බෞද්ධයනට අනුව ‘ධර්මය’ යන්න තුළින් අපගේ වර්තමාන ව්‍යාකූල හා අසතුටුදායක තත්ත්වයෙන් මිදී අවබෝධාත්මක ප්‍රීතිමත් තත්ත්වයකට නැඟී සිටීමට උපකාරීවන බුදුන්ගේ දේශනා අදහස් කරනු ලබයි. ‘ආගම’ යන්න අදහස් කෙරෙන ඉංග්‍රීසි religion නමැති වචනය ‘එක් කිරීම’ යන අදහස දෙන ලතින් වචනයකින් ප්‍රභවය ලබන්නාක් මෙන්, ‘ධර්මය’ යන්න දැඩිසේ අල්ලා ගැනීම හෝ ආධාරක වීම යන අදහස දෙන සංස්කෘත ‘ධර්’ යන යෙදුමෙන් ප්‍රභවය ලබයි. අත්‍යවශ්‍යයෙන්ම, දිගු කාලයක් පුරා පාලනය කළ නොහැකි දුක් වේදනාවන් විඳීමට අප යොමු කරවන්නාවූ පහළ, අවාසනාවන්ත භවයනට ඇද වැටීමෙන් අප වළකාලමින් ධර්මය විසින් අපට දැඩි සහායක් ලබාදෙනු ලබයි.
What is dharma

බුදුන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව

වසර 2,500 ඉක්මවූ කාලයකට පෙර බුද්ධගයාවේදී බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වූ විටදී, ධර්මය යනු අවබෝධ කිරීමට නොහැකි තරමට ගැඹුරු හා දුෂ්කර එකක් විය හැකි අතර, නොඑසේ නම් ලෞකික සැපයනට ලොල්ව වාසය කරන ජනතාව එම ධර්මය ශ්‍රවණය කිරීමට ඇල්මක් ඇතිකර නොගනු ඇත්තේය යන බිය හේතුකොට උන් වහන්සේ පළමුව එම ධර්මය දේශනා කිරීමට මැළි වූ සේක. මුල් කාලීන ග්‍රන්ථයනට අනුව, විශ්වයේ මැවුම්කරු වන මහා බ්‍රහ්මයා විසින් බුදුන් වහන්සේ ඉදිරිපිට පෙනී සිට අර්හත් ඵලය සාක්ෂාත් කරගැනීමේ හැකියාව සහිත පුද්ගලයන්ද සිටින බැවින් සත්ත්වයන්ගේ ප්‍රයෝජනය පිණිස ධර්මය දේශනා කරන ලෙස උන් වහන්සේ වෙතින් ඉල්ලීමක් කරන ලදී. මේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් බුදුන් වහන්සේ විසින් සිය පළමු ධර්ම දේශනාව ලෙස සමස්ත බෞද්ධ මාර්ගයෙහි රාමුව සකසන්නාවූද, වර්තමානයේ පවා බෞද්ධ සම්ප්‍රදායන්හි පදනම වන චතුරාර්ය සත්‍ය දේශනාව මිගදායේදී සිදු කරන ලදී.

බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද පළමු සත්‍යය වූයේ ජීවිතය නිරතුරු අසතුටුදායක වූවක්ය යන්නයි. ඕනෑම අවස්ථාවක අපට කවර මට්ටමේ සතුටක් ඇති වුවද, සතුටේ මෙම තත්ත්වය අස්ථාවර හා තාවකාලික වූවක් වේ. මෙය විශ්ව සත්‍යයකි - අපි සියලු දෙනා ජීවිතයේ මෙය අත් විඳිමු. අප සතු කවර සතුටක් වුව සදාකල් නොපවත්නා අතර ඕනෑම අවස්ථාවක අසතුටකට පෙරැළිය හැක. දෙවන සත්‍යය වනුයේ අපගේ අසතුට සැබැවින්ම අපට අවශ්‍ය දේ ලබාගැනීමේ ඇල්ම හෙවත් බැඳීම හා ඒ සියල්ලට ඉහළින් සියලු දේ සැබැවින්ම පවත්නා ආකාරයද අපගේ නොදැනුවත්භාවයද හේතුකොට විනා අපට පිටතින් ඇතුළු වන්නක්ද නොවන්නේය යන්නයි. සියලු දුක් හා ගැටලුවලින් නිදහස් වීමේ හැකියාවක් පවත්නා බව තුන්වන සත්‍යය මගින් ප්‍රකාශවන අතර සිව්වන ආර්ය සත්‍යය මගින්, අනුගමනය කරන්නේ නම් අපගේ සියලු ගැටලුවලින් සදාකාලික විමුක්තියක් ලබාගැනීමට උපකාරී විය හැකි මාර්ගයක් දක්වනු ලබයි.

බුදුන් වහන්සේගේ දේශනා දුක මුලිනුපුටා දැමීම ඉලක්ක කොට ඇත

බුදුන් වහන්සේ ජීවමාන සමයේ සියලු ධර්ම දේශනා වාචිකව සිදුකරන ලද අතර මතකයේ රඳවා ගන්නා ලදී. ඒවා අත් පිටපත් ලෙස සම්පාදනය කරන සමය වනතුරු පරම්පරා ගණනාවක් පුරා මෙයාකාරයෙන් ඉදිරියට ගෙන එන ලදී. අද දවස වනවිට ත්‍රිපිටකය තුළ අන්තර්ගත සිය ගණනින් සූත්‍ර දේශනාවන්ද, බුදුන් වහන්සේගේ භික්ෂු අනුගාමිකයන් සඳහා වූ විනය මාලාවන් හා දාර්ශනික දේශනාවන් හෙවත් අභිධර්මයද ලෙස එන දේශනා ගණනාවක් අප සතුව පවතී.  සම්ප්‍රදායට අනුව ඇතැම් විට ප්‍රකාශ කෙරෙන පරිදි සමස්තයක් ලෙස අපගේ ක්ලේෂ ධර්ම 84,000 මැඩ පැවැත්වීමට උපකාරී වන ධර්ම දේශනා 84,000ක් බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මෙම සංඛ්‍යාව හුදු අත්තනෝමතික සංඛ්‍යාවක් විය හැකි නමුදු, ඒ වූකලි අපට කොතරම් සංඛ්‍යාවක ගැටලු, ඉච්ඡා භංගත්වයන් හා දුක් වර්ගයන් ප්‍රමාණයක් දරා සිටීමට සිදුවන්නේද යන කරුණ හා ඒ සියල්ල මැඩ පවත්වනු පිණිස බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සුවිශාල ධර්මස්කන්ධයද ඉදිරිපත් කිරීමේ විධික්‍රමයකි.

සැබැවින්ම බුදුන් වහන්සේගේ දේශනා සියල්ල දුක මැඩ පැවැත්වීම උදෙසා දේශනා කරන ලදී. බුදුන් වහන්සේ අභිධාර්මික උපකල්පනයන් කිරීමේ කැමැත්තක් නොදැක්වූ අතර, තමා හා විශ්වය සම්බන්ධ ඇතැම් ගැටලු පිළිබඳ කල්පනා කිරීම තුළ අප අර්හත්වය කරා යොමු නොකරවන බැවින් ඒ සම්බන්ධ ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන අන්තයක් කරා පවා යොමු වූ සේක. බුදුන් වහන්සේ විසින් මනුෂ්‍යයන්ගේ තත්ත්වය පිළිබඳ සොයා බැලූ අතර, උන් වහන්සේ නිරතුරු වෛද්‍යවරයෙකුට උපමා කොට ඇත.  උන් වහන්සේගේ දේශනා ඖෂධවලට උපමා කෙරී ඇත. මෙම ධර්ම ඔසුව අපගේ සියලු ගැටලු සදාකාලිකව නිරාකරණය කිරීමට උපකාරී වේ.

බුද්ධ, ධම්ම හා සංඝ වශයෙන් වූ තිසරණයක් පවත්නා අතර, මේ අතරිනුදු සැබෑ සරණය වනුයේ ධර්ම රත්නයයි.  බුදුන් වහන්සේ විසින් ධර්මය දේශනා කරන අතර, එම ධර්මයට අසුරු සැනකින් අසිරිමත් ලෙස අපගේ දුක මුලිනුපුටා දැමීමේ හැකියාවක් නොමැත. සංඝයා වහන්සේට අප වෙත සහාය හා දිරිය ලබාදිය හැකි අතර, උන් වහන්සේලාට අපට ධර්ම පිළිවෙත් පුරන ලෙස බලකල නොහැක. අප විසින් සැබැවින්ම පෞද්ගලිකවම ධර්මය ඉගෙන එහි හැසිරිය යුතුව පවතී: එයයි දුකින් මිදීමේ එකම මග. සැබැවින්ම අපගේ ගැලවුම්කරු අපමය.

ධර්මයේ ගුණාංග

ධර්මය තුළ නොගිණිය හැකි ගුණාංග සංඛ්‍යාවක් පවත්නා නමුත් ප්‍රධාන ගුණාංග පහත පරිදි පෙළ ගැස්විය හැක:

  1. ධර්මය බොහෝ විවිධාකාර චරිත ස්වභාවයනට යෝග්‍ය වේ. බුදු දහම තායිලන්තය,  තිබ්බතය,  ශ්‍රී ලංකාව,  ජපානය ආදී ස්ථානයන්හි කැපී පෙනෙන ලෙස විවිධත්වයක් ගන්නා නමුදු ඒ සියලු සම්ප්‍රදායන් තුළ හරයාත්මක බෞද්ධ දේශනා අන්තර්ගතවන අතර විමුක්ති ඵල සාක්ෂාත් කරගැනීම ඉලක්ක කොට ඇත.
  2. ධර්මය තර්කය මත පදනම් වේ. එමගින් අපගේ සිත් හා අත්දකින සියලු දේ කෙරෙහි යථාර්ථවාදීව විමසා බලන ලෙස ඉල්ලා සිටිනු ලබයි. එය දෙවියන් හෝ දෙවියන් වහන්සේ විශ්වාස කළ යුතුය යන්නක් පනවන ආගම්වාදී ස්වරූපයක් නොගන්නා අතර ඒ වෙනුවට සියල්ල තර්කානුකූලව ප්‍රශ්න කරන ලෙස පවසනු ලබයි. පරම පූජනීය දලයි ලාමා වහන්සේ විඤ්ඤාණය හා සිත වැනි ප්‍රධාන බෞද්ධ සංකල්ප විමසා බැලීම සඳහා වසර ගණනාවක් විද්‍යාඥයන් සමග කටයුතු කර ඇති අතර, බෞද්ධයන් හා විද්‍යාඥයන්ද එකිනෙකා වෙතින් උගනිමින් සිටිති.
  3. ධර්මය හුුදෙක් තනි ගැටලුවක් ඉලක්ක කරගත්තක් නොවේ. එය සියලු ගැටලුවල මුදුනත ඉලක්ක කළ එකකි. නොවරදවාම සෑම දිනෙකම ඇතිවන හිසේ ඇම්මක් පවතී නම්, ඇස්පිරින් පානය කළ හැක. සැබැවින්ම, එමගින් කෙටි කාලීන උපකාරයක් ලැබුණද, හිසේ ඇම්ම නැවතද ඉස්මතු වනු ඇත. අපගේ හිසේ ඇම්මෙන් ස්ථිරසාර සහනයක් ලබාදෙන ගුලියක් වී නම් අප විසින් එය අනිවාර්යයෙන්ම ලබාගනු ඇත. ධර්මයද එවැන්නකි. මක් නිසාද, එමගින් හුදෙක් හිසේ ඇම්මට පමණක් නොව, සියලු ගැටලු හා දුක්වලටද ස්ථිර සහනයක් ලබාදෙන බැවිනි.

සාරාංශය

බුදුන් වහන්සේ යනු අපගේ දුක රෝග නිෂ්චයට භාජනය කොට ධර්මය නමැති හොඳම ඔසුව අප වෙත ලබාදෙන කුසලතා පූර්ණ වෛද්‍යවරයෙකු මෙනි. එනමුත් එය ධර්ම පිළිවෙත් පිරීම හෙවත් ඔසුව ලබාගැනීම මත රඳා පවත්නා දෙයකි. කිසිවෙකුට හෝ අපට එසේ කරන ලෙස බලකල නොහැකි අතර, ධර්මය තුළින් අත්වන ප්‍රතිලාභ හා චිත්ත සාමය හා එය අපගේ සියලු ගැටලු, ඉච්ඡා භංගත්වයන් හා දුක්ද මුලිනුපුටා දැමීමට උපකාරී වන ආකාරය දකිනා විටදී අපගේ මෙන්ම අන් අයගේද ප්‍රයෝජනය පිණිස අපි සතුටින් දහම් පිළිවෙත් පුරමු.

Top