අපචාරී ආධ්‍යාත්මික ගුරුවරුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ දලයි ලාමා වහන්සේගේ උපදෙස්

තිබ්බතයෙන් පැමිණ සිටින හා මෙහි සිටින බොහෝ චීන ජාතිකයන්ද වන ඔබ විසින් නිශ්චිතව දැන සිටිය යුතු කරුණක් වේ. රැවිටලිකාර, ව්‍යාජ ආධ්‍යාත්මික ගුරුවරුන් සම්බන්ධයෙන් ගත්කල ඔබ ඔවුන්ගේ ව්‍යාජයන් හා රැවටීම් හෙළිදරව් කළ යුතුය. මෙය අනිවාර්ය කරුණක් විය යුතුය.

තිබ්බත බුදු දහම, සෙන් බුදු දහම වැනි දහම් දේශනා කරන බටහිර රටවලින් පැමිණි ගුරුවරුන්ගේ සම්මන්ත්‍රණයක් වසර කිහිපයකට පෙර ධර්මශාලාහි පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණය අවස්ථාවේදී ඔවුන් අතර සිටි බටහිර ජාතික ගුරුවරුන් අතරින් කිහිප දෙනෙකු විසින් මෙසේ වාර්තා කරන ලදී: “වර්තමානයේ සෙන් ගුරුවරුන් අතර අතිශයින් අපචාරාත්මක පුද්ගලයන් වශයෙන් හැඳින්විය හැකි ඇතැම් පුද්ගලයන් සිටින අතර, එමෙන්ම තිබ්බත ලාමාවරුන් අතරද අතිශයින් අපචාරී පුද්ගලයන් වශයෙන් හැඳින්විය හැකි ඇතැම්හූ සිටිති. මෙවන් තත්ත්වයක, ඔවුන් නතර කරලීම උදෙසා කුසලතා පූර්ණ ක්‍රමවේදයක් අවශ්‍යයි.”

එම අවස්ථාවේදී ඔවුන් අමතා මෙසේ ප්‍රකාශ කළෙමි: ‘ඔවුන් නතර කරලීමට අපට කළ හැකි කිසිවක් නොමැත. කළ යුත්ත හා නොකළ යුත්ත කවරේද යන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි හා නිශ්චිත ලෙස ප්‍රකාශ කරන ලදී. නිදසුනක් ලෙස, ‘දේශනාවන්හි අරමුණු හා අනුගතව කටයුතු කරන ලෙස අන්‍යයන් යොමු කරවමින් එම අරමුණු හා අනුගතවම ඔබද කටයුතු කරන්න’යි උන් වහන්සේ විසින් පැහැදිලි හා තීරණත්මක ලෙස උපදෙස් ලබාදෙන ලදී. එනමුදු ඔවුහූ එයට සවන් යොමු නොකරති; එ්වා අගය නොකරති. ඔවුන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මය අගය නොකරන්නේ නම්, අප විසින් යමක් ප්‍රකාශ කිරීමේ ඇති ඵලය කවරක්ද? ඉන් කිසිදු පලක් අත් නොවනු ඇත.

“ඔබ සැබෑ තත්ත්වය ප්‍රසිද්ධියට පත්කළ යුතුය. ධර්මය දේශනා කරන නමුදු වගකීම් විරහිත ලෙස කටයුතු කරන මෙම පුද්ගලයන් වැනි පුද්ගලයන්ද සිටින බවට ඔවුන්ගේ නම්ද සඳහන් කරමින් පුවත්පත්වල එම කරුණු ප්‍රසිද්ධ කරන්න. මෙමගින් තරමක ප්‍රතිඵලයක් ලැබිය හැකි අතර, එසේ නොමැතිව අප විසින් කරුණු පැහැදිලි කිරීම තුළ ඔවුන් නොනවතිනු ඇත”යි පැවසීමි.

තත්ත්වය මෙපරිදි බව දැන සිටිය යුතුය. වගකීම් විරහිත, ව්‍යාජ ගුරුවරයෙකු සිටින තත්ත්වයක් උද්ගතවන ඕනෑම අවස්ථාවක, ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ කොට අවසන ඔවුන් අත් අඩංගුවටද පත් කිරීමට අවශ්‍ය වන්නේ නම් එයද සිදු කරවන්න. ඇමරිකාවේ එවන් ඇතැමුන් අත් අඩංගුවටද පත්ව ඇති අතර, ඇතැම් විට තායිවානයේද කිහිප දෙනෙකු අත් අඩංගුවට පත්විය හැක. පැහැදිලිවම ඔවුන් නීතිය මගින් අත් අඩංගුවට ගනු ලැබිය යුතුය.

“ලාමා” යන නාමය දරමින් නින්දා සහගතව කටයුතු කරන බවට පැවසෙන එවන් ගුරුවරුන් කිහිප දෙනෙකු මහජනයා ඉදිරියේ ප්‍රසිද්ධියට පත්වන විටදී එමගින් බුදු දහමට හානියක් සිදුවනු ඇත යන සිතිවිල්ලෙන් ලතැවිය යුතු නොවේ. වසර කිහිපයකට පෙර අවස්ථාවක මා එංගලන්තයේ ගතකල සමයෙක  කාන්තාවක සමග වූ හැසිරීමකට අදාළ අපචාරයක් සිදුකොට තිබූ ලාමාවරයෙකු බ්‍රිතාන්‍ය ධර්ම මධ්‍යස්ථානයක සිටි අතර ඔහු ඇමරිකානු නීතිය යටතේ අත් අඩංගුවට ගෙන තිබිණි. තමා මින් අතිශයින් දුකට, වේදනාවට පත්වූ බැව් ඔහුගේ සිසුන් විසින් මවෙත දැනුම් දෙන ලදී. තත්ත්වය එසේ වන විටදී එමගින් බුදුන් වහන්සේගේ ධර්මයටද හානියක් සිදුවීමේ අවදානමක් ඇත්තේය යන සිතිවිල්ල තුළ ඔවුන් චිත්ත පීඩාවට පත්ව තිබිණි. එ් පිළිබඳ සිත් රිදවාගත යුතු නොවන බව ඔවුන්ට පැවසීමි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් අනතුරුව වසර 2500ක් ගතවී ඇත. වර්තමානයේ නින්දා සහගත හැසිරීම් සහිත යැයි පැවසෙන දහම් ගුරුවරු කිහිප දෙනෙකු පමණක් සිටිති. ඔවුනට බුදුන්ගේ ධර්මයට හානි සිදුකළ නොහැක. මේවන විට නින්දා සහගත ගුරුවරුන් වශයෙන් හඳුනාගෙන සිටින මෙම ගුරුවරුන් හට බුද්ධ දේශනාවනට හානි සිදුකළ නොහැක. ඔවුන්ට එසේ පැවසීමි. මෙය මට විශ්වාසය.

Top