සතුට කියන්නේ මොකද්ද?
හැමෝටම අවශ්‍යයි සතුටින්පිරි ජීවිතයක්. ඒත් ප්‍රශ්නෙ තමයි, මොකද්ද මේ සතුට කියන්නේ? මොකද්ද ඇත්තටම දිගුකල් පවතින, විශ්වාස කරන්න පුළුවන් සතුට? අපට මෙය සෑහෙන ගැඹුරින් බලන්න වෙනවා. ප්‍රධාන වශයෙන්ම අපේ ඉන්ද්‍රියයන්ගෙන් එන සතුට, එහෙම නැතිනම් ප්‍රීතිය - ඒ කියන්නේ හොඳ දෙයක් දැකීම, හොඳ දෙයක් ඇසීම, මිහිරි රසයක් හෝ සුවඳක් විඳීම වගේ දේවල් - යම් සංතෘප්තියක් ලබා දෙනවා. ඒත් මේ ඉන්ද්‍රීය අත්දැකීම් මත පදනම් වන වින්දනය හුඟාක් ඕලාරිකයි. ඔබට යම් යම් සැපපහසුකම් තියෙන වෙලාවට ඔබ කිසියම් ප්‍රීතියක්, සතුටක් හෝ වින්දනයක් ලබනවා. ඒත් විශාල කරදරකාරී ශබ්දයක් ඇහුණ ගමන්ම, ඒ වින්දනය තවදුරටත් නැහැ. එහෙම නැතිනම්, ඔබ දන්නවා රූපවාහිනිය නැරඹීමෙන් යම් වින්දනයක් ලබා ගන්න මිනිසුන්. රූපවාහිනිය නැතිව එක පැයකින් ඒ අයට එපා වීමක් දැනෙනවා. සමහර මිනිසුන් ලෝකයේ විවිධ පළාත්වලට සංචාරය කර, නිරන්තරයෙන්ම අලුත් ස්ථාන, සංස්කෘතීන්, සංගීතය සහ රසවර්ග අත්විඳිමින් විනෝද වෙන්න ආසයි. මා හිතන්නේ මෙය මානසික පුහුණුවක් මඟින් ආධ්‍යාත්මික සැනසීම නිර්මාණය කරගැනීමට ඇති හැකියාවේ අඩුවක් නිසා එන දෙයක්.
ඒත් අවුරුදු ගාණක් තිස්සේ ආරාමික ජීවන රටාවක් ගත කරන මිනිසුන් ඉන්නවා නේ, ඒ අය සතුටින්ම පිරුණු ජීවිතය අත්විඳිනවා. වතාවක් බාසිලෝනාවලදී මගේ ඉංග්‍රීසිවලට සමාන ඉංග්‍රීසි කතා කරන කතෝලික හිමිනමක් මට මුණගැහුණා, ඉතිං මා ඔහුත් සමග කතා කරන්න වැඩි උනන්දුවක් දැක්වුවා. මේ හිමිනම කඳුකර ප්‍රදේශවල වසර පහක් ආරාමික ජීවිතයක් ගත කර තියෙනවා කියා, සංවිධායක මට කිව්වා. මා ඔහුගෙන් ඇහුවා, තමුන්නාන්සේ කඳුකර ප්‍රදේශවල මොනවද කළේ කියා. ඔහු මට කීවා ප්‍රේමය (මෛත්‍රිය) ගැන භාවනා කිරීම, එහෙම නැතිනම් කල්පනා කිරීම කළා කියා. ඔහු මේක කියද්දි, මගේ මනසේ සැනසීම ගැන ඇත්තටම සතුටුවන බව හඟවමින් ඔහුගේ ඇස්වල සැබෑ විශේෂ පැහැදිලිකමක් තිබුණා. ඉන්ද්‍රීය අත්දැකීම් මත විශ්වාස නොතබා, වඩාත් ගැඹුරු වටිනාකම් සමහරක් වගා කර ගැනීමෙන් මනසේ සැනසීම උදාවන බවට මේක එක උදාහරණයක්. නිරන්තරයෙන් මෛත්‍රිය ගැන සිතීම අව්‍යාජ නිවුණු සැනසුණු බවක් නිර්මාණය කරනවා.
දැන් මා කතාවක් පවත්වන විට නිතරම මතුකර පෙන්වන කාරණයක් තමා භෞතික සංවර්ධනය කායික සුවපහසුව සඳහා අත්‍යවශ්‍යයි, ඒත් ඇත්තටම ඒ භෞතික වටිනාකම කවදාකවත් මානසික සුවපහසුව සපයා දෙන්නේ නැහැ කියා. ඇතැම් වෙලාවට, මිනිසුන් වඩවඩාත් ධනවත් වන විට වඩවඩාත් ලෝභ වෙනවා, ඊට පස්සේ ආතතියෙන් පෙළෙනවා. ප්‍රතිඵලය, නොසතුටින්පිරි පුද්ගලයෙක්. මේ නිසා, සතුටින්පිරි ජීවිතයක් ළඟා කරගන්න භෞතික වටිනාකම ගැන විතරක් විශ්වාසය තියන්න එපා. ද්‍රව්‍යාත්මක වටිනාකම් අවශ්‍යයි. ඒත් අපේ මානසික වටිනාකම් ගැන අප සෑහෙන බරපතල විදිහට බලන්න අවශ්‍යයි. අප ආගමක් අදහන මිනිසුන්ද නැද්ද යන්න වැදගත් නැහැ. මිනිසුන් හැටියට මානසික සැනසීම අත්‍යවශ්‍යයි.
මනසේ සැනසීම සහ මනා සෞඛ්‍ය
සමහර විද්‍යාඥයන් ඒ අයගේ පර්යේෂණවලට අනුව කියනවා අධික ආතතිය අධිරුධිර පීඩනය සහ වෙනත් එවැනි ගැටලු නිර්මාණය කරනවා කියා. ඒ වගේම, නිරන්තර භය, කෝපය සහ වෛරය අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය කා දමන බව සමහර වෛද්‍ය විද්‍යාඥයන් කියනවා. ඉතිං මනා සෞඛ්‍යයක් සඳහා වැදගත්ම සාධකයක් තමා මනසේ සැනසීම. මොකද සෞඛ්‍ය සමපන්න සිරුරක් සහ සෞඛ්‍ය සම්පන්න මනසක් හුඟාක් ළඟින් සම්බන්ධ වෙනවා. මගේම අත්දැකීමක් කියනවා නම්, අවුරුදු දෙකකට ඉස්සර එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී, මාධ්‍යවේදියෙකු මගේ පුනරුත්පත්තිය ගැන (මා අපවත් වී නැවත ඉපදීම ගැන) මගෙන් ඇහුවා. මා ඔහු දිහා සිනාමුසු මුහුණින් බලා මගේ කණ්ණාඩි දෙකත් ගලවලා ඇහුවා, “මගේ මූණ දිහා බැලුවාම මොකද හිතෙන්නේ, මගේ පුනරුත්පත්තිය ඉක්මන් වෙයි ද නැද්ද”. ඒක ඉක්මන් වෙන්නේ නැහැ කියා ඔහු කීවා.
මෑතකදී මා යුරෝපයේ ඉන්න විට, එදා ඉදන් සිටි සමහර මිතුරන් දැනට වසර විස්සකට, තිහකට, හෝ හතළිහකට පෙර ගත්තු ඡායාරූප අරන් සංසන්දනය කර බැලුවා. හැමෝම කියනවා, මගේ මුහුණ තවම තරුණ පෙනුමෙන් තියෙනවා කියා. මගේ ජීවිතයේදී, මා හිතන්නේ ඔබට වුණත් පේනවා ඇති, ගැටලු රාශියක් සමග අසීරු කාලපරිච්ඡේදයන් මා ඇත්තටම පසු කළා. ආතතිය, මානසික අවපීඩනය, හුදකලා බව ඇති කරන්න තරම් සාධක ඕනැ තරම් තිබුණා. ඒත් මගේ මනස සාපේක්ෂව සාමකාමීයි කියා මා හිතනවා. ඉඳල හිටල මට ටිකක් කේන්ති යනවා, ඒත් මගේ මානසික මට්ටම හුඟාක්ම සංසුන්.
රූපලාවන්‍ය ද්‍රව්‍යවලට හුඟාක් සල්ලි වියපැහැදම් කරන තරුණ කාන්තාවන්ට මා ඔච්චම් කරන්නත් කැමතියි. ඉස්සරවෙලාම, ඔබේ සැමියා ඔබට කියන්න ඉඩ තියෙනවා, ඒවා ගිනි ගණං! එක්තරා විදිහකට, බාහිර ලස්සන වැදගත් තමා, ඒත් වඩා වැදගත් වෙන්නේ ඇතුළතින් ලස්සන වීම. ඔබට ලස්සන මූණක් තියෙන්න පුළුවන්. ඒත් වත්සුණු තවරා නැති කැත මූණත් හොඳයි අවංක සිනහවක් සහ සෙනෙහසක් තියේ නම්. ඒ තමයි ඇත්තම ලස්සන. සැබෑ වටිනාකම තියෙන්නේ අපේ ඇතුළෙමයි. බාහිර සවපහසුව සඳහා සල්ලි ගොඩක් අවශ්‍යයි - කොයිවෙලේත් ලොකු ලොකු සාප්පු, ලොකු ලොකු සුපිරි වෙළෙඳසැලවල්. ඒත් මානසික සැනසීමට වියදමක් යන්නේ නැහැ. මේ ආධ්‍යාත්මික වටිනාකම් ගැන හිතන්න, ඒවාට ඔබම හුරුවෙන්න. එතකොට ටික ටික අනර්ථකාරී මනෝභාවයන් අඩුවෙලා යනවා. එයින් තමා මානසික සැනසීම උදාවෙන්නේ.
අනෙක් අයගේ යහපැවැත්ම උදෙසා සොයා බලන්න ඕනෙයි කියන ආකල්පයෙන් යුත් කරුණාව ආත්ම-විශ්වාසය ඇති කරනවා. ඔබට ආත්ම-විශ්වාසය තියේ නම් ඔබේ හැම ක්‍රියාවක්ම විනිවිදභාවයකින් යුතුව, විශ්වාසවන්ත ලෙස, අවංකව ඉටු කරන්න ඔබට පුළුවන්. මෙමඟින් අනෙක් අය සමග විශ්වාසය ගොඩනැඟෙනවා. විශ්වාසය තමයි මිත්‍රත්වයේ පදනම. මිනිසුන් කියන අපි මිතුරන් අවශ්‍ය කරන සමාජ සත්ත්වයෝ. බලයෙන් හෝ ධනයෙන් හෝ අනිවාර්යයෙන් මිතුරන් එන්නේ නැහැ, අධ්‍යාපන තත්ත්වයෙන් හෝ දැනුමෙන් හෝ එන්නෙත් නැහැ. මිත්‍රත්වයට අවශ්‍ය කරන ප්‍රධානම සාධකය තමා විශ්වාසය. ඉතිං, අනෙක් මිනිසුන්ගේ ජීවිතවලට සහ යහපැවැත්මට ගරුකරන, ඒ අයගේ උවමනා එපාකම් සොයා බලන හැඟීම තමා එබඳු මිත්‍රසංවාදයක පදනම වෙන්නේ.