම

පරිවර්තන ගැටුම

  • සාර්ථකව ගැටුම් මෙහෙයවීමට ඉගෙනීම
  • බාහිර සාමයේ පදනම වන අභ්‍යන්තර සාමය ගොඩනගා ගැනීම

ගෝලීය වපසරිය

අන්තර් රඳා පැවැත්ම ඇගයීම

අන්තර් රඳා පැවතුම් ක්‍රම වටහා ගැනීම

  • අන්තර් රඳා පැවැත්ම වූකලි ස්වභාව ධර්මයේ නීතියක් වන අතර මනුෂ්‍ය ජීවිතයේ මූලික යථාර්ථයක්ය යන කරුණ වටහා ගැනීම
  • අපට අන්‍යයන්ගෙන් තොරව නොනැසී පැවතිය නොහැකි බව වටහා ගැනීම

පද්ධති සන්දර්භයක් තුළ පුද්ගලයෝ

  • අන්‍යයන් කෙරෙහි නිර්ව්‍යාජ කෘතවේදිත්ව හැඟීමක් ඇතිකර ගැනීම
  • අන්‍යයන්ගේ ජීවිත හැඩ ගැස්වීමෙහි ලා අප තුළ පවත්නා විභවය පිළිබඳ වඩාත් ගැඹුරු දැනුවත්භාවයක් ගොඩනගා ගැනීම
  • වඩාත් පුළුල් සුවසෙතක් සහතික කරන්නාවූ කටයුතු කරනු පිණිස අපේක්ෂාවක් ගොඩනගා ගැනීම

පොදු මානුෂිකත්වය වටහා ගැනීම

සියල්ලන් තුළ පවත්නා මූලික සමානත්වය ඇගයීම

  • සතුට සොයා යාම හා දුකට අකමැති වීම යන කරුණ තුළ සියලු තැන්හි මනුෂ්‍යයන් මූලික සමානතාවයක් පෙන්වන බව අවබෝධ කරගැනීම
  • අපගේ “අභ්‍යන්තර කණ්ඩායමෙන්” පිටත සිටින අය ඇතුළත්වන පරිදි අපගේ සහකම්පන පරාසය ව්‍යාප්ත කිරීම

පද්ධති පුද්ගල සුවසෙතට බලපාන ආකාරය ඇගයීම

  • ධනාත්මක වටිනාකම් ප්‍රවර්ධනය හෝ ගැටළුකාරී විශ්වාසයන් සහ අසමානතාවයන් අඛන්ඩව පවත්වාගෙන යාම මගින් අප වෙත බලපාන්නාවූ සංස්කෘතික, දේශපාලනික හා සමාජ ක්‍රම විශ්ලේෂණය

සමාජ හා ගෝලීය වශයෙන් කාර්ය නියුක්තිය

සමාජය හා ලෝකය තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා වූ අපගේ විභවයන්

  • අප තුළ සීමා සහිතකම් පවත්නා අතරම අප තුළ ඉමහත් හැකියාවන්ද පවත්නා බව වටහා ගැනීම
  • සුළු පුද්ගලික වෙනස්කම් මගින් සුවිශාල ගෝලීය වෙනස්කම් ඇතිකළ හැකි බව වටහා ගැනීම

සමාජමය හා ලෝක විසඳුම් කටයුතුවල නියැළීම

  • අප ජීවත්වන සමාජ ක්‍රමයන් හා ඒවාහි පවත්නා සංකීර්ණත්වය හඳුනා ගැනීම
  • ක්‍රියාවන්හි කෙටි හා දිගු කාලීන ප්‍රතිවිපාක තක්සේරු කිරීම
  • සෘණාත්මක භාවයන්හි සහ පක්ෂපාතිත්වයේ බලපෑම අවම කිරීම
  • විවෘත මානසික, ඒකාබද්ධ හා බුද්ධිමය වශයෙන් නිහතමානී ආකල්පයක් වගාකර ගැනීම
  • යම් නිශ්චිත ක්‍රියා මාර්ගයක වාසි සහ අවාසි පිළිබඳ සැලකිලිමත් වීම.


වඩාත් ගැඹුරට කරුණු විමසා බැලීමට කැමැත්තේ නම් සමාජ, භාවමය හා ආචාර ධාර්මික ඉගෙනුම් රාමුවේ සම්පූර්ණ සංස්කරණය කියවා චින්තාපර විද්‍යා හා කරුණා පදනනම්ගත ආචාර ධර්ම මධ්‍යස්ථානයේ සෙසු වැඩසහන් පිළිබඳවද ඉගෙන ගන්න.

Top