බුදු දහම සම්බන්ධ ශාස්ත්‍රාලයීය අධ්‍යයන කටයුතු හා බෞද්ධ දේශනා එදිනෙදා ජීවිතය තුළ සැබෑ ලෙසම ක්‍රියාත්මක කිරීම වූකලි එකිනෙකට වෙනස් වූ ක්ෂේත්‍රයන් දෙකකි. හුදෙක් බුදු දහම බුද්ධිමය වශයෙන් අධ්‍යයනය කිරීම මගින් ඔබගේ ජීවිතයට සැබෑ ප්‍රයෝජනයක් අත් නොවනු ඇත්තේය යන්න නිරතුරු ප්‍රකාශ වන්නකි. ශාස්ත්‍රාලයීය උගතෙකු මෙන්ම පිළිවෙත් පුරන්නෙකුද වන දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින් මහතා විසින් ශාස්ත්‍රාලයීය හා ආධ්‍යාත්මික ලෝකයන්හි සිටගැනීම සම්බන්ධ සිය අත්දැකීම් මෙසේ පළ කරයි.

ස්පුට්නික් පරපුර

මම 1944 වර්ෂයේ ඇමරිකාවේ ඉතා සාමාන්‍ය පවුලක උපන්නෙමි. එතරම් මුදල් හදල් නොතිබි මාගේ පවුල හුදෙක් වැඩකරන පන්තියේ අයගෙන් සැදුම් ලද්දක් වූ අතර ඔවුනට එතරම් අධ්‍යාපනයක්ද නොතිබිණි. කෙසේ වුවද, කුඩා වියේ සිටම ආසියානු දේ පිළිබඳ මා තුළ ඉතා ප්‍රබල නෛසර්ගික ඇල්මක් පැවතිණි. මේ සඳහා මාගේ පවුල තුළින් දිරිමත් කිරීමක් නොලද නමුත් අධෛර්ය කිරීමක්ද සිදු නොවූ අතර, කෙසේ වුවද එකල ආසියාව පිළිබඳ එතරම් තොරතුරු නොපැවතිණි.  මාගේ වයස අවුරුදු 13ක් වූ අවදියේදී, මිතුරෙකු සමගින් යෝග පිළිවෙත් පුරන්නට වූ සමයේ බුදු දහම, ඉන්දියානු චින්තනය, චීන චින්තනය ආදිය පිළිබඳ පැවති සියලු දේ කියවීමි.

මම ඇමරිකාව විසින් "ස්පුට්නික් සම්ප්‍රදාය" හෙවත් "ස්පුට්නික් පරපුර" ලෙස හැඳින්වූ පරපුරෙහි පුරුකක් වීමි. ස්පුට්නික් ගගන යාත්‍රාව අවකාශ ගමනයෙහි යෙදුණු අවස්ථාවේදී අපි රුසියාවට වඩා බොහෝ පසුපසින් සිටින්නේය යන හැඟීම තුළ ඇමරිකාව බොහෝ සෙයින් කැළඹිණි. මාද ඇතුළත් පාසැලේ සියලු දරුවන් රුසියාව හා සමාන්තරව ඉදිරියට යාමට හැකිවනු පිණිස විද්‍යා විෂයයන් ඉගෙනීම සඳහා දිරිමත් කරන ලදී. එබැවින් වයස අවුරුදු 16දී, රසායන විද්‍යාව ඉගෙනගනු පිණිස රට්ගර්ස් විශ්වවිද්‍යාලයට ගියෙමි. රට්ගර්ස් විශ්වවිද්‍යාලය මා හැදී වැඩුණු නිව් ජර්සිහි පැවති අතර, කැල්මික් මොංගෝල් බෞද්ධ ගුරුවරයෙකු වූ ගේෂේ වැංයාල් හුදෙක් කිලෝමීටර 50ක් පමණ දුරකින් සිටි නමුත් ඔහුගේ පැවැත්ම පිළිබඳ මා තුළ කිසිදු අදහසක් නොතිබිණි.

මාගේ අධ්‍යයන කටයුතුවල කොටසක් වශයෙන් බුදු දහම එක් ශිෂ්ටාචාරයකින් තවෙකක් වෙත ගමන් කළ ආකාරය හා එක් එක් ශිෂ්ටාචාරය විසින් එය එකිනෙකට වෙනස් අයුරින් වටහාගත් ආකාරය සාකච්ඡා කෙරෙන ආසියානු අධ්‍යයන කටයුතු පිළිබඳ අතිරේක පාඨමාලාවක්ද හදාරන්නට වීමි. මගේ වයස අවුරුදු 17ක් පමණක් වුවද, එමගින් මා තුළ කෙතරම් ප්‍රබල හැඟීමක් ඇති කරන ලද්දේද යත් "බුදු දහම එක් ශිෂ්ටාචාරයකින් තවෙකක් කරා ගමන් කිරීමේ සමස්ත ක්‍රියාවලිය වන මෙයයි මා හට සම්බන්ධ වීමට අවශ්‍ය ක්ෂේත්‍රය" යි පැවසීමි. කිසිදු අපගමනයකින් හෝ වෙනස් වීමකින් තොරව මාගේ ජීවිතයේ ඉතිරි කාලය පුරා මවිසින් අනුගමනය කරන ලද්දේ මෙයයි.

ප්‍රින්ස්ටන්: රසායන විද්‍යාවෙන් චීන භාෂාව, චින්තනය හා දර්ශනය කරා

ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේදී, ආසියානු අධ්‍යයන කටයුතු පිළිබඳ අධ්‍යයනාංශය වෙත වඩ වඩාත් සිසුන් ආකර්ශනය කරගනු පිණිස නව වැඩසටහනක් ආරම්භ කරන ලදී. එ් දක්වා එම අධ්‍යයනාංශයේ සිටි සිසුන් පිරිස ඉතා සීමිත විය; එය වියට්නාම් යුද්ධයේ ආරම්භක වකවානුව වූ අතර කිසිදු ආසියානු භාෂාවක් දත් ඇමරිකානුවන් සිටියේ ඉතා සුළු පිරිසක් පමණි. චීන භාෂාව ඉගෙනීමේ අවස්ථාවක් පැවති බැවින් මම බොහෝ සෙයින් උනන්දුමත් වූ බැවින්, අයැදුම්පත් ඉදිරිපත් කළ මා එ් සඳහා තෝරාගන්නා ලදී. වයස අවුරුදු 18දී ප්‍රින්ස්ටන්හිදී චීන භාෂාව ඉගෙනීම ආරම්භ කළ මම මාගේ ප්‍රථම උපාධියේ අවසන් දෙවසර එහිදී සම්පූර්ණ කළෙමි.

බුදු දහම චීනයට පැමිණි අවස්ථාවේදී චීන දර්ශනය බුදු දහම වටහා ගැනීම කෙරෙහි දැක්වූ බලපෑම කවරේද යන්න හා ඉනික්බිති බුදු දහම චීන දර්ශනයට කළ බලපෑම කවරක්ද යන්නද මාගේ නිරන්තර ඇල්මට හේතුවූ කරුණක් විය. එ් අනුව චීන චින්තනය, දර්ශනය, ඉතිහාසය, බුදු දහම ආදිය උගත්තෙමි. ග්‍රීෂ්ම සෘතුවලදී මා කඩිනම් භාෂා පාසැල් වෙත යවන ලදී: එක් වසරක හාවර්ඩ්හිද, එක් වසරක සම්භාව්‍ය චීන බස ඉගෙන ගැනීම ආරම්භ කරනු සඳහා ස්ටැන්ෆර්ඩ්හිද, උපාධිය ලබාගැනීමෙන් අනතුරුව එක් ග්‍රීෂ්ම සෘතුවක් තායිවානයේද වශයෙනි. මාගේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා මම හාවර්ඩ් විශ්වවිද්‍යාලයට නැවතත් ගියෙමි. චීන වැඩසටහනේ කොටසක් වශයෙන් එ්වන විටත් ජපන් බස ඉගෙනීම ආරම්භ කොට තිබිණි. ඈත පෙරදිග භාෂාවන් සම්බන්ධ මාගේ පශ්චාත් උපාධිය ලබාගත් කාලය වනවිටද මවිසින් ඉතා කඩිනම් චීන භාෂා අධ්‍යයනයන් සිදුකොට තිබිණි.

චීන, සංස්කෘත හා තිබ්බතීය : සාපේක්ෂ අධ්‍යයන

බුදු දහම සංවර්ධනය වීම විෂයයෙහි සිදුවූ බලපෑම් කවරේද යන්න විමසනු පිණිස චීන පාර්ශ්වය පිළිබඳ දැන සිටියා සේම ඉන්දියානු පාර්ශ්වයද දැනගැනීමට අවශ්‍ය වූ බැවින් සංස්කෘත භාෂාව ඉගෙනීම ආරම්භ කළෙමි. අධ්‍යයනාංශ දෙකකින් බද්ධ ආචාර්ය උපාධියක් ලැබීමි: සංස්කෘත හා ඉන්දියානු අධ්‍යයන හා ඈත පෙරදික භාෂා අධ්‍යයනාංශ වශයෙනි. සංස්කෘත හා ඉන්දියානු භාෂා තුළින් තිබ්බතීය භාෂාව ඉගෙනීම කරා යොමුවූ අතර, අවධාරණය කෙරුණු ක්ෂේත්‍ර වූයේ බෞද්ධ දර්ශනය හා ඉතිහාසයයි.

ඔබ දන්නා පරිදි මා හට දැනුම ලබා ගැනීම සඳහා වූ බලවත් පිපාසාවක් පවත්නා බැවින් දර්ශනය හා මනෝ විද්‍යාව සම්බන්ධ අතිරේක පාඨමාලාවන්ද හැදෑරූ මා මේ සියල්ල මගින් විද්‍යා විෂයය සඳහා මාගේ ඇල්ම නොබිඳී පවත්වා ගතිමි. මෙයාකාරයෙන් මවිසින් මාගේ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කරන ලද අතර සන්සන්දනාත්මක භාෂා පරිවර්තනයන් සම්බන්ධ පොදු බුද්ධ ධර්මවාදී විධික්‍රම උගතිමි. සංස්කෘත භාෂාවෙන් බෞද්ධ පාඨ ග්‍රන්ථ විමසා බලමින් ඉන්පසු එ්වා චීන හා තිබ්බත බසට පරිවර්තනය කෙරුණු ආකාරය විමසීමු. එ් අතරම අදහස් සංවර්ධනය වෙමින් පැවත ආ ඉතිහාසයද අධ්‍යයනය කරමින් මෙය සාමාන්‍ය ඉතිහාසය සමගින් අන්තර් සම්බන්ධතා පැවැත්වූ ආකාරය හැදෑරුවෙමි. මාගේ වෘත්තීය ජීවිතය පුරා මෙසේ අත්පත් කරගත් පුහුණුව ඉතා ප්‍රයෝජනවත් විය.

හාවර්ඩ්හි සිට සජීවී සම්ප්‍රදාය කරා

මෙම කාර්යාවලිය පුරා මවිසින් අධ්‍යයනය කරමින් සිටි බුදු දහමේ හා හින්දු දහමේද, තාඕ දහමේ හා කොන්ෆියුසියානු දහමේද විවිධ ස්වරූපයන් වශයෙන් වූ මෙකී සියලු ආසියානු දර්ශනයන් හා ආගම් සම්බන්ධයෙන් මෙයාකාරයෙන් සිතීම සැබැවින්ම කවරාකාර විය හැක්කේද යන කරුණ පිළිබඳ නිරන්තරයෙන් මා තුළ ඇල්මක් පැවතිණි. එනමුත් ජීවමාන සම්ප්‍රදාය සමගින් සම්බන්ධ වීමේ සැබෑ අවස්ථාවන් නොලැබිණි. එ් අනුව එය මවිසින් පෞරාණික ඊජිප්තුවේ ආගම් ඉගෙන ගන්නාක් මෙන් විය. කෙසේ වුවද මාගේ ඇල්ම ඉතා ඉහළ මට්ටමක පැවතිණි.

එනමුත් 1967 වර්ෂයේදී තිබ්බතීය බස ඉගෙන ගන්නට පටන්ගත් විටදී, රොබර්ට් තර්මන් නැවත හාවර්ඩ් වෙත පැමිණි අතර, අපි පන්ති සගයන් වීමු. තර්මන් ගේෂේ වැංයාල්ගේ එක් සමීප සිසුවෙකු වූ අතර වසර ගණනාවක් පුරා ඔහු සමග ජීවත්ව තිබිණි. ඔහු වසරක පමණ කාලයක් භික්ෂුවක වශයෙන්ද සිට තිබූ අතර ධර්මශාලාහි ඉගෙනීමේ කටයුතු සඳහා ඉන්දියාවට ගොස් තිබිණි. ඔහු විසිනි මා වෙත ගේෂේ වැංයාල් පිළිබඳව හා තිබ්බතීයයන් හා පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසූ ධර්මශාලාහි ඉගෙනීමේ කටයුතු සිදු කිරීමේ හැකියාවද පවසන ලද්දේ. නිවාඩු ලැබ නිවස බලා පිටත්වූ සෑම අවස්ථාවකදීම නිව් ජර්සිහි පිහිටි ආරාමයට ගොස් ගේෂේ වැංයාල් බැහැ දැකීමට මා පටන්ගත් අතර ජීවමාන සම්ප්‍රදායක් වශයෙන් බුදු දහම කවරාකාර වීද යන්න වටහා ගන්නට වීමි. බොහෝ අවස්ථාවන්හි ගේෂේ වැංයාල් හමුවූ නමුත් මා හට කිසි විටෙක හෝ ඔහු සමගින් වාසය කිරීමේ හා ඉගෙනීමේ අවස්ථාවක් හිමි නොවීය. කෙසේ වුවද, ඔහු විසින් සැබෑ ලෙසම මා හට ඉන්දියාවට ගොස් එහි සිට මාගේ අධ්‍යයන කටයුතු කරන ලෙස ලබාදුන් ආභාසය හේතුකොට තිබ්බතීයයන් සමගින් ඉන්දියාවේ මාගේ උපාධි නිබන්ධන පර්යේෂණ කටයුතු සිදු කිරීමට හැකිවනු පිණිස ෆුල්බ්‍රයිට් අධි සාමාජිකත්වය අයැදුම් කළෙමි.

මම වයස අවුරුදු 24දී හෙවත් 1969 වර්ෂයේදී ඉන්දියාවට පැමිණි අතර, එහිදී පරම පූජනීය දලයි ලාමා වහන්සේ හමුවී මුළුමනින්ම තිබ්බතීය සමාජයට එ්කාබද්ධ වීමි. එ් දක්වා වූ මාගේ සමස්ත ජීවිතය මා එ් වෙත ගමන් කරවූ, ඔසවාගෙන යන ලද වාහක පටියක් සේ වූ බවක් දැණිනි. නිව් ජර්සිහි සාමාන්‍ය පවුලක සිට ප්‍රින්ස්ටන් හා හාවර්ඩ්හි පූර්ණ ශිෂ්‍යත්ව ලැබ දැන් දලයි ලාමා වහන්සේ හා එතුමා වටා සිටි මහා තිබ්බතීය ගුරුවරුන් වෙතද වශයෙනි. තිබ්බතීය බුදු දහම පිළිබඳ මවිසින් අධ්‍යයනය කොට තිබූ සියලු කරුණු බොහෝ සෙයින් ජීවමාන බව වටහාගත් අතර බෞද්ධ දේශනාවන්හි සමස්තය තුළ අදහස් කෙරෙන්නේ කවරක්ද යන්න සැබැවින්ම දැන සිටි පිරිස් මෙහි විය. මෙහි එ් අනුව ඔවුන්ගෙන් ඉගෙනීමේ ස්වර්ණමය අවස්ථාවක් මා සතුවිය.

ඩැල්හුසීහිදී තිබ්බත බස කථා කිරීමට ඉගෙනීම

ඉන්දියාවට ගිය සමය වනවිට මම කථන තිබ්බස බස දැන නොසිටියෙමි. හාවර්ඩ්හි මාගේ මහාචාර්යවරයා වූ මහාචාර්ය නැගටොමි හට සැබැවින්ම භාෂාව උච්චාරණය කරන ආකාරය පිළිබඳව පවා අදහසක් නොවීය. ඔහු ජපන් ජාතිකයෙකු වූ අතර, එකල තිබුණු එකම පාඨ ග්‍රන්ථය තුළද තිබ්බතීය ව්‍යාකරණය ලතින් බස හා සන්සන්දනාත්මකව විග්‍රහ කළ බැවින් ජපන් ව්‍යාකරණයට අනුව තිබ්බත බස උගත්තෙමු. ලතින් හා තිබ්බත භාෂාවන් අතර කිසිදු පොදු ලක්ෂණයක් නොතිබි නමුත් ජපන් ව්‍යාකරණය තිබ්බත භාෂාවට බොහෝ දුරට සමීප වේ.

මා හට කථන භාෂාව ඉගෙන ගැනීමට සිදුවූ නමුත් කිසිදු පාඨ ග්‍රන්ථයක් හෝ අධ්‍යාපන උපකරණයක් හෝ නොවීය. ගේෂේ වැංයාල් සමගින් පැවති සම්බන්ධතාවය හරහා, එතුමා සමගින් වසර කිහිපයක් ඔහුගේ ආරණ්‍යයේ වාසය කළ හා ඉතා හොඳින් ඉංග්‍රීසි භාෂාව දැන සිටි ෂාපා හා ඛම්ලුං රින්පෝෂේ නමින් යුත් තරුණ ටුල්කුවරුන් හෙවත් පුනරුත්පත්ති ලාමාවරුන් දෙදෙනෙකු සමගින් සම්බන්ධ වීමට හැකිවිය. ඔවුහූ බොහෝ තිබ්බතීය සරණාගතයන් පදිංචිව සිටි ඩැල්හුසීහි ජීවත්වූහ. එහිදී ඔවුහූ මා හට කන්දක කෙළවර පිහිටි කුඩා නිවසක සොනැම් නෝර්බු නමැති තිබ්බතීය භික්ෂුවක සමගින් ජීවත් වීම සඳහා අවශ්‍ය කටයුතු සැලැස්වීමට කාරුණික වූහ. ඔහු ඉංග්‍රීසි නොදත් අතර, මා හට තිබ්බත බස කථා කිරීමට නොහැකි වූ නමුත්, එක්ව ජීවත් වන විටදී අපට කෙසේ හෝ සන්නිවේදන කටයුතු සිදු කිරීමට සිදුවිය. මෙහිදි මාගේ බුද්ධ ධර්මවාදී හා සෙසු පුහුණු වැදගත් විය. මාද වෙනත් භාෂාවක් තෝරා බේරාගැනීමට උත්සාහ කරන බෝනියෝ හෝ අප්‍රිකානු මානව විද්‍යාඥයෙකුය වැනි හැඟීමක් මා හට ඇතිවිය.

මා ඉගෙනගත් සියලු ආසියානු භාෂා මා හට තිබ්බත භාෂාවේ ශබ්ද ශ්‍රවණය කරමින් එම භාෂාව ප්‍රගුණ කිරීම විෂයයෙහි යම් ප්‍රගතියක් අත්පත් කරගැනීමට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් විය. සෝනැම් සමගින් සන්නිවේදනය කිරීමට මා හට අවශ්‍ය වූ විටදී, මා කළේ (මා තිබ්බත භාෂාවෙන් ලිවීමට දැන සිටි බැවින්) යම් කිසිවක් ලියා පෙන්වීම වන අතර එවිට ඔහු විසින් එය උච්චාරණය කරන ආකාරය මා හට පවසයි. අපි මෙයාකාරයෙන් එක්ව කටයුතු කළ අතර වෙනත් අයෙකු සමගින්ද යම් භාෂා පාඩම් සිදු කළෙමි. අවසන, තරුණ රින්පෝෂේවරුන් දෙදෙනා විසින් තමාගේ ගුරුවරයා වූ ගේෂේ නැවෑං ධාර්ජේ සමග ඉගෙන ගන්නා ලෙස මා හට යෝජනා කරන ලදී.

ගවහලක ලම්-රිම් ඉගෙනීම

මම මාගේ උපාධි නිබන්ධනය ලිවීම සඳහා ඉන්දියාවට පැමිණ සිටි අතර ගුහ්යාසමාජ නමැති ඉතා පෘථුල තන්ත්‍ර මාතෘකාව සම්බන්ධයෙන් පාර්යේෂණ කටයුත්තක නියැලෙන්නට මවිසින් සැලසුම් කොට තිබූ නමුත් මා උපදෙස් පතා හමුවූ, පරම පූජනීය දලයි ලාමා වහන්සේගේ ගරුවරුන් අතරින් අයෙකු වූ, සර්කොං රින්පෝෂේ විසින් එය මුළුමනින්ම නිරර්ථක කාර්යයක් බව එ්ත්තු ගන්වන ලද අතර මම මුළුමනින්ම එවන් කටයුත්තක් සඳහා සූදානම්වද නොසිටින බවද පෙන්වා දෙන ලදී. දලයි ලාමා වහන්සේගේ කණිෂ්ඨ ගුරුවරයා වූ ට්‍රිජෑං රින්පෝෂේ විසින් යෝජනා කරන ලද්දේ එ් වෙනුවට පළමුව මවිසින් මාර්ගයේ ශ්‍රේණිගත අදියරයන් වන ලම්-රිම් උගත යුතු බවයි. එසමය වනවිට එ් පිළිබඳ කිසිදු පරිවර්තනයක් සිදුව නොතිබි බැවින් එය මුළුමනින්ම මා හට නව විෂයයක් විය. එකල තිබ්බත බුදු දහම සම්බන්ධයෙන් පැවති එකම පොත් පෙළ වූයේ ඇලෙක්සැන්ඩර් ඩේවිඩ් - නීල්, එවාන්ස් - වෙනට්ස්, ලාමා ගෝවින්ද විසින් හා තවත් කිහිප දෙනෙකු විසින් රචිත කෘතීන් පමණි. මවිසින් ගේෂේ නැවෑං ධාර්ජේ සමගින් ලම්-රිම් සම්බන්ධ මුඛ පරම්පරාගත අධ්‍යයනයන් සිදු කරන ලද අතර ඉන්පසු එ් මත මාගේ උපාධි නිබන්ධනය පදනම් කළෙමි.

ඩැල්හූසීහි මා ගතකල ජීවිතය ඉතා ප්‍රාථමික මට්ටමේ එකක් විය. මාගේ නිවසට ජල සම්පාදනයක් නොපැවති අතර වැසිකිලියක්ද නොතිබිණි. කෙසේ වුවද ගේෂේ ධාර්ජේ ඔහුට පෙර ගවයනට නිවස්නයක් වූ ගවහලක මෙයටද වඩා ප්‍රාථමික ලෙස ජීවත් විය. එහි ඔහුගේ ඇඳ තැබීමට පමණක් ප්‍රමාණවත් ඉඩකඩක් පැවති අතර, එයට අමතරව පැවතියේ ඔහු විසින් දේශනා පවත්වන විටදී ඔහුගේ තරුණ රින්පෝෂේ අනුගාමිකයන් තිදෙනා හා මා විසින් මැටි පොලව මත හිඳ සිටි ඇඳ ඉදිරිපස වූ අවකාශය පමණි. ජාඩෝ රින්පෝෂේද ශාපා හා ඛම්ලුං රින්පෝෂේ සහ මා සමගින් එක්විය. ඔහු පසු කලෙක නැම්යාල් ආරාමය නමැති, පරම පූජනීය දලයි ලාමා වහන්සේගේ ආරාමයේ ප්‍රධාන පූජක තැන බවට පත්විය. අපගේ ඉගෙනීම සිදු වූයේ මැස්සන්ගෙන් හා සියලු ආකාරයේ වෙනත් කෘමීන්ගෙන්ද ගහණව පැවති මෙම ගව මඩුවේය.

බොහෝ දේ ආරම්භ වෙමින් පැවති බැවින් මෙය සැබැවින්ම උද්යෝගිමත් කාල පරිච්ඡේදයක් විය. පරම පූජනීය දලයි ලාමා වහන්සේ අප විසින් සිදුකරමින් පැවති කටයුතු හා අපගේ ඉගෙනීමේ කටයුතු සම්බන්ධ ඇල්මක් දැක්වූ අතර ඉන්පසු එතුමා වෙනුවෙන් පරිවර්තනය කරදෙන ලෙස පවසා කුඩා කෘති කිහිපයක් අප වෙත ලබා දුන්නේය. දලයි ලාමා වහන්සේ විසින් ධර්මශාලාහි තිබ්බතීය කෘති හා ලේඛනාරක්ෂක පුස්තකාලය ගොඩනගන විටදී, එහි බටහිර ජාතිකයන්ගේ ගුරුවරයා බවට පත්වන ලෙස ගේෂේ ධාර්ජේට උපදෙස් දුන් එතුමා මා හට උපකාර කළ ශාපා හා ඛම්ලුං රින්පෝෂේවරුන් හට භාෂා පරිවර්තකවරුන් ලෙස කටයුතු කරන ලෙස උපදෙස් දෙන ලදී. මා හටද යම් උපකාරයක් සිදුකළ හැක්කේදැයි මා කළ විමසුමට දලයි ලාමා වහන්සේගේ පිළිතුර වූයේ "ඔව්, නමුත් පළමුව ඇමරිකාවට ආපසු ගොස් ඔබගේ උපාධි නිබන්ධනය භාරදී උපාධිය ලබාගෙන ආපසු පැමිණෙන" ලෙසයි.

තිබ්බත සමාජයට හුරුවීම : භාෂා පරිවර්තකවරයෙකු බවට පත්වීම

ඉන්දියාවේ ගතකළ මෙම මුල් සමය තුළ ඔවුනට මා හා සම්බන්ධ විය හැකි සම්ප්‍රදායික කාර්ය භාරයක් ඉටු කරමින් තිබ්බත සමාජයට මුහු වීමට උත්සාහ කළෙමි. එ් අනුව මම භාෂා පරිවර්තකවරයෙකු වීමි. පෞද්ගලිකවම බෞද්ධ පිළිවෙත් පිරීම ආරම්භ කිරීමෙහි අතිශයින් උනන්දුමත් වූ මා 1970 වසරේදී විධිමත් පරිදි බෞද්ධයෙකු බවට පත්වූ අතර භාවනා පිළිවෙත් පිරීම ආරම්භ කළෙමි. එවක් පටන් නොකඩවා දිනපතා භාවනා කිරීම සිදු කරමි.

භාෂා පරිවර්තකවරයෙකු ලෙස කටයුතු කිරීමේදී භාෂා කුසලතාවයන් පමණක් නොව භාවනාව හා දේශනා සැබෑ ජීවන පිළිවෙත් බවට පත් කිරීම ලෙස වූ බුදු දහම පිළිබඳ ඉතා ගැඹුරු වැටහීමක්ද පැවතිය යුතුය. පෞද්ගලිකවම අත්දැකීමෙන් තොරව විවිධ චිත්ත මට්ටම් හා විවිධ භාවනා අත්දැකීම් සාකච්ඡා කරනු ලබන තාක්ෂණික යෙදුම් පරිවර්තනය කිරීමේ විධික්‍රමයක් නොමැත. භාවිතයේ පැවති පරිවර්තන යෙදුම් ප්‍රධාන වශයෙන් බයිබලය තිබ්බත බසට පරිවර්තනය කිරීමේ උනන්දුමත් වූ මිෂනාරිවරුන් විසින් තෝරාගත් එ්වා වූ අතර බුදු දහමේ වචනවල සැබෑ අර්ථය සමගින් එතරම් සම්බන්ධ නොවීය. එ් අනුව මෙම මුල් සමයේ පටන්ම මම මාගේ බෞද්ධ පිළිවෙත් පිරීම බුද්ධ ධර්මවාදී පුහුණුවද සමගින් සම්බන්ධ කළෙමි.

1971 වසරේ මුල් භාගයේදි ආපසු හාවර්ඩ් බලා පිටත් වූ මවිසින් මාස කිහිපයකට පසු මාගේ උපාධි නිබන්ධනය භාරදුන් අතර 1972 වසන්ත සමයේදී මාගේ ආචාර්ය උපාධිය ලබා ගත්තෙමි. මම නිරතුරු විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු වීමේ අදහසින් පසුවූ අයෙකු වූ බැවින් මාගේ මහාචාර්යවරයා විසින් තවත් කීර්තිමත් විශ්වවිද්‍යාලයක ඉතා කදිම ඉගැන්වීමේ රැකියාවක් සූදානම් කොට තිබුණු නමුත් මම එය ප්‍රතික්ෂේප කළෙමි. හුදෙක් බුදු දහම යන්නෙන් අර්ථවත් වනුයේ කවරක්ද යන්න අනුමානයෙන් සිතීම පමණක් සිදුකළ පුද්ගලයන් සමග මාගේ ජීවිතයේ ඉතිරි කොටස ගෙවා දැමීමට මා හට අවශ්‍ය නොවීය. එ් වෙනුවට, සැබැවින්ම ඉන් අදහස් කරන්නේ කවරක්ද යන්න දැන සිටි අය සමගින් ජීවත් වීමට මා හට අවශ්‍ය වූ අතර, මාගේ බුද්ධ ධර්මවාදී පුහුණුවෙන් මාගේ විෂයානුගත දෘෂ්ටි කෝණය වෙනතක තබාගනිමින් නිර්ව්‍යාජ සම්ප්‍රදායෙන් ඉගෙනීම හා අධ්‍යයන කටයුතු සිදු කිරීමට මා හට අවශ්‍ය විය. සැබැවින්ම මාගේ මහාචාර්යවරයාගේ අදහස වූයේ මා උන්මත්තකයෙකු සේ කටයුතු කරන බවයි. එනමුත් මම ඉන්දියාවට ආපසු පැමිණියෙමි. එහි ජීවත්වීම ඉතා ලාභදායක එකක් වූ බැවින් එහි ජීවිතය ගතකිරීමේ හැකියාවක් පැවතිණි.

මාගේ අලුත් ඉන්දියානු ජීවිතය

ධර්මශාලාවට පැමිණි මා දැනටමත් පුස්තකාලයේ කටයුතු කරමින් සිටි ගේෂේ නැවෑං ධාර්ජේ හා ශාපා සහ ඛම්ලුං රින්පෝෂේවරුන් සමගින් කටයුතු කිරීම ආරම්භ කළෙමි. මා ඩැල්හූසීහි ජීවත්වූ කුටියටද වඩා කුඩා කුටියක ජීවත් වූ අතර එහිද ජල පහසුකම් හෝ වැසිකිලියක් නොවූ අතර පැවති එකම ජනේලයෙහි වීදුරු පියනක් හෝ නොතිබිණි. මා සමග සිටි තිබ්බතීය භික්ෂුවක් වූ සොනැම් නෝබුද මා සමගින් නතර වීමට එහි පැමිණියේය. එකී ඉතා සරල කුටිය මාගේ නිවහන කරගනිමින් වසර 29ක් ඉන්දියාවේ ජීවත් වුණෙමි.

එකල දලයි ලාමා වහන්සේ වෙනුවෙන් පුස්තකාලයේ භාෂා පරිවර්තන කාර්යාංශය ස්ථාපනය කිරීමට මාගේ උපකාර ලබාදුන් අතර මාගේ ඉගෙනීමේ කටයුතු නොකඩවා සිදු කළෙමි. බෞද්ධ ඉගැන්වීම් තවදුරටත් සැබෑ ලෙසම අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය ආම්පන්න මාගේ බුද්ධ ධර්මවාදී පසුබිම මගින් සැපයුණු බව මා හට පෙනී ගියේය. විවිධ ග්‍රන්ථයන්හි ඉතිහාසය හා නම් දැනසිටි මා හට වෙනත් පුද්ගලයන් විසින් එ්වාහි සැබෑ අන්තර්ගතය උගන්වන ලද බැවින් එම කරුණු පහසුවෙන් එකට ගොනුකළ හැකිවිය. තිබ්බත බුදු දහමේ සමස්ත පරාසයේ වඩාත් විශාල පින්තූරය දැකීමට හැකිවනු පිණිස මවිසින් මූලික වශයෙන් ගෙලුග්පා සම්ප්‍රදාය ඉගෙන ගත් නමුත් තිබ්බත සම්ප්‍රදායන් සතරම ඉගෙන ගැනීමට දලයි ලාමා වහන්සේ විසින් මා දිරිමත් කරන ලදී. ජනතාව තුළ තිබ්බත බෞද්ධ දේශනාවන් තුළ සමස්තයක් ලෙස අන්තර්ගතව පවත්නේ කවරක්ද යන්න පිළිබඳ අදහසක් නොතිබි බැවින් එය ඉතා උනන්දුමත් හා උද්යෝගිමත් කාල පරිච්ඡේදයක් විය.

සර්කොං රින්පෝෂේ සමගින් මතකය හා නිහතමානිත්වය පුහුණු වීම

මා හට කෙටි කාලයකට 1969 වසරේදී මුල් වරට හමුවූ පරම පූජනීය දලයි ලාමා වහන්සේගේ ගුරුවරයෙකු වූ සර්කොං රින්පෝෂේ සමගින් ඉගෙනීමේ කටයුතු 1974දී ආරම්භ කළෙමි. ධර්මශාලාහි අපගේ හමුවීමේ ආරම්භයේ සිටම, මා හට ඔහු වෙනුවෙන් හා අවසානයේ පරම පූජනීය දලයි ලාමා වහන්සේ වෙනුවෙන්ද භාෂා පරිවර්තකවරයෙකු වීමේ කර්ම සම්බන්ධතාවයක් පවත්නා බව දුටු ඔහු එම ක්ෂේත්‍රයෙහි මා පුහුණු කරවීය. මවිසින් එ්වන විටද පොත් පරිවර්තන කටයුතු සිදු කරමින් සිටි නමුත්, මෙය වූකලි කථා පරිවර්තනය හා ඉගැන්වීම පිළිබඳ පුහුණුවක් විය. ඔහු විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය බලාගනු පිණිස ඔහු මා ඔහු අසලින් හිඳවීය. මාගේ මතකය පිළිබඳ පුහුණු කරවීමද ඔහු විසින් සිදු කරන ලදී:ඔහු සමගින් මා සිටින ඕනෑම අවස්ථාවක ක්ෂණිකවම සිය දේශනය නවත්වන ඔහු "මා දැන් කී දේ එලෙසම වචනයෙන් වචනය නැවත පවසන්න" යනුවෙන් හෝ "ඔබ දැන් කීදේ එලෙසම වචනයෙන් වචනය නැවත පවසන්න"යි නියම කරයි.

ඔහු සෙසු බටහිරි ජාතීන් වෙත ඉගැන්වීමේ කටයුතු සිදුකරන අතරතුර ඔහු වෙනුවෙන් භාෂා පරිවර්තන කටයුතු ආරම්භ කළෙමි. ඔහු කිසි විටෙක හෝ මා වෙනුවෙන්ම, මා හටම ඉගැන්වීමක් සිදු නොකරයි. ඉගැන්වීම සිදු වන්නේ වෙනයම් අයෙකු වෙනුවෙන් භාෂා පරිවර්තන කටයුතු සිදු කිරීමේ මාර්ගයෙනි. එනමුත් කාලචක්‍රය ඔහු විසින් පුද්ගලිකවම මා වෙත උගන්වන ලදී. මා තුළ යම් ගැඹුරු සම්බන්ධතාවයක් පවත්නා බව ඔහු දිටීය. කිසිදු ඉගැන්වීමේ කටයුත්තක්, දේශනයක් තුළ මා හට සටහන් ලියා ගැනීමට අවසර ලබා නොදෙන ලදී. එ් වෙනුවට සියලු දේ සිහි තබාගනිමින් ඉන්පසු එ්වා ලිවීමට මා හට සිදුවිය. කලෙකට පසු, ඔහු පාඩමෙන් පසුව පවා සටහන් ලිවීමට මා හට අවසර ලබා නොදෙන ලදී. එ් වෙනුවට සිදු කිරීම සඳහා වෙනත් කටයුතු මා වෙත පවරනු ලබන අතර, සියල්ල මා හට රාත්‍රී කාලයේ ලිවීමට සිදුවිය.

සිය සමීප සිසුන් සමගින් ගේෂේ වැංයෑල් විසින් සිදුකරන ලද පරිදි, මා හටද නිරතුරු රින්පෝෂේ‌ගෙන් බැණුම් අසන්නට සිදුවිය. වරෙක ඔහු වෙනුවෙන් පරිවර්තන කටයුතු සිදු කරමින් සිටින අතර, මා හට නොවැටහුණු වදනක අරුත ඔහුගෙන් විමසූ අවස්ථාවක් සිහිවේ. මා දෙස රවා බැලූ ඔහු පැවසූයේ "වසර හතකට පෙර මම ඔය වචනයේ තේරුම ඔබට පැහැදිලි කළා. මට එ්ක මතක නම් ඇයි ඔබට අමතක?" යන්නයි.

ඔහු මා හැඳින්වීමට යෙදූ ප්‍රියතම නාමය "මෝඩයා" යන්නයි. විශේෂයෙන් සෙසු පිරිස් ඉදිරිපිටදී එම නමට යෝග්‍ය පරිදි මා හැසිරුණහොත් එනමින් මා ඇමතීමට කිසි විටෙක හෝ ඔහු අමතක නොකළේය. මෙය අති විශිෂ්ට පුහුණුවක් විය. වරෙක පරම පූජනීය දලයි ලාමා වහන්සේ වෙනුවෙන් භාෂා පරිවර්තන කටයුත්තක නියැලී සිටින විටදී දස දහසක පමණ පිරිසකින් සැදි ශ්‍රාවක පිරිස ඉදිරිපිට මා නැවතූ දලයි ලාමා වහන්සේ සිනහ සී ප්‍රකාශ කළේ "එයාට වැරදුණා මේ දැන්" යන්නයි. නිරතුරු මෝඩයා යැයි අමතනු ලැබීමෙන් ලද පුහුණුව හේතුකොට, මා හට ලජ්ජාවෙන් ඇඹරීමට වඩා නොකඩවා මාගේ භාෂා පරිවර්තන කාර්යය සිදු කිරීමට හැකිවිය. කථන පරිවර්තනයේදී විශ්මය ජනක අවධානයක් හා අති විශාල මතකයක් පැවතිය යුතුවන බැවින් මා හට බුද්ධ ධර්මවාදී පුහුණුව පමණක් නොව, සම්ප්‍රදායික තිබ්බත පුහුණුව ලැබීමටද හැකිවීම භාග්‍යයක් විය.

වසර 9ක් පුරා සර්කොං රින්පෝෂේ සමගින් කඩිනම් පුහුණුවක් ලදිමි. එම මුලු කාල පරිච්ඡේදය පුරාම ඔහු වෙනුවෙන් භාෂා පරිවර්තන කටයුතු කරමින් ඔහුගේ ලිපි හා සංචාරයන් සම්බන්ධ කටයුතුවලදී උපකාර කිරීම් සිදු කළ අතර එම සමස්ත කාල පරිච්ඡේදයේදීම ඔහු මා හට "ස්තුතියි" යන වදන පැවසූයේ දෙවරක් පමණි. මෙයද මාහට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වූ අතර, ඔහු විසින් නිරතුරු ප්‍රකාශ කළ පරිදි, මා කවරක් නම් අපේක්ෂා කරන්නද? සුනඛයෙකු මෙන් හිස අතගාවා ගනිමින් එයට ප්‍රතිචාර ලෙස නගුට වණන්නටද? භාෂා පරිවර්තනයේ අභිප්‍රාය විය යුත්තේ අන්‍යයන් වෙත ප්‍රයෝජන සැලසිම විනා "ස්තුතියි" යන වදනෙන් ප්‍රශංසා ලැබීම නොවේ. කිසි විටෙක හෝ කෝපයට පත් නොවෙමින් හා කටයුත්ත අත් නොහරිමින් මෙකී සම්ප්‍රදායික පුහුණු ක්‍රියාවලිය සිදු කිරීමට හැකිවීම සඳහා මා ලද සියලු බෞද්ධ භාවනා හා පිළිවෙත් බොහෝ සෙයින් අත්‍යවශ්‍ය විය.

සංස්කෘතීන් අතර පාළමක් තැනීමට උපකාර කිරීම

සර්කොං රින්පෝෂේ 1983 වසරේදී මිය ගියේය. ලෝකයේ බොහෝ ප්‍රදේශයනට රින්පෝෂේගේ භාෂා පරිවර්තකයා ලෙස මා ගොස් තිබූ බැවින් ඉන් පසු, දේශනා පැවැත්වීම පිණිස ලෝකය වටා සංචාරය කිරීමේ ආරාධනා මා වෙත ලැබෙන්නට විය. එසමය වන විට, මම පරම පූජනීය දලයි ලාමා වහන්සේ වෙනුවෙන්ද ඇතැම් විට භාෂා පරිවර්තන කටයුතු සිදු කරන්නට පටන් ගෙන තිබිණි. එනමුත් භාෂා පරිවර්තනය යනු හුදෙක් වචන සම්බන්ධ හරඹයක් පමණක් නොව අදහස් විස්තර කිරීමේ හා පරිවර්තනය කිරීමේද අභ්‍යාසයක් විය. දලයි ලාමා වහන්සේ බටහිර ජාතික මනෝ විද්‍යාඥයන්, විද්‍යාඥයින් හා ආගමික නායකයින් සමගින් පැවැත්වූ ඉතා මුල් කාලීන රැස්වීම්වලදී, මාගේ කාර්යය වූයේ මූලික වශයෙන් (ඔවුන් පළකල අදහස්වලට බොහෝ විට තිබ්බත භාෂාවෙන් වචන නොපැවති බැවින්) ඔවුන්ගේ වචන නොව අදහස් පරිවර්තනය කරමින් සංස්කෘතික පාලමක් නිර්මාණය කිරීමයි. බෞද්ධ දේශනාවනට අනුව විවිධ සංස්කෘතීන් අතර පාළමක් නිර්මාණය කරන ආකාරය ඉතා බාල වියේදී සිටම මා ඇලුම් කළ කරුණද විය. එවන් පාළමක් තනනු පිණිස, අදාළ සංස්කෘතීන් දෙකම ඉතා හොඳින් දැන සිටීම, ජනතාවගේ සිතුම් පැතුම් දැන සිටීම ඔවුන්ගේ ජීවිත කවරාකාරදැයි දැන සිටීමද අත්‍යවශ්‍ය විය. එ් අනුව මම තිබ්බතීයයන් සිතන හා ජීවත්වන ආකාරය ආදිය සම්බන්ධ ගැඹුරු අවබෝධයක් ලබමින් එතරම් දිගු කලක් ඔවුන් සමග ජීවත් වීමට හැකිවීමේ කලාතුරකින් ලැබෙන මහා වරප්‍රසාදය ලද්දෙක් වීමි. මෙය බුදු දහම සම්ප්‍රේෂණයෙහි ලා මුළුමනින්ම අත්‍යවශ්‍ය කරුණක් විය.

පරම පූජනීය දලයි ලාමා වහන්සේ වෙනුවෙන් විවිධාකාරවූ ජාත්‍යන්තර ව්‍යාපෘති ආරම්භ කොට ක්‍රියාත්මක කරන ලෙසද මා වෙතින් ඉල්ලීම් කෙරිණි. එ් අතරින් සුවිශාල කටයුත්තක් වූයේ පරම පූජනීය දලයි ලාමා වහන්සේට හා තිබ්බතීයයන් වෙත ලෝකය විවර කිරීමට උත්සාහ කිරීමයි. ඔවුනට හුදෙක් සරණාගත ලියවිලි විනා ගමන් බලපත් නොතිබි අතර එ් අනුව, ආරාධනා කරන ලද්දේ නම් විනා කිසිදු රටකට ඔවුන් හට වීසා ලබාගත නොහැකි විය. එනමුත් ඔවුන් හට සම්බන්ධතා පැවතියේ ස්ථාන කිහිපයක පමණි. මේ අවස්ථාවේදී විශ්වවිද්‍යාලයන්හි ආරාධිත දේශන පැවැත්වීම සඳහා ලෝකයේ නන් දෙසින් මා වෙත ආරාධනා ලබාගැනීමේ හැකියාව මා වෙත පැවති බැවින් මාගේ හාවර්ඩ් ආචාර්ය උපාධිය මෙහිලා බෙහෙවින් ප්‍රයෝජනවත් විය. මෙයාකාරයෙන් අනාගතයේදී තිබ්බතීයයන් හටද, අවසන දලයි ලාමා වහන්සේ හටද විදේශයන් වෙත ආරාධනා ලබාගැනීමේ හැකියාව ඇති කරවන හා ලෝකයේ විවිධ ප්‍රදේශයන්හි දලයි ලාමා වහන්සේගේ කාර්යාල විවෘත කරවීමට කටයුතු කරවන සුළුවූද සම්බන්ධතා ගොඩනගා ගත්තෙමි. 1985 වර්ෂයේදී පෙරදී කොමියුනිස්ට් රටවල් ලෙස පැවති සියලු රටවල් වෙතද, සියලුම ලතින් ඇමරිකානු රටවලටම පාහේද අප්‍රිකාවේ විශාල ප්‍රදේශයකටද සංචාරය කරන්නට පටන් ගතිමි. ඉන්පසු බෞද්ධයන් හා මුස්ලිම්වරුන් අතර සංවාදයක් ආරම්භ කරනු පිණිස මැද පෙරදිග වෙත යාම ආරම්භ කළෙමි.

මේ සියල්ල අතරතුර, දලයි ලාමා වහන්සේට මා බැහැදුටු එක් එක් රටෙහි සංස්කෘතිය හා ඉතිහාසය පිළිබඳ යම් දැනුවත්භාවයක් ලැබීමට හැකිවනු පිණිස උන් වහන්සේ වෙත ආපසු එවනු සඳහා වාර්තා ලිවීම පිළිබඳ මාගේ අවධානය යොමු කළෙමි. නැවතද, දලයි ලාමා වහන්සේ මෙම රටවල සංචාරය කරන විටදී ඔවුන්ගේ ඇදහිලි කවරාකාර වන්නේද යන කරුණ පිළිබඳ මනා අවබෝධයක්, අදහසක් ඔහුට ඇතිවනු පිණිස මෙම රටවල විවිධ ආගමික නායකයන් හමුවී, ඔවුන් වෙතින් ඔවුන්ගේ ආගම් සම්බන්ධයෙන් වඩ වඩාත් ඉගෙනීමට මාගේ හාවර්ඩ් පසුබිම මගින් අවකාශ සැලසිණි. මා සතුවූ සියලු බුද්ධ ධර්මවාදී හා විද්‍යාත්මක පුහුණුව වැදගත් දේ වටහා ගනිමින් එය සංවිධානය කොට එය ප්‍රයෝජනවත් ආකාරයකින් ඉදිරිපත් කිරීම සඳහා උපකාරී විය.

මම බොහෝ ව්‍යාපෘතීන්හි නියැළුණෙමි. ඉන් වඩාත් සිත් ගන්නා සුළු එකක් වූයේ සෝවියට් සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද, චර්නොබිල් වින්දිතයනට උපකාර කරනු පිණිස තිබ්බත වෙදකම භාවිත කිරීමේ ව්‍යාපෘතිය විය. තිබ්බතීය වෙදකම අතිශයින්ම ඵලදායක බව සනාථ වුවද, සෝවියට් සංගමය බිඳී ගිය විටදී, රුසියාව, බෙලරුස් හා යුක්රේනය මෙම ව්‍යාපෘතියට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කළ අතර අප විසින් මුළුමනින්ම එකිනෙකින් වෙන්වූ ව්‍යාපෘති තුනක් දියත් කළ යුතු බව අවධාරණය කළහ. එය භෞතිකව හා මූල්‍යමය වශයෙන් කළ නොහැක්කක් විය. එ් අනුව, කණගාටුදායක ලෙස එලෙසින් එම ව්‍යාපෘතිය අවසන් විය.

වර්තමාන මොංගෝලියාවේ බුදු දහම පුනර්ජීවනය පිණිස උපකාර කරනු පිණිස බකුලා රින්පෝෂේ විසින් රචිත ග්‍රන්ථ නව මොංගෝලියානු බසට පරිවර්තනය කොට පළ කිරීමේ කටයුතු සංවිධානය කිරීම තවත් සිත් ගන්නා සුළු ව්‍යාපෘතියක් විය. බකුලා රින්පෝෂේ එකල මොංගෝලියාවේ ඉන්දියානු තානාපතිවරයා විය.

බටහිර බලා ආපසු පැමිණීම

සමස්තයක් ලෙස මවිසින් ලොව පුරා රටවල් 70කට වැඩි සංඛ්‍යාවකට සංචාරය කොට එ්වාහි ඉගැන්වීම් කටයුතු කරන්නට ඇත. මේ සියලු කටයුතු අතර, මම මාගේ දෛනික භාවනා පිළිවෙත් පිරීමද පවත්වාගෙන ආ අතර එය මාගේ කටයුතු නොකඩවා සිදු කිරීමේ අවකාශය සැලසීමෙහි ලා අතිශයින් ප්‍රයෝජනවත් විය. කාලය ගතවීමත් සමගම, ඉගැන්වීම් හා දේශනා කටයුතු සඳහා මා හට තව තවත් ප්‍රදේශවලට පැමිණෙන ලෙස ආරාධනා ලැබෙන්නට විය. එම දේශනා සංචාර වඩ වඩාත් දිගු එ්වා වන්නට විය. එ් අතරින් දිගුම සංචාරය මාස පහළවක එකක් විය. එහිදී නිරන්තරයෙන් සියලු ප්‍රදේශයන්හි සංචාරය කරමින් සෑම සතියකම විවිධ නගර දෙකක හෝ තුනක සැරිසරන්නට සිදුවිය. මේ සියලු සංචාරයන්ද සමගින්, විශේෂයෙන් මා නිරතුරු තනිව සංචාරය කළ බැවින්, මේ සියලු කටයුතු සිදු කිරීමේ ස්ථාවරත්වය මා වෙත ලබා දෙන ලද්දේ බෞද්ධ භාවනා පිළිවෙත මගිනි.

මෙම කාල පරිච්ඡේදයන් පුරා මවිසින් ග්‍රන්ථ කිහිපයක් ලේඛනගත කරන්නට වූ අතර එක් ඉමකදී ස්නෝ ලිනන් නමැති මාගේ ප්‍රකාශන සමාගම සමගින් ඉන්දියාව පදනම් කොටගෙන කටයුතු කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන බව මා හට අවබෝධ විය. එ් අනුව 1998දී ඉන්දියාවේ සිට බටහිර බලා ගමන් කළෙමි. මා හට ආරාධනා ලැබුණු විවිධ ප්‍රදේශයන්හි රැඳීමට උත්සාහ ගැනීමෙන් අනතුරුව ජර්මනියේ බර්ලින් නුවර පදිංචි වීමට තීරණය කළෙමි. මා එ්වනවිටද ජර්මන් බස දැනසිටි බැවින් එය ගැටලුවක් නොවූ අතර එහිදී මා හට ඉමහත් ස්වාධීනත්වයක් ලැබිණි. මෙය මා හට ඉතා වැදගත් දෙයක් විය. මා හට කිසිදු සංවිධානයකට බැඳී සිටීමට අවශ්‍ය නොවීය. බර්ලින් යනු නැගෙනහිර යුරෝපානු රටවල්, රුසියාව හා මා නිරතුරු දේශනා පැවැත්වූ හා මා හට විශේෂයෙන් සමීප සම්බන්ධතාවයක්ද දැනුණු පෙරදී සෝවියට් ජනරජය වෙතද පහසුවෙන් නොකඩවා සංචාරය කිරීම සඳහා පහසු ස්ථානයක් විය.

පළ නොකළ අත් පිටපත් 30,000කට වැඩි සංඛ්‍යාවක්ද සමගින් මම බටහිර බලා පැමිණියෙමි.  එතුළ මවිසින් ලියා සම්පූර්ණ නොකරන ලද පොත් ගණනාවක්ද, එ්වා සඳහා කියවීමේ සටහන්, මවිසින් අධ්‍යයනය කළ කෘතීන්හි පරිවර්තන හා මවිසින් සිදුකළ ඇතැම් දේශනයන්හි හා මවිසින් පරිවර්තනය කරන ලද මාගේ ගුරුවරුන්ගේ දේශනාවන්හිද පිටපත් විය. එතුළ දලයි ලාමා වහන්සේගේ, එතුමාගේ ප්‍රධාන ගුරුවරුන් තිදෙනාගේ හා ගේෂේ ධාර්ජේගේ දේශනාවලින් ලබාගත් සටහන් ගොන්නක්ද විය. මා බලවත් සේ සැලකිල්ලට ගත් කරුණක් වූයේ මා මිය ගිය කලෙක මේ සියල්ල කසල ගොඩකට විසිකර දැමීමෙන් අවසන් නොවිය යුතු බවයි.

බර්සින් ලේඛනාරක්ෂක ආයතනය

පසුගිය පරම්පරාවේ මහා ලාමාවරුන් අතරින් ශ්‍රේෂ්ඨතමයා සමගින් එතරම් දිගු කලක් ඉගෙනීම් කටයුතු කිරීමේ පරම වූද, නොඇදහිය හැකි තරම් වූද වරප්‍රසාදිත තත්ත්වයක මා පසුවිය. මවිසින් උගත් හා සටහන් කරගත් දේ ඉමහත් සෙයින් වටිනා සහ ලෝකය සමගින් බෙදා හදාගත යුතු දේවල් විය. පොත් ඇතැම් විට පෙනුමින් හා අතට ගැනීමේ තත්ත්වයෙන්ද මනා යෝග්‍යතාවයකින් යුත් එ්වා වුවද, ඉතාමත් ඉහළ අලෙවියක් සහිත කෘතියක් හැර එවන් පොත් විශාල ශ්‍රාවක පිරිසක් අතරට පත් නොවේ. පොදුවේ පොත් නිෂ්පාදනයද ඉතා වියදම්කාරී කටයුත්තකි. එ්වා මිල අධිකය. එ්වා නිෂ්පාදනය කිරීම සඳහාද අති විශාල කාලයක් වැයවන අතර ඊළඟ සංස්කරණය එනතෙක් එ්වාහි වැරදි නිවැරදි කිරීමටද නොහැක. මම ඉතිහාස අධ්‍යයනය සම්බන්ධ මහත් ඇල්මක් දක්වන්නෙකු වුවද, අනාගතය දෙස බැලීමෙහිද මහත් ඇල්මක් ඇති මා හට අනාගතය යනු අන්තර්ජාලයය යන කරුණ අවබෝධ විය.  සැබැවින්ම, වර්තමානය යනුද අන්තර්ජාලයමය. එකරුණ සිත්හි දරා ගනිමින්, මාගේ සියලු කෘතීන් වෙබ් අඩවියකට ඇතුළු කිරීමට තීරණය කළ මම එ් අනුව 2001 වසරේ නොවැම්බරයේදී berzinarchives.com වෙබ් අඩවිය නිර්මාණය කළෙමි.

මවිසින් නිරතුරු අනුගමනය කරන ලද ප්‍රධාන මූලධර්මය වූයේ කිසිදු වෙළඳ දැන්වීමකින් හෝ කිසිදු අලෙවිකරණයකින් හෝ තොරව වෙබ් අඩවියෙහි පළවන සියලු දේ නොමිලයේ බෙදාදිය යුතු බවයි. වෙබ් අඩවියෙහි එන කරුණු තුළ මූලික වශයෙන් ගෙලුග් සම්ප්‍රදායට බර තබමින් වුව, තිබ්බතීය සම්ප්‍රදායන් සතරම ආවරණය කරමින් තිබ්බත බුදු දහමේ විවිධ පැතිකඩ සියල්ල ඇතුළත් වේ. එතුළ සන්සන්දනාත්මක කරුණු, තිබ්බත වෛද්‍ය ශාස්ත්‍රය, ජ්‍යෝතිෂය, බෞද්ධ ඉතිහාසය, ආසියානු ඉතිහාසය, තිබ්බත ඉතිහාසය පිළිබඳ කරුණු සහ බුදු දහම හා ඉස්ලාම් දහම අතර පවත්නා සම්බන්ධතාවය පිළිබඳ බොහෝ වූ කරුණුද අන්තර්ගත වේ. මෙසේ අන්තර්ගත කරුණු අන් බොහෝ භාෂාවනට පරිවර්තනය කරගත යුතු බවද මාගේ තවත් දැඩි විශ්වාසයකි.

මාගේ හැඟීමට අනුව මුස්ලිම් අංශය සමගින් සිදුකරන ලද කෘතීන් ඉතාමත් වැදගත් වන අතර මේ සඳහා පරම පූජනීය දලයි ලාමා වහන්සේගේ සහායද ඉතා තදබල ලෙස ලැබෙන බවක් හැඟේ. ඉස්ලාම් ලෝකයේ මා සිදුකළ සංචාරයන් හා එ්වාහි විශ්වවිද්‍යාලයන් තුළ මා සිදුකළ දේශනවලට අනුව එහි ජනතාව ලෝකය පිළිබඳ දැනුම් පිපාසයකින් පසුවන්නේය යන්න පැහැදිලි කරුණකි. ඔවුන් බැහැර නොකරමින් ඔවුන් බුදු දහම වෙත හරවාගැනීමේ කිසිදු ඉඟියකින් හෝ තොරවම තිබ්බතීය දේශනාවන් ඔවුන් වෙතද ලබාදීම ලෝක සහජීවනයෙහි ලා අතිශයින් වැදගත් වේ.

අවසානය

2015 වසර වනවිට, බර්සින් ලේඛනාරක්ෂක වෙබ් අඩවිය භාෂා 21කින් නිර්මාණය වූ අතර, වසරකට මිලියන දෙකකට ආසන්න පිරිසක් එය කියවා තිබිණි. මෙය වූකලි සියයකට වැඩි ගාස්තු ගෙවා යොදාගත් කාර්ය මණ්ඩලයක් හා ස්වේච්ඡා සේවක මණ්ඩලයක් විසින්ද දරන ලද වෙහෙස මහන්සියේ ඵලයයි. මෑත කාලීනව පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් විසි එක්වන සියවසේ බුදු දහමේ අවශ්‍යතාවය නැවත නැවතද අවධාරණය කොට ඇත. මෙයින් උනන්දුමත් වූ මා මතු අනාගතයේ මෙම වෙබ් අඩවිය වඩාත් පුළුල් ශ්‍රාවක පිරිසක් වෙත සමීප කරවනු පිණිස එය ප්‍රති-උත්පාදනය කිරීමට උපකාර කළ හැකි සහශ්‍රකයන් කිහිප දෙනෙකුද බඳවා ගැනීමට තීරණය කළෙමි. එහි ප්‍රතිඵලයක් ලෙසිනි studybuddhism.com වෙබ් අඩවිය ආරම්භ වූයේ.

නව වෙබ් අඩවිය මුළුමනින්ම ප්‍රතිචාර ආකර්ශිත සැලැස්මකින් සමන්විත අතර, පරිගණක තිර හා අතෙහි රඳවාගනු ලබන උපකරණ තිර මත මනා දිස්වීමක් පෙන්වයි. පරිහාරක පරීක්ෂාවන් හා විශ්ලේෂණයන් මත පදනම්ව, පරිහාරකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා වූ වෙබ් අඩවියක් අප විසින් නිර්මාණය කොට ඇත. අපගේ සමාජ මාධ්‍ය පෙනී සිටීම් ප්‍රමාණයද ඉමහත් සේ පුළුල් කරමින් පුළුල් ශ්‍රාවක පිරිසක් හා දෘශ්‍ය අන්තර්ගතයන් ප්‍රමාණයක්ද එක්කර ඇත. මෙහි අරමුණ වනුයේ ආරම්භක මට්ටමේ සිට උසස් මට්ටම් දක්වා ප්‍රවේශ විය හැකි හා පහසුවෙන් අවබෝධ කරගත හැකි දැනුම ලබාදෙමින් තිබ්බත බුදු දහම පිළිබඳ ඇල්මක් දක්වන්නන් සඳහා වූ කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීමයි. එක්ව ඉගෙනීමේ කටයුතු සිදු කළ හැකි පරිහාරක සමාජයක් නිර්මාණය කොට එහි හොඳම දේශනාවන් සඳහා විවෘත වේදිකාවක් සැපයීම අපගේ අපේක්ෂාවයි.

මේ අවස්ථාවේදී භාෂා සුළු ප්‍රමාණයකින් හා පෙර අන්තර්ගතයන් සීමිත ප්‍රමාණයකින් කාර්යය ආරම්භ කරන්නෙමු. විශේෂයෙන් ආරම්භකයන් කෙරෙහි යොමුවූ බොහෝ නව ලිපි එක්වී ඇත. යාවත්කාලීන වූ නව වෙබ් අඩවිය තුළට පැරණි වෙබ් අඩවියේ සියලු අන්තර්ගතයන් මාරු කෙරෙන තුරු පැරණි වෙබ් අඩවියද නව වෙබ් අඩවිය තුළ පවතිනු ඇත.

අවසන් සාරාංශය

මෙය මාගේ කථාවෙන් සුළු කොටසකි. මේ සියල්ල තුළ මවිසින් ඉතා දැඩි බෞද්ධ පිළිවෙතක් පවත්වා ගන්නා ලදී. නිදසුනක් ලෙස, මෙකී බොහෝ වසරයන් තුළ මවිසින් සෑම දිනකම පැය දෙකක් පමණ භාවනා කළෙමි. මවිසින් බොහෝ දිගු කාලීන භාවනා වස් සමයන්ද ගත කරනු ලැබ ඇත. මේවන විට භාවනාව සඳහා මවිසින් යොදන කාලය කෙටිවී ඇති නමුදු එතෙකුදු වුවත් සෑම දිනකම අවම වශයෙන් විනාඩි 30ක් හෝ භාවනාවේ යෙදෙමි. මවිසින් නිරතුරු අවධාරණය කරන ප්‍රධාන පැතිකඩයන් වූයේ කරුණාව, නිසි පෙළඹීම, ආත්මාර්ථය මැඩ පැවැත්වීම ආදිය පිළිබඳ දේශනා පැවැත්විය යුතු බවයි. මා පරම පූජනීය දලයි ලාමා වහන්සේ වෙත යොමුකළ ගේෂේ වැංයාල්ගෙන් ඇරඹී දලයි ලාමා වහන්සේගේ ගුරුවරුන් දක්වාද විහිදෙන මාගේ ගුරුවරුන් වෙතින් ලද ආභාසය සහිතව මා හට අර්ථවත් දිවියක් ගෙවීමට හැකිවී ඇති අතර බුදු දහමේ අත්දැකීම්මය හා විෂය මූලික පාර්ශ්වයන්ද සමගින් බුද්ධ ධර්මවාදී බෞද්ධ පිළිවෙත් එක් කරමින් ගතකල එය අන්‍යයන් හටද ප්‍රයොජනවත් හා ඵලදායක එකක් වීයැයි සිතමි. මාගේ මෙම කථාව මගින් ඔබ අතරින් ඇතැමෙකුද හටද මෙම මාර්ගය අනුගමනය කිරීමේ ආභාසයක් ලබාදිය හැක.

Top