තන්ත්‍ර පිළිවෙත් පුරන්නන් හට සර්කොං රින්පෝෂේ ලබාදුන් උපදේශය

"අර්ධ කාලීන" තන්ත්‍රමය භාවනා වස් සමයන් ගත කිරීම

දිගු කාල පරිච්ඡේදයන් පුරා විහිදෙන පූර්ණ කාලීන තන්ත්‍රමය භාවනා වස් සමයන් ගත කිරීම ප්‍රයෝජනවත් වන නමුදු, බොහෝ අය හට එ්වාහි නිරත වීමට තරම් වූ සුව පහසුවක් නොමැත. එබැවින්, අපට මාස තුනක හෝ එයටද වැඩි නිදහස් කාලයක් පවත්නේ නම් පමණක් මෙයාකාරයේ වස් සමයන් ගත කළ හැක්කේය යනුවෙන් සිතීම පටු කල්පනාවක්ය යන්න රින්පෝෂේගේ අදහස විය. වස් සමයක් යනු අප අන්‍යයන්ගෙන් වෙන්කොට තැබීමක් නොව පිළිවෙත් පිරීමක් තුළින් අපගේ සිත් නම්‍යශීලී බවට පත් කරනු පිණිස තියුණු පිළිවෙත් පිරීමක් සිදුකරන කාල පරිච්ඡේදයකි. දවසේ ඉතිරි කාලය සාමාන්‍ය දිවියක් ගත කරන අතර සෑම දිනෙකම උදෑසන එක් සැසියක් සිදු කිරීම මුළුමනින්ම පිළිගත හැකි ක්‍රමයකි. රින්පෝෂේ විසින් කිසිවෙකුගේ හෝ දැනීමකින් තොරව මෙයාකාරයෙන් සිය වස් සමයන් බොහොමයක් ගත කරන ලදී.

මෙම පිළිවෙත් ක්‍රමයෙහි පවත්නා එකම සීමාකරණය වනුයේ වස් සමය පුරාවට එකම ඇඳෙහි සයනය කිරීම හා එකම ආසනය මත භාවනා කිරීමයි. නොඑසේ නම්, ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනගා ගැනීමේ උද්වේගය බිඳී යයි. මෙයට අමතරව, වස් සමයේ පළමු සැසිය තුළ නැවත නැවතද සිදු කෙරෙන සංඛ්‍යාවකින් පනවනු ලබන පරිදි එක් එක් සැසිය තුළ අවම වශයෙන් මන්ත්‍ර, වන්දනාවන් හෝ වෙනයම් නැවත නැවතද සිදු කෙරෙන පිළිවෙත් අවම ප්‍රමාණයක් හෝ පැවතිය යුතු වේ. එබැවින්, ආරම්භක සැසිය තුළ තෝරාගත් පිළිවෙතෙහි නැවත නැවත සිදු කිරීම් තුනක් පමණක් සිදු කරන ලෙස රින්පෝෂේ විසින් උපදෙස් දෙන ලදී. මෙයාකාරයෙන්, බරපතල රෝගාබාධයකට ලක් වුවද, එමගින් වස් සමයෙහි අඛන්ඩතාවය බිඳ ගැනීමක් හා නැවතද මුල සිට ආරම්භ කිරීමට සිදු වන තත්ත්වයක් අවශ්‍ය නොකෙරේ.

අවශ්‍යතාවය වස් සමයේ සීමාවන් ඉක්මවා පවත්නා විටදී

කෙසේ වුවද, සියලු ආකාර බෞද්ධ විනය සම්බන්ධයෙන් "ඇතැම් විට අවශ්‍යතාවය තහංචි ඉක්මවා ඉස්මතු වේ". එනමුත් එසේ සිදුවනුයේ ඉතාමත් විශේෂ අවස්ථාවන්හි පමණි. වරෙක ධර්මශාලාහි භාවනා වස් සමයක් මධ්‍යයේදී, ඉන්දියාවේ තවත් හිමාලයානු නගරයක් වූ මනාලිහි පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් සිදු කරනු ලබන බලගැන්වීමක් හා දේශනයක් පරිවර්තනය කිරීම සඳහා ඉල්ලීමක් මා වෙත ලැබිණි. මා මේ පිළිබඳ රින්පෝෂේගේ උපදෙස් පැතූ අතර, ඔහු පැවසුයේ කිසිදු පැකිලීමකින් හෝ සැකයකින් තොරව එහි යන ලෙසයි. දලයි ලාමා වහන්සේ වෙත සහාය ලබාදීම මා හට කළ හැකි අන් කිසිවකට හෝ වැඩියෙන් ප්‍රයෝජනවත් වනු ඇත. මවිසින් පිහිටුවාගෙන තිබූ අවම මන්ත්‍ර සංඛ්‍යාව නැවත නැවතද ජප කරමින් එක් එක් දිනයෙහි එක් භාවනා සැසිය බැගින් සිදුකරන තාක් මාගේ පිළිවෙතෙහි ජවය නොසිඳී පවතිනු ඇත. මා මෙම ක්‍රියාවලිය අනුගමනය කළ අතර, දින දහයකට පසු දලයි ලාමා වහන්සේ ධර්මශාලාවට ආපසු පැමිණ මාගේ වස් සමය අවසන් කරන ලදී.

චාරිත්‍රමය ක්‍රියා පරිපාටීන් නිසි පරිදි අනුගමනය කිරීම

චාරිත්‍රමය කාර්ය පරිපාටීන් අරමුණක් සහිතව බරපතල සේ ගෙන සිදුකරන එ්වා බව රින්පෝෂේ විසින් නිරතුරු අවධාරණය කරන ලදී. නිදසුනක් ලෙස තන්ත්‍රමය වස් සමයන් තුළ නිශ්චිත වාර ගණනක් යම් මන්ත්‍ර නැවත නැවතද ජප කිරීම අවශ්‍ය වන අතර ඉන්පසු "ගිනි පූජාවක්" සිදුකළ යුතුවේ. ගිනි පූජාවක් යනු විශේෂ ද්‍රව්‍ය ගින්නට පූජා කරන්නාවූ සංකීර්ණ චාරිත්‍රයකි. මෙම චාරිත්‍රයේ අරමුණ වනුයේ පිළිවෙත් පූරණයෙහි සිදුවූ යම් ඌණතාවයක් වේනම් එය සම්පූර්ණ කොට අප විසින් සිදුකරන ලද යම් වරදක් වේනම් එය පවිත්‍රකරණය කිරීමයි.

ඇතැම් වස් සමයන් විශේෂයෙන්ම දුෂ්කර වේ. නිදසුනක් ලෙස, මවිසින් සිදුකරන ලද එක් වස් සමයක් තුළ මන්ත්‍රයක් දශ ලක්ෂ වාරයක් ජප කොට, සංකීර්ණ ගිනි පූජාවක් තුළ, දිග බට තණ ගස් දස දහසක් ගින්නට පූජා කරන අතර එම ගස් යුගලයක් පාසා මන්ත්‍රයක් ජප කළ යුතුවේ. එම ගස් දස දහසම එක දිගට නොකඩවා ගින්නට හෙළිය යුතු අතර එ් අතර විවේක කාලයක් නොමැත. මෙම වස් සමය අවසන මාගේ ගිනි පූජාව සිදුකළ විටදී, අවශ්‍ය සංඛ්‍යාව සපිරීමට පෙරම මම බට තණ ගස් අතරින් ඉවතට දිව ගියෙමි. චාරිත්‍රයෙහි ඉතිරි කොටස අවසන් කිරීමෙන් අනතුරුව, රින්පෝෂේ වෙත වාර්තා කළෙමි. දින කිහිපයකට පසු ඔහු විසින් මා ලවා එම මුළු ගිනි පූජාවම නැවත කරවන ලදී. මෙවර බට තණ ගස් දස දහසක් සූදානම් කරගැනීමට වගබලා ගත්තෙමි.

චාරිත්‍ර ප්‍රවීණයන් නිරතුරුවම අප සමගින් නොසිටින බැවින්, ආත්ම විශ්වාසයක් තබාගැනීමේ අවශ්‍යතාවය රින්පෝෂේ විසින් අවධාරණය කරන ලදී. එබැවින්, තමා විසින්ම ගිනි පූජාවන් සිදු කරන ආකාරය ඔහු විසින් උසස් බටහිර සිසුන් වෙත උගන්වන ලදී. මෙයට ගිනි වල සකසන ආකාරය හා වර්ණ කළ පිටි යොදමින් එහි බිම මණ්ඩල මෝස්තරය අවශ්‍ය පරිදි අඳින ආකාරයද ඇතුළත් විය. මන්ත්‍රය තමාගේ භාෂාවෙන් පරිවර්තනය කොට නොමැත්තේ නම්, බටහිර ජාතීන් හට චාරිත්‍රය ජප කිරීමට තවත් අයෙකු අවශ්‍ය වුවද, රින්පෝෂේ විසින් විස්තර කරන ලද්දේ ඔවුන් විසින්ම විවිධ ද්‍රව්‍ය ගින්නට පූජා කළ යුතු බවයි. කණ්ඩායම් වස් සමයක් ගතකරන විටදී පවා මෙම තත්ත්වය එසේම විය.

එසේ වුවද, ක්‍රියා මාර්ගයන් නිවැරදිව අනුගමනය කිරීම යන්නෙන් ප්‍රායෝගික ප්‍රවේශයක් පවත්වාගෙන යාමට ප්‍රතිවිරුද්ධ දෙයක් අදහස් නොවේ. නිදසුනක් ලෙස, නිවසේ අල්තාරයක් මත විශේෂ පූජාවන් සකස් කොට ඉනික්බිති බාධක වළකාලනු පිණිස එක් එක් එළැඹෙන දිනයේදී එ්වා පූජා කිරීම තුළින් තන්ත්‍ර වස් සමයන් ආරම්භ වේ. මෙම බාධක අතර මැදට එන ආත්මයන්ගේ ස්වරූපයෙන් නිරූපණය කෙරෙන අතර, එම පූජාවන් භුක්ති විඳින ලෙස සෑම දිනකම ඔවුනට ආරාධනා කෙරේ. මේ සඳහා භාවිත කෙරෙන සම්ප්‍රදායික දෙය වෙනුවට කොකිස් ජෝගු හෝ පෙට්ටි යනු සර්ව සම්පූර්ණ වශයෙන්ම පිළිගත හැකි ආදේශකයන් බවට රින්පෝෂේ විසින් උපදෙස් දෙන ලදී.

නුසුදුසු අවස්ථාවන්හි උසස් පිළිවෙත් පිරීමට උත්සාහ කිරීමෙන් වැළකීම

සුදුසුකම් ලබා නොමැති අවස්ථාවන්හි උසස් පිළිවෙත් පිරීමට උත්සාහ කරන පුද්ගලයන් රින්පෝෂේගේ සතුටට හේතු නොවීය. දිගු සාධනාවක ප්‍රවීණත්වය ලැබීම තබා එවැන්නක් සිදු කිරීමේ ඇල්මක් හෝ කැමැත්තක් පවා නොමැති  විටදී ඇතැම් විට යම් පුද්ගලයෝ සම්පූර්ණ අදියරට අදාළ පිළිවෙත් සඳහා උත්සාහ කරති. අනුත්තරයෝග නමැති ඉහළම තන්ත්‍ර පෙළ තුළ පළමු පරපුරේ අදියරයක් ඇති අතර ඉන්පසු සම්පූර්ණ අදියර පිළිවෙත් පවතී. මුලින් කී අදියර තුළ සාධන පිළිවෙත මගින් පරිකල්පනයේ හා සමාධියේ බලය පුහුණු කරනු ලබයි. පසුව කී අදියර තුළ සැබෑ ස්වයං පරිවර්තනයක් ඇති කරනු පිණිස සිරුරේ සියුම් ශක්ති පද්ධතිය සමගින් කටයුතු කිරීම සඳහා සිතේ ගොඩනැගුණු බලයන් යොදාගනු ලබයි. සාධන පිළිවෙත මගින් ලබාගත් කුසලතාවයෙන් තොරව, චක්‍රයන්, නාලිකාවන් සහ බලශක්ති සුළං සමගින් කටයුතු කිරීම විහිළුවකි. 

රින්පෝෂේ විසින් අනතුරු අඟවන ලද්දේ සුදුසුකම් නොලත් අයෙකු විසින් වැරදි ලෙස සිදුකළහොත් උසස් තන්ත්‍ර පිළිවෙත් ඉතා හානිකර විය හැකි බවයි. නිදසුනක් ලෙස, විඤ්ඤාණය මාරු කිරීම නමින් යුත්, මරණය අපේක්ෂාවෙන් සිය හිසට ඉහළින් විඤ්ඤාණය විසිකර දැමීමේ තත්ත්වයක් සිතින් මවාගැනීමක් අන්තර්ගත කාර්යය මගින් අදාළ පුද්ගලයාගේ ජීවිත කාලය කෙටිකළ හැක. විශේෂයෙන් තමා කණ්ඩායමක් තුළ කටයුතු කරන අතරතුරදී, සති ගණනාවක් පුරා නිරාහාරව සිට පූජනීය ගුලි භාවිතය මගින් දිවි ගැටගසා ගන්නා කර්තව්‍යයේදී එකී ගුලි සාරයන් ලබාගැනීම මගින් අදාළ ප්‍රදේශයට සාගත තත්ත්වයක් ඇතිකළ හැක. මෙයට අමතරව, මෙයාකාරයෙන් පිළිවෙත් පුරන අයෙකු ආහාර හා ජලය නොලැබීමෙන් බරපතල ලෙස රෝගී වී මරණයට පවා පත්විය හැක.

තන්ත්‍රමය වස් සමයන්ද උසස් පිළිවෙතක් වන අතර, එ්වා කරා අපරිණත මට්ටමින් ප්‍රවේශ නොවිය යුතු බව රින්පෝෂේ විසින් අවවාද කරන ලදී. නිදසුනක් ලෙස, ඇතැම් විට මන්ත්‍ර ලක්ෂයක් ජප කිරීම සඳහා වූ වස් සමයක් භාරගන්නා අය එම පිළිවෙත පිළිබඳ කල්තබා දැනුවත්භාවයක් රහිත අය වෙති. ඔවුන්ගේ සිතිවිල්ල වනුයේ මෙම වස් සමය තුළ ඔවුනට අවශ්‍ය අත්දැකීම ලැබෙනු ඇති බවයි. යම් නිශ්චිත පිළිවෙතක් අධ්‍යයනය කරමින් එයට හුරුවීම සඳහා තියුණු කාල පරිච්ඡේදයක් ගත කිරීම ප්‍රයෝජනවත් වන නමුදු, විධිමත් තන්ත්‍ර වස් සමයක සිදුකළ යුතු කාර්යය මෙය නොවේ. පිහිනිය යුතු ආකාරය නොදන්නා අයෙකු දිනකට පැය දොළහක් තටාකයක පිළිවෙත් පිරීම මගින් සිය පුහුණුව ආරම්භ නොකරයි. එවන් අඥාන පිළිවෙත් මගින් හුදෙක් මස්පිඩු පෙරළීම් හා වෙහෙස තුළින් කඩා වැටීම පමණක් සිදුවේ. දැඩි පුහුණුව යනු අත්දැකීම් බහුල පිහිනුම්කරුවන් හට ඉහළම පෙළේ මලල ක්‍රීඩකයන් වනු පිණිස සීමා වූවකි. මෙම තත්ත්වය තන්ත්‍ර භාවනා වස් සමයන් විෂයයෙහිද සත්‍ය වේ.

අපගේ පිළිවෙත පිළිබඳ ගර්වයක් ඇතිකර ගැනීමෙන් වැළකීම

තවද, තන්ත්‍ර පිළිවෙත් පුද්ගලිකව තබාගත යුතුවේ. නොඑසේ නම් බොහෝ අතරමැදිහත්වීම් හෙවත් බාධක ඉස්මතුවිය හැක. බොහෝ බටහිර ජාතීන් සිය පිළිවෙත් හා සාර්ථකත්වයන් පුද්ගලිකව හා රහස්‍යව තබා නොගත්තා පමණක් නොව, එ්වා පිළිබඳ කටමැත දෙඩීමටද යොමුවන බව රින්පෝෂේ විසින් දක්නා ලදී. යම් බුද්ධ රූපයක් ආශ්‍රිත යෝග කටයුත්තකට අදාළ කෙටි වස් සමයක් ගත කරමින් ලක්ෂ වාරයක් හෝ දෙකක් අදාළ මන්ත්‍රය ජප කිරීම පමණක් සිදු කර ඇති අවස්ථාවක එම බුද්ධ රූපයට අදාළ මහා යෝග පිළිවෙත් පුරන්නෙකු බවට පුරසාරම් දෙඩීම විකාර සහගත බව ඔහු විසින් පෙන්වා දෙන ලදී. රූපයට අදාළ දෛනික දීර්ඝ සාධන පිළිවෙත පවා පූරණය නොකරන කල්හි එතරම් ව්‍යාජ ඇඟවීම් සහගතව ගර්වයෙන් පිරී සිටීම වඩාත් සානුකම්පිත තත්ත්වයකි. රින්පෝෂේ විසින් නිරතුරු විස්තර කරන ලද්දේ දීර්ඝ සාධනාවන් ආරම්භකයන් සඳහා වන බවයි. මෙම සාධනාවන් නිරන්තරයෙන් පිටු සියයකට වැඩි අන්තර්ගතයකින් සමන්විත වන අතර රූ මැවීම්වලට අදාළ දීර්ඝ ඔපෙරාවන්හි තිර පිටපත් මෙනි. කෙටි හා කෙටි යෙදුම් සහිත සාධනාවන් වූකලි වචන කිහිපයක් පමණක් ගායනා කරන අතර සියලු රූ මැවීම් හා ක්‍රියා පිළිවෙත් පූරණය කිරීමට තරම් සමස්ත පිළිවෙත පිළිබඳ හුරුවක් සහිත උසස් පිළිවෙත් පුරන්නන් සඳහා නිර්මාණය වූ එ්වා වේ.

සිතාමතා ඇති කරගන්නා ගුප්ත ස්වභාවය පිළිබඳ තන්ත්‍ර දේශනා ක්‍රමය ඇගයීම

විශේෂයෙන් තන්ත්‍ර සම්බන්ධයෙන් ආරම්භයේ සිටම සියලු දේශනා හා උපදෙස් පැහැදිලි ලෙස ඉදිරිපත් කරවාගැනීම සඳහා බටහිර ජාතීන් තුළ පවත්නා නැඹුරුතාවයන්ද වළක්වාගත යුතු බව රින්පෝෂේ විසින් දේශනා කරන ලදී. මහා ඉන්දියානු හා තිබ්බතීය ගුරුවරු පැහැදිලි කෘතීන් රචනයෙහි පරිපූර්ණ දක්ෂතාවයකින් යුක්ත වූහ. එසේ වුවද, ඔවුහූ සිතා මතාම අපැහිදිලි ස්වභාවයකින් ලේඛන කාර්යය සිදු කළහ. තන්ත්‍ර දේශනාවන් පමණ ඉක්මවා පැහැදිලි හා ප්‍රවේශ විය හැකි තත්ත්වයකට පත් කළහොත් පහසුවෙන්ම අදාළ පිළිවෙත් කෙරෙහි අතරමැදිහත්වීම් හා බාල කිරීම් සිදුවිය හැක. නිදසුනක් ලෙස, ජනතාව විසින් එම දේශනා එලෙසම ගෙන ඉන් ඔබ්බට එ්වා පුහුණු කිරීම පිළිබඳ බරපතල වෙහෙසක් නොගත හැක.

බෞද්ධ ශික්ෂණ ශිල්ප විධීන්හි වැදගත් කොටසක් වනුයේ අන් අය ලවා යම් කරුණක අරුත විමසීමට සැලැස්වීමයි. සිසුන් සැබැවින්ම ඇල්මක් ඇත්තෝ නම්, ඔවුන් වැඩිදුර පැහැදිලි කිරීම් ඉල්ලා සිටිනු ඇත. මෙමගින් අනායාසයෙන්ම බුද්ධත්වයට පත්වීම සඳහා අවශ්‍ය වන වෙහෙසකාරී කාර්යයන් සිදු කිරීමට අකමැතිවන "ආධ්‍යාත්මික සංචාරකයන්" වශයෙන් එන පිරිස් ඉවත් කළ හැක. කෙසේ වුවද, තන්ත්‍ර අර්ථ විමසීමේ අරමුණ එ්වා පිළිබඳ පුද්ගලයන් තුළ පවත්නා විකෘති, සෘණාත්මක අදහස් ඉවත් කරවීම නම්, පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් පැහැදිලි විස්තර කිරීම් පළ කිරීම සඳහා අනුමැතිය ලබාදී ඇත. කෙසේ වුවද මෙම පළ කිරීම් හුදෙක් න්‍යායාත්මක කොටස් හා සම්බන්ධයෙන් පමණක් වන අතර, එ් එ් බුදු රුවට අදාළ නිශ්චිත පිළිවෙත් හා සම්බන්ධව නොවේ. "සිදු කරන ආකාරය" දැක්වෙන පැහැදිලි අත්පොතක් ලබාදුනහොත් එමගින් ගුරුවරයෙකුගේ අධීක්ෂණයෙන් තොරව උසස් පිළිවෙත් පිරීම සඳහා උත්සාහ කිරීමට පුද්ගලයන් වෙත දිරිමත් කිරීමක් සිදුවන අතර, එය ඉතා භයානක විය හැක.

ධර්මාරක්ෂකයන් පිළිබඳ සැහැල්ලුවෙන් නොසැලකීම

සියල්ලටම වඩා භයානක දෙය ලෙස රින්පෝෂේ විසින් අනතුරු අඟවන ලද්දේ ධර්මාරක්ෂකයන් පිළිබඳ සැහැල්ලු ලෙස සලකා බැලීමයි. ධර්මාරක්ෂකයන් යනු මහා ගුරුවරුන් විසින් හීලෑ කරන ලද බොහෝ විට ආත්මයන් වන බලසම්බන්න බලවේගයන් වේ. ඔවුහූ මෙකී සාමාන්‍යයෙන් භයානක සත්ත්වයන් විසින් බුදුන් වහන්සේගේ දේශනාවන් හෙවත් ධර්මයද අවංකව එම පිළිවෙත් පුරන්නන්ද හානි හා බාධකයන්ගෙන් ආරක්ෂා කිරීමට දිවුරා පොරොන්දු කරවා ගත්හ. මහා යෝගීන් හට පමණි මොවුන් පාලනය කොට තබාගත හැක්කේ.

විවාදයන් සඳහා කැපවූ ආරාමයක පිළිවෙත් ආරක්ෂා කිරීමට පොරොන්දු වූ එක් ආරක්ෂකයෙකු පිළිබඳ කථාව රින්පෝෂේ විසින් නිරන්තරයෙන්ම පවසන ලදී. විවාදයන්හි නිරත විය යුතු අවස්ථාවේ මෙම භූමිය තුළ තන්ත්‍ර පුහුණු වීමට උත්සාහ කරන්නෙකු වේනම් ඔහු මත රෝග පීඩා සහ හදිසි අනතුරු හෙළීම වැනි අතර මැදිහත්වීම් එම ආරක්ෂකයා විසින් සිදු කරන ලදී. සිය දයලෙක්තිවාදී පුහුණුව අවසන් කොට ඉන්පසු තන්ත්‍ර විද්‍යා පීඨ දෙක අතරින් එකක වැඩිදුර අධ්‍යයන කටයුතු කළ භික්ෂූන්ට පමණක් තන්ත්‍ර පිළිවෙත් පිරීම සඳහා අවකාශ සලසන ලදී - එනමුත්, එසේ වුවද, එය සිදුකළ යුතු වූයේ ආරාම ගොඩනැගිල්ලෙන් පිටතය.

තවමත් සිසු අවධියේ පසුවූ එක් ගේෂේවරයෙකු විසින් සිරිතක් ලෙස තන්ත්‍ර හා බැඳි සදාහරිත ශාකයක පත්‍ර ගෙන එ්වාහි අලු පූජා කිරීමක් ආරාම භූමිය තුළ සිදු කරන ලදී. ඔහුට නිරන්තරයෙන්ම බාධකයන්ගෙන් පීඩාවට පත්වන්නට සිදුවිය. ඉන්පසු තන්ත්‍ර විද්‍යා පීඨයකට ඇතුළත් වූ ඔහු, උපාධිය සමත් වීමෙන් අනතුරුව, ආරාමයෙන් පිටත ආසන්නයේ පිහිටි කඳුකර පෙදෙසක මෙම පූජාව නැවත කරන්නට විය. වසර කිහිපයකට පසු, ගේෂේවරයා හට සෘජු, අසංකල්පීය ශූන්‍යතා අවබෝධයක් ලැබුණු පසු, ආරක්ෂකයා ඔහු හට දර්ශනය විය. භයානක පෙනුමක් සහිත ආත්මය "මට ඔබතුමාට මින් පෙර කරදර කරන්නට සිදුවීම පිළිබඳ කණගාටුයි. එ් වුණත් එය ඔබගේ ආරාමයේ සමාරම්භකතුමාට මා වූ පොරොන්දුවේ කොටසක්. දැන් ඔබතුමා ශූන්‍යතාවය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගෙන ඇති බැවින්, මට අවශ්‍ය වුණත් දැන් ඔබතුමාට හානි සිදු කරන්න බෑ"යි පවසමින් සමාව අයැද සිටියේය.

රින්පෝෂේ විසින් මෙම නිදසුනෙහි වැදගත්කම අවධාරණය කරන ලදී. අපගේ පාලන හැකියාවන් ඉක්මවා බලවේගයන් රැවටීමට කටයුතු කිරීම මගින් විපත් ඇතිවිය හැක. ධර්මාරක්ෂකයන් යනු බුදු රූවල සේවකයන් වන්නේය යන කරුණ සිහි තබාගන්නා ලෙස පැවසූ දලයි ලාමා වහන්සේගේ වදන් ඔහු නිතර උපුටා දැක්වීය. අනුත්තරයෝග තන්ත්‍රයෙහි උත්පාදන අදියරයෙහි පූර්ණ කුසලතාවයක් සහිත බුදු රුවක් ලෙස අණ දිය හැකි බලයක් සහිත අය පමණක් මේ හා සම්බන්ධ විය යුතුය. නොඑසේ නම්, අපරිණතව මෙම කටයුත්තට අත ගැසීම කුඩා දරුවෙකු විසින් මහා සිංහයෙකු වෙත ගොස් තමා ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටීම වැනි දෙයක් විය හැක. සිංහයා විසින් හුදෙක් දරුවා ගිල දැමිය හැක. අපගේ ක්‍රියාවන් තුළින් නිර්මිත කර්මය අපගේ හොඳම ආරක්ෂකයාය යන උපදෙස දලයි ලාමා වහන්සේ විසින් ලබාදෙන ලදී. තවද, බුද්ධ, ධම්ම හා උසස් අවබෝධයක් සහිත ආධ්‍යාත්මික සංඝ සමාජය ඇතුළත් තිසරණ සරණ යාමට සිදුවී ඇත්තේ කුමක්ද?

Top