ශ්‍රේණිගත බෞද්ධ මාර්ගය අනුගමනය කරන ආකාරය හා අනුගමනය කිරීමට හේතුව

ලම්-රිම් හෙවත් ශ්‍රේණිගත මාර්ගය යනු කවරක්ද, හා එය බුදුන්ගේ දේශනා තුළින් ප්‍රභවය ලද්දේ කෙසේද?

ශ්‍රේණිගත මාර්ගය හෙවත් ලම්-රිම් වූකලි මූලික බෞද්ධ දේශනාවන් වෙත ප්‍රවේශ වී ඒවා අපගේ ජීවිත තුළට ඒකාබද්ධ කරගැනීමේ මාර්ගයකි. භික්ෂු සමාජයක් හා පසු කාලීනව භික්ෂුණී සමාජයක්ද සමගින් බුදුන් වහන්සේ වසර 2,500කට පෙර ජීවත්ව සිටි සේක. උන් වහන්සේ විසින් සංඝ සමාජයන් වෙත දේශනා පැවැත්වූවා පමණක් නොව, නිරන්තරයෙන් විවිධ පුද්ගලයන්ගේ නිවෙස් වෙත ආරාධනා කරනු ලැබ දන් වැළඳීමෙන් අනතුරුව ධර්ම දේශනාවක්ද පවත්වන ලදී.

බුදුන් වහන්සේ නිරතුරු "කුසලතා පූර්ණ විධික්‍රම" ලෙස අප හඳුන්වන ස්වරූපයෙන් දේශනා පැවැත්වූ අතර එමගින් හැඳින්වෙනුයේ අන් අයට වටහා ගැනීමට හැකිවන අයුරින් දේශනා පැවැත්වීමයි. බොහෝ වූ හා විවිධාකාරයේ බුද්ධිමය හා ආධ්‍යාත්මික සංවර්ධන මට්ටම් පවත්නා බැවින් හා පැවති බැවින්, එම දේශනා ක්‍රමය අවශ්‍ය වූවක් විය. මේ හේතුකොට බුදුන් වහන්සේ බොහෝ විවිධ මට්ටම් නියෝජනය කළ මාතෘකා ගණනාවක් සම්බන්ධයෙන් දේශනා පැවැත්වූ සේක.

බුදුන් වහන්සේගේ බොහෝ ශ්‍රාවකයන් හට අති ප්‍රබල මතක ශක්තියක් පැවතිණි. එකල කිසිවක් හෝ ලේඛනගතව නොපැවති අතර මුඛ පරම්පරාගතව ඉදිරියට ගෙන එනු පිණිස දේශනා භික්ෂූන් විසින් කට පාඩම් කරගන්නා ලදී. අවසන දේශනා ලේඛනගත කරන ලද අතර ඒවා සූත්‍ර ලෙස ප්‍රසිද්ධ විය. මින් ශතවර්ෂ ගණනාවකට පසු බොහෝ භාරතීය මහා ගුරුවරුන් විසින් මෙම කරුණු සංවිධානය කොට ඒ සියල්ල පිළිබඳ අටුවා ලිවීමේ උත්සාහයක නිරත විය. තිබ්බතය බලා ගිය එක් භාරතීය ගුරුවරයෙකු වී අතීෂයන් විසින් එකොළොස්වන සියවසේදී ලම්-රිම් හෙවත් ශ්‍රේණිගත ක්‍රමයේ මූලාකෘතිය සකස් කරන ලදී.

අතීෂයන්ගේ මූලාකෘතිය තුළ සෑම අයෙකු හටම බුද්ධත්වයට පත්වීම දක්වා වර්ධනය විය හැකි විධික්‍රමයක් ඉදිරිපත් කරන ලදී. හුදෙක් සූත්‍ර අතරින් පතර කියවීම මගින් බුද්ධත්වයට පත්වීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ස්ථානය හෝ එය සාක්ෂාත් කරගන්නා ආකාරය ඇතුළත් පැහැදිලි ආධ්‍යාත්මික මාර්ගයක් අවශ්‍යයෙන්ම ලැබීමක් සිදු නොවේ. සියලු කරුණු එහි අන්තර්ගත වුවද ඒ සියල්ල එකට ගොනු කිරීම පහසු කාර්යයක් නොවේ.

සැබෑ ලෙසම අවශ්‍ය කරුණු ශ්‍රේණිගත අනුපිළිවෙලකට ඉදිරිපත් කරමින් මෙයයි ශ්‍රේණිගත මාර්ගය තුළදී සිදු වනුයේ. අතීෂයන්ගෙන් අනතුරුවද තිබ්බතය තුළ විවිධාකාර වූද වඩාත් විස්තෘත වූද සංස්කරණයන් ලියැවිණි. මෙම කරුණු පිළිබඳ විශාලතම විස්තර කිරීම අන්තර්ගත විය හැකි, ෂොංඛපා විසින් පසළොස්වන සියවසේදී ලියන ලද සංස්කරණය විමසා බලමු. ෂොංඛපාගේ නිර්මාණයේ සුවිශේෂී ලක්ෂණයක් වනුයේ ඔහු විසින් හුදෙක් කිසිවක් හෝ ප්‍රබන්ධකරණය කොට නොමැති බවට විශ්වාසයක් ගොඩනැගෙන පරිදි සූත්‍ර හා භාරතීය අටුවාවන්ගෙන් ගත් උපුටා ගැනීම් එතුළ අන්තර්ගත වීමයි.

තවත් සුවිශේෂී ලක්ෂණයක් වනුයේ තර්කනය හා හේතු සාධක විමසා බැලීම මත පදනම්ව දේශනාවන්හි වලංගුභාවය පිළිබඳ වඩාත් ප්‍රබල විශ්වාසයක් ගොඩනැගෙන අයුරින් විවිධ ලක්ෂණයන් පිළිබඳ ඉතා සවිස්තරාත්මක හා තර්කානුකූල ගෙනහැර දැක්වීම් ෂොංඛපා විසින් ඉදිරිපත් කිරීමයි. ෂොංඛපාගේ විශේෂ ලක්ෂණය වූයේ වඩාත් දුෂ්කර කරුණු මඟහැර යාමේ ප්‍රවණතාවයක් දැක්වූ පෙර කාලීන අන් ගුරුවරුන් මෙන් නොවී ඒවා පිළිබඳ සිය අවධානය යොමු කිරීමයි. තිබ්බතීය බෞද්ධ සම්ප්‍රදායන් සතර අතරින් ෂොංඛපා විසින් ආරම්භ කරන ලද සම්ප්‍රදාය "ගෙලුග්පා" සම්ප්‍රදාය ලෙස හැඳින්වේ.

ආධ්‍යාත්මික මාර්ගයක් යන්නෙන් අදහස් කෙරෙනුයේ කවරක්ද? එය ව්‍යුහගත කරනුයේ කෙසේද?

සැබෑ ප්‍රශ්නය වනුයේ ආධ්‍යාත්මික මාර්ගයක් ව්‍යුහගත කරනුයේ කෙසේද යන්නයි. ඉන්දියාව තුළ පොදුවේ බොහෝවූ විවිධ ක්‍රම දේශනා කරන ලදී. නිදසුනක් ලෙස සතිය වර්ධනය කිරීමේ ක්‍රම බුදුන් වහන්සේගේ සමයේ අන් සියලු භාරතීය සම්ප්‍රදායන් තුළ පොදුවේ දක්නට ලැබිණි. එය උන් වහන්සේ විසින් සොයාගත් හෝ සකස් කරන ලද දෙයක් නොවේ. අපගේ අභ්‍යන්තර දියුණුව ඇතිකරගැනීමේ මාර්ගය සම්බන්ධයෙන් ගත්කල, ආධ්‍යාත්මික මාර්ගය තුළට සිහිය හා අන් සියලු පැතිකඩයන් ගෙන ආ හැක්කේ කෙ‍ෙස්ද යන්න විමසා බැලිය යුතු බවට සියලු දෙනා විසින් එකඟ වන ලදී.

අපගේ අභ්‍යන්තර දියුණුව ඇතිකර ගන්නේ කෙසේද යන කරුණට අදාල බොහෝ සාධක වටහා ගැනීම සඳහා බුදුන් වහන්සේ විසින් විවිධ විග්‍රහයන් සිදු කරන ලද නමුත් සැබෑ ලෙසම සුවිශේෂී වනුයේ ආධ්‍යාත්මික අරමුණු හා සම්බන්ධ උන් වහන්සේගේ අවබෝධයයි. විවිධ ශ්‍රේණි තුළට ඇතුළත් කර ඇත්තාවූ මෙකී ආධ්‍යාත්මික අරමුණු පිළිබඳ ප්‍රධාන මූලධර්මය වනුයේ අපගේ පෙළඹීමයි.

සාහිත්‍යයෙහි දී ඇති යෙදුම නම් ලම්-රිම් යන්නයි. මෙහි "ලම්" යන්න "මාර්ගය" වශයෙන් පරිවර්තනය කෙරෙන අතර "රිම්" යන්නෙන් මෙම මාර්ගයෙහි ශ්‍රේණිගත අදියරයන් හැඳින්වෙයි. මෙම මාර්ගය වනුයේ අපගේ අරමුණට ළඟාවනු පිණිස ශ්‍රේණිගත අනුපිළිවෙලට වර්ධනය කරගත යුතුවන විවිධ චිත්ත ස්වභාවයන් වේ. එය අප සංචාරය කරන විටදී සිදුවන තත්ත්වයකට සමාන වේ; අපට රුමේනියාවේ සිට ඉන්දියාව දක්වා බිමින් සංචාරය කිරීමට අවශ්‍ය වන්නේ නම්, එවිට ඉන්දියාව අපගේ අවසන් අරමුණ වේ. එනමුදු, අවසන ඉන්දියාවට පිවිසීමට පෙර අපට තුර්කිය, ඉරානය ආදී රටවල් හරහා ගමන් කිරීමට සිදුවේ.

ආධ්‍යාත්මික පෙළඹීම: අපගේ ජීවිතවලට අර්ථයක් එක් කිරීම

ලම්-රිම් හෙවත් ශ්‍රේණිගත මාර්ගය තුළ ශ්‍රේණිගතව පවත්නේ අපගේ පෙළඹීම වන අතර එය බෞද්ධ ඉදිරිපත් කිරීමට අනුව කොටස් දෙකකින් සමන්විත වේ. පෙළඹීම යන්න අප තුළ පවත්නා යම් අරමුණක් හෝ අභිමතාර්ථයක් සහ එම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා අප යොමු කරන්නාවූ භාවයක් හා සම්බන්ධ වේ. වඩාත් නිවැරදිව සඳහන් කරන්‍නේ නම්, අපට යම් අරමුණක් සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය වන්නේ මන්ද යන්න පිළිබඳ යම් හේතුවක් ද අප ඒ කරා යොමු කරවන්නාවූ භාවයක්ද පවතී.

අපගේ එදිනෙදා ජීවිත සම්බන්ධයෙන් මෙතුළ පූර්ණ අදහසක් පවතී; අප තුළද ජීවිතයේ විවිධ අදියරයන්හි විවිධ අරමුණු ඇත. නිදසුනක් ලෙස, අපටද අධ්‍යාපනයක් ලැබීමට, ජීවන සහකරුවෙකු හමුවීමට හෝ මනා රැකියාවක් සොයා ගැනීමට ඈ වශයෙන් වූ උවමනා පවතී. මේ හා සම්බන්ධ ධනාත්මක මෙන්ම සෘණාත්මක භාවයන්ද පැවතිය හැකි අතර එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. කෙසේ වුවද, ඉදිරියට ගමන් කිරීමේ පෙළඹීම හා සම්බන්ධ මෙකී ඉදිරිපත් කිරීම අපගේ සාමාන්‍ය ජීවිතවලටද අදාල දෙයක් වේ.

අපගේ ආධ්‍යාත්මික පෙළඹීම් සම්බන්ධයෙන්ද මෙම කරුණ සත්‍ය වේ. මේවා වූකලි මුළුමනින්ම අපගේ එදිනෙදා ජීවිතයට අදාල වන්නාවූ චිත්ත ස්වභාවයන් වේ. අපි අපගේ ජීවිත සම්බන්ධයෙන් කුමක් සිදු කරන්නෙමුද? අපගේ පවුල්, රැකියා ආදිය ඇතුළත් "ලෞකික මට්ටමක්" පවතී. එසේ නමුදු, අපි ආධ්‍යාත්මික මට්ටමේදී කුමක් කරන්නට යන්නේද? මෙය අප ජීවත්වන ආකාරය කෙරෙහිද බලපාන්නකි. මෙකී පැතිකඩ දෙක එකිනෙකට පරස්පර හෝ අන්‍යෝන්‍ය වශයෙන් වෙන්වූ ඒවා නොව යම් ආකාරයකින් සාමුහිකව ඒකාබද්ධ වන ඒවා වීම ‍අපගේ ජීවිතවල ඉතා වැදගත් වේ.

ඒවා ඒකාබද්ධ විය යුතුවා පමණක් නොව, ඒ එකිනෙකක් අනෙකට සහායක විය යුතුය. අපගේ ආධ්‍යාත්මික ජීවිතය මගින් අපගේ සාමාන්‍ය ලෞකික ජීවිතය ගතකිරීම සඳහා ශක්තියක් ලබාදිය යුතු අතර, අපගේ ලෞකික ජීවිතය මගින් අපගේ ආධ්‍යාත්මික ජීවිත පිළිවෙත් රැකීමට හැකිවනු පිණිස අවශ්‍ය සම්පත් අප වෙත ලබාදිය යුතුය. මෙකී ලම්-රිම් ශ්‍රේණිගත අදියරයන් තුළින් ඉගෙන ගන්නා සෑම කරුණක්ම අපගේ එදිනෙදා ජීවිතයට අදාල කරගත යුතුය.

වඩා යහපත් පුද්ගලයෙකු බවට පත්වීම

එසේනම් මෙහි ඉදිරිපත් කොට ඇති බෞද්ධ පිළිවෙත් මගින් කුමක් කරමුද? සාමාන්‍ය ව්‍යවහාරයේ එන බෞද්ධ ප්‍රතිපත්තිය වචන කිහිපයකින් සාරාංශ කර දැක්විය හැක. සරල භාෂාවෙන් සඳහන් කරන්නේ නම්, අපි වඩා යහපත් පුද්ගලයන් බවට පත්වීම සඳහා ස්වයං වර්ධන ක්‍රියාවලියක නිරතව සිටින්නෙමු. "වඩා යහපත් පුද්ගලයා" යන මෙම යෙදුම විනිශ්චයක ස්වරූපයෙන් දිස්විය හැකි නමුත් මෙහිදී කිසිසේත් විනිශ්චය කිරීමක් සිදු නොවේ. කාරණය එය නොවේ. අපි කෝපය, ලෝභය, ආත්මාර්ථය ආදී අප සියල්ලන් සතුව ඇතැම් විට පවත්නා සෘණාත්මක භාවයන් හා පාපකාරී චර්යාවන් මැඩ පැවැත්වීමට පමණක් උත්සාහ කරනක්නෙමු.

කිසි ලෙසකිනුදු මෙයාකාරයේ අරමුණක් ඉලක්කගත එකම ආගම හෝ දර්ශනය බුදු දහම පමණක් නොවේ. එම අරමුණම ක්‍රිස්තියානියේ, ඉස්ලාම් දහමේ, යුදෙව් ආගමේ, හින්දු ආගමේද හමුවන අතර මානවවාදය තුළද එය හමුවේ. එය සියලු තැන්හි පවතී. මෙම සෙසු ආගම්හි හමුවන කරුණු මෙන්, බෞද්ධ විධික්‍රම මගින්ද ශ්‍රේණිගත ක්‍රමයකට වඩාත් යහපත් පුද්ගලයෙකු බවට පත් වීමේ ප්‍රවේශයක් ලබා දෙමින් මෙයාකාරයේ අරමුණක් සාක්ෂාත් කරගැනීමට අපට උපකාර කළ හැක. "වඩා යහපත් පුද්ගලයෙකු බවට පත්වීම" සඳහා පළමුව සෙස්සන් වෙත හානි පමුණුවන්නාවූ පාපකාරී ක්‍රියාවන්ගෙන් වැළකිය යුතු වේ. මේ සඳහා යම් ආකාරයක ස්වයං පාලනයක් පවත්වාගත යුතු වේ. වඩාත් ගැඹුරු මට්ටමකින් ගත්කල, මෙය සිදුකළ හැකිවන විටදී, සැබෑ ලෙසම හානිකර ලෙස ක්‍රියාත්මක වීමට බලපාන්නාවූ දෙය මැඩ පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවේ: කෝපය, ලෝභය, ඇල්ම, ඊර්ෂ්‍යාව, වෛරය ආදී වශයෙනි. මෙම කාර්යය සිදුකරනු සඳහා, මෙම සෘණාත්මක භාවයන් ඉස්මතුවන ආකාරය හා ඒවා ක්‍රියාත්මකවන ආකාරය අවබෝධ කරගත යුතුවේ. මෙයාකාරයෙන් මෙකී කැළඹිලිකාරී භාවයන් අවම කිරීම හෝ මුලිනුපුටා දැමීම සඳහා උපකාරී වන්නාවූ යම් ආකාර අවබෝධයන් අප විසින් ගොඩනගා ගත යුතුවේ.

ඉන්පසු වඩාත් ගැඹුරට යමින් අප පිළිබඳව පමණක් කල්පනා කිරීමේ ආත්මාර්ථය හා ආත්ම කේන්ද්‍රීය විලාසය හඳුනා ගනිමින් මෙම සියලු කැළඹිලිකාරී භාවයන්හි පදනමේ සැබෑ ලෙසම පවත්නා දේ සම්බන්ධයෙන් කටයුතු කළ හැකි වේ. "මම නිරතුරු මා හට අවශ්‍ය පරිදි කටයුතු කරමි" යනුවෙන් සාමාන්‍යයෙන් අපි සිතන්නෙමු. අපට අවශ්‍ය පරිදි කටයුතු සිදු නොවන විටදී, බොහෝ විට කෝපයට පත් වන්නෙමු. නිරන්තරයෙන් අපට අවශ්‍ය පරිදිම කටයුතු සිදුවන්නේ නම් යහපත්ය යන්න අපගේ අදහස වුවද, එය එසේ විය යුත්තේ මන්ද? එය එසේ විය වීම අපට අවශ්‍යය යන කරුණ හැර කිසිසේත් එය එසේ විය යුතු බවට හේතුවක් නොමැත. සියල්ලෝ එසේම සිතන අතර අප සියලු දෙනා නිවැරදි විය නොහැක.

මෙකී මූලිකම මට්ටමේ සිටින කරදරකාරයාගෙන් මිදීම සඳහා හැකිතාක් දුරට ක්‍රම ක්‍රමයෙන් කාලයත් සමග කටයුතු කරන්නෙමු. විග්‍රහ කරන බලන විටදී, අපගේ ආත්මාර්ථකාමිත්වය අපගේ "මා" හා "මමෙක් ඇත" යන සංකල්පය මත රඳා පවතී. වෙනත් වචනවලින් පවසන්නේ නම්, අපගේ පැවැත්ම පිළිබඳ සංකල්පය අප එකිනෙකා විශ්වයේ කේන්ද්‍රය වන අතර අන් සියල්ලන්ගෙන් ස්වාධීනව වඩාත් වැදගත්කමකින් යුත් පුද්ගලයාය යන අදහසින් "මම විශේෂ වූ අයෙක්මි" යන මෙම අදහස මත පදනම් වේ. මෙතුළ පැහැදිලිවම ඉතාමත් වැරදි සහ විකෘති අන්තර්ගතයක් පවත්නා බැවින් මෙම වැටහීම විමසා බැලිය යුත්තකි. මෙයයි නිශ්චිතවම ශ්‍රේණිගත මාර්ගය තුළ ආමන්ත්‍රණය කරනු ලබන්නේ.

පෙළඹීමේ ශ්‍රේණිගත මට්ටම්: මෙලොව සුවසෙත උදෙසා ධර්මය යොදාගැනීම

බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ක්‍රම මෙයාකාරයේ අභිමතාර්ථ සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ. මූලිකව, කෝපය හා ආත්මාර්ථය වැනි හානිකර චර්යාවන් හා සෘණාත්මක හැඟීම් වළකාගත යුතුවන හේතුවක් අපට ඇත. ඇතැම් විට මෙම හේතුව මෙම හැඟීම්වල බලපෑමට යටත්ව කටයුතු කරන විටදී අප්‍රසන්න ස්වභාවයක් පවත්නා අතර අපට මෙන්ම අන්‍යයන් හටද ගැටළු ඇතිකරන්නේය යන අවබෝධය විය හැක. අපට මෙම ගැටළු ඇතිකර ගැනීමට අවශ්‍ය නැත.

මෙම ගැටළු ඇතිවීමේ ස්වභාවයටද ශ්‍රේණිගත අයුරින් ප්‍රවේශ විය හැක. ඇතැම් ආකාරයන්ගෙන් කටයුුතු කරන්නේ නම්, එමගින් මේ අවස්ථාවේදීම ගැටළු හා දුෂ්කරතා නිර්මාණය කෙරේ. නිදසුනක් ලෙස, යමෙකු හා තදබල ගැටුමක් ඇතිකර ගනිමින් ඔහුට තුවාල සිදුකළ හොත්, අපටද පෙරළා වේදනා ඇතිවීමේ හා බන්ධනාගාර ගතවීමට සිදුවීමේ ඉඩකඩක් ඇත. වඩාත් ගැඹුරින් සලකා බලන්නේ නම්, අපට අපගේ හානිකර චර්යාවන්ගේ දිගු කාලීන ගැටළුද විමසා බැලිය හැක. මක් නිසාද, හුදෙක් මේ අවස්ථාවේදී පමණක් නොව අනාගතයේ ඇතිවිය හැකි ගැටළුද වළකාලීමට අපට ‍අවශ්‍ය වන බැවිනි. මෙම කරුණ තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ නම්, අපට අපගේ පවුල, ආදරණීයයන්, මිතුරන් හා සමාජය වෙත කරදර හා ගැටළු ඇතිවීම වළකාලීමටද අවශ්‍ය විය හැක. මේ සියල්ල මෙම ජීවිත කාලය නමැති සීමා මායිම තුළට ඇතුළත් කරුණු වේ. වැඩිදුරටත් ඉදිරියට සාකච්ඡා කරන්නේ නම්, ගෝලීය උණුසුම්වීම වැනි අනාගත පරම්පරාවන් වෙත දුෂ්කරතා ඇති කිරීමෙන් වැළකී සිටීමට අවශ්‍ය වීම ආදී වඩාත් පුළුල් ලෙස සියල්ලන් අන්තර්ගත කරුණු පිළිබඳවද සිතා බැලිය හැක.

මෙකී සියලු පෙළඹීම් සහිතව පසුව එන තත්ත්වයන් ගොඩනගා ගන්නා විටදී පෙර පැවති තත්ත්වයන් ඉවත හෙළන බවක් ඉන් අදහස් නොවේ. ඒ වෙනුවට, ඒවා ඒකරාශි වී එකිනෙක පෝෂණය කරයි. මෙය ශ්‍රෙණිගත මාර්ගය පිළිබඳ පොදු මූලධර්මය වේ. මා විසින් ඉහත විස්තර කරන ලද සියල්ල "මෙලොව යහපත පිණිස ධර්මය යොදාගැනීම" වේ. එතුළ පුනරුත්පත්තිය පිළිබඳ කිසිදු සඳහනක් රහිතව මෙම ජීවිතය සම්බන්ධයෙන් පමණක් "ධර්මය" හෙවත් බෞද්ධ දේශනාවන් යොදාගන්නා ආකාරය ඉදිරිපත් කරනු ලබයි. මා විසින් "මෙලොව යහපත පිණිස ධර්මය යොදාගැනීම" හා "සැබෑ ධර්මය" සාමාන්‍ය කොකා කෝලා සහ සැබෑ සීනි-සංගත කො‍කා කෝලා බීම අතර සම්බන්ධය හා සමාන්තර කොට දක්වා ඇත.

මෙලොව ජීවිතය වැඩි වර්ධනය කරගැනීම සඳහා පමණක් සිතමින් පුනරුත්පත්තිය සඳහා සැකයේ වාසිය ලබාදීම

 “ධර්මය” යනු බුදුන් වහන්සේගේ දේශනා පිළිබඳ අදහස් කෙරෙන සංස්කෘත වචනයයි. "මලොව යහපත සඳහා යොදාගැනීම" යන්න තුළ කිසිදු වරදක් පවත්නා බව නොදක්වන නමුදු එය ප්‍රබල හා සැබෑ සංස්කරණය නොවන බව දක්වයි. තිබ්බතීය සම්ප්‍රදායන් තුළ අපට හමුවන ලම්-රිම් හෙවත් ශ්‍රේණිගත මාර්ගය පිළිබඳ දක්වන ඉදිරිපත් කිරීම සැබෑ දෙය වන නමුදු ආරම්භයේදී මෙය අප බොහෝ දෙනෙකු හට පමණ ඉක්මවූවක් විය හැක. මෙයට ප්‍රධාන හේතුව වනුයේ එතුළ අප පුනරුත්පත්තිය පූර්ණ වශයෙන් විශ්වාස කරන අතර පුනර්භවයක් පවත්නේය යන්න සම්පූර්ණයෙන්ම විශ්වාස කරන බවක් මුළුමනින්ම උපකල්පනය කිරීමයි. මෙම අදහසට අනුව, අපගේ මතු ජීවිතවල ගැටළු ඇතිවීම වළක්වා තත්ත්වය දියුණු කරගැනීමට කටයුතු කිරීම අපි ආරම්භ කරන්නෙමු.

මතු භවයන් පිළිබඳ විශ්වාස නොකළේ නම්, අපගේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරගැනීමේ අපගේ පෙළඹීම විෂයයෙහි අවංක වනුයේ කෙසේද? එය කළ නොහැක්කකි. අතීත හා අනාගත ජීවිත සම්බන්ධ ප්‍රශ්න පවත්නා විටදී, අපට ඒවා ඒත්තු ගැන්වී හෝ වැටහී හෝ නොමැති විටදී, අප මෙලොව ජීවිතයේ යහපත උදෙසා ධර්මය උපයෝගි කරගැනීමෙන් ආරම්භය ගත යුතුය. අපගේ ආධ්‍යාත්මික පිළිවෙත් තුළ සැබෑ ඉලක්කය කවරක්ද යන්න පිළිබඳ අප අපටම අවංක විය යුතුය.

බොහෝ දෙනෙකු විසින් මෙම ජීවිතය දැනට පවත්නා තත්ත්වයට වඩා තරමක් යහපත් තත්ත්වයට පත්කර ගැනීම අරමුණු කරයි. එය වූකලි ආරම්භයක් හා ඉතාමත් අවශ්‍ය පියවරකි. ධර්මය මෙලොව ජීවිතයේ යහපත තකා යොදාගැනීමේ මෙම මට්ටමට ළඟාවූ විටදී, එය මොලොව යහපත තකා යොදාගන්නා පාර්ශ්වය විනා ධර්මයේ සමස්තය හෝ සැබෑ ධර්මයම නොවන බව පිළිගැනීම වැදගත්ය. මෙම දෙවර්ගය පටලවා ගැනීමෙන් බුදු දහමද තවත් චිකිත්සාවක් හෝ ස්වයං උපකාරකයක මට්ටමට පහත හෙළන්නෙමු. මක්නිසාද, එය සීමාකරණයක් විනා බුදු දහමට කරන සාධාරණයක් නොවන බැවිනි.

සැබෑ ධර්මය සත්‍ය ලෙස විශ්වාස කිරීම කෙසේ වුවද අවම වශයෙන් එය කුමක්ද යන්න වටහාගෙන පවා නොමැත්තේද යන තත්ත්වය පිළිගත යුතුවේ. අප විවෘත මනස් සහිතව "මතු ජීවිත හා විමුක්තිය පිළිබඳ ප්‍රකාශ කෙරෙන දේ නිවැරදිද යන්න මට නිශ්චිතව විශ්වාස නොමැති නමුත් දැනට මෙලොව යහපත පිණිස ධර්මය යොදාගැනීමේ මට්ටමින් කටයුතු කරනවා. වැඩිදුරටත් අවබෝධය දියුණු කරගනිමින් තව තවත් භාවනා කරන විටදී, ඇතැම් විට, සැබෑ බුදු දහම පිළිබඳව මා හට තවදුරටත් වැටහෙනු ඇත" යන සිතිවිල්ල ඇතිකරගත යුතුය. මෙය වූකලි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය හා උන් වහන්සේ මෙම කරුණු හුදෙක් අර්ථ විරහිතව දේශනා නොකළ බවට වූ අවබෝධයද මත පදනම් වූ පරිපූර්ණ වශයෙන් වලංගු හා යහපත් ප්‍රවේශයකි. 

නිදසුනක් ලෙස මතු ජීවිත හා විමුක්තිය අර්ථ නිරූපණය කරන පරිදි අප තුළම පවත්නා ඇතැම් අදහස් මුළුමනින්ම සාවද්‍ය වන අතර බුදු දහම විසින් ද එම පූර්වයෙන් සිතාගත් අර්ථ නිරූපණ හෝ විග්‍රහයන් භාර නොගන්නා බවද අපට පිළිගත හැක. ඒ අනුව, යම් කිසිවක් තුළින් අදහස් කෙරෙන බවට අප සිතන දෙය හෝ අප සමච්චල් සහගත ලෙස සිතන දේ බුදුන් වහන්සේ විසින්ද සමච්චල් සහගත හෝ පිළිකුල් සහගත‍ ලෙස දකිනු ඇත. මක් නිසාද, එය සම්පූර්ණයෙන්ම වැරදි සහගත වැටහීමක් වන බැවිනි. නිදසුනක් ලෙස, අප වූකලි ශරීරයෙන් ඉවතට පියඹා යන්නාවූ පියාපත් සහිත ආත්මයක් වන අතර එය ඉන්පසු වෙනත් සිරුරකට ඇතුළු වන්නේය යන්න බුදුන් වහන්සේ විසින්ද නොපිළිගනු ඇති කරුණකි. අපට සර්ව බලධාරී දෙවියන් වහන්සේලා විය හැක්කේය යන අදහසද බුදුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරනු ඇත.

ආරම්භයක් රහිත පුනරුත්පත්තියක් පිළිබඳ සිතීමේ වාසි

මෙම ශ්‍රේණිගත මාර්ගය තුළ ඉදිරිපත් කර ඇති බොහෝ විධික්‍රම බුදු දහම මෙලොව යහපත පිණිස පමණක් යොදා ගැනීමේ ක්‍රමය හෝ සැබෑ ධර්ම මාර්ගය යන කවර ක්‍රමයකට හෝ යොදාගත හැක. කෙසේ වුවද, මතු භවයන් අවබෝධ කරගැනීම මත සැබෑ ලෙසම රඳා පවත්නා ඇතැම් විධික්‍රමද පවතී. නිදසුනක් ලෙස, සියලු දෙනා වෙත සමාන ප්‍රේමයක් ගොඩනැගා ගැනීමට හැකිවනු පිණිස ක්‍රියාවෙහි යෙදිය හැකි එක් ක්‍රමයක් වනුයේ සියලු දෙනාගේ සංසාර චක්‍රය ආරම්භයක් නොපෙනෙන්නක් වන අතර සත්ත්ව සමූහයාද යම් සීමිත සංඛ්‍යාවක් වන බව සිතා ගැනීමයි. මෙම ආරම්භක ලක්ෂ්‍යයෙන් ඇරඹී, යම්කිසි තැනෙකදී සෑම සත්ත්වයෙකුම අපගේ මව මෙන්ම අන් සියලු දෙනාගේද මව වශයෙන් සිට ඇති බව තර්කානුකූලව සිතිය හැක. අප සියලු දෙනා අන් සියල්ලන්ගේද මව වී සිට ඇත. ආරම්භයක් නොමැති නමුත් සීමිත සත්ත්ව සංඛ්‍යාවකට අදාල මෙම තර්කනයන් යමෙකු හට ගණිතමය වශයෙන් සාධනය කළ හැක. අසීමිත කාලයක් හා අසීමිත සත්ත්ව සංඛ්‍යාවක්ද පැවතියේ නම්, එවිට එය මෙපරිදි ක්‍රියාත්මක වන බව සනාථ කළ නොහැක.

විශේෂයෙන් අපි පෙර භවයන් පිළිබඳ කිසි දින සිතා බලා නොමැති නම් පැහැදිලිවම මේ වූකලි විග්‍රහ කිරීමට දුෂ්කර මාතෘකාවකි. අසීමිත පුනර්භවයන් පිළිබඳ සංකල්පය පදනම් කරගනිමින්, අප කෙරෙහි සියලු සත්ත්වයන් විසින් දක්වා ඇති මව් සෙනෙහස, එය අගය කිරීම හා එයට ප්‍රතිචාරී ලෙස ඔවුන් වෙත කාරුණික හා ආදරණීය වීමට අවශ්‍ය වන ආකාරයට අපගේ චින්තනය හැඩ ගැස්විය හැක. ඒ මත පදනම්ව සිදුවන සම්පූර්ණ ගොඩනැගීමක් ඇත. මෙම පුද්ගලයා හෝ ඒ පුද්ගලයා අපගේ මව වශයෙන් සිටි යුගය හුදෙක් කාලය පිළිබඳ ප්‍රශ්නයක් ලෙස දැකීම මෙම ක්‍රියාවලියේ කොටසක් වේ. අප අපගේ මව විනාඩි දහයක්, දවස් දහයක්, හෝ වසර දහයක් පුරා දැක නොමැති වුවද, ඇය තවමත් අපගේ මවම වේ. ඒ හා සමානවම, අප විසින් ඇය ජීවිත කාල දහයක් පුරා දැක නොමැති වුවද ඇය අපගේ මවම වේ. පුනරුත්පත්තිය විශ්වාස කරන්නේ නම් මේ වූකලි ඉතා ප්‍රයෝජනවත් විය හැකි චින්තන විලාසයකි. මෙම විශ්වාසය නොමැති තැන එම සංකල්පය හුදෙක් විකාර රූපී එකක් පමණක් වන්නට පිළිවන.

විශේෂයෙන් පුද්ගලයන් පිළිබඳව පමණක් නොව මදුරුවන් පිළිබඳව සිතා බලන විටදීද මෙය අදාල වේ. පුනරුත්පත්තිය චිත්ත ක්‍රියාකාරිත්වය පවත්නා ඕනෑම ස්වරූපයකින් සිදුවිය හැකි බැවින් පෙර භවයක මෙම මදුරුවා මාගේ මව විය. ඕනෑම අයෙකු විසින් අපව නිවසට ඇරලවීම, අප රැකබලා ගැනීම හා කවා පොවා ඇතිදැඩි කිරීමද කළ හැකියාව සලකා බලමින් මෙම කරුණට අදාලව ධර්මය මෙලොව සුවසෙත පිණිස යොදාගැනීමේ න්‍යායට සම්බන්ධ සංස්කරණයක්ද ඇත. සෑම අයෙකු හටම එසේ උපකාර කිරීමේ හැකියාව ඇත; අප සංචාරය කරන විටදී අපට නිරතුරු අත්දකින්නට වන කරුණක් නම්, අප කිසිසේත් නොදන්නා ආගන්තුක පුද්ගලයන් සැබෑ ලෙසම අපට ඉතා ප්‍රිය මනාප අයුරින් සලකමින් අපට සත්කාර කළ හැකි බවයි. පුරුෂයෙක් වේවා, කාන්තාවක් වේවා, මේ සියල්ලන් හට අප කෙරෙහි මවක් සේ කටයුතු කළ හැක. වඩා වයසින් මුහුකුරා යන විටදී දරුවෙකු හටද අප රැකබලා ගැනීමට උපකාර කළ හැක. මා මේ මොහොතේ දකින මදුරුවා විසින් මා  නිවසට ඇරලවා මවක මෙන් මා රැක බලාගනු ඇතැයි සිතීම දුෂ්කර කාර්යයක් නමුත් ඉතා ප්‍රයෝජනවත් විය හැක.

එමගින් යම්තාක් දුරකට ධර්මය මෙලොව සුවසෙත උදෙසා සහ එහි සැබෑ අරුතින් ප්‍රයෝජනයට ගැනීම පිණිස මෙම ක්‍රමයන් යොදාගත හැකි ආකාරය නිරූපණය කරනු ලබයි. මෙම දෙවර්ගයම එ්වාට ආවේණික අයුරින් ඉතා ප්‍රයෝජනවත් වන නමුත් මෙලොව සුවසෙත පිණිස ධර්මය උපයෝගි කරගැනීමේ සංස්කරණය සීමා සහිත වූවක් වේ. එසේ නමුත් ධර්මය එහි සැබෑ අරුතින් ප්‍රයෝජනයට ගැනීමෙ සංස්කරණය මගින් වඩා සුවිශාල හැකියාවන් විවර කරනු ලබයි. වාහන තදබදයකට හසුව සිටින විටදී, හෝ දිගු පෝලිමක සිටගෙන සිටින විටදී අන් අය පිළිබඳ කෝපයක් හෝ නොඉවසිලිමත් බවක් දැනෙන කල්හි එ් සියලු‌ දෙනා අපගේ මව මෙන් සැලකිය හැක. මෙය පසුගිය ජීවිත කාලයක හෝ මේ ජීවිත කාලයේම තත්ත්වයක් ලෙස සලකා බලන්නේ නම් එය ඉවසීම වැඩිදියුණු කරගැනීමට උපකාර වෙමින් අපගේ කෝපය සන්සිඳුවා ගැනීමට ආධාරක වනු ඇත. අපගේ මව පෝලිමේ අපට ඉදිරියෙන් සිටින්නේ නම්, ඇයට පළමුව සේවය සැලසීම පිළිබඳ අපට කිසිදු ගැටළුවක් ඉස්මතු නොවන්නේය යන්න විශ්වාසයෙන් පැවසිය හැක. සත්‍ය වශයෙන්ම, ඇයට පළමුව සේවය සැලසීම පිළිබඳ බොහෝ විට අපට සතුටුද විය හැක. මෙයාකාරයෙන් මෙම අවබෝධයන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ හැක. මෙම චිත්ත ස්වභාවයන් ගොඩනගාගත යුත්තේ අපගේ එදිනෙදා ජීවිතයෙහි එ්වා යොදාගැනීමට විනා හුදෙක් භාවනා කුෂන් ඇතිරිල්ල මත හිඳ සිටින විටදී පමණක් නොවේ

භාවනාව අපගේ දියුණුව පිණිස කටයුතු කිරීමේ ක්‍රමයක් වශයෙන් 

අපගේ ප්‍රගතිය උදෙසා කටයුතු කිරීමේ ක්‍රියාවලියක් වශයෙන් ධර්ම ක්‍රියාවලිය විස්තර කෙරෙන විටදී අදහස් කෙරෙනුයේ මෙයයි. අපගේ කාමරය තුළ නිහඬ, පාලිත පරිසරයක සිට භාවනා කරන විටදී, මෙයාකාරයේ වැටහීම් උත්පාදනය කරගන්නා ආකාරය හා මෙකී වඩාත් ධනාත්මක චිත්ත ස්වභාවයන් ගොඩනගා ගන්නා ආකාරය පුහුණු කරන්නෙමු. අන් අය පිළිබඳව සිතා ඔවුන් කෙරෙහි ධනාත්මක ආකල්ප ගොඩනැගීම පිණිස අපගේ ප්‍රතිභාව යොදාගන්නෙමු. කිසිසේත් සම්ප්‍රදායික ක්‍රමයක් නොවුවද, අපගේ භාවනාව තුළදී පුද්ගලයන්ගේ ඡායාරූප දෙස බැලීමේ කිසිදු වරදක් නොමැත්තේය යන්න මාගේ අදහසයි. වසර 2,500කට පෙර පුද්ගලයන්ගේ ඡායාරූප නොපැවති අතර මෙම ක්‍රියාවලිය තුළට නව තාක්ෂණය යොදා ගැනීමේ කිසිදු වරදක් පවත්නේයැයි නොසිතමි.

යම් ධනාත්මක චිත්ත ස්වභාවයක් ප්‍රමාණවත් මට්ටමින් ගොඩනගාගත් පසුව, එය අපගේ එදිනෙදා ජීවිතය තුළ යොදාගැනීමට උත්සාහ කරන්නෙමු. එයයි සම්පූර්ණ අරමුණ. කුෂන් ඇතිරිල්ලක් මත හිඳ සිටින විටදී පමණක් ආදරණීය සිතිවිලි පවත්වාගෙන යමින් ඉන් නැගිටි පසු පවුලේ සාමාජිකයන් හා ආශ්‍රිතයන් සමගින් කෝපයෙන් කටයුතු කිරීම අපේක්ෂා කරන ප්‍රතිඵලය නොවේ. එබැවින්, කිසි විටෙකත් භාවනා පුහුණුව විනාඩි කිහිපයකට යම් අස්වැසිල්ලක් ලබාගෙන ජීවිතයෙන් පලායාමේ මඟක් වශයෙන් නොගත යුතුය. සියලු ආකාරයේ අසිරිමත් දේ පිළිබඳ සිහින මවමින් මනඃකල්පිත ලෝකයකට පිවිසෙන්නේ නම් එයද ජීවිතයෙන් පලා යාමකි. භාවනා පුහුණුව මෙයට වඩා බොහෝ සෙයින් වෙනස් වූවක් විය යුතුය; ජීවන ගැටලුවලට මුහුණ දීමේ හැකියාව ලබාගනු පිණිස අපි පුහුණුව ලබන්නෙමු. එය අසීරු කාර්යයක් වන අතර එය වහා පහසුවෙන් සිදුකරගත හැක්කක්යයි සිතා ප්‍රචාරණයන්ගෙන් නොමග ගොස් අප අපවම රවටාගත යුතු නොවේ. ඉතාමත් ගැඹුරු පුරුදු මත පදනම්ව ඇති බැවින් අපගේ ආත්මාර්ථය හා වෙනත් විනාශකාරී හැඟීම් මැඩ පැවැත්වීම පහසු නොවේ. එය මැඩ පැවැත්වීමේ එකම මාර්ගය වනුයේ දේවල් කෙරෙහි වූ අපගේ ආකල්පය වෙනස් කොට මෙකී විනාශකාරී චිත්ත ස්වභාවයන් පදනමෙහි පවත්නා ව්‍යාකූලත්වයෙන් මිදීමයි.

සාරාංශය

ධර්ම පිළිවෙත් සුරැකීමේ කාර්යය මෙලොව යහපත පිණිස ධර්මය පිළිපැදීම හා සැබෑ ලෙසම ධර්ම මාර්ගය අනුගමනය කිරීම වශයෙන් කොටස් දෙකකට වෙන්කර සැලකිය හැක. මෙලොව සුවසෙත උදෙසා ධර්මය පිළිපැදීමේදී ජීවිතය විසින් අප වෙත යොමු කරනු ලබන ගැටළුවලට මුහුණ දීමට හැකිවනු පිණිස මානසික ආම්පන්නයන්ගෙන් සන්නද්ධව මෙම ජීවිතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය කෙරේ. මෙලොව සුවසෙත උදෙසා ධර්මය පිළිපැදීමේ කිසිදු වරදක් නොමැත්තේ වුවද, කොකා කෝලා ලයිට් බීම වර්ගය මෙන් සන්නාමයේ සැබෑ බීම වර්ගය තරමටම එය මිහිරි රසැති එකක් නොවේ.

ලම්-රිම් හෙවත් ශ්‍රේණිගත මාර්ගය පිළිබඳ දේශනාවන් තුළ පෙර හා මතු භවයන් පිළිබඳ විශ්වාසයක් පැවතීම පිළිබඳ පූර්ව නිගමනයකට එන බැවින් එම දේශනා තුළ මෙලොව යහපත උදෙසා පමණක් පිළිවෙත් පිරීම සම්බන්ධව සාකච්ඡා කරන ලද කිසිදු අදහසක් සලකා නොබැලේ.  එසේ  වුවද, ජීවිත වැඩිදියුණු කරගනිමින් වඩා යහපත් පුද්ගලයන් බවට පත්වීමේ අවශ්‍යතාවය සැබෑ ධර්ම පිළිවෙත් පිරීමේ මාර්ගයෙහි අවශ්‍ය ආරම්භක පියවරකි.

Top