ක්ලේශය හෙවත් කැළඹිලිකාරී භාවය යනු කවරක්ද?

12:53
අපගේ සිත් කෝපය, ඇල්ම, ආත්මාර්ථය හෝ ලෝභය මගින් කැළඹිල්ලට පත්වූ විටදී එ් හා සමානවම අපගේ ශක්තීන්ද කැළඹිල්ලට පත්වේ. අපට අපහසුවක් දැනේ; සිත සන්සුන් නැත; සිතිවිලි අසංවරව ගලා යයි. පසුව පසුතැවිල්ලට පත්වන්නට සිදුවන දේ ප්‍රකාශ කරමු, සිදු කරමු. අපගේ සිත්වල හා ශක්තීන්හි ක්ෂණික කැළඹිල්ලක් දක්නට ලැබුණහොත්, එය යම් කැළඹිලිකාරී භාවයක් මගින් ඇති කරන ලද්දක් බව සහතිකය. මෙහිදී යෙදිය යුතුවන ප්‍රයෝගය නම් එය ඉස්මතුවන විගස අල්ලා ගනිමින්, අදාළ කරදරකාරී භාවයට යටත්වී එ් අනුව ක්‍රියාත්මක වුවහොත් ඇතිවිය හැකි ගැටලු වළකාලනු පිණිස ආදරය හා කරුණාව වැනි එයට එදිරිවාදී චිත්ත ස්වභාවයක් ක්‍රියාත්මක කිරීමයි.

"කැළඹිලිකාරී භාවයක්" යනු කවරක්ද?

කැළඹිලිකාරී භාවයක් යන්න අප විසින් වැඩි වර්ධනය කරගත හොත් අපගේ චිත්ත සාමය අහිමි කරමින් ස්වයං පාලනය අහමි කරවන්නාවූ චිත්ත ස්වභාවයක් වශයෙන් අර්ථ කථනය කෙරේ.

අප විසින් අපගේ චිත්ත සාමය අහිමි කරගන්නා බැවින්, එය කැළඹිලිකාරීය; එමගින් අපගේ චිත්ත සාමය කැළඹිල්ලට පත් කරයි. අපි අපගේ චිත්ත සාමය අහිමි කරගන්නා විටදී කැළඹිල්ලට පත්වන බැවින්, අපි අපගේ සිතිවිලි හෝ හැඟීම් පිළිබඳ පැහැදිලි ස්වභාවයකින් පසු නොවෙමු. පැහැදිලි භාවයක් නොමැති වීම හේතුවෙන්, ස්වයං පාලනයක් පවත්වාගනු පිණිස අවශ්‍ය වන්නාවූ වෙන්කොට සැලකීමේ හැඟීම අහිමි කරගනිමු. අපට උපකාරී වන්නේ කවරක්ද හා එසේ නොවන්නේ කවරක්ද යන කරුණු අතර, නිශ්චිත අවස්ථාවන්හි සුදුසු හා නුසුදුසු දේ අතර, වෙන්කොට දැකීමක්, වෙනස දැකීමක් සිදු කිරීමේ හැකියාව පැවතිය යුතුය.

පුණ්‍යවන්ත චිත්ත ස්වභාවයන් සමගින්ද කැළඹිලිකාරී භාවයන් පැවතිය හැක

කැළඹිලිකාරී භාවයනට නිදසුන් ලෙස ඇල්ම හෝ කාමය, කෝපය, ඊර්ෂ්‍යාව, උඩඟුකම, ආඩම්බරය ආදිය දැක්විය හැක. මෙම කැළඹිලිකාරී භාවයන් අතරින් සමහරක් විසින් අප විනාශකාරී ක්‍රියා කරා යොමු කරවිය හැකි නමුත් සෑම අවස්ථාවකදීම එය එසේ නොවේ. නිදසුනක් ලෙස ඇල්ම හා කාමය විසින් පිටතට ගොස් යම් කිසිවක් සොරකම් කරගෙන එ්ම වැනි පාපකාරී ක්‍රියාවක නිරත වීම කරා අප යොමුකළ හැක. එසේ වුවද, අපට ආදරය ලබා ගැනීමේ කාමයක්ද පැවතිය හැකි අතර එයට ඇලී සිටිමින් එ් අනුව අන්‍යයන් වෙතින් ආදරය ලබාගනු පිණිස ඔවුන් වෙත උපකාර කරමු. අන්‍යයන් වෙත උපකාර කිරීම හානිකර දෙයක් නොවේ; එය ධනාත්මක දෙයක් වුවද, එ් පිටුපස කැළඹිලිකාරී භාවයක් ඇත: "මට ආදරය ලැබීමට අවශ්‍යයි. එ් හින්දා අනේ ඔයාත් මට ආදරය කරන්න" වශයෙනි.

‍නොඑසේ නම් කෝපයට අදාළ තත්ත්වය සලකා බලන්න. කෝපය මගින් අප හානිකර ක්‍රියාවන්හි නිරත කළ හැක. මක් නිසාද අධික කෝපය හේතුකොට යමෙකුට වේදනා ගෙනදීම හෝ මරා දැමීම පවා සිදුවිය හැකි බැවිනි. එ් අනුව එය පාපකාරී චර්යාවකි. කෙසේ නමුදු, යම් ක්‍රමයක හෝ යම් අවස්ථාවක පවත්නා අසාධාරණය පිළිබඳ කෝපයෙන් පසු වන්නේ යැයි සිතමු. එ් අනුව එ් අසාධාරණය පිළිබඳ ඉමහත් කෝපයෙන් එය වෙනස් කිරීමේ අදහසින් යම් කිසිවක් සිදු කරන්නෙමු. එහිදී අප කරන කාර්යය අවශ්‍යයෙන්ම හිංසනකාරී දෙයක් නොවිය හැක. එනමුත් මෙහි අදහස නම් යම් ධනාත්මක හෝ නිර්මාණාත්මක දෙයක් සිදු කිරීමේදී පවා මෙහිදී එය කැළඹිලිකාරී භාවයක පෙළඹීමෙන් සිදු කරන බවයි. අප තුළ චිත්ත සාමයක් නොමැති අතර එසේ චිත්ත සාමයක් නොමැති වීම හේතුකොට එම ධනාත්මක කාර්යය සිදු කරන අවස්ථාවේදී අපගේ සිත් හා හැඟීම් එතරම් පැහැදිලි නොවන අතර අපගේ භාවමය තත්ත්වයද එතරම් ස්ථාවර නොවේ.

මෙම අවස්ථාවන්හිදී, එ් අනුව, කාමය හෝ කෝපය සමගින්, අපට අනෙකාගේ ආදරය අවශ්‍ය අතර සිදුවූ යම් අසාධාරණයක් අවසන් වීමටද අවශ්‍යය. එ්වා ස්ථාවර චිත්ත ස්වභාවයන් හෝ ස්ථාවර භාවමය ස්වභාවයන් නොවේ. එ්වා පැහැදිලි චිත්ත ස්වභාවයන් හෝ පැහැදිලි භාවමය ස්වභාවයන් නොවන බැවින්, කළ යුත්තේ කවරක්ද හා අප අපේක්ෂා කරන දෙය සැබැවින්ම ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද යන කරුණු පිලිබඳව එතරම් පැහැදිලිව නොසිතන්නෙමු. එහි ප්‍රතිඵලයක් වශයෙන්, අප තුළ ස්වයං පාලනය අහිමි වේ. නිදසුනක් ලෙස, අපි යමෙකුට යම් කාර්යයක් සිදු කිරීම සඳහා උපකාර කරනවා විය හැකි නමුත් එ් අවස්ථාවේ අපට කළ හැකි යහපත්ම උපකාරය ඔවුනට එම කාර්යය කරගන්නට ඉඩදී පසෙකට වීම විය හැක. අපට වැඩි විය පත් දියණියක සිටින්නේ යැයි සිතමු. ඇයට ඉවුම් පිහුම් කිරීමේදී, නිවෙස බලා කියා ගැනීමේදී හෝ දරුවන් රැකබලා ගැනීමේදී උපකාර කිරීමට අපට අවශ්‍ය විය හැක. එසේ නමුදු, එවන් උපකාරයන් බොහෝ ආකාරයෙන් ඇඟිලි ගැසීම් බවට පත්විය හැක. අපගේ දියණියට උයන පිහන ආකාරය හෝ ඇයගේ දරුවා හදා වඩා ගන්නා ආකාරය ඉගැන්වීම ඇයගේ සතුටට හේතු නොවන්නට පිළිවන. එනමුදු, අපට ආදරය ලැබීමට හා ප්‍රයෝජනවත් අයෙකු වීමට ඇති අවශ්‍යතාවය හේතුවෙන් ඇය මත මෙම පීඩනය යොදන්නෙමු. අප කරන කාර්යය ධනාත්මක දෙයක් නමුදු, එය සිදු කිරීමේදී "මගේ කට වහගෙන ඉඳිමින් මගේ අදහස් නොපවසා මාගේ උදව් මේ අවස්ථාවේ නොදී සිටීම වඩාත් යහපත්" ලෙස සිතීම කරා අප යොමු කළ හැකි ස්වයං පාලනය අහිමිව ගොස් ඇත. අනෙකා වෙත උපකාර කිරීම සුදුසු වන අවස්ථාවකදී අපගේ උපකාර ලබා දුන්නද, අපි එ් පිළිබඳව සන්සුන් සිතින් නොසිටිමු. මක් නිසාද, එම උපකාරය තුළ යම් ප්‍රත්‍යුපකාරයක්ද අපේක්ෂා කරනවා විය හැකි බැවිනි. අපට ආදරය, අපගේ අවශ්‍යතාවය ඔවුනට දැනීම, ඇගයීම් ලැබීම ආදිය අවශ්‍ය විය හැක. මෙයාකාරයේ ලෝභයක් අපගේ සිත තුළ කොන්දේසියක් වශයෙන් පවත්නා තැනෙකදී අපගේ දියණිය අපට අවශ්‍ය ආකාරයෙන් ප්‍රතිචාර නොදැක්වුව හොත්, බොහෝ සෙයින් වියවුලට පත් වෙමු.

අසාධාරණයට එරෙහිව සටන් කරන්නට යන විටදී අපගේ චිත්ත සාමය හා ස්වයං පාලනය අහිමි කරවන්නාවූ මෙයාකාරයේ කැළඹිලිකාරී භාවමය යාන්ත්‍රණයක් වඩාත් පැහැදිලිව දක්නට ලැබේ. එ් පිළිබඳ පැහැදිලිවම ප්‍රකෝප වී බොහෝ වියවුලට පත් වන්නෙමු. වියවුලට පත්වී සිටීමේ පදනමින් කටයුතු කරන්නට ගියහොත් සාමාන්‍යයෙන් කළ යුත්ත කවරක්ද යන්න පිළිබඳව එතරම් පැහැදිලි චින්තනයක් අප තුළ නොපැවතිය හැක. බොහෝ විට අපි අපට අවශ්‍ය වෙනස ඇති කරගැනීම සඳහා වඩාත්ම යහපත් ක්‍රියා මාර්ගය අනුගමනය නොකරන්නෙමු.

කෙටියෙන් පවසන්නේ නම්, හානිකර ක්‍රියාවක් සිදු කළද, ධනාත්ම ක්‍රියාවක් සිදු කළද, එය කැළඹිලිකාරී භාවයක පෙළඹීමෙන් හා එවන් භාවයක් සහිතව සිදු කරන්නේ නම්, එම චර්යාව තුළ ගැටලු ඇති කෙරෙනු ඇත. එමගින් අන්‍යයන් හට ගැටලු ඇති කරනු ඇත්තේද, නැත්තේද යන්නක් පැහැදිලිව අපට පුරෝකථනය කළ නොහැකි වුවද, එමගින් මූලිකවම අපට ගැටලු ඇති කරනු ඇත. මෙම ගැටලු වූකලි අවශ්‍යයෙන්ම වහා සිදුවන දේවල් නොවේ; කැළඹිලිකාරී භාවයන්ගේ බලපෑමට යටත්ව කටයුතු කිරීම තුළ එසේ කැළඹිලිකාරී විලාසයන්ගෙන් කටයුතු කිරීමේ පුරුදු ඇති කරන්නේය යන අදහසින් එ්වා වූකලි දිගු කාලීන ගැටලු වේ. මෙයාකාරයෙන් කැළඹිලිකාරී භාවයන් මත පදනම් වූ අපගේ බලහත්කාරී චර්යාවන් මගින් බොහෝ දුර විහිදෙන්නාවූ ගැටලුකාරී චර්යා රටාවන් පෙළක් නිර්මාණය කරනු ලබයි. අපට එ් අනුව කිසි දිනෙක හෝ චිත්ත සාමයක් ඇති නොවනු ඇත.

උපකාරී වීමේ පෙළඹීම සහිතව අන්‍යයන් වෙත යහපත් වූ දේ සිදුකරනුයේ අප තුළ ඇති ආදරය ලබාගැනීමේ හා අගය කරවාගැනීමේ අවශ්‍යතාවය මතය යන්න මේ සඳහා වූ පැහැදිලි නිදසුනකි. එ් පිටුපස සිටින අප මූලික වශයෙන් අනාරක්ෂිත වූවන් වෙමු. මෙයාකාරයේ අභිප්‍රේරණයක් සහිතව කටයුතු කරන්නට කරන්නට, එමගින් තෘප්තියක් නොලැබෙන අතර, අපට කිසි විටෙකුදු "හොඳයි, දැන් එ් ආදරය මට ලැබෙනවා. දැන් ඇති, තවත් කිසිවක් අවශ්‍ය නෑ" යන්නක් නොහැඟේ. එ් අනුව අපගේ චර්යාව තවදුරටත් බලගැන්වෙන අතර "මට ආදරය අවශ්‍යයි, මට වැදගතෙකු බවට හැඟෙන්නට අවශ්‍යයි, අගය කරවා ගැනීමට අවශ්‍යයි" යන බලහත්කාරී හැඟීමක් ඇතිවීමේ පුරුද්ද තවදුරටත් ශක්තිමත් කරනු ලබයි. ඔබ විසින් ආදරය කරවා ගැනීමේ අපේක්ෂාවෙන් තව තවත් උපකාර කරන නමුදු නිරතුරුවම ඉච්ඡා භංගත්වයක් දැනේ. යමෙකු විසින් ඔබට ස්තුතිය ප්‍රකාශ කළද "එ් අය ඇත්තටම නෙවෙයි එ්ක කිව්වෙ" යන සිතිවිල්ල සහිත බැවින් එසේ ඉච්ඡා භංගත්වයක් දැනේ. එ් හේතුවෙන් අපට කිසිදා චිත්ත සාමයක් නොදැනේ. මෙම රෝග ලක්ෂණය නැවත නැවතද ඉස්මතුවන බැවින් තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් බරපතල වේ. එය එක් අතකින් පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන ගැටලුකාරී තත්ත්වයක් හෙවත් "සංසාරය" ලෙස හැඳින්වේ.

අදාළ කැළඹිලිකාරී භාවය විසින් පාපකාරී ‌හෝ විනාශකාරී ලෙස කටයුතු කරන්නට අප යොමු කරවන විටදී මෙයාකාරයේ රෝග ලක්ෂණයක් හඳුනා ගැනීම දුෂ්කර නොවේ. නිදසුනක් ලෙස, අප නිරතුරු කෝපයෙන් පසුවිය හැක. සුළුම සුළු දෙයින් පවා කෝපයට පත්ව තරහ ගන්නා බැවින් අන් අය ඇසුරේ අපි නිරතුරු රළු හා කුරිරු ප්‍රකාශයන් සිදු කරන්නෙමු. එහිදී කිසිවෙකු හෝ අපට කැමති නොවන අතර ඔවුන් අප සමගින් සිටින්නට අකමැති වන අතර එමගින් අපගේ සම්බන්ධතාවයට බොහෝ ගැටලු ඇති කරවනු ලබන්නේය යන්න පැහැදිලිය. එහිදී සිදුවන දෙය කවරක්ද යන්න හඳුනා ගැනීම බොහෝ සෙයින් පහසුය. එනමුදු, අප විසින් නිසි පරිදි කටයුතු කරන අවස්ථාවන්හිදී එ් පසුපස පවත්නා කැළඹිලිකාරී භාවය හඳුනා ගැනීම පහසු නැත. එනමුදු, මෙම අවස්ථා දෙකේදීම එය හඳුනාගත යුතුය.

කැළඹිලිකාරී භාවයක, ආකල්පයක හෝ චිත්ත ස්වභාවයක බලපෑමට යටත්ව සිටින අවස්ථාවන් හඳුනා ගන්නා ආකාරය

එ් අනුව විසඳිය යුතු පැනය වනුයේ අප විසින් කැළඹිලිකාරී භාවයක හෝ ආකල්පයක බලපෑම යටතේ කටයුතු කරන්නේය යන්න හඳුනා ගන්නා ආකාරය කවරක්ද යන්නයි. එය හුදෙක් භාවයක් විය යුතු නැත; එය ජීවිතය හෝ අප කෙරෙහිම වූ ආකල්පයක්ද විය හැක. මේ සඳහා අන්තරාවලෝකනයක යෙදී අපට ඇතුළතින් දේවල් හැඟෙන ආකාරය පිළිබඳ තරමක් සංවේදී විය යුතුය. මෙය සිදුකරනු සඳහා කැළඹිලිකාරී භාවයක් හෝ කැළඹිලිකාරී ආකල්පයක් සම්බන්ධ අර්ථ නිරූපණය ඉතා ප්‍රයෝජනවත් වේ: එමගින් අපගේ චිත්ත සාමය හා ස්වයං පාලනය අහිමි කරවනු ලබයි.

අප විසින් යම් කිසිවක් ප්‍රකාශ කරන්නට හෝ සිදු කරන්නට යන විටදී අපට අප තුළ යම් චකිතයක් දැනෙන අතර අපි පූර්ණ සන්සුන් තත්ත්වයක නොසිටින අතරම යම් කැළඹිලිකාරී භාවයක් පවත්නා බවට එය ලකුණකි.

එය බොහෝ විට නොදැනුවත්ව සිදුවන්නක් වන නමුදු එ් පසුපස යම් කැළඹිලිකාරී භාවයක් පවතී.

අපි යමෙකුට යම් කිසිවක් පැහැදිලි කරන්නට උත්සාහ කරන්නේ යැයි සිතමු. එම පුද්ගලයාට කථා කරන අතරතුර අපගේ යටි බඩ ප්‍රදේශයේ යම් පමණක අපහසුතාවයක් දැනෙන්නේ නම්, නිදසුනක් ලෙස අප පිටුපස යම් ආඩම්බරයක් ඇත්තේය යන්න එමගින් මනාව පෙන්නුම් කරයි. "මං කොච්චර දක්ෂද, මට එ්ක තේරෙනවා. මං ඔයාටත් තේරුම් ගන්න උපකාර කරන්නයි යන්නෙ" යන හැඟීමක් අප තුළ ඇතිවිය හැක. අනෙකා වෙත යම් කිසිවක් පැහැදිලි කරමින් ඔහුට උපකාර කිරීමේ අවංක උවමනාවක් තිබෙනවා වන්නට පිළිවන. එනමුත්, අපට අපගේ යටි බඩ ප්‍රදේශයේ යම් අපහසුතාවයක් දැනෙන්නේ නම්, එහි යම් උඩඟුකමක් ඇත. අපි අපගේම සාර්ථකත්වයන් හෝ අපගේ යහගුණ පවසන විටදීද එය විශේෂයෙන් සිදුවේ. බොහෝ විට, අපි එය තරමක අපහසුතාවයක් සහිතව අත් විඳින්නෙමු.

නොඑසේ නම්, "සියලු දෙනා මා වෙත අවධානය යොමු කළ යුතුය" යන නිරන්තරයෙන් අප තුළ පවත්නා ආකල්පය නමැති කැළඹිලිකාරී ආකල්පය සලකා බලමු. අපි නොසලකා හැරීමට අකමැත්තෙමු - කිසිවෙකු හෝ එවැන්නකට කැමති නැත- එ් අනුව "මිනිසුන් මා වෙත අවධානය යොමු කොට මා පවසන දේට සවන් දිය යුතුය" ආදී ලෙස වූ හැඟීමක් ඇතිවේ. විශේෂයෙන් පුද්ගලයන් අප වෙත අවධානය යොමු නොකරන්නේ නම් එයද යම් තැති ගැන්මක් සමගින් ඇතිවිය හැක. ඔවුන් අප වෙත අවධානය යොමුකළ යුත්තේ මන්ද? එ් පිළිබඳ සිතීමේදී එයට සැබෑ හේතුවක් නොමැත.

සංස්කෘත භාෂාවෙන් "ක්ලේශ ලෙසද, තිබ්බත භාෂාවෙන් "න්යොං-මොං" ලෙසද හැඳින්වෙන මා මෙහිදී "කැළඹිලිකාරී භාවය" හෝ "කැළඹිලිකාරී ආකල්පය" ලෙස පරිවර්තනය කරන වචනය වූකලි ඉතා දුෂ්කර වචනයකි. "මෝහය" ඈ වචන නිදසුන් කොට දැක්විය හැකි භාවයන්ගේ හෝ ආකල්පයන්ගේ කාණ්ඩ දෙකටම නොගැලපෙන ඇතැම් හැඟීම් ඇති බැවිනි එය දුෂ්කර වදනක් වනුයේ. අපගේ චර්යාව මගින් අප කෙරෙහි හෝ අන්‍යයන් කෙරෙහි ඇතිකළ හැකි බලපෑම පිළිබඳ නොදැනුවත්භාවයක් අප තුළ පැවතිය හැක.

නොඑසේ නම් අවස්ථාව හෙවත් සැබෑ ලෙස සිදුවන දේහි යථාර්ථය පිළිබඳ නොදැනුවත්ව සිටිය හැක. යමෙකු අසනීප තත්ත්වයෙන් සිටින්නේය හෝ යමෙකු කැළඹිල්ලෙන් සිටින්නේය යන කරුණ පිළිබඳ අප නොදැනුවත්ව සිටින්නේ යැයි සිතමු. එවන් අවස්ථාවන්හි, ඔවුනට යමක් පැවසීමෙන් සිදුවිය හැකි ප්‍රතිඵලය පිළිබඳව අපි සත්තකින්ම නොදැනුවත්ව සිටිය හැක; අප යහපත් අදහසින් එය පැවසුවද ඔවුන් බොහෝ සේ කිපිය හැක.

එවන් කැළඹිලිකාරී චිත්ත ස්වභාවයක් පවත්නා විටදී අපට අවශ්‍යයෙන්ම ඇතුළාන්තයෙන් අපහසුවක් නොදැනිය හැක. එනමුත් අප විසින් දුටු පරිදි, අපි අපගේ චිත්ත සාමය අහිමි කරගන්නා විටදී, අපගේ සිත් අපැහැදිලි වේ. එ් අනුව, අපි නොදැනුවත්ව සිටින විටදී, සැබැවින්ම අපගේ සිත් පැහැදිලි නැත; අපි අපගේම කුඩා ලෝකයේ ජීවත් වෙමු. අපි අපගේම කුඩා ලෝකයේ සිටින බැවින් යම් අවස්ථාවකට අදාළව උපකාරී වනුයේ හා සුදුසු වනුයේ කවරක්ද හා එසේ නොවනුයේ කවරක්ද යන්න අතර වෙනස නොදකී. එසේ වෙන්කොට දැකීමේ දුර්වලතාවය හේතුවෙන් අපි නිවැරදිව හා සංවේදීව කටයුතු නොකරමු. වෙනත් වචනවලින් පවසන්නේ නම්, නිසි පරිදි කටයුතු කරමින් නුසුදුසු දෙයක් කිරීමෙන් වැළකී සිටීමේ ස්වයං පාලනය අප තුළ නොමැත. නොදැනුවත්භාවය භාවයක්ද, ආකල්පයක්ද යන්න පිළිබඳ සිතීම දුෂ්කර දෙයක් වන නමුත් නොදැනුවත්භාවය යන්න කැළඹිලිකාරී චිත්ත ස්වභාවයක් සම්බන්ධ මෙකී අර්ථ නිරූපණය හා ගැළපේ. මා පෙරදී සඳහන් කළ පරිදි "ක්ලේශ" යනු කවර හෝ ඉතා සුදුසු පරිවර්තනයක් සොයා ගැනීම අතිශය දුෂ්කර වචනයකි.

කැළඹිලිකාරී නොවන භාවයන්

"භාවයන්" යන්නට සංස්කෘත හා තිබ්බත භාෂාවේ වචනයක් නොමැත. මෙම භාෂාවන් තුළ අපගේ චිත්ත ස්වභාවයේ සෑම මොහොතක්ම නිර්මාණය කරන්නාවූ විවිධ සංඝටක වන චිත්ත සාධක පිළිබඳව සාකච්ඡා කෙරේ. එ්වා තුළ මෙම චිත්ත සාධක කැළඹිලිකාරී එ්වා හා කැළඹිලිකාරී නොවන එ්වා ලෙසද, ධනාත්මක හා හානිකර එ්වා ලෙසද බෙදනු ලබයි. එම යුගල දෙක පූර්ණ වශයෙන් එකිනෙක මත වැටීමක් සිදු නොවේ. මෙයට අමතරව මෙම කාණ්ඩ කිසිවකට හෝ නොවැටෙන මානසික සාධකද ඇත. එ් අනුව බටහිර ජාතීන් වන අප විසින් "භාවයන්" ලෙස හඳුන්වන දේවලට අනුව කැළඹිලිකාරී එ්වාද, කැළඹිලිකාරී නොවන එ්වාද වේ. බුදු දහම තුළ අප විසින් සියලු භාවයන්ගෙන් මිදීමට අපේක්ෂා කරන බවක් ඉන් කිසිසේත් අදහස් නොවේ. හුදෙක් අපට අවශ්‍ය වනුයේ කැළඹිලිකාරී එ්වායින් මිදීමයි. මෙය පියවර දෙකකින් සිදු කරනු ලැබේ: පළමු පියවර වනුයේ එ්වාහි පාලනය යටතට නොවැටීම වන අතර දෙවැනි පියවර වනුයේ එ්වා ඉස්මතුවීමක් පවා සිදු නොවන පරිදි එ්වායින් මිදීමයි.

කැළඹිලිකාරී නොවන භාවයක් යනු කවරක් විය හැකිද?  ඇතැම් විට "ප්‍රේමය" හෝ "කරුණාව" ‌හෝ "ඉවසීම" වැනි භාවයන් කැළඹිලිකාරී නොවන එ්වා බව අපට සිතිය හැක. එනමුදු අපගේ යුරෝපීය භාෂාවන් තුළ දක්නට ලැබෙන මෙම වදන් විශ්ලේෂණය කර බැලීමේදී, මෙකී භාවයන් සෑම එකකම කැළඹිලිකාරී හා කැළඹිලිකාරී නොවන විශේෂයන් පැවතිය හැකි බව හඳුනාගත හැක. එ් අනුව අපට යම් තරමක් ප්‍රවේශම්කාරී වන්නට සිදුවේ. ආදරය යනු "මං ඔයාට හරිම ආදරෙයි, මට ඔයාව ඕන, මාව දාල යන්න එපා" යන හැඟීම අපට දැනෙන හැඟීම් වර්ගය නම්, මෙයාකාරයේ ආදරයක් යනු සැබැවින්ම කැළඹිලිකාරී චිත්ත ස්වභාවයකි. අදාළ පුද්ගලයා පෙරළා අපට ආදරය නොකරන්නේ නම් හෝ ඔහුට අපව අනවශ්‍ය නම්, අපි බොහෝ සෙයින් වියවුලට පත් වෙමු. අපි බොහෝ කෝපයට පත්වන අතර ක්ෂණිකව අපගේ භාවය "මං උඹට ආදරේ නෑ තවත් නම්" යන ස්ථාවරයක් දක්වා වෙනස් වේ.

එ් අනුව යම් චිත්ත ස්වභාවයක් විශ්ලේෂණය කර බැලීමේදී එය භාවමය ස්වභාවයක් ලෙස හඳුනාගත හැකි අතර එය "ආදරය" ලෙස හැඳින්විය හැක. සැබැවින්ම මෙම චිත්ත ස්වභාවය බොහෝ මානසික සාධකයන්හි මිශ්‍රණයකි. අපි හුදෙක් භාවයක් පමණක් අත් නොවිඳිමු. අපගේ භාවමය ස්වභාවයන් වූකලි නිරන්තරයෙන් මිශ්‍රණයන් වේ; එහි බොහෝ වූ විවිධ සංඝටක පවතී. "මං ඔයාට ආදරෙයි. මට ඔයා නැතිව ජීවත් වෙන්න බෑ" යන හැඟීම ඇතිවන වර්ගයේ ආදරය පැහැදිලිවම යම් රඳා පැවතුම් වර්ගයක් වන අතර එය බොහෝ කැළඹිලිකාරී එකකි. එනමුදු, කැළඹිලිකාරී නොවන වර්ගයේ ආදරයක්ද පවතී. එනම් ඔවුන් විසින් කවරක් සිදු කළද හුදෙක් එම පුද්ගලයා සතුටින් සිටීවා සහ ඔහු වෙනුවෙන් සතුටේ හේතු පහළ වේවා යන පැතුමයි. අපි ඔවුන් වෙතින් කිසිවක් හෝ ආපසු අපේක්ෂා නොකරමු.

නිදසුනක් ලෙස, අපගේ දරුවන් කෙරෙහි එයාකාරයේ කැළඹිලිකාරී නොවන ආදරයක් අප තුළ පැවතිය හැක. අපි සැබැවින්ම ඔවුන්ගෙන් කිසිවක් හෝ අපේක්ෂා නොකරමු. එනමුත් පැහැදිලිවම ඇතැම් දෙමව්පියෝ එසේ අපේක්ෂා කරති. එනමුත් සාමාන්‍යයෙන්, දරුවා විසින් කවරක් සිදු කළද, අපි දරුවාට ආදරය කරමු. අපට අවශ්‍ය දරුවාගේ සතුටයි. එනමුදු, බො‌හෝ විට මෙයද තවත් කැළඹිලිකාරී ස්වභාවයක් හා මුහුව පවතී. එනම්, අපට අප විසින්ම ඔවුන් සතුටු කරවීමට අවශ්‍ය වීමයි. දරුවා රූකඩ සංදර්ශනයක් බැලීමට රැගෙන යාම වැනි ඔහු සතුටු කරවීම සඳහා වූ අපේක්ෂාවෙන් යම් කිසිවක් කරන අතර එමගින් ඔහු සතුටු නොවන්නේ නම්, හා ඔහුගේ කැමැත්ත පරිගණකයේ සෙල්ලම් කිරීම නම්, අපට මහත් දුකක් දැනේ. දුකක් දැනෙනුයේ අපගේ දරුවාගේ සතුටේ හේතුව පරිගණක ක්‍රීඩාව නොව, අපම වීමේ උවමනාවක් පැවති බැවිනි. එසේ වුවද, තවදුරටත් අපගේ දරුවා කෙරෙහි වූ එම හැඟීම "ආදරය" ලෙස හඳුන්වමු. "මට ඕන ඔයා සතුටින් ඉන්නව දකින්නයි. මං උත්සාහ කරන්නෙත් ඔයාව සතුටින් තියන්නයි. එ් වුණත් එ් දේ කරන, ඔයාගේ ජීවිතයේ වැදගත්ම පුද්ගලයා වන්නට මට උවමණායි" වශයෙනි.

එ් අනුව, මෙම සවිස්තරාත්මක සාකච්ඡාවේ අරමුණ වනුයේ අප විසින් අපගේ භාවමය ස්වභාවය ඉතා ප්‍රවේශමෙන් පිරික්සා බලා විවිධ භාවයන් ලේබල්කරණය සඳහා අප විසින් භාවිත කරන වචනවලට හසු නොවිය යුතු බව පෙන්වා දීමයි. අපගේ චිත්ත ස්වභාවයට අයත් කවර පැතිකඩයන් කැළඹිලිකාරී හා අපගේ චිත්ත සාමය, අපගේ පැහැදිලිභාවය, අපගේ ස්වයං පාලනය අහිමි කරවන සුළු වන්නේද යන්න සොයාගනු පිණිස සැබෑ විමර්ශනයක නියැළිය යුතුය. අප විසින් කටයුතු කළ යුතුවන දේ එ්වාය.

නොදැනුවත්භාවය කැළඹිලිකාරී භාවයන්ගේ පදනම්ගත හේතුව වශයෙන් සැලකීම

මෙම කැළඹිලිකාරී චිත්ත ස්වභාවයන්ගෙන් හෝ භාවයන්ගෙන් හෝ ආකල්පයන්ගෙන් මිදීමට අපට අවශ්‍ය වන්නේ නම්, අපට එ්වාහි හේතු මූලය විමසා බලන්නට සිදුවේ. එ්වාහි පදනමේ පවත්නා හේතුව ඉවත් කළ හැක්කේ නම්, අපට එ්වායින් මිදිය හැක. එය වූකලි අප අපගේ ගැටලු ඇති කරන්නාවූ එකී කැළඹිලිකාරී භාවයන්ගෙන් මුදවා ගැනීම සම්බන්ධ කරුණක්ම පමණක් නොවේ; අපට සැබැවින්ම කැළඹිලිකාරී භාවයේ මූල හේතුවට ගොස් ඉන් මිදීමට සිදුවේ.

එසේනම් සිතේ පවත්නා මෙකී කැළඹිලිකාරී ස්වභාවයන්හි ගැඹුරුම හේතුව කවරක්ද? එම හේතුව ලෙස අපට හමුවන්නේ "මෝහය" ලෙස නිරතුරු පරිවර්තනය කෙරෙන හා මවිසින් "නොදැනුවත්භාවය" ලෙස හැඳින්වීම වඩාත් ප්‍රිය කරන සංකල්පයයි. අපි හුදෙක් නොදන්නා දෙයක් පිළිබඳව නොදැනුවත්ව සිටිමු. මෝහය යන්නෙන් අපි අඥානයන්ය වැනි හැඟීමක් ඇති කරනු ලබයි.  එහි සරල අදහස නම් අපි නොදන්නා බව හෝ ව්‍යාකූලව ඇති බවයි; එනම් අපි යම් දෙයක් සාවද්‍ය ආකාරයකින් තේරුම් ගන්නා බවයි.

අපි ව්‍යාකූලත්වයට පත්ව සිටින්නේ කවරක් සම්බන්ධවද? හෝ අපි නොදැනුවත්ව සිටින්නේ කවරක් සම්බන්ධවද? මූලිකව එය වූකලි අපගේ චර්යාවේ හා එයට අදාළ අවස්ථාවන්හි ඵලයයි. අපි යම් ආකාරයකට බොහෝ සෙයින් කෝපව හෝ ඇලුම් සහිතව හෝ ව්‍යාකූලව සිටින අතර එමගින් පෙර පුරුදු හා ප්‍රවණතාවන් පදනම් කරගනිමින් බලහත්කාරී ආකාරයකින් කටයුතු කිරීමට සලස්වයි. එයයි මූලිකව කර්මය යනු. එනම්, කැළඹිලිකාරී භාවයක් හෝ කැළඹිලිකාරී ආකල්පයක් පදනම් කරගනිමින් ස්වයං පාලනයකින් තොරව කටයුතු කිරීමේ බලපෑමයි.

එම බලහත්කාරී චර්යාව පදනමේ පවත්නේ නොදැනුවත්භාවයයි: අප කළ හෝ ප්‍රකාශ කළ දේහි ප්‍රතිඵලය කවරක් වනු ඇත්තේද යන්න අපි නොදැනුවත්ව සිටියෙමු. නොඑසේ නම් අපි චිත්ත ව්‍යාකූලත්වයෙන් සිටියෙමු: යම් කිසිවක් සොරකම් කිරීම මගින් අපට සතුටක් අත්වනු ඇතැයි සිතුවද එසේ සිදු නොවීය. නොඑසේ නම් ඔබට උපකාර කිරීම තුළින් මා අවශ්‍ය හා ආදරය කෙරෙන පුද්ගලයකු වනු ඇතැයි සිතුවෙමි; එයද එසේ සිදු නොවීය. එ් අනුව අපගේ ක්‍රියාවෙහි ඵලය කවරක් වනු ඇත්තේද යන්න අපි නොදනිමු. "මං එහෙම කිව්වම ඔයාට රිදෙයි කියල මං දැනගෙන හිටියෙ නෑ" වශයෙනි. නොඑසේ නම් අපි එ් පිළිබඳ චිත්ත ව්‍යාකූලත්වයෙන් පසුවන්නෙමු. "මං හිතුවෙ එ්ක ප්‍රයෝජනවත් වෙයි කියල. එ්ත් එහෙම වුණේ නෑ" හෝ "මං හිතුවෙ එ්කෙන් මට සතුටු වෙන්න පුළුවන් කියල. එ්ත් එහෙම වුණේ නෑ" හෝ "එ්කෙන් ඔයා සතුටු වෙයි කියල. එ්ත් එහෙම වුණේ නෑ" වශයෙනි. අවස්ථාවන් සම්බන්ධයෙන් ගතහොත් "මං දැනගෙන හිටියෙ නෑ ඔයා කාර්ය බහුලයි කියල" හෝ "මං දැනගෙන හිටියෙ නෑ ඔයා කසාද බැඳල කියල"  වශයෙනි. නොඑසේ නම් අපි චිත්ත ව්‍යාකූලත්වයෙන් පසුවනවා විය හැක "මං හිතුවෙ ඔයාට ඕන තරම් වෙලාව තියෙනව කියල" එ්ත් ඔයාට වෙලාවක් තිබ්බෙ නෑ. නුසුදුසු ක්‍රියාවක් සම්බන්ධයෙන් "මං හිතුවෙ ඔයා තනිකඩව, කා එක්කවත් සම්බන්ධයක් නැතිව ඉන්න කෙනෙක් කියල. එ්ක නිසයි මං ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න උත්සාහ කළේ" වශයෙනි. එ් අනුව නැවතද පැවසිය හැක්කේ අපි අවස්ථාවන් පිළිබඳව නොදැනුවත්ව සිටින බවයි: එක්කෝ අපි එ්වා පිළිබඳව නොදන්නෙමු. නොඑසේ නම් එ්වා පිළිබඳ චිත්ත ව්‍යාකූලත්වයෙන් පසුවන්නෙමු: එනම් එ්වා පිළිබඳ අප දන්නා ආකාරය සාවද්‍ය වේ.

එ් අනුව, අප විසින් බලහත්කාරී ලෙස කටයුතු කරනුයේ දැනුවත්භාවයෙන් තොර වීම හේතුවෙනි. එය කැළඹිලිකාරී භාවයන්ගේ මූල හේතුවය යන්න හා කැළඹිලිකාරී භාවයන් බොහෝ කොටම බලහත්කාරී චර්යාව සමගින් සම්බන්ධව ඇත්තේය යන්න එතරම් පැහැදිලි නැත. එ් අනුව, මෙම කරුණු දෙස යම් තරමක් ප්‍රවේශම් සහගතව බැලිය යුතුවේ.

Top