සර්කොං රින්පෝෂේගේ තවත් ගුණාංග

රින්පෝෂේ‌ගේ පියා වූ සර්කොං ඩෝර්ජේචෑං ගේ අධි භෞතික බලයන්

තමා යෝගියෙකු හෝ කිසිදු විශේෂ බලයක් ඇත්තෙකු හෝ බව කිසි විටෙක හෝ සර්කොං රින්පෝෂේ විසින් නොපවසන ලදී. එවැන්නක් පැවති අයෙකු පිළිබඳ නිදසුනක් අවශ්‍ය නම්, ඈත අතීතය විමසා බැලීමක් අවශ්‍ය නොවන බව ඔහු විසින් පවසන ලදී. ඔහුගේ පියා වූ සර්කොං ඩෝර්ජේචෑං එ් සඳහා පැහැදිලි නිදසුනක් විය. ගැන්ඩන් ජැංග්ට්සේ ආරාමයේ භික්ෂුවක වශයෙන්, ඔහුගේ පියා විසින් සිතේ ගැඹුරුම මට්ටමට එළැඹීම සඳහා පරිවාරකයෙකුද සමගින් විශේෂ යෝග ශිල්පක්‍රම පිළිවෙත් පිරීමට හැකිවන අනුත්තරයෝග තන්ත්‍ර මට්ටම සාක්ෂාත් කොට තිබිණි. පූර්ණ මට්ටමෙහි වූ මෙම උසස් ලක්ෂ්‍යයේදී, අභ්‍යන්තර මෙන්ම බාහිරවද වූ කය හා ශක්තිය පිළිබඳ සම්පූර්ණ පාලනයක් සහිතව සියුම් ශක්ති පද්ධතීන් පිළිබඳ පූර්ණ පාලනයක් අවශ්‍ය කෙරේ. ඔහු සමාදන් වූ බ්‍රහ්මචර්යා සිකපද මගින් සාමාන්‍යයෙන් එවන් පිළිවෙත් පිරීම තහනම් කෙරේ. තමා සාක්ෂාත් කරගත් මට්ටම පිළිබඳ ඔප්පු කරන ලෙස පරම පූජනීය දහතුන්වන දලයි ලාමා වහන්සේ විසින් දන්වා සිටි අවස්ථාවේදී, සර්කොං ඩෝර්ජේචෑං විසින් යැක් ගව අඟක් ගැටගසා එය පිළිගන්වන ලදී. එතුළින් කරුණු එ්ත්තු ගත් දහතුන්වන දලයි ලාමා වහන්සේ විසින් මෙම මට්ටමට අදාළ පිළිවෙත් පිරීමේදී සිය ආරාමික තනතුරු පවත්වාගෙන යාම සඳහා සර්කොං ඩෝර්ජේචෑං වෙත අවසර ලබාදෙන ලදී. දරුවෙකු ලෙස මෙම අඟ සිය නිවසේ තබාගත් බව රින්පෝෂේ විසින් සත්‍ය වශයෙන්ම ප්‍රකාශ කරන ලදී.

සර්කොං ඩෝර්ජේචෑං එකොළොස්වන සියවසේ විසූ භාෂා පරිවර්තක මාපාගේ පුනරුත්පත්තියක් ලෙස පුළුල් පිළිගැනීමක් ඇත්තෙකු විය. ඉනික්බිති සිය පියාගේ උරුමය ඉදිරියට ගෙනයනු පිණිස සර්කොං රින්පෝෂේ උපන් අතර, මාපාගේ ප්‍රසිද්ධ පුතු දාර්මා ඩෝඩේගේ පුනරුත්පත්තිය ලෙස සලකන ලදී. එනමුත්, රින්පෝෂේ විසින් මෙකරුණ කිසිදින මා හට පවසා නොමැති අතර, තමා සිය පියා හා කිසිදින සන්සන්දනය කිරීමක්ද සිදු නොකරන ලදී. එනමුදු, රින්පෝෂේ නිහඬව සිටි නමුදු, ඔහු තුළද ඔහුගේ සියුම් ශක්ති වායු පාලනය කිරීමේ හැකියාවක් පැවති අතර අති විශේෂ බලයන් පැවති බව ඔහුට සමීප ඇසුරක් සහිත අය හට පැහැදිලි කරුණක් විය. තමා කැමති ඕනෑම විටෙක නිදි සුව විඳීම සඳහා රින්පෝෂේ දැක්වූ හැකියාව මේ පිළිබඳ නිදසුනක් විය. වරෙක වින්ස්කන්සින්හි මැඩිසොන්හිදී වෛද්‍ය පරීක්ෂණයක කොටසක් වශයෙන් විද්‍යුත් කන්තු රේඛයක් රින්පෝෂේ විසින් ලබා ගන්නා ලදී. පරීක්ෂණය සඳහා ඇලවූ අවස්ථාවේදී රින්පෝෂේ ශක්ති සම්පන්නව හා සූදානම්කාරීව පසුවිය. එනමුත්, තත්පර කිහිපයක් ඇතුළත වෛද්‍යවරයා විසින් රින්පෝෂේ හට ඉහිල්වන ලෙස උපදෙස් දුන් අවස්ථාවේදී ඔහු නින්දෙන් ගොරවමින් සිටියේය.

රින්පෝෂේගේ අතීන්ද්‍රීය හැකියාවන්

අනාගතය දැනගැනීම සඳහා රින්පෝෂේ සතුව පැවති අතීන්ද්‍රීය හැකියාවන් නිදසුන් කිහිපයක් ඇසුරින් දැකගත හැක. රින්පෝෂේ දලයි ලාමා වහන්සේගේ ගුරුවරුන් අතරින් අයෙකු වූවා පමණක් නොව, දලයි ලාමා වහන්සේගේ මවද ඇතුළත්ව පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු හටම වරින් වර උපදෙස් ලබා දුන්නේය. ප්‍රොටෝකෝලය තුළ අවශ්‍ය වන පරිදි දලයි ලාමා වහන්සේ විසින් හමුවීම සඳහා විධිමත් අවස්ථාවක් ලබාගත්තේ නම් විනා රින්පෝෂේ සාමාන්‍යයෙන් කිසි විටෙකුදු එතුමාගේ මව බැහැ නොදකියි. එනමුත්, දලයි ලාමා වහන්සේගේ මව මියයාමට ආසන්න දිනෙක, ඇයගේ තත්ත්වය දැනුනු රින්පෝෂේ විසින් සිය ප්‍රොටෝකෝලය බිඳ දමා අනපේක්ෂිත ලෙස අවසන් වරට ඇය බැහැ දැකීමට ගියේය.

වරෙක රින්පෝෂේ ප්‍රංශයේ ලාවෝර්හි වජ්‍රයෝගිනි ආයතනයේ දේශනා පවත්වමින් සිටි අතර පැරිසිය කරා පිටත්වීමට පෙර දින කිහිපයක විවේකයක් ලැබිණි. මිතුරන් සමගින් එතුමා බැහැදැකීම සඳහා කල්තබා පිටත්වීමට අදහස් කළ මා හට අයෙකු වෙතින් ගමන් පහසුව සැලසිණි. ඉරිදා දින පැරිසිය බලා පිටත්වීම සඳහා අවසරය ඉල්ලා සිටි විට රින්පෝෂේගේ පිළිතුර වූයේ "බොහොම හොඳයි, ඔයා සඳුදාට පැරිසියට යනවා" යන්නයි. "නෑ, නෑ මං යන්නෙ හෙට, ඉරිදා"යි මා පිළිතුරු දුන් කල්හි රින්පෝෂේ නැවතද "බොහොම හොඳයි, ඔයා සඳුදාට යනවා" යන්නයි. මා එවිට විමසූයේ "ඉරිදා යන එක හරි නැද්ද? එ් වෙනුවට ගමන කල් දාල සඳුදට යන්න ඕනද?" යන්නයි. සිනහ මුසුව රින්ෂෝ විසින් ලබාදුන් පිළිතුර වූයේ "නෑ, නෑ. එ්ක එච්චර දෙයක් නෙවෙයි" යන්නයි.

එ් අනුව මම ඉරිදා දින පැරිසිය බලා පිටත් වීමි. ගමන අඩ දුරක් ගිය පසු, මෝටර් රථයෙහි දෝෂයක් ඉස්මතු විය. ඉරිදා දින ප්‍රංශයේ මෝටර් රථ ගරාජ වසා ඇති බැවින්, එදින රාත්‍රියෙහි කුඩා ගමක නතර වීමට සිදුවිය. සඳුදා උදෑසන මෝටර් රථය අලුත්වැඩියා කරගත් අපි, රින්පෝෂේ පුරෝකථනය කළ පරිදිම, පමාවී සඳුදා දින පැරිසියට ළඟා වූයෙමු.

රින්පෝෂේ විසින් ඇතැම් විට දුර පවත්නා දේ දැකීමේ හැකියාවද පෙන්නුම් කරන ලදී. දිනෙක ධර්මශාලාහිදී යම් චාරිත්‍රයක් ඉටුකිරීමේ මූලිකත්වය ගන්නා ලෙස ටුෂිටා වස් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා විසින් රින්පෝෂේ වෙත ආරාධනා කරන ලදී. ජීප් රථය මධ්‍යස්ථානය කරා ළඟා වූ විටදී, රින්පෝෂේ පැවසූයේ "ඉක්මන් කරන්න. ගිහින් විහාරගේ පරීක්ෂාකර බලන්න. ඉටි පන්දමක් බිම වැටිලා" යන්නයි. අධ්‍යක්ෂවරයා එතුළට දිව ගිය අතර, ඇය විසින් දක්නා ලද්දේ සැබැවින්ම ඉටි පන්දමක් පෙරළී වැටී ඇති අතර, ගින්නක් ඇවිල යාමට ආසන්නව පැවති බවයි.

රින්පෝෂේ විසින් තමා හට පුද්ගලයන් සමගින් පැවතියේ කවර කර්ම සම්බන්ධතාවයක්ද යන කරුණ දුටුවා පමණක් නොව, පැවසීමකින් තොරවම අමුත්තන් සම්බන්ධ බොහෝ දේද ඔහු දැන සිටි බවක් වරින් වර පෙන්වන ලදී. වරෙක, වින්ස්කොන්හි මැඩිසොන්හිදී මාගේ පැරණි මිතුරෙකු මුල් වරට රින්පෝෂේ බැහැ දැකීමට පැමිණියේය. මාගේ මිතුරා මුළුමනින්ම සාමාන්‍ය පරිදි ක්‍රියා කළද, මා හෝ ඔහු හෝ ඔහුගේ මරිජුවානා භාවිත කිරීමේ පුරුද්ද පිළිබඳ කිසි විටෙක හෝ රින්පෝෂේ වෙත නොපැවසුවද, එම මත් ද්‍රව්‍යය භාවිතයෙන් වැළකිය යුතු බව රින්පෝෂේ විසින් මාගේ මිතුරා වෙත පවසන ලදී. එය ඔහුගේ පෞරුෂ සංවර්ධනයට හානිකර විය. රින්පෝෂේ හමුවූ බටහිර ජාතීන් සියලු දෙනා අතරින්, මරිජුවානා පිළිබඳ උපදෙස් ලබාදුන් එකම පුද්ගලයාද මාගේ මිතුරා පමණක් විය.

සිය දුර්වලතා හඳුනා ගනිමින් එ්වා සම්බන්ධයෙන් කටයුතු කිරීමට පුද්ගලයන් හට උපකාර කිරීමේ කුසලමය විධික්‍රම

සෙස්සන් තුළ බොහෝ වූ හානිකර පුරුදු හා ප්‍රවණතාවයන් පවත්නා බව රින්පෝෂේ විසින් දුටු නමුදු පුද්ගලයන් හට ඔවුන්ගේ වැරදි සහ දෝෂයන් පෙන්වා දීමේ කුසලතාවය නිරතුරු ඔහු තුළ පැවතිණි. වරෙක රින්පෝෂේ මාස කිහිපයකට නේපාලය කරා ගොස් සිටි අවස්ථාවක, මා හට මාගේ කටයුතු සම්බන්ධ පුද්ගලික දුෂ්කරතා අත් විඳීමට සිදුවිය. බෝධිසත්ත්ව චර්යාවෙහි නියැලීම සම්බන්ධව දලයි ලාමා වහන්සේ විසින් පවත්වන ලද දේශනාවක් පරිවර්තනය කරමින් බුද්ධගයාවෙහි සිටි සමයේ එහිදී නැවත හමුවීමි. මවිසින් මාගේ කටයුතු සිදුකරන ආකාරය සම්පූර්ණයෙන්ම අමනෝඥ ආකාරයක් බව එකහෙළා ප්‍රකාශ කරනු වෙනුවට, රින්පෝෂේ විසින් මා පරිවර්තනය කරමින් සිටි පාඨය වෙත හැරී, එහි පිටු එකිනෙක පෙරළමින් එහි වචන කිහිපයක් මා හට පෙන්වා එ්වාහි අර්ථය දන්නේදැයි විමසීය. එම වචන සැබෑවටම මා මුහුණ දුන් ගැටලුවලට සම්බන්ධ විය. රින්පෝෂේ විසින් එ්වාහි පූර්ණාර්ථය විස්තර කරමින් එතුළ තත්ත්වය නිරාකරණය කරනු පිණිස ගතයුතු ප්‍රතිකර්මක ක්‍රියාමාර්ගයද පෙන්වා දෙන ලදී.

ෂූරිච්හි පිහිටි විසිතුරුම වූද, වඩාත් මිල අධික දෙපාර්තමේන්තු අලෙවි සල වෙත එක් ධනවත්, වයස්ගත ස්විස් කාන්තාවක් විසින් රින්පෝෂේ කැටුව ගිය අවස්ථාවේදී එම අලෙවි සැලින් පිටවන අවස්ථාවේදී, ඔහු විසින් ප්‍රකාශ කරන ලද්දේ එතුළ සියලු දෙනා හට සැබැවින්ම අවශ්‍ය වන්නාවූ එකදු භාණ්ඩයක් හෝ නොපැවති බවයි. ඉන්පසු තම ට්‍රොලිය නැවත නිවස කරා ගෙනයා හැකිදැයි ඔහු විසින් එම කාන්තාවගෙන් විමසන ලදී. පොදුවේ ජනතාව විසින් සංචාරයන්හි නිරතවන ආකාරය විමසා බැලීම විනෝදජනක දෙයකි.  මෙහිදී වික්ෂිප්තභාවයට පත් කාන්තාව විසින් පවසන ලද්දේ ඇය විසින් සිය ජීවිත කාලය පුරාම කිසි දිනෙක හෝ ට්‍රොලියක ගමන්කර නොමැති අතර, එය භාවිත කරන ආකාරය හෝ රථයෙන් බැසිය යුතු ස්ථානය පිළිබඳව හෝ නොදන්නා බවයි. මෙයාකාරයෙන්, රින්පෝෂේ විසින් ඇය කෙතරම් දුරට සාමාන්‍ය ජීවිතයෙන් දුරස්ථව සිටින්නේද යන කරුණ ඇයට මෘදු ලෙස එ්ත්තු ගන්වන ලදී.

තවත් වරෙක සූරිච් නගරයට ආසන්නයෙන් පිහිටි සුවිශාල විසිතුරු මන්දිරයක නැවතීම සඳහා රින්පෝෂේ වෙත ආරාධනයක් ලැබිණී. එහි සිටි කාන්තාවට එවන් භාණ්ඩ පිරි සුඛෝපභෝගී දිවියක් තුළ බොහෝ වූ අපහසුතාවයක් දැනෙන්නට විය. ඇය ප්‍රායෝගික මනුෂ්‍යයෙකු සේ සරල ජීවිතයක් ගත කිරීමට වඩාත් කැමති වූ අයෙකි. ඇය විසින් නිවසේ ගම්භීරතම කාමරය වූ ඕක් පැනලයෙන් කළ පුස්තකාල කාමරය රින්පෝෂේ වෙනුවෙන් පිළියෙ කළාය.  එදෙස එක් වරක් පමණක් බැලමක් හෙලූ රින්පෝෂේ විසින් අවධාරණය කරන ලද්දේ තිර යෙදූ ද්වාර මණ්ඩපයෙහි තමා රාත්‍රී නින්ද ලබාගන්නා බවයි. තමා කුඩා කුටිවල ජීවත්වීමට කෙතරම් ප්‍රිය වන්නේද යන කරුණ ඔහු විසින් එම කාන්තාව වෙත පවසන ලදී. ඇයගේ ද්වාර මණ්ඩපය නිරාවරණය වූ අලංකාර දර්ශනය හා එමගින් දිස්වන ගෙවත්ත හා පහත විල ආදිය හේතුවෙන් එහි නැවතීමද ඔහුට කුටියක ගත කරන ජීවිතය සිහි කරවන්නක් විය. මෙයාකාරයෙන්, ඇයගේ මන්දිරය තුළින් ලබාදෙනු ලබන වඩාත් සරල සුවදායකත්වයන් ඇගයීම හා භුක්ති විඳීම සඳහා ඔහු විසින් ඇයට උපකාර කරන ලදී.

අන්‍යයන් වෙත උපකාර කිරීමේ බහුශෘතභාවය

අවශ්‍ය හා හැකි කවරාකාරයකින් වුව රින්පෝෂේ විසින් අන්‍යයන් වෙත උපකාර සලසන ලදී. ධනය ලබාගැනීම හා සම්බන්ධ බුද්ධ - රූපයක් වූ කහ වර්ණ ටාරා පිළිවෙත් පූරණය සඳහා වූ අවසර ලබාගැනීමේ උත්සවයක් ඉතාලියේ පොමේයාහිදී පවත්වන අතරතුරු රින්පෝෂේ විසින් දුගී ඉතාලියානු කලාකරුවෙකුගෙන් ඉල්ලා සිටින ලද්දේ එම චාරිත්‍රයට අවශ්‍ය එකී රූපය සිත්තම් කරන ලෙසයි. එසේ කිරීමෙන් මෙම භාවනා පිළිවෙත පිරීම තුළ සමෘද්ධිය ලබාගැනීම සඳහා මෙම කලාකරු වෙත ප්‍රබල කර්ම සම්බන්ධතාවයක් තහවුරු කරවයි. එම මධ්‍යස්ථානයේදීම තවත් අවස්ථාවක එ් ආසන්න දිනෙක සිය දෙමව්පියන්ගේ නිවසෙහි වටිනා දේ සොරකම් කිරීමකට ලක්වූ තරුණයෙකු වෙත කුඩා මුදල් පරිත්‍යාගයක් සිදු කරන ලදී. මෙම පරිත්‍යාගය එම පවුලට ඔවුන්ගේ ධනය නැවත ප්‍රතිෂ්ඨාපනය කරගැනීම සඳහා වූ සුභ ආරම්භයක් වන දෙයකි. තිබ්බතීය බස ඉගෙනීම සම්බන්ධයෙන් ඔහු තුළ වූ හැකියාව පිළිබඳ ඇල්මක් හෝ විශ්වාසයක් නොපැවති සමීප බ්‍රිතාන්‍ය සිසුවෙකු වූ ඇලන් ටර්නර් හට මතු දිනෙක සළකුණක් සේ සිහිපත් වනු පිණිස රින්පෝෂේ විසින් තිබ්බතීය හෝඩිය පිළිබඳ වාචික සම්ප්‍රේෂණයක් සිදු කරන ලදී. මාගේ තිබ්බතීය අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන්ද දුෂ්කර ඉමකට පිවිස තවදුරටත් කිසිදු ප්‍රගතියක් නොමැති තත්ත්වයක පසුවූ සමයේ රින්පෝෂේ මා සමගින් තිබ්බතීය ශබ්ද කෝෂය නැවත හදාරවන්නට වූ අතර එ් එක් එක් වදනක් භාවිතයෙන් වාක්‍ය මා ලවා ලියවන්නට විය.

රින්පෝෂේ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙකුද විය. යමෙකු විසින් අප වෙත පිරිනමන දෙයක් විශේෂයෙන් භාර නොගැනීම තුළ එම පුද්ගලයා තුළ සිත් රිදවීමක් සිදුවනු ඇත්තේ නම් හා අප විසින් එය පිළිගැනීම තුළ කිසිදු වරදක්ද සිදු නොවන්නේ නම්, යමෙකු විසින් අවංක සිතින් පිරිනමන කවරක් වුවද පිළිගන්නා ලෙස ඔහු උපදෙස් දුන්නේය. මෙලෙසින්, රින්පෝෂේ පැණි රස කෑම වර්ගවලට ප්‍රියතාවයක් නොදැක්වුවද, යමෙකු විසින් විශේෂයෙන් ඔහු වෙනුවෙන් සකස් කොට කේක් ගෙඩියක් පිරිනැමුවහොත් උද්‍යෝගිමත් ලෙස ඉන් පෙත්තක් කපා කෑම සිදු කළේය. සැබැවින්ම, එමගින් අදාළ පුද්ගලයාගේ ආත්ම විශ්වාසයට යම් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නම්, එය සකසන ආහාර වට්ටෝරුවද ලියාගන්නා ලෙස ඔහු විසින් නැවෑං වෙත උපදෙස් දෙනු ලබයි.

අන් සියල්ලටම වඩා, රින්පෝෂේ අතිශයින්ම විවෘත සිත් ඇති බහුශෘතයෙකු විය. තමා වෙත ආරාධනය කරන බෞද්ධ මධ්‍යස්ථානය කවර බෞද්ධ සම්ප්‍රදායකට අයත් වුව, එනම් එය කාගු, නිංමා, සාක්‍ය, ගෙලුග්, සෙන් හෝ ථේරවාද සම්ප්‍රදායට අයත් වුවද, ඔහු එම සම්ප්‍රදායට අයත් ක්‍රමයට දේශනාව පවත්වයි. මෙම නම්‍යශීලිත්වය බුදු දහමේ සීමාවන් ඉක්මවා යන තරම් විය. වරෙක ඉතාලියේ මිලානෝ නුවර කතෝලික කතක් විසින් "මං දැන් බුදුන් සරණ ගොස් බෝධිචිත්ත හා තන්ත්‍ර ශික්ෂාපද සමාදන් වී සිටින කෙනෙක්. දැන් මං පල්ලියට යන එක වරදක්ද"යි විමසන ලදී. රින්පෝෂේගේ පිළිතුර වූයේ, "කිසිම වරදක් නෑ. වෙනත් දහමක ආදරය හා කරුණාව පිළිබඳ ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමු කරන්නේ නම්, එතනදිත් ඔබගේ සරණ යාමට හා ශික්ෂා පද සමාදන් වීමට අදාළ දිශාවටම නේද ගමන් කරන්නේ?" යන්නයි.

Top