මූලිකම බෞද්ධ ප්‍රතිපදාව අපව පැතිකඩ තුනක් ඔස්සේ පුහුණු කිරීම පිණිස යොමු වේ. අප අපේම යහපැවැත්ම ගැන සොයා බලන්නේ නම්, අපට අපේ ගැටලු සහ දුක්පීඩා සමනය කරගැනීම පිණිස එම පැතිකඩ තුළ පුහුණු විය හැකිය. එසේ නැතිනම්, අන් අයට වඩාත් යහපත උදාකරවීම පිණිස මෛත්‍රියෙන් සහ කරුණාවෙන් යුතුව අපට ඒ තුළ පුහුණු විය හැකිය.
ත්‍රිවිධ ශික්ෂා මොනවාද?
- සදාචාරාත්මක ශික්ෂණය (ශීලය) –විනාශකාරී හැසිරීම්වලින් වැළකීමට ඇති හැකියාව. මෙය අප තුළ වර්ධනය කරගැනීමට ඇති ක්‍රමය නම් සාධනීය හැසිරීම්වල නිරත වීමය. මෙම පළමු පුහුණුවීම ස්වයං-ශික්ෂණය පිළිබඳවය – අපි අනෙක් මිනිසුන්ව හික්මවීමට උත්සාහ නොකරමු.
- සාවධාන බව (සමාධිය) –සෑම ආකාරයකම බාහිර සිතුවිලි සමග මනස එහා මෙහා යාමක් සිද නොවන අයුරින් අපේ මනස ඒකාග්‍ර කරගැනීමේ හැකියාව. අපි අපේ මනස තියුණු සහ එකඟ කරගැනීමක් මිස මොට කරගැනීමක් නොකරමු. මානසික ස්ථාවර බවට අමතරව, කෝපය, ඇලීම, ඊර්ෂ්‍යාව වැනි දෑ මඟින් යටපත් කළ නොහැකි අයුරින් අපේ මනස තුළ මනෝභාවයමය ස්ථාවර බවත් වර්ධනය කරගැනීම අත්‍යවශ්‍යය.
- විචාරපූර්වක අවබෝධය (ප්‍රඥාව) –පිළිගත යුතු දේ සහ අත්හැරිය යුතු දේ වෙන් කරගැනීමට, නැතහොත් තෝරා බේරා ගැනීමට ඇති හැකියාවය. එය ඔබ එළවුළු ගැනීමට පොළට ගිය විට, “මේක නං එච්චර හොඳ නැහැ, අරක නම් ගොඩක් හොඳයි වගේ පේනවා” යනුවෙන් තොරා බේරාගැනීමක් කරන්නා මෙනි. මෙහිදී අපගේ තොරා බේරා ගැනීම සිදුවන්නේ හැසිරීම සම්බන්ධයෙනි – අප මුහුණ දෙන අවස්ථාව, කටයුතු කරන්නේ කා සමගද යන කරුණු මත යැපෙමින් සුදුසු දේ කුමක්ද, නුසුදුසු දේ කුමක්ද යනුවෙන් තොරා බේරාගැනීමකි. වඩාත් ගැඹුරු අදියරකදී, යථාර්ථ වශයෙන් ඇත්තටම පවතින දේත් අපගේ මනඃකල්පිතයන් නිසා ප්‍රක්ෂේපනය වන දේත් අතර වෙනස අපි වෙන් කොට හඳුනා ගනිමු.
බෞද්ධ විද්‍යාව, බෞද්ධ දර්ශනය සහ බෞද්ධ ආගම
අප මෙම ත්‍රිවිධ ශික්ෂා පුරුදු පුහුණු කිරීම අපගේ යහපත උදෙසා සිදු කළත් අන්-අයගේ යහපත උදෙසා සිදු කළත් ඒ දෙපැත්තටම අපට දෙවෑදරුම් දැක්මකින් ළඟා විය හැකිය. පරම පූජනීය දලයි ලාමා වහන්සේ පොදු පාඨකයාට කළ දේශනයක් ඇසුරින් මේ දෙවෑදරුම් බෙදීම හට ගැනිණි. එහිදී, උන්වහන්සේ බුදුදහමේ කොටස් තුනක් ඇති බව විස්තර කරති: එනම් බෞද්ධ විද්‍යාව, බෞද්ධ දර්ශනය සහ බෞද්ධ ආගම යනුවෙනි.
බෞද්ධ විද්‍යාව ප්‍රධාන වශයෙන් යොමු වන්නේ මනස පිළිබඳ විද්‍යාව වෙතය –එය ක්‍රියා කරන අයුරුත්, අපේ මනෝභාවයනුත්, දලයි ලාමා විසින් මානසික සහ මනෝභාවමය සෞඛ්‍ය සම්පන්න බව යනුවෙන් හඳුන්වන දේත් එයට අදාළය. සියලු ආකාරයේ මනෝභාවමය තත්ත්වයන් පිළිබඳවද ඒවා ක්‍රියා කරන ආකාරය සහ එක්ව ගමන්කරන ආකාරය ගැනද බුදුදහම තුළ විස්තරාත්මක විශ්ලේෂණයක් ඇත.
බෞද්ධ විද්‍යාවට මේවාද ඇතුළත් වේ:
- ප්‍රජානන විද්‍යාව – අපගේ ප්‍රත්‍යක්ෂය ක්‍රියා කරන අයුරු, විඥානයේ ස්වභාවය, සහ අපගේ සමාධිය වැඩිදියුණු කරගැනීමේ විවිධ ශික්ෂණ ක්‍රම
- විශ්වසම්භවවාදය –විශ්වය ආරම්භ වූ අයුරු, පවතින අයුරු සහ විනාශ වන අයුරු පිළිබඳ විස්තරාත්මක විශ්ලේෂණයක්
- ද්‍රව්‍යය –ද්‍රව්‍යය, ශක්ති, අණුක පදාර්ථයන් ආදිය ක්‍රියා කරන අයුරු ගැන විස්තරාත්මක විශ්ලේෂණයක්
- ඖෂධ –ශරීරය තුළදී ශක්තිය ක්‍රියාත්මක වන අයුරු
ඕනෑම අයෙකුට ඉහත මාතෘකා අධ්‍යයනය කිරීම, ඉගෙන ගැනීම සහ එමඟින් ලැබෙන ප්‍රතිලාභ ලැබිය හැකි අතර දලයි ලාමා වහන්සේ නිතරම විද්‍යාඥයන් සමග මේ කාරණා ගැන සාකච්ඡා පවත්වති.
දෙවන ප්‍රභේදය වන බෞද්ධ දර්ශනයට මෙවැනි දේ ඇතුළත් වේ:
- සදාචාරවිද්‍යාව –කිසිදු ආගමකට විශේෂයෙන් සම්බන්ධයක් නැති, ඕනෑම අයෙකුට ප්‍රතිලාභ ලැබිය හැකි කරුණාව, පරිත්‍යාගශීලී බව වැනි මූලික මිනිස් වටිනාකම් ගැන සාකච්ඡාව
- තර්කශාස්ත්‍රය සහ පාරභෞතිකවිද්‍යාව –කුලකවාදය, සාමාන්‍යය, ස්වලක්ෂණ, ගුණ, ලක්ෂණ යනාදිය ගැනත් ඒවා එක්ව ක්‍රියා කරන අයුරු ගැනත්, අප ඒවා දැන ගන්නේ කෙසේද යන්න ගැනත් විස්තරාත්මක ඉදිරිපත්කිරීමක්.
- හේතුව සහ ඵලය –හේතුඵලවාදය ගැනත්, යථාර්ථය යනු කුමක්ද යන්න ගැනත් අපේ ප්‍රක්ෂේපණයන් යථාර්ථය විකෘති කරන අයුරු ගැනත් විස්තරාත්මක විශ්ලේෂණයක්
නැවතත්, බෞද්ධ දර්ශනය යනු අනිවාර්යයෙන්ම බෞද්ධයන්ට පමණක් සීමා වන්නක් නොවන අතර එය සෑම අයෙකුටම ප්‍රතිලාභ ලැබිය හැකි දෙයකි.
තුන්වන ප්‍රභේදය වන බෞද්ධ ආගම යන්නට බෞද්ධ ප්‍රතිපදාවේ සැබෑ පැතිකඩ ඇතුළත් වන හෙයින් එමඟින් කර්මය, පුනරුත්පත්තිය, ආගමික වතාවත්, මන්ත්‍ර යනාදිය අන්තර්ග්‍රහණය කරයි. එබැවින් එය බෞද්ධ මාර්ගය අනුගමනය කරන අයට විශේෂිත වේ.
ඕනෑම අයෙකුට අදාළ කරගත හැකි වන සහ සුදුසු වන පරිදි බෞද්ධ විද්‍යාව සහ බෞද්ධ දර්ශනය ඔස්සේ පමණක් සරලවම ත්‍රිශික්ෂාව ඉදිරිපත් කළ හැකි වේ. නැතහොත් ඒවා එම දෙකද බෞද්ධ ආගමද ඔස්සේ ඉදිරිපත් කළ හැකිය. මෙය, මා විසින් “ලඝුධර්මය” සහ “යථාවද්ධර්මය” යනුවෙන් හඳුන්වන බෙදීමට සමානුපාත වේ.
- ලඝුධර්මය – බෞද්ධ විද්‍යාවේ සහ දර්ශනයේ එන ක්‍රමෝපායයන් මේ ජීවිත කාලය තුළ ඔප්නංවා ගැනීම පිණිස පුරුදු පුහුණු කිරීම.
- යථාවද්ධර්මය – තුන් වැදෑරුම් බෞද්ධ ඉලක්කයන් සපුරා ගැනීම පිණිස ත්‍රිවිධ ශික්ෂාව පිළිපැදීම - එනම්, වඩා යහපත් පුනරුත්පත්තියක් ලැබීම, නැවත ඉපදීමෙන් විමුක්තිය ලැබීම, සහ සම්බෝධිය ලැබීම යන තුනය.
මා ලඝුධර්මය ගැන කතා කරන විට, සාමාන්‍යයෙන් එය සිදු කරන්නේ යථාවද්ධර්මයට ප්‍රාථමික පියවරක් ලෙසය. කුමක් නිසාද යත්, ඉදිරි ආධ්‍යාත්මික අරමුණු ගැන සිතීමට පෙර අප අපගේ සාමාන්‍ය ජීවිතය ඔප්නංවා ගැනීමට අවශ්‍ය බව හඳුනාගෙන සිටීම අවශ්‍යය. කෙසේ වෙතත්, බෞද්ධ විද්‍යාව සහ බෞද්ධ දර්ශනය අනිවාර්යයෙන්ම බෞද්ධ ආගමට මුල්වන දෙයක් වන්නේ නැත. මේ නිසා, බෞද්ධ මාර්ගයට නැතහොත් සාමාන්‍යයෙන් බුදුදහමට මෙය මුල්වන බවක් අප සිතන්නේද, නැද්ද යන කරුණ නොසලකා අපගේ ජීවිත ඔප්නංවා ගැනීමට ත්‍රිවිධ ශික්ෂාවන් යොදා ගන්නේ කෙසේද’යි අපට බැලිය හැකිය.
චතුරාර්යසත්‍යය
බෞද්ධ චින්තනය ක්‍රියා කරන අයුරු පිළිබඳ සාමාන්‍ය ඉදිරිපත් කිරීමක් අපට බෞද්ධ දර්ශනය තුළින් ලැබේ, එනම් චතුරාර්යසත්‍යය යනුවෙන් අප හඳුවන දේය. ඒවා ජීවිතය පිළිබඳ සැබෑ කරුණු හතරක් ලෙසද අපට සිතිය හැකිය. ඒ මෙසේය.
- දුක සහ අප මුහුණ දෙන සියලු ගැටලු පිළිබඳ සොයා බැලීමෙන් මතුවන පළමු සැබෑ කරුණ නම් ජීවිතය දුෂ්කර බවය.
- දෙවන සැබෑ කරුණ නම් අපේ ජීවන ගැටලු උද්ගත වන්නේ හේතුවලින් වීමය.
- තුන්වන සැබෑ කරුණ නම් අපට මෙම ගැටලු නැවැත්විය හැකි බවය; කරබාගෙන අපේ ගැටලු අප බාරගත යුතු නැත. අපට ඒවා විසඳා ගත හැකිය.
- සිව්වන සැබෑ කරුණ නම් ගැටලු ඇති කරවන හේතු මුලිනුපුටා දැමීමෙන් අප අපේ ගැටලුවලින් අතමිදෙන බවය. ක්‍රියා කළ යුතු අයුරු, කතා කළ යුතු අයුරු යනාදිය ගැන අවවාද අනුශාසනා සපයන අවබෝධයෙන් යුතු මාර්ගයක් අනුගමනය කිරීමෙන් අපි එය කරමු.
යම් හෙයකින්, අප ක්‍රියා කරන හෝ කතා කරන අයුරු අපට ගැටලු ඇති කරවන්නේ නම් අප ඒවා වෙනස් කරගැනීම අවශ්‍යය. ත්‍රිශික්ෂාව යනු අපේ ගැටලු ඇති කරවන හේතුවලින් අතමිදීමට අපට අවශ්‍ය කරන අංගයකි. මෙය ත්‍රිශික්ෂාව වටහා ගැනීමට ඉතාම උපකාරී වන ක්‍රමයද වේ. කුමක් නිසාද යත්, එසේ වටහා ගැනීමෙන් අප ඒවා පුරුදු පුහුණු කළ යුත්තේ ඇයිද යන්න ගැන අදහසක් ඇති කරවන නිසාය. මේ නිසා, අපට ජීවිතයේ ගැටලු ඇත් නම්, අපි මෙසේ බලමු:
- මා ක්‍රියා කරන සහ කතා කරන ආකාරය හා සම්බන්ධව මගේ සදාචාරාත්මක ශික්ෂණයේ කිසියම් ගැටලුවක් තිබේද?
- මගේ අවධානය යොමු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ගැටලුවක් තිබේද - මා යම් තැනක සිටියදී එතැන මනා සිහියෙන් සිටීද, මා හැඟීම්වලින් අවුල් වී ගිය අයෙකුද?
- විශේෂයෙන්ම, යථාර්ථය සහ මගේ මනෝවිකාර ප්‍රතිනිර්මාණයන් අතර වෙනස වටහා ගැනීමේ යම් ගැටලුකාරී තත්ත්වයක් තිබේද?
මෙය මෙම ජීවිතකාලයේ ගත කරන අපගේ සාමාන්‍ය ජීවිතයට අදාළ කර ගත හැකිය, නැතහොත් එය අප මතු ජීවිතවලදී මුහුණ දීමට ඉඩ ඇති ගැටලු දක්වා දිගුකර ගත හැකිය. ආධුනික මට්ටමේදී අප මෙම පුහුණුවීම් ගැන විමසා බැලිය යුත්තේ අපගේ එදිනෙදා ජීවිතය සම්බන්ධයෙනි: මේ දේවල් අපට උදවු වෙන්නේ කොහොමද? අපට ගැටලු ඇති කරවීමට හේතු වන පරිදි අප මොනවාද කරන්නේ? ඒවා සමනය කර ගන්න අපට කළ හැක්කේ මොනවාද?
දුක ඇති වීමේ හේතුව
බෞද්ධ දර්ශනයට අනුව බැලුවොත් අපේ දුක ඇති වීමේ හේතුව, අනවබෝධය ය. විශේෂයෙන්ම අපි කරුණු දෙකක් ගැන අනවබෝධයෙන්, නැතිනම් මුළාවට පත්වීමෙන් සිටිමු.
අප අනවබෝධයෙන් සිටින පළමු කරුණ නම් හේතුඵල සම්බන්ධයය. එයද විශේෂයෙන්ම අපේ චර්යාවට අදාළවය. අපට කෝපය, දැඩි ආශාව, ඇලීම, මාන්නය, ඉරිසියාව වැනි කරදරකාරී මනෝභාවයන් තිබේ නම් අපි හානිදායක ලෙස ක්‍රියා කරමු. කේන්තිය නිසා, අපි මිනිසුන්ට කෑගසමු, ඉරිසියාව නිසා මිනිසුන්ට හිංසා කිරීමට උත්සාහ කරමු, ඇලීම නිසා මිනිසුන් කෙරෙහි ඇලීගැලී සිටිමු - මේ සියල්ල අපට ගැටලු ඇති කරවීමට හේතුවෙයි. මේ මනෝභාවයන් නිසා අප හානිදායක ලෙස, වෙනත් ලෙසකින් කිවහොත් තමාටම හානියක් කරගන්නා අයුරින් ක්‍රියා කරන නිසා අවසානයේදී ප්‍රතිඵලය නොසතුටය.
කරදරකාරී මනෝභාවයන් පිළිබඳ අර්ථකථනයද විමසා බැලීම ඵලදායකය. එය (එනම් කරදරකාරී මනෝභාවයක් යනු) මතු වී නැඟී සිටිය විට අපේ මනසේ සැනසීම හා ස්වයං පාලනය නැති කිරීමට හේතු වන මානසික තත්ත්වයකි. අප කේන්තියෙන් කාට හෝ බෙරිහන් දී කෑ ගහන විට එමඟින් ඔවුන් අවුලට පත්වීමට හෝ නොවීමට හෝ ඉඩ ඇත. ඇතැම්විට ඔවුන්ට අප කියන දේ ඇහෙන්නේ නැති වෙන්නත් පුළුවනි. එසේ නැතිනම් අප මෝඩය’යි සිතා ඔවුන් සිනාසීමටද ඉඩ ඇත. ඒත් කෑගසීම නතර වූ පසුවත් නිතර නිතරම අපට අපේ මනසේ සැනසීම නැති වී යයි, හැඟීම්වලින් අවුල් සහගත වී යයි. එය අප්‍රසන්න අත්දැකීමකි. එපමණකුත් නොව, අපට ස්වයං පාලනය නැති වී ගිය නිසා අප කී දේවල් ගැන අනතුරුව පසුතැවීමටද ඉඩ ඇත.
අප මේ අයුරින් ක්‍රියා කරන්නේ,
- අපට සැබෑවටම හේතුඵල සම්බන්ධය වැටහෙන්නේ නැති නිසාය. යම් යම් කරදරකාරී මනෝභාවයන්ට යට වී අප කිසියම් අයුරකින් ක්‍රියා කරන්නේ නම් එමඟින් නොසතුට ළං කරගන්නා බව අපට බොහෝ විට වැටහෙන්නේ නැතිය.
- නැතහොත්, අප හේතුඵල සම්බන්ධය ගැන මුළාවට පත්වී එය වැරදි ආකාරයෙන් වටහා ගන්නා නිසාය. “මේ මනුස්සයට බෙරිහන් දී කෑගැසුවා නම් මට හිතට සැහැල්ලුවක් දැනේවි” යනුවෙන් අපි නිතර හිතමු. එහෙත් ඇත්ත වශයෙන්ම එය කෙදිනකවත් වන්නේ නැත. එසේත් නැතිනම්, අප යම් අයෙකුට තදින් ඇලී සිටින විට, “ඇයි ඔයා මට නිතර කතා කරන්නේ නැත්තේ, නිතර මාව බලන්න එන්නේ නැත්තේ?” යනුවෙන් අපි පවසමු. එමඟින් අප ඔවුන්ව හඹා යාමක් සිදු නොවන්නේද? මේ අයුරින් හේතුඵල ක්‍රියා කරන අයුරු ගැන අප මුළාවට පත්වී සිටින නිසා, අපි අපට අවශ්‍ය දේ සපුරා නොගනිමු.
අපට ඇති අනවබෝධයේ දෙවැනි ආකාරය, යථාර්ථයට සම්බන්ධය. අප යථාර්ථය ගැන මුළාවට පත්වී සිටින නිසා අපට කරදරකාරී මනෝභාවයන් හටගනී. මේ පිළිබඳ උදාහරණයක් ලෙස තමාව මූලික කරගෙන සිත යොමු වී තිබීම, එනම් මා, මගේ පැවැත්ම, මම යන කරුණු ගැන හැමවිටකදීම සිතීම ගත හැකිය. අප සර්වසම්පූර්ණ විය යුතුයි වැනි හැඟීමක් අපට ඇති කරවන අසනීපයක් දක්වාද මෙම හැඟීම පෙරැළී යා හැකි බැවින් එය ඉතා තීරණාත්මක තත්ත්වයක්ද විය හැකිය. හැමදේම පිළිවෙළට ගනිමින්, ඉතාම නිවැරදි වීමට උත්සාහ ගනිමින් අප හිතකර ලෙස ක්‍රියා කරන්නේ වුවත් එය දැඩි මානසික බලපෑමක් බවට පත් වන්නේය. එවැනි ක්‍රියාවකින් අපට තාවකාලිකව යම් සතුටක් ඇති වුවත්, එය ඉතා ඉක්මනින් අසංතෘප්තියට පෙරළෙන්නේ, “මම තාම හොඳ මදි” යනුවෙන් තවදුරටත් සිතමින් අප අපව වැඩි දියුණු කරගන්න දිගින් දිගටම තල්ලු කරන නිසාය.
කොයි වෙලේත් පිරිසිදු කරන්න - ඒ කියන්නේ තමුන්ගේ ගෙදර ඉතා පිරිසිදුව තියා ගන්න ඕනේ’යි හිතා නිතර නිතර පිරිසිදු කරන්න - හිතෙන අයෙකු පිළිබඳව උදාහරණයකට ගන්න. ඒ අය ඉන්නේ තමුන්ට හැමදේම පාලනය කරන්න පුළුවන්, ඒ දේවල් පිරිසිදුව පිළිවෙළට හැමවිටම තියා ගන්න පුළුවන් කියන වැරදි ආකල්පය තුළය. ඒක වෙන්නම බැහැනේ! ඔබ හැමදේම පිරිසිදු කර, පිළිවෙළට තබා ඇති විට ඔබට හොඳ හැඟීමක් ඇති වුණත් ළමයි ගෙදර ආ විට හැමදේම අවුල් කරති. ඔබට එවිට අසංතෘප්තියක් ඇති වී නැවත පිරිසිදු කරන්න සිදු වේවි. මේ ආකාරයට එය දැඩි මානසික බලපෑමක් බවට පත්වෙයි. “මරුනේ, දැන්නම් හැමදේම පිළිවෙළ”යි යනුවෙන් හැම විටම ඔබට තරමක සතුටක් ඇති වේවි, ඒත් ඒ හැඟීම ඉතා ඉක්මනින් වෙනස් වෙයි. ඔබට මඟ හැරෙන කුණුපැල්ලමක් හැමවිටම තියේවි.
කරදරකාරී මනෝභාවයන් ලෙස හෝ කරදරකාරී ආකල්ප ලෙස හෝ ඇති වන මෙම මානසික තත්ත්වයන් නිතර නිතර ඇති වීමෙන් සහ මෙවැනි දැඩි මානසික බලපෑම් එල්ල කරන චර්යාවන් නිතර නිතර කිරීමෙන් “සතත පැතුරුණු දුක” යනුවෙන් කියන දේ ඔබට ඇති වේ. එයින් අදහස් වන්නේ අපේ ප්‍රශ්න දිගින් දිගටම පවත්වා ගැනීමට යොමු වන අයුරින් අපේ පුරුදු ගොඩ නැඟෙන්නේ කෙසේද යන්නයි.
එය අපට හුදෙක් මානසිකව බලපෑමක් එල්ල කරන්නේම නොවේ, කායිකවද බලපායි. උදාහරණයක් ලෙස, අප නිතරම කේන්ති ගන්නේ නම්, අපේ රුධිරපීඩනය වැඩි වී යයි, කණස්සලු වීමෙන් ව්‍රණයක් සෑදීමට ඉඩ ඇත, මෙවැනි තවත් දේ ඇත. එසේ නැතත්, හිතන්න ඔබ පිරිසිදු කිරීමේ අසනීපයකින් පෙළෙනවා නම්, ඔබට විවේකයෙන් සිටින්නට අසීරු වේ. හැමදේම කොයි වෙලෙත් පිළිවෙළට තියෙන්න ඕනේ නිසා සහ එහෙම වෙන්නේ නැති නිසා ඔබ නිතරම සිටින්නේ චිත්තපීඩාවෙනි.
අපේ ගැටලුවලට හේතු වන දේ මුලිනුපුටා දැමීමට ත්‍රිශික්ෂාව උපකාර වන අයුරු
අපට ඇත්තටම අවශ්‍ය වන්නේ ත්‍රිශික්ෂණයය:
- අපේ මුළාව නැති කර දැමීමට අපට විචාරපූර්වක අවබෝධය අවශ්‍යය. උදාහරණයක් ලෙස, පිරිසිදු කිරීමේ අසනීපය ගැන සලකා බැලූ විට, “හැමදේම, හැමවිටම පිරිසිදුව පිළිවෙළට තියෙන්න ඕනැය, මට හැමදේම පාලනය කළ හැකිය” යන ෆැන්ටසිය ඔබට ඇති වේ. ඔබ එය, “ඇත්ත නේන්නම්, මගේ ගෙදර කිළිටි වෙන්න පුළුවන්, කාටවත් බෑ ඒක පාලනය කරන්න” යන සිතුවිල්ලට හුවමාරු කර ගනිහි. ඔබ තවදුරටත් ඔබේ නිවස පිරිසිදු කරන නමුත් ඔබ ඒ කෙරෙහි දැඩි සේ ඇලීගැලී නැති නිසා ඇත්තෙන්ම ඔබට වඩාත් සැහැල්ලුවක් දැනේවි. සාම්ප්‍රදායික කෘතිවල තියුණු පොරොවකින් ගසක් කපා දැමීම යන උදාහරණයද මෙහිදී යොදා ගනී.
- පොරොවකින් ගසක් කපා දැමීමට අපට එක දිගට එකම තැනට පහර දීමට අවශ්‍ය වේ, එනම් සාවධාන බව අවශ්‍ය වේ. ඉදින් ඔබේ මනස නිතරම විසිරී තිබේ නම්, ඔබට මෙම විචාරපූර්වක අවබෝධය නැති වී යයි. ඉතින්, එකම තැනට පොරොවෙන් ගැසීමට අපට හැකි වීමට නම් අපට සාවධාන බව තිබිය යුතුම වේ.
- මේ පොරොව භාවිත කිරීමට ශක්තිය අවශ්‍යයි. ඔබට ශක්තිය නැති නම් ඔබට මේ පොරොව ඔසවා ගැනීමටත් නොහැකි වේවි. මේ ශක්තිය එන්නේ සදාචාරාත්ම ස්වයං-ශික්ෂණය මඟිනි.
මේ ආකාරයෙන් අපේ ගැටලුවල අක්මුල් සිඳදැමීමට ත්‍රිශික්ෂාව උපකාරි වන්නේ කෙසේද’යි අපි වටහා ගන්නෙමු. බෞද්ධ ආගම කෙරෙහි කිසිදු යොමු වීමක් නැතිවම අපට ඉහත දැක්වූ සියල්ලම උපයෝගි කරගත හැකි නිසා එය සෑම අයෙකුටම යෝග්‍යය. ඉදිරියට යාමට පෙර, අප මෙතෙක් උගත් දෑ ක්ෂණිකව උකහාගෙන සිටිමු.
- ෆැන්ටසිය සහ යථාර්ථය අතර වෙනස දැක ගැනීම පිණිස අපි විචාරපූර්වක අවබෝධය යොදා ගනිමු. එමඟින් අපේම චර්යාව තුළ හේතුඵල සම්බන්ධය දැක ගැනීමට අපට හැකිවේ. අපට විචාරපූර්වක අවබෝධය නැතිවිට අපේ චර්යාව සහ ආකල්ප විසින් නොසතුටක් හෝ අපව සැබැවින් තෘප්තියකට පත් නොකරන විදිහේ සතුටක් හෝ නිර්මාණය කෙරෙයි.
- ඉහතින් දැක්වූ තත්ත්වය මනාව වටහා ගැනීමට නම් අපට හොඳ සාවධාන බවක් අවශ්‍ය වේ. එමඟින් අපට එක අරමුණක පිහිටා සිටිය හැකි වේ.
- හොඳ සාවධාන බවක් වැඩිදියුණු කරගැනීමට නම් අපට ශික්ෂණය අවශ්‍ය වේ. එමඟින් අපේ මනස එහෙ මෙහෙ සැරිසරන විට නැවත ගෙන ඒමට හැකි වේ.
- අපේ ගැටලු සමග කටයුතු කිරීම පිණිස උදවු කර ගැනීමටත් අපේ ජීවිතවල ගුණාත්මක බව නඟා සිටුවා ගැනීමටත් අප මෙම ත්‍රිශික්ෂණය යොදා ගැනීම අවශ්‍යය.
මේ හැමදේකින්ම ඉවත් වී යාමට ඇති ප්‍රධානම විදර්ශනාව නම්, අප අපේ ජීවිත තුළ අත්විඳින සතුට සහ අසංතෘප්තිය අපගේම මුළාව නිසා පැමිණෙන බව දැනීමයි. අපේ ගැටලු වෙනුවෙන් අන්අයට, සමාජයට, ආර්ථිකයට හෝ වෙනත් දෙයකට දොස් කියනු වෙනුවට අපි වඩාත් ගැඹුරු මට්ටමක් දෙස අවධානය යොමු කරමු. මෙම අවස්ථාවන් සමග ගනුදෙනු කරන අපගේ මානසික තත්ත්වය ගැන අපි බලමු. අපට ජීවිතයේ බොහෝ දුෂ්කර අවස්ථාවන් හමුවීමට ඉඩ ඇත. එහෙත් මෙහිදී අප කතාබහ කරන්නේ නොසතුට සහ කෙටිකලකට ලැබෙන එක්තරා ආකාරයක සතුටක් පිළිබඳ අපගේ සාමාන්‍ය හැඟීම ගැනය. අප මෙයට වඩා එහා ගිය දෙයක් අරමුණු කළ යුතුය, එනම් මානසික සැනසීම සමග පැමිණෙන විදිහේ, බොහෝ කාලයක් පවතින, ස්ථාවර සතුටක් අරමුණු කළ යුතුය.
අපට දුෂ්කරතාවන් හමුවන විට, අපට මුළුමනින්ම පීඩාවටත් අතිශයින් අවාසනාවන්ත තත්ත්වයටත් පත්වීමට හැකිය. එසේත් නැතිනම්, අපට ඒවාට සාමකාමී මනසකින් යුතුව මුහුණ දිය හැකිය. ඇයිද යත්, අප ඒ අවස්ථාව දෙස වඩාත් පැහැදිලිව බලා, අදාළ වන දේ දැක, ඒ ගැන අප කෙරෙහිම කණගාටුවක් ඇති කරගනු වෙනුවට ඒ අවස්ථාවට පෑහෙන ආකාරයේ ක්‍රම ඇති බව අප දකින නිසාය.
ඔබේ දරුවා රාත්‍රියේදී නිවසින් බැහැර ගොස් ඇති විටෙක, “ඔවුන් ගෙදරට පරිස්සමින් එයිද මංදා” යනුවෙන් ඔබ සැබෑවටම කණස්සලු වන අවස්ථාවක් ගැන සිතා බලන්න. මෙහිදීද, අපේ බිය සහ නොසතුට ඇති වීමේ මූලය වන්නේ “කෙසේ හෝ මගේ දරුවාගේ ආරක්ෂාව මට පාලනය කළ හැකිය” යන ආකල්පයය. එය ඇත්තෙන්ම ෆැන්ටසියකි. ඔවුන් නිවසට ආරක්ෂිතව පැමිණි විට ඔබට සතුටක් දැනේ, සැහැල්ලුවක් දැනේ, එහෙත් ඊළඟ වතාවෙත් ඔවුන් පිටව ගිය විට ඔබ නැවතත් කණස්සලු වේ. ඉතින් මේ සිදුවීමේදී දැනෙන මෙන් පහසු හැඟීමක් වැඩිකල් රැඳෙන්නේ නැහැ නේද? මේ නිසා අපි හැමදාම කණස්සල්ලෙන් සිටිමු. එය දිගින් දිගටම පවතියි - හැම දෙයක් ගැනම කණස්සලු වන විදිහේ පුරුද්දක් බවටත් අපි එය පත්කර ගනිමු - එසේම එය අපේ සෞඛ්‍යයටත් බලපායි. එය ඉතා අප්‍රසන්න තත්ත්වයකි.
මේ හැමදේකටම හේතුව අපේම මෝහය බව වටහාගැනීම සැබෑම වැදගත් කරුණය. යම් යම් ක්‍රමවලට අනුව ක්‍රියා කිරීමෙන් සතුටක් ඇති වන බව අපි සිතමු. නැතිනම්, අපට හැමදේම පාලනය කරන්න පුළුවන් කියන ආකල්පය නිවැරදි බව අපි සිතමු. එය එසේ නොවේ. “මේක විකාරයක්” කියන සිතුවිල්ලෙන් අපි මෙය කපා දමමු. එසේම ඒ ගැන අවධානය යොමු කර සිටිමු.
සාරාංශය
ජීවිතය පිළිබඳ සැබෑ කරුණු හතර ගැන අප ආවර්ජනය කර බලන විට අපගේ ගැටලු සහ නිශේධාත්මක මනෝභාවයන් ස්ථිර ඒවා නොවන බවත් ඒවා වෙනස් කළ හැකි බවත් දැකීමෙන් සහ ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කළ හැකි බව දැකීමෙන් අපි ධෛර්යවත් වීමු. වරක් අප දුක් ඇති වීමේ හේතු සමග ගනුදෙනු කළ හොත් දුක පවතින්නේ නැත. එහෙත් මේ හේතු තමුන්ම, නිකම්ම අතරුදන් වී යන්නේද නැත.
අපේ ජීවිත ජීවත් කරවීමේ අදහාගත නොහැකි ජීවන ක්‍රමය නම් සදාචාරය, සාවධාන බව සහ විචාරපූර්වක අවබෝධය යන ත්‍රිශික්ෂාව සහිත සංදර්භයක් තුළ ජීවිත් වීමය. ඒවා, එකට එකමුතු වී ක්‍රියා කරමින් අප නිතරම සොයන දේ වෙත අපව සමීප කරවයි: එනම් සතුට වෙතය.