ඇලෙක්සැන්ඩර් බර්සින් යනු කවුරුන්ද?

ඇලෙක්සැන්ඩර් බර්සින් (උපත 1944) ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි හැදී වැඩු‍ණු අයෙකි. 1962 වසරේ රට්ගර්ස් හා ප්‍රිස්න්ටන් විශ්වවිද්‍යාලයන්හි ඔහු විසින් බුදු දහම පිළිබඳ සිය අධ්‍යයන කටයුතු ආරම්භ කරන ලද අතර, හාවර්ඩ් විශ්වවිද්‍යාල‍යේ සංස්කෘත හා ඉන්දියානු අධ්‍යයන සහ ඈත පෙරදිග භාෂා (චීන) අධ්‍යයනාංශ අතර ඒකාබද්ධ අධ්‍යයන කටයුතු හරහා 1972 වසරේදී සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය. එක් ආසියානු ශිෂ්ටාචාරයක් වෙතින් තවෙකක් කරා බුදු දහම සම්ප්‍රේෂණය කෙරුණු ක්‍රියාවලිය හා එය පරිවර්තනය වී අනුගත කෙරුණු ආකාරය පිළිබඳ ලද අනුප්‍රාණයද සමගින්, එවක් පටන් ඔහුගේ අවධානය යොමු වූ ක්ෂේත්‍රය වූයේ සම්ප්‍රදායික බෞද්ධ හා නවීන බටහිර සංස්කෘතීන් අතර පැවති හිදැස පිරවීමයි.  

පළමුව ෆුල්බ්‍රයිට් ශාස්ත්‍රාලයීය උගතෙකු ලෙසද, ඉන්පසු සිය දායකත්වයද සහිතව ආරම්භ කරන්නට යෙදුණු ධර්මශාලාහි තිබ්බතීය කෘති හා ලේඛනාරක්ෂක පුස්තකාලයේ භාෂා පරිවර්තන කාර්යාංශයේද ලෙස වසර 29ක කාල පරිච්ඡේදයක් පුරා දර්ශනසූරී බර්සින් මහතා ඉන්දියා‍වේ වාසය කළේය. ඉන්දියාවේ වසන සමයේදී, තිබ්බතීය බෞද්ධ සම්ප්‍රදායන් සතරේම ගුරුවරුන් වෙතින් තවදුරටත් අධ්‍යයන කටයුතුවල නියැලි නමුදු ඔහුගේ ප්‍රධාන ගුරුවරුන් වූයේ පරම පූජනීය දලයි ලාමා වහන්සේ, ෂෙන්ෂැබ් සර්කොං රින්පෝෂේ හා ගේෂේ නැවෑං ධාර්ජේ ය. උන් වහන්සේලාගේ අධීක්ෂණය යටතේ ධර්ම පිළිවෙත් පිරීමෙහි නියැළි ඔහු විසින් ගෙලුග් සම්ප්‍රදායේ ප්‍රධාන භාවනා වස් සමයන් සම්පූර්ණ කරන ලදී.

වසර නවයක් පුරා ඔහු ෂෙන්ෂැබ් සර්කොං රින්පෝෂේගේ ප්‍රධාන කථා පරිවර්තකවරයා වූ අතර ඔහු සිය ස්වාධීන බෞද්ධ ගුරු තත්ත්වය සාක්ෂාත් කරගැනීම සඳහා තමා සහභාගි වූ විදෙස් සංචාරයන්හිද නිරත කරවන ලදී. පරම පූජනීය දලයි ලාමා වහන්සේ සඳහා වරින් වර කථා පරිවර්තකවරයෙකු වශයෙන් සේවය කර ඇති ඔහු උන් වහන්සේ වෙනුවෙන් ජාත්‍යන්තර ව්‍යාපෘති කිහිපයක්ද සංවිධානය කර ඇත. මේවා අතරට චර්නොබිල් විකිරණ විපතින් වින්දිතයන් බවට පත්වූ අය සඳහා තිබ්බතීය වෛද්‍යාධාර ලබාදීම; මොංගෝලියාව තුළ බුදු දහමේ පුනර්ජීවනය සඳහා උපකාර කරනු පිණිස කථන ව්‍යවහාර මොංගෝලියානු බසින් මූලික බෞද්ධ ග්‍රන්ථ සකස් කිරීම; හා ඉස්ලාම් ලෝකය තුළ විශ්වවිද්‍යාලයන්හි බෞද්ධ - මුස්ලිම් සංවාදයක් ආරම්භ කිරීමද වේ.

1980 වසරේ සිටම, රටවල් 70කට වැඩි සංඛ්‍යාවක් පුරා විශ්වවිද්‍යාල හා බෞද්ධ මධ්‍යස්ථානයන්හි දේශන පවත්වමින් ඔහු ලොව පුරා සංචාරය කොට ඇත. බොහෝ කොමියුනිස්ට් රටවලද, ලතින් ඇමරිකාව පුරාද, අප්‍රිකාවේ විශාල කොටසක් පුරාද බුදු දහම ඉගැන්වීමේ ආරම්භකයන් අතර ඔහුද විය. සිය සංචාරයන් පුරා බුදු දහමේ පවත්නා ගුප්ත ස්වභාවය ලිහිල් කරමින් සිදුකරන විග්‍රහයන්  මගින් එදිනෙදා ජීවිතය තුළ එකී දේශනාවන් ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පෙන්වා දීම සඳහා නිරතුරු ඔහු විසින් උත්සාහ දර ඇත.

කෘතහස්ත ගත් කතුවරයෙකු හා භාෂා පරිවර්තකවරයෙකුද වන දර්ශනසූරී බර්සින් මහතා ආධ්‍යාත්මික ගුරුවරයෙකු හා සම්බන්ධ වීම, කාලචක්‍ර මූලාරම්භය ගැනීම, සමබර සංවේදිත්වය ගොඩනගා ගැනීම යන කෘතීන්ද ඇතුළත් කෘතීන් 17ක් පළ කොට ඇති අතර, පරම පූජනීය දලයි ලාමා වහන්සේද සමගින් එක්ව කරන ලද මහාමුද්‍රාහි ගෙලුග්-කාග්යා සම්ප්‍රදාය යන කෘතියද පළ කරන ලදී.

1998 වසර අවසානයේදී අචාර්ය බර්සින් මහතා තමා සකස් කළ පොත්, ලිපි හා පරිවර්තන, ඔහු විසින් පරිවර්තනය කරන ලද මහා ගුරුවරුන්ගේ දේශනා පිටපත් හා මෙම ගුරුවරුන් වෙතින් ඔහු ලැබූ සියලු ඉගැන්වීම්වල සටහන්ද ඇතුළත්, පළ නොකළ අත් පිටපත් 30,000ක් පමණද සමගින් ආපසු බටහිර බලා පැමිණියේය. සෙස්සන් කෙරෙහි මෙම කරුණුවල පවත්නා ප්‍රයෝජනවත් බව ඒත්තු ගත් ඔහු විසින් එය අහිමි වන්නට නොදී රැකගත යුතුය යන අදිටන සහිතව එය “බර්සින් ලේඛනාරක්ෂාගාරය” (Berzin Archives) ලෙස නම් කරන ලද අතර එය ජර්මනියේ බර්ලින් නුවර පදිංචි විය. එහිදී පරම පූජනීය දලයි ලාමා වහන්සේගෙන්ද දිරිමත් කිරීම් ලැබූ ඔහු විසින් හැකිතාක් භාෂාවන්ගෙන් මෙකී පෘථුල ලියකියවිලි තොගය නොමිලයේ ලෝකය වෙත ලබාදීම සඳහා කටයුතු ඇරඹීය.

මෙලෙසින් 2001 වසරේදී බර්සින් ලේඛනාරක්ෂක වෙබ් අඩවිය මාර්ගගතව පළ විය. එය දර්ශනසූරී බර්සින් මහතා විසින් මේවනවිට ලබාදෙමින් පවත්නා දේශනාද ඇතුළත් කෙරෙන පරිදි පුළුල් වූ අතර මේවන විට (2015 වසරදී) භාෂා 21කින් පළවී ඇත. ලෝක ඉස්ලාම් භාෂා හය විශේෂ කොටගෙන ඒ අතරින් බොහොමයකටම එය වූකලි ක්ෂේත්‍රයට අදාළ ප්‍රමුඛතම කෘති එකතුව වේ. වෙබ් අඩවියේ වර්තමාන සංස්කරණය (2021 වසරදී භාෂා 32කින්) සම්ප්‍රදායික බෞද්ධ හා නවීන ලෝක අතර පාලමක් තැනීමේ ඔහුගේ ජීවිත කාලයක් පුරා විහිදුණු කැපවීමේ ඊළඟ පියවර වේ. මෙම පාලම හරහා අදාළ දේශනාවන් යොමු කරවමින් හා නවීන ලෝකයේ ජීවිතයට ඒවාහි පවත්නා අදාළත්වය පෙන්වා දෙමින් ඉටු කරන මෙහෙවර තුළ ඔහුගේ දැක්ම වනුයේ එය ලෝකයට භාවමය සමබරතාවයක් ලබාදීමට උපකාරී වනු ඇති බවයි.

Top