ධර්ම මාර්ගයෙන් දුක වළකාලීම

තිබ්බත භාෂාවෙන් චෝ (චොස්) යනුවෙන් හැඳින්වෙන සංස්කෘත 'ධර්ම' යන වදන මගින් අදහස් කෙරෙනුයේ රඳවා ගැනීම හෝ නඩත්තු කිරීම හෙවත් පවත්වාගෙන යාමයි. නඩත්තු කරන්නේ හෝ පවත්වාගෙන යනුයේ කවරක්ද? එයනම් දුක නැතිකොට සතුට සාක්ෂාත් කරගැනීමයි. ධර්මය විසින් මෙය අප සඳහා පමණක් නොව සියලු සත්ත්වයන් උදෙසා සිදුකරනු ලබයි.

දුක හඳුනා ගැනීම

අප අත්විඳින දුකෙහි වර්ග දෙකකි: මනුෂ්‍යයන් වශයෙන් අපට ක්ෂණිකව පෙනෙන හා අධිසංවේදී බලයකින් තොරව දැකිය නොහැකි එ්වා වශයෙනි. පළමු කී වර්ගයට ඉපදීමේ ක්‍රියාවලිය තුළ අන්තර්ගත වේදනාව, වරින් වර රෝගී වීමේ අප්‍රසන්නභාවය, වයසට යාමේදී අත් විඳීමට සිදුවන අවාසනාවන්ත තත්ත්වය හා මරණ බිය ඇතුළත් වේ.

මරණින් මතු ඇතිවන දුක සාමාන්‍ය පුද්ගලයෙකු හට දැකිය නොහැක. මරණින් මතු බොහෝ විට මනුෂ්‍යාත්ම භාවයක ඉපදෙනු ඇතැයි අපට සිතිය හැක. කෙසේ වුවද, අවශ්‍යයෙන්ම එය එසේ වන්නේ නොවේ. එවන් පරිණාමයක් සිදුවනු ඇති බවට අනුමාන කිරීමේ තාර්කික හේතුවක් නොමැත. මරණින් මතු කිසිදු පුනර්භවයක් ඇති නොවන්නේද නොවේ.

අප ලබන නිශ්චිත පුනර්භවය කවරක්ද යන්න දැන ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වන අතර එය අපගේ වර්තමාන දැනුම් විෂය පථයෙන් ඔබ්බෙහි පවතින්නකි. මෙම ජීවිත කාලය තුළ කුසල කර්ම උපදවාගත හොත්, මතු භවයේදී යහපත් උත්පත්තියක් ලැබිය හැක්කේය යන්න ස්වභාවික නියමයකි. මෙයට ප්‍රතිවිරුද්ධව, බහුලව පාප කර්ම සිදු කරගන්නේ නම්, පුනර්භවය සතුටුදායක එකක් නොවනු ඇති අතර පහළ සත්ත්ව ස්ථරයන්හි ඉපිද ඉමහත් දුෂ්කරතාවයනට මුහුණ දීමට සිදුවනු ඇත. මෙය නියතයකි. පුනර්භවය ක්‍රියාත්මක වනුයේ එපරිදිය. තිරිඟු ඇටයක් පැළ කළහොත්, ඉන් ඇතිවනුයේ තිරිඟු පැළයකි. වී ඇටයක් පැළ කළහොත් ගොයම් ගසක් නිමැවෙනු ඇත. එ් සමානවම, පාප කර්ම සිදු කළහොත් නරකය හෙවත් නිරය, ප්‍රේත ලෝකය හෝ තිරිසන් අපාය යන පහත් තල තුන අතරින් එකක පුනර්භවය සිදුවීමට අවශ්‍ය බීජයක් රෝපණය කිරීමක් සිදුවේ.

නරක තලය කොටස් සතරක‌ට බෙදේ : තාපී, සීත, ආසන්න හා ආවස්ථික නිරයන් වශයෙනි. මේවා තවදුරටත් අනු කොටස්වලට බෙදන්නේ නම්, තාපී නිරයන් වර්ග අටකි. ඉන් පළමුවැන්න සංජීවය හෙවත් ජීවය සි‌ඳෙමින් නැවත හටගන්නා නරකය නම් වේ. අන් නිරය වර්ගයන් හා සසඳන්නේ නම් මේ වූකලි දුකින් අඩුම වූ නරකය වේ. මෙහිදී අත්විඳීමට සිදුවන දුකෙහි ප්‍රමාණය අවබෝධ කරගනු පිණිස සන්සන්දනයක යෙදෙන්නේ නම්, මෙම පළමු තාපී නරකයේ සිටිනා නිරි සතුන් විඳින දුක හා සසඳන කල්හි මහා ගින්නකට හසුවූ පුද්ගලයෙකු විඳින වේදනාව ඉතා සුළු වේදනාවක් පමණි. සංජීවයට පහළින් පවත්නා එක් එක් නරකය තුළ පිළිවෙලින් මෙයටද වඩා වැඩිවන දුක් ස්වභාවයක් පවතී.

නිරි සතුන්ගේ හා ප්‍රේතයන්ගේ දුක අපට නොපෙනුණද, තිරිසන් සතුන්ගේ දුක අපට සියැසින් දැකගත හැක. අප තිරිසන් සතුන් ලෙස පුනරුත්පත්තියක් ලදහොත් කුමක් සිදුවේද යන්න සිතා බලන්නේ නම්, මෙම භාරතයේම අප වටා පවතින වීදිවල වාසය කරන්නාවූ හා මහත් දුක් උසුළන්නාවූ සතුන් දැක එම තත්ත්වයට අප පත්වුවහොත් කවර නම් දුකක් විඳීමට සිදුවන්නේදැයි සිතා බැලිය හැක. ධර්මය වූකලි මෙම පහත් ස්ථරයන්හි පුනර්භවයෙන් ඇතිවන දුක අත් විඳීමෙන් අප වළකා ආරක්ෂා කරන්නාවූ මෙවලමයි.

සමස්ත භව චක්‍රය හෙවත් පාලනයකින් තොරව නැවත නැවතත් සිදුවන පැවැත්ම නොහොත් සංසාරය දුක ස්වභාව කොට ඇත්තකි. සියලු සාංසාරික දුකින් අප ආරක්ෂා කරනුයේ ධර්මය මගිනි. තවද, මහායාන ධර්ම දේශනාවන් මගින් අප වෙත පමණක් නොව සියලු සවිඥාණික සත්ත්වයන් වෙතද ආරක්ෂාව සැලසේ.

ආරක්ෂිත සරණ යාම

බුදු දහම තුළ බොහෝ කොට බුද්ධ, ධර්ම හා සංඝ යන ත්‍රිවිධ රත්නය පිළිබඳ අසන්නට ලැබේ. මේ අතරින් පළමුවැන්න තුළ ධර්මය දේශනා කරන සියලු අරහතුන් වහන්සේලා අන්තර්ගත වේ. චතුරාර්ය සත්‍යය දේශනා කරමින් වාරනාසියේදී පළමු වරට ධර්ම චක්‍රය ක්‍රියාත්මක කරවාලූ ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ අපට වඩාත් වැදගත් වේ. විමුක්තිය ලබනු පිණිස පුහුණු කළ යුතු ධර්මය වනුයේ මෙම චතුර් සත්‍යය අතරින් සතර වැන්න වූ සත්‍ය මාර්ගයයි. මෙයයි ධරම රත්නය ලෙස හැඳින්වෙන ආරක්ෂිත මාර්ගයේ සරණ අරමුණ.

ධර්ම පිළිවෙත් පිරීම තුළ කරුණු දෙකක් අන්තර්ගතය: සංසාර දුකෙහි මුල හඳුනා ගැනීම හා මෙම මුල මුලිනුපුටා දැමීම වශයෙනි. නැවත නැවතත් ඇතිවන මෙම පැවැත්මේ මූල හේතුව කවරක්ද? එ් වූකලි සැබෑ ලෙස පවත්නා ආත්මයක් හා සැබෑ ලෙස පවත්නා සංසිද්ධීන් පිළිබඳ පවත්වාගෙන යන ග්‍රහණයයි. සියලු දුක් ගෙනදෙන මෙම ග්‍රහණය කෙරෙහි පිළිකුලක් ඇතිකරගත යුතුය. සැබෑ පැවැත්මක් පිළිබඳව පවත්වාගෙන යන්නාවූ මෙම ග්‍රහණයට ප්‍රතිකර්මකව පවත්නා ප්‍රතිජීවකය වටහාගත යුතුය. මෙම ප්‍රතිජීවකය වූකලි අනාත්ම හෝ අනන්‍යතාවයක් රහිත ස්වභාවය පිළිබඳ විචක්ෂණ දැනුවත්භාවය හෙවත් ප්‍රඥාවයි. දුකින් විමුක්තිය ලබාදෙනුයේ අනාත්ම ධර්මය පිළිබඳ මෙම වැටහීමයි.

සංසාරය තුළ අප විසින් අත්විඳින්නාවූ දුක හේතු රහිතව ඇති වන්නක් නොවේ. එ්වා කැළඹිලිකාරී භාවයන් හෙවත් සංස්කාර සහ ආකල්ප (මෝහය) සහ එමගින් ඇති කෙරෙන කර්මය තුළින් හටගනී. සියලු කැළඹිලිකාරී භාවයන්ගේ හා ආකල්පවල සහ කර්මයේ මූල හේතුව ආත්මයක් ග්‍රහණය කොටගෙන පවත්වා ගැනීමයි. මෙය අවබෝධ කරගත් විටදී, ආත්මයක් ග්‍රහණය කරගෙන සිටීමට එරෙහි ප්‍රතිජීවකය ලබාගැනීමේ අභිලාෂයක් ඇතිවේ. අපගේ චිත්ත සන්තතිය තුළ මේ දක්වාද ප්‍රතිජීවකයක් ගොඩනගාගෙන නොමැත්තේ මන්ද? අනාත්මතාවය අපට අවබෝධ නොවන්නේ මන්ද? එක් හේතුවක් නම්, මරණය හා අනිත්‍යය පිළිබඳ ප්‍රමාණවත් දැනුවත්භාවයක් අප සතු නොවීමයි.

මරණය හා අනිත්‍යය

උපත හා සම්බන්ධ එකම අනිවාර්ය ප්‍රතිඵලය නම් මරණයයි. අපි අනිවාර්යයෙන් මිය යන්නෝ වෙමු. මරණයෙන් ජීවිතය අවසන් නොකළ සජීවී සත්ත්වයෙකු නොවීය. මරණය වළකාලීම සඳහා පුද්ගලයෝ බොහෝ විධික්‍රම අත්හදා බලන නමුත් එය කළ නොහැක්කකි. කිසිදු ඔසුවකට අපගේ මරණය වළක්වාලිය නොහැක.

හුදෙක් "මම මියෙන්නෙමි"යි සිතීම මරණය මෙනෙහි කිරීමේ නිවැරදි විධික්‍රමය නොවේ. සත්‍ය වශයෙන්ම සියල්ලෝ මියෙන නමුත් හුදෙක් මෙම සත්‍යය පිළිබඳ සිතීම පමණක් එතරම් බලවත් ඔසුවක් නොවේ. එය නිවැරදි ක්‍රමය නොවේ. එයාකාරයෙන්ම, අපගේ සිරුර කොටස්වලට වෙන්වී, වැහැරී යන්නේය යනුවෙන් හා එය කුණුවී යන්නේය යනුවෙන් සිතීමද ප්‍රමාණවත් නොවේ. සිතා බැලිය යුත්තේ අපගේ පරිහාණිය වලක්වාලන ආකාරයක් පිළිබඳවයි.

මරණාසන්න අවස්ථාවේදී ඇතිවන බිය හා එම බිය මුලිනුපුටා දමන ආකාරය පිළිබඳ සිතා බලන්නේ නම්, එවිට මරණය පිළිබඳ අපගේ භාවනාව ඵලදායක වනු ඇත. සිය ජීවිත කාලයන් ඇතුළත බොහෝ සෙයින් පාප කර්ම රැස්කර ඇති අය මරණාසන්න අවස්ථාවේදී බොහෝ බිය වෙති. ඔවුහූ හඬති, කම්මුල් දිගේ කඳුළු රූටා වැටේ, මුඛයෙන් කෙළ වැගිරේ, ඇඳ සිටින වස්ත්‍රයෙහි මළ පහවන අතර මුළුමනින්ම සිහි විකල් වේ. ජීවිත කාලය තුළ සිදුකරන ලද පාප ක්‍රියාවන් හේතුවෙන් ඇතිවන බිය කරණ කොට මරණාසන්න අවස්ථාවේදී ඇතිවන දුක පිළිබඳ පැහැදිලි සංඥා මෙපරිදි වේ.

අනෙක් අතට, අපගේ ජීවිත කාලය තුළ පාප ක්‍රියාවන්ගෙන් වැළකී සිටින්නේ නම්, මරණාසන්න අවස්ථාවට මුහුණ දීම ඉතා පහසු කටයුත්තක් වේ. මෙහිදී අත්දකින අත්දැකීම දරුවෙකු සිය මව්පියන් බැහැ දකින්නට නිවෙස බලා යාමට සමාන ප්‍රීතිමත් එකක් වේ. අභ්‍යන්තරය පවිත්‍ර කොටගෙන ඇත්තේ නම් සතුටින් මියයා හැක. දස පාප ක්‍රියාවන්ගෙන් වැළකී එ්වාහි ප්‍රති විරුද්ධ කර්මය වන දස පුණ්‍ය ක්‍රියා වගා කරගත හොත්, අපගේ මරණය පහසු එකක් වනු ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දුක් සහිත ස්ථානයක පුනරුත්පත්තිය ලැබීමේ අත්දැකීමක් ලැබීමට සිදු නොවනු ඇත. වඩාත් වාසනාවන්ත තලයන්හි පුනර්භවයක් ලැබිය හැකි බවට සහතික විය හැක. ඔසු පැල බීජ වගා කිරීමෙන් ඔසු මල් සහිත රුක් හටගන්නාක් මෙන්ම විෂ සහිත ශාකයන්හි බීජ රෝපණය කිරීමෙන් ලැබෙනුයේ විෂ සහිත ඵල පමණි. අපගේ හෘදය සාක්ෂිය මත පුණ්‍ය ක්‍රියාවන්හි බීජ රෝපණය කරන්නේ නම්, මතු භවයන්හි සතුටක් අත්විඳීමට හැකිවනු ඇත. මානසික මෙන්ම කායිකවද වාසනාවත්ත තත්ත්වයන් උදාවනු ඇත. මෙම මූලික ධර්ම කරුණු ඉගැන්වීම -පාප ක්‍රියාවන්ගෙන් වැළකී පුණ්‍ය ක්‍රියා සිදු කරගැනීම- බුදු දහම තුළ පමණක් නොව ක්‍රිස්තියානියද ඇතුළත් අන් බොහෝ ආගම්හිද සිදු කෙරේ.

මරණය හා අනිත්‍ය දහම මෙනෙහි කරනුයේ කෙසේද? පෙරදී සඳහන් කළ පරිදි, "මම මියෙන්නෙමි"යි සිතීමෙන් පමණක් එතරම් ප්‍රයෝජනයක් අත් නොවේ. "දස පාප ක්‍රියා අතරින් කවරක් හෝ සිදුකර ඇත්තේ නම් මරණ මඤ්චකයේදී බොහෝ සෙයින් බිය වීමට හා දුක් වීමට සිදුවනු ඇති අතර, එ් හේතුවෙන් දැඩිසේ අවාසනාවන්ත පුනර්භවයක් තුළට මා පරිණාමය වනු ඇත. අනෙක් අතින්, මාගේ ජීවිත කාලයේදි පින් රැස්කරගෙන ඇත්තේ නම්,  මරණ මඤ්චකයේදී බිය හෝ දුක අත්විඳීමට සිදු නොවනු ඇති අතර වඩාත් වාසනාවන්ත තලයක පුනර්භවය ලබනු ඇත" යනුවෙන් සිතිය යුතුය. එයයි මරණය මෙනෙහි කිරීමේ නිවැරදි ක්‍රමය.

"මම මිය යන අතර, එ් සම්බන්ධයෙන් කළ හැකි කිසිවක් නොමැත" යන අඳුරු, අසුභවාදී සිතිවිල්ල පමණක් මෙම භාවනාව තුළ අන්තර්ගත විය යුතු නැත. එ් වෙනුවට, මරණය සිදුවන අවස්ථාවේදී සිදුවන දෙය අපගේ සිතිවිලි තුළ නියෝජනය විය යුතුය. "මරණින් මතු මා කොහේ යනු ඇත්ද? මා විසින් නිර්මාණය කළ හේතු කවරේද? මාගේ මරණය සතුටුදායක එකක් බවට පත්කළ හැකිද? එ් කෙසේද? මාගේ පුනර්භවයන් සතුටුදායක එ්වා බවට පත්කළ හැකිද? එ් කෙසේද?"

මතු භවයන් පිළිබඳ මෙනෙහි කිරීමේදී, සංසාරයේ විශ්වසනීය කිසිදු ස්ථානයක් නොපවත්නේය යන කරුණ සිහි තබාගත යුතුය. අපගේ සිරුර කවර ස්වරූපයක් ගත්තද, එය අවසානයේ මිය යා යුතුය. ඉතිහාසය හැදෑරීමේදී සිය දහස් වර්ෂ ගණනින් ජීවත්වු අය පිළිබඳ කියවන්නට ලැබේ. මෙම විස්තර කෙතරම් ප්‍රබන්ධ ස්වරූපයක් ගත්තද, අවසානයේ මිය නොගිය අයෙකු පිළිබඳ නිදසුන් නොමැත. අපට ලැබෙන්නාවූ කවරාකාරයේ සාංසාරික සිරුරක් වුවද එය මරණයට යටත් වේ.

මරණයෙන් මිදිය හැකි ස්ථානයක්ද නොපවතී. අප ජීවත්වන්නේ කවර ස්ථානයක වුවද, අවස්ථාව උදාවූ කල මිය යාමට සිදුවේ. එවිට කෙතරම් ඔසු, මන්ත්‍ර හෝ පිළිවෙත් යෙදුවද පලක් නොවේ. ශල්‍ය කර්ම මගින් අපගේ ශරීර තුළ පවත්නා ඇතැම් ලෙඩ රෝග වර්ග සුව කළ හැකි නමුදු මරණය වැළැක්විය හැකි කිසිදු ශල්‍ය කර්මයක් නොපවතී.

අප ලබන පුනර්භවය කවර වර්ගයේ එකක් වුවද, එය මරණයට යටත් වනු ඇත. මෙම ක්‍රියාවලිය නොකඩවා ක්‍රියාත්මක වේ. අපගේ ක්‍රියාවන්හි දීර්ඝ කාලීන ඵලයන් පිළිබඳව හා උපත, ජීවිතය, මරණය හා නැවත උත්පත්තිය යන අඛන්ඩ ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබඳ මෙනෙහි කිරීම බොහෝ කුසල කර්ම උපදවා ගැනීමට උපකාරී වනු ඇත.

ඇතැම් විට ධර්ම පිළිවෙත් පිරීමට සැලසුම් කළද, සාමාන්‍යයෙන් එම සැලසුම් පසු දිනට හෝ එයටත් පසු දිනට අදාළ එ්වා වේ. එසේ වුවද, මියයන අවස්ථාව කිසිවෙකුට හෝ කිව නොහැක. ජීවත් වීමට නිශ්චිතවම තවත් සිය වසරක් පවත්නේය යන සහතිකයක් ඇත්තේ නම්, අපට අපගේ පිළිවෙත් සකස් කර ගැනීම සඳහා නිදහස් අවකාශයක් ලැබෙනු ඇත. පිළිවෙත් පිරීම කල් දැමීම යනු ඉතා අමනෝඥ කාර්යයකි. ඇතැම් මනුෂ්‍යයෝ ඉපදීමට පෙර මව් කුස තුළදීම මිය යන අතර, තවත් ඇතැමෙකු ඇවිද යාමට ඉගෙනීමට පවා පෙර කුඩා දරුවන් වියේදීම මියයති. එ් අනුව දිගු ජීවිත කාලයක් අපට ඇත්තේය යන සහතිකයක් අප කිසිවෙකුට හෝ නොමැත.

අපගේ සිරුරු වහා බිඳෙන සුළුය. එ්වා පාෂාණයෙන්‌ හෝ යකඩින් නිර්මාණය කොට ඇත්තේ නම්, ඇතැම් විට එමගින් යම් ස්ථාවරත්ව හැඟීමක් ඇතිකළ හැක. එසේ නමුදු, විමර්ශනය කර බලන්නේ නම්, මනුෂ්‍ය ශරීරය ඉතා දුර්වල එකක් බව අපට වැටහෙනු ඇත. එතුළ යමක් වැරදීම පහසුවෙන්ම සිදුවිය හැක්කකි. එය නොගිණිය හැකි තරම් විශාල සංඛ්‍යාවක් වූ වහා බි‌ඳෙන සුළු කුඩා කොටස් එක්කොට සාදන ලද සියුමැලි අත් ඔරලෝසුවක් මෙනි. එය විශ්වාසය තැබිය හැක්කක් නොවේ. අපගේ මරණය සිදුකළ හැකි හේතු සාධක බොහෝ ගණනකි: ආහාර විෂවීම, කුඩා කෘමියෙකු සපාකෑම, විෂ සහිත කටුවක් ඇනීම පවා එ් අතර වේ. එතරම් සුළු තත්ත්වයන් හේතුවෙන්ද මරණය සිදුවිය හැක. අපගේ ජීවිත කාලය දීර්ඝ කරගැනීම සඳහා භාවිත කරන ආහාර හා දියර වර්ගම එය අවසන් කිරීමට හේතුවිය හැක. අප මියයන අවස්ථාව කවරක්ද යන්න හා අපගේ මරණය කවර හේතු සාධක මත සිදුවනු ඇත්ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක්කකි.

වසර සියයක් ජීවත්වන බවට ස්ථිර විශ්වාසයක් අප තුළ පැවතියද, එම ජීවිත කාලයෙන්ද බොහෝ වසර ගණනක් කිසිදු සාර්ථකත්වයක් නොලබාම දැනටමත් ගෙවී ගොස් ඇත. දුම්රිය මැදිරියක නිදා සිටින අයෙකු නොකඩවා සිය ගමනාන්තයට ළඟා වෙමින් සිටින්නේ වුවද එම ක්‍රියාවලිය පිළිබඳව නොදැන සිටින්නාක් මෙන් අපිද මරණය කරා ළඟා වෙමින් සිටින්නෙමු. මෙම ක්‍රියාවලිය නැවැත්වීම සඳහා කළ හැකි දේ සීමිතය. නිතිපතා මරණයට වඩ වඩාත් සමීප වෙමින් සිටින්නෙමු.

ජීවිත කාලය තුළ කොතරම් මුදල්, ස්වර්ණාභරණ, නිවාස හෝ ඇඳුම් පැළඳුම් රැස්කර ඇත්තේ වුවද, මරණය සිදුවන අවස්ථාවේදී ඉන් කිසිදු පලක් සිදු නොවේ. මරණය කරා යාමට සිදුවනු ඇත්තේ හිස් අතිනි. ඉතාම කුඩා භෞතික වස්තුවක් වුවද ගෙනයා නොහැක. ශරීරයද හැරයා යුතුය. සිත හා කය වෙන්වන අතර චිත්ත ධාරාව නොකඩවා ක්‍රියාත්මක වේ. අප සතුදේ පමණක් නොව අපගේ සිරුරු පවා රැගෙන යා නොහැක.

කර්මය

මරණින් මතු විඤ්ඤාණය සමගින් ගමන් කරනුයේ කවරක්ද? අපට අපගේ සිරුරු හා අප සතු සියල්ල හැර යාමට සිදුවන්නේ නම්, අපගේ විඤ්ඤාණය මතු දිවියක් කරා රැගෙන යන්නාවූ උපකාරකයෙකු හෝ අන් කිසිවක් පවත්නේද?

මරණින් මතු විඤ්ඤාණය පසුපස ගමන් කරන්නාවූ දෙයක් පවතී: එ්වානම්, මෙම ජීවිත කාලය තුළ අප විසින් ගොඩනගන ලද කර්ම උරුමයන් (බීජ) වේ. දස පාප ක්‍රියා අතරින් එකක් සිදුකර ඇත්තේ නම්, අපගේ චිත්ත සන්තතිය පුනර්භවය කරා ගමන් කරන විටදී එ් සමග පාප කර්ම උරුමයක් හෝ කර්ම ණයක්ද ගමන් කරනු ඇත. කයින් සිදු කරන පර පණ නැසීමේ, අන් සතු දේ සොරකම් කිරීමේ හෝ කාමයෙහි වරදවා හැසිරීමේ  පාපකාරී කර්ම උරුමයන් චිත්ත ධාරාව මත ස්ථානගත වේ. බොරු කීම, කේලාම් කීම මගින් පුද්ගලයන් බේද බින්න කිරීම, පරුෂ වචන කීම හෝ හිස් වචන පැවසීම යන පාප ක්‍රියාවන්හි කර්ම ණය මරණය අවස්ථාවේදී අප සමග පැමිණෙනු ඇත. නිරතුරු අන් සතු දේ අප සතු කරගැනීමේ අදහස පෙරදැරිව බොහෝ මසුරු සිතිවිලි පැවතියේ නම්; අනෙකා වෙත හානි පැමිණේවා හෝ යම් අයහපතක් සිදුවේවා යන පැතුම සහිත ද්වේෂ සිතිවිලි පැවතියේ නම්; හෝ "පෙර හෝ මතු භවයන් නොමැත" "හේතු ඵල යනුවෙන් කිසිවක් නොමැත", "ආරක්ෂිත සරණ දිශානතිය යනුවෙන් කිසිවක් නොමැත" ආදී වශයෙන් විකෘති හා එදිරිවාදී සිතිවිලි පැවතියේ නම් මෙම පාපකාරී චිත්ත ක්‍රියා මගින් පාපකාරී කර්ම උරුමයන් උපදවන අතර එ්වා අප සිත් සමගින් ගමන් කොට සිත් මතු භවයන් කෙරෙහි යොමු කරවනු ඇත.

මෙහි විලෝමයද එසේම සත්‍ය වේ. පුණ්‍ය ක්‍රියාවන් සිදුකරමින් පාපකාරී ක්‍රියා සිදු කිරීමෙන් වැළකී සිටියේ නම්, එම කුසල ශක්තියේ කර්ම උරුමය අපගේ චිත්ත ධාරාව මත ගමන් කරනු ඇති අතර අපගේ මතු භවයන්හි වඩාත් යහපත් තත්ත්වයන් නිර්මාණය කරනු ඇත.

අප දැනට සිටින තත්ත්වය පිළිබඳව සැබෑ ලෙස සිතා බලන විටදී, හැකි සෑම අයුරකින්ම පුණ්‍ය කර්ම උපදවා ගනිමින් එහි ප්‍රතිවිරුද්ධ දෙය මුලිනුපුටා දැමීමට උත්සාහ කිරීමේ අධිෂ්ඨානයක් ඇතිකරගනු ඇත. මතු භවයන්හිදී කුඩාම කර්ම ණය හෝ ගෙවීමට ඉතිරි නොකරමින් හැකිතාක් දුරට පාපකාරී තත්ත්වයන්ගෙන් පිරිසිදු විය යුතුය.

හේතු ඵල න්‍යාය තුළ කවරාකාර ප්‍රතිචාරයන් සිදුවිය හැක්කේද යන්න විමසා බැලිය යුතුය. බොහෝ යහපත් ගුණාංග පැවති නමුත් සිය කථාවේදී රළු පරළු හා පරුෂ බවක් පෙන්වූ පුද්ගලයෙකු සම්බන්ධ කථාවක් පවතී. "ඔයා කථා කරන්නෙ බල්ලෙක් වගේ"යි පවසමින් ඔහු විසින් වෙනත් අයෙකුට දෝෂාරෝපණය කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු පන්සිය වතාවක් සුනඛ යෝනියෙහි ඉපදිණි. බැලූ බැල්මට සුළු ක්‍රියාවක් තුළින් බරපතල ප්‍රතිඵල අත්විය හැක.

මෙයට සමානවම, ඉතා සුළු කුසල ක්‍රියාවක් මගින් ඉමහත් වු ප්‍රතිඵලයක් ගෙනදිය හැක. හැකි පමණින් බුදුන් වහන්සේ වෙත පූජාවක් සිදුකළ දරුවෙකු සම්බන්ධ කථාවක් ඇත. එම පූජාවේ ප්‍රතිඵලයක් ලෙස, ඔහු දහස් ගණනින් බුද්ධ ස්මාරක ගොඩනැඟූ හා නොගිණිය හැකි තරම් වූ උතුම් කටයුතුවල නිරත වූ අශෝක අධිරාජයා ලෙස පුනර්භවය ලැබීය.

අත්හැර දැමීම හා කරුණාව

අප විසින් සිදුකරන ලද විවිධාකාර පාප ක්‍රියාවන් හා එ්වාහි ප්‍රතිවිපාක මෙනෙහි කිරීම වූකලි අපගේ සුවසෙත හා සතුට සහතික කිරීමේ ඉතා ඵලදායී ක්‍රමයකි. අපගේ පාපකාරිත්වය හේතුවෙන් අපටම අත්විඳීමට සිදුවන දුක පිළිබඳ සිතාබලා එ් අනුව මෙයාකාරයේ දුක්ඛිත බවක් අත්විඳීමට සිදු නොවන ආකාරයට ඉතා දැඩි පැතුමක් ඇතිකර ගන්නේ නම්, ඉන් අදහස් වනුයේ අප විසින් "අත්හැර දැමීම" ලෙස හැඳින්වෙන ගුණය ගොඩනගාගෙන ඇති බවයි.

මෙයාකාරයෙන් සිතීම සඳහා පුරුදු වීමමද භාවනා ක්‍රමයකි. පළමුව අපගේම දුක පිළිබඳ සිහිය ගොඩනගාගත යුතුය; ඉන්පසු මෙම සිහිය සියලු සත්ත්වයන් කෙරෙහි ව්‍යාප්ත කළ යුතුය. කිසිදු දුකක් විඳීම සියලු සත්ත්වයන්ගේ පැතුම නොවුවද ඔවුන් දුක නමැති විපතට හසුවී ඇත. මෙයාකාරයේ සිතිවිලි මගින් කරුණාව උත්පාදනය කෙරේ. අපගේම දුක් සියල්ලෙන් මිදීමේ පැතුම ගොඩනගාගෙන නොමැත්තේ නම්, අන් සත්ත්වයන් ඔවුන්ගේ දුකින් මිදේවාය යන පැතුම ගොඩනගා ගන්නේ කෙසේද? අපට අපගේ සියලු දුක කෙළවර කළ හැකි නමුදු, මෙය අවසානයේදී ප්‍රයෝජනවත් නොවේ. සතුටු වීම සිය පැතුම කරගත් සියලු සත්ත්වයන් වෙත අපට මෙම පැතුම ව්‍යාප්ත කිරීමට සිදුවේ. අපගේ සිත් පුහුණු කොට සියල්ලෝ ඔවුන්ගේ දුකින් මිදේවාය යන පැතුම ගොඩනැගිය හැක. මේ වූකලි වඩාත් පුළුල් හා වඩාත් ප්‍රයෝජනවත් චින්තන විලාසයකි.

අන් සජීවී සත්ත්වයන් කෙරෙහි අපගේ සැලකිල්ල දැක්විය යුත්තේ මන්ද? අපි අන්‍යයන් වෙතින් බොහෝ දේ ලබන බැවිනි. නිදසුනක් ලෙස, අප පානය කරන කිරි, එළ දෙනුන්ගේ හා මී දෙනුන්ගේ කරුණාව හේතුවෙන්ද, අප සීතලයෙන් හා සුළඟින්ද ආරක්ෂා කරන්නාවූ උණුසුම් ඇඳුම් බැටළු හා එළු හම්වලින්ද ලැබීම ආදී වශයෙනි. මෙහි දක්වන ලද්දේ ඔවුන්ගේ දුක මුලිනුපුටා දැමීමේ විධික්‍රමයක් සඳහා උත්සාහ දැරිය යුත්තේ මන්ද යන්නට නිදසුන් කිහිපයක් පමණි. 

මන්ත්‍රයක් ජප කිරීම හෝ යම්කිසි භාවනාවක් හෝ ලෙස වේවා අප විසින් පුරනු ලබන පිළිවෙත කවරාකාර වුවද, "මෙමගින් සියලු සප්‍රාණික සත්ත්වයන්ට සෙත සැලසේවා" යන සිතිවිල්ල නිරතුරුව පවත්වාගත යුතුය. මෙමගින් ස්වභාවිකවම අප වෙතද ප්‍රතිලාභ සැලසෙනු ඇත. මේ පිළිබඳ ඇගයීමක් අපගේ සාමාන්‍ය ජීවිත තත්ත්වයන් තුළින් ලබාගත හැක. නිදසුනක් ලෙස, යම් අයෙකු ආත්මාර්ථකාමීව නිරන්තරයෙන් සිය ලාභය තකා පමණක් කටයුතු කරන්නේ නම්, ඔහු අන්‍යයන්ට ප්‍රිය නොවනු ඇත. අනෙක් අතින්, නිරතුරු කාරුණික වූ ද, නිරතුරු අන්‍යයන් වෙත උපකාර කිරීමේ සිතිවිල්ලෙන් පසුවන්නාවූද අයෙකු වේනම් ඔහු සියල්ලන් හට ප්‍රියවේ.

අපගේ චිත්ත සන්තතිය තුළ ගොඩනගාගත යුතුවන සිතිවිල්ල වනුයේ "සියලු දෙනා සතුටින් සිටීවා. කිසිවෙකු හෝ දුකට පත් නොවේවා" යන්නයි. එය නැවත නැවතද සිහි කිරීම මගින් අපගේ සිතිවිල්ල තුළට මෙය ඇතුළත් කරගැනීමට උත්සාහ කළ යුතුය. මෙය අතිශයින්ම ප්‍රයෝජනවත් එකක් විය හැක. මෙයාකාර සිතිවිලි අතීතයේදී ගොඩනඟා ගන්නා ලද සත්ත්වයෝ මේවන විට මහා බුදුවරුන්, බෝධිසත්ත්වයන් හෝ ශාන්තුවරයන් බවට පත්ව ඇත; ලොව සියලු ශ්‍රේෂ්ඨ පුරුෂයන් හා ස්ත්‍රීන්ද මේ මත පදනම්ව කටයුතු කළහ. අප තුළම එය උපදවාගත හැක්කේ නම් එය කෙතරම් අසිරිමත්ද?

අපගේ ප්‍රියයන් ආරක්ෂා කරනු වස් අන්‍යයන්ට හානි සිදු කිරීමේ කර්මය

අපට උපදෙස් දෙන්නේ යමෙකු අප වෙත හානි කිරීමට උත්සාහ කරන විටදී ආත්ම ආරක්ෂාව සලසා නොගන්නා ලෙසද?

මෙම ප්‍රශ්නය මගින් ඉතා පෘථුල විෂයයක් හඳුන්වාදෙනු ලබයි. පොල්ලකින් හෝ කෝටුවකින් යමෙකු ඔබගේ හිසට පහර දුනහොත්, යහපත්ම ප්‍රතිචාරය විය යුත්තේ ඔබ මෙය ඔබගේම අතීත පාප ක්‍රියාවක් හේතුවෙන් අත් විඳින්නක් වන බවට සිතිවිල්ලක් ඇතිකර ගැනීමයි. අනාගතයේ අත්විඳිනු වෙනුවට මෙම පුද්ගලයා විසින් මෙකී කර්ම උරුමය මේ අවස්ථාවේදී ඵල දරන්නට අවකාශ සැලසීම පිළිබඳවද සිතා බලන්න. ඔබගේ චිත්ත ධාරාවෙන් මෙම පාපකාරී කර්ම ණය ඉවත් කිරීම පිළිබඳ ඔබ තුළ පැවතිය යුත්තේ කෘතඥතා පූර්වක හැඟීමකි.

මාගේ ආරක්ෂාව යටතේ පසුවන බිරිඳට හෝ දරුවාට යමෙකු විසින් පහර දුනහොත් මා ඔවුන් ආරක්ෂා කළ යුතුද? එසේ කිරීම පාප ක්‍රියාවක් වේද?

බිරිඳ හා දරුවා ආරක්ෂා කිරීම ඔබගේ කාර්යය හා වගකීම වන බැවින්, හැකිතාක් දුරට එම කාර්යය කුසල ක්‍රියාවක් ලෙස සිදුකිරීමට උත්සාහ කළ යුතුය. මෙහිදී ඔබ දක්ෂ විය යුතුය. වඩාත්ම යහපත් වනුයේ පහර දෙන්නාට හානි සිදු කිරීමකින් තොරව ඔවුන් ආරක්ෂා කිරීමයි. වෙනත් වචනවලින් පවසන්නේ නම්, කිසිදු හානියක් ඔබ අතින් සිදු නොවන පරිදි ඔවුන් ආරක්ෂා කිරීමේ විධික්‍රමයක් සොයාගත යුතුය.

ඔහුට මාගේ දරුවන්ට හානි කළ හැකි වුවද මා හට ඔහුට හානි කළ නොහැක්කේද? වනචාරී හා කෲර කටයුතුවලට එරෙහිව අපගේ දරුවන් රැකගැනීම අපගේ කාර්යය නොවන්නේද? හුදෙක්  අපගේ ජීවිත පූජා කරමුද?

මෙම තත්ත්වය දක්ෂ ලෙස කළමනාකරණය කරනු පිණිස ඔබට මහත් වූ දිරියක් පැවතිය යුතුවේ. වැළලී ගිය හෙවත් දියේ ගිලී ගිය සම්පතක් සොයා මිනිසුන් පන් සියයක කණ්ඩායමක් සමගින් මුහුදු ගමනක නියැලි නාවිකයෙකු වශයෙන් බුදුන් වහන්සේ පෙර භවයක බෝධි සත්ත්වයෙකු වශයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ විස්තරයක් පවතී. බොහෝ තණ්හාධික සිතිවිලි සහිත වූ එක් අයෙකු මෙම පිරිස අතර වූ අතර, සියලු ස්වර්ණාභරණ සොරකම් කොට තමා සන්තක කරගනු පිණිස ඔහු පන්සියයක් දෙනා මරා දැමීමේ කුමන්ත්‍රණයක නියැළිණි. බෝධිසත්ත්වයන් වහන්සේ හෙවත් ශාක්‍යමුණි බුදුරජාණන් වහන්සේගේ පෙර භවය නියෝජනය කළ තැනැත්තා මේ පිළිබඳ දැනුවත්ව සිටි අතර, එක් අයෙකු විසින් පන්සියයක් දෙනා මරා දැමිය හැකි බැවින් මෙම තත්ත්වය තව දුරටත් වර්ධනය වීමට අවකාශ සැලසීම නුසුදුසුය යන්න ඔහුගේ සිතිවිල්ල විය. එ් අනුව, මෙම තනි පුද්ගලයා මරා දමමින් හා එසේ මරා දැමීමේ පූර්ණ වගකීම තමා වෙත භාරගනිමින් පන්සියයක් දෙනා ආරක්ෂා කරගැනීමේ ඉතා ධෛර්යමත් සිතිවිල්ල ඔහු විසින් ඇතිකර ගන්නා ලදී. අන්‍යයන් ආරක්ෂා කරගනු වස් නිරයේ පුනරුත්පත්තිය ලැබීමේ ඉරණම පිළිගැනීමට සූදානම් නම් ඔබගේ එම සිතිවිල්ල මහත් සේ දිරිමත් සිතිවිල්ලක් වේ. ඉනික්බිති බුදුන් වහන්සේ විසින් පවා සිදුකළ පරිදි ඔබට මෙම ක්‍රියාවන්හි නිරත විය හැක.

එවන් තත්ත්වයන් යටතේ පවා පර පණ නැසීම පාප ක්‍රියාවක් ලෙස සැලකෙන්නේද?

මිතුරෙකුට ලිපියක් නමැති ලේඛනයෙහි නාගාර්ජුනයන් විසින් සඳහන් කරන ලද පරිදි, සිය මව්පියන්, දරුවන්, බුදු දහම හෝ තිසරණය ආරක්ෂා කිරීමේ නාමයෙන් පාප ක්‍රියාවන් සිදු කරන්නේ නම්, ඔහුට එ්වාහි විපාක විඳීමට සිදුවේ. වෙනස නම්, එ්වාහි ප්‍රතිවිපාක පිළිබඳ ඔබ දැනුවත්ද, නැත්ද යන්න හා ඔබගේ බිරිඳ හා දරුවා ආරක්ෂා කරගනු පිණිස පරාර්ථයෙන් යුතුව එම ප්‍රතිවිපාක විඳීමට සූදානම්ද යන්නයි. සතුරාට හානි කළහොත්, දුක් සහිත පුනර්භවයක් අත් විඳීමට ඔබට සිදුවේ. කෙසේ වුවද, "මාගේ බිරිඳ හා දරුවා දුකට පත් නොවනු පිණිස මම එම දුක මා වෙත පවරා ගන්නෙමි"යි සිතමින් මෙයට මුහුණ දීමට සූදානම් විය යුතුය.

එසේනම්, බුදු දහමට අනුව, එය තවදුරටත් පාප ක්‍රියාවක්ද?

ඔබගේ බිරිඳ හා දරුවා ආරක්ෂා කිරීම වූකලි ධනාත්මක, පුණ්‍ය ක්‍රියාවකි. එනමුදු, සතුරාට හානි පැමිණවීම වූකලි නිශේධනාත්මක, පාප ක්‍රියාවකි. මෙම ක්‍රියා දෙකෙහිම ප්‍රතිවිපාක පිළිගැනීමට ඔබ සූදානම් විය යුතුය.

යමෙකු විසින් පාප කර්ම ඉපදවුවහොත්, අනාගතයේදී දුක් විඳීමට සිදුවන නමුදු, පුණ්‍ය කර්ම සිදුකළහොත් සතුට ඔහු පසුපස ගමන් කරයි. මෙම යහපත් ක්‍රියාවන් තුළින් පුනර්භවයක් අත්විඳීමට සිදු නොවන ආකාරයේ පූර්ණ පව් කමාවක් ඇතිවේද?

පව් කමාවක් ලැබීමට අපේක්ෂා කරන්නේ නම්, දේශනාවන් පූර්ණ හා නිවැරදි ලෙස අනුගමනය කළ යුතුවේ. නිදසුනක් ලෙස, ඔබ ක්‍රිස්තියානි මාර්ගය අනුගමනය කරන්නෙක් නම්, ක්‍රිස්තුස් වහන්සේගේ දේශනා පූර්ණ වශයෙන් අනුගමනය කළ යුතුය. එ් අනුව කිතු දහමේ එන පව් කමාව ලබාගත හැකිවනු ඇත.‌ යේසුස් වහන්සේට පමණක් අප පව්වලින් ගලවාගත නොහැක; අපටද කිරීමට යමක් ඉතිරිව ඇත. නොඑසේ නම්, යේසුස් වහන්සේ පව් නොකරන ලෙස අවවාද කළේ මන්ද? යේසුස් වහන්සේගේ දේශනා නිවැරදිව පිළිපදින්නේ නම්, මාගේ අදහසට අනුව ක්‍රිස්තියානි පව් කමාව ලද හැක්කකි. බුදුන් වහන්සේගේ දේශනා නිවැරදිව අනුගමනය කළහොත්, බෞද්ධ "පව් කමාව" හෙවත් විමුක්තිය ලද හැක.

Top