පුනර්භවය යනු කුමක්ද?

සෙසු ඉන්දියානු ආගම් සම්බන්ධයෙන් මෙන්ම, බුදු දහම තුළද පුනරුත්පත්තිය හෝ පුනර්භවය පිළිබඳ අවධාරණය කෙරේ. පුද්ගලයෙකුගේ සහජ හැඟීම්, දක්ෂතා ආදියද සහිත චිත්ත සන්තතිය පෙර භවයන්ගෙන් පැමිණ මතු භවයන් දක්වාද විහිදේ. පුද්ගලයාගේ ක්‍රියාවන් හා එ්වා මගින් ගොඩනැගෙන නැමියාවනට අනුව, වඩා යහපත් හෝ අයහපත් වූ සුවිශාල ජීවන ආකෘති ගණනාවක් අතුරින් ඕනෑම එකක එම පුද්ගලයා පුනරුත්පත්තිය ලැබිය හැක: මනුෂ්‍යයෙකු, සිවුපාවෙකු, කෘමියෙකු හෝ ප්‍රේතයෙකු හා අනෙකුත් අදෘශ්‍යමාන තලයන්හි ආදී වශයෙනි. සියලු සත්ත්වයෝ ඔවුන්ගේ කැළඹිලිකාරී ආකල්පයන්හි බලපෑම හේතුකොට පාලනය කළ නොහැකි පුනරුත්පත්තීන් අත් විඳිති. අතීත චර්යා රටාවන් හේතුකොට සිත තුළ ඉස්මතුවන පාපකාරී ආවේග අනුව කටයුතු කරන්‌නේ නම්, එහි ප්‍රතිඵලයක් ලෙස දුක හා අසතුට අත් විඳීමට සිදුවනු ඇත. අනෙක් අතින්, පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වුවහොත්, සතුට අත් විඳීමට හැකිවේ. පිළිවෙලින් එන පුනරුත්පත්තීන්හි එක් එක් පුද්ගලයා විසින් අත් විඳිනු ලබන සතුට හෝ අසතුට, එ් අනුව, ත්‍යාගයක් හෝ දඬුවමක් නොව චර්යාත්මක හේතු ඵල න්‍යායට අනුව එම පුද්ගලයාගේ පෙර ක්‍රියාවන් මගින් නිර්මාණය කරන ලද දේය.

පුනරුත්පත්තිය වටහාගත හැක්කේ කෙසේද?

කිසිවක් හෝ සත්‍යදැයි වලංගු ලෙස දැනගනුයේ කෙසේද? බෞද්ධ දේශනාවනට අනුව, දේවල් දෙ ආකාරයකින් හඳුනාගත හැක: සෘජු හඳුනා ගැනීම හා අරුත් ගන්වා පැහැදිලි කරගැනීම වශයෙනි. රසායනාගාරයක අත්හදා බැලීමක් සිදු කිරීමේදී සෘජු හඳුනා ගැනීමක් මගින් යමක පැවැත්මට වලංගුභාවයක් ලබාදිය හැක. නිදසුනක් ලෙස, අන්වීක්ෂයකින් නිරීක්ෂණය කිරීමෙන් අපට හුදෙක් අපගේ ඉන්ද්‍රිය මගින් ජල බිඳුවක කුඩා ක්ෂුද්‍ර ජීවීන් ගණනාවක් සිටින්නේය යන කරුණ සැබෑ බව දත හැක.

කෙසේ වුවද, ඇතැම් දේ සෘජු වැටහීම තුළින් දත හැක. කාන්දමක් හා යකඩ ඉදිකටුවක් හැසිරීම තුළින් තේරුම් යන පරිදි චුම්බකත්වයේ පැවැත්ම දැනගන්නාක් මෙන් අපට තර්කණ ඥාණය, හේතු දැක්වීම හා අරුත් තේරුම් ගැනීම මත රඳා පැවැත්මට සිදුවේ. පුනරුත්පත්තිය සෘජු ඉන්ද්‍රිය අවබෝධය තුළින් සනාථ කිරීම ඉතා දුෂ්කර කාර්යයකි. කෙසේ වුවද, සිය අතීත භවයන් සිහි කළ හැකි හා තමා සතුව පැවති දේ හෝ දැන සිටි පුද්ගලයන් හඳුනා ගැනීමට හැකියාව ඇති පුද්ගලයන් පිළිබඳ බොහෝ නිදසුන් ඇත. එතුළින් පුනරුත්පත්තියේ පැවැත්ම වටහාගත හැකි නමුත් මෙම නිගමනය සැක කොට එය ප්‍රයෝගයක් බව සිතන්නාවූ අය සිටිය හැක.

පෙර භවයන් සිහි කිරීම පිළිබඳ එම විස්තර පසෙක තැබුවහොත්, පුනරුත්පත්තිය වටහාගනු පිණිස අපට තර්ක ශාස්ත්‍රයේ පිහිට පැතිය හැක. පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් ප්‍රකාශ කොට ඇති පරිදි යම් කරුණු යථාර්ථය හා අනුගත නොවේ නම්, එ්වා බුදු දහම තුළින් පරීක්ෂාකර බැලිය හැක. මෙය පුනරුත්පත්තියටද අදාල වේ. සත්‍ය වශයෙන්ම, උන් වහන්සේ විසින්ද මුළදී මෙම ප්‍රකාශය සිදුකරන ලද්දේ එම සන්දර්භය තුළය. පුනරුත්පත්තියක් නොමැති බව විද්‍යාඥයන් හට සනාථ කළ හැක්කේ නම්, පුනරුත්පත්තිය සත්‍ය බවට විශ්වාස කිරීම අත්හළ යුතුවේ. එසේ වුවද, එය සාවද්‍ය බවට විද්‍යාඥයින් හට සනාථ කළ නොහැක්කේ නම්, ඔවුන් තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක විධික්‍රම අනුගමනය කරන බැවින්, හා එය නව දේ වටහා ගැනීමේ විවෘත ක්‍රමයක්ද වන බැවින්, එය පවත්නේද යන කරුණ ඔවුන් විසින් විමර්ශනය කර බැලිය යුතුය. පුනරුත්පත්තියක් නොපවත්නේය යන කරුණ සනාථ කරනු පිණිස ඔවුනට එහි නොපැවැත්ම සොයා ගැනීමට සිදුවේ. හුදෙක් "මාගේ පියවි ඇසට නොපෙනෙන බැවින් පුනරුත්පත්තියක් නොපවතී" යැයි පැවසීම පුනරුත්පත්තියක නොපැවැත්ම සොයා ගැනීමක් නොවේ. චුම්බක බලය හා ගුරුත්වාකර්ශනය ඈ අපට අපගේ දෑසින් දැකිය නොහැකි බොහෝ දේ පවතී.

පුනරුත්පත්තියක් පවත්නේද, නැත්ද යන කරුණ සම්බන්ධ හේතු දැක්වීමේ විධි

පුනරුත්පත්තියක් නොපවත්නේය යන කරුණ සනාථ කිරීමට විද්‍යාඥයන් හට නොහැක්කේ නම්, ඔවුන් විසින් එ් අනුව පුනරුත්පත්තියක් සැබැවින්ම පවත්නේද යන්න විමර්ශනය කර බැලීම සිදු කිරීම යෝග්‍යය. විද්‍යාත්මක ක්‍රමය වනුයේ යම් දත්ත මත පදනම්ව න්‍යායක් උපකල්පනය කොට ඉන්පසු එය ඔප්පු කළ හැක්කේද යන්න පරීක්ෂාකර බැලීමයි. එබැවින්, අපි දත්ත විමසා බලන්නෙමු. නිදසුනක් ලෙස, අත දරුවන් හිස් කැසට් පට සේ උපන්නේයැයි අපි නොසිතන්නෙමු. ඉතා ළදරු වියේ පටන් ඔවුන් සතුව ඇතැම් ගති පුරුදු හා පෞරුෂ ලක්ෂණ නිරීක්ෂණය කළ හැක. එ්වා පැමිණෙන්නේ කොහේ සිටද?

එ්වා දෙමවුපියන්ගේ ශාරීරික සාරයන්හි පූර්ව අඛන්ඩතාවයන්ගෙන්, ශුක්‍රාණුවලින් හා ඩිම්බයන්ගෙන් පැමිණෙන බව හුදෙක් ප්‍රකාශ කිරීමේ අර්ථයක් නොමැත. එකට එක්වන සෑම ශුක්‍රාණුවක් හා ඩිම්බයක්ම ඩිම්බ කෝෂයක් තුළ කලලයක් දක්වා වර්ධනය නොවේ. ඔවුන් ළදරුවෙකු බවට පත්වන හා නොවන අවස්ථා අතර වෙනස ඇති කරනුයේ කවර බලවේගයක් විසින්ද? දරුවා තුළ විවිධ ගති පුරුදු හා සහජාශයන් ඇති කරන්නේ කවරක් විසින්ද? එය ඩී.එන්.ඒ. හා ජාන මගින් බව අපට පැවසිය හැක. මෙය භෞතික පාර්ශ්වයයි. දරුවෙකු උත්පත්තිය ලබන භෞතික පාර්ශ්වය මෙයය යන්න කිසිවෙකු හෝ ප්‍රතික්ෂේප නොකරනු ඇත. එසේ වුවද, අත්දැකීම් සම්බන්ධ පාර්ශ්වය කවරාකාරද? සිතෙහි ක්‍රියාකාරිත්වය අදාල කරගනුයේ කෙසේද?

"සිත" යන අදහස දෙන Mind යන ඉංග්‍රීසි වචනය තුළ සැබෑ ලෙස පරිවර්තනය විය යුතු සංස්කෘත හා ටිබෙට් යෙදුම්වල අන්තර්ගත අදහසම ගම්‍ය නොවේ. මුල් භාෂාවල, 'සිත' යන්නෙන් චිත්ත සිදුවීම් හෝ ක්‍රියාකාරිත්වය සිදුකරන එ්කකය යන අදහසට වඩා එම සිදුවීම් හෝ ක්‍රියාකාරිත්වය අදහස් වේ. මෙම ක්‍රියාකාරිත්වය හෝ සිදුවීම යනු සිතිවිලි, රූප, ශබ්ද, හැඟීම්, භාවයන් ආදිය ඥානමය වශයෙන් ඉස්මතු වීම, එ්වා දැකීම, ඇසීම, වටහා ගැනීම හා වටහා නොගැනීමද වේ.

ඥානනමය ද්‍රව්‍ය ඉස්මතු වීම හා අදාලත්වය සම්බන්ධ මෙකී මානසික ක්‍රියාකාරිත්වය පැමිණෙන්නේ කොහේ සිටද? මෙහිදී සිරුර පැමිණෙන්නේ කොහේ සිටද යන්නක් නොවිමසන්නෙමු, මක් නිසාද, පැහැදිලිවම එය මවුපියන්ගෙන් ලැබෙන බැවිනි. බුද්ධිය ආදී කරුණු පිළිබඳවද මෙහිදී කථා නොකරමු, මක් නිසාද එයටද ජානමය පදනමක් පවත්නේය යන තර්කය ඉස්මතු කළ හැකි බැවිනි. කෙසේ වුවද, චොක්ලට් අයිස් ක්‍රීම් සඳහා යමෙකු තුළ පවත්නා කැමැත්ත එම පුද්ගලයාගේ ජාන තුළින් ඉස්මතු වන්නේයැයි පැවසීම කාරණය පමණ ඉක්මවා විදහා ලීමකි.

අපගේ ඇතැම් අභිලාශයන් අපගේ පවුල් හෝ අප සිටින ආර්ථික හෝ සමාජමය තත්ත්වයන්හි බලපෑමට ලක්වන බව පැවසිය හැක. මෙම සාධකයන් මගින්ද අනිවාර්ය බලපෑමක් ඇතිවන නමුත් අප සිදු කරන සියලු දේ එයාකාරයෙන් විස්තර කිරීම දුෂ්කරය. නිදසුනක් ලෙස, මා දරුවෙකු ලෙස යෝග අභ්‍යාසයනට කැමති වූයේ ඇයි? මාගේ පවුලේ කිසිවෙකු හෝ මාගේ සමාජයේ කිසිවකුදු එසේ නොවීය. මා ජීවත් වූ ප්‍රදේශයේ මෙම විෂය පිළිබඳ ලියැවුණු ඇතැම් පොත්පත් තිබූ අතර, එ් අනුව සමාජයෙන් යම් බලපෑමක් වූ බව ඔබට පැවසිය හැකි නමුත් හතා යෝගය පිළිබඳ වූ එම නිශ්චිත පොතට මා ඇලුම් කළේ මන්ද? මා එය තෝරා ගත්තේ මන්ද? එය වෙනමම පැනයකි. දේවල් හුදෙක් අහඹු ලෙසම සිදුවන්නේද, වාසනාව හෝ අවාසනාව විසින් එම කාර්යයන් සිදු කරන්නේද හෝ සියල්ල අන් අයුරකින් විග්‍රහ කළ හැකිද?

පුද්ගල චිත්ත ක්‍රියාකාරිත්වය පැමිණෙනුයේ කවර ස්ථානයකින්ද?

මේ සියල්ල පසෙක තබා ප්‍රධාන පැනයට නැවත පිවිසෙමු: ඥාණමය ද්‍රව්‍ය හා එ්වා හා සම්බන්ධ ඥාණමය සහ සම්බන්ධය පැමිණෙනුයේ කොහෙන්ද? ජීවන පුළිඟුව පැමිණෙනුයේ කවර ස්ථානයකින්ද? ශුක්‍රාණුවක් හා ඩිම්බයක් එක්වීමෙන් ජීවිතයක් සැබෑ ලෙසම ඇති කරනුයේ කවරක් විසින්ද? එය මනුෂ්‍යයෙකු බවට පත් කරනුයේ කවරක් විසින්ද? සිතිවිලි හා දැක්ම යන දේ ඉස්මතු වීමට අවකාශ සලසනුයේ කවරක් විසින්ද හා එ්වා සමගින් ඥාණනමය සම්බන්ධතාවයක් ඇති කරනුයේ කවරක් විසින්ද? මොළයේ රසායනික හා විද්‍යුත් ක්‍රියාකාරිත්වයේ අත්දැකීම් ආශ්‍රිත පාර්ශ්වය කවරක්ද?

ළදරුවෙකුගේ මානසික ක්‍රියාකාරිත්වය ඔහුගේ මාපියන් වෙතින් එන්නක් සේ සැලකීම දුෂ්කර වේ. එය එසේ නම් දෙමවුපියන්ගෙන් එය ලැබෙනුයේ කවරාකාරයෙන්ද? එයට සම්බන්ධ යම් යාන්ත්‍රණයක් පැවතිය යුතුය. දේවල් පිළිබඳ දැනුවත්භාවය විසින් පෙන්වා දෙනු ලබන එම ජීවන දැල්ල ශුක්‍රාණුවක් හා ඩිම්බයක් ලැබෙන පරිදි මවුපියන්ගෙන්ම එන්නක්ද? එය සුරතාන්තයත් සමගින් පිටවන්නක්ද? නොඒසේ නම් ඩිම්බනීහරණයත් සමගින් පිටවන්නක්ද? එය පැවතියේ ශුක්‍රාණුවේද, ඩිම්බයේද? එය මවුපියන් වෙතින් එනුයේ කවර අවස්ථාවේදීද යන කරුණ සම්බන්ධ තාර්කික, විද්‍යාත්මක පෙන්වා දීමක් ඉදිරිපත් කළ නොහැක්කේ නම්, අපට පැනයට වෙනත් විසඳුමක් සෙවීමට සිදුවේ.

සම්පූර්ණයෙන්ම තර්ක ශාස්ත්‍රානුකූලව සලකා බැලුවහොත්, සියලු ක්‍රියාකාරිත්ව සංසිද්ධීන් එ්වාහිම අඛන්ඩතාවය හෙවත් එම සංසිද්ධිමය කාණ්ඩයටම අයත් යම් කිසිවක එයට පෙර මොහොතකින් පැන නගින බව පෙනේ. නිදසුනක් ලෙස, යම් ද්‍රව්‍යයක් වේවා, ශක්තියක් වේවා, යම් භෞතික සංසිද්ධියක් එම ද්‍රව්‍යයේ හෝ ශක්තියේ එයට පෙර මොහොතක් තුළින් පැන නගී. එය සන්තතියක් හෙවත් අඛන්ඩ පැවැත්මකි.

නිදසුනක් ලෙස තරහ හෙවත් කෝපය සලකා බලමු. අපට තරහා ස්වභාවයක් ඇතිවූ විට දැනෙන භෞතික ශක්තිය පිළිබඳ කථා කළ හැකි අතර එය එක් පාර්ශ්වයකි. කෙසේ වුවද, තරහ අත් විඳීමේ මානසික හෙවත් චිත්ත ක්‍රියාකාරිත්වය සලකා බලන්න - භාවය ඉස්මතුවීම අත්දැකීම හා එ් පිළිබඳව සතිමත් හෝ අසතිමත් දැනුවත්භාවය සලකන්න. තරහව සම්බන්ධ පුද්ගලයෙකුගේ අත්දැකීමකට මෙම ජීවිත කාලය තුළ එහි අඛන්ඩතාවට අදාල පෙර අවස්ථාවන් පවත්නා නමුදු එයටද පෙර එය පැමිණියේ කවර ස්ථානයකින්ද? එය එක්කෝ මව්පියන් වෙතින් පැමිණිය යුතු නමුදු, එය සිදුවන ආකාරය විස්තර කිරීමේ යාන්ත්‍රණයක් පවත්නා බවක් නොපෙනේ. නොඑසේ නම්, එය මැවුම්කාර දෙවි කෙනෙකු වෙතින් පැමිණිය යුතුය. කෙසේ වුවද, ඇතැම් අය හට, සර්ව බලධාරී දෙවි කෙනෙකු විසින් සිදුකරන මැවීම් පිළිබඳ සිදුකරන විග්‍රහයන් අතර පවත්නා තර්කානුකූල නොගැලපීම් මගින් ගැටළු ඇති කරයි. මෙම ගැටළු වළකාලනු පිණිස ගත හැකි විකල්ප අදහස ලෙස, ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතයේ පළමු කේන්තිය පිළිබඳ අවස්ථාව එහිම පෙර අඛන්ඩතා අවස්ථා තුළින් ඉස්මතුවන බව පැවසිය හැක. පුනරුත්පත්ති න්‍යාය මගින් විග්‍රහ කරනුයේද මෙම කරුණයි.

සිනමා පට උපහැරණය

සිනමා පටයක් පිළිබඳ උපහැරණයකින් පුනරුත්පත්තිය වටහා ගැනීමට උත්සාහ කළ හැක. සිනමා පටයක් යනු සිනමා රාමු සන්තතියක් වන්නාක් මෙන්ම අපගේ චිත්ත සන්තතිය හෙවත් චිත්ත ධාරාවන්ද ජීවිත කාලයක හෝ එක් ජීවිතයකින් අනෙක දක්වා වූ සංසිද්ධීන් පිළිබඳ දැනුවත්භාවයේ නොකඩවා සිදුවන අවස්ථා පිළිබඳ චලන සන්තතීන් වේ. පුනරුත්පත්තිය ලබන්නාවූ "මා" හෝ "මාගේ සිත" ලෙස වූ දෘඪ වූද, සොයාගත හැකි වූද අස්ථිත්වයක් නොමැත. පුනරුත්පත්තිය යනු වාහක පටියක් මත හිඳ එක් ජීවිතයකින් අනෙක දක්වා ගමන් කරන කුඩා පිළිමයක් සම්බන්ධ උපහැරණයක් මෙන් නොවේ. එයට වඩා එය නිරන්තරයෙන් වෙනස් වන්නාවූ සිනමා පටයක් මෙනි. එක් එක් රූප රාමුව එකිනෙකින් වෙනස් වුවද, එහි අඛන්ඩතාවයක් ඇත. එක් රූප රාමුවක් අනෙකට සම්බන්ධ වේ. එ් හා සමානවම, ඇතැම් අවස්ථාවන් විඥාණයට නොදැනෙන්නේ වුවද, සංසිද්ධීන් පිළිබඳ දැනුවත්භාවයට අදාල අවස්ථාවන්හි නිරන්තරයෙන් වෙනස් වන්නාවූ අඛන්ඩතාවයක් පවතී. තවද, සියලු සිනමා පට සිනමා පටම වුවද එකම සිනමා පටයක් නොවන්නාක් මෙන්ම, සියලු චිත්ත සන්තතීන් හෝ "සිත්" ද එක් සිතක් නොවේ. සංසිද්ධීන් පිළිබඳ දැනුවත්භාවයේ අඛන්ඩතාවයට අදාල එක් එක් ධාරා නොගිණිය හැකි සංඛ්‍යාවක් පවත්නා අතර එ් එක එකක් එහි දෘෂ්ටි කෝණයෙන් ගත්කල "මා" ලෙස ලේබල්ගත කළ හැක.

පුනරුත්පත්තියට අදාල පැනය හා සම්බන්ධව විමර්ශනය කිරීම ආරම්භ කරන්නාවූ හේතු දැක්වීම් මාර්ග මේවා වේ. යම් න්‍යායක් මගින් තාර්කික අදහසක් ඇති කරන්නේ නම්, එවිට පෙර භවයන් සිහි කළ හැකි අය සිටින්නේය යන කරුණ පිළිබඳ වඩාත් බරපතල ලෙස සලකා බැලිය හැක. මෙයාකාරයෙන්, හේතු සාධක සහිත ප්‍රවේශයක් මගින් පුනරුත්පත්තියේ පැවැත්ම පරීක්ෂා කරන්නෙමු.

පුනරුත්පත්තිය ලබන්නේ කවරක්ද?

බුදු දහමට අනුව, එක් ජීවිතයකින් තවත් ජීවිතයකට වාහකයක පටිය මත හිඳිමින් ගමන් කරන කුඩා බදාම පිළිමයක් හෝ පුද්ගලයෙකු මෙන් පුනරුත්පත්තිය පිළිබඳ උපහැරණය ආත්මයක් සම්බන්ධ වූවක් නොවේ. වාහක පටිය මගින් කාලය නියෝජනය කෙරෙන අතර, එමගින් අඟවන රූපකය නම් කාලය හරහා ගමන් කරන්නාවූ යම් ගණ දෙයක්, නිශ්චිත පුද්ගලයෙකු හෝ "මා" ලෙස හඳුන්වන ආත්මයක් හෝ වේ: "දැන් මා තරුණයි, දැන් මා වයසයි; දැන් මා මේ ජීවිතය ගත කරනවා, දැන් මම අර ජීවිතය ගත කරනවා" ආදී වශයෙනි. බෞද්ධ පුනරුත්පත්ති සංකල්පය මෙය නොවේ. එ් වෙනුවට, එයට අදාල උපහැරණය සිනමා පටයක උපහැරණයට සමාන වේ. සිනමා පටයක චලනයක් හෙවත් අඛන්ඩතාවයක් පවතී; රූප රාමු මගින් අඛන්ඩතාවයක් ඇති කරයි.

මා ඔබ බවට පත්වන බවක් හෝ අප සියලු දෙනා එක් අයෙකු බවක්ද බුදු දහම තුළ ප්‍රකාශ නොවේ. අප සියලු දෙනා එක් අයෙකු වීනම්, හා මා ඔබ වීනම්, එවිට අප දෙදෙනාටම කුසගිනි දැනෙන විට ඔබ මෝටර් රථයේ සිටින අතර අප දෙදෙනාම වෙනුවෙන් මට ගොස් ආහාර ගත හැක. එහි එවැනි අදහසක්ද නොමැත. අප එකිනෙකා තුළ අපටම අනන්‍ය අඛන්ඩතා ධාරාවන් පවතී. මාගේ චලන චිත්‍රයේ එන සිද්ධි පෙළ ඔබගේ චලන චිත්‍රය හා බද්ධ නොවන නමුත්, එ්වා දැඩි, රළු හා ස්ථාවර ස්වභාවයේ එ්වා නොවන බැවින් අපගේ ජීවිතද චිත්‍රපට මෙන් ඉදිරියට ගමන් කරයි. ජීවිතය එක් රාමුවකින් තවෙකකට ගමන් කරයි. කර්මානුරූපව එය යම් අනු පිළිවෙලක් අනුව ගමන් කරන අතර, එ් හරහා අඛන්ඩතාවයක් නිර්මාණය කරයි.

සෑම අඛන්ඩතාවයක්ම යම් පුද්ගලයෙකු වන අතර "මා" ලෙස හැඳින්විය හැක; එක් එක් අඛන්ඩතාවය කිසිවෙකු හෝ නොවන බවක් පැවසිය නොහැක. චිත්‍රපටයක නාමය මගින් සමස්ත චිත්‍රපටයම හා එතුළ වූ එක් එක් රූප රාමුවද ඇඟවෙන නමුදු එ් එක් එක් රාමුවක් තුළ දැඩි ලෙස බැඳුණු යමක් හඳුනාගත නොහැකිවාක් මෙන් "මා" යන්නෙන් පුද්ගල චිත්ත  සන්තතියක් ද එතුළ වූ එක් එක් මොහොතද හැඳින්වෙන නමුදු, එ් කිසිදු අවස්ථාවක් යම් දැඩිවූ ස්ථාවර දෙයක් ලෙසද හැඳින්විය නොහැක. කෙසේ වුවද, සම්මුතික වූ "මමෙක්" හෙවත් "ආත්මයක්" පවතී. බුදු දහම නාස්තිවාදී සම්ප්‍රදායක් නොවේ.

මනුෂ්‍යයෝ නිරතුරු මනුෂ්‍යයන් ලෙසම උපදිත්ද?

අප මෙහි සාකච්ඡා කරනුයේ චිත්ත ක්‍රියාකාරිත්වය හා අපගේ චිත්ත ක්‍රියාකාරිත්වයේ ලක්ෂණ ලෙස ඉස්මතුවන පොදු සාධක කවරේද යන කරුණු පිළිබඳවයි. මනුෂ්‍ය චිත්ත ක්‍රියාකාරිත්වයේ ලක්ෂණය වනුයේ බුද්ධිය වන අතර, අප දන්නා පරිදි බුද්ධිය "එතරම් බුද්ධිමත් නැති" තත්ත්වයක සිට "ඉතා බුද්ධිමත්" තත්ත්වයක් දක්වා පූර්ණ පරාසයක විහිදිය හැක. එසේ වුවද, මෙම මානසික සාධකයන් මගින් ඉදිරියට ගෙන එන්නාවූ කෝපය, ලෝභය, ඇල්ම, අනවධානය හා බලහත්කාරී චර්යාවන් වැනි චිත්ත ක්‍රියාකාරිත්ව කොටස් වේ. ඇතැම් පුද්ගලයන් තුළ මෙම සාධක ඔවුන්ගේ චිත්ත ක්‍රියාකාරිත්වයෙහි අධිපතිත්වය දරන බැවින් ඔවුන් සිය බුද්ධිය පාවිච්චි කරනු වෙනුවට බොහෝ විට ලෝභය, හෝ කෝපය වැනි දේ පදනම් කොටගෙන මෙහෙයවෙනු ලබයි.

නිදසුනක් ලෙස, සුවිශාල ලිංගික ආශාවකින් පෙළෙන හා අවන්හල්වල ගැවසෙමින් අන් අය හමුවෙමින් හමුවන ඕනෑම අයෙකු සමගින් ලිංගිකව හැසිරෙන අය ඇත - එම පුද්ගලයන් සුනඛයන් මෙන් නොවන්නේද? සුනඛයාද හමුවන ඕනෑම සුනඛ ධේනුවක් මත ඕනෑම අවස්ථාවක නඟිනු ඇත; එම සතා තුළ කිසිදු ස්වයං පාලනයක් නොමැත. මනුෂ්‍යයෙකු එලෙසින් හැසිරෙන්නට වුවහොත් ඔහුද සත්ත්ව මානසිකත්වය ගොඩනගා ගනියි. එ් අනුව, එම පුද්ගලයාගේ ආශාව නමැති චිත්ත ස්වභාවය මතු භවයක චිත්ත ක්‍රියාකාරිත්වය පාලනය කරන ප්‍රබලම මාදිලිය විය හැකි අතර එම චිත්ත ක්‍රියාකාරිත්වයට සුදුසු පදනමක් සහිත සිරුරක ඔහු පුනරුත්පත්තිය ලබනු ඇත. එනම් සත්ත්ව පුනරුත්පත්තියකි.

එ් අනුව, අපගේ චර්යාවන් පිරික්සා බැලීම බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ: "මා මේ වර්ගයේ හෝ එ් වර්ගයේ සතෙකු සේ කටයුතු කරන්නෙම්ද?" මැස්සෙකුගේ විලාසයෙන් සිතන්න. මැසි මානසිකත්වය යනු පූර්ණ ලෙස සිත ඉබාගාතේ යාමකි. මැස්සෙකු හට මොහොතකට වඩා එක් ස්ථානයක රැඳී සිටිය නොහැක; ඌ නිරතුරු චලනය වෙමින්, ගමන් කරමින්, විසුරුණු අවධානයකින් සිටී. අපගේ සිතද එවන් මැසි සිතක්ද? එසේ නම් ඊළඟ ජීවිතයේදී අපේක්ෂා කළ හැක්කේ කවරක්ද? අප බුද්ධිමත් අය ලෙස ඉපිද මනා සිහියක් පවත්වාගනු ඇත්තේ යයි අපේක්ෂා කරමුද?

මේවා මනුෂ්‍යයන් අවශ්‍යයෙන්ම නැවතද මනුෂ්‍යයන් ලෙස ඉපදීමක් සිදු නොවන බව වටහා ගැනීමට උපකාරී වන සිතිවිලි අතරින් සමහරකි. අප බොහෝ වූද විවිධ වූද ජීවිත ආකෘති ගණනාවක් තුළ පුනරුත්පත්තිය ලැබිය හැකි අතර එම මට්ටම් හෙවත් තල නිරන්තරයෙන් ඉහළ පහළ ගමන් කරයි. මනුෂ්‍යයන් වශයෙන් බොහෝ පුණ්‍යවන්ත චර්යාවන් ගොඩනගා ගත්තේ නම්, සතෙකු ලෙස පුනරුත්පත්තිය ලැබුවද පූර්ව සත්ත්ව චර්යා කර්ම බලය ගෙවී යන විටදී අපගේ පෙර පුණ්‍ය බලය වඩා බලවත් වී නැවතද මනුෂ්‍යාත්මභාවයක් ලැබිය හැක. අපි සදාකල් පහළ තලයන්හි ඉපදීම සඳහා සාප ලද්දන්ද නොවෙමු.

චිත්ත ක්‍රියාකාරිත්වය තුළ එය මනුෂ්‍ය චිත්ත ක්‍රියාකාරිත්වය හෝ පුරුෂ හෝ කාන්තා හෝ වෙනයම් වර්ගයක චිත්ත ක්‍රියාකාරිත්වය වශයෙන් නිසග වූ දෙයක් නොපවත්නේය යන කරුණ වටහාගත යුතුය. එය හුදෙක් චිත්ත ක්‍රියාකාරිත්වයයි. එ් අනුව අප සතු පුනරුත්පත්ති වර්ගය කර්මය මත, අපගේ බලහත්කාරී චර්යාව මගින් ගොඩනගන්නාවූ විවිධ ගති පුරුදු මත රඳා පවතී. මතු ජීවිත කාලයන්හිදී එම ගති පුරුදු ක්‍රියාත්මක කරනු පිණිස සුදුසු පදනමක් වශයෙන් ක්‍රියාත්මක වන සිරුරක් අපට ලැබෙනු ඇත.

සාරාංශය

පුනරුත්පත්තිය පිළිබඳ බෞද්ධ කරුණු ඉදිරිපත් කිරීම හේතු දැක්වීම් සහිතව විභාග කර බලන කල්හි, පුද්ගල චිත්ත සන්තතීන් හෙවත් කිසිදින කඩා නොවැටෙන්නාවූ චිත්ත ක්‍රියාකාරිත්වයේ එක් එක් අඛන්ඩතාවය නොකඩවා පවත්වාගන්නාවූ හේතුමය ක්‍රියාවලිය පිරික්සිය යුතුවේ. අපට එළැඹිය හැකි නිගමනය වනුයේ එය එක් එක් ජීවිත කාලය තුළ පෙරදී ගොඩනගා ගත් චර්යාමය ගති පුරුදුද සහිත, ආරම්භයක් නොපෙනෙන පුනරුත්පත්ති ක්‍රියාවලිය වන බවයි.

Top