මහා ගුරුවරයෙකු බවට පත්වීම සඳහා සර්කොං රින්පෝෂේගේ ප්‍රවේශය

ආධ්‍යාත්මික ගුරුවරයෙකු විෂයයෙහි විශ්වාසය හා මුළු හදවතින්ම වූ කැපවීම ගොඩනගා ගැනීම

ආධ්‍යාත්මික ගුරුවරයෙකු කෙරෙහි මුළු හදවතින්ම කැපවීම වූකලි ඉතාමත් දුෂ්කර හා තියුණු බෞද්ධ පිළිවෙත් අතරින් එකකි. එය නිවැරදිව පිහිටුවා පවත්වාගෙන යනු පිණිස ඉමහත් සැලකිලිමත් බවක් අවශ්‍ය වේ. ශක්තිමත් පදනමක් මත පිහිටුවාගත් පසු, කිසිවකට හෝ එය බිඳ හෙළිය නොහැක. එතුමා හා මා අතර සම්බන්ධතාවයද මෙවැන්නක් බවට පත්කිරීමට වගබලාගනු සඳහා සර්කොං රින්පෝෂේ විසින් ඉමහත් වෙහෙසක් දරන ලදී. මුංගෝඩ්හි මහා මොන්ලැම් උත්සවය අවසානයේ එක් සැඳෑවක එහි සිය දේපළවන මූල්‍යමය තත්ත්වය පිළිබඳ සංකීර්ණ කථාව රින්පෝෂේ විසින් මා හට පවසන ලදී. එතුමාගේ සෙසු සහායකයන් හට මෙය අනවශ්‍ය දෙයක් බව හැඟුණද, මවිසින් එය දැනගෙන සිටීම වැදගත් වනු ඇතැයි රින්පෝෂේ විසින් පවසන ලදී. ඊර්ෂ්‍යාකාර පුද්ගලයන් වෙතින් මෙම කරුණ සම්බන්ධ ව්‍යාජ දූෂමාන ආරංචි පසු කාලීනව මා හට අසන්නට ලැබුණද, එතුමාගේ අවංකත්වය හෝ මුළු හදින්ම සිදු කෙරෙන මාගේ කැපවීම සම්බන්ධයෙන් එක් මොහොතක හෝ සැකයක් පවත්වාගෙන නොයන බවට සහතික කරගැනීම ඔහුගේ අපේක්ෂාව විය.

ආධ්‍යාත්මික ගුරුවරයෙකු කෙරෙහි මුළු හදින්ම පවත්වාගත යුතුවන කැපවීමක් සඳහා අපේක්ෂිත සිසුන් හා ගුරුවරුන් අතර පූර්ණ හා දීර්ඝ අන්‍යෝන්‍ය විමර්ශනයක් සිදුවිය යුතුවේ. ප්‍රවේශමෙන් කරුණු සොයා බැලීමෙන් අනතුරුව සිසුන් විසින් සිය ලාමාවරුන් බුදුවරුන් සේ සැලකිය යුතුවන නමුත්, මෙමගින් ආධ්‍යාත්මික ගුරුවරුන් දෝෂ රහිත අය බවක් අදහස් නොවේ. සිසුන් විසින් නිරතුරු ගරුවරුන්ගේ ප්‍රකාශ පරීක්ෂාවට ලක්කළ යුතු අතර, අවශ්‍ය වන්නේ නම්, විනීත ලෙස වැඩිදුර යෝජනාද කළ යුතුය. නිති පරීක්ෂාකාරීව වාසය කරන ඔවුන් විසින් සිය ලාමාවරුන් විසින් ප්‍රකාශ කරන හෝ සිදු කරන ඕනෑම දෙයක් ගෞරවාන්විතව නිවැරදි කළ යුතුය.

වරෙක රින්පෝෂේ විසින් ප්‍රංශයේ නාලන්දා ආරාමයේ විසූ බටහිර භික්ෂූන් වෙත මෙකරුණ පෙන්වා දීමට උත්සාහ කරන ලදී. දේශනාවක් අතරතුර, ඔහු විසින් සිතා මතාම යම් කරුණක් මුළුමනින්ම සාවද්‍ය ලෙස විස්තර කරන ලදී. ඔහු විසින් ප්‍රකාශ කරන ලද දෙය හෙළා දැකිය යුතු තරම් න්‍යාය විරෝධී එකක් වූ නමුත් සියලු භික්ෂූහූ එතුමාගේ වචන සිය සටහන් පොත්වල ගෞරව සම්ප්‍රයුක්තව සටහන් කළහ. ඊළඟ සැසියේදී, පසුගිය පැයේ තමා විසින් යම් කරුණක් මුළුමනින්ම හාස්‍ය ජනක හා සාවද්‍ය ආකාරයකිකන් විස්තර කරන ලද බව පවසමින් රින්පෝෂේ විසින් එම භික්ෂූන් වෙත දොස් පවරන ලදී. කිසිවෙකු විසින් හෝ ඔහු ප්‍රශ්න නොකළේ මන්ද? බුදුන් වහන්සේ විසින්ම උපදෙස් ලබාදුන් පරිදි, ගුරුවරයෙකු පවසන දෙය අන්ධ භක්තියෙන් හා අවිවේචනාත්මකව කිසි විටෙකුදු නොපිළිගත යුතු බව ඔහු විසින් ඔවුන්ට පවසන ලදී. ශ්‍රේෂ්ඨ ගුරුන් හට පවා ඇතැම් විට වැරදි සිදුවේ; භාෂා පරිවර්තකවරු නිරන්තරයෙන්ම වැරදි සිදු කරති; අනිවාර්යයෙන්ම සිසුහූ සාවද්‍ය හා ව්‍යාකූල ලෙස සටහන් තබා ගනිති. යම් කරුණක යම් අමුත්තක් පෙනේ නම්, ඔවුන් විසින් නිරතුරු එ්වා ප්‍රශ්න කරමින් එම සෑම අදහසක්ම ශ්‍රේෂ්ඨ කෘතීන් හා සසඳා විමසා බැලිය යුතුය.

ශ්‍රේෂ්ඨතම බෞද්ධ ගුරුවරුන්ගේ කෘතීන් පවා විග්‍රහ කිරීම හා ප්‍රශ්න කිරීම

පෞද්ගලිකව රින්පෝෂේ විසින් ප්‍රමිතිගත බෞද්ධ අටුවා පවා ප්‍රශ්න කරන ලදී. එසේ කිරීමේදී, ඔහු විසින් ෂොංඛපා පූර්වාදර්ශය අනුගමනය කරන ලදී. දහ හතරවන සියවසට අයත් මෙම සමාජ පරිවර්තකවරයා විසින් අවධානයට ලක් කරන ලද කරුණක් වූයේ ඉන්දියානු මෙන්ම තිබ්බතීය ගුරුවරුන් විසින්ද කරන ලද ගෞරවයට ලක්වූ කෘතීන් බොහොමයක් එකිනෙකට පරස්පර අදහස්වලින් සමන්විත වූ අතර, නොඑසේ නම් අතාර්කික ප්‍රකාශනයන් අන්තර්ගත එ්වා වූ බවයි. තර්කයට අනුගත නොවූ ස්ථාවරයන් ප්‍රතික්ෂේප කිරීම මගින් හෝ පෙරදී වරදවා වටහාගෙන තිබූ පාඨයන් සඳහා නව, අන්තර් ඥානයන් ගැබ්වූ අර්ථ නිරූපණයන් ලබා දෙමින් ෂොංඛපා විසින් මෙම කරුණු හෙළි කොට විමර්ශනයට ලක් කරන ලදී. සුවිශාල සූත්‍රමය දැනුමක් සහිත හා ගැඹුරු භාවනා අත්දැකීමක් සහිත අයට පමණි එවන් නව අදහස් බිඳ හෙළීමේ සුදුසුකම ඇත්තේ. සර්කොං රින්පෝෂේ එ් අතරින් එක් අයෙකු විය.

නිදසුනක් ලෙස, ඔහුගේ මරණයට මද කලකට පෙර, අර්ථ කථනය කළ හැකි හා නියත අර්ථයන් පිළිබඳ විශිෂ්ට විග්‍රහ සාර සංග්‍රහය නමින් යුත් ෂොංඛපාගේ ඉතාමත් දුෂ්කර දාර්ශනික කෘතියක පාඨයක් මා කැඳවා රින්පෝෂේ විසින් මා වෙත පෙන්වන ලදී. සිය දෛනික පිළිවෙත් පූරණයේ කොටසක් ලෙස රින්පෝසේ විසින් මෙම පිටු සිය ගණනක නිබන්ධනය කට පාඩමින් දිනපතා සජ්ජායනය කරන ලදී. මෙම පාඨය තුළ සලකා බලන ලද්දේ සිත තුළින් ව්‍යාකූලත්වය ඉවත් කිරීමේ අදියරයන් වන අතර, විශේෂයෙන් ව්‍යාකූලත්වයේ "බීජ" සම්බන්ධ ගැටලුවයි. ප්‍රමිතිගත අටුවාවන් තුළ මෙම බීජ අර්ථ නිරූපණය කරනු ලබන්නේ භෞතික දෙයක්ද නොවන හා දෙයක් පිළිබඳ දැනුවත් වීමේ විධියක්ද නොවන නිරතුරු වෙනස් වන සංසිද්ධි ලෙසිනි. මෙකරුණ ගෙනහැර දැක්වීම පිණිස, මවිසින් අදාළ යෙදුම "බීජ" ලෙස නොව "ප්‍රවණතාවයන්" ලෙස පරිවර්තනය කරන්නට වීමි. තර්කන ඥාණය, අත්දැකීම හා කෘතියෙන් ගත් සෙසු පාඨයන්ද උපුටා දක්වමින් රින්පෝෂේ විසින් විස්තර කරන ලද්දේ සහල් බීජයක් යනුද සහල්ම වන බවයි. එබැවින්, ව්‍යාකූලත්වයේ බීජයක් යනු ව්‍යාකූලත්වයේම "සළකුණකි". මෙම විප්ලවීය අර්ථ නිරූපණය තුළ යටි අවිඥානිකත්වය වටහා ගන්නා ආකාරය හා එ් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සම්බන්ධ ගැඹුරු අතු විහිදීම් දක්නට ඇත.

රින්පෝෂේගේ ජීවන විලාසිතාවට අදාළ සරලත්වය

සර්කොං රින්පෝෂේගේ නවෝත්පාද දීප්තිය එසේ වුවද, ඔහු විසින් සියලු අවස්ථාවන්හි හා සියලු ආකාරයන්ගෙන් නිහතමානිත්වය හා මවා පෑම් රහිත චරිත ස්වභාවයක් අවධාරණය කරන ලදී. මෙලෙසින්, මුංගෝඩ්හි සිය ආරාමයේ විසූ උසස්ම ලාමාවරයා ඔහු වුවද, සිය මට්ටම අන්‍යයන් වෙත ප්‍රකාශ කෙරෙන ආකාරයේ විශාල නිවසක් ඉදි නොකළ රින්පෝෂේ හුදෙක් සරල කුටියක විසීය. ධර්මශාලාහි ඔහුගේ නිවසද අතිශයින්ම සරල එකක් වූ අතර, පුද්ගලයන් සිවු දෙනෙකු, නිරන්තරයෙන් පැමිණෙන අමුත්තන්, බල්ලන් දෙදෙනා සහ බළලෙකුද සඳහා වූ කාමර තුනකින් පමණක් සමන්විත විය.

සිය ශ්‍රේෂ්ඨත්වය විදහා දැක්වීමෙන් නිරතුරුවම වැළකී සිටි රින්පෝෂේ, සිය සිසුන් විසින්ද තමා ශ්‍රේෂ්ඨත්වයට හෝ උත්කර්ෂයට නංවාලීමෙන් වළකාලන ලදී. ගුරු-යෝග ලෙස ප්‍රකට සවිස්තරාත්මක දර්ශනයන් විදහා දැක්වීම හා ලාමාගේ සංස්කෘත නම ඇතුළත් මන්ත්‍රයක් නැවත නැවතද ප්‍රකාශ කිරීම වැනි සිය ආධ්‍යාත්මික ගුරුවරයා සමගින් පවත්වන සම්බන්ධතාවය කේන්ද්‍ර කොටගත් භාවනා පිළිවෙත් ගණනාවක් වේ. ගුරු යෝගා පිළිවෙත් පූරණයන්හිදී, රින්පෝෂේ විසින් නිරතුරුවම සිය සිසුන් වෙත උපදෙස් දෙන ලද්දේ පරම පූජනීය දලයි ලාමා වහන්සේගේ රුව මවාගන්නා ලෙසයි. එතුමාගේ නමින් සිදුකරන මන්ත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේදී රින්පෝෂේ විසින් නිරතුරුවම නැවත නැවත ජප කිරීම සඳහා සිය පියාගේ නම ලබාදෙන ලදී. රින්පෝෂේගේ පියා වූ සර්කොං ඩෝර්ජී චෑං විසිවන සියවස ආරම්භයේ සිටි ශ්‍රේෂ්ඨතම පිළිවෙත් පුරන්නන් හා ගුරුවරුන් අතරින් එක් අයෙකු විය. ඔහු සිය යුගයේ කාලචක්‍ර පෙළපත් දරන්නා විය. එනම්, ඔහු එම ක්ෂේත්‍රයට අදාළ දැනුම හා භාවනා අත්දැකීම ඊළඟ පරපුර වෙත සම්ප්‍රේෂණය කිරීමේ වගකීම දැරූ පිළිගත් ගුරුවරයා වූ බවයි.

සියලු ආකාර සීමා ඉක්මවීම්වලින් වැළකී සිටීම සඳහා මහත්මා ගාන්ධි ආදර්ශය අනුගමනය කිරීම

රින්පෝෂේගේ සරල විලාසය අන් බොහෝ ආකාරයන්ගෙන්ද ප්‍රකට විය. නිදසුනක් ලෙස රින්පෝෂේ සංචාරයන්හි නියැළි විටදී, ඔහු විසින් මහත්මා ගාන්ධි ආදර්ශය අනුගමනය කරන ලදී. අන් අයුරකින් කටයුතු කිරීමේ නිශ්චිත අවශ්‍යතාවයක් වීනම් විනා අන් අවස්ථාවන්හි ඉන්දියානු දුම්රියවල තෙවන පන්තියේ ත්‍රි-ස්ථර මැදිරිවල ගමන් කළ යුතු බව අවධාරණය කළේය. දුර්ගන්ධය හමන වැසිකිලිය ආසන්නයේ සැතපීමට සිදු වූ අවස්ථාවන්හි පවා මෙකරුණ එසේම සිදුවිය. අප බටහිර රටවල් කරා එක්ව ගමන් කළ පළමු සංචාරයේදී දිල්ලිය කරා යනු පිණිස ධර්මශාලාවෙන් පිටත්වූ විටදී මෙවැනි සිදුවීමක් සිදුවිය. මෙමගින් කරුණාව ගොඩනගා ගැනීමට රුකුලක් ලැබෙන බැවින් මෙසේ සාමාන්‍ය පරිදි ගමන් බිමන්හි නිරත වීම අති විශිෂ්ට තත්ත්වයක් බව රින්පෝෂේ විසින් පවසන ලදී. දුම්රියේ පන්ති තුනම එකම වේලාවකදී අවශ්‍ය ගමනාන්තයට ළඟා වන්නේ නම්, මුදල් අපතේ හරින්නේ මන්ද? පළමු පන්තියේ දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමෙන් හෝ විසිතුරු හා වියදම් අධික ආපන ශාලාවන් වෙත ඔහු කැඳවාගෙන යමින් තමා වෙනුවෙන් ජනතාව විසින් කරන මුදල් වියදම් කෙරෙහි රින්පෝෂේ සැබැවින්ම සතුටු නොවීය.

වරෙක රින්පෝෂේ ස්පිටිහි සිට ධර්මශාලා වෙත ආපසු එමින් සිටින අතර, එතුමා පැමිණීමෙන් පසු එතුමා හට ආචාර කිරීම සඳහා වෙනත් සිසුන් කීහිප දෙනෙකු සමගින් මමද බලා සිටියෙමි. රින්පෝෂේ රහිතව බොහෝ බස් හා මෝටර් රථ ගමන් කරනු බලා සිටීමෙන් අනතුරුව, කිලිටි පෙනුමැති පැරණි ට්‍රක් රථයක් වෙළඳපල දෙසට ඇදී යන්නට විය. ට්‍රක් රථයේ සෙනග පිරි මැදිරිය තුළ ජප මාලයද අත දරා සිටි රින්පෝෂේ හිඳ සිටිනු දැකිය හැකිවිය. මුළුමනින්ම ගමන් විලාසය හෝ ඔවුන්ගේ සුව පහසුව පිළිබඳ තැකීමකින් තොරව ඔහු හා ඔහුගේ සහායකයන් විසින් ස්පිටිහි සිටම දින තුනක් පුරා මෙයාකාරයෙන් ගමන් කොට තිබිණි.

මුංඩ්ගෝඩ්හි මහා මොන්ලැම් උත්සවයෙන් අනතුරුව රින්පෝෂේ සිය සහායකයන්ද සමගින් ධර්මශාලා වෙත ආපසු එමින් සිටින අතර,  දුම්රිය එනතුරු දවස පුරා පූනාහි රැඳී සිටීමට අපට සිදුවිය. ප්‍රාදේශීය තිබ්බතීය උණුසුම් කබා වෙළෙන්දෙකු විසින් අපගේ පරිහරණය සඳහා ලබාදුන් අතිශයින්ම ඝෝෂාකාරී හා උණුසුම් තුන්වන පන්තියේ හෝටල් කාමරයක ඔහු සතුටින් නැවතුණි. වඩාත් ලාභදායී හා පහසු බැවින් ඉන්දියාවේ සංචාරය කරන විටදී දවසක ගමනක නිරතවන බස් රථයකින් යාම යෝග්‍ය බව රින්පෝෂේ විසින් නිරන්තරයෙන්ම යෝජනා කරන ලදී. සෙනග පිරි බස් නැවතුම්පළයන්හි බස්රිය එනතුරු බලා සිටීම කරදරයක් සේ ඔහු කිසි විටෙක නොතැකීය. තමාගේ සිත යොමු කරවීම සඳහා තමා සතුව බොහෝ භාවනා පිළිවෙත් පවත්නා බව ඔහු අපට පැවසීය. තමා වටා පවතින ඝෝෂාව, වියවුල්බව, හා කිලිටි බව කිසි විටෙකුදු ඔහුගේ සමාධියට බාධාවක් නොවීය.

රින්පෝෂේ කිසි විටෙක හෝ එක් ස්ථානයක දිගු වේලාවක් රැඳී නොසිටි අතර, නිරතුරු සංචාරය කරන්නට විය. එය ඇල්ම මැඩ පැවැත්වීමෙහි ලා යහපත් දෙයක්ය යන්න ඔහුගේ අදහස විය. මේ අනුව, අපට කළ ආරාධනය ඉක්මවා වැඩි දින ගණනක් එකම ස්ථානයෙහි ගත කරමින් අපගේ අනුග්‍රාහකයන් වෙත කරදරයක් වේය යන බියෙන් එක් නිවෙසක දින කිහිපයකට වඩා කිසි විටෙක හෝ නොනැවතුණෙමු. ගුරුවරයා ලෙස වැඩිහිටි තිබ්බතීය භික්ෂුවක සහිත බෞද්ධ මධ්‍යස්ථානයක නවාතැන් ගත් ඕනෑම අවස්ථාවක, රින්පෝෂේ එම භික්ෂුවට ඔහුගේ හොඳම මිතුරාට සේ සැළකීය. කිසිදින ඔහු යම් විශේෂ පුද්ගලයෙකු වෙත පමණක් සිය හෘදයාංගම සම්බන්ධතාවය සීමා නොකළේය.

එළැඹි තත්ත්වයට නම්‍යශීලී වෙමින් සිදුකරන අඛන්ඩ, නිර්ව්‍යාජ පිළිවෙත් පූරණය 

රින්පෝෂේ ගමන් කළ කවර ස්ථානයකදී වුව, දිවා කාලය පුරා දැඩි පිළිවෙත් පූරණයක නියැළි අතර, රාත්‍රියේදී නින්දක් නොලබන තරම්ය. පුද්ගලයන් හමුවීම් අතරතුර පමණක් නොව ඔහු හමුවීමට පැමිණි විදේශීය සංචාරකයන්ගේ සාකච්ඡාවන් සම්බන්ධ මාගේ කථන පරිවර්තනයන් සිදු කරන තෙක් එන කෙටි කාල අන්තරයන්හි පවා තන්ත්‍ර රූ මවාපෑම් සඳහා වූ මන්ත්‍ර හා පාඨ ජප කිරීම සිදු කළේය. එම මවාපෑම්වලට අදාළ භාවනාවන් මෝටර් රථ තුළ, දුම්රියෙහි, ගුවන් යානයන්හි පවා සිදුකළ අතර, බාහිර පරිසර තත්ත්වයන් කිසිසේත් ඔහුට අදාළ නොවීය. ගමන් කරනුයේ කවර ස්ථානයකට වුවද, සිදු කරනුයේ කවර කාර්යයක් වුවද, දැඩි දෛනික පිළිවෙත් සම්ප්‍රදායක් පවත්වාගෙන යන්නේ නම් එය අපගේ ජීවිතවලට යම් ගලා යාමක් ඇති කරන බව ඔහු විසින් අවධාරණය කරන ලදී. එමගින් අති මහත් නම්‍යශීලිත්වයක්, හා ස්ථාවරත්වයක් අප වෙත ලැබේ.

තවද, රින්පෝෂේ විසින් ඔහුගේ පිළිවෙත් පූරණය ප්‍රදර්ශනයක් බවට කිසි විටෙක හෝ නොහැරවීය. ආහාර ගැනීමට පෙර ආහාරවලට ආශිර්වාද කිරීම හෝ දේශනා කිරීමට පෙර යාඥා කිරීම වැනි දේ නිහඬව හා රහසිගතව සිදු කරන ලෙස ඔහු උපදෙස් දුන්නේය. අන් අය සමගින් ආහාර ගැනීමට පෙර දිගු, ගැඹුරු කාව්‍ය ගායනා කිරීම මගින් හුදෙක් ඇති කෙරෙනු ඇත්තේ අන්‍යයන් වෙත අපහසුතාවයක් ඇති කිරීම හෝ අප විසින් අපගේ හැකියාවන් ඔවුන්ට ප්‍රදර්ශනය කරන්නේය යන හැඟීමක් හෝ ඔවුන් ලජ්ජාවට පත් කිරීමට උත්සාහ කරන්නේය යන හැඟීමක් ඇති කිරීම පමණි. තවද, කිසි විටෙක හෝ අන්‍යයන් මත කිසිදු පිළිවෙත් පූරණයක් හෝ චාරිත්‍රයක් බලයෙන් නොපැනවූ ඔහු, ඔහුට ආරාධනය කළ මධ්‍යස්ථානය තුළ සාමාන්‍යයෙන් අනුගමනය කරනු ලබන ඕනෑම යැදුමක් හෝ චාරිත්‍රයක් සිය දේශනයන්ගෙන් අනතුරුව ඉටු කරන ලදී.

රින්පෝෂේ විසින් දලයි ලාමා වහන්සේට සහ තිබ්බතීය හා බටහිර ආරාමයන් වෙතද ඉමහත් සේ ප්‍රදානයන් සිදු කළද, ඔහු කිසි විටෙකුදු එ්වා පිළිබඳ වගාඩම්බර තෙපළීම හෝ කිසිවක් හෝ පැවසීම සිදු නොකරන ලදී. කිසි විටෙක හෝ එසේ නොකරන ලෙසද ඔහු විසින් උගන්වන ලදී. වරෙක ඉතාලියේ විලෝබා නුවර මැදි වියේ දුගී පුද්ගලයෙකු රින්පෝෂේ බැහැ දැකීමට පැමිණියේය. ඔහු කාමරයෙන් පිටව යන අවස්ථාවේදී පැහැදිලිව දිස්වන ස්ථානයක පවා නොපිහිටි, පසෙකින් වූ මේසයක් මත යම් පරිත්‍යාගයක් අඩංගු ලියුම් කවරයක් තබා නිහඬවම පිටවිය. ලාමාවරයෙකු හට පූජාවන් සිදු කිරීමේ ක්‍රමය විය යුත්තේ මෙය බව පසුව රින්පෝෂේ විසින් පවසන ලදී.

කෙසේ වුවද, අපගේ නිහතමානිත්වය ව්‍යාජ එකක් නොව, අවංක එකක් විය යුතු බවද රින්පෝෂේ විසින් අවධාරණය කරන ලදී.  සැබැවින්ම ආඩම්බරකාර වූද, අහංකාර වූද පුද්ගලයන් හෝ තමා මහා යෝගීන් බව සිතූ නමුත් නිහතමානී අය බවට අඟවන්නට උත්සාහ කරන පුද්ගලයන් ඔහුට රිසි නොවීය. ශ්‍රේෂ්ඨ ලාමාවරයෙකු වෙත ගිය නොමැඩ් පසුබිමකින් පැවති පිළිවෙත් පුරන්නෙකු පිළිබඳ කථාවක් ඔහු නිතර කීය. ශිෂ්ටාචාරයට අයත් කිසිවක් හෝ මින් පෙර කිසිදින නොදුටු පුද්ගලයෙකු සේ රඟපාමින් ලාමාවරයාගේ මේසය මත වූ චාරිත්‍රමය උපකරණ කවරේදැයි ඔහු විසින් විමසන ලදී. ලාමාගේ බළලා වෙත අත දිගු කරමින් මෙම අපූරු සත්ත්වයා කවරෙක්දැයි විමසා සිටි අවස්ථාවේදී ලාමාවරයා විසින් ඔහුට පා පහරක් දී පළවා හරින ලදී.

සිය පුද්ගලික පිළිවෙත් පෞද්ගලික මට්ටමේම තබා ගැනීම

පුද්ගලයන් විසින් සිය පිළිවෙත් පිළිබඳ වගාඩම්බබර තෙපළීම රින්පෝෂේගේ විශේෂ අප්‍රසාදයට හේතුවූ කරුණක් විය. අප විසින් භාවනා වස් සමයක් ආරම්භ කිරීමට යන්නේ නම් හෝ එවන් සමයක් සම්පූර්ණ කොට ආපසු පැමිණියේ නම් හෝ එය සෙස්සනට නිවේදනය කිරීමෙන් වැළකී සිටිය යුතු බවට ඔහු විසින් උපදෙස් දෙන ලදී. එවන් දේ පුද්ගලිකව තබා ගන්නා අතර, අප කරන කාර්යය කවරක්ද යන්න කිසිවෙකු හෝ නොදන්නා තත්ත්වයක පසුවීම ඉතා යහපත්ය. නොඑසේ නම්, අන් අය විසින් අප පිළිබඳව කරන කථාවන් මගින් අප තුළ ඇතිවන ආඩම්බරය, හෝ අන්‍යයන්ගේ ඊර්ෂ්‍යාවට පාත්‍රවීම හෝ තරගකාරිත්වය වැනි බොහෝ බාධකයන් ඉස්මතුවනු ඇත. ෂොංඛපාගේ ප්‍රධාන තන්ත්‍ර පිළිවෙතට අදාළ බුදු රුව කවරක්ද යන්න පවා කිසිවෙකු විසින් හෝ දැන නොසිටින ලදී. එතුමාගේ මරණය සිදුවීමට ආසන්න සමයේදී සිය අභ්‍යන්තර පූජා කෝප්පය තුළින් දෙසැට පූජාවන් සිදුකරන අවස්ථාවක, එතුමා එම පූජාවන් සිදු කරනුයේ අභ්‍යන්තර ප්‍රීතිය සංකේතවත් කරන බුදුරුව වන චක්‍රසංවර වෙත බව ඔහුගේ සිසුවෙකු වූ කෙඩෘබ් ජේ විසින් නිරීක්ෂණය කළ අවස්ථාවේදීය එම බුදුරුව කවරක්ද යන්න පවා දැනගන්නට හැකි වූයේ. මේ හා සමානවම, රින්පොෂේ කාලචක්‍ර විශේෂඥයෙකු හා ප්‍රවීණයෙකු බවට වූ පිළිගැනීමක් පැවතියද, කිසිවෙකු හෝ රින්පෝෂේගේ පුද්ගලික පිළිවෙත කවරක්ද යන්න දැන නොසිටියේය.

පූරණය කරමින් සිටි පිළිවෙත කවරක්ද යන්න අදාල පුද්ගලයා මිය යාමෙන් අනතුරුව ඔවුන්ගේ සිවුරු කොණෙහි මසන ලද වජ්‍රය හා සීනුව මගින් පමණක් පුද්ගලයන් විසින් හඳුනාගන්නා තරමට රහසිගතව හා ප්‍රබල ලෙස සිය තන්ත්‍ර පිළිවෙත් පිරූ කඩම්පා ගේෂේවරුන් පිළිබඳ රින්පෝෂේ විසින් නිරතුරුව කථා කරන ලදී. රින්පෝෂේද මෙම මාදිලියට අනුව සිය ජීවිතය ගත කළේය. රින්පෝෂේ සාමාන්‍යයෙන් සිය නිවසේ අන් සියල්ලන් නින්දට යාමට පැය භාගයකට පෙර නින්දට යන අතර, ඔවුනට මදක් පසුවී පසුදින නින්දෙන් අවදි වේ. ඔහුගේ සේවකයන් හා මා විසින් නිරතුරුව නිරීක්ෂණය කරන ලද කරුණක් නම්, සියලු දෙනා නින්දට ගිය බව තහවුරු වූ පසු ඔහුගේ කාමරයේ විදුලි පහන් දැල්වෙන අතර, නිවැසියන් නින්දෙන් අවදි වීමට මදකට පෙර එම විදුලි පහන් නැවත නිවී යන බවයි.

වරෙක ජර්මනියේ ජැගෙන්ඩෝෆ්හිදී රින්පෝෂේගේ ජ්‍යෙෂ්ඨ සහායක චොන්ඩ්ෂෙයිලා රින්පෝෂේ සමග හවුලේ නිදන කාමරය පරිහරණය කරන ලදී. නිදිගත් බවක් අඟවමින් සිටි චොන්ඩ්ෂෙයිලා විසින් රින්පෝෂේ මැදියම් රැයෙහි නින්දෙන් අවදි වී නාරෝපා පිළිවෙත් සයට අදාළ විවිධ දුෂ්කර ඉරියවු පුහුණුවෙහි නිරත වන බව නිරීක්ෂණය කරන ලදී. අවදි වීම හා ඇවිද ඉවතට යාම සඳහා සාමාන්‍යයෙන් දිවා කාලයේදී රින්පෝෂේ හට තවෙකෙකුගේ උපකාර අවශ්‍ය වුවද, ඔහු තුළ සැබැවින්ම මෙම යෝග අභ්‍යාසයන්හි නියැළීමට අවශ්‍ය ශක්තිය හා නම්‍යශීලිත්වය පැවතිණි.

සිය යහ ගුණ සඟවාගෙන තබාගැනීම

රින්පෝෂේ නිරතුරු සිය යහගුණ සඟවා තබාගැනීමට උත්සාහ කළේය. සත්‍ය වශයෙන්ම, අමුත්තන් වෙත සිය අනන්‍යතාවය පවා හෙළි කිරීමට ඔහු අකමැති විය. වරෙක වයස්ගත ඉන්දුනීසියානු යුවළක් විසින් සිය මෝටර් රථයෙන් අපට පැරිස්හි සිට ඇම්ස්ටර්ඩෑම් වෙත ගමන් පහසුව සලසා දෙන ලදී. ඇම්ස්ටර්ඩෑම් නුවරට පැමිණීමෙන් අනතුරුව, එම යුවළ විසින් රින්පෝෂේට සිය නිවසේ ආහාර ගැනීම සඳහා ආරාධනා කරන ලදී. ඔවුන් විසින් සිය අමුත්තා කවුරුන්ද යන්න දැනගන්නා ලද්දේ දේශීය බෞද්ධ මධ්‍යස්ථානයේ පිරිස් විසින් එම යුවලට රින්පෝෂේගේ දේශනාවට සවන්දීමට පැමිණෙන ලෙස ආරාධනා කළ අවස්ථාවේදීය. ඔහු හුදෙක් සාමාන්‍ය, වයෝවෘද්ධ, මිත්‍රශීලී භික්ෂුවකැයි ඔවුහූ පෙරදී සිතූහ.

මෙම ස්වභාවයෙන්ම, රින්පෝෂේ විදේශ  සංචාරයන්හි නියැළි අවස්ථාවන්හි ළමුන් සමගින් චෙස් ක්‍රීඩාවෙහි නියැළීම හෝ සිය තරුණ සහායක නැවෑං හට එම ක්‍රීඩාවෙහි නියැළීමට අවසර ලබාදී දෙපසටම උපකාර කිරීම සිදු කරයි. ළමුන්ගේ සිතිවිල්ල වනුයේ මොහු කාරුණික මහළු සීයා කෙනෙකු බව පමණි. නත්තල් සමයේ ජර්මනියේ මූනිච්හි විථි දිගේ රින්පෝෂේ විසින් පා ගමනින් ගමන් කරමින් සිටින අතර රක්ත වර්ණ සිවුරු දරා සිටින ඔහු නත්තල් සීයාය යන සිතිවිල්ලෙන් ළමෝ ඔහු පසුපස ගමන් කරන්නට විය.

තමා යම් තරමක ඉංග්‍රීසි දැනුමක්ද සහිත අයෙකුය යන කරුණද රින්පොෂේ විසින් වසන් කරන ලදී. රින්පෝෂේගේ මරණයට මාසයකට පෙර ස්පිටිහි කාලචක්‍ර මූලාරම්භයෙන් අනතුරුව, ධර්මශාලා වෙත ආපසු එනු පිණිස ටැබෝ ආරාමයේදී ඔහුගෙන් සමු ගතිමි. බටහිර ජාතීන් කණ්ඩායමක් වෙනුවෙන් මවිසින් බස් රථයක් කුළියට ගෙන තිබූ අතර, එ්වන විට පිටත්ව යාම සඳහා වේලාව පැමිණ තිබිණි. නිම්නයේ තවදුරටත් සැතපුම් විස්සක් ඉදිරියට වන්නට පිහිටා තිබූ කී ආරාමය බැලීම සඳහා අවසන් මොහොතේ එක් විදේශිකයෙකු පිටත්ව ගොස් තිබූ අතර, අපේක්ෂිත වේලාවට ආපසු පැමිණ නොතිබිණි. ඇය සොයා මා කී වෙත යන අතර, භාෂා පරිවර්තකවරයෙකු රහිතව රින්පෝෂේ බැහැ දැකීමට ඉතාලි සිසුවෙක් පිටත් විය. මින්පෙර කිසි දිනෙක හෝ විදේශිකයෙකු සමගින් ඉංග්‍රීසි වදනකුදු නොදෙඩූ රින්පෝෂේ ඉතාලි ජාතිකයා වෙත හැරී පරිපූර්ණ ඉංග්‍රීසි භාෂාවෙන් "ඇලෙක්ස් කොහේද?"යි විමසීය. මවිත වූ එම පුද්ගලයා විසින් "රින්පෝෂේ, එ්ත් ඔබතුමා ඉංග්‍රීසි කථා කරන්නෙ නෑනෙ" යි කෑගැසූ අවස්ථාවේ රින්පෝෂේ කළේ සිනහසීම පමණි.

Top