බුදුදහම යනු යථාර්ථයේ සැබෑ ස්වරූපය හඳුනාගැනීම මඟින් අපේ පූර්ණ මිනිස් හැකියාව වර්ධනය කර ගැනීමට උපකාර කරන ක්‍රමෝපාය සමුදායකි.
වසර 2500කට පෙර භාරතයේ සිද්ධාර්ථ ගෞතමයන් විසින් - බුදුන්වහන්සේ යනුවෙන් හඳුන්වනු ලබන - පිහිටුවන ලද බුදුදහම ආසියාව පුරා ව්‍යාප්ත වී අදවන විට ලෝකයේ හතරවන විශාලම ආගම වේ. තමුන්වහන්සේ විසින් අවබෝධ කරගත් බුද්ධත්වය (එනම් ඥානයේ පිබිදීම) උදෙසා ක්‍රමෝපායයන් උගන්වමින්, අන් අයටත් එකී බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමට මඟ කීම පිණිස, බුදුන්වහන්සේ තම ජීවිතයේ බොහෝ කාලයක් ගත කළහ. සෑම පුද්ගලයෙකුම බුදුවීමට තමුන්ට ඇති හැකියාවෙන් සමාන වන නමුත් මිනිසුන් ඔවුන්ගේ රුචි-අරුචිකම්වලින්, මනාප-අමනාපකම්වලින් සහ දක්ෂතාවලින් බොහෝ සෙයින් වෙනස් වන බවද උන්වහන්සේ දුටහ. මේ තත්ත්වයට ගරු කරමින්, උන්වහන්සේ කිසියම් අයෙකුගේ සීමාවන් ඉක්මවා යාමටත් පූර්ණ හැකියාව අවබෝධ කරගැනීමටත් අවශ්‍ය මාර්ග ගණනාවක් ඉගැන්වූහ.
බුදුදහම වැළඳගත් සෑම සංස්කෘතියකම වෙනස් වෙනස් පැතිකඩ ඉස්මතු වී ඇත. බුදුදහමට ආකෘතීන් ගණනාවක් ඇති නමුත් ඒ සැවොම මූලික ඉගැන්වීම් බෙදාහදා ගනිති.
මූලික බෞද්ධ ඉගැන්වීම් - චතුරාර්යසත්‍යය
බුදුන්වහන්සේගේ මූලිකම ඉගැන්වීම චතුරාර්යසත්‍යය (උතුම් සත්‍යය හතර) යනුවෙන් හැඳින්වේ. එනම්, ඉහළ අවබෝධයක් ලැබූ පුද්ගලයන් විසින් සත්‍ය ලෙස දුටු කරුණු හතරකි:
පළමු ආර්යසත්‍යය: සැබෑ ගැටලු
ජීවිතයේ බොහෝ ආශ්වාදයන් ඇති නමුත් - කුඩාම කෘමිසත්ත්වයාගේ සිට, යන-එනමං අහිමි තැනැත්තා, බිලියනපතියා දක්වා - සෑම අයෙක්ම ගැටලුවලට මුහුණ දෙති. උපතේ සිට මරණය දක්වා කාලය තුළ, අපි වයසට යමු, ලෙඩ වෙමු. එසේම අපේ ප්‍රියතමයෝ මියයති. අපට අවශ්‍ය දේ නොලැබීම, නැතිනම් අවශ්‍ය නැති දේ ලැබීම නිසා අපි බලාපොරොත්තු කඩවීමට, කලකිරීමට මුහුණ දෙමු.
දෙවන ආර්යසත්‍යය: ගැටලුවලට සැබෑ හේතුව
අපගේ ගැටලු ඇති වන්නේ සංකීර්ණ හේතුප්‍රත්‍යයන්ගෙනි. එහෙත් පරම හේතුව නම් යථාර්ථය පිළිබඳව ඇති අපේම අවිද්‍යාව (නොදන්නාකම) බව බුදුන්වහන්සේ දේශනා කළහ: එනම්, පැවැත්ම පිළිබඳ අසම්භාව්‍ය ක්‍රම අපේ මනස මඟින් අප මතත්, සියලු දෙනා මතත්, සෙසු සියල්ල මතත් ප්‍රතිනිර්මාණය කර පෙන්වීමය (නොපවතින දෙයක් පවතින බව අපේ මනස විසින් ඒත්තු ගැන්වීමය).
තෙවන ආර්ය සත්‍යය: ගැටලුවල සැබෑ නැවතුම
අපගේම නොදන්නාකම හෙවත් ගැටලුවල හේතුව නැති කර දැමීමෙන් නැවත අපට කිසිදිනෙක අත්විඳීමට නොහැකි වන පරිදි අපේ සියලු ගැටලුවලින් අපට නිදහස් වීමට හැකි බව බුදුන්වහන්සේ දුටහ.
සිව්වන ආර්ය සත්‍යය: සැබෑ මානසික මාර්ගය
යථාර්ථය නිවැරදිව අවබෝධ කරගැනීමෙන් අප අවිද්‍යාව දුරුකළ විට ගැටලු නවතියි. හැම කෙනෙකුම ඔවුනොවුන් හා සම්බන්ධ බව, එකෙකා මත යැපෙන බව අවබෝධ කරගැනීමෙන් අපි මෙය කරමු. මේ පදනම මත පිහිටා අපි සියලු සත්ත්වයන් වෙත සමානව මෛත්‍රිය සහ කරුණාව වඩමු. අපද අන් අයද පවතින්නේ කෙසේද යන කරුණ ගැන අපේ මෝහය ඉවත් කරගත් විට, අපටත් අන් අයටත් ඵලදායී ලෙස ක්‍රියා කිරීමට අපට හැකියාව ලැබේ.
බුදුන්වහන්සේගේ ඉගැන්වීම්වල පරාසය
දලයි ලාමා වහන්සේ බුදුදහම කොටස් තුනකට වෙන්කර දක්වයි.
- මනස පිළිබඳ බෞද්ධ විද්‍යාව –ඒකපුද්ගල අත්දැකීමට අනුව බලන විට, ප්‍රත්‍යක්ෂය, චින්තනය සහ මනෝභාව ක්‍රියා කරන අයුරු
- බෞද්ධ දර්ශනය – සදාචාරය, තර්කශාස්ත්‍රය, සහ බුදුදහමේ යථාර්ථාවබෝධය
- බෞද්ධ ආගම – අතීත සහ අනාගත භවයන් ගැන, කර්මය ගැන, අභිචාර සහ පුදපූජා ගැන විශ්වාසය
ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂය, සමාධිය, අවධානය, සතිපට්ඨානය සහ ස්මෘතිය යන කරුණුද ඇතුළත් මනසේ ප්‍රතිජානන කාර්යයන්ද ධනාත්මක සහ ඍණාත්මක මනෝභාවයන්ද පිළිබඳ පළල් සිතියමක් සපයා දීම මඟින් බෞද්ධ විද්‍යාව නූතන ස්නායුවිද්‍යාවට සහයෝගිතාවක් දක්වයි. ධනාත්මක ස්නායුවේදී මංමාවත් සකස් කිරීම මඟින් අපට අපේ මනසේ ඵලදායී හැකියාවන් වැඩිදියුණු කරගත හැකිය.
බෞද්ධ චින්තනය ශ්‍රද්ධාවට වඩා පර්යේෂණය මත විශ්වාසය රඳවාගන්නා නිසා විද්‍යාත්මක සොයාගැනීම් බෞද්ධ චින්තනයට ඉතා උපකාරීය. – 14 වන දලයි ලාමා වහන්සේ
කායික මට්ටමේදී, බොහෝ රෝගවලට ප්‍රතිකාර ඇති විදග්ධ වෛද්‍යක්‍රම පද්ධතියක්ද බෞද්ධ විද්‍යාවටම ඇතුළත් වේ. බාහිර වශයෙන්, ක්වොන්ටම් භෞතිකවිද්‍යාවට බොහෝ සෙයින් සමාන වූ පදාර්ථයේ සහ ශක්තියේ විස්තීර්ණ විශ්ලේෂණයක් එය ඉදිරිපත් කරයි. ආරම්භයක් නැති වර්තමාන විශ්වය මුල් කොට ඇති විශ්වයන් ප්‍රවාහයක් ගැන තහවුරු කරමින්, එය විශ්වයේ ආරම්භය, පැවැත්ම සහ අවසානය ගැනද සාකච්ඡා කරයි.
අන්‍යෝන්‍ය රඳාපැවැත්ම, සාපේක්ෂකත්වය, සහ හේතුඵලතාව වැනි මාතෘකා පිළිබඳව බෞද්ධ දර්ශනය විමසා බලයි. අපගේ වැරදි මානසික ප්‍රක්ෂේපණයන් හඳුනා ගැනීමට උපකාර කරන, කුලකවාදය සහ විවාදය මත පදනම් වූ සවිස්තරාත්මක තර්ක පද්ධතියක්ද එය ඉදිරිපත් කරයි.
තමාටත්, අන් අයටත් හිතකර වන දේත් හානිකර වන දේත් වෙන් කොට දැක්වීම මත බෞද්ධ සදාචාරය පදනම් වී ඇත.
අප විශ්වාසවන්තයන්ද නැතිනම් අඥේයවාදීන්ද යන්න නොසලකා, අප දෙවියන් පිළිබඳ නැතිනම් කර්මය පිළිබඳ විශ්වාස කරනවාද යන්න නොසලකා, සෑම අයෙකුටම සදාචාර සම්පන්න විය හැකිය – 14 වන දලයි ලාමා වහන්සේ
අන් අයට හානියක් සිදු නොකර සිටීමට හැකි උපරිමයෙන් උත්සාහවන්ත වීම සමගම, කරුණාව, අවංකකම, ත්‍යාගශීලි බව සහ ඉවසීම යන මූලික මිනිස් වටිනාකම් අගය කිරීමත් වැඩීමත් සමග එය සම්බන්ධ වේ.
කර්මය, අතීත සහ අනාගත භවයන්, පුනරුත්පත්ති යාන්ත්‍රණය, පුනරුත්පත්තියෙන් විමුක්තිය ලැබීම, සහ නිර්වාණය ළඟා කරගැනීම යන මාතෘකා පිළිබඳව බෞද්ධ ආගම ක්‍රියා කරයි. පිරිත්කීම, භාවනා කිරීම, වන්දනාමාන කිරීම යනාදි වත්පිළිවෙත්ද මෙයට ඇතුළත්ය. සෑම සම්ප්‍රදායකටම, මුල්බුද්ධ දේශනා මත පදනම් වූ, ඒ අයටම අවේණික වූ කෘති ඇති බැවින්, “බෞද්ධ බයිබලය” වැනි එක් ශුද්ධ වූ ග්‍රන්ථයක් මෙහි නැත.
මිනිසුන්ට ඕනෑම තැනක, ඕනෑම වෙලාවක වන්දනාමනා කළ හැකි නමුත් බොහෝ දෙනෙක් එය පංසලේදී හෝ නිවෙස්වල බුදුමැදුර ඉදිරියේදී හෝ සිදුකරති. වන්දනාමාන කිරීමේ අරමුණ ප්‍රාර්ථනා සඵල කරගැනීම නොව, අපගේ ආධ්‍යාත්මික ශක්තිය, ප්‍රඥාව සහ කරුණාව අවදි කරගැනීමය.
ආහාර සම්බන්ධයෙන් නීතිරීති නැති නමුත් බොහෝ ගුරු හාමුදුරුවරු තම අනුගාමිකයන් හැකිතාක් ශාකභක්ෂක වන ලෙස උනන්දු කරවති. එසේම බුදුන්වහන්සේම තම අනුගාමිකයන්ට මත්වතුර සහ මත්-ද්‍රව්‍ය භාවිත නොකරන්නට උපදෙස් දුන්හ. බෞද්ධ ශික්ෂණය අපගේ සිහි-එලවා සිටීම සහ ආත්මදමනය අරමුණු කොට ඇත. බීමත්ව හෝ වෙනත් අයුරකින් මත් ව සිටින විට සාමාන්‍යයෙන් අපට එ්වා නැති වී යයි.
බුදුදහමට භික්ෂූන් සහ භික්ෂුණීන් සහිත ශ්‍රමණ සම්ප්‍රදායයක් ඇත. ඔවුහු පූර්ණ බ්‍රහ්මචර්යාව සහිතව සිය ගණනක් ශික්ෂාපද රකිති. හිසමුඩු කොට ගෙන, සිවුරු දරාගෙන, අධ්‍යයනය කිරීම, භාවනා කිරීම සහ ගිහි ජනතාව උදෙසා වන්දනා කටයුතුද පුදපූජා කටයුතුද සිදුකරන ශ්‍රමණ සමාජය තුළ ඔවුහු ජීවත් වෙති. අද වන විට, බොහෝ ගිහි පිංවත්හුද බෞද්ධ මධ්‍යස්ථානවල බුදුදහම හදාරමින් සහ භාවනාව පුහුණු කරමින් සිටිති.
බුදුදහම සැමට විවෘතය
අප වැනිම මිනිසෙකු වූ බුදුන්වහන්සේ සැබැවින්ම අප පවතින ආකාරය ගැන යථාර්ථය දුටහ. උන්වහන්සේගේ සියලු දුර්වලකම් මැඩපවත්වා උන්වහන්සේගේ පූර්ණ ශක්‍යතාව අවබෝධ කරගත්හ; බුදුදහමේදී අපි මෙය “සම්බුද්ධත්වය” ලෙස හඳුන්වමු. නිකම්ම අත වනා අපේ සියලු ගැටලු දුරුකරවන්නට බුදුන්වහන්සේට නොහැකිය. ඒ වෙනුවට, අපේ ජීවන ගැටලුවලින් නිදහස් වීම පිණිස අපට අනුගමනය කළ හැකි, ඒ වගේම අපේ මනසේ මෛත්‍රිය, කරුණාව, ත්‍යගශීලි බව, ප්‍රඥාව සහ තවත් එවැනි බොහෝ ගුණධර්ම වර්ධනය කරගත හැකි මඟ උන්වහන්සේ පෙන්වූහ.
සාංස්කෘතික පසුබිම සහ ආගම කුමක්ද යන්න නොසලකා, මෙම ගුණධර්ම වර්ධනය කරගන්න අයුරු ගැන දැක්වෙන ඉගැන්වීම් සැම දෙනාටම විවෘතය. එකම දෙවිකෙනෙකු හෝ දෙවියන් කෙරෙහි හෝ විශ්වාස කිරීම බුදුදහමට අදාළ නැත. එහෙත්, අප වටිනා යමක් මිලදී ගන්නා විට සිදුකරන මෙන් මෙම ඉගැන්වීම් පරීක්ෂා කර බලන මෙන් එය ඉල්ලා සිටියි. එම ආකාරයෙන්, බුදුන්වහන්සේගේ ඉගැන්වීම්වල සාරය - සදාචාරය, කරුණාව සහ ප්‍රඥාව - අපි අගය කිරීමට යොමු වෙමු. එහිදී අපි ස්වභාවිකවම අපටත් අන් අයටත් හිංසාකාරී ක්‍රියාවලින් වැළකෙන අතර ඵලදායී වන ධනාත්මක දේවල සක්‍රීයව නියැළෙමු. අප සෑම දෙනෙකුම කැමති වන සතුට සහ යහපැවැත්ම වෙත මෙමඟින් යොමු විය හැකිය.