අත්හැරීමේ සිට කරුණාව දක්වා

අත්හැර දැමීම හා කරුණාව යනු එකම ආකල්පයයි: එනම් දුකින් හා එයට හේතුවූ කරුණුවලින් මිදීමේ අදිටනයි. පළමුවැන්නෙහි එම අදිටන තමා තුළට යොමු වූ එකක් වන අතර, දෙවැන්නෙහිදී අන්‍යයන් කෙරෙහි යොමු වූවකි. හේතු, එ් හා සම්බන්ධවන මානසික සාධක, වටහා ගැනීම ආදී වශයෙන් අත්හැර දැමීම උත්පාදනය සඳහා වූ සියලු විස්තර දන්නා විටදී පූර්ණ වශයෙන් කරුණාව ගොඩනගා ගැනීමට හැකිවනු ඇත.

අත්හැර දැමීම හා කරුණාව යනු බෞද්ධ ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කරන විටදී අපගේ අභිප්‍රායේ කොටසක් වශයෙන් වගා කරගත යුතුවන වැදගත් චිත්ත ස්වරූප දෙකකි. නිශ්චිතවම දක්වන්නේ නම්, මෙම චිත්ත ස්වරූප දෙක හා බැඳුණු ගැටළු සමහරක් ගවේෂණය කිරීමට කැමැත්තෙමි. මක්නිසාද විශේෂයෙන් එම දෙකෙහි එකිනෙකට ඉතා සමීපස්ථ බැඳීමක් ඇති බැවිනි. සැබැවින්ම එ්වාද බොහෝ සෙයින්ම එකම චිත්ත ස්වභාවය වන අතර, වෙනස පවතිනුයේ එ්වාහි ඉලක්කගත කරුණ සම්බන්ධව පමණි.

සියලු බෞද්ධ දේශනාවල අරමුණ වනුයේ දුකින් හා ගැටළුවලින් අප මුදවා ගැනීමට උපකාර කිරීමයි. මෙය සිදු කිරීම සඳහා උපයෝගි කරගන්නා ක්‍රමය වනුයේ එ්වා මගින් තවදුරටත් දුක් ඇති නොකෙරෙනු පිණිස අප තුළම එ්වාහි සැබෑ හේතු සොයා ගනිමින් එම හේතුවලින් අපවම නිදහස් කරවීමයි. මෙම ක්‍රමය වූකලි නැවත ඉස්මතු නොවන පරිදි එම හේතු ඉවත් කළ හැක්කේය යන තහවුරුව මත පදනම් වූවකි. එම තත්ත්වය සාක්ෂාත් කරගනු පිණිස, අප විසින් මාර්ග චිත්තය ගොඩනඟාගත යුතුවේ: එනම් මූලික වශයෙන් අපගේ අනවබෝධය හෝ නොදැනුවත්භාවය ලෙස එන අපගේ ගැටළුවල මූල හේතුවට පූර්ණ ප්‍රතිරෝධයක් දක්වමින් එ්වා මුලිනුපුටා දමන වැටහීම් විධියකි.

මෙය බුදුරජාණන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද පළමු හා මූලිකම දේශනාව වන චතුරාර්ය සත්‍යයෙහි ව්‍යුහය හා අනුගත වේ. අත්හැර දැමීම හා කරුණාව සලකා බලන විටදී මෙම දෙකම දුක ඉලක්කගත කරමින් එම දුක ඉවත්වේවාය යන පැතුම සහිත එ්වා බව පෙනේ. මෙම දෙක අතර පවත්නා වෙනස නම් අත්හැර දැමීමේදී අපගේ සිත අපගේම දුක පිළිබඳ අවධානය යොමු කරන අතර, කරුණාවේදී අවධානය අන්‍යයන්ගේ දුක පිළිබඳ යොමු වීමයි. එ් අනුව චිත්ත ස්වභාවය දෙකරුණෙහිම එකිනෙකට බොහෝ සෙයින් සමාන වේ. මෙහිදී පැන නගින ප්‍රශ්න වනුයේ මෙම භාවය එකමද හා එකකින් අනෙකට සංක්‍රමණය වනුයේ කෙසේද යන්නයි.

අත්හැර දැමීමේ හා කරුණාවේ අර්ථය

"අත්හැර දැමීම" හඳුන්වන “renunciation” යන යෙදුම ඉංග්‍රීසි භාෂාවෙහි පමණක් නොව බටහිර රටවල බුදු දහම ඉදිරිපත් කෙරෙන සියලුම සෙසු භාෂාවන්හිද පාහේ භාවිත වේ. එසේ වුවද, එය මුල් සංස්කෘත හෝ තිබ්බතීය වදනේ නිවැරදි පරිවර්තනයද යන ගැටළුව පවතී. බුදු දහම බටහිර රටවල් කරා ගෙනයනු පිණිස පරිවර්තනය කළ හා මුල් සංකල්පීය රාමුවට වෙනස් වූ රාමුවකින් බෞද්ධ දේශනා වටහාගත් වූ මිෂනාරිවරුන් විසින් මෙම යෙදුම සොයාගන්නා ලද්දේද යන පැනයද විමසිය හැක. කෙසේ වුවද, “renunciation” යන වදන තුළ සියල්ල අත්හැරීමේ අරුතක් ගැබ්වේ. මක් නිසාද, ලෞකික කටයුතුවල නිරතවීම අයහපත් එකක් වන බැවින් ආරණ්‍යගත ජීවිතයක් සඳහා පිටව යාමක් සිදුවීමයි. කෙසේ වුවද, සංස්කෘත වදනේ (නිස්සරණ) හෝ තිබ්බතීය වදනේ (න්ගෙස්-බ්යුං) අරුත එය නොවේ. තිබ්බතීය වදන සලකා බලන්නේ නම්, එතුළ අධිෂ්ඨානයක් අඟවනු ලබයි; එනම් අනිවාර්යාර්ථයක් ගැබ්වීමයි. අවධානය යොමු කෙරෙන දුකින් මිදීමේ අධිෂ්ඨානයක් කෙරෙහි නිශ්චිතව යොමුවේ.

දුකින් මිදීමේ අදිටනක් ගොඩනගා ගැනීම සඳහා එම දුක හා එයට හේතු අත්හැර දැමීමේ කැමැත්තක් අවශ්‍ය වේ. එබැවින්, එතුළ යමක් අත්හැර දැමීමේ හෝ යමකින් වෙනතකට හැරීමේ අරුත ගැබ්වේ. එකී "යම් කිසි දෙය" වූකලි පළමුව හඳුනා ගනිමින් අපගේ අවධානය ඉන්පසු යොමු කරන්නාවූ දුක හා එයට හේතු ය. මෙය මා අත්දකින දුකය, මෙය එයට හේතුවය හා මා හට එ්වා තවදුරටත් අත් විඳීමට අවශ්‍ය නැත සහ එ් අනුව එ්වායින් දුරස් විය යුතුය යන තත්ත්වය හඳුනා ගැනීමෙන් පසුව පමණි අපට එ්වා අත් හැරීමේ කැමැත්තක් ගොඩනගාගත හැක්කේ. "එ්ක නැති වෙනව නම් හොඳයි" යන්න, මා සිතන පරිදි, මෙයම ප්‍රකාශ කිරීමේ වඩා මධ්‍යස්ථ ක්‍රමයකි. අපගේ චිත්ත ස්වභාව අපගේම දුක පිළිබඳව අවධානය යොමුකරගෙන සිටියද, කරුණාවේදී එන පරිදි අනෙක් අයගේ දුක පිළිබඳ අවධානය යොමු කරගෙන සිටියද තත්ත්වය මෙයයි. අප ලෙස වේවා, අන් කිසිවෙකු ලෙස වේවා, එම දුක අත් විඳින පුද්ගලයා වෙනස් වුවද, පැතුම එලෙසමය. එය ඉවත්ව යත්වාය යන්න අපගේ පැතුමයි.

අත්හැර දැමීම හා කරුණාව උත්පාදනය කිරීමේදී අන්තර්ගත සාධක

අප විසින් හෝ අන් අය විසින් හෝ අත් විඳිමින් සිටින්නාවූ යම් නිශ්චිත දුකක් හා එහි සැබෑ හේතුව නම් වූ අපගේ අවධානයට යොමුවූ කරුණ හඳුනා ගැනීම පමණක් නොව එ් හා සම්බන්ධ වන විවිධාකාකර වූ සෙසු සාධකද හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. සිය සූත්‍ර හා තන්ත්‍ර පිළිබඳ ප්‍රායෝගික උපදෙස් ලිපිය තුළ ෂොංඛපා විසින් පොදුවේ භාවනා කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන සාධකද ඉතා පැහැදිලිව විස්තර කරනු ලබයි. භාවනාව යනු යම් මානසික ස්වභාවයක් හෝ වස්තුවක් නැවත නැවතද උත්පාදනය කිරීම මගින් එම මානසික ස්වභාවය හෝ වස්තුවක් සමගින් අපගේ සිත් සමීප හා පුරුදු කරවන්නාවූ විධික්‍රමයකි.

එම චිත්ත ස්වභාවය කෙරෙහි හුරු වන ආකාරය දැනගනු පිණිස එහි සියලු නිශ්චිත කරුණු දත යුතුවේ. දත යුතු කරුණු වනුයේ:

  • මෙහිදී නම් දුක හා එයට හේතු වශයෙන් වූ එම චිත්ත ස්වභාවයෙහි අවධානයට යොමුවූ කරුණ.
  • එම සිත එකී වස්තුව හා පවත්නා සම්බන්ධය. මෙයට අදාල තාක්ෂණික යෙදුම නම් "එය එකී වස්තුව ලබාගන්නා ආකාරය" යන්නයි. අපගේ සිත් එම වස්තුව ලබාගන්නා ආකාරය තුළ මෙහිදී එය බැහැර වේවාය යන පැතුම පවතී. අපගේ සිත් හුදෙක්ම දුක හා එයට හේතු මත අවධානය පවත්වා ගනිමින් එ්වා කෙරෙහි යොමුවී නොපවතී. අපගේ සිත් එ්වා හා සම්බන්ධ වන ආකාරය "අහකට පලයන්!" පන්නයේ එකකි.

ඕනෑම චිත්ත ස්වභාවයක් වූකලි සතිය, අපේක්ෂාව ආදී වශයෙන් වූ බොහෝ විවිධ චිත්ත සාධකයන්හි සංගෘහිත තත්ත්වයකි. මේ සියලු සාධක දැන සිටීම අපේක්ෂිත චිත්ත තත්ත්වය උත්පාදනයට සැබැවින්ම උපකාරී වේ. මේ සඳහා අප විසින්ද දත යුතුවූ අන් බො‌හෝ කරුණු ෂොංඛපා විසින් නිශ්චිතව දක්වනු ලබයි. එ් අතරට ඇතුළත් වනුයේ:

  • එම චිත්ත ස්වභාවය රඳා පවත්නේ කවරක් මතද යන්න - වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, නිදසුනක් ලෙස දුක හඳුනා ගනිමින් එය අප තුළ හා අන් අය තුළද පවත්නා ආකාරය වටහා ගැනීමෙන් මෙම චිත්ත ස්වභාවය දක්වා වර්ධනය වෙමින් එ් සඳහා සහායක වන පරිදි එයට පූර්වයෙන් ගොඩනගා ගත යුතුව පැවති චිත්ත ස්වභාවයන් කවරේද?
  • අපට උත්පාදනය කරගැනීමට අවශ්‍ය වන චිත්ත ස්වභාවයට උපකාරී වනුයේ කවර මානසික සාධකද හා කවර සාධක හානිකර වන්නේද යන වග - නිදසුනක් ලෙස, අප කෙරෙහිම හෝ අන්‍යයන් කෙරෙහි වේවා පවත්නා ආදරය එයට උපකාරී වනු ඇත; තවද, තමා කෙරෙහිම හෝ අන්‍යයන් කෙරෙහි පවත්නා කෝපය එයට හානිකර වනු ඇත.
  • උත්පාදනය කරගත් පසු එම චිත්ත ස්වභාවයේ ප්‍රතිලාභ හා ප්‍රයෝජනය කුමක්ද යන්න - නිදසුනක් ලෙස, අත්හැර දැමීම තුළින් සැබෑ ලෙසම අපට අපගේ දුකින් මිදීමට උපකාරයක් ලබාදෙනු ඇති අතර කරුණාව විසින් අපට අන්‍යයන් හට ඔවුන්ගේ දුකින් මිදීමට උපකාර කිරීමේ හැකියාව ලබා දෙනු ලබයි.

මෙය බොහෝ තාක්ෂණික විස්තර සහිත වූවක් ලෙස පෙනී යා හැකි නමුදු, නිදසුනක් ලෙස ප්‍රේමය හෝ කරුණාව වැඩි වර්ධනය කරගැනීමේ අරමුණින් කවරාකාර හෝ ආධ්‍යාත්මික පුහුණුවක් හෝ බෞද්ධ පුහුණුවක් කරා ප්‍රවේශ වීම සැබැවින්ම අතිශයින් ප්‍රයෝජනවත් වේ. එය සිදු කරනුයේ කෙසේද? සත්‍ය තත්ත්වය වනුයේ නිරතුරුවම ප්‍රේමය හෝ කරුණාව යන්නෙන් සැබැවින්ම අදහස් වනුයේ කවරක්ද යන්න අප නොදැනුවත්ය යන්නයි. ප්‍රේමය හෝ කරුණාව කවරක් විය හැක්කේද යන්න පිළිබඳ අපට අපගේම අදහස් පැවතිය හැකි නමුදු අපගේ එම අදහස්ද සාමාන්‍යයෙන් අපැහැදිලි එ්වා වේ. යම් අපැහැදිලි දෙයක් උත්පාදනය කිරීමට උත්සාහ කරන්නේ නම්, අපට අපේක්ෂා කළ හැකි යහපත්ම දෙය වනුයේ හුදු අපැහැදිලි හැඟීමක් ලබාගැනීම වන අතර, බොහෝ විට බුදු දහම විසින් ගොඩනගා ගන්නා ලෙස අපට උපදෙස් ලබා දෙනුයේ යම් කිසිවක් පිළිබඳ එවන් අපැහැදිලි හැඟීමක් නොවේ. 

බෞද්ධ පුහුණුව තුළ "ආධ්‍යාත්මික වටිනාකම්" ලෙස හැඳින්විය හැකි චිත්ත ස්වභාවයන් ආදිය වැඩිදියුණු කරගැනීමට කටයුතු කළද, එම ප්‍රවේශය විද්‍යාත්මක හා පැහැදිලි එකක්ද වේ. අප විසින් සිදු කිරීමට උත්සාහ කරන දේ හා එය සිදුකරන ආකාරයද නිශ්චිතවම දන්නා බැවින් එය පැහැදිලි එකක් වේ. අප අපගේ සිත්, හදවත් හා භාවයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ පැහැදිලිභාවයක් පවත්නේ නම්, අපට සැබැවින්ම එ්වා ධනාත්මකව ගොඩනගාගත හැක. නොඑසේ නම් එය ඉතාමත් අපැහැදිලි එකක් වේ.

අප අතරින් සමහර දෙනෙකු එතරම් විද්‍යාත්මක හෝ තාර්කික නැඹුරුවක් සහිත අය නොවිය හැක. අප අතරින් ඇතැමෙකු වඩාත් සහජ ඥානයෙන් යුතු අය වන අතර වඩාත් භාවයනට අනුකූලව කටයුතු කළ හැක. එනමුත්, වඩාත් සමීපව සහජ ඥානය පිළිබඳ සලකා බලන්නේ නම්, වඩාත් යහපත් වූ සහජ ඥාන වර්ගය වනුයේ නිරවද්‍ය වර්ගයය යන්න වටහාගත හැක. නිශ්චිත නොවූ සහජ ඥානය මගින් අප වැඩි දුරක් ඉදිරියට ගෙන යනු නොලබයි. එබැවින්, අපගේ පෞරුෂත්ව වර්ගය කවරක් වුවද, නිරවද්‍යතාවය ඉතා ප්‍රයෝජනවත් වේ.

අත්හැර දැමීම හා කරුණාව සමගින් ගමන් ගන්නාවූ චිත්ත සාධක: "දැනටමත් හොඳටම ඇති" යන තීරණාත්මක හැඟීම

කරුණාව හා අත්හැර දැමීම සමගින් ගමන් කරන්නාවූ චිත්ත සාධක කවරේද? බෞද්ධ දේශනාවන් තුළ සාකච්ඡා කෙරෙන මෙකී චිත්ත තත්ත්වයන් කවරේද යන්න පිළිබඳ නිවැරදි පින්තූරයක් ඇඳ පෙන්වීමට කැමැත්තෙමි. මෙම චිත්ත ස්වභාවයන් හා භාවයන් නිවැරදිව විස්තර කළ හැකි වුවද, එ්වා සැබෑ ලෙස දැනෙන තත්ත්වයට පත් වනුයේ කෙසේද යන ප්‍රශ්නය ස්වභාවිකවම පැන නගී. අපට දැනෙන දෙය සැබෑ දෙයම වන බව දැනගත හැක්කේ කෙසේද?

සැබෑ දෙය බවට පත්වනු පිණිස මෙම චිත්ත ස්වභාවයන් තුළ පැවතිය යුතු දේ කවරක්ද යන්න පිළිබඳ නිවැරදි අදහසක් ඇත්තේ නම්, අප දැනට අත්දකිය දෙය හා සැබෑ ලෙසම පැවතිය යුතු දෙය අතර සන්සන්දනයක් කළ හැකිවනු ඇත. අපට දැනෙන දේ විමසා බැලීමේදී, අපට එය කොටස්වලට කඩා එය සමන්විතවන සියලු කොටස් පරීක්ෂා කරමින් එම චිත්ත ස්වභාවයට අයත් කවර කොටස් දුර්වල හා දෝෂ සහිත වන්නේද යන්න සොයා ගැනීමට උත්සාහ කළ හැක. අපගේ හැඟීම් විග්‍රහ කොට වටහා ගැනීම හැඟීම් විනාශ කරන්නාවූ ක්‍රියාවලියක් නොවේ. එය වූකලි සුවපත් බවට පත්වී අපට මෙන්ම සෙසු අයටද වඩාත් ප්‍රයෝජනවත් වනු පිණිස මනෝ චිකිත්සාව තුළද අනුගමනය කරනු ලබන ක්‍රියාවලියකි.

අත්හැර දැමීම හා කරුණාව සමගින් ඇතිවන ප්‍රබලතම භාවය කවරක්ද? 'යිඩ්-බ්‍යුං' යන තිබ්බතීය වදනින් හැඳින්වෙන එම වදන පරිවර්තනය පහසු කටයුත්තක් නොවේ. එ් වූකලි යමක් තුළින් වෙහෙසට පත්වීමේ ස්වභාවයකි: "මට මේක දැන් ඇති" යන අදහසයි. එය ඇතැම් විට 'කළකිරීම' යන වදනින් තරමක් ප්‍රබල අරුතක් සහිතව පරිවර්තනය කරනු ලබන අතර මමද එලෙස එය පෙරදී පරිවර්තනය කර ඇත්තෙමි. අපි අපගේ මෙන්ම සෙසු අයගේ දුක සම්බන්ධයෙන්ද කළකිරීමට පත්ව සිටින්නෙමු. එනමුදු, වැඩිදුර සිතා බැලීමේදී, කළකිරීම යන වදන පිළිකුල යන කැළඹිලිකාරී භාවය දක්වා පහසුවෙන් දිවෙන එකක් විය හැකි බැවින් එය පමණ ඉක්මවූ ප්‍රබලත්වයක් සහිත වදනක්ය යන්න මාගේ අදහසයි. මෙම භාවයට අදාළ භාෂා විලාසය එයට වඩා තරමක් අපක්ෂපාතී බව මා හට හැඟේ. "මේ දුක් වින්දා ඇති. එ්ක අහවර විය යුතුයි" යන මෙය අපගේම හෝ අන් අයෙකුගේ දුක සම්බන්ධයෙන්ද අදාල වේ. එ් අනුව තීරණාත්මක බව පිළිබඳ මෙතුළ යම් අන්තර්ගතයක් පවතී. "එ්කයි. ඔය ඇති".

අපට මෙකරුණ අපගේ සාමාන්‍ය අත්දැකීම් තුළින් දැකිය හැක්කේ යයි හඟිමි. අපි දුක් විඳිමින් එම දුකින් මිදීමට උත්සාහ කරන්නන් විය හැක. බලවත් සේ අපගේ සිත සකසාගෙන "එ්කයි, ඔය ඇති" යන ඉම දක්වා ගමන් කරන තුරු ඉන් මිදීමට අප විසින් කිසිවක් හෝ කර නොමැත. එ් අනුව, "ඔය ඇති" යන හැඟීම අත්හැර දැමීමේ එක් උපාංගයක් වන අතර එහි ප්‍රධාන භාවමය ස්වරූපයද වේ.

යම් සත්‍ය කරුණක් සත්‍ය බවට විශ්වාස කිරීම

යම් සත්‍ය කරුණක් සත්‍ය බවට විශ්වාස කිරීම වූකලි අත්හැර දැමීම සමගින් ගමන් ගන්නාවූ තවත් චිත්ත සාධකයකි. එය ඇතැම් විට "විශ්වාසය" ලෙස පරිවර්තනය කෙරෙන නමුදු, එය නුසුදුසු පරිවර්තනයක්ය යන්න මාගේ හැඟීමයි. ආර්ථිකයක දැඩි වර්ධනයක් සම්බන්ධ විශ්වාසය ඈ ලෙස විශ්වාසය යන්න ඇතැම් විට සාවද්‍ය හා අවිනිශ්චිත එකක්ද විය හැකි බැවින් එය සුදුසු නොවන වදනකි. මෙහිදී යම් සත්‍ය කරුණක් විශ්වාස කිරීම තුළ එය සත්‍ය බවට වූ විශ්වාසයක් පවතින බැවින් එය ගැමි කථාවල එන පාස්කු සාවා පිළිබඳ විශ්වාස කිරීම වැන්නක් නොවේ.

හේතු මත පදනම්ව සත්‍ය කරුණක් විශ්වාස කිරීම

සත්‍ය කරුණු සම්බන්ධ විශ්වාසයේ වර්ග තුනකි. පළමුවැන්න වනුයේ සත්‍ය කරුණක් හේතු මත පදනම්ව විශ්වාස කිරීමයි. මෙහිදී දුක යන කරුණ පිළිබඳ අපගේ අවධානය යොමුවන අතර මෙය සැබෑ ලෙසම දුක වන අතර එය සැබෑ ලෙසම මෙම හේතුව මගින් ඉස්මතුව ඇත්තේය යන දැඩි විශ්වාසයක් අප තුළ පවතී. මෙයට අමතරව, මෙම දුක ඉවත්කළ හැක්කේය හා නැවත ඉස්මතු නොවන ලෙසම ඉවත් කළ හැක්කේය යන විශ්වසනීය විශ්වාසයක් අප තුළ පවතී.

එම අවසන් කරුණ ඉතා වැදගත් අංගයකි. එම දුක ඉවත් කළ හැක්කේය හා යම් නිශ්චිත ප්‍රතිරෝධකයක් මගින් එය සදාකාලිකව ඉවත් කළ හැක්කේය යන හේතු මත පදනම් වූ විශ්වසනීය විශ්වාසයක් නොැපවතියේ නම්, සමස්ත භාවමය විලාසය වෙනස් එකක් විය හැක. නිදසුනක් ලෙස, අපට යම් ජීවන ගැටළුවක් පවත්නා බව හඳුනාගෙන එයට හේතුව සම්බන්ධ අවම වශයෙන් යම් වැටහීමක් හෝ අපට පැවතිය හැක. අප අපගේ ගැටළුවෙන් මිදීමට සැබෑ ලෙසම කැමති විය හැකි අතර මෙම තත්ත්වය දැන් හොඳටම ඇතිය යන්න ගැඹුරින්ම දැනෙන තත්ත්වයකට පවා එළඹී සිටිය හැක. අපට සැබැවින්ම එ් සම්බන්ධයෙන් යමක් සිදුකළ යුතුව ඇත. එසේ නමුත්, කළ හැකි කිසිවක් නොමැති අතර අපගේ ගැටළුවෙන් මිදීමේ කිසිදු මගක් නොමැති අතර, නිහඬව එය විඳ දරාගෙන ජීවත් වීමට පමණක් සිදුවන බව අපට හැඟෙන්නේ යැයි සිතමු. එය බුදු දහම තුළ විස්තර කර ඇති විශ්වාසයෙන් බොහෝ සෙයින් වෙනස් වූ චිත්ත ස්වභාවයක් නොවේද? අපට එ් සම්බන්ධයෙන් කළ හැකි කිසිවක් නොමැත්තේය යන්න දැනෙන චිත්ත ස්වභාවය තුළ, සමස්ත තත්ත්වය සම්බන්ධයෙන්ම බොහෝ සෙයින් මානසික අවපීඩනයකට ලක්වීම පහසුවෙන්ම සිදුවිය හැක. අපට අපගේ ගැටළුවෙන් මිදීමේ අවශ්‍යතාවයක් ඇත්තේ වුවද, එය හුදෙක් පැතුමක් පමණක් වන අතර, කළ හැකි දේ ඉතාමත් සීමිතය යන්න අපට අවබෝධ වේ. එබැවිනි මෙහිදී අපට සදාකාලිකවම අපගේ ගැටළුවලින් මිදිය හැක්කේය යන විශ්වාසය හේතු යුක්ති මත පදනම් විය යුත්තේ. අපව ගැටළුවෙන් මුදවාලිය හැක්කේ කෙසේද යන්න අපි වටහා ගන්නා අතර එය ක්‍රියාත්මක කළ හැක්කක්ය යන්න පිළිබඳ අප විසින් එ්ත්තු ගනී. මෙමගින් අප තුළ අපේක්ෂාව දල්වන අතර, අපේක්ෂාව විසින් අපට ශක්තිය ලබාදෙනු ලබයි. ශක්තිය වූකලි ගැටළුවෙන් අප මුදවාලීම සඳහා සැබැවින්ම යම් කිසිවක් සිදු කිරීමට හැකිවනු පිණිස ඉතා වැදගත් වූවක් වේ. එය හේතු මත පදනම්ව යම් කරුණක් විශ්වාස කිරීමයි.

යම් කිසිවක් සම්බන්ධ කරුණක් නිරවුල් මනසකින් විශ්වාස කිරීම

යම් කරුණක් සත්‍ය බවට විශ්වාස කිරීමේ දෙවන වර්ගය "යම් කිසිවක් සම්බන්ධ කරුණක් නිරවුල් මනසකින් විශ්වාස කිරීම" නමින් හැඳින්වේ. එමගින් මනස නිරවුල් කරන්නේය යන්නෙන් අදහස් කෙරෙනුයේ අදාල වස්තුව පිළිබඳ අදහස මකා දැමීමකින්ද තොරව එමගින් අපගේ කැළඹිලිකාරී භාවයන්ගෙන් සිත නිරවුල් කරන්නේය යන්නයි. මෙමගින් අදහස් කෙරෙනුයේ කවරක්ද? මෙමගින් අර්ථවත් කෙරෙනුයේ දුක යන්න සදාකාලිකවම අතුගා දැමිය හැක්කක්ය යන විශ්වසනීය විශ්වාසය මගින් අපගේ සිත් අවපීඩන තත්ත්වයෙන් නිදහස් කරන්නේය යන්නයි; එමගින් අදාල තත්ත්වය පිළිබඳව පවත්නා සැකයෙන් අපගේ සිත් නිරවුල් කරවයි; එමගින් අසරණභාවය හා බිය පිළිබඳ හැඟීමකින් අපගේ සිත් නිරවුල් කරවනු ලබයි. අප තුළ බොහෝ ගැටළු හා දුෂ්කරතාවයන් පවත්නා විටදී, "තත්ත්වය සැමදා මෙසේම පවතිනු ඇත" හෝ "මොනවත් කරන්න ගියොත් තත්ත්වය තවත් නරක අතට හැරෙයි කියල බයයි" යනුවෙන් සිතමින් ඉමහත් බියකින් පසුවන්නෙමු.

නිසැකවම අප සියලු දෙනා මේ පිළිබඳ නිදසුන් අප තුළම හෝ අන්‍යයන් තුළින් දැන සිටින්නෙමු. නිදසුනක් ලෙස අපි යම් කිසිවෙකු හා සමගින් පවත්වන සම්බන්ධතාවය ඉතා අමිහිරි, විනාශකාරී, අපයෝජනීය සම්බන්ධතාවයක් විය හැකි නමුදු, මෙම පුද්ගලයාගෙන් තොර ජීවිතය මෙයටද වඩා අයහපත් එකක් වනු ඇතැයි යන බිය හේතුකොට එම සම්බන්ධතාවයෙන් මිදීමටද අපි බිය වන්නෙමු. එසේ නමුදු, සම්බන්ධතාවය අවසන් කිරීමෙන් ගැටළුවෙන් මිදිය හැක්කේය හා එය අවසන් කළහොත් සියල්ල වඩාත් යහපත් වනු ඇත්තේය යන විශ්වසනීය විශ්වාසය පවත්නේ නම්, අපි අපගේ සිත් බිය හා අතීරණය යන සාධකවලින් නිදහස් කරන්නෙමු.

විශ්වසනීය විශ්වාසය සම්බන්ධ මෙම දෙවන වර්ගය තුළින් දුකෙහි සෘණාත්මක පැතිකඩ අතිශයෝක්තියට නැගීමේ තත්ත්වයෙන්ද මිදෙන්නෙමු. අපට සැබැවින්ම ගැටළුවක් පැවතිය හැකි නමුදු, එම ගැටළුවේ සෘණ ස්වරූපය අතිශයෝක්තියට නංවන්නට වුවහොත්, අපි එය අප සිතතුළ භයානක රාක්ෂයෙකු බවට පෙරළන්නෝ වෙමු. අපට ගැටළුව බාහිරකරණය කොට එය යක්ෂයාගේ කාර්යයක් බවට පෙරළා අප වඩ වඩාත් බියටම පත්කර ගැනීමටද හැක. එසේ නමුදු, දුකින් සදාකල් නිදහස ලැබීම කළ හැක්කක්ය යන පැහැදිලි මානසික විශ්වාසය මත පදනම් වූ අත්හැරීම තුළ අපි බිය නොවෙමු. එහිදී බියෙන් පළා යාමට උත්සාහ කරමින් අපි අපගේ ගැටළුවලින් ඉවතට දිව නොයන්නෙමු. එ් වෙනුවට, අපි අපගේ ගැටළුවලට මුහුණ දෙමින් සාර්ථකත්වය අත්පත් කරගන්නෙමුය යන විශ්වාසයෙන් එ්වාට මුහුණ දෙන්නෙමු.

එවිට "සාංසාරික සිර කුටියෙන් පළා යන්න" වැනි ප්‍රකාශයන් හා සම්බන්ධිත භාවමය ස්වභාවය වටහා ගන්නා ආකාරය පිළිබඳ ප්‍රවේශම් විය යුතුය. පාලනයකින් තොරව නැවත නැවතද ඇතිවන දුක හා සම්බන්ධ අපගේ සාංසාරික තත්ත්වය පිළිබඳ බිය හා වෛරය හේතුකොට අපගේ සිත් කැළඹිල්ලට හා වියවුලට පත්ව ඇති බවක් ඉන් අදහස් නොවේ. මෙම සියලු දුකින් අපට විමුක්තිය ලැබිය හැක්කේය යන්න සත්‍යයක් වන බවට පැහැදිලි මනසකින් විශ්වාස කිරීම තුළින් අපට සන්සුන් හා නිරවුල් අධිෂ්ඨානශීලී චිත්ත ස්වභාවයක් පවත්වාගත හැක. 

සම්බන්ධිත අපේක්ෂාවක් සහිතව යම් කරුණක් විශ්වාස කිරීම

තෙවන වර්ගයේ විශ්වාසය වනුයේ එය හා සම්බන්ධ අපේක්ෂාවක්ද සහිතව කරුණක් විශ්වාස කිරීමයි. මෙහි එන අපේක්ෂාව නම් "මම මින් මිදෙනු ඇති අතර, ඉන් මිදීම සඳහා මමද යමක් කරන්නට යමි" යන්නයි. මෙම චිත්ත ස්වභාවය හා සම්බන්ධ එදිනෙදා ජීවිතය හා සම්බන්ධ නිදසුනක් දක්වන්නේ නම්, දුගියෙකු සේ හැදී වැඩුණු අයෙකු එම තත්ත්වයට අදාල සීමාවන්ගෙන් මිදී සිය ජීවිතයේ සාර්ථකත්වයක් ලබාගැනීමට අදිටන් කරගැනීම ගත හැක. එවන් පුද්ගලයන් සිය තත්ත්වය හා සම්බන්ධ පූර්ණ වෛරයකින් පසුවන්නේය යන්නක් ඉන් අදහස් නොකෙරේ. ඔවුන් ඉතා පැහැදිලි, සන්සුන් අය වන අතර සිය දුගී බවෙන් බිඳී යාම සඳහා කළ යුතු දේද දන්නා අය වෙති. මක් නිසාද, ඔවුන් ඕනෑ තරම් එම තත්ත්වය මේවන විට අත්විඳ ඇති බැවිනි. තමා විසින් කළ යුතුදේ ඔවුන් දන්නා අතර ඔවුහූ එය සෘජුව හා නොසඟවා සිදු කරති.

ඉතා රළු පරිසරයක ඉතා දුගී පවුලක හැදී වැඩුණු මිතුරෙකු පිළිබඳ නිදසුනක් සිහිපත් කරමි. ඔහු ගිය පාසැල නිරන්තරයෙන්ම පන්තියේ සිසුන් කල්ලි ගැසී එකිනෙකා හා රණ්ඩු සරුවල් කරගන්නා එකක් විය. ඔහු ඉන් මිදීමේ අදිටනින් පසුවිය. තමා විසින් කවරක් කළ යුත්තේද යන්න දැනුවත්ව සිටි ඔහු විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව ලබා ගැනීමේ අදහසින් මුදල් ඉපැයීමේ කාර්යයෙහි බොහෝ වෙහෙස මහන්සිවී නියැළුණි. එහිදී ඔහු වෛද්‍ය විද්‍යාව හැදෑරූ අතර මේ වන විට ඉතා සාර්ථකත්වයට පත්, මොළය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කරයි.

කරුණාව තුළ අන්තර්ගතයද අත්හැර දැමීමට අදාල අන්තර්ගතයමය 

අපගේම දුක පිළිබඳ අවධානය යොමුකරගෙන සිටීමේදී අත්හැර දැමීම යන්නෙන් අදහස් කෙරෙනුයේ එයයි. අන්‍යයන්ගේ දුක පිළිබඳ අවධානය යොමුකරගෙන සිටීමේදීද එය එසේමය. අපි අන්‍යයන්ගේ දුක පිළිබඳ අවධානය යොමුකරගෙන සිටින අතර, අපගේ සිත් එ් කෙරෙහි යොමුවනුයේ "මෙම තත්ත්වය බැහැර විය යුතුය" යන අදහස සහිතවය. චිත්ත ස්වභාවය හා එ් සමගින් ගමන් ගන්නා භාවයද යනු "මේ ඇති" යන හැඟීමමය. අප අත්දකින මෙම ජීවන ගැටළු සියලු දෙනා තුළ පවත්නා බව අපි අවබෝධ කරගන්නා නමුත්, ඉන් අදහස් වනුයේ එ් පිළිබඳ අප පිළිකුල් සහගත ආකල්පයකින් හෝ අසරණ හැඟීමකින් සිටින බවක් නොවේ. එ්වාද කැළඹිලිකාරී භාවයන් වේ. මෙය ඔවුන්ගේ ගැටළුවල හේතුව වන අතර ඔවුනටද එයින් මිදිය හැක්කේය යනුවෙන් වූ අපගේ වැටහීම හා විශ්වාසය සම්බන්ධ තහවුරුවක් අප තුළ පවතී. එනම් කරන්නට කිසිවක් හෝ නොමැති බව සිතේ ගැඹුරින් දැන සිටිමින් අපි හුදෙක්ම ඔවුන්ගේ යහපත පැතීමක් පමණක් මෙහිදී සිදු නොකරන බවයි. අපගේ විශ්වාසය වූකලි නිරවුල් මනසකින් ඇතිකර ගන්නා විශ්වාසයක් වන බැවින් මෙම කරුණාවද සමගින් අපගේ සිත් කැළඹිලිකාරී භාවයන්ගෙන් මිදී පවතී. එය ඉතා වැදගත්ය.

මම නිදසුන් කිහිපයක් සිහි ගන්වමි. මාගේ මව ඇමරිකානු රූපවාහිනියේ දේශීය ප්‍රවෘත්ති නරඹන්නියක වූ අතර ඇය එහි විකාශනය වන එ් එ් දිනයන්හි සිදුවූ සියලු මිනී මැරුම්, සොරකම්, ස්ත්‍රී දූෂණ ආදිය ශ්‍රවණය කොට ඉන්පසු බොහෝ තරහින් හා කෝපයෙන් පසුවන තත්ත්වයන් මාගේ මතකයට නැගේ: "කොච්චර අයහපත් තත්ත්වයක්ද; එහෙම වෙන්න හොඳ නෑ" යි ඇය පවසයි. මෙහිදී ඇයගේ ප්‍රතිචාරය කරුණාව සේ පෙනී යා හැකි නමුත් සැබැවින්ම එය ඉතා කැළඹිලිකාරී මානසික තත්ත්වයකි. මෙය "සැබෑ" කරුණාව නොවේ. මෙම උදාහරණයේදී කරුණාව හා සැලකිලිමත්බව යන ගුණාංගයන්හි මිශ්‍රණයක් පවත්නා නමුදු එයට තරහව හා වියවුලද එක්ව ඇත.

සැබෑ කරුණාව යනු වියවුල් සහගත චිත්ත ස්වභාවයක් නොව ඉතා පැහැදිලි චිත්ත ස්වභාවයකි. එය "මම මේ දුක ඉවත් කිරීමට උපකාරී වන යම් කිසිවක් සිදු කරන්නට උත්සාහ කරන්නෙමි" යන අපේක්ෂා පෙරදැරි කරගත් විශ්වාසය හා බැඳී පවත්නකි. එ් අනුව, එය "ඔවුන්" එ් පිළිබඳ යම් කිසිවක් සිදු කරන්නේ නම් යහපත්ය යන පැතුම පමණක් නොව මාම ගොස් ඔවුනට උපකාර කරන ස්වරූපයේ එකකි. කෙසේ වුවද, අපට කළ හැක්කේ කවරක්ද යන යථාර්ථවාදී වැටහීම මත මෙම අරමුණ හා අදහස පදනම් විය යුතුවේ. එය "මම සර්ව බලධාරී දෙවියන් වහන්සේ වන අතර, මම ගොස් ලෝකය බේරා ගනිමි" සහ "මේ පුද්ගලයා වෙත උපකාර කිරීමේ මාගේ ව්‍යායාමය සාර්ථක වුවහොත්, එය කෙතරම් ආශ්චර්යමත්ද; අසාර්ථක වුවහොත් මම වරදකරුවෙකු වෙමි" යන අදහස් අතර සංකලනයකි. මේ හේතුවෙනි අපගේ වැටහීම ඉතා හොඳ එකක් වන අතර දුක ඉවත් කළ හැකි ක්‍රියා පරිපාටිය පිළිබඳ විශ්වාසයක් පැවතිය යුත්තේ. මෙම ක්‍රියාවලිය වූකලි මාගේ අදිටන හා මෙම දුක ඉවත් වේවාය යන මාගේ පැතුම මත පමණක් නොව බොහෝ වූ හේතු සාධක මත රඳා පවතිමින් ඉස්මතු වන්නකි.

වේදනාව හා අසතුට තුළ පවත්නා දුක පිළිබඳ අවධානය යොමුකර ගනිමින් පවත්වා ගන්නා අත්හැර දැමීම හා කරුණාව

පෙර විස්තර කළ පරිදි, අත්හැර දැමීම හෝ කරුණාව උත්පාදනය කරගැනීම සඳහා අවශ්‍ය පළමු සංරචකය වනුයේ අපගේම හෝ අන්‍යයන්ගේ හෝ වේවා දුක පිළිබඳ එය යොමුව පැවතිය යුතු වීමයි. එ් අනුව අදාල වන පළමු පැනය වනුයේ එය යොමුව පවතිනුයේ කවරාකාරයේ දුකක් වෙතද යන කාරණයයි. බුදුන් වහන්සේ විසින් සැබෑ දුකෙහි වර්ග තුනක් නිශ්චිතව දක්වන ලදී. මෙහිදී මේ පිළිබඳ සුවිශාල විස්තර කිරීමකට නොයමින් අපට අවධානය යොමුකළ හැකි එම තුන් වර්ගයෙන් පළමුවැන්න නම් අසතුටයි.

වේදනාව හා අසතුට ඉවත්ව යා යුතු බවට අපේක්ෂා කිරීම එතරම් දුෂ්කර කාර්යයක් නොවේ. මෙය දන්ත වෛද්‍ය ආසනය මත අප සියලු දෙනා අත්විඳි කරුණක්ය යන්න මාගේ විශ්වාසයයි. එනමුත් ඇත්ත වශයෙන්ම එය විමසා බැලීම වූකලි ඉතා ළගන්නා සුළු පැණයකි. දන්ත වෛද්‍ය ආසනය මත හිඳ සිටින අතර නොවකේනයක් රහිතව දන්ත වෛද්‍යවරයෙකු විසින් දත සිදුරු කරන විටදී දැනෙන වේදනාව අත් විඳින අතරතුරදී එය අත්හැර දැමීම සිදු කරන්නෙමුද? අපගේ චිත්ත ස්වභාවය එයද? සැබැවින්ම අපගේ චිත්ත ස්වභාවය කවරක්ද? අපට එම ආසනය මත දැනෙන දෙය කවරක්ද? අප බොහෝ දෙනෙකු සම්බන්ධයෙන් සලකන කල එය බිය හා සාංකාවයි. අත්හැර දැමීම සම්බන්ධයෙන් සලකා බලන කල, අපි අපට දැනෙන වේදනාව පිළිබඳ අවධානය යොමුකරගෙන සිටින නමුදු, අත්හැර දැමීමේදී මෙන් නොව, අපි සාමාන්‍යයෙන් එය අතිශයෝක්තියට නඟමින් එයින් රාක්ෂයෙක් මවන්නෙමු. අපි සැබැවින්ම කිසි ලෙසකිනුදු තැන්පත් වූවන් නොවෙමු.

අපි මෙම තත්ත්වයට අත්හැර දැමීමේ මානසිකත්වයෙන් ප්‍රවේශ වන්නේ යැයි සිතමු. අපි තවදුරටත් දත විදීමේදී දැනෙන වේදනාව මත අවධානය යොමු කරගෙන සිටිනු ඇත. එම වේදනාවෙන් ඇතිවන දුක අවසන් වන්නේ නම් යහපත් යැයි අපට හැඟෙනු ඇත. අපට එම තත්ත්වය ඇතිවී ඇති අතර ඉන් මිදිය හැක්කේය යන විශ්වාසය අප තුළ පවතී. එසේ වුවද මෙහිදී ළගන්නා සුළු සංකීර්ණත්වයක්ද ඉස්මතු වේ. හුදෙක් එම තත්ත්වය අහවර වන තුරු ඉවසා සිටීමෙන්ද ඉන් මිදිය හැකි බව අපට වටහාගත හැක. එනම්, අපගේ ඉදිරි ජීවිත කාලය පුරාවටම මෙම දන්ත වෛද්‍යවරයා විසින් අපගේ දත ගලවන තත්ත්වය අත් විඳිමින් දන්ත වෛද්‍ය ආසනය මත හිඳ සිටීමට අපට සිදු නොවේ. එහි අනිත්‍යතාවය ඇති අතර දත විදීම අවසන් වනු ඇත; අපට හුදෙක් එය ඉවසා සිටීමට සිදුවනු ඇත. මෙම සිතිවිල්ල සහිතව, හතර අතට ඇඹරීමකින් හෝ ආතතිය ඇතිකර ගැනීමකින් තොරව නිශ්චලව හා සන්සුන්ව සිටියහොත් දත විදීමෙන් ඇතිවන වේදනාවේ දුක අවසන්ව යනු ඇත්තේය යන විශ්වාසය අප තුළ පවතී.

තවත් විය හැකියාවක් නම් මෙම වේදනාව කෙරෙහි වූ අපගේ ආකල්පය වෙනස් කිරීමෙන් එම වේදනාවේ දුකින් අපට මිදිය හැක්කේය යන විශ්වාසය ඇතිකරගත හැකි වීමයි. එදිරිවාදී තත්ත්වයන් ධනාත්මක එ්වා බවට හැරවීමේ චිත්ත පුහුණු හෝ ආකල්ප පුහුණු ක්‍රමය මින් අදහස් කෙරේ. නිදසුනක් ලෙස, තිබ්බතයේ හෝ ලොව අන් ප්‍රදේශයන්හි හිංසාවට පත්වන සියලු පුද්ගලයන්ගේ දුක පිළිබඳ සිතමින් එය දන්ත වෛද්‍ය ආසනය මත අප අත් විඳින දෙය හා සන්සන්දනය කරන්නේ නම්, සාපේක්ෂව අපගේ වේදනාව සුළු එකක්ය යන්න අපට වැටහෙනු ඇත. අපගේ දුකට අදාල සාපේක්ෂතාවය වටහා ගැනීම මගින් අපගේ සාපේක්ෂව සුළු වේදනාව පවතින අතරතුරදී සන්සුන්ව සිටීමට උපකාරයක් ලැබෙන අතර එ් අනුව අපි එතුළින් එතරම් වූ දුකක් නොවිඳිනු ඇත. වේදනාව තවදුරටත් පවතිනු ඇති නමුදු එය තවදුරටත් එතරම් දෙයක් නොවනු ඇත.

මෙම උදාහරණ දෙකේදීම, අත්හැර දැමීම අප තුළ පවතී. අපි අත්හැර දමන්නේ මොනවාද? මතුපිට මට්ටමේදී, අපි වේදනාව අත්හැර දමන්නෙමු. එසේ නමුදු, එ් කෙරෙහි වූ අපගේ ආකල්පය නොසලකා අපට වහා එම වේදනාවෙන් මිදිය නොහැක; අපි දත විදීම අවසන් වනතුරු තවදුරටත් වේදනාත්මක ශාරීරික සංවේදනාවක් අත් විඳින්නෙමු. අපි එය අත්හරින්නේ වුවද, නොවුවද, දන්ත වෛද්‍යවරයාගේ කාර්යය අවසන් වනතුරු එම වේදනාව නොකඩවා පවතිනු ඇත. එසේ වුවද, දත විදීමේ වේදනාව අනිත්‍ය වූවක් වන අතර එහි අනිත්‍ය ස්වභාවය හේතුකොට අපි වහා ඉන් මිදෙන බවට ඇතිවන විශ්වාසය එම වේදනාව ඉවසීමට අපට උපකාරී වේ. මේ අනුව, වඩාත් ගැඹුරින් පරීක්ෂාකර බලන්නේ නම්, අප විසින් සැබෑ ලෙසම අත්හැර දමනු ලබන්නේ ශාරීරික වේදනාව අත් විඳින අතරතුර ඇතිවන අසතුටයි. ආකල්පමය වෙනසක් සමගින්, අපට එම අසතුටින් වහා මිදිය හැක.

දන්ත වෛද්‍ය ආසනය මත සිටීමේ අපගේ එම අත්දැකීම හා සමගින් බිය හා සාංකාවද ඇති විටදී, මෙම මානසික ස්වභාවයන් විසින් අප තව තවත් අසතුටට පත්කරමින් තත්ත්වය වඩාත් අයහපත් එකක් බවට පත් කරයි. එසේ වුවද, එහි පවත්නා අනිත්‍ය ස්වභාවය හෝ එහි පවත්නා සාපේක්ෂතාවය වටහා ගනිමින් ආදී ලෙස වේදනාව කෙරෙහි වූ අපගේ ආකල්පය වෙනස් කරන්නේ නම්, එසේ දත විදීමෙන් මානසිකව හෝ භාවමය වශයෙන් අපට දුකක් ඇති නොවන බවට වූ විශ්වාසයක් ගොඩනගාගත හැක.

මේ වූකලි, ආකල්පමය වෙනසක් මගින් අපට අපවම මුදවාගත හැකි දෙය හා යොමුගතව අප විසින් මෙහිදි අත්හැර දමන දෙය වටහා ගැනීම මත පදනම් වූ අත්හැර දැමීමේ පිළිවෙතයි. අප විසින් මෙහිදී අත්හැර දමනුයේ:

  • වේදනාත්මක ශාරීරික සංවේදනාව හා සබැඳිව අත් විඳින අසතුට,
  • වේදනාත්මක චිත්ත හා භාවමය තත්ත්වයන්,
  • මෙකී වේදනාකාරී මානසික හා භාවමය තත්ත්වයන් ආශ්‍රිතව අත් විඳිනු ලබන අසතුට
  • යන එ්වායි.

වේදනාව අත් විඳීමට අදාල සමස්ත තත්ත්වය ආකල්පමය වෙනසක් මගින් සපුරා වෙනස් කරනු ලබයි. පිළිකාවෙන් වේවා, වෙනයම් බරපතල රෝගාබාධයකින් වේවා බටහිර රටවල ආරෝග්‍ය ශාලාවන්හි මිය ගිය මහා ලාමාවරුන් තුළ මේ පිළිබඳ උදාහරණ අප විසින් දැක ඇත. සැබැවින්ම ඔවුන් විසින් ශාරීරික වේදනාව අත් විඳින්නට ඇති නමුත්, එම වේදනාවෙන් අසතුටට හා බියට පත්වීමේ තත්ත්වය ඔවුහූ අත්හැර තිබිණි. එ් වෙනුවට, එම අවස්ථාවේදී අසරණ වන වෛද්‍යවරයාගේ අසීරුතාවය විශේෂ කොටගෙන අන් අයගේ දුක හා ශෝකය පිළිබඳව සිතමින් සමස්ත තත්ත්වයම ඔවුහූ වෙනස් කරති. මෙම ලාමාවරු වෛද්‍යවරයාට දැනෙන හැඟීම මෙන්ම සිය ගෞරවය පුද කරනු පිණිස තමා බැලීමට පැමිණෙන සියලු දෙනාගේ හැඟීම් කෙරෙහිද බොහෝ සෙයින් සැලකිලිමත් වෙති.

ඔවුන් ඔවුන්ගේ රෝගීභාවය සම්බන්ධයෙන් කටයුතු කරන මෙම ආකාරයට පදනම් වනුයේ කවරක්ද? එ් වූකලි අත්හැර දැමීම හා කරුණාවයි. තමා කෙරෙහි මෙන්ම සම්බන්ධ වන අන් සියලු දෙනා සම්බන්ධවද සමස්ත තත්ත්වයට අදාල චිත්ත වේදනාව හා ආතතිමය තත්ත්වය ඔවුන් විසින් අත්හැර දමා ඇත. තවද, ඔවුහූ හුදෙක් අත්හැර දැමීම හෙවත් අභිනිෂ්ක්‍රමණය තමා තුළ පවත්නා බවක් ව්‍යාජ ලෙස අඟවන්නෝද නොවෙති. මෙම ලාමාවරු හුදෙක් "හොඳයි; මං හොඳින්, කණගාටු වෙන්න එපා"යි පිටතින් පවසමින් ඇතුළතින් එතරම් හොඳින් පසු නොවන්නෝද නොවෙති. තත්ත්වය එවැන්නක් වීනම්, ඔවුනට මෙම පැහැදිලි විශ්වාසය එනම්, මෙම චිත්ත ප්‍රතිවාදියා හෝ එම චිත්ත ප්‍රතිවාදියා යෙදවීම මගින් අවස්ථාවට අදාල සමස්ත ආතතිමය තත්ත්වය විසිරී යනු ඇතැයි දනිමින් බිය හා අපහසුතාවය ඉවත්කොට හරින්නාවූ විශ්වසනීය විශ්වාසය, ඇති නොවනු ඇත. මෙම ලාමාවරුන් මෙන් අත්හැර දැමීම හා කරුණාව සම්බන්ධ මෙම පරිචයන් අපට හුරු වන්නට වන්නට, එ් හා බැඳුණු සියලු සාධකද සමගින් නිරායාසයෙන්ම අත්හැර දැමීම ඉස්මතු වනු ඇත. අප විසින් උපදවා ගත යුතුව පවත්නා දෙය කෘත්‍රිම දෙයක් නොවේ.

අපගේ රැකියාව අහිමි වීම හෝ අපගේ ඉතුරුම් නැතිවී යාමට අදාල තත්ත්වයක් තවත් දුෂ්කර තත්ත්වයකට උදාහරණයක් ලෙස ගත හැක. මෙය භයංකර තත්ත්වයක් සේ අපට හැඟිය හැකි නමුදු, සිය රැකියාව හෝ ඉතුරුම් අහිමිවන සෑම අයෙකුටම හැඟෙනුයේද මෙපරිදිය. අපට අප තුළ මෙන්ම අන් අය තුළද පවත්නා එම අසතුට හා අවපීඩන තත්ත්වය ඉවත්ව යත්වාය යන පැතුම පවතී. අත්හැර දැමීමේ සිට කරුණාව දක්වා ගමන් කිරීම යන්නෙන් අපි අපගේම දුක අත්හැර දැමීම නවතාලන බවක් අදහස් නොවේ. ඉන් අදහස් වනුයේ සියලු දෙනා අන්තර්ගත වන පරිදි අපගේ චිත්ත ස්වභාවය පුළුල් කිරීමයි: එනම්, අප හා අන් සියල්ලන්ද ඇතුළත් කරගැනීමයි.

සාමාන්‍ය සතුටේ පවත්නා දුක මත අවධානය යොමුවූ අත්හැර දැමීම හා කරුණාව

පෙරදී දක්වන ලද්දේ වේදනාවේ හා අසතුටේ පවත්නා දුක කෙරෙහි පමණක් එල්ල වූ අත්හැර දැමීම හා කරුණාවයි. කෙසේ වුවද අපගේ සාමාන්‍ය සතුටද ගැටළුකාරීය. එය එක්තරා ආකාරයක දුකෙහිම තවත් ස්වරූපයකි. මෙම දුක තුළින් දක්වනුයේ අපගේ සාමාන්‍ය සතුට කිසි විටෙකුදු කල් නොපවත්නා බවයි; තෘප්තිකර නොවන බවයි; සෑහීමකට පත් වීමක් ඇති නොවන බවයි. තවද එය වහා අපහසුතාවය හා අසතුට බවටද හැරවේ. එබැවිනි එය "වෙනස් වීමේ දුක" වශයෙන් හැඳින්වෙනුයේ. නිදසුනක් ලෙස, අයිස් ක්‍රීම් රස විඳීම සතුටට හේතුවක් නම්, අයිස් ක්‍රීම් රස විඳින්නට විඳින්නට වඩ වඩාත් සතුටම දැනිය යුතුය. එසේ නමුදු පැහැදිලි කරුණ නම්, එ්වා රස විඳිමින් යන විට එක් ලක්ෂ්‍යයකින් ඔබ්බට අපට ක්‍රම ක්‍රමයෙන් වැඩෙන අතෘප්තිකර හැඟීමක් ඇති වන බවයි. අයිස් ක්‍රීම් පිළිබඳ අපගේ සාමාන්‍ය සතුට වෙනස් වී තවදුරටත් සතුටින් නොසිටින තත්ත්වයක් ඇතිවේ.

කෙටියෙන් පවසන්නේ නම්, සාමාන්‍ය සතුට ඉච්ඡා භංගත්වය ඇති කරන සුළු එකක් වේ. නොකඩවා සතුටින් සිටීමට කෙතරම් ප්‍රාර්ථනා කළද, අපගේ මනෝභාවය කවර අවස්ථාවක වෙනස් වේදැයි අපි නොදන්නෙමු. තවද, අපි අප තුළ පෙර පැවති හෝ දැන් පවත්නා සතුටින් කිසි විටෙකුදු තෘප්තිමත් නොවන්නෙමු. නිරතුරු තව තවත් අවශ්‍ය වේ. නිදහස් වීමේ අදිටන පවත්වා ගනිමින් අපට මෙකී වෙනස්වීමේ දුකද අත්හැර දැමිය හැක.

එනමුදු, සාමාන්‍ය සතුට අත්හැර දැමීම යන්නෙන් අදහස් කරන්නේ කවරක්ද? ඉන් අදහස් වනුයේ අපට කිසි විටෙකුදු නැවත සතුටින් සිටීමට අවශ්‍ය නොවන බවද? සතුට අතෘප්තිකර වන බැවින් අපට අවශ්‍ය වනුයේ අපගේ සතුට අත්හැර දැමීමද? එයාකාරයෙන් සිතීම වූකලි බෞද්ධ ස්ථාවරය මුළුමනින්ම වරදවා වටහා ගැනීමකි. වේදනාව හා අසතුට සම්බන්ධ තත්ත්වයේදී මෙන් සාමාන්‍ය සතුටද අනිත්‍ය වන අතර අනිවාර්යයෙන්ම අවසන් වනු ඇත. එසේ නමුදු, අත්හැර දැමීමේදී අපි සත්‍ය තත්ත්වය පිළිගනිමින් සාමාන්‍ය සතුට පවත්නා අතර දැනෙන එහි යහපත් ගුණය අතිශයෝක්තියට නැංවීමෙන්ද වළකින්නෙමු.

එලෙසිනි අපගේ සාමාන්‍ය සතුටේ පවත්නා දුක මැඩ පවත්වනුයේ. එය කල් නොපවත්නේය යන පූර්ණ වැටහීමක් සහිතව තාවකාලික යහපත් හැඟීමක් වන එය එලෙසින් භුක්ති විඳින්නෙමු. එය අවසන් වන බව දන්නා බැවින් අපි ඉච්ඡා භංගත්වයට පත් නොවෙමු. එය සදාකල් පවතිනු ඇතැයි අපේක්ෂා නොකරන නමුදු, එය පවත්නා අවස්ථාවේ භුක්ති විඳින්නෙමු. ඉන් අදහස් කරනුයේ එය අවසන් වන බව දනිමින් අත් දකින බව නොව එය අවසන් වන මොහොත කෙරෙහි සාංකා සහිත බියකින් පෙළෙන බවයි. එය අවසන් වන්නේය යන කරුණ පිළිබඳ පැහැදිලි මනසකින් විශ්වාස කරමින් එම සිතිවිල්ලෙන් ඇතිවන කවර හෝ අපහසුතාවයක් පවත්නේ නම් ඉන් අපගේ සිත් නිරවුල් කරගන්නා බව සිහි තබාගන්න.

නිරතුරු හමු නොවන මිතුරෙකු සමග සිටීම සම්බන්ධ නිදසුනක් දක්වමි. මිතුරා අප බැහැ දැකීමට පැමිණ පිටව යන අතර එය අපගේ සතුටට හේතු නොවේ. අපට අවශ්‍ය වනුයේ එම පුද්ගලයා වැඩි වේලාවක් අප සමගින් රැඳී සිටීමයි. නොලැබීමෙන් අසතුටට පත්වන අයුරින් එම පුද්ගලයාගේ පැමිණීමෙන් ලබාගැනීමට අප අපේක්ෂා කළේ කවරක්ද? මෙම පුද්ගලයා සමගින් සිටීමෙන් අප අවසානාත්මකව සතුටට පත් කරනු ඇතැයිද සදාකල් අපගේ තනිකම හා අනාරක්ෂිත බවින් අප මුදවනු ඇතැයි අපේක්ෂා කළෙමුද? ඔහු හෝ ඇය එම කාල වේලාවට වැඩියෙන් තවත් විනාඩි පහක් අප සමග සිටියේ නම් ඉන් අපි තෘප්තිමත් වෙමුද?

අපගේ අපේක්ෂාව තෘප්තිමත් නොවූ බැවින් අපි අසතුටට පත්ව සිටින නමුත් එය මුළුමනින්ම යථාර්ථවාදී නොවන අපේක්ෂාවකි.  අප විසින් අපේක්ෂා කළ දේ සිදු නොවිය හැක්කකි. අනෙක් අතින්, යම් ආශ්චර්යයක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන්නේ නම් විනා සිදුවන කවරකින් හෝ තෘප්තිමත් වෙමු. මෙය යථාර්ථය පිළි ගැනීමයි. අදාල පුද්ගලයා අප හමුවීමට පැමිණීම, ඔහු සමග ගත් ආහාරය, මෙම පුද්ගලයා සමගින් අප තුළ පවත්නා මිත්‍රත්වය හෝ අන් කිසිවක් හෝ පවත්නේ නම් එය භුක්ති විඳිමු. එමගින් සදාකල් අපගේ අසතුට හෝ හුදෙකලාව හෝ කුසගින්න මුලිනුපුටා දැමීමක් සිදු නොවන බව දන්නා අතර, එය එසේ වනු ඇතැයිද අපේක්ෂා නොකරන්නෙමු. අපගේ මිතුරාගේ පැමිණීම අතිශයෝක්තියට නොනගමු; අපි එ් පිළිබඳ නිරවුල් මනසකින් කටයුතු කරන අතර, ඔහු හෝ ඇය පිටත්ව ගිය කල ඉන් වියවුලට හෝ කළකිරීමට හෝ පත් නොවන්නෙමු. එය පවත්නා ආකාරයෙන් භුක්ති විඳින අතර, එය අවසන් වීම යනු අවසන් වීමයි.

සාමාන්‍ය සතුට තුළින් මුහුණ දෙන ගැටළු අත්හැර දැමූ කල, අන්‍යයන්ගේ සාමාන්‍ය සතුටට එය ව්‍යාප්ත කරනුයේ කෙසේද? සාමාන්‍ය සතුට සම්බන්ධයෙන් අන් අයෙකු තුළ පවත්නා ගැටළු පිළිබඳව අපගේ අවධානය යොමු කළ කල්හිද නිරවුල් මනසකින් සිටීම වැදගත් වේ. ඔවුන්ගේ සතුට ඔවුන් වෙත තෘප්තියක් ගෙන නොදෙන බව අපට අවබෝධ වන නමුදු අනෙක් පුද්ගලයා සතුටින් සිටින අතර අප එසේ නොවීම පිළිබඳ ඊර්ෂ්‍යාවක් පවත්නා බවක් මින් නොඇඟවේ. එයට වඩා මෙම පුද්ගලයා මිතුරෙකු සමග පවත්නා සම්බන්ධතාවයෙන් පමණ ඉක්මවා ප්‍රතිඵල අපේක්ෂා කරන අතර, කවර යහපත් දෙයක් සිදු වුවද ඔවුන් ඉච්ඡා භංගත්වයට හා අතෘප්තියට පත් වන්නේය යන්න අපි හඳුනා ගන්නෙමු. ගැටළුව පවත්නේ එතැන බව අපි හඳුනා ගන්නෙමු. ඉන් අදහස් වනුයේ ඔවුන් සතුටින් සිටීම අපට නොරුස්සන බව නොවේ. අපගේ අවධානය යොමු කෙරෙනුයේ ඔවුන් විසින් සාමාන්‍ය සතුට අත් විඳීමේ ස්වරූපයෙන් ඉස්මතුවන අසතුට හෝ ගැටළුව පිළිබඳවයි.

සතුට හා සතුටේ ගැටළු අතර මෙහිවූ වෙනස දැකීම මගින් වෙනත් පුද්ගලයෙකුට දැනෙන සතුට දැකීමෙන් තුටු වීමේ හැකියාව අපට ලබාදෙනු ලබයි. බෞද්ධ දේශනා තුළ ප්‍රීතිමත් වීම බොහෝ සෙයින් අවධාරණය කෙරේ. අපි ඔවුන්ගේ සතුට දැක ප්‍රීති වෙමු; කෙසේ වුවද, සාමාන්‍ය සතුටේ පවත්නා අඩු ලුහුඬුකම් යථාර්ථවාදීව වටහා ගනිමින් එම සතුට හේතුකොට ඔවුනට ඇතිවිය හැකි ගැටළු කෙරෙහි කාරුණික වන්නෙමු. කෙ‌සේ වුවද, සාමාන්‍ය එකක් වුවද, අපට ලෞකික සතුටින් ප්‍රීතිමත් විය හැක.

සියලු තැන්හි පැතිර පවත්නා දුක මත අවධානය යොමුකරගෙන සිටීමෙන් ඇතිකර ගන්නා අත්හැර දැමීම හා කරුණාව

බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද දුකේ ගැඹුරුම ආකෘතිය වනුයේ "සියලු තැන්හි පැතිර පවත්නා දුක" යන්නයි. මෙමගින් යොමුගත වනුයේ ගැටළුවල පළමු වර්ග දෙක අත් විඳීමේ පදනම වන "සංසාරය" නමින් හඳුන්වනු ලබන පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනරුත්පත්තිය දෙසටයි. එය බුදුරජාණන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍යය ඉදිරිපත් කිරීමේදී සැබෑ දුක වශයෙන් අද්විතීය ලෙස නිශ්චිතව දැක්වූ දුක් ආකෘතියයි. ඉපදීමට සිදුවීම, ඇවිදීමට උගනිමින් සියලු දේ නැවතද මුළ සිටම සිදු කිරීමට සිදුවන, සහ පහසුවෙන් තුවාල සිදුවිය හැකි, අනිවාර්යයෙන්ම ලෙඩ වීමට යටත් වන, වයස්ගත වන, ශක්තිය හීන වන හා මරණයට පත්වන සමස්ත ක්‍රියාවලියටම යටත්වන, කවරාකාර වූ හෝ ආකෘතියකින් එන කෙලෙස් සහිත සිරුරක් නොකඩවා දිගින් දිගටම අපට ලැබෙනු ඇත. තවද, කවරාකාරයකින් හෝ ව්‍යාකූල වන , බොහෝ වූ ප්‍රක්ෂේපණයන් ඇතිකර ගන්නාවූ, සියලු ආකාරයේ ආගන්තුක සිතිවිලි පවත්නා, වෙනස්වන මනෝභාවයන් සමගින් නිරතුරු ඉහළ පහළ ගමන් කරන්නාවූ කෙලෙස් සහිත සිතක්ද අපට ලැබෙනු ඇත.

කිසි විටෙකුදු තෘප්තිකර නොවන්නාවූ සංකීර්ණ සම්බන්ධතාවයන් පවත්වාගෙන යාමට අපට සිදුවනු ඇත. සිදු නොවිය යුතු යැයි අප විසින් සිතන්නාවූ දේ සිදුවනු ඇත. නිරතුරු අප කැමති වන්නාවූ දේ අපට නොලැබෙනු ඇත; සත්‍ය වශයෙන්ම නිරතුරුවම අපට අප කැමති දෙයින් වෙන්වීමටද අකමැති දේ හා එක් වීමටද සිදුවනු ඇත. යමෙකු යම් ආකාරයකින් කටයුතු කරන විටදී, අපි එයට කැමති නොවන්නෙමු; එනමුත් දේවල් අපට අවශ්‍ය පරිදි සිදු නොවේ. එවිට ඉච්ඡා භංගත්වයට පත් වන්නෙමු. හොඳ රැකියාවක්, යහපත් සහකරුවෙකු හෝ සහකාරියක්, ඈ ලෙස ලබාගැනීමට බොහෝ වෙහෙස වන්නාවූ දේ එසේ වෙහෙස වුවද අපට නොලැබේ. අපගේ අනාගත ජීවිත පිළිබඳව පමණක් නොව ඊළඟ මොහොතේදී කවරාකාර හැඟීමක් අපට ඇතිවනු ඇත්තේද යන්න පිළිබඳව පවා නිශ්චිතභාවයක් නොමැත.

දැනට අප සතු සිරුර හා ගත කරන ජීවිතය අත්හැර සම්පූර්ණයෙන් නව ජීවිතයකට ඇතුළු වී සියලු දේ මුළ සිට නැවත ඉගෙනීමටද, නැවතත් මිතුරන් ඇතිකර ගන්නටද, ඈ වශයෙන් සියල්ල නැවත මුළ සිට සිදු කරන්නට යන්නෙමු. මතු භවයේදී නැවත මනුෂ්‍යාත්මයක උපදිනු ඇත්තේය යන සහතිකයක්ද නොමැත; වැඩි වශයෙන් විය හැකියාවක් පවතිනුයේ මිනිසත් බවක් නොලැබීමේ පාර්ශ්වයටය. කැරපොත්තෙකු හෝ එයටද වඩා පහත් මට්ටමක හෝ පුනරුත්පත්තිය ලැබිය හැක. අත්හැර දැමීමත් සමගින් අපට මෙම තත්ත්වය ඇතැයි තහවුරු කරන්නෙමු.

මෙම මට්ටමේ අත්හැර දැමීම හා සමගින් බද්ධ වන්නාවූ චිත්ත ස්වභාවය පරීක්ෂාකර බැලීම සිත් ගන්නා සුළු කාර්යයකි. මෙහි පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන සාංසාරික පුනරුත්පත්තියෙන් වෙහෙසට පත්ව සිටීමේ මූලිකාංගයක්ද පවතී. සාංසාරික ජීවිතය කවරාකාරද යන කරුණ අතිශයෝක්තියට නොනංවන බැවින්, එක් අතකින් අපි එ් කෙරෙහි වශීකෘතවද නොසිටිමු. හුදෙක් එ් පිළිබඳ ඇල්මක් නොමැති තත්ත්වයක සිටින්නෙමු: නිරතුරු එකම දේ නැවත නැවතද සිදුවනු ඇත.

ජීවිතයේදී මුහුණ දීමට සිදුවන හා නැවත නැවතද සිදුවන ගැටළුවලින් වශීකෘත නොවී එ්වායින් වෙහෙසට පත්ව සිටින්නේ නම්, එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන දේවල් පිළිබඳ තැකීමක් සහිත වන්නෙමු. "ඕන දෙයක් වුණාවේ" නමැති උනන්දුවක් නොමැති ආකල්පය පවත්වාගන්නා බවක් ඉන් අදහස් නොවේ. එ් වෙනුවට ඉන් අදහස් වනුයේ පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන්නාවූ සෑම තැන්හිම පැතිර පවත්නා ගැටළුවේ හේතුව අපගේ කැළඹිලිකාරී භාවයන්, කැළඹිලිකාරී ආකල්ප හා එ් මගින් ඇති කෙරෙන බලහත්කාරී චර්යාවන් බව වටහා ගන්නා බවයි. මෙයටද වැඩියෙන්, මෙම දුකෙහි සැබෑ හේතුව නම් අපගේ කැළඹිල්ලට පත් චිත්ත ස්වභාවය හා බලහත්කාරී චර්යාව පිටුපස පවත්නා නොදැනුවත්භාවය බව වටහා ගන්නෙමු. අපි ඉන් මිදීමේ අදිටනින් පසුවන්නෙමු. 

"සැබෑ දෙය" හෙවත් අත්හැර දැමීමේ ගැඹුරුම මට්ටම යනු සංසාරයෙන් මිදීමේ මෙම අදිටනයි. තවද, මෙම සාංසාරික පුනරුත්පත්තිය නමැති මෙම භයානක රෝග ලක්ෂණය අවසන් කිරීමට හැකිය යන විශ්වාසය අප තුළ පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස, අප මෙම තත්ත්වයෙන් පසුවීම පිළිබඳ අපගේ සිත් කැළඹිල්ලට පත්ව නොමැත; අපගේ සිත් පැහැදිලිව, නිරවුල්ව පවතී. අප කෙරෙහි විමුක්තිය ලබාගැනීම සඳහා යම් කිසිවක් සිදු කිරීමේ අදිටනින් අපි පසුවන්නෙමු. තවද, එය අවසන් කිරීම සඳහා කළ යුත්තේ කවරක්ද යන්න අප දන්නා අතර එය කළ හැකි බවට වූ විශ්වාසයක්ද පවතී. සංසාරයෙන් මිදීමේ මෙම අදිටන අප කෙරෙහිම නාභිගත කිරීමෙන් ඉවත්ව, සියලු දෙනා කෙරෙහි සමව නාභිගත කරන කල්හි, එය "මහා කරුණාව" බවට පත්වේ.

අත්හැර දැමීම ගොඩනගා ගැනීමේදී වළකාගත යුතුවන අවදානම් තත්ත්වයන්

අත්හැර දැමීම හා කරුණාව යන ගුණයන් බුද්ධත්වයේ ශ්‍රේණිගත අදියරයන් වන ලම්-රිම් ගාමක බල ක්ෂේත්‍ර තුනෙහි සන්දර්භය තුළ ඉදිරිපත් කෙරෙන බැවින් මෙම සන්දර්භය තුළ එ්වා විමසා බැලීමෙන් එම දෙඅංගය ගොඩනගා ගැනීමේදී සිදුවිය හැකි අනතුරු විග්‍රහ කළ හැක. ගාමක බලවේගයේ මුල් ක්ෂේත්‍රය වනුයේ බුද්ධත්වය කරා විහිදෙන ආධ්‍යාත්මික මාර්ගය වඩවා ගැනීම නොකඩවා සිදුකළ හැකිවන අයුරු සියලු අවස්ථාවන් සහිත අගනා මිනිස් ගතියක පුනරුත්පත්තිය නැවත නැවතද ලබනු පිණිස අපගේ මතු භවයන් වැඩිදියුණු කරගැනීමයි. අභිප්‍රේරණයේ මෙම මුල් මට්ටම ගොඩනගා ගැනීමේදී පවත්නා භයානකත්වය වනුයේ පහසුවෙන් එකී වටිනා මිනිස් පුනරුත්පත්තියට ඇලීමේ හැකියාවක් ඇතිවීමයි. "මට නැවත ඉපදී මගේ යහළුවන් හා ආදරණීයයන් සමග ජීවත් වෙමින් ධනය හා සුව පහසුව ලබන්නට අවශ්‍යයි" ආදී හැඟීම් ඇතිවේ. එ් අනුව වඩා යහපත් පුනරුත්පත්තීන් සඳහා වූ අපගේ උත්සාහය බොහෝ ඇලීම් හා මිශ්‍රිත එකක් විය හැක. මෙය එසේ සිදුවන විටදී, අපි අගනා මිනිස් දිවියක පවත්නා යහපත් ගුණාංග අතිශයෝක්තියට නගන්නෙමු. ආශාව හා ඇල්ම යනු යම් කිසිවක යහපත් ගුණාංග අතිශයෝක්තියට නැගීම මත පදනම් වූවකි. ආශාව සහිත නමුත් යමක් නොමැති විටදී "මට එ්ක ඕන"යි සිතන අතර යමක් ඇති විටදීද ඇල්ම සහිතවම "එ්ක අතහරින්න අකමැතියි" යැයි සිතමු.

විකර්ශනය වෙමින් අත්හැර දැමීම හා සම්බන්ධ භයානකත්වය ඇල්ම හා සම්බන්ධ මෙම භයානකත්වයටම සමාන වූවක් වේ. අගනා මිනිස් දිවියක පවත්නා යහ ගුණ අතිශයෝක්තියට නැංවීමෙන් ඇතිවන ආකර්ශනයට වඩා සාංසාරික පැවැත්මේ සෘණාත්මක ගුණයන් අතිශයෝක්තියට නැංවීමේ අවදානමක් අත්හැර දැමීම තුළ පවතී. එම අතිශයෝක්තියට නැංවීම හේතුවෙන් එ් කෙරෙන් විකර්ශනය වන අතර එමගින් අප පෙරදී කථා කළ පිළිකුල නමැති ක්ෂේත්‍රය කරා ඇදී යාමක් සිදුවේ. පිළිකුල හා විකර්ශනය එකිනෙක හා සමීපව සම්බන්ධ වන සංකල්ප වේ.

අත්හැර දැමීමේ ගුණය වැඩිදියුණු කරගැනීම සඳහා කටයුතු කරන විටදී, අපි එය සංසාරය හෙවත් පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනරුත්පත්ති ස්වභාවයෙන් විමුක්තිය ලැබීමට යත්න දරන්නෙකු බවට පත්වීමේ සන්දර්භය තුළ සිදු කරන්නෙමු. මෙය එතරම් සරල කරුණක් නොවේ. "සිත ධර්මය කරා පෙරළන්නාවූ සිතිවිලි සතර" නමැති පද්ධතියේ එක් කරුණක් වන සංසාරයේ පවත්නා අඩු ලුහුඬුතා හෙවත් දුර්වලතාවයන් පිළිබඳ දැන් අවධානය යොමු කරන්නෙමු. නිරතුරුවම සංසාරයේ අවාසි පිළිබඳ සිතන්නට උත්සාහ කරන්නෙමු.

එම කාර්යය සිදුකිරීම සඳහා සැබෑ ලෙසම යොමුවූ කල, අප අත්දකින සියලු දේහි සාංසාරික ගැටළු දකින්නෙමු. මෙමගින් අපගේ භාවයන් හා ජීවිත අත්දැකීම ඉතා බලවත් සේ වර්ණවත් කළ හැක. අප සිටින්නාවූ ඕනෑම තත්ත්වයක් තුළ, අපගේ සිතට නැඟෙන පළමු සිතිවිල්ල දුක් විඳීම වනු ඇත. නිදසුනක් ලෙස, යමෙකු දකින විටදී ඔහු කෙරෙහි යම් ආකර්ශනයක් ඇතිවිය හැකි නමුත් එවිටම "දුක" නමැති හැඟීම සිතට නැගේ. නව රැකියාවක් ලැබෙන අතර "මෙහි පවත්නේ දුකයි. මෙය අමිහිරි බවට පත්වනු ඇත" යන සිතිවිල්ල ඇතිවේ. කවරක් සිදු වුවද, "දුක" එහි පවත්නා බව දැනේ. දුරකථනය නාද වන විට එහිද "දුක" පවත්නා බව දැනේ. නාන කාමරයේ වතුර මල යටට ගිය විටද එහි "දුක" පවත්නා බව දැනේ. එම කාර්යය අවසන් වනු ඇති අතර, ඉනික්බිති තවත් වරක් නෑමට අවශ්‍ය වනු ඇත.මෙය වෙහෙසකර කාර්යයකි. මෙයාකාරයෙන්, පොදුවේ ජීවිතය සම්බන්ධව ඉතා සෘණාත්මක ආකල්පයක් ගොඩනගා ගැනීම පහසුවෙන් සිදුවිය හැක: එම ආකල්පය අප අත්දකින සියල්ල, විශේෂයෙන් පුද්ගලයන් කෙරෙහි එසේ යොමුවිය හැක. නව පරිගණකයක් මිලදී ගන්නා අතර "මෙහිද දුක පවතී; එය කැඩී බිඳී යනු ඇත; වෛරසයක් එයට ඇතුළු වනු ඇත" යන සිතිවිල්ල ඇතිවේ. මිතුරෙකු හමුවන අතර, එවිටද නැගෙන පළමු සිතිවිල්ල වනුයේ එකිනෙකා සමග ගතකරන කාලය කෙතරම් නම් අතෘප්තිමත් එකක් විය හැකිද යන්නයි. අපට කිසිවක් හෝ භුක්ති විඳිය, රස විඳිය නොහැක. සියල්ල අමිහිරි හා අමනෝඥය යන මෙම සෘණාත්මක ආකල්පය මගින් මානසික අවපාතයක් ඇතිකළ හැක.

ප්‍රීතිය අත්හැර දැමීම හා කරුණාව සමගින් සම්බන්ධ කිරීම

සෘණාත්මක හා මානසික අවපාතී වීමේ මෙකී අවදානම සම්බන්ධයෙන් කටයුතු කරනුයේ කෙසේද? විසඳුම වනුයේ හුදෙක් "ජීවිතයේ ලස්සන භුක්ති විඳින්න" යන්නක්ද? මෙහිදී ඉතාමත් ප්‍රවේශම් සහගත විය යුතුය. ජීවිතය රස විඳීම ජීවිතයේ දුක පිළිබඳ ස්වභාවය පිළිබඳ මෝහාකල්පයක් පවත්වා ගැනීමක්ද? එය අත්හැර දැමීමට පරස්පර වූවක්ද? මෙය කරුණාවට හරවන්න; "සියලු දෙනා දුක් විඳින තත්ත්වය කෙතරම් නම් ශෝකජනක එකක්ද; එය කෙතරම් අමිහිරි එකක්ද" යනුවෙන් සිතන්නෙමු. මෙම ශෝකී බව යමෙකු දැකීමේ ප්‍රීතිය හා සමගින් සම්බන්ධ කිරීම මගින් "ඔබගේ දුක දැකීමෙන් මම සතුටු වෙමි" යන්නක්ද? නැත. සැබැවින්ම එය එසේ නොවේ. එ් අනුව, ප්‍රීතිය හා සතුට සම්බන්ධ හැඟීමක් අත්හැර දැමීම හා කරුණාව සමගින් සම්බන්ධ කරන්නේ කෙසේද?

අපි අපගේ ජීවිතයේ ප්‍රීතිය සොයාගැනීමට උත්සාහ කරන අතර අනෙක් අය හමුවීමෙන් සතුටක් ලබන අතරම ඔවුන්ගේ ජීවිත තුළ සතුට සොයාගන්නා විටදී, අත්හැර දැමීම හා කරුණාව අත්දකින විටදී අවධානය යොමු කරන දෙයට වඩා වෙනස් වූ දෙයක් මත අපගේ අවධානය යොමුවේ. අපි අපගේ, අන් අයගේ බුද්ධ ස්වභාව විභවයන් කෙරෙහි, අපගේ ජීවිත මගින් අපට ලබාදිය හැකි සියලු ආකාරයේ ආශ්චර්යමත් අවස්ථාවන් පිළිබඳවද සතුටින් අවධානය යොමු කරන්නෙමු. බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමේ හැකියාව ලබාදෙන විභවයන් අප සියලු දෙනා තුළ පවත්නා අතර එය ප්‍රීති විය හැකි තත්ත්වයකි. එයයි ප්‍රීතියේ මූලාශ්‍රය. අපි අපගේම හා අන්‍යයන්ගේද ජීවිතවල දුක් විඳින ස්වභාවය කෙරෙහි සතුටින් අවධානය පවත්වාගෙන යන්නෝ නොවෙමු.

නිදසුනක් ලෙස, අත්හැර දැමීමේදී, අපි අප දෙස හා අපගේ ජීවිත දෙස බලන අතර එහි පවත්නා දුක හඳුනා ගනිමින් එය පිළිගන්නෙමු. එය ශෝකජනක දෙයක් වුවද, ඉන් මානසික අවපීඩනයක් ඇතිකර නොගන්නෙමු. තවද, අසරණ හා බලාපොරොත්තු සුන්වූ හැඟීමක් වන "වෙන දෙයක් වුණාවේ" යන ආකල්පයද ඇතිකර නොගන්නෙමු. එ් වෙනුවට අත්හැර දැමීමේදී, අපට අපගේ දුකින් මිදිය හැක්කේය යන විශ්වාසය පවතී. මෙකී නොඉවසිය හැකි තත්ත්වය සම්බන්ධයෙන් යම් කිසිවක් අප විසින් සිදු කරන්නට අදිටන් කරගෙන තීරණයකට එළැඹ සිටින්නෙමු. කළ යුත්තේ කවරක්දැයි දන්නා අතර අපට එය කළ හැකි හා ඉන් මිදිය හැකි බවට වූ විශ්වාසයක් පවතී. එයාකාරයෙන් සිතීම මගින් අප සතුටට පත් නොවන්නේද?

එසේ වුවද, ප්‍රීතිය හා අත්හැර දැමීම හෝ කරුණාව යන මෙකී චිත්ත ස්වභාවයන් දෙක එකිනෙකට සම්බන්ධ කිරීමට උත්සාහ කිරීම මටසිළුටු කාර්යයකි. එ්වා එක්වරම සිදුවන්නේද? එකක් අනෙකෙහි පදනමේ පවත්නේද? දුක ලබා ගනිමින් සතුට ලබාදෙන අයුරු එය භ්‍රමණය වන්නේද? අවංකවම අත්හැර දැමීමේ මානසිකත්වය සහිතව නමුත් සියලු දේ වටිනාකමක් නොමැති හා අඥාන දේය යන හැඟීම ඇතිවන පාපකාරී චිත්ත ස්වභාවයක් හා මානසික අවපීඩනයක් නොමැතිව, සැබැවින්ම මේවා අපගේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ කරන්නේ කෙසේද? අත්හැර දැමීම හෝ කරුණාව සහ ප්‍රීතිය තුළ අපි හුදෙක් එකිනෙකට වෙනස් වූ පැතිකඩයන් දෙකක දෘෂ්ටි කෝණයන්ගෙන් අපගේ හා අන්‍යයන්ගේ ජිවිත දෙස බැලීම පමණක් සිදුවන බව මාහට පෙනී යයි. එසේ නමුදු, මෙම තත්ත්වය අප එකිනෙකා විසින් පුද්ගලිකවම විග්‍රහ කරගත යුතුයැයිද සිතමි.

අත්හැර දැමීම යන්නෙන් අන්‍යයන් හා අන්තර් ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමක් අදහස් නොවේ

අපගේ සාමාන්‍ය ලෞකික පැවැත්ම තුළ දේවලට ආකර්ශනය නොවන පරිදි අත්හැර දැමීම වැඩි වර්ධනය කරගැනීමේ කාර්යයෙහි සැබෑ සාර්ථකත්වයක් අත්කර ගන්නේ යැයි සිතමු. ඉන්පසු අප ඇතිකර ගන්නා ඕනෑම ලෞකික සම්බන්ධතාවයක් මගින් හුදෙක් දුක පමණක් ඇති කෙරෙන බවට නිගමනය කරමින් භික්ෂුවක හෝ භික්ෂුණියක වී ආරණ්‍ය ජීවිතයක් ගත කිරීමට යන්නේ යයි සිතමු. එවන් තීරණයකට එළැඹියද, පොදුවේ පුද්ගලයන් පිළිබඳ පිළිකුලක් ඇතිකර ගැනීම ඔවුන් කෙරෙහි කරුණාවක් ඇතිකර ගැනීමට එරෙහි ප්‍රධාන අවහිරයක් වන බැවින් එසේ නොවීමට ඉතා ප්‍රවේශම් සහගත විය යුතුය. අපට "ඔබ කරදරයක්" යන සිතිවිල්ලෙන් කාර්යය හමාර කළ හැක. මෙමගින් කිසිවෙකු සමගින් හෝ සම්බන්ධ වීමට අවශ්‍ය නොවන්නාවූ පුරුද්දක් ගොඩනංවනු ලබයි. කාරුණික පුද්ගලයෙකු වන්නට අදහස් කරන්නේ නම්, අන්‍යයන් හා කටයුතු කරමින් ඔවුනට අවශ්‍ය තැන්හි උපකාර කිරීමට උත්සාහ කළ යුතුය.

අන්‍යයනට අකමැති වීම හෝ ඔවුන් කෙරෙහි උපේක්ෂා සහගත වීම එ් අනුව අත්හැර දැමීම ගොඩ නැගීමේදී ඉස්මතුවන විශාලතම ගැටළුවක් වේ. අපට යමෙකු මුණ ගැසෙන විටදී, "මේ පුද්ගලයා කරදරයක් වන්නට පුළුවන්. ඔහු සමග කටයුතු කිරීමෙන් මට දුක හා ගැටළු පමණයි ඇතිවිය හැක්කේ. ඔවුන් මාගේ උපදේශය පිළි නොගන්නවා ඇති අතර මා හට කරදරයක් වනු ඇත" ආදී වශයෙන් නැගෙන සිතිවිලිය. මේ වූකලි වළක්වාගනු පිණිස කටයුතු කළ යුතුවන දෙයකි. අත්හැර දැමීම ගොඩනගා ගන්නා විටදී, දෘෂ්ටි කෝණ දෙකකින් අපගේ දුක පිළිබඳ විමසා බැලිය යුතුවේ. පළමුව, අපගේ දුක නොඉවසිය හැක්කක් ලෙස දකින අතර ඉන් මිදීමට අදිටන් කරගන්නෙමු. තවද, අප තුළ සියලු දුක්වලින් නිදහස් වී විමුක්තිය ලැබීමට හා බුද්ධත්වයට පත්වීමට පවා හැකියාව අප වෙත ලබා දෙන්නාවූ මූලික විභවයන් වන බුද්ධ ස්වභාවයක් පවත්නා බව හඳුනා ගන්නෙමු. සියලු දුකින් මිදීම සඳහා අප තුළ පවත්නා විභවය හඳුනා ගැනීම මගින් ජීවිතයේ සතුටක් දැනීම නිශේධනය නොකෙරෙන අතර එ් වෙනුවට සිදු වන්නේ අප සිත් සතුටින් පිරවීමයි. මෙම සතුට අපගේ අත්හැර දැමීමට, නිදහස් වීම සඳහා වූ අපගේ අදිටනට ප්‍රතිවිරෝධී දෙයක් නොවේ. සත්‍ය වශයෙන්ම, මෙම ප්‍රීතිය විසින් අපගේ අත්හැර දැමීම ප්‍රතිබල ගන්වනු ලබයි. එ් අනුව, අපවම නොසලකා හැරීමට හෝ "වෙන දෙයක් වුණාවේ" යන උදාසීන ආකල්පයකින් අපගේම නිදහස සඳහා කටයුතු කිරීම අත්හැර දැමීමට වඩා අප අප කෙරෙහි ඉමහත් සේ සැලකිලිමත් වන අතර, අතකින්, අප කෙරෙහිම කරුණාවද දක්වනු ලබයි.

මෙම විග්‍රහය අන් සියල්ලන් කෙරෙහිද කරුණාව ගොඩනගා ගැනීම සඳහාද අදාල වේ. අපි ඔවුන්ද ඔවුන්ගේ දුකින් මිදේවායි පතන අතර , ඔවුන්ගේ බුද්ධ ස්වභාවය මත පදනම්ව, ඔවුනටද නිදහස් විය හැක. ඉනික්බිති ඔවුනට උපකාර කරනු පිණිස අවශ්‍ය යථාර්ථවාදී පියවරයන් අනුගමනය කරන්නෙමු. වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, අපට ඔවුන්ගේ දුක ගිලිහී යන්නේ නම් යහපත් යැයි හැඟෙන නමුදු, දුක අත් විඳින පුද්ගලයන් පිළිබඳ අප සැලකිලිමත් වන අතර ඔවුන් ඉවත්ව යාමක් අපේක්ෂා නොකරයි.

මෙම ප්‍රවේශය පළමුව අප කෙරෙහිම යොදා ගන්නෙමු. "මාගේ දුක ඉවත්ව යන්නේ නම් යහපත්යයි හැඟෙන නමුත් ඉන් අදහස් වන්නේ මා හට මාවම විනාශ කර දැමීමට අවශ්‍යය යන්නක් නොවේ. ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ මාගේ සෘණාත්මක ආකල්පය යොමු වනුයේ දුක මත විනා පුද්ගලයෙකු වශයෙන් මා මත නොවේ". මෙය පටලවා ගනිමින් "දුකින් මිදීම සඳහා මිය යන්නෙමි"යි සිතීම පහසුවෙන් සිදුවිය හැක්කකි. අප සම්බන්ධයෙන් මෙම වෙන්කොට දැකීම පැහැදිලි වන විටදී, එ් හා සමානවම අපට කාරුණිකත්වය පෙරදැරිව "ඔබගේ දුක ඉවත් වන්නේ නම් යහපත් යැයි මට හැඟෙන නමුත් ඔයා ඉවත්ව නොයන්නේ නම් යහපත්" යැයි සිතිය හැක.

මෙම වෙන්කොට දැක්වීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එ් හා සමානවම, "මට තනියෙන් ඉන්න දෙන්න. මට ඕන මගේ ගුහාවට හෝ ආරණ්‍යයට ගිහින් භාවනා කරන්න" යි සිතමින් අන්‍යයන් වෙතින් තමා ප්‍රතික්ෂේපව ඇති බවට වූ හැඟීමක් සහිතව කිසිවෙකු හෝ සමගින් සමාගමයක් පැවැත්වීමෙන් වැළකී සිටීමේ මෙකී දෝෂ සහගත අත්හැර දැමීමෙන් මිදීමද එතරම් පහසු කටයුත්තක් නොවේ. අපගේ කැළඹිලිකාරී භාවයන් අන්‍යයන් වෙත උපකාර කිරීමේ අපගේ හැකියාවට බරපතල ලෙස බාධා ඇති කරන තරමට බලවත් වන අතර එම භාවයන් සම්බන්ධයෙන් කටයුතු කරනු පිණිස හුදෙකලාව භාවනා කළ යුතුවන තත්ත්වයක අප පසුවන්නේ නමුදු, අන්‍යයන් හා අප කෙරෙහිමද සෘණාත්මක ආකල්පයක් පවත්වාගෙන යන අතර කරුණාවෙන් තොර වීමේ තත්ත්වයෙන්ද වැළකී සිටිය යුතුය. 

පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවය හා ඔවුන් අත් විඳින දුක

නිශේධනීය ආකල්පයක් ගොඩනගා ගැනීමේ මෙම ගැටළුව වළකාලන්නේ කෙසේද? මේ සඳහා මෙලොව සුවසෙත පිණිස පමණක් ධර්මය යොදා ගැනීමේ මට්ටමෙන් ඔබ්බට ගොස් සැබෑ ධර්ම න්‍යායට අනුව විග්‍රහ කිරීමට සිදුවේ. මෙලොව සුවසෙත සලසා ගැනීමේ විධික්‍රමයට එහා ගොස් සැබෑ ධර්මය තුළ පෙර හා මතු භවයන්ද පිළිගැනීමක් අන්තර්ගත වේ.

ජීවිත කාලයක් යනු අපගේ ජීවිතයේ සියලු අවස්ථාවන්හි අඛන්ඩතාවයක් හෙවත් සන්තතියකි. අපගේ ජීවිත කාලය මෙම එක් මොහොතක් සමග හෝ අනන්‍ය නොවන අතරම එකී මොහොතවල් කිසිවකින් හෝ ස්වාධීනව සිදුවන්නක්ද නොවේ. තවද, අපගේ ජීවිතයේ සියලු මොහොතවල් එකම අවස්ථාවේදී සිදු නොවන බැවින් මෙකී සියලු අවස්ථාවන්හි එකතුවට අපගේ ජීවිතය සමාන වන්නේ යැයිද පැවසිය නොහැක. වැඩිහිටියන් බවට පත්වූ පසු, අපගේ ළමා කාලය තවදුරටත් නොපවතී. අපගේ ජීවිත කාලය හුදෙක් සන්තතිය මතට ආරෝපණය කෙරේ.

පෙර හා මතු භවයන් පිළිබඳවද සලකා බලන ධර්මයට අනුව ගත්කල, පුද්ගලයෝ එ් එක් එක් තනි චිත්ත සන්තතිය මතින් ඇති වන්නෝ වෙති. එ්වා ආරෝපණය කෙරෙන චිත්ත සන්තතීන් මෙම ජීවිත කාලය සඳහා පමණක් පවතින්නේද නොවේ. එ්වා මුළක් හෝ අගක් නොමැතිව සදාකල් පවතී. පුද්ගලයෝද තමා ආරෝපණය කෙරෙන චිත්ත සන්තතියේ කිසිදු මොහොතකට අනන්‍ය නොවන අතර , ඔවුහූ එම සන්තතියෙන් පරිබාහිරව ස්වාධීනව පවතින අය හෝ සමස්ත සන්තතිය එක්වරම සිදුවන්නාක් මෙන් එම සමස්ත සන්තතියට අනන්‍ය වූ අය හෝ නොවෙති.

ඕනෑම පුද්ගලයෙකු ආරෝපණය කෙරෙන චිත්ත සන්තතියේ ඕනෑම ලක්ෂණයක් සම්බන්ධයෙන්ද මෙයට සමාන විග්‍රහයක් අදාල වේ. අත්හැර දැමීම හා කරුණාව සම්බන්ධයෙන් සලකා බලන කල, චිත්ත සන්තතියේ ලක්ෂණය වනුයේ සැම තැන්හිම විහිදී පවත්නා දුකයි. පුද්ගලයන් සිටින අතර ඔවුහූ දුකද අත් විඳිති. එනමුදු, ඔවුහූ ඔවුන් ආරෝපණය කරන්නාවූ චිත්ත සන්තතිය සමගින් සිදුවන කවර හෝ නිශ්චිත දුක් අවස්ථාවක් සමග හෝ අනන්‍ය නොවෙති. ආරම්භයක් රහිත වූ ඔවුන්ගේ චිත්ත සන්තතීන් මත සිදු වෙමින් පැවති සෑම තැන්හිම විහිද පවත්නා දුක හා  අනන්‍ය වීමක්ද ඔවුන් තුළ නොමැත. මෙම කරුණු අවබෝධ කරගන්නා විටදී, අප කවුරුන් විසින් හෝ අත් විඳින දුක සමගින් "මා" හෝ අන් කිසිවෙකු හෝ අනන්‍ය නොකරන්නෙමු. "මා" හෝ "ඔබ" දුක සමගින් පටලවා නොගැනීම හා එ්වා එකිනෙක අනන්‍ය වන බව නොසිතීම හේතුවෙන් අපට එම දුක ඉවත්ව යා යුතුවන නමුදු, "මා" හෝ "ඔබ" ඉවත්ව යාමක් අවශ්‍ය නොවේ.

මෙයාකාරයෙන් අන්‍යයන් හා අප තුළමද පවත්නා "මා" පිළිබඳ වඩාත් පැහැදිලි අදහසක් ලබාගන්නෙමු. නැවත කිසිදින සිදු නොවන පරිදි අපගේ චිත්ත සන්තතීන් වෙතින් දුක හා එයට හේතුවූ කරුණු ඉවත් කළ හැකි නමුදු, එම දුක් අත් විඳි පුද්ගලයන් කිසිදින ඉවත් කළ නොහැක. චිත්ත සන්තතීන්හි කෙළවරක් නොපවත්නාක් මෙන් "මා" ලෙස සලකන එ්වා ආරෝපණය කරගන්නා පුද්ගලයන් සම්බන්ධවද කෙළවරක් නොපවතී.

චිත්ත සන්තතියේ සහජ පාරිශුද්ධත්වය හා දුක සහ එයට හේතුවූ කරුණු සදාකාලිකව ඉවත් කළ හැක්කේය යන කරුණ වටහා ගතහොත්, "මා" ශුද්ධ වූ චිත්ත සන්තතිය සමගින් අනන්‍ය නොකරීමටද ප්‍රවේශම් විය යුතුය. නොඑසේ නම්, දුක යන්නක් සැබැවින්ම නොපවත්නේය යන විශ්වාසයෙන් පසුවන බැවින් දුක පිළිබඳව මෝහයෙන් සිට එය ඉවත් කිරීමේ අවශ්‍යතාවය බරපතල ලෙස නොගත හැක.

ටොංලන් පිළිවෙත තුළ දුක භාරගැනීමේ සිට සතුට ලබාදීම දක්වා වූ සංක්‍රාන්තිය සිදු කිරීම

අන්‍යයන්ගේ හෝ අපගේම දුක පිළිබඳව සිතා බලන විටදී, එය දුක් සහිත එකකි. අපගේ දුක හෝ අන් කිසිවෙකුගේ දුක සම්බන්ධව සැබැවින්ම අපට සතුටක් නොදැනේ. මෙය එසේ සිදුවීම පිළිබඳ කණගාටුවක් උපදී. දීම හා ලබාගැනීම අදහස් කෙරෙන ටොංලන් දේශනාවන් තුළ, අන්‍යයන්ගේ දුක හෝ අපගේම දුක පිළිබඳ අපගේ අවධානය යොමු කරමින් එ් පිළිබඳ කණගාටු වන්නෙමු. දුක යථාර්ථයක් නොවන අතර එමගින් වේදනාවක් ඇති නොවන්නාක් මෙන් අපට කිසිවක් හෝ නොහැඟෙන බවක් ඉන් අදහස් නොවේ. ඉන්පසු එම දුක භාරගැනීමේ තත්ත්වයක් සිතින් සිතා ගනිමු; එය අප විසින්ම අත් විඳීමට කැමැත්තෙන්ම භාර ගන්නෙමු. ඉන්පසු ඔවුන් හෝ අප වෙතම හෝ සතුටු වේවාය යන පැතුම හෙවත් ආදරය ලබා දෙන්නෙමු. එ් අනුව, අප මතට භාරගන්නා දුකට අදාල වේදනාත්මක හැඟීමේ සිට ලබා දෙන්නාවූ සතුටේ හැඟීම දක්වා විතැන් වන්නෙමු.

කණගාටුවක් දැනීමේ සිට සතුටක් දැනීම දක්වා වූ මෙම සංක්‍රාන්තිය වූකලි ටොංලන් පිළිවෙත් පූරණයෙහි ලා බොහෝ අය මුහුණ දෙන බාධකයක් වේ. කණාගාටුවක් දැනීමේ තත්ත්වයේ සිට සතුටක් දැනීමේ තත්ත්වය දක්වා ක්ෂණිකව වෙනස් වන්නේ කෙසේද? එක් අතකට මෙම හැඟීම් දෙක වූකලි එකිනෙක ගැටෙන සුළුවූ හැඟීම් වේ. දුක පිළිබඳ අවධානය යොමුකරමින්, මානසික අවපාතයකට ඇද වැටීමකින් තොරව, ජීවිතයේ සතුට හා විමුක්තිය ලැබීම සඳහා එහි ඇති හැකියාවන් අත් විඳීමට හැකිවීම පිළිබඳ අවධානය යොමු කිරීම සමබර කරන ආකාරය සාකච්ඡා කරන විටදීද මෙයට සමාන ගැටළුවක් විමසා බැලුවෙමු. මෙයද එ් සමානම ගැටළුවකි.

රෝගී වූ ඥාතියෙකු හෝ මිතුරෙකු බලන්නට යාමේ නිදසුනක් පිළිබඳ සිතා බලන විටදී කණගාටුව හා සතුට අතර සමබරතාවයක් පවත්වාගෙන යාමට හැකිවීමේ වැදගත්කම වටහාගත හැක. ඔවුන් රෝගීව හා දුකෙහි ගැලී පසුවීම පිළිබඳ අපට කණගාටුවක් දැනේ. එනමුදු, අපගේ ආදරණීයයා බැහැ දකින අතර අපි කණගාටුවෙන් හා අසතුටින් පසුවන්නේ නම්, එමගින් එම පුද්ගලයා වෙත කිසිදු යහපතක් සිදු නොවේ. රෝගී වූ ඥාතියා හෝ මිතුරා උද්‍යෝගිමත් කළ යුතුය. එසේ වුවද, එවන් තත්ත්වයක සතුටුදායක හැඟීමක් උත්පාදනය කරන්නේ කෙසේද? එය හුදෙක් කෘත්‍රිම එකක් පමණක්ද? ඇතුළතින් බිහිසුණු හැඟීමක් පවත්වා ගනිමින් හුදෙක් මුහුණට සිනහවක් නඟා ගන්නේද?

මෙහිලා දුකෙහි සිට සතුට දක්වා අවංක සංක්‍රාන්තියක් ලබාගනු පිණිස, "සිතේ මහා සුව කිරීමේ ස්වභාවය" දක්වන තරමක් ගැඹුරු මට්ටමක දේශනාවන් වන මහමුද්‍රා දේශනාවන් යොදාගත හැක. සියල්ලටම පළමුව, අන්‍යයන්ගේ හෝ අපගේ දුක පිළිගන්නා විටදී, අපි ස්වේච්ඡාවෙන් දුක පිළිගන්නෙමු. මෙම කාර්යය අවංකව සිදු කරන විටදී, එමගින් අප වෙත ආත්ම විශ්වාසය හා ශක්තිය පිළිබඳ හැඟීමක් ලබාදෙනු ලබයි. මෙහිදී 'අනේ අසරණ මං විඳෝනවනෙ" යන පරාජිත මානසිකත්වය අප තුළ නොපවතී.

මහාමුද්‍රා ක්‍රමයේදී අපි මෙම දුක සමගින් අපට දැනෙන කණගාටුව සිත නමැති සාගරය මත වූ රළක් ලෙස සේ සළකන්නෙමු. ස්වේච්ඡාවෙන්ම දුක භාරගැනීමෙන් ලද අභ්‍යන්තර ශක්තියෙන් අපි එම රළ පහරින් භාවමය වශයෙන් විසි වී යාමක් සිදු නොවේ. සන්සුන්ව අප අත් විඳින කණගාටුව නමැති රළ පහර බැස යන්නට ඉඩ හරින්නෙමු. එය ස්වභාවිකවම තැන්පත් වූ විට, අපට සිතේ පවත්නා සහජ, නිහඬ සතුට කරා ප්‍රවේශ වීමට හැකිවේ. එය අපගේ සිත තුළින් දිදුලන අතර මෙයයි අප විසින් අන්‍යයන් වෙත ලබාදෙන හෝ ටොංලන් පිළිවෙත් පූරණය තුළ අත්දකින දෙය වනුයේ.

සිතේ පවත්නා මෙම ස්වභාවික ප්‍රීතිය විෂයයෙහි කිසිදු කැළඹිලිකාරී හෝ අවුල් සහගත දෙයක් නොමැත. "ඔයා ලෙඩ වෙලානෙ. හරිම සවුත්තුවක්නෙ. ඔයා පව්, එ් වුණාට මං සතුටින් ඉන්නෙ මගේ ජීවිතේ. හැම දෙයක්ම මටනං හොඳින් සිද්ධ වෙනවා" ඈ වශයෙන් අපගේ සතුට පිළිබඳ නිවේදනය කරමින් යාමක් හෝ පිටතට පෙන්වීමට උත්සාහ කිරීමක් සිදු නොකරමු. අපගේ සහජ, ඉහිල් සතුට විසින් නිහඬවම අන්‍යයන් හා අපවමද සනසවමින් අස්වසාලනු ලබයි.

අත්හැර දැමීම හා කරුණාව ගොඩනගනු ලැබීමට පාදක වන අත්තිවාරම්

දේශනය ආරම්භයේදී, නිදසුනක් ලෙස කරුණාව වැනි චිත්ත ස්වභාවයක් උත්පාදනය කරගැනීම සඳහා එය කවරක් මත පදනම්ව ගොඩ නැගෙන්නේද යන්න දැනගැනීම අවශ්‍ය බව ෂොංඛපා විසින් විස්තර කරන ලද බව පෙන්වා දුනිමි. පළමුව නිසි අත්හැර දැමීම ගොඩනගා ගැනීම යන පදනම මත කරුණාව ගොඩනැගේ. අත්හැර දැමීමේදී පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනරුත්පත්තිය ඇති කරන්නාවූ අපගේ කැළඹිලිකාරී භාවයන්ගෙන් නිදහස් වීමට අදිටන් කරගෙන එ්වායින් මිදීමට අවශ්‍ය කටයුතු කරන්නෙමු.

කරුණාව සඳහා අවශ්‍ය පදනම ගොඩනැගීමේ ඊළඟ පියවර වනුයේ අත්හැර දැමීම නමැති පදනම මත සමචිත්තතාවය ගොඩනගා ගැනීමයි; වෙනත් වචනවලින් පවසන්නේ නම්, අපගේ කැළඹිලිකාරී භාවයන් මුලිනුපුටා දැමීම සඳහා කටයුතු කිරීමේ පදනමිනි. සමචිත්තතාවය සහිත විටදී, කිසිවෙකු කෙරෙහි හෝ ආකර්ශනයක්, පිළිකුලක් හෝ උපේක්ෂාවක්ද යන කැළඹිලිකාරී භාවයන්ගෙන් තොරව,සියලු සත්ත්වයන් මත විවෘතව අපගේ අවධානය යොමු කරවන්නෙමු. සෑම සත්ත්වයෙකුම ආරම්භයක් හෝ අවසානයක් නොමැති චිත්ත සන්තතියකට ආරෝපණයව ඇත්තේය යන කරුණ තුළ ඔවුන් සියලු දෙනාම සමානයන් වන බැවින් සියලු දෙනා වෙත සමානවම විවෘත වෙමු. මක් නිසාද, ආරම්භයක් රහිත මෙම කාලය තුළ සෑම වර්ගයකම සත්ත්වයන් සමග සෑම ආකාරයකම සම්බන්ධතා පවත්වා ඇති අතර, එ් කිසිදු අවස්ථාවක එ් කිසිවෙකු හෝ සමගින් පැවැත්වූ මිතුරෙකු, සතුරෙකු හෝ ආගන්තුකයෙකු ලෙස කිසිදු ආකාරයක සම්බන්ධතාවයක් සමගින් එ් කිසිවෙකු අනන්‍ය නොකරන්නෙමු. එබැවින්, ආකර්ශනයක්, පිළිකුලක් හෝ උපේක්ෂාවක් ඇති විය හැකි පදනමක්ද එහි නොමැත.

සෑම සත්ත්වයෙකුම යම් අවස්ථාවක අපගේ සතුරා හා අපගේ මිනී මරුවාද වී ඇති බැවින් එසේ වී ඇත්තේ කවර කාලයකද යන කරුණ පිළිබඳව අවධානය යොමු කිරීමෙන්ද ප්‍රයෝජනයක් නොමැත. සියලු දෙනා අපගේ මව්වරුන්ව සිට ඇති කාලය පිළිබඳව සිත යොමු කිරීම හා එසේ අපගේ මව්වරුන් හෝ අප රැකබලාගත් අය වශයෙන් අප වෙත සියලු දෙනා විසින් දක්වන ලද කාරුණිකත්වය පිළිබඳ සිතීම එයට වඩා බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ. වර්තමාන ජීවිත කාලය තුළ අපගේ මව විසින් අප අපයෝජනය කරන ලද්දේ හෝ අපට බිය ගෙනදෙන සුළු චර්යාවක නිරතව සිටින්නේ හෝ වුවද, ඇය විසින් අප ගබ්සා කොට නොදැමීමට තරම් වූ අවම කාරුණිකත්වයක් හෝ දක්වා ඇත. ඇය හෝ අප වඩවන මව විසින් සිය කුස දරා සිටිමින් අප වෙත විශේෂ කාරුණිකත්වයක් දක්වා ඇත.

ඊළඟ පියවර සාමාන්‍යයෙන් "එම කාරුණිකත්වයට වන්දි ගෙවීම" ලෙස පරිවර්තනය කෙරෙන නමුත්, "වන්දි ගෙවීම" යන්න තුළ සාවාද්‍ය හැඟීමක් අන්තර්ගත බව පෙනේ. මක් නිසාද, "වන්දි ගෙවීම" යන්න තුළ ව්‍යාපාරික ගණුදෙනුවක සිදු කෙරෙන ණය ගැනීමක් වැනි කරුණක් ඇඟවෙන බැවිනි. ගත් ණයක් ආපසු නොගෙවුව හොත්, අපි වරදකරුවෝ වෙමු. මෙහිදී නැවත ගෙවීමේ බැඳීමකට හෝ වරදකාරී හැඟීමකට වඩා මෙම පියවරෙහි පදනම වශයෙන් අදහස් කෙරෙන භාවය වනුයේ ලද කාරුණිකත්වය ඇගයීම හා එයට කෘතගුණ දැක්වීමයි. ඉනික්බිති එම භාවයේ පදනම මත, අපගේ මව අන්ධව සිටින්නේ යැයිද, චිත්ත ව්‍යාකූලත්වයට පත්ව හා නොදැනුවත් භාවයෙන් හානිකර චර්යාව නමැති අගාධයකට ඇද වැටීමට ආසන්නව සිටින්නේ යැයිද සිතා, ඇයට උපකාර කරන ආකාරය දනිමින් අප ඇය අසල සිටගෙන සිටින්නේ නම්, ඇයගේ ඇද වැටීම වළකාලනු පිණිස කළ හැකි කවරක් ‌හෝ කිරීමේ වගකීම ස්වභාවිකවම අප විසින් ගනු ඇත. ඇයගේ දුව හෝ පුතා ඇයට උපකාර නොකරන්නේ නම්, අන් කවරෙකු එසේ කරනු ඇත්ද?

යම්කිසි දිනෙක සියලු දෙනා විසින් අප වෙත පා ඇති කරුණාව කෙරෙහි ගැඹුරින්ම කෘතවේදී වන හැඟීමක පදනමින්, ඔවුනට සැබෑ ලෙසම උපකාර කිරීමෙන් අපගේ කෘතවේදිත්වය පළ කිරීමට පමණටත් වඩා උනන්දු වෙමින්, "හෘදයාංගම ආදරය" නමැති ගුණය නිරායාසයෙන්ම ගොඩනගා ගන්නෙමු. සියලු දෙනා කෙරෙහිම මවක සිය අගනා දරු සම්පත කෙරෙහි දක්වන්නාවූ ආකාරයේ එවැනි හෘදයාංගම සම්බන්ධතාවයක හැඟීමක් අපට දැනේ. අපි අවංකවම ඔවුන්ගේ සුභ සාධනය කෙරෙහි සැලකිලිමත් වෙමින් ඔවුනට යම් අයහපතක් සිදු වුවහොත් එ් පිළිබඳ දුක් වෙමු.

එකී හෘදයාංගම ආදරය තුළිනි සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා සහ නිදුක් වීමට අවශ්‍ය හේතු ඔවුන් වෙනුවෙන් පහළ වේවාය යන පැතුම හෙවත් බුදු දහම තුළ වගා කෙරෙන වර්ගයේ ආදරයක් අප තුළ ඇති වනුයේ. සියලු දෙනා කෙරෙහි වූ මෙම ආදරය පදනම් කරගනිමින් ඔවුන් සියලු දෙනා දුකින් හා එයට හේතු වූ කරුණුවලින් නිදහස් වේවාය යන පැතුම පෙරදැරි කරගත් කරුණාව ගොඩනගන්නෙමු. එ් අනුව සියලු දෙනා කෙරෙහි විවෘත වූ හා සමීපස්ථ හැඟීමක්, ඔවුන්ගේ කාරුණිකත්වය හා හෘදයාංගම ආදරය, සෙනෙහස ආදිය පිළිබඳ කෘතවේදිත්වයක් බඳු බොහෝ ධනාත්මක භාවයන්ගෙන් සමන්විත සංකීර්ණයක් කරුණාව පදනමේ එයට උපකාරීව පවත්නා බව අපට දැකිය හැක. මේ සියල්ල කරුණාව තුළ අන්තර්ගත වේ.

මෙම කරුණ තවදුරටත් ව්‍යාප්ත කළහොත්, එ් අනුව, කරුණාව යනු අන්‍යයන්ගේ දුක ඉලක්ක කරගත් අත්හැර දැමීමේ චිත්ත ස්වභාවය නම්, එවිට කරුණාවේ පදනමද අත්හැර දැමීමේ යම් ස්වරූපයකින් පෙනී සිටිය යුතුය. මින් අදහස් වනුයේ පළමුව අප තුළ අප කෙරෙහිම සම චිත්තතාවයක් පැවතිය යුතු බවයි.. එය ආකර්ශනයක්, පිළිකුලක් හෝ උදාසීන අදහසක් නොවේ. ඉන් පසු මෙම ජීවිතයේ හා අතීත ජීවිතයන්හි අප විසින් සිදු කරන ලද සෘණාත්මක දේවල් මත අවධානය යොමු කරගෙන සිටීමෙන් පලක් නොමැති බව අවබෝධ කරගත යුතුය. අන්‍යයන් අපගේ මව්වරුන්ව සිට අපට කාරුණික වී ඇති ආකාරය දැකීමට සමාන්තරව, අප විසින් අප වෙනුවෙන්ම සිදු කරන ලද ධනාත්මක, කාරුණික දේ මත අවධානය යොමුකළ යුතුය. අගනා මිනිස් දිවියක ප්‍රයෝජනවත් හේතු සාධක වර්තමානයේදී අප විසින් භුක්ති විඳින්නේය යන කරුණ වූකලි අප විසින් අතීතයේදී සිදු කරන ලද පුණ්‍ය ක්‍රියාවන්හි කර්ම ඵලය වේ. එම කර්ම ක්‍රියාවන් තුළ අප විසින් අප වෙත දක්වා ඇති කාරුණිකත්වය කෘතවේදීව අගයමු. මෙමගින් අප කෙරෙහි වෛරී හැඟීමක් නොව හෘදයාංගම ආදරයක් ඇති වේ. අපි අපගේ සුභ සාධනය පිළිබඳ අවංකවම සැලකිලිමත් වන අතර, අපට යම් අයහපතක් සිදු වුවහොත් එය ඉතා අයහපත් දෙයක් සේ හඟින්නෙමු.

කරුණාවෙන් කටයුතු කිරීමේදී, සියලු දෙනා සමානයන් බවට පත් කිරීමේ ප්‍රධාන මූලධර්මයක් වනුයේ සියලු දෙනා සතුටින් සිටීමට කැමති වන අතර කිසිවෙකු හෝ අසතුටින් සිටීමට අකමැති වන අතරම, සියලු දෙනා හට එ් හා සමානවම අසතුටින් නොසිට සතුටින් සිටීමේ අයිතියක්ද පවතින්නේය යන කරුණයි. මෙහි "සියලු දෙනා" යන්නට අපද ඇතුළත් වේ. එබැවින්, අපටද සතුටින් සිටීමේ හිමිකමක් ඇත; අසතුටින් නොසිටීමේ හිමිකමක් පවතී. එබැවින්, නිදහස් වීමේ මෙම අදිටන හෙවත් අත්හැර දැමීම ගොඩනගා ගැනීම යනු මූලිකව අප කෙරෙහිම කරුණාවක් ගොඩනගා ගැනීමයි.

කරුණාකර මෙම කරුණ වරදවා නොවටහා ගන්න. මා කෙරෙහි කාරුණික හැඟීමක් ඇතිකර ගන්නා "මා" එම කාරුණික හැඟීමට විෂය වන "මා" ගෙන් වෙනස් වන්නේය යනුවෙන් අප කෙරෙහිම ද්විත්වවාදී ආකල්පයක් ඇතිකර ගැනීම මෙමගින් දිරිගන්වනු නොලබයි. "අප කෙරෙහිම කාරුණික වීම" යනු හුදෙක් අලංකාර පදයකි. එසේ නමුදු අපට අප කෙරෙහිම කාරුණික වෙමින් දුකින් හා අසතුටින් අපව මුදවා ගැනීමට අවශ්‍ය වන්නේ නම්, "මට මේ පුද්ගලයා සමග අයහපත් සම්බන්ධතාවයක් නැවත ඇතිකර ගන්න අවශ්‍ය නෑ;මට තරහ ගන්න අවශ්‍ය නෑ; සිත අවුල් කරගන්න අවශ්‍ය නෑ; මට කා ගැනවත් ඇල්මක් ඇතිකර ගන්න අවශ්‍ය නෑ" යන ආකල්පය ගොඩනගාගත යුතුවේ. මෙයාකාරයෙන් අපගේ ගැටළුවලින් මිදීමේ අදිටන ගොඩනගා ගන්නා අතර එය වූ කලි හෘදයාංගම සතුට හා සැනසුම නමැති මූලික හැඟීම සහිතව "සියල්ල දුකයි" යන හැඟීම සමබර කරන ආකාරය සමස්බන්ධ තවත් කෝණයකි.

සාරාංශය

අපි මෙහිදී බොහෝ කරුණු ආවරණය කළෙමු. එනමුත්, බුදු දහමේ මෙකී ඉතා වැදගත් මාතෘකාව පිළිබඳ වඩාත් සම්පූර්ණ පින්තූරයක් ඉදිරිපත් කිරීමට මට අවශ්‍යය. හුදෙක් අප විසින් අධ්‍යයනය කරන මාතෘකාවක් පමණක් නොවන අතර, අපගේ පුද්ගලික සංවර්ධනය ඇසුරින් අත්හැර දැමීම හා කරුණාව ගොඩනගා ගන්නා ආකාරය ගෙනහැර දැක්වීම සඳහා එය වැදගත් වේ. සෞඛ්‍ය සම්පන්න, ස්ථාවර ආකාරයකින් අත්හැර දැමීමේ සිට කරුණාව දක්වා වූ සංක්‍රමණය සිදු කරනුයේ කෙසේද යන කරුණ හා එම චිත්ත ස්වභාවයන් දෙක අතර සම්බන්ධතාවයද පරීක්ෂා කළෙමු.

Top