ජීවිත කාල දෙකක් තුළ ආධ්‍යාත්මික ගුරුවරයෙකු සමගින් පවත්වාගත් සම්බන්ධතාවය

ආධ්‍යාත්මික ගුරුවරයෙකු සමගින් පවත්වාගන්නා ගැඹුරු සම්බන්ධතාවයක් යනු යමෙකුගේ ජීවිත කාලය තුළ ලබාගත හැකි වඩාත් ‍ප්‍රවර්ධනීය හා වැදගත් බැඳීම විය හැක. එය ආත්ම වංචාවේ, වේදනාවේ හා ආධ්‍යාත්මික කළකිරීමේ මූලාශ්‍රයක්ද විය හැක. සියල්ල අදාළ සම්බන්ධතාවය ධනාත්මක ලෙස සෞඛ්‍ය සම්පන්න එකක් බවට පත්කිරීම මත රඳා පවතියි. මෙය නැවතද, අපගේම හා අපගේ ගුරුවරයාගේද සුදුසුකම්, එම සම්බන්ධතාවයේ අරමුණ හා සම්බන්ධතාවයේ ගතිකයන් හා සීමා මායිම් පිළිබඳවද පවත්වාගන්නා යථාර්ථවාදී ආකල්පය මත රඳා පවතී.

ආධ්‍යාත්මික ගුරුවරයෙකු ඇසුරු කිරීම: සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම (ඉතාකා: ස්නෝ ලිනන්, 2000; නැවත මුද්‍රණය: ප්‍රඥාවන්ත ගුරුවරයා, ප්‍රඥාවන්ත සිසුවා: සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් සඳහා වූ තිබ්බතීය ප්‍රවේශයන්. ඉතාකා: ස්නෝ ලිනන්, 2010) යන කෘතිය මවිසින් මූලික වශයෙන්ම ලේඛනගත කරන ලද්දේ මවිසින් මාගේ ප්‍රධාන ගුරුවරුන් - ෂෙන්ෂැබ් සර්කොං රින්පෝෂේ, පරම පූජනීය දලයි ලාමා වහන්සේ හා ගේෂේ නැවෑං ධාර්ජේ - වෙතින් බොහෝ වැදගත් ඵල ප්‍රයෝජනයන් ලබා ඇති හෙයින් මෙන්ම මාගේ ලෝක දේශනා සංචාරයන්හිදී මා හට හමුවූ අවංක ආධ්‍යාත්මික විමුක්ති ගවේෂකයන් හට එතරම් ප්‍රශස්ත අත්දැකීම් ලැබී නොමැති බවට වූ කණගාටුදායක තත්ත්වයද හේතුවෙනි. බොහෝ පුද්ගලයන් විසින් ලිංගික, මූල්‍යමය හෝ බලය ආශ්‍රිත අපයෝජනයනට මුහුණ දී තමා අහිංසක වින්දිතයන් බව හඳුනාගෙන ඇත. පරිභව සහගත ගුරුවරුන් මත පමණක් දෝෂාරෝපණය කරමින්, ඔවුහූ සියලු ආධ්‍යාත්මික උපදේශකයන් වෙතින් ඉවත්වූ අතර, ඇතැම් විට ආධ්‍යාත්මික මාවතින්ද දුරස් විය. තවත් ඇතැමුන් විසින් සිය නොමනා සම්බන්ධතාවයන් ප්‍රතික්ෂේප කරමින් ජීවත් වන්නට වූ අතර, ගතානුගතික ප්‍රමිතීන්ට අනුව එය කෙතරම් හානිකර දෙයක් සේ පෙනෙන්නට වුවද, සැබෑ "ගුරු භක්තිය" තුළ ගුරුවරයාගේ පාර්ශ්වයෙන් ඉස්මතුවන සියලු ආකාරයේ චර්යාවන් සාධාරණීකරණය වනවා පමණක් නොව, ශුද්ධවන්තභාවයටද පත්වන බවට වූ හැඟීමක් සහිතව ජීවත් වන්නට වූහ. මෙම අන්ත දෙක තුළින්ම සිසුන් විෂයයෙහි මනා සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් ලබාගත හැකිවන පූර්ණ ප්‍රයෝජනය ලබාගැනීමේ ඉඩ ප්‍රස්ථා අවහිර කරන ලදී.

සිසුන් බටහිර ජාතීන් වී ගුරුවරුන් තිබ්බතීයයන් වන අවස්ථාවන්හිදී, ගැටලුවේ එක් මූලාශ්‍රයක් වනුයේ අනෙක් පාර්ශ්වය තමාගේ සංස්කෘතික ගති සිරිත්වලට අනුව කටයුතු කරනු ඇතැයි යන යථාර්ථවාදී නොවන අපේක්ෂාව විසින් සංකීර්ණත්වයට පත් කරන්නාවූ සංස්කෘතික අනවබෝධයයි. ව්‍යාකූලත්වයේ තවත් මූලාශ්‍රයන් වනුයේ  බොහෝ විට නොමඟ යවන සුළුවූ පරිවර්තනයන් හේතුකොට ගුරු‍-ගෝල සම්බන්ධතා සාමාන්‍යාර්ථයෙන් අර්ථ නිරූපණය කරමින්, තාක්ෂණික යෙදුම්හි අරුත් වරදවා වටහා ගනිමින් එකී සබඳතාවයන් ඒවාහි මුල් සන්දර්භයෙන් පිටතට ගෙන සිදුකරන ප්‍රමිතිගත පාඨ ග්‍රන්ථමය ඉදිරිපත් කිරීම්ය.

නිදසුනක් ලෙස, ලම්-රිම් (ශ්‍රේණිගත මාර්ගය) සම්බන්ධ කෘති තුළ මෙකී සම්බන්ධතාවය "මාර්ගයේ මුල" ලෙස ඉදිරිපත් කෙරෙන අතර, එය තම පළමු ප්‍රධාන මාතෘකාව ලෙස සාකච්ඡා කරනු ලබයි. කෙසේ වුවද, මෙම රූපකයෙන් දැක්වෙන අදහස වනුයේ, ගසක් එහි මුළින් ආරම්භ වන්නේය යන අදහස නොව මුල් හේතුකොට ගස සිය පෝෂණය ලබා නොනැසී පවතින්නේය යන්නයි. ගසක් එහි මුළින් ආරම්භ වන අතර, මෙම සම්බන්ධතාවය "මාර්ගයේ බීජය" ලෙස ෂොංඛපා විසින් නොහඳුන්වන ලදී. කෙසේ වුවද, මුල් කාලීන ලම්-රිම් ශ්‍රාවක පිරිස එහි මුල් මට්ටමේ පිරිස් හෙවත් ආගන්තුකයන් නොවීය. එම ශ්‍රාවක පිරිස තන්ත්‍රමය බලගැන්වීම් ලබාගැනීම සඳහා ඒකරාශී වූ භික්ෂු, භික්ෂුණීන්ගෙන්ද, සූදානම් කිරීමක් ලෙස සූත්‍ර දේශනාවන් සමාලෝචනය කිරීමට අවශ්‍ය වූ පිරිසකගෙන්ද සමන්විත විය. ඒවන විටද පෙර අධ්‍යයන හා පිළිවෙත් කටයුතු මගින් බෞද්ධ මාර්ගය කෙරෙහි කැපවී සිටි එවන් පුද්ගලයන් හට, බුද්ධත්වය කරා වූ සම්පූර්ණ මාර්ගය පවත්වාගෙන යාමේ ආභාසය ලබාගැනීම සඳහා වූ මූලය ආධ්‍යාත්මික ගුරුවරයා සමගින් පවත්වාගන්නා මනා සම්බන්ධතාවය විය. ඉන් අපේක්ෂා කළ දෙය කිසිසේත් බටහිර ධර්ම මධ්‍යස්ථාන කරා එන නවකයන් විසින් එහි සිටින ආධ්‍යාත්මික ගුරුවරුන් බුදුවරුන් සේ සැළකීමෙන් සිය ආරම්භය ගත යුත්තේය යන්නක් නොවීය.

පෞද්ගලිකව මා සම්බන්ධ කාරණයේදී, ආධ්‍යාත්මික ගුරුවරයෙකු සමගින් මා පවත්වාගෙන යනු ලබන ගැඹුරුතම සම්බන්ධතාවය එම ගුරුවරයාගේ ජීවිත කාල දෙකක් පුරා දිවෙන්නකි. පරම පූජනීය දලයි ලාමා වහන්සේගේ අභාවප්‍රාප්ත ප්‍රධාන විවාද සගයා හා සහකාර දේශකවරයා වූ ෂෙන්ෂැබ් සර්කොං රින්පෝෂේගේ විදේශ සංචාර කළමනාකරු, සිසුවෙකු, කථා පරිවර්තකවරයා හා ඉංග්‍රීසි ලේකම්වරයා වශයෙන්ද වසර නවයක් ගත කළෙමි. 1983දී මියගිය රින්පෝෂේ නිවැරදිවම මාස නවයකට පසු නැවත උත්පත්තිය ලද අතර, හඳුනාගනු ලැබ, වයස අවුරුදු හතරේදී ධර්මශාලාව වෙත ආපසු පැමිණියේය. මාස කිහිපයකට පසු අප අතර වූ හමුවීමත් සමගින් ඔහු හා මා යන දෙදෙනා විසින්ම අපගේ ගැඹුරු සම්බන්ධතාවය නැවත තහවුරු කරගත්තෙමු. සහායෙක‍යෙකු විසින් මා කවුරුන්ද යන්න ඔහු දන්නේදැයි විමසූ විටදී, එම තරුණ කුල්කුවරයාගේ පිළිතුර වූයේ, "පිස්සු කථා කරනවද? මං ඇත්තටම එයාව දන්නවා" යන්නයි. එවක් පටන්, රින්පෝෂේ විසින් සිය ආධ්‍යාත්මික ගෘහයේ සමීප සාමාජිකයෙකු සේ මා සලකන ලද අතර, එය වසර හතරක් වයසැති දරුවෙකු කට රඟපෑමක් ලෙස ව්‍යාජ සේ සිදුකළ නොහැක්කකි. එයට ප්‍රතිචාරී ලෙස මා තුළද අපගේ ගැඹුරු සම්බන්ධතාවය පිළිබඳ කිසිදු සැකයක් නොවීය.

2001 වසරේ ගිම්හාන සෘතුවේදී, මම ගැන්ඩන් ජැංග්ට්සේ නමැති දකුණු ඉන්දියාවේ පිහිටි රින්පෝෂේගේ ආරාමයෙහි ඔහුද සමගින් මාසයක කාලයක් ගත කළ අතර, එහිදී වයස අවුරුදු දහ හතේදී, උගතුන්ගේ මට්ටමට තමා නිල වශයෙන් ඇතුළු වූ බවට සනිටුහන් කරනු පිණිස උත්සවයකදී එහි රැස්ව සිටි භික්ෂූන් ඉදිරිපිට ඔහු විසින් විවාද කරන ලදී. එම මාසය තුළ ඔහු සිය ගේෂේ පුහුණුව තුළ අධ්‍යයනය කරන ලද කුරුණු ඔහුගෙන් උගත් අතර ඔහුගේ පූර්වගාමියාගේ තවත් සමීප බටහිර සිසුවෙකු වෙත ලබාදුන් වාචික සම්ප්‍රේෂණයක් හා විශ්ලේෂණයක්ද පරිවර්තනය කළෙමි. ඔහු වෙනුවෙන් නැවතද වරක් භාෂා පරිවර්තන කටයුුතු සිදු කිරීමට හැකිවීම කෙතරම් නම් ආශ්චර්යයක්ද යන කරුණ රින්පෝෂේ හට මවිසින් ප්‍රකාශ කරන ලද අවස්ථාවේදී, ඔහුගේ පිළිතුර වූයේ "සත්තකින්ම, එය ඔබගේ කර්මයයි" යන්නයි. ඔහු විසින් සිය පෙර භවයේදී මා හට ලබාදුන් ධර්ම හා ලෞකික උපදෙස් කොටස්ද ඔහු වෙත නැවත ලබාදීමේ අවිධිමත් ක්‍රියාවලියක් මමද සිදු කළෙමි.

ජීවිත කාල දෙකක් පුරා සර්කොං රින්පෝෂේ සමගින් වූ මාගේ පෞද්ගලික සම්බන්ධතාවය මගින් අධ්‍යයන හා භාවනා කටයුතු තුළින් ලැබිය හැකිව තිබූ විශ්වාසයට වැඩි විශ්වාසයක් ධර්මය හා පුනරුත්පත්තිය පිළිබඳව මා වෙත ලැබී තිබිණි. එය වූකලි සැබැවින්ම මාර්ගයෙහි ගමන් කරන විටදී ලැබෙන අඛන්ඩ අනුප්‍රාණ මූලාශ්‍රයකි. ඔහුගේ එක් එක් දිවිය තුළ එකිනෙකා කෙරෙහි වූ අපගේ කාර්ය භාරයන් පිළිබඳ මම හෝ ඔහු විසින් එකිනෙකා රැවටීම සිදු නොවේ. අප දෙදෙනාම මුළුමනින්ම එකල සිටි අප දෙදෙනාම හෝ මුළුමනින්ම වෙනස්වූ දෙදෙනෙකු හෝ නොවේ. අප එකිනෙකා නොකඩවා ගලන අඛන්ඩතාවයක් වේ. වර්තමානයේ හා පෙරදී වූ අපගේ විවිධ අදියරයන් පිළිබඳ යථාර්ථවාදී ආකල්පයක් මත පදනම්ව, අපි මේවන විට පහසුවෙන්ම එකිනෙකාගෙන් ඉගෙනීමද එකිනෙකාට ඉගැන්වීමද සිදු කරන්නෙමු. එය මුළුමනින්ම ස්වභාවික දෙයක් සේ දැනේ.

Star Trek නමැති රූපවාහිනී කථා මාලාවේ රසිකයෙකු වශයෙන්, මුල් කථා මාලාව හා ඊළඟ පරම්පරාව තුළද, පෙරදී කපිතාන් කර්ක් යටතේද, දැන් කපිතාන් පිකාඩ් ලෙස තවමත් තරුණ කැඩෙට් නිලධාරියෙකු ලෙස පුහුණුව ලබන පුනරුත්පත්තිය යටතේද ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වූවාක් මෙන් මාගේ අත්දැකීමද දකින්නෙමි. මා මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වනුයේ සියලු අනාගත ව්‍යාපාරයන්හි එන කණ්ඩායම් වෙත සේවය සලසනු පිණිස කර්මය ගොඩනැගීමේ කටයුතු නොකඩවා පවත්වාගෙන යාමයි. 

Top