චතුරාර්ය සත්‍යයට අනුව ව්‍යුහගත වූ ලම්-රිම් හෙවත් ශ්‍රේණිගත මාර්ගය

සත්‍ය කරුණු සතර

බුද්ධත්වයට පත්වීම ශාක්‍යමුණි බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් කල, අපටද එවන් තත්ත්වයකට පත්වීම සඳහා විවිධ ක්‍රම උන් වහන්සේ විසින් දේශනා කරන ලදී. එ් සඳහා වූ මූලික ක්‍රමය වනුයේ වැළකුම් ක්‍රියාමාර්ග ගැනීමයි. වෙනත් වචනවලින් ප්‍රකාශ කරන්නේ නම්, ධර්ම පිළිවෙත් පිරීමයි. පළමුව සියලු දෙනා මුහුණ දෙන (1) සැබෑ ගැටලු පවතී. මේවාට (2) සැබෑ හේතු පවතී. එසේ වුවද, අපට එ්වාහි සැබෑ හේතු නවතාලීම මගින් මෙම ගැටලුවල (3) සැබෑ නැවතීමක් සාක්ෂාත් කරගත හැකි අතර, මෙම සැබෑ නැවතීම් සාක්ෂාත් කරගනු පිණිස, අප විසින් (4) සැබෑ මාර්ග චිත්තයන් ගොඩනගාගත යුතුවේ.

ආරම්භක මට්ටම

මෙම සත්‍ය කරුණු සතර (චතුරාර්ය සත්‍යය) විවිධ මට්ටම්වලින් වටහාගත හැක. ආරම්භක මට්ටමකදී, වඩාත් පහළ මට්ටමේ පුනරුත්පත්තීන්හි නැවත ඉපදීමේ සැබෑ ගැටලු පවතී. ඉමහත් සේ රෝගී තත්ත්වයන්, කුසගින්න, පිපාසාව විඳිමින් අප අතිශය දුක් මට්ටමක සිටින්නේ නම්, හෝ නිරන්තරයෙන්ම වේදනාවෙන් දුක් විඳින්නේ නම්, ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා කිසිදු වේලාවක් හෝ හැකියාවක් නොපවතිනු ඇත. මක් නිසාද, අපගේ සිත් තියුණු ගැටලුවලින් හා දුෂ්කරතාවයන්ගෙන් මිරිකී පවත්නා බැවිනි.

මේ සඳහා වු සැබෑ හේතුව පාපකාරී ක්‍රියාවන්හි නිරත වීමයි. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි, අප විසින් වේදනාව හෝ දුක ඇති කරන්‌නේ නම්, අප විසින්ම එම දුක අත් විඳිය යුතුවේ. අනෙක් අතින්, අප විසින් ධනාත්මක ආකාරයකින් කටයුතු කරන්නේ නම්, සතුට නිර්මාණය කරන්නේ නම්, අවසන අප විසින්ම මෙම සතුට අත් විඳිනු ඇත. එබැවින්, එකී බරපතල ගැටලු සැබෑ ලෙසම නවතාලීමේ තත්ත්වය සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය වන්නේ නම්, අප විසින් සෘණාත්මක හෝ පාපකාරී ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමේ සැබෑ මාවත අනුගමනය කළ යුතුය.

පළමුව, අපට අගනා මිනිස් දිවියක් ලැබී ඇති බව අවබෝධ කරගත යුතුය. වර්තමානයේදී, අපගේ ආධ්‍යාත්මික වර්ධනය හා සංවර්ධනය අත්පත් කරගැනීමට හැකි සියලු අවස්ථා අප සතුවේ. අපි දේශපාලන සිරකරුවන්ගේ දඟගෙයක හෝ බරපතල සාගතයකින් හෝ පෙළෙමින් සිටින්නෝ නොවෙමු. නිශ්චිත වශයෙන්ම අප සියලු දෙනා මිය යන අතර, මෙම අගනා මනුෂ්‍ය ජීවිතය අහිමි වන බැවින් මෙකී අවස්ථාවන් සදාකාලිකව නොවපතිනු ඇත. මෙය කෙදිනක සිදුවනු ඇත්තේද යන කරුණ පිළිබඳ නිශ්චිතභාවයක් නොමැත. ඕනෑම අවස්ථාවක, අප ට්‍රක් රථයක හැපී අනතුරකට ලක්විය හැක. මේ මොහොතේ මිය යන්නට සිදු වුවහොත්, නිරන්තරයෙන්ම පාප ක්‍රියාවන්හි නිරතව සිටියේ නම්, මෙමගින් වඩා අයහපත් තලයන්හි මතු උත්පත්තිය ඇතිවිය හැක. අප විසින්ම ඇති කරන ලද දුක හා වේදනාව අපටම අත් විඳීමට සිදුවන තත්ත්වයන්හි අපගේ පුනරුත්පත්තිය සිදුවනු ඇත. එබැවින්, මෙවන් අනාගතයකට බිය වෙමින්, මෙම තත්ත්වයෙන් මිදිය හැකි යම් මාවතක් පවත්නේද යන්න සොයා බලන්නෙමු. අපි බුදුවරුන් පිළිබඳ විමසා බලන්නෙමු.

බුදුවරුන් යනු සිය සිත, වචනය හා කය යන ඉන්ද්‍රියයන් අසීමිත හා පවිත්‍ර එ්වා බවට පත්වන පරිදි සියලු ආකාර සීමාවන්ගෙන් මිදුණු පුද්ගලයන් වේ. ඔවුන්ගේ සිත් කැළඹිලිකාරී භාවයන් හෙවත් කෙලෙස්වලින්ද, කෝපය, ඇල්ම හෝ උන්මාදය වැනි ආකල්පයන්ගෙන් සීමා වූ එ්වා නොවේ. ඔවුන්ගේ සිත් මන්ද බුද්ධිය හෝ සිත අයාලේ යාම යන කරුණුවලින් සීමා වූ එ්වාද නොවේ. සිතේ පැතිකඩක් වශයෙන් සැලකෙන ඔවුන්ගේ හදවත්ද, ආත්මාර්ථයෙන් හේ ඥාති සංග්‍රහයෙන් සීමා වූ එ්වා නොවේ. සන්නිවේදනය කිරීමේ හැකියාවට අනුව ඔවුන්ගේ කථාව සීමා සහිත එකක් නොවන අතර, ඔවුන්ගේ සිරුරුද බලයෙන් සීමා වූ එ්වා නොවේ. මෙයාකාරයෙන් ඔවුන්ගේ සිත්, හදවත්, කථාව හා සිරුරු සම්බන්ධ සියලු දේ පැහැදිලි වේ. තවද, හැකි ඉහළම මට්ටමට පරිණාමය වන පරිදි උන් වහන්සේලා විසින් සියලු විභවයන් යථාර්ථයක් කරගෙන ඇත.

බුදුන් වහන්සේලා විසින් මෙම කරුණු ඉටුකර ඇත්තේ පමණක් නොව, එ්වා කළ ආකාරයද දක්වා ඇත. එසේ සිදු කරන ලද්දේ තමාට හා අන්‍යයන්ටද ගැටලු ඇති කරන සීමාවන්ගෙන් යටපත් වීමෙන් වැළකී සිටිනු පිණිස වැළකුම් ක්‍රියාමාර්ග හෝ ධර්මය යොදා ගැනීමෙනි. එවන් අභිමතාර්ථයන් සාධනයෙහි ලා සැදී පැහැදුණු හා එ්වා කෙරෙහි ඉදිරියට ගමන් කරන්නාවූ සංඝ සමාජයක්ද වේ. එ් අනුව, බුද්ධ, ධර්ම හා සංඝ යන ත්‍රිවිධ රත්නයෙහි යහගුණ දකිමින්, අප කෙරෙහිම වඩ වඩාත් ගැටලුම ඇති කරන්නාවූ දිශාවට ගමන් කරන ජීවිතයක් අත් විඳීමට සිදුවීමේ තත්ත්වය අඛන්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය නොවෙමින් හා වැඩිදුරටත් බුද්ධ, ධම්ම හා සංඝ යන දිශාවෙහි ගමන් කරන්නේ නම්, එමගින් එවන් ගැටලු වළකාලීමට අපට හැකියාව ලබාදෙන අතර එ් වෙතින් අපගේ ජීවිතයේ ආරක්ෂිත දිශානතිය ගන්නෙමු. සරණ යාම යන්නෙන් අදහස් කෙරෙන්නේ මෙයයි - අපගේ ජීවිතයේ ආරක්ෂිත දිශානතියක් තැබීමයි.

හේතුඵල නියාමයන් අනුගමනය කිරීම මගින් සැබෑ ආරක්ෂිත දිශානතිය පෙන්වනු ලබයි. එබැවින්, මතු අනාගතයේ ගැටලු වළක්වාලීමට කැමැත්තේ නම්, ප්‍රාණ ඝාතයෙන්, සොරකමින්, මුසා බස් තෙපළීමෙන් ඈ ලෙස වූ කරුණුවලින් වැළකීමාදී වශයෙන් පාපකාරී කටයුතුවල නියැලීමෙන් වැළකීම තුළ සැබෑ මාර්ගයක් අනුගමනය කරන්නෙමු. මෙලෙසින්, අපි ධනාත්මක ආකාරයකින් කටයුතු කරමු. මෙය වූකලි චතුර් සත්‍යයන් වටහා ගැනීමේ මූලික මට්ටමකි.

අන්තර්මධ්‍ය මට්ටම

අන්තර්මධ්‍ය මට්ටමකදී, අප පුනරුත්පත්තිය ලැබිය හැකි තත්ත්වය කවරක් වුවද, ජාති, ජරා, ව්‍යාධි, මරණාදී සැබෑ ගැටලුවලට මුහුණ දෙන්නෙමු. ලබාගැනීමට උත්සාහ කරන විටදී පවා අපට අවශ්‍ය දේ නොලැබීම පිළිබඳ සැබෑ ගැටලුද, සිදු නොවිය යුතු යැයි අප අපේක්ෂා කරන්නාවූ දේවල් අපට සිදුවීමේ ගැටලුද පවතී. නිරන්තරයෙන්ම අන්‍යයන් සමගින් දුෂ්කර සම්බන්ධතා පැවතීමෙන් ඇතිවන ඉච්ඡා භංගත්වය වැනි පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන බොහෝ ගැටලුද පවතී. සියල්ලටම පළමු මේවා සඳහා වූ සැබෑ හේතුව වනුයේ අප කවුරුන්ද හා අපගේ පැවැත්ම කවරාකාරද යන්න සම්බන්ධ යථාර්ථාවබෝධයක් නොමැති වීමයි. එ් හේතුවෙන්, අපි සැබෑ පැවැත්මක් ඇත්තේයැයි සිතන අනන්‍යතාවයන් ග්‍රහණය කරගන්නා නමුත් එ් පිළිබඳ අපට අනාරක්ෂිත බවක් හැඟේ. එහි ප්‍රතිවිපාකයක් වශයෙන්, එවන් අනන්‍යතාවයන් ආරක්ෂා කිරීම හෝ අවධාරණය කරනු වස්,  අපගේ සිත් ඇල්ම,  කෝපය,  අමනෝඥභාවය,  උඩඟුකම,  ඊර්ෂ්‍යාව, අතීරණාත්මක වැනෙන සුළු බව ඈ කැළඹිලිකාරී භාවයන්ගෙන් පිරී යයි. මේවා මත පදනම්ව විවිධාකාරයේ ආවේගයන් හෙවත් කර්ම අපගේ සිතට පැමිණෙන අතර එ්වා ආවේගාත්මක චර්යාවන්ගේ ස්වරූපයෙන් ක්‍රියාවට නංවමු. හැකිතාක් ධනය, භෞතික සම්පත් හෝ මිතුරන් එ්කරාශි කිරීමට උත්සාහ කිරීම හෝ අප අකමැති සියලු දේ හා ඕනෑම අයෙකු පළවා හැරීමට හෝ විනාශ කර දැමීමට උත්සාහ කරමින් අපගේ අනන්‍යතාවය වඩාත් ආරක්ෂාකාරී එකක් බවට පත් කිරීමේ වෑයමක් තුළ මෙම කාර්යය සිදු කරන්නෙමු. එකිනෙකාට බැණ අඬ ගසමින් හෝ කෲර ලෙස සලකමින් ඈ ලෙස මෙයාකාරයන්ගෙන් ආවේගාත්මකව කටයුතු කරන විටදී, මෙමගින් අපට වෙත සැබෑ ගැටලු ඇති කරවනු ලබයි.

මෙම ගැටලු සැබෑ ලෙසම නවතාලීමට අපේක්ෂා කරන්නේ නම්, අප විසින් සැබෑ මාර්ගයක් අනුගමනය කළ යුතුවේ. පළමුව, ඇතැම් විට අත්හැර දැමීම ලෙසද හඳුන්වනු ලබන, අපගේ ගැටලුවලින් නිදහස් වීමේ දැඩි අදිටන නම් වූ නිවැරදි අභිප්‍රේරණය ගොඩනගා ගත යුතුවේ. අපගේ අභිප්‍රේරණය ලෙස මෙකරුණ පවත්වා ගනිමින්, අපට යථාර්ථය හෝ ශූන්‍යතාවය දැකිය හැකි වෙන්කොට දැකීමේ දැනුවත්භාවය ගොඩනගාගත යුතුය. එවන් ප්‍රඥාවක් අත්කරගනු පිණිස, අප තුළ චිත්ත එ්කාග්‍රතාවය පැවතිය යුතු අතර, අපගේ සිත් මත එවන් පාලනයක් පවත්වාගනු පිණිස, අපගේ සිරුරු හා කථාවට අදාළ වඩා දළ ක්‍රියාවන් පාලනය කිරීමට අපට හැකිවිය යුතුය. වඩා ඉහළ තලයේ ආචාර ධාර්මික ස්වයං විනය, සමාධිය හා ප්‍රඥාව හෙවත් සීල, සමාධි, ප්‍රඥා නමැති මෙම මාර්ගය අනුගමනය කිරීමෙන් ශූන්‍යතාවය දැකිය හැකි වෙන්කොට දැකීමේ දැනුවත්භාවය අත්පත් කරගත හැක. ශූන්‍යතාවය නමින් හැඳින්වෙනුයේ සිදුවිය නොහැකි පැවතුම් පිළිබඳ සම්පූර්ණ වියුක්තියයි.

යථාර්ථය පිළිබඳ නොදැනුවත්ව, අප කවුරුන්ද යන වග හා අප හා ලෝකය පවත්නේ කවරාකාරවද යන කරුණු කෙරෙහි ව්‍යාකූලව සිටින බැවින් සියලු දේ දැඩි පැවැත්මක් සහිත හා ස්වාධීන දේවල් සේ සලකා එවා නොපැවතිය හැකි ආකාරයන්ගෙන් පවත්නා බව සිතා ග්‍රහණය කරගන්නෙමු. කෙසේ නමුදු, කිසිවක් හෝ එවන් උන්මාදනීය ස්වභාවයකින් නොපවතී. මෙමගින් කිසිවක් හෝ නොපවතින බවක් අදහස් නොවේ. මින් අදහස් කෙරෙන්නේ පවත්නා කවරක් වුවද පවත්නේ පටිච්ච සමුප්පන්නව, සියලු දේ හේතු ප්‍රත්‍ය මත රඳා පවතිමින් ඉස්මතුවන ස්වරූපයකින් වන බවයි. එ්වා සිත හා මානසික ලේබල්කරණ ක්‍රියාවලිය හා සම්බන්ධව පවතින දේවල් වේ. වැටහීම හා අවබෝධය පිළිබඳ එවන් සැබෑ මාර්ගයක් මගින්, කැළඹිලිකාරී භාවයන් නමැති මානසික ගුප්තකරණයන් හෝ මානසික බාධකයන් මැඩ පැවැත්විය හැකි අතර විමුක්තිය උදාකරගත හැක. මෙය වූකලි සත්‍ය කරුණු සතර පිළිබඳ වැටහීමේ අන්තර්මධ්‍ය මට්ටමකි.

උසස් මට්ටම

උසස් මට්ටමකදි, අප විසින් පෞද්ගලිකවම ගැටලු අත් විඳිනු පමණක් නොව සියලු දෙනාද එ් හා සමානම ගැටලු අත් විඳින බවද වටහා ගන්නෙමු. එබැවින්, මෙම මට්ටමේදී, සැබෑ ගැටලු යනු සියලු දෙනා විසින් මුහුණ දෙනු ලබන ගැටලු වේ. තවද, තවත් සැබෑ ගැටලුවක් වනුයේ සියලු දෙනා හට සිය ගැටලු මැඩ පැවැත්වීමට උපකාර කිරීම විෂයයෙහි අප දක්වන අසමත්භාවයයි. මෙම ගැටලු සම්බන්ධ සැබෑ හේතු තුළ පළමුවැන්න වනුයේ අප විසින් අප පිළිබඳ පමණක් සැලකිල්ල යොමු කරමින් අන්‍යයන් නොසලකා හැරීම සම්බන්ධ අපගේ ආත්මාර්ථයයි. ඉනික්බිති, අන්‍යයන් වෙත ඵල ප්‍රයෝජන සැලසීම සඳහා වූ සියලු කුසල විධික්‍රම දැන ගැනීමෙන් අප වළකාලන්නාවූ ගුප්ත ස්වභාවයන් හෝ මානසික බාධකයන් හෙවත් අපගේ සර්වඥතාවය වළක්වන්නාවූ ගුප්ත ස්වභාවයන් වේ. මෙය සැබෑ ලෙස නවතාලීමක් යන්න අපගේ පෞද්ගලික ගැටළු පමණක් නොව බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම දක්වා ඉන් ඔබ්බටද විහිදෙන අතර එම තත්ත්වය තුළ අප විසින් අපගේ සියලු සීමා සහිතකම් මැඩ පවත්වා හැකිතාක් දුරට සියලු දෙනා වෙත සෙත සැලසීමට අපට හැකිවනු පිණිස අපගේ සියලු විභවයන්ද අවබෝධ කරගනු ලබයි.

මේ කරා අප යොමු කරවනු ලබන සැබෑ මාර්ගය වනුයේ පළමුව බෝධිචිත්ත පෙළඹීම ගොඩනගා ගැනීම හෙවත් අන් සියලු දෙනා වෙත උපකාර කිරීමට හැකිවනු පිණිස බුද්ධත්වය සාක්ෂාත් කරගනිමින් අන් සියල්ලන් කෙරෙහි අපගේ හදවත් විවර කිරීමයි. අපගේ පෙළඹීම ලෙස මෙම තත්ත්වය පවත්වා ගනිමින්, අප විසින් පුළුල්ව විහිදෙන ආකල්ප හෝ පාරමිතා ගොඩනගා පිළිවෙත් පුරන අතර එ් සියල්ල ප්‍රේමය හා දයාන්විත අනුකම්පාව මත පදනම් වේ. මේවා ත්‍යාගශීලිත්වය, ස්වයං විනය, ඉවසිලිවන්තභාවය, ප්‍රීතිමත් ලෙස පවත්නා නොපසුබස්නා උත්සාහය, චිත්ත ස්ථාවරත්වය (එ්කාග්‍රතාවය) හා වෙන්කොට දැකීමේ හැකියාව (ප්‍රඥාව) වේ. පුළුල්ව විහිදෙන්නාවූ වෙන්කොට සැලකීමේ හැකියාව මගින් අප විසින් අපගේ කැළඹිලිකාරී භාවයන් මැඩ පවත්වමින් විමුක්තිය ලබාගනු පිණිස දැකිය යුතුවන එම යථාර්ථය හෙවත් ශූන්‍යතාවයම දකින්නෙමු. කෙසේ වුවද, නිදහස් වීමේ අදිටනට වඩා අපගේ පෙළඹීමට පාදක වන බෝධිචිත්ත‌යේ බලය ප්‍රබල වන බැවින්, එම වැටහීමට වඩා වැඩි ශක්තියක් පවතී.

අපට අපගේ ගැටලුවලින් නිදහස් වීමේ අදිටනක් පමණක් පවත්නේ නම්, මෙමගින් අපගේ යථාර්ථාවබෝධය පසුපස සීමිත ශක්තියක් සම්පාදනය කරනු ලබයි. කෙසේ වුවද, යථාර්ථාවබෝධය ලැබීම සඳහා වූ අපගේ පෙළඹීම සියලු දෙනා වෙත සෙත සැලසීමට හැකිවීමට අමතරව පවත්නා දෙයක් නම් මෙමගින් වඩාත් ප්‍රබල ශක්තියක් එක් කරනු ලබයි. මෙලෙසින්, අපගේ වැටහීමට කැළඹිලිකාරී භාවයන් නමැති ගුප්ත ස්වභාවයන් පමණක් නොව, සර්වඥතාවය වළකාලන්නාවූ ගුප්ත ස්වභාවයන්ද විනිවිද යාමේ හැකියාවක් ඇතිවේ. 

නිදසුනක් ලෙස, විෂ සහිත සර්ප දෂ්ටයන් සුව කරන ආකාරය පිළිබඳ වෛද්‍ය දේශනයක් පවත්නේ යයි සිතමු. බොහෝ මුදල් උපයමින් සිය මූල්‍ය ගැටලු මැඩ පවත්වාගත හැකිවනු පිණිස වෛද්‍යවරයෙකු වීමේ අදහසින් පමණක් මෙම විෂයය අධ්‍යයනය කරන සිසුවෙකු වේනම්, ඔහු මෙම දේශනයට යම් ශක්තියක් සහිතව පමණක් සහභාගිවනු ඇත. කෙසේ වුවද, එයට මොහොතකට පෙර සිය දරුවා සර්ප දෂ්ටයකට ලක්වූ මවක එම පන්ති කාමරයට දිව ගියහොත්, සිය දරුවා සුව කරගැනීමේ තියුණු අවශ්‍යතාවය හේතුකොට ඇය විසින් වැඩි තීව්‍රතාවයකින්, බලයකින් සර්ප දෂ්ටයන් සුව කරන ආකාරය ඉගෙන ගනු ඇත. මෙයාකාරයෙන්ම, අපගේ යථාර්ථාවබෝධය පසුපස බෝධිචිත්ත පෙළඹීමක් පවත්නා විටදී, මෙමගින් එයට වඩා ප්‍රබල බලයක් එක් කරන අතර එ් අනුව අපගේ වැටහීමට අපගේ සියලු මානසික ගුප්ත භාවයන් විනිවිද යාමට හැකියාව ලැබේ.

මෙයාකාරයේ විධික්‍රමයක් තුළ ක්‍රමය හා ප්‍රඥාව සම්බන්ධ කරන්නාවූ මාර්ගයක් හෝ විධික්‍රමයක් අන්තර්ගත වේ. සූත්‍ර මට්ටම තුළ එ්වා එකට සම්බන්ධවන ආකාරය එ් දෙකම එක් වර සිදුවන ආකාරයක් නොවේ. එ් වෙනුවට එ් දෙකම අනෙකෙහි සන්දර්භය තුළ සිදුවන ක්‍රමයකි. මෙලෙසින්, අන් සියල්ලන් කෙරෙහි අපගේ හදවත් විහිදුවාලමින් ඔවුන්ට සෙත සලසනු පිණිස බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමේ ක්‍රමය අප තුළ ප්‍රඥාව පැවතීම හෝ යථාර්ථාවබෝධය පැවතීම නමැති සන්දර්භය තුළ සිදුවේ. නොඑසේ නම් අනෙක් අතට, ප්‍රඥාව හා යථාර්ථාවබෝධය තුළ එම මාර්ගය ක්‍රියාත්මකවේ. වෙනත් වචනවලින් ප්‍රකාශ කරන්නේ නම්, අපගේ හදවත් අන් සියල්ලන් කරා විහිදුවාලන විටදී, එය සිදුවනුයේ අපගේ සිත් යථාර්ථය කරා විහිදුවාලන සන්දර්භය තුළය. අපගේ සිත් යථාර්ථය කරා විහිදෙන විටදී, එය සිදුවනුයේ අපගේ හදවත් අන්‍යයන් කරා විහිදුවාලීමේ සන්දර්භය තුළය. මෙයාකාරයෙන්, එ් එකිනෙක අනෙකෙහි සන්දර්භය තුළ සිදුවන අතර, බුද්ධත්වය සාක්ෂාත් කරගන්නා තෙක්, එකම සිතක් තුළ එම දෙකරුණ එකවර ඇතිවිය නොහැක.

විධික්‍රමය හා ප්‍රඥාව එකිනෙක සම්බන්ධ කිරීමේ මෙම ආකාරයද සමගින්, අපගේ සියලු මානසික ගුප්ත ස්වභාවයන් විනිවිද යාමට හැකිවීමට බොහෝ කාලයක් ගතවේ. සැබැවින්ම එ් සඳහා අසංඛ්‍ය කල්ප තුනක් ගතවන අතර, අසංඛ්‍ය යන්නෙන් හැඳින්වෙනුයේ ගිණිය හැකි ඉහළම සංඛ්‍යාවයි. එනම් 10 ඉලක්කමට අගින් බිංදු 60ක් එක්වන ඉලක්කමයි. එය ෂිලියනය ලෙස හඳුන්වමු. මෙය සුවිශාල කාලාන්තරයක් වන අතර, අප විසින් අන්‍යයන් වෙත උපරිම සෙත සැලසීමට හැකිවනු පිණිස අපගේ සීමාවන් මැඩ පවත්වා අපගේ සියලු විභවයන් යථාර්ථයක් බවට පත්කර ගැනීම දක්වා එතරම් දිගු කාලයක් බලා සිටීමට අන් අයට නොහැක. මෙයයි තන්ත්‍ර වැදගත්වන ස්ථානය. තන්ත්‍ර යනු බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමට හැකිවනු පිණිස ප්‍රවේශ වන්නාවූ මහායානය හෙවත් පුළුල් මනස් පිළිවෙතයි. එය වූකලි අන්‍යයන් වෙත හැකිතාක් ප්‍රමාණයකින් හා විගසින් උපකාර කිරීමට හැකිවනු පිණිස වඩාත් කඩිනමින් හා කාර්යක්ෂමව බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමේ මාර්ගයයි. එය සැබෑ සත්‍ය සතරට අනුව අප විසින් මේ මොහොතේ සාකච්ඡා කරන ලද සියලු ක්‍රමයන් මත පදනම් වේ.

Top