ඕනෑම ක්‍රියාවක ප්‍රතිඵලය අභිප්‍රාය මත රඳා පවතී. ක්‍රියාව පසුපස කැළඹිලිකාරී භාවයක් පවත්නේද, නැතහොත් ධනාත්මක භාවයක් පවත්නේද යන කාරණය මත පදනම්ව එකම ක්‍රියාව මගින් විවිධ ප්‍රතිඵල ඇති කරයි. කරුණාව වැනි එකම සාමාන්‍ය භාවය මගින් යම් ක්‍රියාවකට පෙළඹීම් ඇතිකරන විටදී පවා, එම භාවයේ මානසික හා භාවමය ආධාරකයන්ද එහි ප්‍රතිඵලයට බලපායි.
කරුණාවේ වර්ග තුන
නිදසුනක් ලෙස කරුණාව විමසා බලමු. එහි වර්ග තුනකි:
- පළමුවැන්න ඥාතීන් හා ආදරණීයයන් කෙරෙහි යොමුවී ඇත. එනමුදු, ඇල්ම මත පදනම්ව, එය විෂය පථයෙන් සීමාවේ. ඉතාමත් සුළු හේතු සාධකයක් මත පවා එය විගස තරහව හෝ වෛරය දක්වා පවා වෙනස්විය හැක.
- දෙවන වර්ගයේ කරුණාව දුක් විඳින සත්ත්වයන් කෙරෙහි වු අනුකම්පාව මත පදනම්ව එම සත්ත්වයන් වෙත යොමු වේ. මෙයාකාරයේ කරුණාවකදී අපි ඔවුන් දෙස නෙතු යොමමින් ඔවුනට වඩා අප යහපත් තත්ත්වයක සිටින බව හඟින්නෙමු. මෙම දෙවර්ගයේ කරුණාව කැළඹිලිකාරී භාවයන් හේතුකොට ඉස්මතුවන අතර එමගින් කරදර ඇති කරයි.
- තෙවන වර්ගයේ කරුණාව අපක්ෂපාතී වේ. එය වැටහීම හා ගෞරවය මත පදනම් වන්නකි. එය ඇති කල්හි අන්‍යයන්ද අප මෙන්ම අය බව අවබෝධ කරගන්නෙමු:ඔවුනටද අපට මෙන්ම සතුටු වීමේ හා දුක් නොවිඳීමේ හිමිකමක් ඇත. එම අවබෝධය හේතුවෙන් අපට ඔවුන් කෙරෙහි ආදරයක්, කරුණාවක් හා සෙනෙහසක් දැනේ. මෙම තෙවන වර්ගයේ කරුණාව වඩා ස්ථාවර වර්ගයයි. එය පුහුණුව, අධ්‍යාපනය හා විචාරය මගින් ගොඩනැගේ. කරුණාව ස්ථාවර වන්නට වන්නට එහි ප්‍රයෝජනයද වර්ධනය වේ.
මෙම තුන් වර්ගයේ කරුණාව පොදු කාණ්ඩ දෙකකට වැටේ. පළමු වර්ග දෙක වනුයේ යම් නියුරෝසික තත්ත්වයක් මත පදනම්ව ස්වායත්ථව ඉස්මතුවන භාවයන් වේ. තෙවැන්න විචාරය මත පදනම්ව ඉස්මතුවන භාවයක් වේ.
මවක සිය අළුත උපන් බිළිඳා කෙරෙහි දක්වන නෛසර්ගික සමීපත්වය හා සෙනෙහස
විචාරය මත පදනම්වූ හා කිසිදු පාර්ශ්වීයත්වයක් රහිත කරුණාව ස්වභාව ධර්මයෙන් ප්‍රතිබල ගැන්වේ. උපතේදී මනුෂ්‍යයෙකුට වේවා, ක්ෂීරපායී සතෙකුට හෝ පක්ෂියෙකුට වේවා, මව නොදන්නේ වුවද ඇය කෙරෙහි අපාර්ශ්වික ප්‍රේමයක් ස්වයංක්‍රීයවම දැනේ. අප සියලු දෙනා හට ඇය කෙරෙහි ස්වභාවික ආකර්ශනයක්, සමීපත්වයක් හා සෙනෙහසක් දැනේ. මවටද ස්වයංක්‍රීයවම සිය අළුත උපන් ළදරුවා කෙරෙහි ස්වභාවික සමීපත්වයක් හා සෙනෙහසක් දැනේ. එ් හේතුවෙන්, ඇය ළදරුවා රැකබලා ගනිමින් ඔහුට සත්කාර කරයි. මෙම ආදරණීය රැකබලා ගැනීම ළදරුවාගේ සෞඛ්‍ය සම්පන්න වැඩි වර්ධනයේ පදනමයි.
ජීව විද්‍යාත්මකව පදනම්ගත සමීපත්වය හා සෙනෙහස කරුණාවේ බීජයන්ය යන්න මෙමගින් අපට දැකගත හැක. එ්වා අපට ලැබෙන උසස්ම ත්‍යාගයන් වන අතර එ්වා අපගේ මව්වරුන් වෙතින් ලැබේ. මෙම බීජ විචාරය හා අධ්‍යාපනය මගින් පෝෂණය කරන විටදී, අපක්ෂපාතීව හා සියලු දෙනා කෙරෙහි සමානව යොමු වෙමින්, වැටහීම හා සියලු දෙනාගේ සමානාත්මතාවය මත පදනම්ව, එ්වා සැබෑ කරුණාව බවට වැඩී වර්ධනය වේ.
කරුණාව මත පදනම් වූ ලෞකික ආචාර ධර්ම
දරුවා සම්බන්ධයෙන් ගත්කල ඔහුගේ සෙනෙහස ආගම, නීති හෝ පොලිසිය මගින් සිදුකරන පැනවීමක් මත පදනම් නොවේ. එය හුදෙක් ස්වභාවිකවම ඉස්මතු වේ. එ් අනුව ආගම මගින් උගන්වනු ලබන කරුණාව යහපත් වුවද, කරුණාවේ සැබෑ බීජය හෙවත් පදනම ජීව විද්‍යාත්මක වේ. එයයි මා "ලෞකික ආචාර ධර්ම" ලෙස හඳුන්වන දෙයෙහි පදනම. ආගම මගින් සිදුකළ යුත්තේ හුදෙක් මෙම බීජය ප්‍රතිබල ගැන්වීම පමණි.
හොඳ හා නරක පිළිබඳ ආචාර ධර්ම ආගමික ලබ්ධිය මතම පමණක් පදනම් විය යුතු බව ඇතැම්හූ සිතති. ආචාර ධර්ම පිළිබඳ හැඟීමක් පුහුණුව මගින් ගොඩ නැගිය හැකි බව තවත් අය සිතති. "ලෞකික" යන්නෙන් ආගම ප්‍රතික්ෂේප කිරීමක් අඟවන බවක් අතැම්හූ සිතති. ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි මෙන් ආගම් නොඅදහන්නන් කෙරෙහිද ගෞරවය දැක්වීම ඇතුළත්ව, පක්ෂපාතිත්වයකින් තොරව සියලු ආගම් සඳහා ගෞරවයක් පවත්වාගෙන යාම "ලෞකික" යන්නෙන් අඟවන බව සෙසු අය සිතති. කරුණාව පදනම් කොටගත් මෙකී පසුව කී වර්ගයේ ආචාර ධර්ම නිසග දැනීම තුළ මුල් බැස ගත්තකි. මව හා අළුත උපන් ළදරුවා සම්බන්ධ තත්ත්වයේදී මෙන්, ජීවිතාරක්ෂණ අවශ්‍යතාවය හේතුකොටගෙන එ්වා ස්වයංක්‍රීයව ඉස්මතුවේ. එම ජීව විද්‍යාත්මක පදනම හේතුකොට, එ්වා වඩාත් ස්ථාවර වේ.
වඩ වඩාත් කාරුණික වන්නට වන්නට අපගේ සිත් හා හදවත් වඩ වඩාත් විවර වන අතර අපි වඩා පහසුවෙන් අපගේ සන්නිවේදනයන් සිදු කරන්නෙමු.
ළමුන් සෙල්ලම් කරන විටදී ඔවුන් ආගම, ජන වර්ගය, දේශපාලනය හෝ පවුල් පසුබිම් පිළිබඳ නොසිතති. සිය සෙල්ලම් සගයන් කවුරුන් වුවද ඔවුන්ගෙන් ලැබෙන සිනහව අගය කරමින් එයට ප්‍රතිචාරීව ඔවුනට යහපත් ලෙස සලකති. ඔවුන්ගේ සිත් හා හදවත් විවෘතය. අනෙක් අතින් වැඩිහිටියෝ සාමාන්‍යයෙන් සමාජ හා දේශපාලන වෙනස්කම් ආදී මෙම සෙසු සාධක පිළිබඳ අවධාරණය කරති. එ් හේතුවෙන්, ඔවුන්ගේ සිත් හා හදවත් වඩාත් පටු වේ.
මේ දෙක අතර වෙනස පරීක්ෂාකර බලන්න. වඩ වඩාත් කාරුණික වන විටදී අපගේ සිත් හා හදවත් වඩ වඩාත් විවෘත වන අතර අපට වඩා පහසුවෙන් සන්නිවේදනය කිරීමට හැකිවේ. ආත්මාර්ථකාමී වන විටදී, අපගේ සිත් හා හදවත් ආවරණය වී ඇති අතර අන්‍යයන් හා සන්නිවේදනය දුෂ්කර වේ. තරහව මගින් අපගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල කෙරෙන අතර කරුණාව හා කාරුණික හදවත මගින් අපගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩි වර්ධනය කරයි. තරහව හා බිය සහිත විටදී අපට නින්ද නොයන අතර නින්ද ගියද භයානක සිහින පෙනේ. සිත් සන්සුන් නම්, හොඳින් නින්ද යයි. ප්‍රශාන්තිජනක ඖෂධ අවශ්‍ය නොවන අතර අපගේ ශක්තිය සමබර වේ. ආතතිය සහිත විටදී, අපගේ ශක්තිය විසිරී යන්නට වන අතර අපි බිය ගන්නෙමු.
කරුණාව මගින් සන්සුන්, විවෘත මනසක් ඇති කරයි
පැහැදිලිව දැකගනු පිණිස හා වටහාගනු පිණිස, අපට වඩා සන්සුන් මනසක් අවශ්‍ය වේ. අප කැළඹී සිටින්නේ නම්, යථාර්ථය දැකීමට නොහැකි වේ. එබැවින්,ගෝලීය මට්ටමින් පවා ඇතිවන බොහෝ කරදර මිනිසා විසින් නිර්මිත දේ වේ. එ්වා ඉස්මතු වනුයේ අප විසින් එම තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයේ පවත්නා දුර්වලතා හෝ යථාර්ථය නොදැකීමේ හේතුවෙනි. අපගේ ක්‍රියාවන් බිය, කෝපය හා ආතතිය මත පදනම් වේ. පමණ ඉක්මවූ ආතතියකින් අපි පෙළෙන්නෙමු. අපගේ සිත් මෝහයෙන් වෙළී ඇති බැවින් අපි විෂය මූලිකව නොදකින්නෙමු. මෙම සෘණාත්මක භාවයන් මගින් පටු මානසිකත්වයක්ද, එමගින් කරදරද ඇති කරන අතර එ් හේතුවෙන් කිසිදින සතුටුදායක ප්‍රතිඵල අත් නොවේ.
අනෙක් අතින් කරුණාව මගින් විවෘත, සන්සුන් මනසක් ඇති කරනු ලබයි. එමගින් අපි යථාර්ථය දකින අතර කිසිවෙකුට හෝ අවශ්‍ය නොවන දෙය අවසන් කිරීමේ හා සියලු දෙනා හට අවශ්‍ය දේ ගෙන එ්මේ විධික්‍රම දැකගන්නෙමු. මෙය වැදගත් කරුණක් වන අතර විචාරය මත පදනම් වූ කරුණාවේ ඉමහත් ප්‍රයෝජනයක්ද වේ. එබැවින්, ජීව විද්‍යාත්මක පදනමක් සහිතව හා විචාරයේ ආධාරය සහිතව, මානුෂික ගුණාංග ප්‍රවර්ධනය කරගනු පිණිස, මව්වරුන් හා මව සහ දරුවා අතර පවත්නා නෛසර්ගික ආදරය හා සෙනෙහස ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි.