සර්කොං රින්පෝෂේගේ මරණය හා පුනරුත්පත්තිය

පරම පූජනීය දලයි ලාමා වහන්සේගේ ජීවිතයට විය හැකිව තිබූ අනතුර 

සර්කොං රින්පෝෂේගේ මරණය ඔහුගේ ජීවිතයටද වඩා අපූර්ව එකක් විය. 1983 ජුලි මාසයේදී රින්පෝෂේ විසින් දලයි ලාමා වහන්සේ වෙනුවෙන් ස්පිටිහි පිහිටි ටැබෝ ආරාමයේදී කාලචක්‍ර බලගැන්වීමක් සංවිධානය කරන ලදී. ඉන් පසු, කැෂේන් ඩ්‍රග්යෙල් නමැති ප්‍රාදේශීය මහළු භික්ෂුවකට රින්පෝෂේ විසින් ප්‍රකාශ කරන ලද්දේ, තිබ්බතීය ජ්‍යෝතිෂ ශාස්ත්‍රයට අනුව, මෙය දලයි ලාමා වහන්සේගේ බාධක වසර වන බවයි. දලයි ලාමා වහන්සේගේ ජීවිතය අනතුරේ පැවතිණි. මෙම බාධක තමා මතටම හරවා ගැනීම යහපත් වනු ඇති බවද පවසන ලද අතර, මෙකරුණ කිසිවෙකුට හෝ නොපවසන ලෙසද එම මහළු භික්ෂුව වෙත උපදෙස් දෙන ලදී.

ඉන්පසු රින්පෝෂේ සති තුනක කාලයක් දිවෙන දැඩි භාවනා වස් සමයකට එළැඹිණි. ඉනික්බිති, ඔහු බෝධිසත්ත්ව චර්යාවෙහි නියැළීම සම්බන්ධයෙන් සොල්දාදුවන් වෙත දේශනාවක් පවත්වනු පිණිස අසල පිහිටි තිබ්බත යුධ හමුදා කඳවුරකට ගියේය. සාමාන්‍යයෙන් රින්පෝෂේ දිගු වේලාවක් ගෙන සමස්ත කෘතියම මද වේගයෙන් දේශනා කිරීම සිදු කරන නමුත්, මෙහිදී එය වේගයෙන් හා ක්ෂණිකව කියවන ලදී. සැලසුම් කළ දිනට දින කිහිපයකට කලින් කඳවුරින් බැහැර වූ ඔහු තමාට විශේෂ ස්ථානයකට යා යුතු බව පැවසීය. දිනය 1983 අගෝස්තු 29වන දිනය විය.  මෙදින ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට පලස්තීන විමුක්ති සංවිධානයේ සභාපති යසර් අරෆත් මහතා පැමිණීමට නියමිත අවස්ථාවේදීම දලයි ලාමා වහන්සේද එහි යාමට නියමිතව තිබිණි. අරෆත් මහතාට එරෙහිව එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් පොලිස් බලධාරීන්ගේ සැලකිල්ල යොමුවිය. දලයි ලාමා වහන්සේගේ ආරක්ෂාව සහතික කළ නොහැකි බවට ඔවුන් විසින් අනතුරු අඟවන ලදී.

Top