පළමු ආර්ය සත්‍යය: සැබෑ දුක

සියලු දෙනා හට සතුටින් සිටීමට අවශ්‍යවන අතර කිසිවෙකුට හෝ අසතුටින් කල් ගත කිරීමට අවශ්‍ය නොවන්නේය යන්න ජීවිතයේ මූලික සත්‍යයකි. කිසිවෙකුට හෝ ගැටලු හා දුක් අවශ්‍ය නොවන ආකාරය අපගේම අත්දැකීම් තුළින් දැකීම පහසුය. මෙය එසේ පැවතියදී, අපගේ ජීවිත කාලයන් පුරා සියලු ආකාර ගැටලු ඉස්මතු වෙමින් පවතී. සැබැවින්ම එවා වළකාලීම සඳහා කෙතරම් දැඩි උත්සාහයක නිරත වුවද ඒවා නොකඩවා ඉස්මතු වේ. එදිනෙදා ජීවිතයේදී ගැටලුවකට මුහුණ දෙන සෑම අවස්ථාවකම අපි සාමාන්‍යයෙන් එය හැකි වඩාත්ම යහපත් ආකාරයෙන් කළමනාකරණය කරගැනීමට උත්සාහ කරන්නෙමු. එනමුත්, මෙයාකාරයේ ගැටලු එකින් එක ඉස්මතුවන විටදී ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීම අනවරත ක්‍රියාවලියකි. බුදුන් වහන්සේ සර්වඥතාවයට පත්වූ විටදී සෑම දෙනාහට සෑම තැන්හිදීම සත්‍ය වන්නාවූ ජීවන සත්‍යයන් ගණනාවක් පවත්නේය යන කරුණ උන් වහන්සේ විසින් වටහා ගන්නා ලදී. අපි ඒවා චතුරාර්ය සත්‍යයන් ලෙස හඳුන්වමු. බුදුන් වහන්සේ විසින් අවබෝධ කොටගෙන උගන්වන ලද පළමු ආර්ය සත්‍යය වනුයේ අප සියලු දෙනා මුහුණ දෙන සැබෑ ගැටලුව, සැබෑ දුක, වනුයේ අප විසින්ම ගැටලු ඉස්මතුවීම සදාතනිකත්වයට පත් කරන්නේය යන්නයි. අප විසින් වඩ වඩාත් පෞද්ගලික ගැටලු නිර්මාණය කරගැනීම නවතාලීම සිදු නොකරන්නේ නම්, එවා නොකඩවා පැමිණෙනු ඇත. ඒ අනුව අනුගමනය කළ යුතුවන පළමු පියවර වනුයේ සැබෑ දුක සැබැවින්ම කවරක්ද යන්න නිවැරදිව හඳුනා ගැනීමයි.

සතුට හා දුකට අදාළ උන්නත අවනතීන් හෙවත් ඉහළ, පහළ යාම්

අප විසින් මුහණ දෙනු ලබන බොහෝ ගැටලු වර්ග පවතී. ජීවිතය අපේක්ෂා භංග කරන සුළුවූ හා ආතතිය දනවන සුළු එකක් විය හැක. අප විසින් පෞද්ගලිකව අප වෙත සතුටුදායක ජීවිත නිර්මාණය කරගැනීම සඳහා බලවත් උත්සාහයක යෙදෙන නමුත් නිරතුරු දේවල් අප අපේක්ෂා කරන ආකාරයෙන් සිදු නොවේ. අපගේ සම්බන්ධතා අයහපත් අතට හැරීම, අන් අය අපට සලකන ආකාරය නරක අතට පෙරළීම, රැකියා අහිමි වීම ආදී වශයෙන් අපට කිසිදින සිදුවීමට අවශ්‍ය නොවූ දේ සිදුවේ. මෙම සිදුවීම් වළකාලීමට උත්සාහ කරන තරමටම එ්වා ඉස්මතු වීමද සිදුවේ. අපි නිරතුරු එ්වා පිළිබඳ මානසික අවපාතයට ලක්වීම හෝ හුදෙක් එ්වා නොසලකා හැරීමට උත්සාහ කරන නමුත් එමගින් තත්ත්වය වඩාත් අයහපත් අතට හැරේ. අපි වඩ වඩාත් අසතුටටම පත් වෙමු.

යම් සතුටක් අත් විඳීම සාර්ථක වන විටදී පවා, එම සතුට සම්බන්ධ ගැටලුවක් පවතී - එය නිත්‍ය නොවේ. එමගින් අප කිසිදින තෘප්තියට පත් නොවන අතර, අපට එය වඩ වඩාත් වැඩියෙන් අවශ්‍ය වේ. සත්‍ය වශයෙන්ම, අපි වඩ වඩාත් කාලය හා ශක්තිය වැය කරමින් මෙම “තවත් දේ” සෙවීමේ නිරත වන්නෙමු. සමාජ මාධ්‍යයන්හි සෙල්ෆියක් පළ කළ විට ඇතිවන ආකල්පය පිළිබඳ සිතා බලන්න. ‘කැමතියි’ යන්න දැක්වෙන ‘ලයික්’ එකක් ලැබෙන සෑම අවස්ථාවකදීම තරමක සතුටක් ක්ෂණිකව ඉස්මතුවන නමුදු, එය කෙතරම් වේලාවක් පවතින්නේද? අපි කෙතරම් කෙටි කාලයක් තුළ වඩ වඩාත් මෙම ‘ලයික්ස්’ ලැබී ඇත්තේදැයි සොයා නොබලමුද? අපේක්ෂා කළ මට්ටමින් ඒවා ලැබී නොමැති නම් කෙතරම් අසතුටක් දැනේද? එය දුකක් නොවේද?

අපි ජීවිතයේ ඉහළ පහළ යාම් හෙවත් අෂ්ට ලෝක ධර්මය අත් විඳන සිත හා කයට තිර පැවැත්මක් ලබා දෙන්නෙමු.

මෙයාකාරයෙන් සෑම කල්හිම ජීවිතය ඉහළ පහළ ගමන් කරයි - ඇතැම් අවස්ථාවන්හි අපි සතුටින් හා උසස් හැඟීම්වලින් පසුවන අතර තවත් අවස්ථාවන්හි ශෝකයෙන් හා අසතුටින් පසුවන්නෙමු. අපි නිරතුරු ‘ජීවිතය එහෙම තමයි’ යනුවෙන් පවසා මෙම තත්ත්වය වඩා ගැඹුරින් හදාරන්නට නොපෙළඹෙමු. එනමුත් ඊළඟ මොහොතේ කවර හැඟීමක් ඇතිවනු ඇත්තේද යන්න පිළිබඳ කිසිදු දැනුමකින් තොරව අපට අපගේ ජීවිත සැබෑ ලෙසම පත්කර ගත යුතු වන්නේ එම තත්ත්වයටද? වාසනාවකට බුදුන් වහන්සේ විසින් වඩා ගැඹුරින් කරුණු විමර්ශනය කරන ලද අතර, මේ සියල්ල පදනමේ පවත්නා සැබෑ ගැටලුව සොයා ගන්නා ලදී. සැබෑ ගැටලුව, සැබෑ දුක, වනුයේ අප සතුව පවත්නා සිත හා කයයි. අප සතු සිත් හා කය අප විසින් මෙම ඉහළ පහළ යාම් අත් විඳින මූලික පදනම වන අතර එම සිත් හා කය විසින් එකී ඉහළ පහළ යාම් කාන්දමක් මෙන් ආකර්ශනය කරගනී. අප විසින් වඩා ගැඹුරට කරුණු සලකා බලන්නේ නම්, සැබෑ ගැටලුව වනුයේ එවන් සිත් හා කය පවත්වා ගැනීම තුළ අප විසින් මේ අවස්ථාවේ හා එළැඹෙන නුදුරු අනාගතය සඳහා පමණක් නොව මෙම ඉහළ පහළ යාම්, දුක්-සැප තත්ත්වයනට වඩාත් තිර පැවැත්මක් ලබා දෙමින් එය මරණය සිදුවන මොහොත දක්වා පවත්වාගෙන යන්නෙමු. මෙපමණක් නොව, බුදුන් වහන්සේගේ දේශනාවනට අනුව අප විසින් මෙම ජීවිත කාලය තුළ පමණක් නොව, පුනරුත්පත්ති වශයෙන් මතු ජීවිතවලදීද අපගේ ගැටලුවලට සදාතනිකත්වයක් ලබාදෙනු ලබයි. අප විසින් තවමත් පුනරුත්පත්තියක් පවත්නේය යන කරුණ වටහා ගැනීම හෝ පිළිගැනීම සිදු නොකරන්නේ වුවද, මතු පරම්පරාවන් වෙත පවා අප විසින් මෙම ගැටලුවලට සදාතනිකත්වයක් ලබාදෙන ආකාරය නිරීක්ෂණය කළ හැක. වර්තමානයේ උද්ගතව ඇති කාලගුණික අර්බුදයත් සමගින් අපගේ ක්‍රියාවන් අප මෙම ලෝකය තුළ ජීවත්වන කාල පරිච්ඡේදයෙන් ඔබ්බටද පවතින ගැටලු සඳහා සදාතනිකත්වයක් ලබාදෙන ආකාරය පැහැදිලිව දැකගත හැක.

ඒ අනුව, අපගේ සිත හා කය සම්බන්ධ සැබෑ ගැටලුව කවරක්ද? ගැටලුව වනුයේ ඒවා සීමිත වීමයි. ශරීරයන් වයෝවෘද්ධ වන විටදී රෝගී බවට පත්වීම හා දිරාපත් වීම සිදුවීම තුළ ඒවාහි සීමිත හැකියාවන් පෙන්වනු ලබයි. ඒවාද කිරි බෝතලයක් මෙන් කල් ඉකුත්වේ: එනමුත්, කිරිවලටද වඩා අයහපත් ලෙස, ඒවා තුළ පැහැදිලිව කල් ඉකුත් වීමේ දිනයක් දක්නට නොලැබේ. අපට අපගේ ශරීරයේ කල් ඉකුත්වීමේ දිනය පිළිබඳ අදහසක් නොමැත. ශරීරය පවත්නා තාක් එය රැක බලාගැනීම උදෙසා කොපමණ කාලයක් ගත කිරීමට සිදුවන්නේද යන කරුණ සිතා බලන්න. අපට එය පිරිසිදු කිරීමට, එයට ආහාර ලබා දීමට, එය වැසිකිලි/කැසිකිලි වෙත රැගෙන යාමට, එයට ව්‍යායාම ලබාදීමට, විවේදය හා නින්ද සැපයීමට හා එය අනතුරට හෝ රෝගී බවට පත්වන විට එය රැකබලා ගැනීමට සිදුවේ. ඒ සියල්ල විනෝදාත්මක කටයුතුද? එක් ශ්‍රේෂ්ඨ බෞද්ධ ගුරුවරයෙකු විසින් මනා ලෙස ප්‍රකාශ කරන ලද පරිදි, අප සියලු දෙනා අපගේ ශරීරයන්හි වහලුන් වෙමු.

අපගේ හැඟීම් හා  භාවයන්ද සමගින් අපගේ සිත්ද සීමිත ඒවා වේ. අපට අපගේ සිත් වෙත අධ්‍යාපනය ලබාදීමට හා ඒවා පුහුණු කිරීමටද සිදුවන අතර, එසේ තිබියදී පවා අපට නොවැටහෙන බොහෝ දේ පවතී. අපට කිසිවක හෝ සම්පූර්ණ පින්තූරය දැකිය නොහැක - නිදසුනක් ලෙස, අපගේ එදිනෙදා ජීවිතයේ සිදුවන දෙය තබා, ගෝලීය උණුසුම් වීමේ ප්‍රතිවිපාක, කෘත්‍රිම බුද්ධිය, රොබෝ තාක්ෂණය, අතථ්‍ය යථා පරිසරයන් ආදී වශයෙන් වූ දේවල්හි සම්පූර්ණ රූපය හෝ අපට දැකගත නොහැක. වඩාත් අයහපත් කරුණ වනුයේ, අපගේ සිරුරු මෙන් අපගේ සිත්ද වයස්ගත වීමත් සමගින් දිරාපත් වීමයි - අපගේ කෙටි කාලීන මතකය ඉවත් වේ, අපගේ සිත්හි ක්‍රියාකාරිත්වය වඩාත් මන්දගාමී වේ, පහසුවෙන් ව්‍යාකූලත්වයට පත් වෙමු.

මේ සියල්ලටත් වඩා, අපගේ හැඟීම් පහසුවෙන් රිදීමට ලක්වන අතර භාවයන් කැළඹේ. එමගින් අපගේ පැහැදිලි චින්තන ශක්තිය පවා වළක්වාලනු ලබයි. මේ සියල්ල තුළ පවත්නා සැබෑ ගැටලුව වන්නේ අපගේ සීමිත ශරීර, සිත්, භාවයන් හා හැඟීම් ස්වයං සිද්ධවම හෙවත් ස්වේච්ඡාවෙන්ම එම ගැටලු දිගින් දිගටම ඉදිරියට ගෙන යාමයි; එමගින් වඩ වඩාත් එම තැවුල් සහගත කරුණුම ඉදිරියට ක්‍රියාත්මක වන්නට ගනී.

අපගේ සීමිත ශරීර තුළින් දැක්වෙන ආදර්ශයට අනුව අපගේ සැබෑ දුකෙහි පැතිකඩ සතර

බුදුන් වහන්සේ විසින් අපගේ සීමිත චිත්තයන්ගේ පැතිකඩයන් සතරක් තුළින් සැබෑ දුක පිළිබඳ නිදසුන් දක්වන ලදී. 

  • පළමුව ඒවා අනිත්‍ය වේ. අපි ඇතැම් විට මනා සෞඛ්‍ය තත්ත්වයකින්, යහපත් සිතිවිලි සහිතව කල් ගත කරන නමුදු ඉතා සුළු දෙයින් පවා අපගේ සිරුරුවල සමබරතාවය ගිලිහී යා හැකි අතර ඒ අනුව රෝගී බවට පත්වන අප තුළ බියමුසු හැඟීමක් ඇතිවේ. හුදෙක් අපගේ සිරුරු කෙතරම් බිඳෙන සුළු ඒවාද යන්න විමසා බලන්න - ඉතාමත් සුළු දෙයින් පවා ඒවාට තුවාල හා වේදනාවන් ඇතිකළ හැක. මේ සියල්ල පදනමේ පවත්නා දෙය වනුයේ සෑම මොහොතකම අප මරණයට වඩ වඩාත් ළං වන්නේය යන්නයි. අප විසින් අපගේ ශරීරයන් සදාකල් නිරෝගීව හා ශක්ති සම්පන්නව තබාගත හැකි අතර, වයස් ගතවූ පසු පවා තරුණ වියේදී ආහාරයට ගත් ආහාර ගැනීමටද, එකල කළ දේ එපරිදිම කිරීමටද හැකිය යන සිතිවිල්ලකින් පසු වන්නෙමු. එනමුත් එහිදී අපි අපවම රැවටීමකට ලක් කරන්නෙමු; සදා යෞවනත්වයෙන් කල්ගත කිරීම සඳහා වූ අපගේ නොනිමි අරගලය මගින් හුදෙක් සිදුවනුයේ අප තුළ සිත් තැවුල හා ආතතිය ඇතිවීම පමණි.
  • දෙවනුව, අපගේ ශරීරයන්මද ගැටලුකාරී වේ. සුවඳ විලවුන් ගල්වා ශරීරය හැඩවැඩ කරගැනීම හෝ මස්පිඩු ප්‍රවර්ධනය කරගැනීම මගින් සතුට වැඩිවනු ඇතැයි යන්න අපගේ සිතිවිල්ල විය හැක. එනමුත්, අප විසින් අපගේ පෙනුම කෙතරම් අලංකාර කළද, අපගේ පෙනුම හොඳ මදිය යන සිත් තැවුලකින් හෝ අපගේ පෙනුම වියැකී යමින් පවත්නේය යන හැඟීමකින් හෝ තවදුරටත් පෙළෙන්නෙමු. කෙතරම් අලංකරණයන් සිදුකර ගනිමින් මස්පිඩු වඩවා ගත්තද, කෙතරම් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පරිභෝජනය කළද, අපගේ සිරුරු පෙළන ගැටලුව වනුයේ ඒ සියල්ල මධ්‍යයේ පවා ඒවා රෝගී බවට, වයෝ වෘද්ධත්වයට, හදිසි අනතුරු හා තුවාල වීම්වලටද භාජනය වීමයි.
  • තෙවනුව, සිරුරු ස්නානය නොකරන්නේ නම් සිරුරින්ද, දත් නොමදින්නේ නම් හෙළන හුස්ම තුළින්ද දුගඳ හමන අතර, සිරුරින් පිට කරන මළමුත්‍රාද දුගඳින් යුක්ත වේ. කිහිප විටක් විකන ලද ආහාර පිටතට ගෙන යමෙකු වෙත පිළිගැන්වුව හොත්, එය ආහාරයට ගැනීමට කවරෙකු නම් සූදානම් වෙත්ද? මෙහි ඇති ගැටලුව නම් අප යනු ‘මා’ ලෙස හැඳන්වෙන, ස්වාධීන පැවැත්මක් සහිත හා ‘ලස්සන සිරුර’ යන මනෝ ලෝකය තුළ අපගේ සිරුරුවලින් වෙන්ව පවත්වාගත හැකි ස්ථිතියක් සහිත පිරිසක් නොවීමයි. පවත්නා සියලු අඩු ලුහුඬුකම් පැවතියදීම අපි සිරුරු තුළට ඇලී සිටින අතර, අප ඒවා බලාකියා ගතයුතුවන අතරම දුක මැඩ පවත්වා සෙස්සනට උපකාර කරනු පිණිස වූ අපගේ ප්‍රයත්නයන් තුළ ඒවායින් නිසි ප්‍රයෝජන ගත යුතු වීමයි.
  • සිව්වනුව, අන් අයට අපගේ සිරුරු දැකීමකින් තොරව සැබෑ ලෝකයේ අප දැකගත නොහැක. අපට වීඩියෝ ක්‍රීඩාවකදී නම් අන් අය විසින් අප දැකගැනීමට හැකිවනු පිණිස මාර්ගගත අවතාරයක් නිර්මාණය කළ හැකි නමුදු යමෙකු අප සැබෑ ලෝකයේදී හමුවන විටදී ඔවුහූ අපගේ සිරුරු පවත්නා ස්වරූපයෙන්ම දකිති. වයස අවුරුදු 60 වන විටදීද 20 වයස් වියැති අයෙකු සේ පෙනෙන්නේ නම් යහපති යන හැඟීමක් අපතුළ පැවතියද, අන් අය අප දෙස බලන කල්හි වයස අවුරුදු 60ක සිරුරක්ම ඔවුන්ට පෙනෙනු ඇත. එකරුණ වටහා ගෙන පිළිගැනීම සිදු නොකරන්නේ නම්, අපි එහිදී හුදෙක් අපවම මෝඩයාට ඇන්දවීමක් සිදු කරන අතර වයසට නොගැලපෙන ආකාරයෙන් කටයුතු කිරීම තුළ අපටම ගැටලු නිර්මාණය විය හැක.

සාරාංශය

අපගේ සීමිත ශරීර අප කැමති වුවත් නොවුවත් අනිත්‍ය, ගැටලු ඇතිකරවන සුළු, ඒවායින් ඉවත්විය නොහැකි තත්ත්වයක් පැවතීම හා අන් අය අප දෙස බලන විටදී සැබැවින්ම එලෙසින් පෙනෙන තත්ත්වයෙන් පවතින බැවින් ඒවා සැබෑ දුක පිළිබඳ නිදසුන් වේ. එයාකාරයේ සිරුරක් පවත්වාගෙන යාමම ප්‍රමාණවත් ගැටලුවක් වන නමුදු අප විසින් හඳුනාගත යුතුව පවත්නා බවට බුදුන් වහන්සේ විසින් දේශනාකරන ලද සැබෑ දුක වනුයේ දුක හා අතෘප්තිකර සැපත හා සතුට සම්බන්ධ හැඟීම්වලින් යුක්තව නැවත නැවතද චක්‍රීයව ගමන් කරන්නාවූ සේ පෙනෙන තෙරක් නොපෙනෙන වටයක් අත් විඳින්නාවූ පදනමක් ලෙස ජීවිත කාලයෙන් කාලයට එවන් සිරුරක් පවත්වා ගැනීමේ තත්ත්වය අප විසින් සදාතනිකත්වයට පත් කරන්නේය යන්නයි. එය සැබෑ ලෙසම අපට අවශ්‍ය දෙයද?

Top