‘සංඝ’ යන වචනය ‘ප්‍රජාව’ යන අදහස අර්ථවත් කෙරෙන සංස්කෘත වචනයක් වන අතර එය මූලිකව භික්ෂු - භික්ෂුණීන් ලෙස හෝ මහණ - මෙහෙණින් වහන්සේලා ලෙස හැඳින්වෙන බුදුන් වහන්සේගේ පැවිදි අනුගාමිකයන් හැඳින්වීම සඳහා යෙදෙන වචනයකි. බටහිර ලෝකය පුරා බුදු දහම පැතිර පවත්නා වර්තමානයේ සමස්ත බෞද්ධ ප්‍රජාව හෝ ධර්ම මධ්‍යස්ථානයකට රැස්වන කුඩා ගිහි අනුගාමිකයන් කණ්ඩායමක් ද සංඝයා ලෙස හැඳින්වීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇත.
What is sangha 1

සංඝයා වහන්සේගේ ප්‍රභවය

බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව, ධම්මචක්කප්පවත්තන සූත්‍රය හෙවත් ධර්ම චක්‍රය පැවැත්වීමට අදාළ වූ සූත්‍රය මගින් පෙන්වන පරිදි උන් වහන්සේ විසින් තමා වසර ගණනාවක් පුරා තපස් දිවියක් එක්ව ගතකළ සිය පෙර මිතුරන් පස් දෙනා වෙත චතුරාර්ය සත්‍යය පිළිබඳ පළමු දේශනාව පැවැත්වූ බව පෙනේ. මෙම දේශනාව තුළ, තාපසවරුන් පස් දෙනාම උන් වහන්සේගේ අනුගාමිකයන් බවට පත්වූ අතර, ඔවුන් අතරින්ද කොණ්ඩඤ්ඤයන් වහන්සේ අර්හත් ඵල විමුක්තිය සාක්ෂාත් කරගත් සේක. දින කිහිපයකින් අනතුරුව, ආත්ම ශුන්‍යතාවය පිළිබඳ හෙවත් තමා යන්නෙකුට නොපැවතිය හැකි ආකාරයන්ගෙන් පැවතීමේ නොහැකියාව පිළිබඳ සිදුකරන ලද දේශනාවක් අතරතුර සෙසු තාපසවරුද අර්හත් ඵලය සාක්ෂාත් කරගත්හ. මෙලෙසින් මෙම අනුගාමිකයන් පස් දෙනා පළමු සංඝ සාමාජික පිරිස හෙවත් බෞද්ධ භික්ෂු පිරිස බවට පත්වූහ.

ඉන්පසු බුදුන් වහන්සේ සමස්තයක් ලෙස වසර 45කට ආසන්න කාල පරිච්ඡේදයක් වූ උන් වහන්සේගේ ජීවිතයේ ඉතිරි කාල පරිච්ඡේදය තමන් වහන්සේ විසින් සොයාගත් ධර්ම දේශනා විකාශනය කරමින් ජීවත් වූ අතර, උන් වහන්සේගේ අනුගාමික පිරිසද බුදුන් වහන්සේගේ පණිවිඩය උතුරු ඉන්දියානු මිටියාවත් පුරා පතුරවමින් ගම් දනව් සිසාරා සංචාරය කළහ. කෙටි කලක් තුළ සමාජයේ විවිධ තලයන් නියෝජනය කරන්නාවූ බොහෝ අනුගාමික පිරිසක් බුදුන් වහන්සේ වෙත ආකර්ශනය වූහ: සෙසු ආධ්‍යාත්මික ශාස්තෘවරුන්, රජුන් හා රැජිණන්, ගොවීන් හා මස් මරන්නන් ආදී වශයෙනි. අනුගාමිකයන් අතරින් බහුතරයක් දෙනා හට ලෞකික ජීවිතයෙන් වෙන් වීමේ අදහසක් නොපැවති අතර, ගිහි ජීවිතය හැරදා සංඝ සමාජයට එක්වීමට කැමැත්තක් දැක්වූවන් ඒ වෙත සාදරයෙන් පිළිගන්නා ලදී. නොකඩවා ගිහි කටයුතුවල නියැළෙමින් විවාහ ජීවිත ගතකළ ගිහි අනුගාමිකයන් විසින් ආහාර හා ඇඳුම් පැළඳුම් සපයමින් සංඝයා වහන්සේ වෙත ආධාර අනුබල සපයන ලදී.

කල් ගතවීමේදී වඩ වඩාත් ජනතාව බුදුන් වහන්සේ හා එක්වන්නට වීමත් සමග ආධ්‍යාත්මික ප්‍රජාව තුළ සාමග්‍රිය ඇති කිරීම පිණිස අනුගාමිකයන් විසින් අනුගමනය කළ යුතුවන නීති මාලාවන් සැකසීම අවශ්‍ය විය. සංඝ සමාජය තුළ අප්‍රසන්න ප්‍රතිඵල ඇතිකළ සිදුවීම්වලට ප්‍රතිචාරීව තැත් වරද ක්‍රමයෙන් අවශ්‍ය අවස්ථාවන්හි එකී නීති සකස් කරන ලදී. බුදුන් වහන්සේගේ ජීවිතය අවසාන සමය වනවිට, භික්ෂු-භික්ෂුණීන් සඳහා සැකසුණු නීති සිය ගණනක් විය.

භික්ෂුණිත්වය ලබාදීම

ආරම්භයේදී, බුදුන් වහන්සේ විසින් බුදු සසුනට කාන්තාවන් පමණක් ඇතුළත් කරගන්නා ලදී. සංඝ ශාසනය ස්ථාපනය කිරීමෙන් වසර පහකට පසුව, බුදුන් වහන්සේගේ නැන්දණිය වූ මහා ප්‍රජාපතී ගෝතමිය විසින් තමා වෙත භික්ෂුණිත්වය පිරිනමන ලෙස ඉල්ලා සිටි නමුදු උන් වහන්සේ විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී. එනමුත් ඉන් නොපසුබට මහා ප්‍රජාපතී ගෝතමිය විසින් 500ක් කාන්තාවන් හා සමගින් එක්ව සිය හිස් මුඩු කොට, කහ සිවුරු දරා බුදුන් වහන්සේගේ මග අනුගමනය කිරීමට තීරණය කරන ලදී.

මහා ප්‍රජාපතිය විසින් බුදුන් වහන්සේ වෙත තවත් ඉල්ලීම් දෙකක්ද ඉදිරිපත් කරන ලද අතර, ඒ සෑම අවස්ථාවකම බුදුන් වහන්සේ විසින් ඔවුන් වෙත භික්ෂුණීත්වය ලබාදීම ප්‍රතික්ෂේප කරන ලදී. සිව්වන අවස්ථාවේදී ආධ්‍යාත්මික මග පුරුෂ පාර්ශ්වය හා සමගාමීව ගමන් කරමින් අර්හත් ඵල විමුක්තිය ලැබීමේ හැකියාව කාන්තාවන් වෙතද පවතින්නේද යන පැනය විමසමින් ආනන්දයන් වහන්සේ සිදුකළ මැදිහත්වීමේදී බුදුන් වහන්සේගේ පිළිතුර වූයේ ඔවුනටද එම විමුක්ති මග ගමන් කොට සමාන ඵල ලබාගත හැකි බවයි. එවිට ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් යෝජනා කරන ලද්දේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම යෝග්‍ය වන බවයි. ඒ සඳහා බුදුන් වහන්සේගේ අනුමැතිය ලැබුණු අතර, ඒ අනුව භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම සඳහා අවසර හිමිවිය.

සම්මුතික සංඝ හා ආර්ය සංඝ

සාමාන්‍යයෙන් බුදුන් වහන්සේගේ දේශනා අනුගමනය කරන්නාවූ භික්ෂු - භික්ෂුණී දෙපිරිස හැඳින්වීම සඳහා සංඝ යන වචනය භාවිත කෙරේ.  භික්ෂු යන වදනින් සත්‍ය වශයෙන්ම ‘යාචකයා’ යන අදහසක් ඇඟවෙන අතර, භික්ෂු සමාජය විසින් බහුතරයක් වූ භෞතික වස්තූන් අත්හැර සිය ආහාර වෙනුවෙන් පිඬු සිඟා වඩිමින් අන් අය විසින් ලබාදෙන ආහාරයකින් තෘප්තිමත් වෙමින් තැනින් තැන ඇවිද යායුතු බව අදහස් වූ බැවින් එම වචනය උන් වහන්සේ හැඳින්වීම සඳහා භාවිත කරන ලදී. සංඝ යන අදහස යෙදීම සඳහා, අවබෝධ හෝ දැනුවත්භාවයේ මට්ටම කවරේ වුවද, උපසම්පන්න හෝ ශිෂ්‍ය නවක භික්ෂූන් වහන්සේලා අවම වශයෙන් සිව් දෙනෙකු අවශ්‍ය විය. මෙය සම්මුතික සංඝ යනුවෙන් හැඳින්වේ. ධර්ම මාර්ගයේ යම් අවබෝධයක් සැබැවින්ම ලබා ඇති, භික්ෂුත්වයට පත්වූ හෝ ගිහි ස්වරූපයේ පසුවන පුද්ගලයන් හැඳින්වීම සඳහා ආර්ය සංඝ යන යෙදුමද භාවිත කෙරේ.

සම්මුතික සංඝයා හා ආර්ය සංඝයා වහන්සේ අතර වෙනසක් දැක්වීම වැදගත් වේ. අති විශිෂ්ට සාමාන්‍ය භික්ෂූන් හා භික්ෂුණීන්ද ඇති අතර, ඒ අතරම අප මෙන්ම භාවමය වශයෙන් කැළඹිල්ලට පත්වූ පිරිස්ද සිටිය හැක - එවන් තත්ත්වයක ඇතැම් විට මෙම පිරිස් සරණ යනුයේ කුමටද යන ගැටලුවද අප තුළ ඉස්මතු විය හැක. මෙලෙසින්, තිසරණයේ එක් සරණයක් ලෙස, අප සරණ යන සැබෑ රත්නය වනුයේ ආර්ය සංඝ රත්නයයි. අපට නිවැරදි මග ගැනීම සඳහා නිර්ව්‍යාජව උපකාර කළ හැකි පිරිස වන්නේ එම පිරිසය.

සඟ ගුණ

ඒ අනුව, අප තුළද වර්ධනය කරගත යුතු, සංඝයා සතු ගුණ කවරේද?

  1. උන් වහන්සේලා දේශනා කරන විටදී හුදෙක් පොතින් උගත් දේ පමණක් පුනරුච්චාරණය නොකරති. උන් වහන්සේලා සිය සැබෑ අත්දැකීම් ඇසුරින් දේශනා කරන අතර මෙය සැබැවින්ම සිත් ගන්නා සුළු දෙයකි.
  2. ඔවුන්ගේ එකම පැතුම අන් අයට උපකාර කිරීම වන අතර ඔවුහූ සිය දේශනාවන්හි අන්තර්ගතයන් ආදර්ශයෙන් පෙන්වා දෙති. දුම් බීමේ අහිතකර ප්‍රතිවිපාක පිළිබඳ පෙන්වා දෙමින් අපට බැණ වදින දුම් බොන්නෙකු පිළිබඳව සිතා බලන්න. අපි ඔවුන්ගේ ඔවදන් පිළිපැදිය යුත්තේ මන්ද යන අදහසක් සැබැවින්ම අප තුළ පැන නැගිය හැක. එබැවින්, සංඝයා වහන්සේ නිරතුරු තමාගේ කර්තව්‍යයන් පිළිබඳ අව්‍යාජ පිරිසක් වන බැවින් අපට උන් වහන්සේලා විශ්වාස කළ හැක.
  3. අයහපත් පුද්ගලයන් සමගින් කල් ගත කරන විටදී, බොහෝ විට අප විසින් ඔවුන්ගේ අයහපත් ගුණ කෙතරම් ප්‍රමාණයක් අප තුළට බහා ගන්නේද යන්න පිළිබඳ අවබෝධයක් පවා අප තුළ නොමැත. මේ හා සමානවම, යහපත් මිතුරන් ඇසුරු කරන්නෙ නම්, කිසිදු උත්සාහයකින් පවා තොරව, අපි වහා යහ ගුණ අප තුළට බහා ගන්නෙමු. එබැවින් සංඝයා වහන්සේ තුළ අපගේ ධර්ම පිළිවෙත් ප්‍රවර්ධනයෙහි ලා ඉතා යහපත් බලපෑමක් පවතී.

සංඝයා වහන්සේගේ වැදගත්කම

අපට පිළිපදිනු පිණිස ධර්මය නමැති සිය දේශනාවන් ඉතිරි කරමින් වසර 2500කට පමණ පෙර බුදුන් වහන්සේ පිරිණිවන් පා වදාළ සේක. සමස්ත බුදු දහම යනුම මෙම ධර්මයයි. එනමුත් අපට මනා සේ පිළිවෙත් පිරීමට හැකිවනු පිණිස, අපට විශ්වසනීය ආදර්ශයන් හෙවත් අපට උපකාර කරමින් මඟ පෙන්වීමට හැකි, බුදුන් වහන්සේගේ දේශනා සැබැවින්ම උගත්, අධ්‍යයනය කළ හා පිළිවෙත් පිරූ, එහි යම් ඉලක්ක සාක්ෂාත් කරගත් අය අවශ්‍ය වේ. එවන් පුද්ගලයන්ගෙන් සැදි සමාජය සංඝ සමාජයයි.

වර්තමානයේ අපගේ ආදර්ශයන් ලෙස අප විසින් සමරන පිරිසක් වේ: නළු නිළියන්, නිරූපිකාවන්, ගායකයන් හා ක්‍රීඩකයන් වශයෙනි. එනමුත් ඔවුනටද තමාට ආවේණික ගැටලු පවතී. ඔවුන්ගේ පුද්ගලික ජීවිත  නිරතුරු අවුල් ජාලාවන් බවද අපි දනිමු. එපමණක් නොව, අප විසින් සමරනු ලබන පුද්ගලයන්, ජනප්‍රිය පුද්ගලයන් හා ඔවුන්ගේ ජීවිත පිළිබඳව සිත් කැළඹිල්ලට පත්කර ගන්නා විටදී, එමගින් සාමාන්‍යයෙන් අපගේ මිතුරු මිතුරියන් සමග ඕපාදූප කථා කරමින් භෞතිකව ඇලෙන වස්තූන් කෙරෙහි වඩ වඩාත් ඇලීම කරා පමණක් අප යොමු කරවනු ලබයි: මෙම කටයුතු තුළින් සැබැවින්ම අප වෙත හෝ අන් අය වෙත කිසිදු සැබෑ ප්‍රතිලාභයක් හෝ සතුටක් අත්කර දෙනු නොලබයි. අනෙක් අතින් සංඝයා වහන්සේ ගත්කල, උන් වහන්සේලා යනු දැනටමත් සිය ගැටලුවලින් සමහරකින් නිදහස් වී ඇති පිරිසක් වන අතර, ඉතිරි ගැටලුවලින්ද නිදහස් වීම සඳහා කටයුතු කරන අය වෙති. එය උතුම් කටයුත්තක් නොවේද? අපද අපගේ ගැටලුවලින් නිදහස් වනු පිණිස උන් වහන්සේලාගේ ආදර්ශය අනුව කටයුතු කළ යුතුය යන්න තුළ යම් අරුතක් නොපවත්නේද?

වර්තමානයේ අපගේ නවීන ලෝකය තුළද ආශ්චර්යමත් ලෙස පරපුරින් පරපුරට ඉදිරියට ගෙන ආ බුදුන් වහන්සේගේ දේශනාවන් පවත්නේ මුළුමනින්ම සංඝයා වහන්සේට ස්තුතිවන්ත වන්නටය. අපගේ ආසන්නතම ගැටලුවලින් ඔබ්බට ඉදිරිය දකිමින් අපගේ සියලු දුකින් අප නිදහස් කරන්නාවූ මාර්ගයක් පවත්නා බව දැකීම සඳහා සංඝයා වහන්සේ විසින් අප වෙත ආභාසයක් ලබාදෙනු ලබයි. උන් වහන්සේලා අප වෙත ආභාසය ලබාදෙනු පමණක් නොව, අප වෙත මාර්ගෝපදේශ ලබා දෙමින්, අප දිරිමත් කරමින් මාර්ගයෙහි සෑම පියවරක් පාසා අපට අවශ්‍ය සහාය දක්වති. සංඝයා වහන්සේ නොවන්නට බුදු දහමක් නොපවත්නා බවක් ඇතැම් විට ප්‍රකාශ වන්නේ එබැවිනි.

සාරාංශය

අපගේ ජීවිතයට පරමාදර්ශී චරිතයක් තෝරා ගන්නේ කෙසේද? සැබෑ මාර්ග ඵලලාභී ආර්ය සංඝ සාමාජිකයෙකු අපට හමු නොවිය හැකි නමුදු, ධර්මය තුළ අපට වඩා වැඩි අත්දැකීම් සහිත පුද්ගලයන් හමුවී අපට ඔවුන්ගෙන් ආභාසය ලැබිය හැක. උන් වහන්සේලාගේ ආදර්ශයන් දකිමින් ඔවුන්ගේ පියමග ගමන් කිරීමට දිරිමත් වෙමු.

සම්මුතික සංඝයා වන බෞද්ධ භික්ෂු භික්ෂුණීන් හරහාය ධර්මය ලොව පුරා ප්‍රචලිත වූයේ. බුදුන් වහන්සේ වෛද්‍යවරයෙකුට හා ධර්මය ඖෂධයකට උපමා කරන්නාක් මෙන්, අප විසින් අපගේ සියලු දුකින් සදාකාලිකව නිදහස් වීම සඳහා කටයුතු කරන විටදී එම මාර්ගය ඔස්සේ අප දිරිමත් කරමින් මඟ පෙන්වන හෙද හෙදියන් වනුයේ සඟ පරපුරයි.

Top