වසර 2,500කට පමණ පෙර ඉන්දියාවේ ජීවත්ව දේශනා පැවැත්වූ මහා ආධ්‍යාත්මික ගුරුවරයා වන බුදුන් වහන්සේ පිළිබඳ අප සියලු දෙනා අසා ඇත්තෙමු. එනමුත් ශාක්‍යමුණි බුදුරජාණන් වහන්සේ ලෙස හඳුන්වනු ලබන ඓතිහාසික බුදුන් වහන්සේ එකම බුදුන් වහන්සේ නොවේ. බුදු දහම තුළ, අපමණ සංඛ්‍යාවක් වූ බුදුවරුන් ඇති අතර, සත්‍ය වශයෙන්ම, බුදු දහම තුළ පවත්නා ප්‍රධාන දේශනාවක් වනුයේ විශ්වයේ වසන සෑම පුද්ගලයෙකු හටම පෞද්ගලිකවම බුද්ධත්වයට පත්වීමේ විභවයක්ද පවත්නා බවයි.
Who is buddha 01

ඓතිහාසික බුදුරජාණන් වහන්සේ

බොහෝ සම්ප්‍රදායික චරිතාපදානයනට අනුව, බෝධිසත්ත්වයන් වහන්සේ ක්‍රි.පූ. 5වන සියවසේ උතුරු ඉන්දියාවේ කුලීන ශාක්‍ය වංශයෙහි උපන් සේක. උන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම නමින් නම් කරන ලද අතර, උන් වහන්සේගේ උපත සමරණ අවස්ථාවේදී අසිත නමැති ප්‍රඥාවන්ත තාපසවරයෙකු විසින් ප්‍රකාශ කරන ලද්දේ මෙම කුඩා දරුවා මහා රජෙකු හෝ මහා ආගමික ශාස්තෘවරයෙකු වනු ඇති බවයි. සිද්ධාර්ථයන්ගේ පියාණන් වූ සුද්ධෝදන ශාක්‍ය වංශයේ ප්‍රධානියා වූ අතර, සිය කුඩා පුතු සිය මග ගමන් කරනු දැකීමේ බලවත් ආශාවකින් පෙළුණු එතුමා විසින් සිය පුතු මහා රජෙකු බවට පත්වීමේ මාර්ගයෙහි ගමන් කිරීමෙන් වෙනතක යොමු කළ හැකි කිසිදු කරුණක් හෝ ඔහුට සමීප නොවන ආකාරයෙන් පුතු ආරක්ෂා කරන්නට විය.

කුඩා සිද්ධාර්ථ කුමරු පවුලේ මාළිගාව තුළ හුදෙකලා කොට තබා හැකි සියලු සැප සම්පත් ලබාදෙන ලදී: අගනා ස්වර්ණාභරණ හා රූමත් කතුන්, නෙළුම් පොකුණු හා ප්‍රියජනක ආහාරපාන ආදී වශයෙනි. ලෙඩුන්ට හා මහල්ලන් හට මාළිගාවට ඇතුළුවීමට අවසර ලබා නොදුන් අතර, ඔහු සියලු ආකාරයේ දුක්ඛිත හා අවාසනාවන්ත තත්ත්වයන්ගෙන් ආරක්ෂා කරන ලදී. කල් ගතවීමත් සමග සිද්ධාර්ථ කුමරු අධ්‍යාපන කටයුතුවල හා ක්‍රීඩා කටයුතුවලද අති විශිෂ්ට දක්ෂතා දක්වන්නට වූ අතර, යසෝධරාව විවාහ කොටගත්තේය. පසු කාලීනව ඇය කුසින් ඔහුට දාව රාහුල කුමාරෝත්පත්තිය සිදුවිය.

වසර 30කට ආසන්න කාලයක් පුරා සිද්ධාර්ථ කුමරු සැප සම්පතින් ආඪ්‍ය ජීවිතයක් ගතකළ නමුදු එම ජීවිතය මාළිගාවේ බිත්තිවලින් පිටත තත්ත්වය කවරේද යන වර්ධනය වන කුතුහලයක් හා මිශ්‍ර වූවක් විය. “මෙම භූමිය මාගේ භූමිය වන්නට නම්, සැබැවින්ම මවිසින් එම භූමිය හා මාගේ රටවැසියන්ද දැකගත යුතුය” යන්න ඔහුගේ සිතිවිල්ල විය. අවසන, සුද්ධෝදන රජතුමා විසින් සිය පුතු වෙනුවෙන් මාළිගාවෙන් බැහැර කෙටි සංචාරයන් සූදානම් කරන ලදී. විථි ශුද්ධ පවිත්‍ර කරන ලද අතර, රෝගීන් හා මහල්ලන් සඟවා තබන ලදී. සිද්ධාර්ථ කුමරු ඔහුගේ රථාචාර්ය චන්නයන් විසින් පදවන ලද රථය තුළ සංචාරය කරවන ලද අතර, ප්‍රාදේශීය ජනයා ඔහුට ආචාර කරමින් සිනහවෙන් සංග්‍රහ කරන්නට විය. එනමුත් මෙම පිරිස අතර, මාර්ගය අයිනේ කුදු ගැසුණු හා සම රැළි වැටුණු පුද්ගලයෙකු සිද්ධාර්ථයන්ගේ විමසුම් ඇසට ලක්විය. විශ්මයට හා කම්පනයට පත් ඔහු විසින් මෙම අසරණ පුද්ගලයා හට කවරක් සිදුවී ඇත්තේද යන පැනය චන්නයන් වෙතින් විමසන ලදී. “ඔබතුමා ඉදිරිපිට දිස්වන පුද්ගයා මහල්ලෙක්. මහලු වියට පත්වීම අප සියලු දෙනාට පොදු ධර්මතාවයකි” යන්න චන්නයන්ගේ පිළිතුර විය. එගමනේ තවදුරටත් ඉදිරියට යන විට සිද්ධාර්ථයන් හට රෝගී පුද්ගලයෙකු හා මළ මිනියක්ද හමුවූ අතර, එම හමු දෙක තුළද ඔහුගේ නෙත් මෙම නොවැළැක්විය හැකි ඉරණම්, අතිශයින් සාමාන්‍ය නමුත් තමාටද යම් දිනෙක අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදුවන ඉරණම්, පිළිබඳ සැබෑ තත්ත්වය කෙරෙහි විවර කරවන ලදී.

අවසානයේ ඔහුට ශ්‍රමණයෙකු හෙවත් දුකින් විමුක්තිය ලැබීමේ මාර්ගය සොයමින් ගමන් කරන්නාවූ පුද්ගලයෙකු හමුවිය. පළමුව දුටු දසුන් තුන මගින් සැබෑ දුක ආවරණය කරමින් මාළිගාව තුළ තමා ගතකළ ජීවිතය මගින් තමා රැවටීමකට ලක්කර ඇත්තේය යන කරුණ අවබෝධ කරවන ලදී. ශ්‍රමණ රූපය දැකීම තුළ දුකින් මිදීමේ මාර්ගය සොයා යාමේ හැකියාව කෙරෙහි ඔහුගේ සිත විවර විය.

සිද්ධාර්ථයන් හට මින් පෙර කිසි දින වයෝවෘද්ධ පුද්ගලයෙකු හෝ රෝගියෙකු හමුවී නොතිබියේය යන්න පිළිගත නොහැකි නමුදු එමගින් ඔහු මෙන්ම අප සියලු දෙනා විසින්ද සාමාන්‍යයෙන් දුක යන්න නොසලකා හරිමින් ජීවත්වන ආකාරය දක්වනු ලබයි. ආපසු මාළිගයට පැමිණි සිද්ධාර්ථයන් හට ඉමහත් අපහසුතාවයක් දැනෙන්නට විය. එතුමා විසින් සිය ආදරණීයයන් වටකොට ඉමහත් සුව පහසු ජීවිතයක් ගතකොට තිබූ නමුදු දැන් තමා හා සියලු දෙනාද යම් දිනෙක වයස්ගත වනු ඇති බව, රෝගී තත්ත්වයට පත්වනු ඇති බව හා මරණයටද පත්වනු ඇති බව දැනුවත්ව සිටිමින් මෙම සුව පහසුව භුක්ති විඳින්නේ කෙසේද? මේ සියල්ලෙන් මිදීමේ මාර්ගයක් සොයාගැනීමේ බලවත් අවශ්‍යතාවයක් සහිත ඔහු, සංචාරක තාපසයෙකුගේ ජීවිතයක් ගත කරනු පිණිස එක් රැයෙක මාළිගයෙන් පළා ගියේය.

සිද්ධාර්ථයන් හට බොහෝ ශ්‍රේෂ්ඨ ගුරුවරුන් හමුවූ අතර, ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ භාවනාව මගින් ඉතා ඉහළ සමාධි මට්ටම්වලට එළැඹි නමුදු, මෙම භාවනා තත්ත්වයන් මගින්ද දුක අවසන් කිරීම කරා පුද්ගලයා යොමු නොකළ බැවින් ඔහු එතුළින්ද තෘප්තිමත් නොවීය. සිය සිරුරට ආහාර හා ශාරීරික සුව පහසු ලබා නොදෙමින් ඔහු තාපස පිළිවෙත් කරා යොමු වූ අතර සිය කාලයෙන් බහුතර කාල වේලාවක් භාවනා පිළිවෙත් පිරීම සඳහා කැප කරන ලදී. වසර හයක් පුරා මෙම පිළිවෙත් පුරන ලදුව, ඔහුගේ සිරුර ඉතා සියුම් සම් පොත්තකින් ආවරණය වූ ඇට සැකිල්ලකට සමාන වන මට්ටම දක්වා කෘශ විය.

එක් දිනෙක ගංගාව අසල හිඳ සිටි ඔහුට ගුරවරයෙකු විසින් කුඩා දරුවෙකු හට සංගීත භාණ්ඩයක් වාදනය කරන ආකාරය උගන්වනු ශ්‍රවණය විය: “කම්බි ඕනැවට වඩා බුරුල් කරගන්න එපා. එහෙම වුණොත් භාණ්ඩය වාදනය කරන්න බෑ. එ් වගේම එ්වා ඕනැවට වඩා තද කරන්නත් එපා. එතකොට කැඩිල යයි” ලෙසය. මෙහිදී සිය තාපස දිවිය ගතකල වසර ගණනාව අප්‍රයෝජනවත් එකක් බව සිද්ධාර්ථයනට අවබෝධ වන්නට විය. මාළිගාවේ ගතකල සුව පහසු ජීවිතය මෙන් තාපස පිළිවෙත්ද දුක මැඩ පැවැත්වීමට අපොහොසත් වූ තවත් අන්තයක් විය. මෙම අන්තයන් දෙක අතර පවත්නා මැදි පිළිවෙත මෙයට පිළිතුර විය හැකි බවට වූ සිතිවිල්ලක් ඔහු තුළ පහළ විය.

එ් අවස්ථාවේදී, සුජාතා නමැති තරුණියක් එ් අසලින් ගමන් කරන්නට වූ අතර, සිද්ධාර්ථයන් වෙත කිරිබතින් සංග්‍රහ කළාය. මෙය වසර හයක කාලයක් තුළ එතුමා විසින් ලබාගත් පළමු සම්පූර්ණ ආහාර වේල විය. එතුමාගේ සහචර තාපස පිරිස කම්පනයට පත් කරමින් එතුමා විසින් ආහාර වළඳන්නට වූ අතර, දිඹුල් ගසක් මුළ හිඳගත්තේය. එසේ හිඳගත් ඔහු විසින් “සම්මා සම්බුද්ධත්වය ලබා මිස මෙම ස්ථානයෙන් නොනැගිටිමි” යන අධිෂ්ඨාන සහගත තීරණයට එළැඹියේය. වර්තමානයේ බෝ ගස නමින් හැඳින්වෙන මෙම ගස මුළදී සම්මා සම්බුද්ධත්වයට පත්වූ සිද්ධාර්ථයන් ඉනික්බිති බුදුරජාණන් වහන්සේ හෙවත් සර්වඥයන් වහන්සේ ලෙස ප්‍රකට විය.

බුද්ධත්වයට පත්වූ විගස බුදුන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍යය හා අෂ්ටාංගික මාර්ගය පිළිබඳ දේශනා පවත්වන ලදී. ඉන් ඉක්බිති එළැඹි වසර 40ක කාලය තුළ තමා විසින් සාක්ෂාත් කරගත් අවබෝධයන් අන් අය වෙතද දේශනා කරමින් උතුරු ඉන්දියාවේ මිටියාවත් සිසාරා සංචාරය කරන්නට විය. සංඝයා වහන්සේ ලෙස ප්‍රකට වූ භික්ෂු ශාසනයක් ආරම්භ කළ උන් වහන්සේගේ එම භික්ෂුන් වහන්සේලා පසු කාලීනව බුද්ධ දේශනා ඉන්දියාව පුරා මෙන්ම අවසන ආසියාව හා ලෝකය පුරාද පතුරුවන්නට විය.

80 වැනි වියේදී කුසිනාරා නුවරදී බුදුන් වහන්සේගේ පිරිණිවීම සිදුවිය. පිරිණිවන් පෑමට පෙර, තමාට විමසා දැනගත යුතුව පවත්නා යම් සැක සහිත කරුණක් වේද හෝ තමාගේ දේශනා තුළ යම් පැහැදිලි කරගත යුතු කරුණක් වේද යන පැනය උන් වහන්සේ විසින් සංඝයා වහන්සේගෙන් විමසන ලදී. සිය අනුගාමිකයන් හට ධර්මය හා ආචාර ධාර්මික ස්වයං විනය මත රඳා පවත්නා ලෙස උපදෙස් දෙමින් උන් වහන්සේ විසින් “භික්ෂූනි, මෙය මා විසින් ඔබ වෙත ලබාදෙන අවසන් අවවාදයයි. සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. කල් නොපවතී. තම තමාගේ විමුක්තිය ලබාගැනීම පිණිස අප්‍රමාදී වන්න” යන අවසන් වදන් ප්‍රකාශ කරන ලදී. එම උපදේශයද ලබාදීමෙන් අනතුරුව සිය දකුණු ඇලයෙන් සැතපුණු උන් වහන්සේ පිරිණිවන් පා වදාළ සේක.

බුදුන් වහන්සේලා යනු කවරහුද?

අපි ඓතිහාසික බුදුන් වහන්සේ කවුරුන්ද යන්න සාකච්ඡා කළ නමුත් සැබැවින්ම බුද්ධත්වයට පත්වීම යන්නෙන් අදහස් වන්නේ කවරක්ද?

සරලාර්ථයෙන් ගත්කල බුදුවරයෙකු යනු සර්වඥතාවය සාක්ෂාත් කරගත් අයෙකි. බුදුන් වහන්සේ යනු ගැඹුරු නින්දකින් අවදි වූ උත්තමයන් වහන්සේලාය. මෙය වූකලි මුළු රැය පුරා සාද පවත්වමින් සිට අප විසින් ඉන් අනතුරුව ලබන ආකාරයේ ගැඹුරු නින්දක් නොව, අපගේ ජීවිතයේ සෑම මොහොතක් පාසා අප වටකොට පවත්නා ව්‍යාකූලත්වයේ ගැඹුරු නින්දයි; එනම් අපගේ පැවැත්ම, හෙවත් සැබැවින්ම සියලු දේහි සැබෑ පැවැත්ම සම්බන්ධ ව්‍යාකූලත්වයට අදාළ ගැඹුරු නින්දයි.

බුදුවරු යනු දෙවිවරුන් හෝ මැවුම්කරුවන්ද නොවෙති. සියලු බුදුවරුද ව්‍යාකූලත්වයෙන් පිරි, ක්ලේෂයන් හා ගැටලු රාශියක්ද සහිතව අප මෙන්ම ජීවිත ආරම්භ කරන්නෝ වෙති. එනමුත්, කරුණාවේ හා ප්‍රඥාවේ මාර්ගයෙහි ක්‍රමිකව ගමන් කිරීම තුළ, මෙම ධනාත්මක ගුණයන් දෙක ප්‍රවර්ධනය කරගැනීම සඳහා වෙහෙස වී කටයුතු කරමින්, බුද්ධත්වයට පත්වීමේ හැකියාව පවතී.

බුදුවරුන් තුළ ප්‍රධාන ගුණාංග තුනක් පවතී:

  1. ප්‍රඥාව– බුදුවරුන් හා මානසික අවහිරතාවයන් නොපවත්නා බැවින් විශේෂයෙන් අන්‍යයන් හට උපකාරී වන ආකාරයද ඇතුළත්ව ඔවුහූ සියල්ල පූර්ණ වශයෙන් හා නිවැරදිව වටහා ගනිති.
  2. කරුණාව- ඉහත දැක්වූ ප්‍රඥාව හේතුකොට, අප සියලු දෙනා එකිනෙකා හා බැඳී සිටින්නේය යන කරුණ වටහා ගනිමින්, බුදුවරු ඉමහත් කරුණාවක් සහිතව සියලු දෙනා හට උපකාර කිරීමේ හැකියාවක් තමා තුළ පවත්නා බව දැන සිටිති. කරුණාවෙන් තොර ප්‍රඥාව තුළ පුද්ගලයෙකු බොහෝ සෙයින් උගත් අයෙකු බවට පත්විය හැකි නමුදු ඉන් සමාජයට එතරම් ඵලක් අත් නොවේ. කරුණාව යනු සියලු දෙනාගේ යහපත උදෙසා ඔවුන් යොමු කරවන ගුණාංගයයි. එබැවිනි බුදුවරුන් විසින් අප සියලු දෙනා සමග සම්බන්ධතාවයක් පැවැත්වීම නමැති මෙකී දෙවන ගුණය උත්පාදනය කරනු ලබන්නේ.
  3. හැකියාවන් - දුක මුළිනුපුටා දමන ආකාරය දැන සිටීම හා සෙස්සන් හට උපකාර කිරීමේ බලවත් කැමැත්තද නමැති ගුණාංග දෙක සහිත බුදුවරුන් හට විවිධාකාර වූ කුසල් මාර්ගයන් තුළින් බුද්ධත්වයට පත්වීමේ මාර්ගය අප වෙත දේශනා කරමින් අන් අය වෙත සැබෑ ලෙසම ප්‍රතිලාභ සැලසීමේ සැබෑ බලයක් බුදුවරුන් සතුවේ.

තමා දුක් විඳීමට අකමැති වන්නාක් මෙන් අන් කිසිවෙකු හෝ ගැටලුකාරී ජීවිත ගත කිරීමට කැමැත්තක් නොදක්වන බව බුදුවරු වටහා ගනිති. එබැවින් බුදුවරු හුදෙක් තමා උදෙසා පමණක් නොව විශ්වයේ සමස්ත සත්ත්ව ප්‍රජාව උදෙසා වූ මෙහෙවරක නියැළෙති. ඔවුහූ තමා හා සමාන සැලකිල්ලක් අන් සියලු දෙනා වෙතද දක්වති.

ඔවුන් සතු විශ්මයජනක කරුණා ගුණයෙන් යුක්තව සියලු දුක මුලිනුපුටා දැමීමේ විසඳුම හෙවත් ප්‍රඥාව - යථාර්ථය හා මනඃකල්පිතය අතර නිවැරදිව වෙන්කොට දැකීමට තරම් වූ පිරිසිදු මානසිකත්වය -  නමින් හඳුන්වනු ලබන විසඳුම ඔවුහූ දේශනා කරති.  මෙම ප්‍රඥාව තුළින් අපට අවසානයේ සියලු සෘණාත්මක දෙයින් නිදහස් විය හැක: සියලු ව්‍යාකූලත්වය, ආත්මාර්ථය හා සෘණාත්මක භාවයන් වශයෙනි. අපටද සර්ව සම්පූර්ණ බුදුවරුන් බවට පත්ව පූර්ණ අභ්‍යන්තර සාමයක් අත් විඳිය හැක.

සාරාංශය

බුදුවරුන් යනු සිය කුසල්මය විධික්‍රම මගින් අපට උපකාරී වන ආකාරය නිවැරදිවම දැන සිටින සර්ව සම්පූර්ණ ගුරුවරුය. කාරුණික වූ උන් වහන්සේලා නිරතුරු අප නිවැරදි මාවතට ගෙන එමින් අපට උපකාර කිරීමට සෑම කල්හිම සූදානම්ව හා කැමැත්තෙන් පසුවෙති. සිද්ධාර්ථයන් මෙන්, අපද නිරතුරු ලෝකයේ දුක විෂයයෙහි අන්ධව වාසය කරමු. කෙතරම් වළකාලීමට හා නොසලකා හැරීමට උත්සාහ කළද වයස් ගතවීම, ලෙඩවීම හා මරණය අප සියලු දෙනා කරා පැමිණෙනු ඇත. බුදුන් වහන්සේගේ ජීවිතය තුළ උන් වහන්සේ මෙන් යථාර්ථය හා දුක වෙත මුහුණ දෙමින් හා වටහා ගනිමින් අපටද ජීවිතයේ අත් විඳින්නට සිදුවන සියලු ආකාරයේ ඉච්ඡා භංගත්වයෙන් මිදිය හැක්කේය යන කරුණ වටහා ගැනීමට අප වෙත ආභාසයක් ලබාදෙනු ලබයි. උන් වහන්සේ මෙන්ම අපටද සියලු සත්ත්වයන්ගේ යහපත උදෙසා කටයුතු කළ හැකිවන පරිදි අපගේ පාපකාරී භාවයන් හා ව්‍යාකූලත්වයන් මැඩ පවත්වා ගැනීම සඳහා හැකි වැර යොදා කටයුතු කළ යුතු බව උන් වහන්සේගේ ජීවිතය හා දේශනා තුළ අප වෙත සිහිපත් කරවනු ලබයි.

Top