ආත්ම පෝෂණය මැඩ පැවැත්වීම සම්බන්ධ උපදේශය

ඔබගේ නියමයන්, නීති හා ව්‍යවස්ථා නිර්මාණය කරගන්නාද ඔබම වේ. අන්‍යයන් ඔබගේ නීති උල්ලංඝනය කළහොත් ඔබ ඔවුන් අල්ලා දඬුවම් ලබාදෙයි. එනමුත්, ඔබම එ්වා උල්ලංඝනය කරන්නේ නම්, ඔබට දඬුවම් ලබාදීමක් සිදු නොවේ. ගේෂේ ශර්මාවා ප්‍රකාශ කළ පරිදි "ඔබ ඔබගේ පෞද්ගලික දුර්ලතාවයන් හා ආත්ම දෘෂ්ටිය ඔබගේ සතුරා බව නොදක්නා තාක්, කවර උපකාරයක් හෝ ලබා ගැනීමේ අදහසක් ඔබ තුළට ඇතුළු නොවනු ඇත". ඔබට ඔබගේ හැඟීම් වඩාත් වැදගත් දෙය ලෙස හැඟෙන්නේ නම්, කිසිවෙකුට හෝ ඔබ කරා ප්‍රවේශ වීමට නොහැකි වනු ඇත. ලාමාවරුන්ගේ උපදෙස් ආත්ම පෝෂණ ආකල්ප හා ගැටෙන බැවින් ඉතා බලවත් ලාමාවරුන්ට පවා ආත්ම පෝෂණ අදහසින් බරවූ අයෙකු හට උපකාර කළ නොහැක. ඔබගේ මාර්ගය තුළ ගුරුවරුන්ගේ මාර්ගෝපදේශය ලබනු පිණිස, පළමුව ආත්ම පෝෂණ ආකල්පයක් පවත්වාගෙන යාමේ වරද අවබෝධ කරගත යුතුවේ. ආත්ම පෝෂණ අදහස ඇති කල, අයහපත් කටයුතු කිරීම සඳහා වූ සියලු සාධක ඔබ තුළ පවත්නා බැවින් ඔබ ඔබගේ ක්‍රියාකාරකම් පදනමෙහි පවත්නා හේතු කිරා මැන බැලිය යුතුය. ගුරුවරුන් හට ඔබට උපකාර කිරීමට නොහැකි වනු පමණක් නොව, ඔබ ඔබගේ සාමාන්‍ය මිතුරන්ගේ අදහස්වලටද විවෘත නොවන බැවින් ඔවුන් හටද ඔබට උපකාර කිරීමට නොහැකි වනු ඇත.

අප සියලු දෙනා තුළ ආත්ම පෝෂණය නමැති දෝෂය පවත්නා බව අප විසින් පිළිගත යුතුය. එම දෝෂය නොමැත්තේ බුදුරජාණන් වහන්සේ තුළ පමණි. අප තුළ පවත්නා මෙම දෝෂය හඳුනා ගනිමින් එය මුළිනුපුටා දැමීමට උත්සාහ කළ යුතුය. අවම වශයෙන් අප තුළ ආත්ම පෝෂණ ආකල්පයක් පවත්නා බවට අවබෝධ කරගන්නේ නම්, එය ඉමහත් ප්‍රගතියක් වනු ඇත. ඔබ වෙත විවේචන එල්ල වන විටදී, එය ඔබගේම ආත්ම පෝෂණ ගති ස්වභාවය මගින් ඔබ විසින්ම තමා වෙත ආකර්ශනය කරගත්තක් බවට වූ හැඟීම ඇතිකරගත යුතුය. මෙකරුණ අවබෝධ කර නොගන්නේ නම්, ඔබ කෝපයට පත්වනු ඇත. පාදයේ කටුවක් ඇණුනු කල කෝපයට පත්ව එයට පාපහර දෙන්නට ගියහොත් අලාභය සිදුවන්නේ කා හටද? මේ මොහොතේ එල්ලවන සුළු විවේචන හා ඇතිවන අප්‍රසන්නතාවයන් දරා සිටීමට නොහැක්කේ නම්, වඩා පහත් තළයන්හි ඇතිවන පුනරුත්පත්තීන්හි දැරීමට සිදුවන දුක කෙසේ නම් දරා සිටිමුද?

ගේෂේ චෙන්ගාවා ප්‍රකාශ කළේ අප විසින් ඉලක්කලාභී ඉවසීමක් පවත්වාගත යුතු බවයි. එහිදී අප වෙත විවේචන එල්ල වන විටදී අප විසින් අනෙකා වෙත ඉලක්කයක් සපයා ඇති බව දැනගන්නෙමු. මූලික වශයෙන්ම, ඉලක්ක ලක්ෂ්‍යයක් නොපැවතියේ නම්, කිසිදු හීයකට එ් කරා එ්මට නොහැකි වන්නට ඉඩ තිබිණි. "උගුලට බෙල්ල යොමු කරවන්නා ඔබමය" යන කියමනක් ඇත."කිසිදු වරදක් නොකළ අවස්ථාවන්හිදී පවා ඔබ අන්‍යයන්ගේ විවේචනයට බඳුන් වන්නේ නම්, එහි අදහස පෙර භවයන්හිදී ඔබ විසින් අන් අය පහත් කොට සලකා ඇති බවයි. නිදසුනක් ලෙස, එක් කලෙක ත්‍රිවිධ ශික්ෂා සම්බන්ධ කැළඹිලිකාරී භාවයන්ගෙන් හා ආකල්පයන්ගෙන් මිදුණු, අර්හත්වය ඵලලාභී බුද්ධ ශ්‍රාවකයෙකු විය. එනමුත්, එම අරහතුන් වහන්සේ විසින් සිය ශික්ෂාවන් බිඳ ඇති බව ඇතැමුන් විසින් ප්‍රකාශ කරන්නට වූ අතර, එ් අනුව ඔහුට එරෙහිව සදොස් සාක්ෂි ගෙනහැර දක්වන්නට වූහ. මෙහිදී බුදුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ අර්හතුන් වහන්සේ කෙනෙකු විසින් ශික්ෂා සිඳ දැමීමක් සිදු නොවිය හැකි බවයි.  උන් වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළේ ඉහළ ධර්ම ඵලලාභීන් වහන්සේලා හට මෙසේ ශික්ෂාවන් බිඳ දැමූ බවට සදොස් චෝදනා ගෙන එන කිසිවෙකු හෝ බෞද්ධයෙකු ලෙස නොසලකන අතර, එ් වෙනුවට ඔවුන් බුදු දහමට හිරිහැර කරන්නන් ලෙස සලකන බවයි. එම අරහතුන් වහන්සේ විවේචනයට භාජනය වූයේ මන්ද යන කරුණ අන් අය විසින් විමසන ලදුව, බුදුන්ගේ පිළිතුර වූයේ එයට හේතුව එම අරහතුන් වහන්සේ විසින් පෙර භවයක කේලාම් හා හිස් වචන තෙපළන්නෙකුව සිට ඇති අතර එමගින් රජෙකු විසින් සිය දේවිය පළවා හැරීමට යොමුකළ බවයි. එහි ප්‍රතිවිපාකය මෙයාකාර විය.

අන්‍යයන් විවේචනය කිරීම, ඔවුනට චෝදනා එල්ල කිරීම හා ප්‍රලාප දෙඩවීම බොහෝ සෙයින් අවැඩදායක චර්යා රටාවන් වනුයේ එමගින් ඔබගේ පිළිවෙත් පිරීමට කිසිදු උපකාරයක් නොලැබෙනු පමණක් නොව, අන්‍යයන් වෙතද සිත් රිදවීම් ඇති කොට ව්‍යාකූලත්වයන් ඉස්මතු කරවන බැවිනි. එකිනෙකා විනිශ්චයට භාජනය කළ හැක්කේ බුද්ධත්වයට පත්වූ දෙදෙනෙකුට පමණක් බව කියනු ලැබේ.සත්‍ය වේවා, අසත්‍ය වේවා දෝෂ විවේචනය කිරීම තුළ අප විසින් එක්රැස් කරගනු ලබන්නේ පාප කර්මයන් වේ.  යහපත් හේතුවත් මත යම් අසාමාන්‍ය කටයුත්තක යෙදෙන බෝධිසත්ත්වයෙකු විවේචනය කිරීමේදීද ඇතිවන ප්‍රතිඵලය පාප කර්මයකි.

නිරන්තරයෙන්ම අන්‍යයන් විවේචනය කිරීමේ පුරුද්ද සහිත අය තුළ ගැඹුරු ආත්ම පෝෂණ ආකල්පයක් පවතී. ඇතැම් සංඝයා වහන්සේලා විසින් බොහෝ දේශනා ශ්‍රවණය කළද, පෙර භවයන්හිදී රැස්කළ ආත්ම පෝෂණ ආකල්පය හේතුකොට ඔවුහූ එම දේශනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකරති. අපගේ සතුරනට හානි සිදු කිරීමද ආත්ම පෝෂණ ආකල්පයේ ප්‍රතිඵලයකි.

බුදුන් කල එක් භික්ෂුවක විසින් සිය සිවුරු පඬු ගන්වමින් සිටින අතර අයෙකුගේ වඳුරා නැතිවී තිබිණි. අදාළ භික්ෂුව විසින් සිවුර සිය භාජනයෙන් ඉවතට ගන්නා විටදී එය වඳුරු මස් බවට පෙරළී තිබෙන බවක් පෙනිණි. මිනිසුන් විසින් එම භික්ෂුව වඳුරා සොරාගෙන පිසගත් බවට චෝදනා කරන ලදී. එම භික්ෂුව අධිකරණයක් වෙත ගෙනගොස් දණ්ඩනයට ලක් කරන ලදී. කලකට පසු, එම වඳුරා නැවත පැමිණි අතර, භික්ෂුව අත වරදක් නොමැති බව සනාථ විය. මෙවැන්නක් සිදුවීමට හේතුව එම භික්ෂුව විසින් බුදුන් වහන්සේගෙන් විමසන ලදුව, බුදුන් වහන්සේගේ පිළිතුර වූයේ පෙර භවයකදී එම භික්ෂුව විසින් තවත් අන් භික්ෂුවක විසින් වඳුරෙකු සොරකම් කරන ලද බවට චෝදනා කිරීම බව පෙන්වා දෙන ලදී.

සතුටින් හා සුව පහසුවෙන් ජීවත් වෙමින් මුදල් එක්රැස් කිරීම කෙරෙහි අප තුළ කෙතරම් සැලකිල්ලක් පවත්නේද යත්, අපි විහින්ම සොරුන්ගේ ඉලක්ක බවට පත් වන්නෙමු. සිය මුදල් තමාට අහිමි වේය යන බියෙන් තමා සතු සියලු මුදල් බෑගයකට දමා එම බෑගය සිවිලිමෙහි ගැටගසා ලූ පුද්ගලයෙකු පිළිබඳ කථාවක්ද පවතී. එක් දිනක් එම බෑගය එම පුද්ගලයාගේම හිස මත කඩා වැටී ඔහු අනතුරට පත්විය. මෙහි අදහස නම් ආත්ම පෝෂණ ආකල්පය මගින් තාවකාලිකව මෙන්ම සදාකාලිකවද අපගේ සතුට අහිමි කරවන බවයි. සියලු පෙර භවයන්හිදී අප තුළ ආත්ම පෝෂණ ආකල්පය පැවති බැවින්, එය අපගේ බරපතලම ගැටලුව බව අවබෝධ කර ගත්තද අපට ඉන් වහා මිදිය නොහැක.

එ් අනුව කවරාකාර හෝ විවේචනයකට ප්‍රතිචාර නොදැක්වීමට උත්සාහ කරමින්, එ් වෙනුවට එය අන් අයගේ හා ඔබගේම ආත්ම පෝෂණ ආකල්පයෙහි දෝෂය නිසා ඇතිවූවක් බව වටහාගත යුතුය. ආත්ම පෝෂණ ආකල්පය සම්බන්ධ ප්‍රමාණවත් අවබෝධයක් ඇතිකර ගැනීම ඉවසීම ගොඩනගා ගැනීමෙහි ලා ප්‍රයෝජනවත් වේ. "ගින්න දැවෙන සුළුය" යන්න ස්වභාවික දෙයකි. එහි කිසිදු අමුත්තක් නොමැත. එමෙන්ම, යම් පුද්ගලයෙකු ඔබ කෙරෙහි විවේචනාත්මක වන්නේ නම්, හා ඔබට එම විවේචනය ඔබ දෙපළගේම ආත්ම පෝෂණ ආකල්පය හේතුවෙන් ඇති වූවක් බව වටහාගත හැකිනම් - මෙයද ස්වභාවික දෙයකි.

අනෙක් පුද්ගලයා වරද සහගත බව හෝ මුළුමනින්ම දෝෂ සහගත බවක් සනාථ කිරීමේ අවශ්‍යතාවයක් තවදුරටත් නොවපත්නා බැවින් එවන් වැටහීමක් තුළින් කෝපයක් හෝ අවසිහියක් ඇති නොකෙරෙනු ඇත. මහායාන සූත්‍ර මල්දම නමැති කෘතියෙහි ප්‍රකාශ කෙරෙන පරිදි "ආත්ම පෝෂණය තුළ තමාද, අනෙකාද, සදාචාරයද විනාශ කෙරේ". ආත්ම පෝෂණාභිලාශයෙන් අප විසින් සිදුකරන කවර කාර්යයක් මගින් වුව වඩා පහත්, අපාය තලයන් කරා අප යොමු කරවනු ලබයි. ආත්ම පෝෂණය තුළින් බොහෝ අප්‍රසන්නතාවයන් ඉස්මතු වන අතරම, එමගින් අප කිසිදු නිදහසක් රහිත පහත් තලයන්හි උත්පත්ති කරා යොමු කරවන්නේය යන හේතුව මතම බුදුවරුන් හා බෝධිසත්ත්වයන් විසින් ආත්ම පෝෂණය පිළිකුල් කරනු ලබයි.

ආත්ම පෝෂණය මගින් අපගේ පෙර උත්සාහයන් සියල්ල අපතේ යවමින් ප්‍රගතිය වළක්වනු ලබයි. එය ජීවිතයේ සාරය අප කෙරෙන් උදුරා ගනු ලබන විසක් සේ හඳුනාගත යුත්තකි. නිරතුරු මෙම ආත්ම පෝෂණ ආකල්පය විනාශ කිරීම සඳහා යත්න දැරිය යුතුය. අප විසින් යෙදෙන පිළිවෙත කවරක් වුව එය ආත්ම පෝෂණාකල්පය මුලිනුපුටා දමනු පිණිසම සිදුකළ යුතුය. එක් කඩම්පා ගේෂේවරයෙකු විසින් ප්‍රකාශ කරන පරිදි ඔහු කියවන කවර පාඨයක් තුළ වුවද ප්‍රකාශ කෙරෙන සියලු අයහපත් ගුණ ඔහුගේ ගුණ වශයෙන්ද සියලු යහගුණ අන්‍යයන්ගේ ගුණ වශයෙන්ද සලකා ඔහු ආත්ම පෝෂණ සංකල්පයට එරෙහිව සටන් කරයි. බෝධිචිත්තය හා කරුණාව ඇති විටදී, ආත්ම පෝෂණයට ප්‍රතිවිරුද්ධ තත්ත්වය වඩාත් ප්‍රබලව වැඩෙන අතර, කරුණාව මගින් අප තුළම පැතුම් ඉටු කරවන හෙවත් සිතූ පැතූ සම්පත් ලබාදෙන වෘක්ෂයක් රෝපණය කරවනු ලබයි. කරුණා ගුණය අභ්‍යාස කරන්නේ නම්, කරුණාවේ ධනාත්මක ඵලයන් මගින් ඉමක් නොපෙනෙන කාලාන්තරයක් පුරා අප විසින් රැස්ගරගත් ආත්ම පෝෂණයේ සෘණාත්මක ඵලයන් අතික්‍රමණය කරනු ඇත.

ගේෂේ පෝටුවා විසින් ප්‍රකාශ කරන ලද පරිදි "පෙන්පෝහි යම් ප්‍රදේශයක ගේෂේ ඛම්ලුංපාට වඩා සතුටින් සිටින්නෙකු නොවූ අතර, තවත් තැනෙක එම කරුණම ගේෂේ චැංගාවා සම්බන්ධයෙන්ද සත්‍ය විය. මෙය මෙසේ වූයේ ඔවුන් විසින් ආත්ම පෝෂණය මුළිනුපුටා දමා තිබූ බැවිනි". ගේෂේ චැංගාවා කෙතරම් දුගී අයෙකු වීද යත් ආහාරයක් නොගත් තරම් වූ අතර ඇඳුමක් ලෙස ඔහු සතු වූයේ අණ්ඩ දැමූ සම් අඳනයක් පමණි. එසේ වුවද, ඔහු පොහොසත් හැඟීමෙන් පිරි අයෙකු වූ අතර "දැන් මා හට මුළු විශ්වයටම අනුග්‍රහය දැක්විය හැකි"යි ප්‍රකාශ කළේය. ආත්ම පෝෂණ ආකල්පය ඇති කෙරෙනුයේ සැබෑ ලෙස ස්ථාපිත පැවැත්මක් පිළිබඳ අදහසක් ග්‍රහණය කරගැනීම තුළින් වන අතර එය බෝධිචිත්තය ගොඩනගා ගැනීමට එරෙහිව ක්‍රියාත්මක විශාලතම බාධකය වේ.  එක් කෘතියක මෙසේද ප්‍රකාශ වී තිබේ: "චින්තා මාණික්‍යය නම් සියලු ප්‍රාණීන් කෙරෙහි කරුණා සිත් පැතිරවීමයි. මෙකරුණ පිළිබඳ අවබෝධයක් නොමැති වීම හේතුවෙන් අපි මංමුළාව වාසය කරමු. ආත්ම පෝෂණ හා ආත්ම ග්‍රහණ දෘෂ්ටීනට එදිරි වනු වෙනුවට අපි අපගේ සතුරන් ලෙස සිතා වෙනත් ප්‍රාණීන් කෙරෙහි එදිරිවාදී ආකල්ප පවත්වා ගනිමින් අපගේ සැබෑම සතුරන් මිතුරන් සේ සලකා ග්‍රහණය කරගන්නෙමු". තවත් කෘතියක ප්‍රකාශ කෙරෙන පරිදි, "ප්‍රබලතම ප්‍රේතයා සහ යක්ෂයා සොයාගත හැක්කේ පිටත නොව, ආත්ම පෝෂණ ස්වරූපයෙන් සිරුර නමැති සොල්මන් ගුහාව තුළය".

බෝධිචිත්තය මගින් අපට අපගේ ආත්ම පෝෂණ ආකල්පය විනාශ කර දැමිය හැක. විවේචනයට හා චෝදනාවනට එරෙහිව ආරක්ෂක හා සටන්කාමී ස්වභාවයක් අප තුළට ආරෝපණය කරවමින් සදාචාර විරෝධී ආකල්ප අප තුළට පොම්ප කරවමින් නපුරු ආත්මයන්ගෙන් ඇති කෙරෙන නපුරෙහි ප්‍රතිලාභීන් බවට අප පත් කරවනු ලබන්නේ අපගේ ආත්ම පෝෂණය විසිනි. අපගේ ආශාවන් තෘප්ත කිරීමේ අදහසින් අපි ආත්ම පෝෂණ ආකල්පයෙන් කටයුතු කරන අතර ආත්ම තෘප්තිය අපගේ ප්‍රධාන සැලකිල්ල හා ප්‍රක්ෂේපණය බවට පත් කරවන්නෙමු.

අපට ඇතැම් විට අන් අය අසතුටට පත් කිරීමකින් තොරව ජීවත් විය නොහැකි නමුදු, ආත්ම පෝෂණයේදී සිදු වන්නේ අපගේ ආත්මය සතුටු කරනු වස් ප්‍රධානතම කටයුත්තක් ලෙස අනෙකා පහත් කොට සලකමින් ඔහුට රිදවීමයි. ආත්ම පෝෂණය මගින් බොහෝ උඩඟු ස්වභාවයක් හා ඊර්ෂ්‍යාවක්ද අප තුළ ඇති කරවයි. වෙනෙකෙකු හට යම් කිසි ලාභයක් ලැබුණහොත්, "මගේ සුභ පැතුම්" යන වදන් මුමුණමින්ම එය තමාට පෞද්ගලිකව නොලැබීම පිළිබඳ ඊර්ෂ්‍යා සහගත සිතකින් පසුවන්නෙමු. එ් අනුව, ආත්ම පෝෂණ ආකල්පයක් නොමැති තැනදී, ඊර්ෂ්‍යා සහගත සිතක් ඇතිකරගනු වෙනුවට, අන්‍යයන්ගේ ලාභයන්හිදී එ් පිළිබඳ සතුටට පත් වීමේ ධනාත්මක විභවය රැස්කරගනු ඇත. ජීවිතයේ අසමගියට හේතුව ආත්ම පෝෂණයයි. ඔබ තුළ ප්‍රබල ආත්ම පෝෂණ ආකල්පයක් පවත්නේ නම්, ඔබ බොහෝ සෙයින් සටන්කාමී, අන්‍යයන් හා ගැටෙන, ඉවසීම් විරහිත, සහ අන් සියල්ලන් ඔබ කෝපයට පත් කරවමින් නිරතුරු ආරක්ෂක පාදයෙන් සිටීමට සලස්වන්නන්ය යන හැඟීමක් ඇති කරවනු ඇත. එවන් ආරක්ෂක ආකල්පයන් හේතුකොට, ස්වාමි-භාර්යා, මව්-පිය, දෙමව්පිය-දූදරු අසමගීන් ඇති කරවනු ලබයි. 

තවත් කඩම් ගේෂේවරයෙකු වයස අවුරුදු හතලිහ වනතුරු සොරෙකු විය. වගා කිරීම සඳහා අක්කර ගණනින් ඉඩම් ඔහු සතු වුවද ඔහු දාමරිකයෙකු බවට පත්විය. දිවා කාලයේදී මහ මග ගමන් කරන්නන් සතුදේ පැහැරගත් ඔහු රාත්‍රියෙහිදී නිවෙස් බිඳින්නට විය. එක් දිනෙක ඔහු සිය චරිත ස්වභාවය වෙනස් කොට, ආධ්‍යාත්මික මඟට පිවිස, සිය ආත්ම පෝෂණ ආකල්පය විනාශ කොට දැමීය. ඉන්පසු ඔහු පැවසූ දෙය වූයේ "පෙරදී මා හට ආහාර සොයාගත නොහැකි වූ නමුත් දැන් ලද ආහාර මුව තුළට දමා ගැනීමට ඉඩ හසරක් නොලැබෙන තරම් පූජාවන් මා වෙත ලැබේ" යන්නයි.

මේ සියල්ල බෝධිචිත්තය ගොඩනගා ගැනීමේදී සැලකිල්ලට ගැනීමට තරම් වැදගත් වන කරුණු වේ. මහාමේරු පර්වතය තරම් විශාල ආත්ම පෝෂණ ආකල්පයක් සහිතව ගුහාවක සිරවී සිටීමෙන් ප්‍රයෝජනයක් නොමැත. එනමුත්, ඔබට ඔබගේ ආත්ම පෝෂණ ආකල්පය හීනකර ගැනීමට හැක්කේ නම්, හුදෙකලා දිවිය ඉතා ප්‍රයෝජනවත් විය හැක.

Top