දස පාප ක්‍රියාවන්ගෙන් වැළකීම

11:13
අප සියල්ලන් හට අපගේ යහපත වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය වන අතර අප අතරින් බොහෝ දෙනෙක් වඩා ශක්ති සම්පන්න, තෘප්තිමත් සබඳතාවයන් අන් අය සමගින් ගොඩනගා ගැනීමට අපේක්ෂා කරති. මෙය ආකස්මිකව පහළ වන්නක් නොවේ; එ් සඳහා ආචාර ධර්ම අවශ්‍යය. ඉන් අදහස් කෙරෙනුයේ හානිකර චර්යාවන්ගෙන් වැළකී එ් වෙනුවට ධනාත්මක හා ප්‍රයෝජනවත් අයුරින් කටයුතු කිරීමයි. සිතේ සාමය හා ස්වයං පාලනය අහිමි කරගැනීමට මඟ පාදන්නාවූ කෝපය හා ලෝභය වැනි පාපකාරී භාවයන්ගේ බලපෑමට යටත්වූ කල පාප ක්‍රියාවන්හි නිරත වන්නෙමු. හැඟිම්වල බලපෑමට යටත්ව සෘණාත්මක හෙවත් පාපකාරී පුරුදු අනුව කටයුතු කරන්නෙමු. එහිදී හුදෙක් අන්‍යයන් රිදවීම පමණක් නොව අවසන අපවම රිදවා ගැනීමක් ද සිදුවේ: අපගේම චර්යාව හේතුවෙන් අපි දිගු කාලීනව දුකට පත් වන්නෙමු. අනෙක් අතින්, ස්වයං පාලනයක් ඇතිකර ගනිමින් ආදරය හා කරුණාව සහිතව කටයුතු කරන්නේ නම්, අපි අනෙකාට මෙන්ම අපටමද විශ්වසනීය මිතුරන් බවට පත්වනු ඇති අතර, ස්වභාවිකවම වඩාත් සතුටුදායක ජීවිත ගත කරනු ඇත.

විනාශකාරී චර්යාවන් පිළිබඳ අර්ථ නිරූපණය

පිළිගත හැක්කේ කවරක්ද, නොහැක්කේ කවරක්ද යන්න පිළිබඳ විවිධ වූ අදහස් මත පදනම්ව සෑම ආචාර ධර්ම පද්ධතියක් තුළම එයටම ආවේණික විනාශකාරී චර්යා වර්ග පවතී. ආගමික සිවිල් සංස්ථාවන් දේව අධිකාරියක්, රාජ්‍ය නායකයෙක් හෝ යම් ව්‍යවස්ථාදායකයක් විසින් පනවනු ලබන නීති මත පදනම්වේ. අකීකරු වන විටදී අප වැරදිකරුවන් වන අතර දණ්ඩනයට ලක්විය යුතුවේ; කීකරු වන විට, ස්වර්ගය තුළදී හෝ මෙම ජීවිතය තුළදීම ලැබෙන ආරක්ෂිත හා වඩාත් සාමකාමී සමාජයක ආකාරයෙන් යහපත් ප්‍රතිඵල ලැබේ. මානුෂවාදී සංස්ථාවන් විසින් අන්‍යයන් වෙත හානි නොකරීම කෙරෙහි අවධානය යොමු කරන නමුත් මෙයද ගැටළුකාරීය: සැබෑ ලෙසම අනෙකාට හානිකර හෝ උපකාරී වන්නේ කවරක්දැයි අපට නිරතුරු විනිශ්චය කළ හැක්කේද? නිදසුනක් ලෙස, යමෙකු වෙත බැණ අඬ ගැසුවහොත් ඔවුන්ගේ සිත් රිදීමක් හෝ එමගින් යම් අනතුරක් වළක්වාගැනීමට ඔවුන් හට යම් උපකාරයක් ලැබෙනු ඇත.

දීර්ඝ කාලීනව අපටම හානිකර වන්නාවූ ආකාරයන්ගෙන් කටයුතු කිරීම විශේෂ කොටගෙන, බෞද්ධ ආචාර ධර්ම තුළ ස්වයං විනාශකාරී චර්යාවන්ගෙන් වැළකීම අවධාරණය කරයි. මාර්ගයේ අපගේ වාහනය පසුකර යන්නට උත්සාහ කරන රියැදුරු වෙත වියරුවෙන් බැණ අඬගසන්නට වුවහොත්, එම ක්‍රියාව විසින් අපට මොහොතකට සුවදායී හැඟීමක් දැනිය හැකි නමුදු, එමගින් චිත්ත සාමය බැහැර කොට සිත වියවුලට පත් කරන අතර අපගේ ශක්තීන් කළඹවාලනු ලබයි. බැණ අඬගැසීම පුරුද්දක් බවට පත් කරගත් විටදී,  සිත් වියවුල් කරගැනීමකින් තොරව කිසිදු අපහසුතාවයක් දරා ගැනීමට නොහැකි වනු ඇත; මෙමගින් අප අන්‍යයන් සමග පවත්නා සබඳතාවයනට හානි සිදුවනු පමණක් නොව, අපගේම සෞඛ්‍යයටද හානි පැමිණේ.

අනෙක් අතින් අවංකවම ආදරය, කරුණාව හා අවබෝධයද සහිතව සෙසු අය පිළිබඳ දක්වන සැලකිල්ල හේතුවෙන් අපගේ චර්යාව හැඩ ගැස්වෙන විටදී, බැණ අඬ ගැසීමේ සිතක් ස්වංක්‍රීයවම පහල වුවද, එසේ කිරීමෙන් ස්වභාවිකවම අප වළක්වනු ලබයි. එම රියැදුරාට විනීත ලෙස අපගේ රථය පසුකර යාමට ඉඩ හරින්නෙමු. ප්‍රතිඵලය වනුයේ එම රියැදුරු සතුටුවන අතරම අපටද ඉන් යහපත් ඵලයක් ලැබීමයි: මූලිකව සතුටු චිත්ත ස්වභාවයක්ද සහිතව නිවුණු හා සාමකාමී අය ලෙස සිටිමු. මෙහිදී බැණ අඬගැසීම සඳහා එන ආවේගය බලහත්කාරීව යටපත් කොටගෙන ඉච්ඡා භංගත්වයට පත්වීමක් අදහස් නොවේ. එ් වෙනුවට, මාර්ගයේ ගමන් ගන්නා සියලු දෙනා හට හැකි විගස සිය ගමනාන්තයට යාමට එකසේම අවශ්‍ය වන බැවින් රිය ධාවනය ධාවන තරගයක් බවට පත්කර ගැනීමට උත්සාහ කිරීමේ නිරර්ථකභාවය හා නිශ්ඵලභාවය වටහා ගන්නෙමු.

බුදු දහම තුළ විනාශකාරී චර්යාවන් යනු පාපකාරී භාවයන් හා සෘණාත්මක පුරුදුවල බලපෑමට යටත්ව නොදැනුවත්වම ක්‍රියාත්මක වීම ලෙස අර්ථ නිරූපණය කෙරේ. වඩාත් යහපත් වනුයේ කවරක්ද යන්න නොදන්නා බැවින් හෝ ඇතැම් විට දන්නා නමුදු කිසිදු ස්වයං පාලනයකින් තොර වීම හේතුවෙන් හානිකර වනුයේ කවරක්ද හා උපකාරී වනුයේ කවරක්ද යන්න නිසි පරිදි වෙන්කොට ගැනීමට අපට නොහැකි වේ. ලෝභය හා ද්වේෂය සහ මෙම ගැටළු ඇතිකරන හැඟීම්වල බලපෑමට යටත්ව ක්‍රියා කිරීමේදී, කථා කිරීමේදී හා සිතීමේදී එ්වාහි ප්‍රතිඵල පිළිබඳ පවත්නා නොදැනුවත්භාවය හෙවත් මෝහය ප්‍රධාන කෙලෙස් හෙවත් පාපකාරී භාවයන් වේ. මේ සියල්ලටම වඩා ස්වයං වටිනාකම පිළිබඳ හැඟීමක් නොමැතිවීම හේතුවෙන් අපගේ චර්යාවන් පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වන්නෙමු. ඕන දෙයක් වුණාවේ යන ආකල්පය තුළ ඇඳුම් ඇඳ සිටින ආකාරය, කොණ්ඩා මෝස්තරය, අපගේ මිතුරන් ආදී බාහිර දේවල් කිහිපයක් හැර අන් කිසිවක් හෝ වැදගත් සේ නොපෙනෙන ආකල්පයක සිටින්නෙමු. අපගේ චර්යාව හේතුකොට ඉන් අපගේ සමස්ත පරම්පරාවට, අපගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට, ජන වර්ගයට, ජාතියට, ආගමට හෝ අප අයත් වෙනයම් හෝ කණ්ඩායමකට වන අගතිය නොසලකා හරින්නෙමු. ස්වයං ආනුභාවය හා ආත්ම ගෞරවය යන ගුණාංග මෙහිදී අප සතු නොවේ.

සම්ප්‍රදායික දස පාප ක්‍රියා ලැයිස්තුව 

විනාශකාරී හෙවත් පාපකාරී වන බොහෝ කායික, වාචසික හා මානසික ක්‍රියාවන් පවතී. බුදු දහම තුළ මේවා අතරින් වඩාත් හානිකර ක්‍රියාවන් දහයක් ඉදිරිපත් කරනු ලබයි. හානිකර වනුයේ එ්වා නිරන්තරයෙන්ම පාහේ පාපකාරී භාවයන්, ලජ්ජා රහිත බව, බිය නැතිබව හා හුදෙක් සැලකිල්ලක් නොදැක්වීම යන කරුණු හේතුකොට ඉස්මතුවන බැවිනි. එ්වා ගැඹුරින්ම මුල් බැසගත් පුරුදු හේතුකොට ඉස්මතුවන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්, අපගේ නිශේධනාත්මක ප්‍රවණතාවයන් බල ගන්වනු ලබයි. දිගු කාලීනව, පාපකාරී හැසිරීම තුළ අප විසින් අප කෙරෙහිම නොකඩවා ගැටළු ඇති කරන්නාවූ දුක් සහිත ජීවිතයක් ඇති කරනු ලබයි.

හානිකර වන්නාවු ශාරීරික චර්යාවන් වර්ග තුනකි:

  1. අන්‍යයන්ගේ ජීවිත අහිමි කිරීම හෙවත් පර පණ නැසීම – මෙය තවත් පුද්ගලයෙකුගේ සිට කුඩාම ප්‍රාණියා දක්වා සතුන් නැසීමට අදාල වේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, අමිහිරි සේ දැනෙන කිසිවක් නොඉවසන්නෙමු; අකමැති කවරක් හෝ වේවා, එ් කෙරෙහි අපගේ ක්ෂණික ප්‍රතිචාරය වනුයේ පහරදී විනාශ කිරීමයි; මෙමගින් නිරතුරු ගැටුම් ඇති කෙරේ.
  2. නොදුන් දේ ගැනීම – සොරකම් කිරීම, ණයට ඉල්ලාගත් දෙයක් ආපසු නොදී සිටීම, අවසරයකින් තොරව අන්සතු දෙයක් භාවිත කිරීම ආදිය මෙයට අයත් වේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, නිරතුරු දුප්පත් හා පරාජිත හැඟීමක් ඇතිවේ; කිසිවෙකු හෝ කිසි දෙයක් අප හට ණයට ලබා නොදෙනු ඇත; අන්‍යයන් හා පවත්නා අපගේ සබඳතා මූලික වශයෙන්ම ගොඩනැගෙනුයේ ඔවුනොවුන් සූරාකෑමේ අභිලාෂයෙනි.
  3. නුසුදුසු ලිංගික චර්යාව හෙවත් කාමයෙහි වරදවා හැසිරීම – ස්ත්‍රී දූෂණය,අපචාරය හා  ව්‍යාභිචාරය ආදියයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, අපගේ ලිංගික සබඳතා බොහෝ කොටම කෙටි කාලීන එ්වා වන අතර, අප මෙන්ම අප හා නිරන්තරව එසේ සම්බන්ධ වන්නන්ද එකිනෙකා හුදෙක් භාණ්ඩ වශයෙන් පමණක් සලකති; අපගේ ආකර්ශනය මූලික වශයෙන් දූෂිත දේ කෙරෙහි වේ.

හානිකර හෙවත් පාපකාරී වාචසික චර්යා වර්ග තුනකි:

  1. බොරු කීම– අසත්‍ය දැන දැනම ප්‍රකාශ කිරීම, අන්‍යයන් නොමඟ යැවීම ආදියයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, කිසිවෙකු විසින් කිසිදින අපගේ ප්‍රකාශ විශ්වාස නොකරන අතර අපද ඔවුන් ප්‍රකාශ කරන දේ විශ්වාස නොකරමු; යථාර්ථය හා අපගේම ප්‍රබන්ධයන් අතර පවත්නා වෙනස ප්‍රකාශ කිරීමටද අපට හැකි නොවේ.
  2. කේලාම් කීම– එකිනෙකාගෙන් වෙන්කිරීමේ හෝ දැනටමත් පවත්නා සතුරුබව හෝ ගැටුම්කාරී බව තවදුරටත් වර්ධනය කිරීමේ අදහසින් අන්‍යයන් පිළිබඳ අයහපත් දේ ප්‍රකාශ කිරීමයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, අපගේ මිත්‍රත්වය කල් පවතින්නක් නොවේ. මක් නිසාද, එහිදී අපගේ මිතුරන්ද ඔවුන් නැති තැනදී ඔවුන් පිළිබඳවද අයහපත් දේ අප විසින් ප්‍රකාශ කරනු ඇති බවට සැක කරයි; සමීප මිතුරන් වේනම් ඔවුන් අහිමි වන අතර, එ් අනුව තනි වූ හා හුදෙකලා වූ හැඟීමක් ඇතිවේ.
  3. පරුෂ වචන ප්‍රකාශ කිරීම – අන්‍යයන්ගේ සිත රිදවන ආකාරයේ දේ ප්‍රකාශ කිරීමයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සෙසු අය අපට අකමැති වන අතරම මඟ හරිති; ඔවුන් අප සමග සිටින විටදී පවා සැහැල්ලුවෙන් සිටිමින් නිරතුරු අපට සෙසු අය වෙත අමනෝඥ දේ පැවසිය හැකි නොවේ; එ් අනුව අප වඩ වඩාත් හුදෙකලා හා කොන් වූ අය බවට පත්වේ.
  4. හිස් වචන හෙවත් අරුත් සුන් ප්‍රකාශ කිරීම – එනම් අර්ථ විරහිත කයිවාරු තුළින් අන්‍යයන්ගේ කාලය කා දැමීමයි; අන් අය යම් ඵලදායක කාර්යයක නිරතව සිටින විටදී අර්ථයක් නොමැති දේ පවසමින් ඔවුනට බාධා පැමිණවීමයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, කිසිවෙකු හෝ අප බරපතල සේ ගණන් නොගනී; සෑම විනාඩි කිහිපයකට වරක්ම පාහේ අපගේ අත රැඳි උපකරණය දෙස බැලීමෙන් තොරව කිසිදු කටයුත්තක අවධානය රඳවා ගැනීමට නොහැකි වේ; අපට කිසිදු අර්ථවත් දෙයක් කරවාගත නොහැක.

පාපකාරී හෙවත් හානිකර සිතිවිලි ආකාර තුනකි:

  1. මසුරු සිතිවිලි– මාත්සර්යය හේතුකොට චිත්ත පීඩා ගෙනදෙන අයුරින් අනෙකා සතු යම් දෙයක් හෝ ගුණයක් තමා වෙත ලබාගැනීමට හෝ එයටද වඩා ඔහු ඉක්මවා යාමට සිතීමයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සෙස්සන්ගේ සාර්ථකත්වය පිළිබඳ නිශේධනාත්මක සිතිවිලිවලින් නිරතුරු පෙළෙමින් සිටිනා බැවින් කිසි විටෙක හෝ අපට චිත්ත සාමය හෝ සතුටක් ඇති නොවේ.
  2. ද්වේෂ සිතිවිලි– අනෙකාට රිදවන ආකාරය හෝ ඔවුන් කී හෝ කළ දෙයක් සම්බන්ධයෙන් එකටෙක කිරීම පිළිබඳ සැලසුම් හා සිතිවිලි ගොඩනැගීමයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අපට කිසි විටෙක හෝ ආරක්ෂිත බවක් නොහැඟෙන අතර සැහැල්ලුවෙන් සිටීමට නොහැකි වේ; අනෙකාද අපට එරෙහිව කුමන්ත්‍රණය කරනු ඇතැයි නිරතුරු පීඩනෝන්මාදයෙන් හා බියෙන් පසුවන්නෙමු.
  3. ප්‍රතිවිරෝධාකල්ප සහිතව විකෘති සිතිවිලි ඇතිකර ගැනීම – මින් අදහස් කෙරෙනුයේ සත්‍ය හා නිවැරදි දෙයකට ප්‍රතිවිරුද්ධ දෙයක් සිතීම පමණක් නොව අප සමග එකඟ නොවන්නන් සමගින් සිතින් වාද කරමින්, ආරවුල් කරමින් ඔවුන් කලහකාරී ලෙස පහතට හෙළීමයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, කවරාකාර හෝ ප්‍රයෝජනවත් යෝජනාවක් හෝ උපදේශයක් ලැබුණද එය නොපිළිගනිමින් වඩ වඩාත් වැසුණු සිත් ඇත්තන් වන්නෙමු; අපගේ හදවත්ද එ් අනුව අන්‍යයන් කෙරෙහි වැසුණු එ්වා වන අතර, නිරතුරු අප පිළිබඳ සිතිවිල්ලෙන් අප සෑම විටම නිවැරදි බව සිතන්නෙමු; එ් අනුව නොකඩවා අඥාන හා අමන තත්ත්වයක පසු වන්නෙමු.

අපගේ ආගමික පසුබිම හෝ ඇදහිල්ල කවරක් වුවද, වඩාත් සතුටුදායක දිවියක් ගත කිරීමට අපේක්ෂා කරන්නාවූ කවරෙකු හෝ වේනම් මෙම අංග 10න් වැළකී සිටීම ඔහු කෙරෙහි අදාල වේ.

පුළුල් හානිකර චර්යා කාණ්ඩ දහයක්

දස පාප ක්‍රියාවන් තුළින් අප විසින් වැළකී සිටිය යුතුවන පුළුල් හානිකර චර්යා කාණ්ඩ දහයක් පිළිබඳ අඟවනු ලබයි. අපගේ චර්යාව හා එහි ඵල විපාකයන් පිළිබඳව හැකි තරම් පුළුල්ව සිතා බැලිය යුතුය. සිතා බැලීම සඳහා වූ නිදසුන් කිහිපයක් මෙහි දක්වන නමුදු, නොඅනුමානවම අප එකිනෙකා හට මෙම ලැයිස්තුව තවදුරටත් ව්‍යාප්ත කළ හැකිවනු ඇත.

  1. පර පණ නැසීම – රළු ලෙස පුද්ගලයන්ට පහර දීම හෝ සැලකීම, යම් පුද්ගලයෙකු හට සිය කාර්යය සඳහා උපකාර අවශ්‍යව සිටින විටදී එසේ උපකාර කිරීම නොසලකා හැරීම, පරිසරය දූෂණය කිරීම සහ දරුවන් විශේෂ කොටගෙන දුම් නොබොන්නන් ආසන්නයේ සිට දුම් පානය මේ අතර වේ.
  2. නොදුන් දේ ගැනීම – අන්තර්ජාලයෙන් මෘදුකාංග හා කරුණු නීති විරෝධීව බාගත කරගැනීම, අන්‍යයන්ගේ ලේඛන සොරකම් කිරීම, රැවටීම, බදු ගෙවීම පැහැර හැරීම, අන්‍යයන්ගේ පුද්ගලිකත්ව සීමා ආක්‍රමණය සහ අවසරයකින් තොරව සැමියාගේ හෝ බිරිඳගේ හෝ මිතුරාගේ ආහාර පිඟානෙන් පවා ආහාර ලබාගැනීම ආදියයි.
  3. නුසුදුසු ලිංගික චර්යාවන්හි නිරත වීම – යමෙකුට ලිංගිකව හිරිහැර කිරීම, ආදරය කිරීමේදී සහකරුගේ හෝ සහකාරියගේ අවශ්‍යතා නොසලකා හැරීම සහ පමණට අඩු හෝ වැඩි ආදරයක් පෙන්වීම.
  4. බොරු කීම– සෙස්සන් සමග පවත්වාගෙන යනු ලබන සබඳතාවයන් විෂයයෙහි අපගේ සැබෑ හැඟීම් හෝ අපේක්ෂාවන් පිළිබඳව යමෙකු රැවටීම.
  5. කේලාම් කීම– යමෙකු විසින් නිරතව සිටින හෝ සිදු කිරීමට සැලසුම් කරමින් පවත්නා ධනාත්මක හෝ ආචාර ධාර්මිකව උදාසීන වූ දෙයක් විවේචනය කිරීම හා ඔවුන් එහි නිරත වීම කෙරෙහි අධෛර්යයට පත් කිරීම.
  6. පරුෂ වචන කීම– පුද්ගලයනට බැණ අඬ ගැසීම, කලහකාරී හඬකින් කථා කිරීම, භාවමය වශයෙන් දුර්වල කල්හි යමෙකු හට අනුකම්පා විරහිතව හා විවේචනාත්මකව කථා කිරීම හා නුසුදුසු පිරිස් අතර හෝ වැරදි අවස්ථාවන්හි අයහපත් හෝ සෝපාහාසමය වදන් බිණීම.
  7. හිස් වචන කථා කිරීම – අන්‍යයන්ගේ විශ්වාසය කඩ කිරීම හා ඔවුන්ගේ අභ්‍යන්තර රහස් අන් අය වෙත හෙළි කිරීම, විශේෂයෙන් රාත්‍රී මැදියම වැදගැම්මකට නැති දේ සම්බන්ධයෙන් සෙසු අය වෙත පණිවිඩ යැවීම, අපගේ එදිනෙදා ජීවිතයේ සුළු හා වැදගැම්මකට නැති පැතිකඩයන් පිළිබඳ ඡායාරූප හා අදහස් සමාජ මාධ්‍යයන්හි පළ කිරීම, අනෙකෙකු ප්‍රකාශ කිරීමට යන දෙය අවසන් කිරීමට අවකාශ නොදෙමින් ඔහුට බාධා කිරීම සහ බරපතල සාකච්ඡා අතරතුර අර්ථ විරහිත ප්‍රකාශ සිදු කිරීම හෝ අඥාන දේ පැවසීම.
  8. මසුරු සිතිවිලි පවත්වාගෙන යාම– අප සමග අවන්හලෙහි ආහාර ගන්නා අනෙකා විසින් ඔහු ඇණවුම් කළ ආහාරයෙන් කොටසක් අපට දෙනු ඇතැයි අපේක්ෂා කිරීම හා සෙසු පුද්ගලයන් ගතකළ විනෝදජනක හා සුන්දර අවස්ථාවන් පිළිබඳ සමාජ මාධ්‍යන්හි පළවන ඡායාරූප හෝ තොරතුරු දැකීමෙන් අප පිළිබඳවම කණගාටුවට පත් වෙමින් අපද එසේ ජනප්‍රිය හා සතුටුදායක ජීවිත ගත කරන්නේ නම් කොපමණ යහපත්දැයි මාත්සර්ය සහගත සිතින් සිතීම. 
  9. ද්වේෂ සිතිවිලි පවත්වාගෙන යාම– යමෙකු විසින් අප වෙත යම් අයහපත් හෝ රළු දෙයක් පවසන අතර අපට එයට පිළිතුරු ලබාදිය නොහැකි අවස්ථාවන්හිදී, එම පුද්ගලයාට දැනෙන හා රිද්දවන සුළු යමක් කීවේනම් යහපත් යැයි යන සිතිවිල්ලක් පසුව පවත්වාගෙන යාම.
  10. ප්‍රතිවිරෝධාකල්ප සහිතව විකෘති සිතිවිලි ඇතිකර ගැනීම  – අපට තනිවම කරගත හැකි බවට සිතෙන්නාවූ කාර්යයක් සිදු කිරීම සඳහා උපකාර කරන හෝ කිරීමට උත්සාහ කරන අයෙකු පිළිබඳ සෘණාත්මක, එදිරිවාදී සිතිවිලි සිතීම හා හානිකර නොවන නමුත් අපගේ ඇල්මක් නොමැති හෝ අප විසින් නොවැදගත් යැයි හඟින්නාවූ යම් පැතිවලින් දියුණු වීමට උත්සාහ කරන අයෙකු පිළිබඳ අමනෝඥ අයෙකු සේ සිතීම.

අප කෙරෙහිම හානිකර ලෙස කටයුතු කිරීම

අන්‍යයන් කෙරෙහි හානිකර චර්යාවන්හි නිරත වන විටදී අප අප කෙරෙහිම කටයුතු කරන ආකාරයද එසේම හානිකර විය හැක. වඩාත් ප්‍රීතිමත් ජීවිත ගතකරනු පිණිස, අප විසින් මෙම සෘණාත්මක රටාවන් හඳුනාගෙන එ්වා නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය. නැවතද පැවසිය යුත්තක් නම්, මෙම දස පාප ක්‍රියාවන් තුළින් දැක්වෙනුයේ අප විසින් නතර කරලිය යුතුවන චර්යා රටාවන් වන බවයි.

  1. අනුන්ගේ ජීවිත පැහැර ගැනීම හෙවත් පර පණ නැසීම – අධික ලෙස මහන්සි වීමෙන් ශාරීරිකව අපවම නොසලකා හැරීම, අභ්‍යාස නොකිරීම හෝ ප්‍රමාණවත් නින්දක් නොගැනීම.
  2. නොදුන් දේ ගැනීම– අනවශ්‍ය දේ සඳහා මුදල් අපතේ යැවීම හෝ වියදම් කළ හැකිව පැවතියදී පවා අප වෙනුවෙන් මුදල් වැය නොකිරීම හෝ මසුරු වීම.
  3. අනිසි ලිංගික චර්යාවන්හි නිරත වීම – සෞඛ්‍යයට හානිකර ලිංගික ක්‍රියාකාරකම්හි නිරත වීම හෝ අසභ්‍ය වීඩියෝ පට හෝ ඡායාරූප මගින් සිත් දූෂ්‍ය කරගැනීම.
  4. මුසා බස් පැවසීම හෙවත් බොරු කීම – අපගේ හැඟීම් හෝ පෙළැඹීම් පිළිබඳ අපවම රවටා ගැනීම
  5. කේලාම් කීම– අන්‍යයන් හට අප සමග විසීම අප්‍රිය වන අතර එ් අනුව ඔවුන් අප මඟහැර යන තත්ත්වයකට සැම විටම මැසිවිලි නැඟීම වැනි අමනෝඥ කථාවන්හි නිරත වීම.
  6. පරුෂ වචන කීම– අපවම වාචිකව අපයෝජනයට ලක් කිරීම
  7. හිස් වචන කථා කිරීම  – අපගේ පුද්ගලික කරුණු, සැක සාංකාවන් පිළිබඳ තැන නොතැන නොබලා කථා කිරීම හෝ සමාජ මාධ්‍ය නරඹමින් පැය ගණනින් කාලය නාස්ති කිරීම, එ්කාකාරී වීඩියෝ සෙල්ලම් කිරීම හෝ අන්තර්ජාලයේ සැරිසැරීම.
  8. මසුරු සිතිවිලි පවත්වාගෙන යාම – පරිපූර්ණතාවාදියෙකු ලෙස අපවම පරදවාලන ආකාරය පිළිබඳ සිතීම.
  9. ද්වේෂ සිතිවිලි පවත්වාගෙන යාම – අප කොතරම් ගොරතර අයවළුන් වන්නේද යනුවෙන් හා අපට සතුටක් ලැබීමේ හිමිකමක් නොමැති බවට වරදකාරී හැඟීම් සහිත සිතිවිලි ඇතිකර ගැනීම.
  10. ප්‍රතිවිරෝධාකල්ප සහිතව විකෘති සිතිවිලි ඇතිකර ගැනීම  – ස්වයං ප්‍රවර්ධනය හෝ අන්‍යයන් වෙත උපකාර කිරීමට උත්සාහ කිරීම අපගේ අඥාන පිළිවෙතක් ලෙස සිතීම

අපගේ හානිකර හෙවත් පාපකාරී චර්යා රටාවන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය

අතීතයේදී ගත කරන ලද සියලු පාපකාරී විලාසයන් සම්බන්ධයෙන් විමසා බැලීමේදී, අප පිළිබඳවම නිශේධනාත්මක ආකල්ප ඇතිකර නොගැනීම වැදගත්ය. වැරදිකාරී හැඟීමෙන් අප්‍රාණික වනු වෙනුවට, අප එසේ කටයුතු කරන ලද්දේ එම චර්යාවෙහි ප්‍රතිඵල පිළිබඳ නෙැදැනුවත්කම හෙවත් මෝහය පෙරදැරිවය යන කරුණ පිළිගත යුතුය: එසේ කටයුතු කරන ලද්දේ අප තුළ සහජ අයහපත් බවක් පැවති බැවින් නොව පාපකාරී භාවයන්ගේ බලපෑමෙන් අප එදෙසට තල්ලුකොට හරින ලද බැවිනි. අප සිදුකළ දේ නොසිදු වූයේ නම් කෙතරම් යහපත්දැයි සිතමින් කළ ක්‍රියාව සම්බන්ධව පසුතැවෙන නමුදු, එ් අතරම අතීතය හෙවත් කළ දේ වෙනස් කළ නොහැකි බවද වැටහේ. සිදුවූ දේ අතීතයට එක් කරන්න -  එසේ නමුදු, මෙතැන් සිට එවන් චර්යාවන් නැවත සිදු නොවීමට වග බලා ගැනීමේ අදිටනක් ඇතිකරගත හැක. එවිට අපගේ ජීවිත තුළට ඇතුළත් කරගැනීමට අදහස් කරන්නාවූ ධනාත්මක දිශානතිය නැවත තහවුරු කරමින් ආදරය හා කරුණාව මත පදනම් වූ ධනාත්මක ක්‍රියාවන්හි හැකි තරම් නියැලීමට උත්සාහ කරන්නෙමු. මෙමගින් සෘණාත්මක පුරුදුවල බලහත්කාරී බලපෑම සමබර කරමින් අවසන එ්වා මැඩ පවත්වන තරම් වූ වඩ වඩාත් ධනාත්මක පුරුදු ගොඩ නංවනු ලබයි.

ඉන්පසු පුරුද්දෙන් පාපකාරී ලෙස ක්‍රියා කිරීමේ හැඟීමක් ඇතිවන අවස්ථාව හා සැබෑ ලෙසම ක්‍රියාව සිදුකරන අවස්ථාව අතර ඇති නිදහස් අවකාශය හසුකර ගත හැකිවන අයුරු අපට හමුවන පුද්ගලයන්ට හා සිද්ධීනට දක්වන ප්‍රතිචාරය මන්දගාමී කිරීම ආරම්භ කරන්නෙමු. පාපකාරී දෙයක් සිදු කිරීමෙන්, ප්‍රකාශ කිරීමෙන් හෝ සිතීමෙන් වැළකී සිටීමට උපකාරී වන අයුරු අපට සහායකව පවත්නා දෙය හා හානිකරව පවත්නා දෙය පිළිබඳ තීරණය කිරීමට එම මොහොත උපයෝගී කරගන්නෙමු. මහා භාරතීය බෞද්ධ ගුරු ශාන්තිදේවයන් විසින් නිර්දේශ කළ පරිදි අපි "දර කොටයක් මෙන් පැවතිය යුතු" වන්නෙමු. අපට එය කළ හැකි නමුදු, එය අප වෙතම හා සෙස්සන් වෙතද වූ අවබෝධය, ආදරය, කරුණාව හා ගෞරවය සහිතව සිදුකළ යුතුය. ඉන් අදහස් කෙරෙනුයේ අප හුදෙක් තැවුලට හා ආතතියට පමණක්ම පත් කරන පරිදි කිසිවක් හෝ යටපත් කොටගෙන තබාගන්නා බව නොවේ. ප්‍රඥාවන්ත හා කාරුණික සිතකින් පසුව පසුතැවීමට සිදුවන යම් කිසිවක් සිදු කිරීම හෝ ප්‍රකාශ කිරීම පිණිස අප පොළඹවාලිය හැකිව තිබූ සෘණාත්මක ශක්තිය පලවා හරින්නෙමු. ධනාත්මක භාවයන් හා අවබෝධයක්ද මත පදනම්ව නිර්මාණාත්මක අයුරින් කටයුතු කිරීමේ නිදහසක් ඉන්පසු අපට හිමිවේ.

සාරාංශය

හානිකර චර්යාවන්ගෙන් වැළකී සිටින විටදී, එමගින් ඵල ප්‍රයෝජන සැලසෙනුයේ හුදෙක් අන්‍යයන් වෙත පමණක් නොව අවසන අපගේම යහපතද එමගින් සැලසේ. අපගේ දුකට හේතුව අපගේම චර්යාව බව වටහා ගන්නා විටදී, ස්වභාවිකවම හා සතුටින් පාපකාරී හෙවත් විනාශකාරී පුරුදු හා කටයුතුවලින් වළකින්නෙමු. මෙම පුරුදු බල ගැන්වීමෙන් වළකින විටදී, අප අප සමගම වඩ වඩාත් සාමයෙන් කල් ගෙවන බව දැනෙන අතර සෙස්සන් සමගින් පවත්නා සබඳතා වඩාත් නිර්ව්‍යාජ එ්වා බවට පත්වේ. සැබෑ චිත්ත සාමයක් අපේක්ෂා කරන්නේ නම්, පාපකාරී ක්‍රියා, කථා හා සිතිවිලිවලින් වැළකිය යුතු වේ. එසේ සිදු කිරීම තුළ අපගේ ජීවන ගුණයන්හි සුවිශාල වර්ධනයක් අත්වනු ඇත.

Top