යොංෂින් ලිං රින්පෝෂේ පිළිබඳ මාගේ මතක සටහන්

1970 වසරේ ජනවාරි මාසයේ බුද්ධගයාවේදී යොංෂින් ලිං රින්පෝෂේ  මා හට හමුවිය. ඔහු නිතිපතා සිය ශීත සෘතුව ගත කරමින් එහි වූ තිබ්බතීය පන්සල්වල වාර්ෂික දේශනා පැවැත්වීය. එකල බුද්ධගයාව දියුණු තත්ත්වයක නොතිබි අතර, බොහෝ නොදියුණු තත්ත්වයක පැවතිණි. ස්ථුපය ඉදිරිපිට පිහිටි අපිරිසිදු මාර්ගය දිගේ පාලනයකින් තොරව ලාදුරු රෝගීන් රැස්කමින් සිටි අතර නොකඩවා පැතිර ගිය අ‍‍‍ඳෝනාවන්ද සමගින් වන්දනාකරුවන් වෙත සිය ‍රෝගී දෑත් දිගු කරමින් සිඟමන් යදින්නට විය. එහි සිටි විදේශිකයන් අතලොස්ස අතරින් අයෙකු වූ මා කවර ස්ථානයකට ගමන් කළද මා පසුපසද කිලිටි ඇඳගත් ළමුන් ඇදෙන්නට වූ අතර, "බක්ෂීෂ් මෙම්සහබ්" යැයි රළු හඬගකින් නැවත නැවතද ඒකාකාරීව ජප කරමින් මදුරු රෑනක් සෙයින් මාගේ ඇඳුමින් අදිමින් කාසි කිහිපයක් ඉල්ලා යදින්නට විය. භක්තිමත් වන්දනාකරුවන් ස්ථූපය ප්‍රදක්ෂිණා කරමින් ඒ වටා ගොස් වන්දනා කරන්නට වූ අතර, වල් සුනඛයන් හා ප්‍රාග් ඓතිහාසික පෙනුමක් සහිත ඌරන් ප්‍රදේශයේ විවෘත වැසිකිලිය වශයෙන් පැවති ඒ පිටුපස වූ වෙල් යායෙහි නිදහසේ ආහාර සොයන්නට වූහ. එය වූකලි මා හට කිසිදින අමතක නොවන දසුනක් විය.

එම අවස්ථාවේදී යොංෂින් ලිං රින්පෝෂේ වෙතින් මාගේ පළමු චෙන්රෙෂිග් මූලාරම්භය ලද අතර, මාගේ පළමු බෝධිසත්ත්ව ශික්ෂාව සමාදන් වීමි. තේජස්වී බවක් හා ශක්තිමත් බවක් පරාවර්තනය කළ යොංෂින් රින්පෝෂේ‍ගේ අසාමාන්‍ය පෙනුම ආරාම පිවිසුම්වලට පිටතින් වූ වටපිටාවේ වූ මළානික බව හා අවුල් සහගත බවට හාත්පසින් වෙනස් වූ දසුනක් විය. විශේෂයෙන්ම සිත් ඇදගන්නා සුළු කරුණ වූයේ දේශනා පවත්වන අවස්ථාවන්හි යොංෂින් රින්පෝෂේ‍ගේ කටහඬයි. එය කිසි විටෙක හෝ හුස්ම ගැනීම සඳහා නවතන බවක් නොපෙන්වා නොකඩවා ගලන දිය දහරක් සෙයින් අනායාසයෙන් හා සංගීතමය ස්වරයෙන් ගලා යන්නට විය.

යොංෂින් ලිං රින්පෝෂේ නැවත මා හට හමුවන්නේ 1971 වසරේ සැප්තැම්බර් මාසයේ ධර්මශාලාහිදීය. මහා උත්සවයකට සහභාගි වනු පිණිස ශාපා හා ඛම්ලුං රින්පෝෂේවරුන්ද සමගින් මාගේ ගුරුවරයා වූ ගේෂේ නැවෑං ධාර්ජේ විසින් ඩැල්හූසීහි සිට මා එහි කැඳවාගෙන විත් තිබිණි. දලයි ලාමා වහන්සේගේ දේශකවරුන් දෙදෙනා විසින් ඔහු හා එහි රැස්ව සිටි තන්ත්‍ර විද්‍යාලයන් වෙත ප්‍රධාන ගෙලුග් සම්ප්‍රදායේ උත්තම තන්ත්‍ර බලගැන්වීම් ලබාදෙමින් තිබිණි. යොංෂින් ලිං රින්පෝෂේ විසින් දේවතාවන් 13 දෙනෙකුගෙන් සමන්විත වජ්‍රභෛරව හා ගුහ්යාසමාජ මූලාරම්භයන්ද ක්‍යාබ්ජේ ට්‍රිජෑං රින්පෝෂේ විසින් චක්‍රසංවර ලුයිපා මූලාරම්භයන්ද ලබාදෙමින් තිබිණි. මා දන්නා තරමට, මෙය වූකලි දලයි ලාමා වහන්සේ විසින් ඔහුගේ දේශකයන් වහන්සේලා වෙතින් ප්‍රසිද්ධියේ මූලාරම්භය ලද අවසන් අවස්ථාව විය හැක. ප්‍රධාන සිසුවා ලෙස දලයි ලාමා වහන්සේ සිය දේශකයන්ට මුහුණ පා තරමක් මිටි අසුනක හිඳ සිටියේය. එයට සහභාගි වූ එකම බටහිර ජාතිකයා වශයෙන්, ගුරු රින්පෝෂේ හා ආයුධ සන්නද්ධ චෙන්රශිග් පිළිම 1000ක් ඇති, එම අසුන්වල පැත්තකින් වූ කුටියෙහි හිඳ සිටියෙමි. මා හට සර්ව සම්පූර්ණ දැක්මක් විය. ගම්භීරත්වය, නිහතමානිත්වය හා දේශකයන් වහන්සේලා ඉදිරිපිට දලයි ලාමා වහන්සේ වෙත වූ ගෞරවය යන කරුණු සිත ආධ්‍යාත්මික දේශකවරයා හා තන්ත්‍ර ගුරුවරයා හා සම්බන්ධ වී‍මේ නියමිත ආකාරය සඳහා සදාකල් පවත්නා මාදිලියක් වශයෙන් ක්‍රියා කරන්නට විය.

ඊළඟ වසර කිහිපය තුළ, යොංෂින් රින්පෝෂේ වෙතින් තවදුරටත් දේශනා හා මූලාරම්භයන් කිහිපයක් ලද්දෙමි. ඉනුදු වඩාත් මතකයෙහි රැඳුනු දේශනාව වූයේ වජ්‍රභෛරව සඳහා නැවතද බුද්ධගයා පන්සලේදී සිදුකළ දේශනයයි. එම දේශනාව අතරතුර යොංෂින් රින්පෝෂේ විසින් තමා වටා වූ අවකාශයේ වූ විවිධ ලක්ෂණ පෙන්වමින් මණ්ඩල මාළිගය විස්තර කරන ලදී. එම මැවීම ඔහු හට කෙ‍තරම් පැහැදිලි එකක් වීද යත්,  එය ශ්‍රාවකයන් අතර සිටි අපටද මැවී පෙනෙන තරම් ජීවමාන විය.

තමා වටා සිටින ජනතාවගේ විභවයන් නංවාලීමේ මෙකී හැකියාව යොංෂින් ලිං රින්පෝෂේගේ සුවිශේෂී ලක්ෂණයන් අතරින් එකක් විය. මම නිරතුරු එය "වර්ධනයට අදාළ බුද්ධිමය ක්‍රියාවක්" සඳහා වූ නිදසුනක් ලෙස ගෙනහැර දක්වමි. මාගේ තිබ්බතීය භාෂා හුරුව මාගේ ගුරුවරුන් සඳහා වාචිකව පරිවර්තන කටයුතුවල යෙදීමට හැකිවන තරමට වැඩි වර්ධනය වීමට පෙර, මා නිරතුරුවම විශ්මයට පත් කෙරුණු කරුණක් වූයේ යොංෂින් රින්පෝෂේ හමුවූ විටදී, ඔහු විසින් පරාවර්තනය කරන ලද පැහැදිලි බව හා අනුප්‍රාණය හේතුකොට, එකල සිටි අන් කිසිවෙකුට හෝ වැඩි මට්ටමකින් හා යහපත් ලෙස තිබ්බතීය වදන් වටහා ගැනීමට මා හට හැකිවීමයි. එය ඔහු විසින් සෘජුවම මාගේ මොළය තුළට චිත්ත පැහැදිලි භාවයක් ප්‍රක්‍ෂේපණය කළාක් මෙනි.

මාගේ තිබ්බතීය භාෂා කුසලතාවයන් ප්‍රමාණවත් පරිදි වැඩිදියුණු වූ විට, යොංෂින් රින්පෝෂේ සෙසු විදේශිකයන් හට පුද්ගලික දේශනාවන් සිදුකරන විට වරින් වර ඒවා පරිවර්තනය කරන්නට වීමි. විවිධ පිළිවෙත් පිළිබඳ කරුණු විස්තර කිරීම සඳහා පැමිණි ඉල්ලීම් සපුරා ලීමෙහි ඉතාමත් ත්‍යාගශීලී වූ ඔහු විසින් මාහට අවශ්‍ය ඕනෑම අවස්ථාවක මාගේ ධර්ම පැනයන් සඳහාද පිළිතුරු ලබාදීමට කාරුණිකව කැමැත්ත පළ කළේය. මෙම නොඇදහිය හැකි, දුර්ලභ හා අගනා වරප්‍රසාදය අවභාවිත නොකිරීමටද ප්‍රවේශම් වීමි.

වරෙක ඔහු ලබාදුන් සංකීර්ණ අවලෝකිතේෂ්වර පිළිවෙතකට සම්බන්ධ විග්‍රහයක් පරිවර්තනය කරන අතර, සහභාගිවන පුද්ගලයා විසින් සැබැවින්ම මෙම දේශනාවන් ප්‍රායෝගිකව භාවිත කරනු ඇත්තේද යන්න තමාට සැක සහිත බව යොංෂින් රින්පෝෂේ විසින් ප්‍රකාශ කරන ලදී. එනමුත් ඔහු වෙත යම් කිසිවක් විස්තර කරදීම යෝග්‍ය බව ඔහුට හැඟිණි. පසුව යොංෂින් රින්‍පෝෂේ විසින් වැඩි ගැඹුරකට හෝ පුළුල් පරාසයකට නොවිහිදෙන නමුත් අදාළ පුද්ගලයා හට පිළිවෙතෙහි යෙදීමට අවශ්‍ය උනන්දුව හා ආභාසය ලබාදීමට තරම් ප්‍රමාණවත් වන මනා නිපුණත්වයෙන් යුත් විග්‍රහයක් කරන්නට විය. දේශනාවන් ලබාදීමේදී ඒවා ලබාදීම කෙරෙහි වූ අවංක ,මානව හිතවාදී පෙළඹීමක් යනු ගුරුවරයා තුළ පැවතිය යුතුවන වඩාත් වැදගත් සාධකයය යන කරුණ ඉගෙනීමෙහි ලා මෙය මා හට ආදර්ශයක් විය. එම පෙළඹීමත් සමගින්, එම විග්‍රහය අදාළ සිසුවාගේ මට්ටමට හා අවශ්‍යතාවනට ගැලපෙන පරිදි පරිමාණගත කරන්නේය යන්න ස්වභාවිකව දැනගත යුතුවන කරුණකි. අදාළ සිසුවා එම පිළිවෙත් පුරන්නේද, නැත්තේද යන්න ඒ අනුව අදාළ සිසුවාගේ වගකීම වේ. සර්ව සම්පූර්ණ ගුරුවරයෙකු වනුයේ කෙසේද යන්න පිළිබඳ වූ මෙකී ඉහළ ප්‍රමිතිය සාක්ෂාත් කරගැනීම දුෂ්කර කරුණකි.

ස්ථාවරත්වයේ හා සහයෝගයේ ශක්තිමත් පර්වතයක් සේ සිටිමින් සියලු බුදුවරයන්ගේ පැහැදිලිබව, බුද්ධිය හා ප්‍රඥාවද ඇතුළත් බුද්ධ රූපය වන මංජුශ්‍රීගේ බලගතු ස්වරූපය වූ පුළුල්ව හඳුනාගත් වජ්‍රභෛරවගේ මනුෂ්‍ය ස්වරූපය ලෙස යොංෂිං ලිං රින්පෝෂේ විසින් තමා වටා මෙම බලවත් ශක්තිය මුදා හරින්නට විය. එය වූකලි එය ඉදිරියේ සිටින විටදී ව්‍යාකූලත්වයට පත්, අවුල් වූ කුඩා දරුවෙකු‍ මෙන් කටයුතු කිරීමෙන් හෝ සිතීමෙන් ඔබ වළකා ඒ වෙනුවට භාවමය හා මානසික වශයෙන්ද තැන්පත් හා ස්ථාවර වෙමින් පැහැදිලි හා තියුණු අවබෝධයක් සහිත අයෙකු බවට පත් කරන ශක්තියයි.

මෙම ගුණයට නිදසුනක් වශයෙන් ධර්මශාලාහි යොංෂින් රින්පෝෂේගේ නිවසේදී ඔහු හමුවූ අවස්ථාවක් මා හට සිහිපත් වේ. යොංෂින් රින්පෝෂේ කාම‍රයේ එක් පසෙක වූ මිටි ඇඳක හිඳ සිටි අතර, එම මුල්ලේම අනෙක් පස තවත් මිට ඇඳක මම සිටියෙමි. මාගේ භාවනා පුහුණුව සම්බන්ධව පැවති යම් ප්‍රශ්නවලට ඔහු විසින් පිළිතුරු ලබාදෙන අතරම අප අතරට ක්ෂණිකව විශාල ගෝනුස්සෙකු ඇදී ආවේය. නිරන්තරයෙන්ම මහත් තේජස්වී බවක් පෙන්වූ යොංෂින් රින්පෝෂේ සිය අත් අහසට යොමා දිගහැරගත් අතර භාවමය හඬකින් "ප්‍රිය ගෝනුස්සාණනි"යි හඬ නගන්නට විය. ඉන්පසු පුළුල්ව විවෘත වූ දෙනෙතින් මා වෙත බැලූ ඔහු "ඔබට බිය නැත්ද?"යි විමසීය. ඔහුගේ නෙත් දෙස බලාගත් මම "වජ්‍රභෛරව ඉදිරියේ මා කෙසේ නම් බිය වන්නද?"යි ඔහු වෙත පිළිවදන් දුනිමි. එය සත්‍යයකි, මම බිය නොවීමි. මාගේ පිළිතුර ඇසූ යොංෂින් රින්පෝෂේ නොකඩවා සිනහ සෙන්නට විය. ඉන්පසු ඔහුගේ සහායකයා කෝප්පයක් හා කඩදාසි කැබැල්ලක් රැගෙන එහි පැමිණ, ගෝනුස්සා යටින් කඩදාසි කැබැල්ල රූටා හැර ඌ මතින් කෝප්පය තබා ආචාර සමාචාර සහිතව ඌ පිටතට ගෙන ගෙවත්තට මුදා හැරීය. සැබැවින්ම මාගේ පාඩමේම කොටසක් ලෙස යොංෂින් රින්පෝෂේ විසින් එම සමස්ත සිදුවීමම වේදිකාගත කළාක් මෙන් විය.

මෙකී අසිරිමත් බලයක් සහිත හා ආනුභාව සම්පන්න වජ්‍රභෛරව බලශක්තිය හේතුකොට බොහෝ පුද්ගලයන් යොංෂින් ලිං රින්පෝෂේ කෙරෙහි බිය මුසු ගෞරවයක් දැක්වූ නමුදු, මෙම ප්‍රතිචාරය සුදුසු එකක්ය යන්න කිසි විටෙක හෝ යොංෂින් රින්පෝෂේගේ අදහස නොවීය. බුද්ධගයාවේ පන්සලෙහි ඔහුගේ කාමරයෙහි වරෙක මා ඔහු සමගින් සිටින විටදී, පහළ තට්ටුවේ භික්ෂූන් විසින් සිදු කරන ලද සොං පූජු උත්සවයක චාරිත්‍රමය පූජාවන් පිරි පිඟානක් සමගින් තරුණ භික්ෂුවක් ඇතුල් විය. එතරම් තේජස්වී ගුරුවරයෙකු ඉදිරිපිටට පැමිණීම සම්බන්ධයෙන් එම ළමයා පැහැදිලිවම චකිතයට හා බියට පත්ව තිබිණි. ඔහු නික්ම ගිය පසු, මඳ සිනහ පෑ යොංෂින් රින්පෝෂේ "ඒ හැමෝම මට හරි බයයි. බය වෙන්න උවමනාවක් නෑ නේද?" යි මා හට පැවසීය.

සිය හදවත තුළ සාමකාමී මංජුශ්‍රී දරා සිටින්නාවූ රෞද්‍ර වජ්‍රභෛරව මෙන්, යොංෂින් ලිං රින්පෝෂේද පිටතින් ස්ථාවරත්වයේ දැඩි, තදබල පර්වතයක් වූ අතර ඇතුළතින් උණුසුම්, කාරුණික හා අප්‍රමාණ ප්‍රඥාවකින්ද හෙබි අයෙකු විය. ඔහුගේ සිසුවෙකු හා වරින් වර භාෂා පරිවර්තකයෙකුද වශයෙන් කටයුතු කිරීමට ලැබීම මා ලද විශ්වාස නොකළ හැකි තරම් වු භාග්‍යයක් සේ සලකමි.

Top