බෞද්ධ පිළිවෙත් පුරන්නන් වෙත සර්කොං රින්පෝෂේ ලබාදුන් උපදෙස

අපගේ ආධ්‍යාත්මික ගුරුවරයා කෙරෙහි ආචාරශීලී වීම

සියලු ලාමාවරුන් කෙරෙහි ආචාරශීලී වෙමින් ඔවුන්ගේ කාලය අපතේ නොයැවීමේ අවශ්‍යතාවය සර්කොං රින්පෝෂේ විසින් නිරතුරු අවධාරණය කරන ලදී. ස්පිටිහි භක්තිමතුන්ගේ ආදර්ශය අනුගමනය නොකරන ලෙස ඔහු විසින් යෝජනා කරන ලදී. ඔහු වෙත සැමරුම් උතුරුසළු පිරිනැමීම සඳහා පෝළිම් ගැසීමේදී ස්පිටිහි සිටි ඔහුගේ බැතිමතුන්ගේ සිරිත වූයේ පෝළිමේ තමා සෘජුවම මුහුණට මුහුණ ඔහු හමුවන අවස්ථාව දක්වාම සිට වරෙකට එක් අයෙකු පමණක් වන සේ නමස්කාර කිරීමයි. එවන් ක්‍රියාවලියකට සෑම විටෙකම පැය ගණනක් ගතවේ. තවද, රින්පෝෂේ විසින් මා හට ලබාදුන් උපදෙස වූයේ ලාමාවරවයෙකුගෙන් ප්‍රශ්න විමසන විටදී  කිසි විටෙකුදු දිගු කථාවක් නොකරන ලෙස හා තමාගේ දැනුම ප්‍රදර්ශනය කිරීමට නොයන ලෙසයි. සැබැවින්ම මා හට ඔහු ලබාදුන් උපදෙස වූයේ එවන් ප්‍රශ්න එලෙසම කිසි විටෙක හෝ පරිවර්තනය නොකරන ලෙස හා එහිදී හුදෙක් පැවසෙන අදහස පමණක් ඉදිරිපත් කරන ලෙසයි.

මෙයට අමතරව, තමා බැලීමට පැමිණෙන අමුත්තන් වෙතින් නිරතුරුවම උතුරු සළු පිළිගැනීමට හෝ කොකිස් පෙට්ටි භාරගැනීමට රින්පෝෂේට අවශ්‍ය නොවීය. ඔහු ප්‍රකාශ කළේ ලාමාවරයෙකු හට පූජාවක් කිරීමට කැමති අයෙකු විසින් එම ලබන්නාට පරිහරණය කිරීමට හැකි හා ඔහු කැමති සිත්ගන්නා සුළු දෙයක් පූජා කළ යුතු බවයි. තවද, මාහට ඔහු නිරතුරු හමුවූවාක් මෙන් යමෙකු හට නිරතුරු ඔහු හමුවන්නේ නම්, ඔහුගේ උපදෙස වූයේ දේවල් රැගෙන එ්මෙන් වළකින ලෙසයි. ඔහුට කිසිවක් හෝ උවමනා හෝ අවශ්‍ය හෝ නොවීය.

යම් කිසිවක් ක්‍රියාත්මක නොවේ නම්, සාමාන්‍ය දැනීම භාවිත කොට විකල්ප සැලසුම් සමගින් සූදානම් වීම

රින්පෝෂේ විසින් පුද්ගලයන් වෙත නිරන්තරයෙන්ම ලබාදුන් උපදෙසක් වූයේ සාමාන්‍ය දැනීම පාවිච්චි කරන ලෙසයි. මෙලෙසින්, ලෞකික කටයුතු සඳහා ආශිර්වාද කරන ලෙස පුද්ගලයන් විසින් ඔහුගෙන් ඉල්ලා සිටිනු ලැබීම ඔහුට ප්‍රිය නොවීය. ආශිර්වාදයක් ලෞකික කටයුතු සඳහා ඉල්ලා සිටීම සුදුසු වන එකම අවස්ථාව වනුයේ විශේෂයෙන්ම ආධ්‍යාත්මික කරුණුවලට සම්බන්ධව, යම් ගැටලුවක් නිරාකරණය කිරීමට සාමාන්‍ය ක්‍රමවේද අසමත් වන අවස්ථාවයි. වරෙක මාගේ නිවෙස් කුලිය සම්බන්ධ ගැටලුවක් මා හට පැවති අතර, කළ යුතු දෙය සම්බන්ධ ආශිර්වාදයක් ඉල්ලා සිටියෙමි. ගොස් නීතිඥයෙකු හමුවන ලෙස පවසා රින්පෝෂේ විසින් මා එළවා දමන ලදී.

තවද, යම්කිසි කටයුත්තක් සැලසුම් කිරීමේදී, අවම වශයෙන් ක්‍රියාත්මක කළ හැකි ක්‍රියාමාර්ග තුනක් හෝ සකස් කරගන්නා ලෙස රින්පෝෂේ විසින් නිරතුරු නිර්දේශ කරන ලදී. එවන් ක්‍රමෝපායකින් ලබාගන්නා නම්‍යශීලිත්වය තුළ එක් සැලසුමක් අසාර්ථකවීම තුළ ඇතිවන අසරණ භාවය හා බැඳි බිය වළක්වාලනු ලබයි. විකල්ප ගණනාවක් සූදානම්ව පැවතීම තුළ අවම වශයෙන් ඉන් එකක් හෝ සාර්ථක වනු ඇත්තේය යන විශ්වාසය තුළ යම් ආරක්ෂිත හැඟීමක් ඇති කරනු ලබයි.

කෙසේ වුවද, සිසුන් තමා සම්බන්ධව ස්වාධීනව සිතමින් තීරණ ගැනීමේ නොහැකියාවන් තහවුරු කරමින් ආශිර්වාදයන් මත යැපීමේ තත්ත්වයකට පත්විය හැක. සිය ජීවිත සම්බන්ධ වගකීමෙන් පළා යමින්, එවන් පුද්ගලයෝ තමා වෙනුවෙන් අනෙකෙකු තීරණ ගනු ඇතැයි අපේක්ෂා කරති. නිරතුරුවම ප්‍රධාන තීරණ සම්බන්ධයෙන් ආධ්‍යාත්මික ගුරුවරයෙකුගේ උපදෙස් පැතීමෙහි ප්‍රයෝජනයක් ඇත්තේ වුවද, මෙය සිදු කිරීමේ වඩාත් ස්ථාවර විධිය වනුයේ ඔහුගේ හෝ ඇයගේ වටිනාකම් තමා තුළටද ඇතුළත් කරගැනීමයි. එ් අනුව අදාළ ලාමාවරයා නොසිටින තැනෙක වුවද, වඩාත් ප්‍රඥාගෝචර ක්‍රියාමාර්ගය තීරණය කිරීමෙහි ලා මෙකී වටිනාකම් තමා අසල නිරතුරු පවතිනු ඇත.

පුද්ගලයන් විසින් තමාට අවශ්‍ය පිළිතුර ලැබෙන තෙක් එකම ප්‍රශ්නයට අදාළව ආශිර්වාද කරන ලෙස ලාමාවරුන් වෙතින් ඉල්ලා සිටීමට එරෙහිව රින්පෝෂේ විසින් විශේෂයෙන් අවවාද ලබාදෙන ලදී. ආශිර්වාදයක් ඉල්ලා සිටීම තුළ ඇඟවෙනුයේ අදාළා ලාමාවරයා සම්බන්ධ විශ්වාසය හා ඇදහීමයි. මින් අදහස් කෙරෙනුයේ එම පුද්ගලයා විසින් ලබාදෙන කවර හෝ උපදෙසකට අනුව කටයුතු කරන්නේය යන්නයි. මෙයට අමතරව, ලාමාවරයෙකු වෙත පැමිණ වෙනත් ගුරුවරයෙකු විසින් තමාට මෙය හෝ එය සිදුකරන ලෙස උපදෙස් දුන් බවත්, එ් අනුව ඔබ එ් පිළිබඳ සිතන්නේ කවරක්ද? මා එය කරන්නද? ආදී පැණ විමසීමද සිදු නොකරන ලෙස රින්පෝෂේ විසින් උපදෙස් දෙන ලදී. වෙනත් ආධ්‍යාත්මික ගුරුවරයෙකු විසින් වැරදි ඔවදනක් ලබාදී ඇත්තේයැයි පිළිතුරු දීමේ අපහසු අවස්ථාවකට ලාමාවරයෙකු පත් කිරීම තුළ සංවේදිත්වයක් නොමැති ස්වභාවයක් පෙන්නුම් කරයි.

නිවැරදිව පැන විමසන ආකාරය ඉගෙනීම

බොහෝ බටහිර වාසීහූ සැබැවින්ම ලාමාවරුන් වෙතින් පැන විමසන ආකාරය නොදනිති. අඥාන ලෙස ඔහුගෙන් ප්‍රශ්න විමසීමට ඔවුන් පැමිණෙන විටදී, පොදුවේ රින්පෝෂේ විසින් ඔවුන් නිවැරදි කරයි. නිදසුනක් ලෙස,  යම් බලගැන්වීමකට සහභාගි විය යුතුද යන්න යමෙකු විසින් නොදන්නේ නම්, "මෙම මූලාරම්භයට සහභාගි වීම යහපත්ද?" යන පැනය විමසීම හාස්‍යජනකය. සැබැවින්ම එය යහපත්ය. එය අයහපත් බවක් කිසිවෙකුට හෝ පැවසිය නොහැක. "මා සහභාගි වන්නද, නොවන්නද?" යන්නක් යමෙකු විසින් විමසන්නට වුවහොත්,  ඉන් ඇඟවෙන දෙය වනුයේ "මා සහභාගි විය යුතුමද?" යන්නකි. කිසිවෙකු හෝ සහභාගි විය යුතුම නොවේ. එවන් කරුණු සම්බන්ධව ආධ්‍යාත්මික ගුරුවරයෙකුගෙන් උපදෙසක් විමසන්නේ නම් විමසිය යුතු වඩාත්ම යහපත් පැනය වනුයේ "ඔබතුමා නිර්දේශ කරන්නේ මා කුමක් කළ යුතු බවද?" යන්නකි.

තවද, ලාමාවරයෙකු වෙත පැමිණ තමා සිදුකරන කාර්යයකට සම්බන්ධ බලගැන්වීමක් ලබාගැනීම සඳහා අවසරය ඉල්ලා සිටීමේදී, "මා හට මූලාරම්භය ලබාගත හැකිද, නැත්ද?" යන්නක් විමසීම අඥාන දෙයකි. මින් ඇඟවෙනුයේ "මා හට එය කළ හැකිද, නැත්ද?" යන්නක් වන අතර, එය මුළුමනින්ම න්‍යාය විරෝධී වූවකි. විමසිය යුතුවන නිවැරදි ස්වභාවය වනුයේ "කරුණාකර මම බලගැන්වීම ලබාගන්නද?" යන්නයි. විදේශීය රටක ජීවත්වීම සඳහා වීසා දීර්ඝ කරගැනීම සඳහා ඉල්ලා සිටින විටදී මෙන්, "මට තවදුරටත් මෙහි සිටිය හැකිද, නැත්ද?" යන්නක් විමසනු ඇත්තේ මෝඩයෙකු පමණි. එම ඉල්ලීම සිදුකරන වඩාත් පරිණත ආකාරය වනුයේ "ඔබතුමාගේ කාරුණික අවසරය මත, මං තවදුරටත් රැඳී ඉන්න කැමතියි" යන්නයි.

අත් සයක් සහිත මහකලා ආරක්ෂක බලවේගය බලගැන්වීමේ උත්සවය සඳහා තමා වෙත අවසරය ලබාදෙන ලෙස වරෙක ටර්නර් විසින් මාස ගණනාවක් පුරා රින්පෝෂේ වෙතින් නැවත නැවතද ඉල්ලා සිටිමින් කරදර කරන්නට විය. අවසන රින්පෝෂේ එකඟ වූ විටදී, දෛනික යැදුම් ආශ්‍රිත කැපවීම කවරක්ද යන්න ඔහුගෙන් රින්පෝෂේ විමසීය. කැපවීම වශයෙන් ඔහුට ඕනෑම දෙයක් සිදුකළ හැකි බව පවසා බැණ වදිමින් රින්පෝෂේ විසින් ඔහුට පහර නොදුන්නා පමණි.

කැපවීම් සිදුකිරීමට පෙර කැපවීම් පිරික්සීම

යම් කාර්ය මූලාරම්භයකින් සිදුකරන යැදුම් කැපවීම පිළිබඳ හෙට්ටු කිරීමට උත්සාහ කරන බටහිර ජාතීන් පිළිබඳ රින්පෝෂේ බොහෝ සෙයින් අසතුටට පත්ව සිටියේය. සියලු දෙනාගේ පල ප්‍රයෝජනය පිණිස බුද්ධත්වයට පත්වීම සඳහා පිළිවෙත් පූරණය කිරීමේ අවංක අපේක්ෂාව හේතුවෙන් පමණක් යම් නිශ්චිත බුද්ධ රූපයක් සඳහා බලගැන්වීමක් ලබාගත යුතු බව ඔහු විසින් නිතර අවධාරණය කරන ලදී. හුදු "යහපත් කම්පනයන්" සඳහා සහභාගි වීම හෝ අන් සියලු දෙනා සහභාගි වන බැවින් පමණක් සහභාගි වීම හාස්‍යජනකය යන්න ඔහුගේ හැඟීම විය. හුදෙක් කෙටි හුරුවීමේ වස් සමයක් ගත කොට ඉන්පසු භාවනා පිළිවෙත අමතක කිරීමේ අදහසින් යාමද නිවැරදි නොවේ. යම් නිශ්චිත තන්ත්‍ර පිළිවෙතක් උදෙසා කැපවීම යනු සමස්ත ජීවිත කාලයක් පුරා ඇදී යන්නකි.

පසුව සිදුකිරීම සඳහා ප්‍රමාද නොවී, අදාළ කාර්යයෙහි නිරත වීමට පෙරම ආධ්‍යාත්මික පිළිවෙත් හා ගුරුවරුන් පිළිබඳ තදින් විමසා බැලීමේ අවශ්‍යතාවය රින්පෝෂේ විසින් අවධාරණය කරන ලදී. බටහිර ජාතීන් තුළ පවත්නා ප්‍රධාන දෝෂය ලෙස රින්පෝෂේ විසින් දක්නා ලද්දේද මෙයයි. දේවලට නිසි කලට පෙර ප්‍රවේශ වීමේ හෝ හදිසියේ දිව යාමේ ප්‍රවණතාවයක් අප තුළ ඇත. දිය මිදුණු විලක් වෙත දිව ගොස් ඉන්පසු සිය සිරුරේ බර දරා සිටීමට එම මිදුණු දියට හැක්කේද යන්න විමසීම සඳහා කෝටුවක් ඔබමින් බලන ස්වරූපයේ අමනෝඥ පුද්ගලයෙකු නොවන ලෙස රින්පෝෂේ විසින් අවවාද කරන ලදී.

ඕනෑම අයෙකු විසින් සිදුකරන දේශනාවනට සහභාගි වී මිනිසුන් හට සිය විනීතභාවය තුළින් දේශකයාගේ ආරාමික සිවුරු හෝ කාමරයේ පවතින බුදු රුව සහිත සිත්තම්වලටල නමස්කාර කිරීම සිදුකළ හැකි බවද රින්පෝෂේ විසින් පවසන ලදී. කෙසේ වුවද, එම ගුරුවරයාගේ සිසුවෙකු වීම යනු වෙනත් කරුණකි. මා හට ඕනෑම ලාමාවරයෙකු වෙනුවෙන් භාෂා පරිවර්තන කටයුතු කළ හැකි නමුත්, යමෙකු වෙනුවෙන් කටයුතු කිරීම මගින් එම පුද්ගලයා මාගේ ආධ්‍යාත්මික ගුරුවරයා බවට පත් නොවන බව ඔහු විසින් මා හටද පවසන ලදී. මවිසින් තන්ත්‍රමය බලගැන්වීමක් පරිවර්තනය කළද මෙකරුණ සත්‍ය බව ඔහු විසින් විස්තර කරන ලදී. වැදගත් දෙය වනුයේ ගුරුවරයා වෙත යමෙකු තුළ පවත්නා ආකල්පයයි.

අපරිණතව භික්ෂුවක හෝ භික්ෂුණියක වීමෙන් වැළකීම

සිය ජීවිතයේ ඉතිරි කාල පරිච්ඡේදය සඳහා සැබැවින්ම අවශ්‍ය වන්නේ මෙයද යන්න පිළිබඳ පරීක්ෂාකර බැලීමකින් තොරව සීඝ්‍රගාමී ලෙස බොහෝ බටහිර ජාතීන් බෞද්ධ භික්ෂු, භික්ෂුණීන් බවට පත්වන බවද රින්පෝෂේ හට දැණිනි. නිරතුරුවම සිය භික්ෂුත්වයට පත්වීම තුළින් ඔවුන්ගේ මව්පියන්ට ඇතිවන බලපෑම හෝ තමාගේ කටයුතු අනාගතයේදී සිදුකරගන්නා ආකාරයද සලකා බැලීමට ඔවුහූ අපොහොසත් වෙති. සත්‍ය වශයෙන්ම, යමෙකු පෙර දවස සියල්ල අත්හළ මහා පිළිවෙත් පුරන්නන් සේ වන්නේ නම්, ඔහුට හෝ ඇයට සිය පවුල හෝ මුදල් වැනි සාධක පිළිබඳ සිතීමට අවශ්‍ය නොවේ. කෙසේ වුවද, අපි මිලරේපාවරුන්ද නැත්තේද යන කරුණ අපි පෞද්ගලිකව දන්නා දෙයකි.

මෙම සන්දර්භය තුළ, රින්පෝෂේ විසින් නිරතුරු ඩෘබ්කැං ගෙලෙග්-ගියාට්සෝ ආදර්ශය උපුටා දක්වන ලදී. මෙම මහා තිබ්බතීය ගුරුවරයා හට සිය තරුණ සමයේදී භික්ෂුත්වයට පත්වීමේ උවමනාවක් පැවති නමුත් ඔහුගේ පවුලේ සාමාජිකයන් එය අනුමත නොකළ අතර බොහෝ සෙයින් වියවුලට පත්විය. ඔහු එබැවින් සිය දෙමව්පියන් ජීවත්ව සිටි සමය තුළ මනාසේ රැකබල්ගත් අතර ඔවුන් මියගිය පසු සිය බූලදය පුණ්‍ය කටයුතු සඳහා දන් දුන්නේය. ඉන් ඉක්බිතිවය ඔහු භික්ෂුත්වයට පත්වූයේ. 

අපගේ දෙමව්පියනට ගරු කිරීම හා ඔවුන් රැකබලා ගැනීම යන කරුණුවල වැදගත්කම රින්පෝෂේ විසින් නිරතුරු අවධාරණය කරන ලදී. බටහිර බෞද්ධයන් වශයෙන්, අපි හුදෙක් මුඛරි ලෙස සියලු දෙනා පෙර භවයන්හිදී අපගේ මව්පියන්ව සිටි ආකාරය හඳුනා ගනිමින් ඔවුන්ගේ කාරුණිකත්වයට කෘතගුණ දැක්වීමේ අවශ්‍යතාවය පිළිබඳව කථා කරමු. එනමුත්, පෞද්ගලික මට්ටමින් ගත්කල අප බොහෝ දෙනෙකු හට මෙම ජීවිත කාලයේ අපගේ මව්පියන් සමගින් හෝ මනා සම්බන්ධතාවයක් පවත්වාගැනීමේ හැකියාවක් නොමැත. රින්පෝෂේ විසින් උගන්වන ලද පරිදි, අපගේ මව්පියන් රැකබලා ගනිමින් ඔවුනට කාරුණික වීම වූකලි මහා බෞද්ධ පිළිවෙතකි.

යමෙකු විසින් කල්තබා දැඩිසේ කරුණු විමර්ශනය කර බලා ඉනික්බිති භික්ෂුවක හෝ භික්ෂුණියක බවට පත්වන්නේ නම්, හෝ යමෙකු විසින් දැනටමත් ආරාමික භික්ෂුත්වය ලබාගෙන ඇත්තේ නම්, රින්පෝෂේ විසින් උපදෙස් දෙන ලද්දේ වවුලෙකු මෙන් එම ගමනට අර්ධ වශයෙන් පමණක් අවතීර්ණ නොවන ලෙසයි. වවුලෙකු කුරුල්ලන් සමගින් සිටින අතර එම අනෙක් කරුල්ලන් සෙයින් හැසිරීමට අකමැති විට "අනේ මට එහෙම කරන්න බෑ මට දත් තියෙනවනෙ"යි පවසයි. මීයන් අතර සිටින විටදී "අනේ මට එහෙම කරන්න බෑ, මට අත්තටු තියෙනවනෙ"යි පවසයි. ආරාමික චීවරය සිය පහසුව තකා පමණක් පොරවා ගැනීමද මෙම නිදසුනට අනුව කටයුතු කිරීමක් මෙනි. තමාගේ කටයුතු සඳහා මුදල් හදල් හරි හම්බ කරගැනීම වැනි ඇතැම් ගිහි කටයුතු සඳහා එම පුද්ගලයන් අකමැති වන විටදී, ඔවුහූ සිය චීවරධාරිත්වය නමැති නිදහසට කරුණ යොදා ගනිති. දිගු වත් පිළිවෙත්හි යෙදීම හෝ චීවරධාරියෙකු ලෙස ගමන් බිමන්හි යෙදීම වැනි ඇතැම් ආරාමික කටයුතු පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වන විටදී, ඔවුහූ බටහිර ජාතීන් බවට පත්වීම පිළිබඳ නිදහසට කරුණ යොදා ගනිති. රින්පෝෂේ විසින් ප්‍රකාශ කරන පරිදි "ඔබ මෝඩයාට අන්දන්න හදන්නේ කාවද?"

ආධ්‍යාත්මික පිළිවෙත්හි නිරතවීම යනු රැකියාවක් සොයා නොගැනීම සඳහා වූ නිදහසට කරුණක් නොවේ

රින්පෝෂේ විසින් විස්තර කරන ලද පරිදි, බෞද්ධ පිළිවෙත් පුරන්නන් විසින් කාර්යයන්හි නිරත නොවිය යුතු බවක් අදහස් නොවේ. ගිහි වේවා, පැවිදි වේවා, සියලු දෙනා විසින් ප්‍රායෝගික හා පොළවේ පය ගසා සිටින ස්වරූපයේ අය විය යුතුය. රින්පෝෂේ විසින් උගන්වන ලද පරිදි, අප විසින් අපගේ සිත හා වචනය පාවිච්චි කරන ආකාරය අප විසින් අපගේ කය ක්‍රියාවෙහි යොදවන ආකාරයට වඩා වැදගත් වේ. ඔහු විසින්, එ් අනුව, තමාගේ ජීවිකාව සරිකර ගැනීමට අවශ්‍ය වන තීව්‍ර පිළිවෙත් පුරන්නන් සඳහා සුළු රැකියාවන් පිළිබඳ උපදෙස් දුනි. අපට කටයුතු සිදුකරන අතරතුරදී,  මන්ත්‍ර නැවත නැවත ජප කරමින් උණුසුම් හැඟීම් හා කාරුණික සිතිවිලි විහිදුවාලිය හැක. කාර්යයන්හි නිරතව සිටින අතරතුරදී දේශනාවන් පිළිබඳ සිතීම පමණට වඩා දුෂ්කර වන අතර අප විසින් තන්ත්‍රමය බලගැන්වීම් ලබා ඇත්තේ නම්, අපට අවම වශයෙන් අපගේ ආත්ම ප්‍රතිරූපය හෝ වෙනස් කරගත හැක. දවස පුරා අපට අප බුදු රූ මෙන්ද අපගේ පරිසරයන් ආධ්‍යාත්මික ප්‍රගතිය කරා පරිපූර්ණ වශයෙන් අප යොමු කරවන්නාවූ ශුද්ධ භූමි වශයෙන්ද සිතාගැනීමට උත්සාහ කළහැක. ඉනික්බිති, හිමිදිරි පාන්දර හා රාත්‍රියෙහි අපට අලංකාර සාධන මැවීම් පිළිවෙත්හි නිරත විය හැක. බුදු දහම ජීවිතයෙන් වෙන්වූ දෙයක් බවට පත්කර නොගත යුතු බවට රින්පෝෂේ විසින් නිරතුරු අවධාරණය කරන ලදී.

බොහෝ වසර ගණනාවක් පුරා, ටර්නර් සිය බිරිඳ හා දරුවන් දෙදෙනාද සමගින් සමාජ සුභසාධන කටයුතුවල නිරත වෙමින් එංගලන්තයේ ජීවත් විය. ඔහු සිය මුළු කාලය තුළම පාහේ තියුණු වස් පිළිවෙත්හි නියැළිනි. දේශනා පිළිබඳ පිළිවෙත් පිරීමේ හැකියාවක් ඇති විටදී කාලය නාස්ති කරනුයේ මක් නිසාද යන හැඟීමක් ඔහු තුළ විය. ඉන් පෙර ඔහු විසින් රින්පෝෂේ වෙතින් ධනය හා සම්බන්ධ ආරක්ෂක රුවක් වූ ධවන මහාකාල අවසර උත්සවය සිදුකරගෙන තිබූ අතර, සිය මූල්‍ය ගැටලු නිරාකරණය කර දෙන ලෙස දිනපතා යදින්නට විය. රින්පෝෂේ කිසිසේත් ඉන් සතුටු නොවීය. ඔහු පැවසූයේ එය වූකලි හුදෙක් ඖෂධ ලබාගැනීමකින් තොරව ඔසු බුදුරුව වෙත ගොස් යදින රෝගියෙකු මෙන් තත්ත්වයක් බවයි. රැකියාවක් ලබාගෙන ඉන්පසු තම තීව්‍ර පිළිවෙත් උදෑසන හා රාත්‍රියේ කෙටි කාලයක් පමණක් සිදු කරන ලෙස ඔහු විසින් ටර්නර් වෙත උපදෙස් දෙන ලදී. එවිට ධවල මහාකාල පැනවීම මගින් ඔහුගේ කාර්යයන් මූල්‍යමය වශයෙන් සාර්ථකත්වයට පත්වනු ඇති බවද පැවසීය.

නිරතුරු ප්‍රායෝගික හා කාර්යක්ෂම අයෙකු බවට පත්වීම

යමෙකු නිද්‍රාශීලී අයෙකු නොවී ප්‍රායෝගික හා කාර්යක්ෂම අයෙකු ලෙස කටයුතු කිරීම රින්පෝෂේගේ කැමැත්තට හේතු විය. මෙලෙසින්, පිළිවෙත් හා ජප කිරීම් කඩිනමින් සිදු කිරීමට ඔහුගේ වැඩි කැමැත්ත යොමු විය. වරෙක ඉතාලියේ මිලානෝ නුවර ගෙෆලිං මධ්‍යස්ථානයේ සිසුන් විසින් මාර්ගයේ ශ්‍රේණිගත අදියරයන් (ලම්-රිම්) හා අවලෝකිතේශ්වර පිළිවෙත් සම්බන්ධ සිය පාඨමාලාව සම්පර්ණ කරනු පිණිස භාවනා සැසියක් පවත්වන ලෙස රින්පෝෂේගෙන් ඉල්ලා සිටින ලදී. සය වැදෑරුම් ක්‍රියාවලිය තුළින් තමාම අවලෝකිතේෂ්වර ලෙස ජනනය කරගනු පිණිස යොමුවී, ලම්-රිම්හි දුසිම් ගණනක් වූ කරුණු පිළිබඳ භාවනා කොට, එ් සියල්ල මිනිත්තු දෙකක කාලයක් පුරා පවත්වාගෙන යන ලෙස එම ඉල්ලීමට එකඟ වූ රින්පෝෂේ විසින් සිසුන්ට විධානය කරන ලදී. සිසුන් විසින් සිය අවිශ්වාසය ප්‍රකාශ කරමින් ඔහු විසින් මේ සියල්ල සිදු කිරීම සඳහා කෙතරම් නම් කෙටි කාලයක් ලබා දුන්නේද යන කරුණ කෙරෙහි විරෝධය පළ කරන්නට පටන්ගත් විටදී, කාරුණික වූ රින්පෝෂේ "හොඳයි එහෙනම් විනාඩි තුනකින් එ්ක කරන්න"යි පැවසීය. මනා පිළිවෙත් පුරන්නෙකු හට අශ්වයා මත නැගීම සඳහා සෑදලයට පය ගැසීමට ගතවන කාලය වැනි කාලයක් තුළ සමස්ත ලම්-රිම් පිළිවෙත පූරණය කළ හැකි බව ඔහු විසින් ඉන්පසු විස්තර කරන ලදී. මරණය එළැඹෙන අවස්ථාවේදී හරිබරි ගැසී හිඳ ගනිමින් මන්දගාමී, ක්‍රමික ක්‍රියාවලියක් හරහා දර්ශනයන් මවාගැනීමක් සිදු කිරීමට කාලයක් නොමැත.

අපගේ බෞද්ධ පිළිවෙත විෂයයෙහි යථාර්ථවාදී වීම

බෞද්ධ පිළිවෙතට අදාළ සියලු පැතිකඩයන්හිදී යථාර්ථවාදී වීමේ අවශ්‍යතාවය රින්පෝෂේ විසින් අවධාරණය කරන ලදී. අන්‍යයන් වෙත සෙත සැලසීමේ අරමුණින් බෝධිසත්ත්වයෙකු වීමේ අභිලාශයක් අප තුළ පවත්නේ නම් මෙය විශේෂයෙන් තීරණාත්මක වේ. අපගේ පාර්ශ්වයෙන් අපට නිරන්තරයෙන්ම අන්‍යයන් වෙත උපකාර කිරීමේ කැමැත්තක් ඇති විය යුතු වුවද, අපගේ සහාය වෙත අන්‍යයන් විවෘත වන ආකාරය හා අවසන, අපගේ ප්‍රයත්නයන්හි සාර්ථකත්වය ඔවුන්ගේ සිත් සකස් කරනු ලබන පෙර භවයන්හි රටාවන් හෙවත් ඔවුන්ගේ කර්මය මත රඳා පවතී. එබැවින්, අපට අදාළ නොවන කාරණාවන්හිදී හෝ අන්‍යයන් අපගේ උපකාරය ලබා ගැනීමේ කැමැත්තකින් පසු නොවන අවස්ථාවන්හි අන්‍යයන් වෙත උපකාර කිරීම නොකළ යුතු බවට රින්පෝෂේ විසින් අවවාද කරන ලදී. එහිදී අපගේ මැදිහත්කාරිත්වය මගින් නුරුස්නා බවක් පමණක් ඇති කරනු ඇති අතර, අපගේ උපකාරය අසාර්ථක වුවහොත්, අපට සියලු දෝෂ දර්ශනයනටද ලක් වීමට සිදුවනු ඇත.

කළ හැකි පමණ ඉක්මවා පොරොන්දු ලබා නොදීම

වඩාත් යහපත් දෙය වනුයේ නිරන්තරයෙන්ම වැඩි අවධානයක් දිනා ගැනීම සඳහා කටයුතු නොකර සිටීමයි. උපකාර කිරීම සඳහා වූ අපගේ කැමැත්ත අන්‍යයන් වෙත අඟවා, ඔවුන් උපකාර ඉල්ලා සිටියහොත්, සැබැවින්ම ඔවුන්ගේ කටයුතුවලට අපගේ දායකත්වය ලබාදිය හැක. කෙසේ වුවද, "කුලියට දීමට ඇති බෝධිසත්ත්වයන්" යන ප්‍රතිරූප ප්‍රචාරණයෙන් වැළකී සිටිය යුතුය. වඩාත් යහපත් දෙය වනුයේ අපගේ එදිනෙදා භාවනා පිළිවෙත්හි නියැළී සිට නිහතමානී දිවියක් ගත කිරීමයි. සාර්ථක කරගැනීමට හැකි මට්ටම ඉක්මවා කටයුතු කිරීමට පොරොන්දු නොවිය යුතු බවටද, ඉදිරියේදී යම් කාර්යයක් සිදු කිරීම හෝ ඉටු කිරීම සිදු කරන්නෙමුයි පොරොන්දු නොවිය යුතු බවටද රින්පෝෂේ විසින් අවවාද කරන ලදී.  මෙමගින් හුදෙක් තව තවත් බාධාවන් ඇති කරමින් අවසන අප විසින් නිවේදනය කරන ලද දෙය යථාර්ථයක් බවට පත් නොකළහොත්, අප විසින් අපවම විහිළුකාරයන් බවට පත් කරවමින් අප පිළිබඳ වූ විශ්වසනීයත්වය අහිමි කරගන්නෙමු.

සාර්ථක කරගැනීමට හැකි පමණ ඉක්මවා කටයුතු කිරීමට පොරොන්දු වීමේ මෙම කරුණ විශේෂයෙන් ආධ්‍යාත්මික ගුරුවරුන් සමගින් පවත්නා අපගේ සබඳතාවයට අදාළවේ. රින්පෝෂේ විසින් සිය භාවනා පිළිවෙතෙහි කොටසක් වශයෙන් දිනපතා සජ්ජායනය කරන ලද අශ්වඝෝෂයන්ගේ ආධ්‍යාත්මික ගුරුවරයා පිළිබඳ පැදි පනහ නමැති කෘතියේ මාර්ගෝපදේශ පිළිපදින ලෙස අන්‍යයන් වෙතද උපදෙස් දෙන ලදී. යම් හේතුවක් නිසාවෙන් අපට සිදුකළ නොහැකි දෙයක් සිදුකරන ලෙස අපගේ ගුරුවරුන් විසින් පැවසුවහොත්, එයට එකඟ විය නොහැකි හේතුව විනීතව හා නිහතමානීව විස්තර කළ යුතුවේ. ආධ්‍යාත්මික උපදේශකවරයෙකු කෙරෙහි මුළු හදින් කැපවීම යනු වහලෙකු බවට හෝ රොබෝවරයෙකු බවට පත්වීම නොව, අපගේ දෙපයින් නැගීසිට, ස්වාධීන චින්තනයක් ඇති කරගනිමින්, බුද්ධත්වයට පත්වීම බව රින්පෝෂේ විසින් අවධාරණය කරන ලදී. අපට අපගේ ගුරුවරුන් යෝජනා කරන දෙය සිදු කිරීමට නොහැක්කේ නම්, අපගේ උපදේශකයන් කළකිරවන ලද බැවින් තමා අයහපත් සිසුවෙකුය යන වරදකාරී හැඟීමක් ඇතිකර ගැනීම මුළුමනින්ම නුසුදුසු දෙයකි. සැබෑ ආධ්‍යාත්මික ගුරුවරයෙකු යනු අසාධාරණ එ්කාධිපතියෙකු හෝ ආඥාදායකයෙකු නොවේ.

ගුරුවරයා වේවා, වෙනයම් අයෙකු වේවා, යමෙකු වෙනුවෙන් යම් දෙයක් සිදු කිරීමට එකඟ වන්නේ නම්, ආරම්භයේ සිට සියලු දේ පැහැදිලිව පවත්වාගන්නා ලෙස රින්පෝෂේ විසින් උපදෙස් දෙන ලදී. අමන හිත් හොඳයෙකු සෙයින් එකඟත්වය පළ කරමින්, අදාළ කාර්යය සිදුකරන අතරතුර හෝ එය සිදු කිරීමෙන් අනතුරුව පමණක් එ් වෙනුවෙන් තමා යම් කිසිවක් බලාපොරොත්තු වන බව ප්‍රකාශ කරන්නේ නම්, එමගින් ඇතිවනුයේ හානියක් පමණි. අප ප්‍රායෝගික හා යථාර්ථවාදී අය වන්නේ නම්, හා දේවල් පිළිබඳ කල්තබා කල්පනා කර බලන්නේ නම්, එවිට ලෞකික හා ආධ්‍යාත්මික දෙආකාරයේම කටයුතු යහපත් පරිදි සිදුවනු ඇත. අප ප්‍රායෝගික හෝ යථාර්ථවාදී අය නොවේ නම්, හා කල්පනා නොකොට දේවල්වලට අත ගසන්නේ නම්, එවිටද සාර්ථකත්වයක් අත් නොවනු ඇත.

බෞද්ධ මධ්‍යස්ථාන සඳහා වූ උපදෙස

බටහිර බෞද්ධ මධ්‍යස්ථාන කෙරෙහිද එම ප්‍රවේශයම අනුගමනය කරන ලෙස රින්පෝෂේ විසින් උපදෙස් දෙන ලදී. තමා ණය බරින් පෙළෙන තරම් වූ බරපතල කටයුතුවලට අත නොගසන ලෙසද, තමා හට සැබැවින්ම ක්‍රියාත්මක කිරීමට හෝ සම්පූර්ණ කිරීමට නොහැකි ව්‍යාපෘති පිළිබඳ පොරොන්දු ලබා දීමෙන් වළකින ලෙසද ඔවුන් වෙත පවසන ලදී. සුළුවෙන් හා අව්‍යාජ ලෙස අරඹන ලෙසද, දුරස්ථ ගම් ප්‍රදේශවල ස්ථානගත වීමේ ඇල්ම වළකාගන්නා ලෙසද උපදෙස් දෙන ලදී. බෞද්ධ මධ්‍යස්ථාන ගැමියනට ප්‍රවේශ වීමට පහසු හා එ් ආසන්නයේ එහි පදිංචිකරුවන් හට වැඩපල සොයා ගැනීමට හැකි ස්ථානයන්හි පිහිටිය යුතුවේ. අදාළ කණ්ඩායමට ඕනෑම අවස්ථාව සිය මධ්‍යස්ථානය විකුණා දමා අවශ්‍ය නම් නිසි කල වඩාත් විශාල මධ්‍යස්ථානයක් මිලදී ගත හැක.

බෞද්ධ මධ්‍යස්ථානයන්හි අරමුණ වනුයේ ‍සර්කස් සංදර්ශනයක් සඳහා මෙන් හුදු ප්‍රචාරණය මගින් විශාල සෙනග ආකර්ශනය කරගැනීම නොවේ. අවංක සිසුන්ගෙන් සැදි කුඩා කණ්ඩායම් නිරතුරු රින්පෝෂේගේ කැමැත්ත දිනාගන්නා ලදී. තවද, ආධ්‍යාත්මික ගුරුවරයෙකු තෝරා ගැනීමේදී, එම පුද්ගලයා කෙතරම් විනෝදය සපයන්නෙකුද හෝ ඔහු හෝ ඇය විසින් පවසන කථාන්තර කෙතරම් හාස්‍ය රසයෙන් යුක්තද යන කරුණු ප්‍රධාන අවශ්‍යතා නොවේ. අපට සිනහ රසය උපදවා ගැනීම‌ට හෝ යම් විසිතුරු දෙයක් දැකීමට අවශ්‍ය නම්, සර්කස් සංදර්ශනය නැරඹීමට හෝ අතුරු දර්ශනයක් නැරඹීමට යා හැක.

Top