ගුරුවරුන් හා භාෂා පරිවර්තකවරුන් අතින් ඇතැම් විට අත්වැරදීම් සිදුවිය හැක

භාෂා පරිවර්තකවරුන් අතින් නිරන්තරයෙන් වැරදි සිදුවේ. හුදෙක් කරන ලද කවර ප්‍රකාශයක්, ලේඛනගත හෝ ඔබ පටිගත කර අතර ඇති කවර හඬ පටයක් මත හෝ අන්ධ විශ්වාසයක් නොතැබිය යුතුය. එය අඥාන කටයුත්තකි. එමෙන්ම, මවිසින් මෙම දේශනා සිදුකරන විටදී, මා අතින් සිදු කෙරෙන ප්‍රකාශයක වැරැද්දක් පැවතීම හෝ මා අතින් වැරදි ප්‍රකාශයක් සිදුවීම හෝ විය හැක. එවන් අවස්ථාවන්හිදී, පසු කාලීනව ඔබගේ පටිගත පටයක ශ්‍රවණය කරන්නට ලැබෙන කරුණු මත අන්ධ විශ්වාසයක් තබා නොගත යුතුය. සිය පෞද්ගලික දේශනාවන් සම්බන්ධයෙන් බුදුන් වහන්සේ දේශනා කළ පරිදි, යමක් හුදෙක් උන් වහන්සේ විසින් දේශනා කරන ලද බැවින්ම පිළිගත යුතු නොවන අතර එය රන්කරුවෙකු රන් පරීක්ෂා කරන්නාක් සෙයින් විග්‍රහ කොට බැලිය යුතුය. හුදු විශ්වාසය මත රඳා පැවැත්ම හෝ පටිගත පට තුළ ඇති සියල්ල විශ්වාස කිරීම නොකරන්න.

නවවන බෝධිසත්ව භූමි මට්ටමට එළැඹෙන තෙක් ඔබ අතින් අත් වැරදි සිදුවිය හැක. සිතෙහි මෙකී නවවන අදියර සාක්ෂාත් කරගැනීමෙන් පසු පමණි කරුණු විග්‍රහ කිරීමේදී වැරදි සිදුවීම නතර වනුයේ. එහිදීය ඔබට නිවැරදි හා සම්පූර්ණ අවබෝධයන් සතර අත්පත් වනුයේ. එම යථාර්ථකරණය සාක්ෂාත් කරගත් පසු, ඔබ අතින් තවදුරටත් වැරදි සිදු නොවනු ඇත.

‘බෝධිසත්ව චර්යාවෙහි නියැළීම, බෝධිචර්යාවතාර’ පිළිබඳ මෙම දේශනාව ආරම්භයේදී, නිදසුනක් ලෙස,එය පරිවර්තනය වී ඇත්තේ කවරාකාරවද යන්න මා නොදන්නා නමුදු මවිසින් ප්‍රකාශ කරන ලද්දේ කුණු ලාමා රින්පෝෂේ ‘බුද්ධපාලිත’ සම්බන්ධ සංස්කෘත අත් පිටපතක් කියවමින් බුද්ධගයාවේ වසර දෙකක් ගතකළ සමයේදී එම කෘතිය තිබ්බත බසට පරිවර්තනය කොට නොතිබුණේය යන්නයි. එය වැරදී සිදුවූ ප්‍රකාශයකි. මා අදහස් කළ දෙය වූයේ එම නිශ්චිත අත් පිටපත, එම නිශ්චිත සංස්කරණය තිබ්බත බසට පරිවර්තනය වී නොතිබූ බවයි. ‘බුද්ධපාලිත’ කෘතිය තිබ්බත බසට පරිවර්තනය වී නොතිබියේය යන පොදු ප්‍රකාශය නිවැරදි නොවේ. යේ ෂොංකපා විසින් එම කෘතිය අධ්‍යයනය කරන ලදුව එ් හරහා ස්වකීය අවබෝධය ලබාගත්තේය යන්නක් මවිසින් ප්‍රකාශ කරන ලද බව ඇතැම් විට ඔබ මතකයේ තිබෙන්නට පිළිවන. ඔබ එය මවෙතින් විමසා බලා ප්‍රශ්න කළ යුතුව තිබුණි. මක්නිසාද, මෙයාකාරයේ ක්‍රියා පරිපාටීන් සිදුකරන ආකාරය එය වන බැවිනි. මෙපරිදි, ඇතැම් විට අත් වැරදි සිදුවේ.

නිදසුනක් ලෙස, ප්‍රාසාංගික හා චිත්තමාත්‍රා ගුරුකුල පිළිබඳ මවිසින් පළමුවරට ඉදිරිපත් කිරීමක් සිදුකළ අවස්ථාවේදී, සෞත්‍රාන්තික ගුරුකුලය තුළ ගැඹුරුම සංසිද්ධීන් තුන වන හේතූන්ගෙන් හටගන්නාවූ සංසිද්ධීන්, විෂය මූලික ස්ථිති හා අස්ථිතික සංසිද්ධීන් යන ගැඹුරුම සංසිද්ධීන් තුන සඳහා සමානාර්ථවත් වචන කට්ටලයක් පවත්නා බව නිවැරදිවම ප්‍රකාශ කළෙමි. හේතූන්ගෙන් හට නොගත් සංසිද්ධීන්, අභිධාර්මික ස්ථිතීන් හා ස්ථිතික සංසිද්ධීන් ලෙස එන සැබෑ සම්මුතික සංසිද්ධීන් සඳහා තවත් සමානාර්ථවත් පද ගණනාවක් පවත්නා බවද ප්‍රකාශ කළෙමි. චිත්තමාත්‍රා ගුරුකුලය තුළ, බාහිරින් බලගන්වනු ලබන, දැඩිසේ ස්ථාපිත හා මුළුමනින්ම මන:කල්පිත සංසිද්ධීන් පිළිබඳ ඉදිරිපත් කිරීමක් හමුවේ. එම ක්‍රමය තුළ, මුළුමනින්ම මන:කල්පිත සංසිද්ධි සත්‍ය වශයෙන් ස්ථාපිත, නොපවරන ලද හෙවත් නිසර්ගයෙන් පවත්නා ස්වරූපයකින් වියුක්ත වේ. පෙරදින මවිසින් මෙම කරුණු සමාලෝචනය කරන ලද අවස්ථාවේදී එම කරුණ (භාෂා පරිවර්තකයා විසින්ම එය නිවැරදි කර තිබිණි) භාෂා පරිවර්තකවරයා විසින් එයාකාරයෙන් පරිවර්තනය කොට නොතිබුණද, මවිසින් සෞත්‍රාන්ත්‍රික ක්‍රමයට අනුකූලව සත්‍ය සංසිද්ධි වර්ග දෙකට අදාළ සමානාර්ථවත් පද කට්ටලය යෙදීමේ කාර්යය ඉවත් කරගෙන තිබූ බැවින් පෞද්ගලිකවම එය නිවැරදි කළෙමි. මෙයාකාරයෙන්, වැරදීමෙන් යම් ප්‍රකාශයන් සිදුවීම ඉතා පහසුවෙන් සිදුවිය හැක්කකි.

නිරතුරු දකින්නාවූ, ශ්‍රවණය කරන්නාවූ, කියවන්නාවූ ඈ සියලුම කරුණු පාහේ පරීක්ෂා කළ යුතුය. ඉගැන්වීමේ කාර්යය සිදු කරන්නා වශයෙන් මවිසින් පවා දේශනාවක් සිදුකළ පසුව නැවතද වරක් පසුපසට ගොස් ප්‍රකාශ කරන ලද කරුණු සමාලෝචනය කරමින් මා අතින් යම් වැරදීමක් සිදුව ඇත්තේද යන්න පරීක්ෂාකර බලමි. එලෙසින්, දේශනා ශ්‍රවණය කරන්නන් සම්බන්ධයෙන්ද කරුණු මෙසේ විය යුතුය.

Top