ආසියාවේ බුදු දහම පැතිරී යාම

කිසිදින මිෂනාරි ව්‍යාපාරයක් ගොඩ නැංවීම සිදු නොකළද, බුදුන් වහන්සේගේ දේශනා පළමුව ගිනිකොනදිග ආසියාවටද, ඉන්පසු මධ්‍යම ආසියාවේ සිට චීනයට හා නැගෙනහිර ආසියාවේ සෙසු ප්‍රදේශයනටද අවසන තිබ්බතයට හා මධ්‍යම ආසියාවේ සෙසු ප්‍රදේශ කරාද සියවස් ගණනාවක් පුරා පැතිරිණි. විදේශ වෙළඳුන්ගේ බෞද්ධ ඇදහීම් කෙරෙහි ප්‍රාදේශීය ජනතාව අතර පැවති කැමැත්ත හේතුකොට එය මෙම ප්‍රදේශයන්හි මූලික වශයෙන් සංවර්ධනය විය. ඇතැම් අවස්ථාවන්හි පාලකයන් විසින් සිය ජනතාව වෙත ආචාර ධර්ම හඳුන්වාදෙනු පිණිස බුදු දහම වැළඳ ගන්නා ලදී. බුදුන් වහන්සේගේ පණිවිඩය ජනතාව වෙත ගෙනයාම තුළ ජනතාව තමාට උපකාරී වූ දේ තෝරාගැනීමේ නිදහස අත්කර ගත්හ.

බුදුන්ගේ දේශනා සාමකාමී ලෙස ඉන්දියානු උප මහාද්වීපය හරහාද ඉන් ඔබ්බට ආසියාව මුළුල්ලේමද පැතිරිණි. නව සංස්කෘතියක් කරා ප්‍රවේශ වූ ඕනෑම අවස්ථාවක, බුද්ධියේ හා කරුණාවේ ආවශ්‍යක අංගවලට හානි සිදු කිරීමකින් තොරව ප්‍රාදේශීය ජනතාවගේ මානසිකත්වයට ගැලපෙන පරිදි  බෞද්ධ ක්‍රම හා විධි නිදහස්ව අනුවර්තනය කරන ලදී. උත්තරීතර නායකත්වයක් යටතේ බුදු දහම කිසිවිටෙක හෝ ආගමික අධිකාරියක සමස්ත ධූරාවලියක් ගොඩ නැංවීම සිදු නොකරන ලදී. එ් වෙනුවට එය පැතිරුණු සෑම රටක්ම එම රටටම අනන්‍ය වූ ආකෘති, ඊට අනන්‍ය ආගමික ව්‍යුහයක් හා අනන්‍ය වූ ආධ්‍යාත්මික නායකත්වයක්ද සකසා ගන්නා ලදී. වර්තමානයේදී, මෙම බලධාරීන් අතර වඩාත් ප්‍රකට හා ජාත්‍යන්තරව පිළිගත් චරිතය වනුයේ තිබ්බතයේ අති පූජනීය දලයි ලාමා වහන්සේය.

ඉතිහාසය කෙටියෙන්

බුදු දහමේ ප්‍රධාන කොටස් දෙකකි: පුද්ගලික මට්ටමේ විමුක්තිය අවධාරණය කරන ශ්‍රාවකයාන (සාමාන්‍ය මට්ටමේ වාහනය යන අර්ථය) හා අන්‍යයන්ගේ යහපත සැලසීමේ හැකියාව ලබාගනු පිණිස සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා කටයුතු කළ යුතු බව අවධාරණය කරන්නාවූ මහායාන (විශාල ප්‍රමාණයේ වාහනය යන අර්ථය) වශයෙනි. මෙකී ශ්‍රාවකයාන හා මහායාන යන දෙ අංශයේම අනු කොටස් ගණනාවක් වේ. වර්තමානයේ ප්‍රධාන ආකෘති තුනක් පමණක් ශේෂව පවතී: ථේරවාද නමින් හැඳින්වෙන ගිනිකොනදිග ආසියාවේ පවත්නා ශ්‍රාවකයානයේ එක් ආකෘතියක් හා චීන හා තිබ්බතීය සම්ප්‍රදායන් ලෙස එන මහායානයේ කොටස් දෙකක් වශයෙනි.

  • ථේරවාද සම්ප්‍රදාය ක්‍රි.පූ. තුන්වන සියවසේදී  ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවටද බුරුමයටද (මියන්මාරය) පැතිරිණි. එහි සිට එය ගිනිකොනදිග ආසියාවේ (තායින්තය, කාම්බෝජය හා ලාඕසය  වැනි) සෙසු ප්‍රදේශවලටද පැතිරිණි.
  • සෙසු ශ්‍රාවකයාන ගුරුකුල වර්තමානයේ පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය ලෙස හැඳින්වෙන රටවලටද, නැගෙනහිර හා වෙරළබඩ ඉරාන තීරයනටද මධ්‍යම ආසියාවටද පැතිරිණි. මධ්‍යම ආසියාවේ සිට ක්‍රි.ව. දෙවන සියවසේදී එ්වා චීනයට පැතිරිණි. මෙම ශ්‍රාවකයාන ආකෘතීන් පසු කාලීනව ඉන්දියාවේ සිට එම මාර්ගය ඔස්සේම පැමිණි මහායාන පාර්ශ්වයන් හා මුහු වූ අතර, අවසානයේ මහායානය චීනයේ හා මධ්‍යම ආසියාවේ බොහෝ ප්‍රදේශවලද ප්‍රධාන බෞද්ධ ආකෘතිය බවට පත්විය. මහායානයේ චීන ආකෘතිය පසු කාලීනව කොරියාව, ජපානය හා වියට්නාමය යන රටවලටද පැතිරිණි.
  • ඉන්දියානු බුදු දහමේ සම්පූර්ණ ඓතිහාසික සංවර්ධනයන් උරුම කරගනිමින් ටිබෙට් මහායාන සම්ප්‍රදාය ක්‍රි.ව. 7වන සියවසේදී ආරම්භ විය. තිබ්බතයේ සිට එය හිමාලයානු කළාපයන් හරහා මොංගෝලියාව, මධ්‍යම ආසියාව හා රුසියාවේ (බර්යාෂියා, කල්මිකියා හා ටුවා ආදී) ප්‍රදේශ කිහිපයක් කරාද විහිදිනි. 

මෙයට අමතරව, ක්‍රි.ව. දෙවන සියවසේ සිට, මහායාන බුදු දහමේ ඉන්දියානු ස්වරූපයන් ඉන්දියාවේ සිට දකුණු චීනය දක්වා වූ සාගර වෙළඳ මාර්ගය හරහා වියට්නාමය , කාම්බෝජය, මැලේසියාව, සුමාත්‍රා හා ජාවා වෙතද විහිදිණි. එ් කිසිවකුදු අද වනවිට දක්නට නොමැත.

බුදු දහම ව්‍යාප්ත වූ ආකාරය

ආසියාවේ බොහෝ ප්‍රදේශ කරා බුදු දහමේ සිදුවූ ව්‍යාප්තිය සාමකාමී එකක් වූ අතර, එය ආකාරය කිහිපයකින් සිදුවිය. ආසන්න රාජ්‍යයන්හි ඇල්මක් සහිත හා පිළිගැනීමක් සහිත අය සමගින් සිය අන්තර් ඥානය හුවමාරු කරගත් සංචාරක උපදේශකවරයෙකු වශයෙන් ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ විසින් නිසි පූර්වාදර්ශය සපයන ලදී. ලොව පුරා සංචාරය කරමින් සිය දේශනා පතුරුවා හරින ලෙස උන් වහන්සේ විසින් සිය භික්ෂු සංඝයා වෙත උපදෙස් ලබාදෙන ලදී. උන් වහන්සේ සිය ආගම ස්ථාපනය කිරීමක් අපේක්ෂා නොකළ බැවින් තමා දැනට අදහන්නාවූ ආගම අතහහැර නව ආගම වැළඳ ගන්නා ලෙස උපදෙස් දෙමින් කිසිවෙකු හෝ සිය දහම වෙත හරවා ගැනීමට ක්‍රියා නොකළ සේක. බුදුන් වහන්සේගේ අරමුණ වූයේ යථාර්ථාවබෝධයෙන් හීන වීම හේතුකොට ජනතාව විසින් තමා වෙතම ඇතිකර ගන්නා දුක හා අසතුට මැඩ පැවැත්වීමට අන්‍යයන් වෙත උපකාර කිරීම පමණි. පසුකාලීන අනුගාමික පරම්පරාවන් විසින් උන් වහන්සේ ලබාදුන් ආදර්ශයෙන් ආභාසය ලබමින් උන් වහන්සේ විසින් දේශනා කරන ලද, සිය ජීවිතවලට ප්‍රයෝජනවත් බවට හඳුනාගත් විධික්‍රම බෙදාහදා ගන්නට වූහ. මෙලෙසය වර්තමානයේ බුදු දහම ලෙස හැඳින්වෙන දර්ශනය සුපතල වූයේ.

ඇතැම් විට, මෙම ක්‍රියාවලිය ඓන්ද්‍රීයව විකාශනය වන්නට විය. නිදසුනක් ලෙස, බෞද්ධ වෙළඳුන් විවිධ රටවලට ගොස් එහි පදිංචි වූ විට, පසුකාලීනව ඉන්දුනීසියාවේ හා මැලේසියාවේ ඉස්ලාම් දහම හඳුන්වා දීමත් සමග සිදුවූවාක් මෙන් දේශීය ජනතාව මෙම විදේශිකයන්ගේ ඇදහිලි ක්‍රමයන් පිළිබඳ ස්වභාවික ඇල්මක් ඇතිකර ගන්නට වූහ. පොදු යුගයට පෙර හා පසු සපැමිණි සියවස් දෙක තුළ මධ්‍යම ආසියාවේ සේද මාවත දිගේ පැවති ක්ෂේම භූමි රාජ්‍යයන් තුළ බුදු දහම සම්බන්ධයෙන්ද මෙම ක්‍රියාවලිය සිදු විය. ප්‍රාදේශීය පාලකයන් හා ඔවුන්ගේ ජනතාව මෙම ඉන්දියානු ආගම පිළිබඳව වඩ වඩාත් ඉගෙන ගන්නට ගන්නට, ඔවුහූ උපදේශකවරුන් හෝ ආචාර්යවරුන් ලෙස එම වෙළඳුන්ගේ ජන්ම භූමිවලින් භික්ෂූන් වහන්සේ වැඩම කරවා ගත් අතර, අවසන බොහෝ අය බෞද්ධ ලබ්ධිකයෝ වූහ. තවත් ඓන්ද්‍රීය ක්‍රමයක් වූයේ ක්‍රි.පූ. දෙවන සියවසෙන් අනතුරුව එළැඹි ශත වර්ෂයන්හිදී වර්තමානයේ මධ්‍යම පාකිස්තානය ලෙස හැඳින්වෙන ගන්ධාර බෞද්ධ සමාජය තුළට ග්‍රීකයන් සිදු කළාක් මෙන් අධිපතිවාදී ජනතාවක් හා සිදුවන ක්‍රමික සංස්කෘතිමය මුහුවීමක් හරහා ඇතිවන මිශ්‍රණයයි.‍

බොහෝ කොටම, බුදු දහමේ ව්‍යාප්තිය මූලිකවම බුදු දහම වැළඳ ගනිමින් එයට අනුග්‍රහය දැක්වූ බලවත් රජෙකුගේ බලපෑම හේතුකොට සිදුවිය. නිදසුනක් ලෙස, ක්‍රි.පූ. තුන්වන සියවස මැද භාගයේදී, අශෝක රජුගේ පුද්ගලික අනුමැතිය හේතුකොට බුදු දහම උතුරු ඉන්දියාව පුරා පැතිරිණි. මෙම මහා අධිරාජයා විසින් බුදු දහම වැළඳ ගන්නා ලෙස සිය රට වැසියන් වෙත කිසිදු බල කිරීමක් සිදු නොකරන ලද නමුදු, ආචාර ධාර්මික දිවියක් ගතකරන ලෙස සිය ජනතාව වෙත අනුශාසනා කරමින් සිය අධිරාජ්‍යය පුරා යකඩ කුලුනු මත කොටවන ලද ආඥාවන් ප්‍රදර්ශනය කරවීම මගින් හා එම මූලධර්ම පුද්ගලිකවම අනුගමනය කරමින්ද ඔහු විසින් බුදුන්ගේ දේශනා අනුගමනය කිරීම සඳහා අන්‍යයන් වෙතද ආභාසයක් ලබාදෙන ලදී.

ඇතැම් විට ශ්‍රී ලංකාවේ දේවානම්පිය තිස්ස රජු මෙන් විදේශීය පාලකයන්ගේ ආරාධනයට අනුව කටයුතු කරමින්, දුරු රටවල් කරා රාජ දූතයන් පිටත්කොට හරිමින් සිය රාජ්‍යයෙන් බැහැරවද සක්‍රීයව බුදු දහමට ජනතාව හරවා ගැනීමේ කාර්යයක අශෝක රජු නිරත විය. තවත් අවස්ථාවන්හි ඔහු විසින් ස්වේච්ඡාවෙන් ධර්ම දූතයන් වශයෙන් භික්ෂූන් පිටත්කොට හරින ලදී. එසේ සංචාරයන්හි පිටත් වූ භික්ෂූන් විසින් අන්‍යයන් හට සිය දහමට අනුගතවන ලෙස බලපෑම් නොකරන ලද අතර, එ් වෙනුවට බුදුන්ගේ දේශනා ඉදිරිපත් කරමින් එම ජනතාවට සුදුසු දහම ස්වේච්ඡාවෙන් තෝරා ගැනීමට ඉඩකඩ සලසන ලදී. දකුණු ඉන්දියාව හා දකුණු බුරුමය වැනි ස්ථානයන්හි බුදු දහම කෙටි කලක් තුළ මුල් බැහැගත් අතර මධ්‍ය ආසියාවේ ග්‍රීක යටත් විජිත වැනි ස්ථානයන්හිදී කිසිදු ක්ෂණික බලපෑමක් සිදුවූ බවට වාර්තා නොමැති වීමෙන් මෙය තවදුරටත් සනාථ වේ.

16වන සියවසේ මොංගෝලියානු රජෙකු වූ ඇට්ලන් ඛාන් වැනි සෙසු ආගමික රජවරුන් විසින් බෞද්ධ ගුරුවරුන් හට සිය බල ප්‍රදේශයට ආරාධනා කරන ලදුව, සිය ජනතාව එක්සත් කොට තමාගේ පාලනය ස්ථාපනය කරනු පිණිස බුදු දහම සිය දේශයේ රාජ්‍ය ආගම බවට ප්‍රකාශයට පත් කරන ලදී. මෙම ක්‍රියාවලිය තුළ ඔවුන් විසින් බෞද්ධ නොවන, දේශීය ආගම්වල ඇතැම් පිළිවෙත් තහනම් කොට එ්වා අනුගමනය කරන්නවුන් හිංසාවට ලක් කිරීම පවා සිදුකළා විය හැකි නමුත් මෙලෙස කලාතුරකින් සිදුවූ බලහත්කාරී ක්‍රියාවන්ද බොහෝ විට දේශපාලනික අරමුණින් සිදුවූ එ්වා විය. එවන් මහේච්ඡ පාලකයන් විසින් කිසි විටෙක හෝ බෞද්ධ ඇදහිලි හෝ පුද පූජා පිළිවෙත් අනුගමය කරන ලෙස සිය රටවැසියන් වෙත බලපෑම් නොකරන ලදී. මෙය කිසි විටෙකත් ආගමික ඇදහිලි ක්‍රමයක කොටසක් නොවිණි.

සාරාංශය

අන්ධ විශ්වාසය තුළින් නොව මනා කොට පරීක්ෂාකර බැලීමෙන් පසුව පමණක් සිය දේශනා අනුගමනය කරන ලෙස ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ විසින් ජනතාව වෙත උපදෙස් දෙන ලදී. උද්‍යෝගිමත් දූතයන්ගේ හෝ රාජාඥාවෙන් නිකුත්වන බලපෑම හේතුවෙන් බුදුන් වහන්සේගේ ධර්මය ජනතාව විසින් පිළිගත යුතු නොවන්නේය යන්න පැවසිය යුත්තක් නොවේ. නෙයිජි ටොයින් නම් ගුරුවරයා විසින් 17වන සියවස මුල් භාගයේදී, කට පාඩම් කරනු ලබන සෑම ගාථාවක් සඳහාම ගොවිපල සතුන් ලබාදෙමින් නැගෙනහිර දිග මොංගෝලියානු නෝමඩ්වරුන් බුදු දහම ඇදහීම කරා අල්ලස් මගින් නම්මවා ගැනීමට උත්සාහ දරන ලදී. නෝමඩ්වරුන් විසින් මේ පිළිබඳව බලධාරීන් වෙත පැමිණිලි කරන ලදුව, එසේ බලහත්කාරී ලෙස කටයුතු කරන ලද ආචාර්යවරයා වෙත දඬුවම් ලබාදී රටින් පිටුවහල් කරන ලදී.

විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතා හා චරිත ස්වභාවයන් හා ගැලපෙමින් හා ආදරය, කරුණාව හා ප්‍රඥාව පිළිබඳ සිය පණිවිඩය ගෙන යමින්, ආසියාවේ බොහෝ ප්‍රදේශ පුරා විවිධාකාරයෙන් සාමකාමී ලෙස පැතිර යාමට බුදු දහම සමත් විය. 

Top