විවාදයෙහි අරමුණ හා ප්‍රයෝජන

02:30
සිය විවාද සගයා වෙත ඔහුගේ ස්ථාවරය තර්කානුකූල නොවන බව සනාථ කරන විටදී, ඔබ වඩාත් දක්ෂ වන අතර ඔහු අමනෝඥයෙකුය යන්න එමගින් ඔප්පු නොකෙරෙන බව සිහි තබාගත යුතුය. තර්කානුකූලව සනාථ කළ හැකි පැහැදිලි වැටහීමක් හා තදබල විශ්වාසයක් ගොඩනගා ගැනීමට සිය සගයා වෙත උපකාර කිරීම නිරතුරු ඔබගේ පෙළඹීම හෙවත් අභිප්‍රේරණය විය යුතුය.

බුදු දහම තුළ විවාදය යනු තර්කන දක්ෂතාවයෙන් යමෙකු පරාජය කිරීම සම්බන්ධ වූවක් නොවේ. ඒ වූකලි භාවනාව පිළිබඳ කිසිදු සැකයක් ඇති නොවන අයුරින් සිසුන් තුළ සිය වැටහීම පිළිබඳ යම් නිශ්චිතතාවයක් ගොඩනැංවීමට උපකාර කිරීම සඳහා පවතින්නකි. පංතියක එක් එක් සිසුවෙකු විසින් ප්‍රශ්න නඟමින් හා ප්‍රතිවාදීන්ගේ පිළිතුරු තුළ පවත්නා ප්‍රති‍විරෝධතාවයන් පෙන්වා දෙමින් සිය පන්තියේ සහෝදර සිසුන් වෙත ඔවුන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටින ලෙස අභියෝග කරනු ලබයි. අවසන දෙපාර්ශ්වය වෙතම මෙමගින් ප්‍රතිලාභ සැලසේ.

බෞද්ධ පුහුණුව තුළ විවාදයන්හි එක් ප්‍රධාන අරමුණක් වනුයේ තීරණාත්මක අවබෝධය ගොඩනංවා ගැනීම සඳහා උපකාර කිරීමයි (nges-shes). ඔබ යම් ස්ථාවරයක් ගන්නා අතර ඔබගේ විවාද සගයා විසින් බො‍හෝ අදහස් දක්වමින් එයට අභියෝග කරයි. සියලු විරෝධතාවයනට එරෙහිව ඔබගේ ස්ථාවරය ආරක්ෂා කරගත හැක්කේ නම් හා එහි තාර්කික අනනකූලතාවයන් නොමැති අතර ප්‍රතිවිරෝධතාවයන්ද නොමැති බව ඔබ‍ට වැටහෙන්නේ නම්, නොසැලෙන හා පූර්ණ තීරණාත්මක දැනුවත්භාවයක් සහිතව එම ස්ථාවරය හෝ අදහස මත ඔබට අවධානය යොමුකළ හැක. මෙම චිත්ත ස්වභාවය තදබල වැටහීම (mos-pa) ලෙසද හඳුන්වනු ලබයි. අනිත්‍යය, තමා හා සෙසු අය පිළිබඳ සමානාත්මතාවය, තමාට වඩා අන් අය වටින්නේය යනුවෙන් සැලකීම, බෝධිචිත්තය, ශූන්‍යතාවය ආදිය පිළිබඳ එකම සිතින් භාවනා කිරීමේදී මෙම තහවුරු වූ දැනුවත්භාවය හා දැඩි වැටහීම පැවතිය යුතුවේ. විග්‍රහාත්මක භාවනාව හෝ හුදෙක් ධර්මය පිළිබඳ සිතීමෙන් ඈ ලෙස එම තහවුරුවූ දැනුවත්භාවය තමා තුළම ගොඩනගා ගැනීමට උත්සාහ කරන්නේ නම්, බොහෝ සෙයින් දැනුවත් හා උගත් සගයින් පෙළක් සමග වාද කරන අවස්ථාවක වුවද එම සියලු විරෝධතා මැදද ඔබට සිය වැටහීම ප්‍රශ්න කිරීමේ හැකියාවක් ‍නොපවතිනු ඇත. ඔබට වඩා ‍පහසුවෙන් අන් අය විසින් ඔබගේ තර්කනයේ පවත්නා අනනුකූලතාවයන් හා අත්වැරදීම් හඳුනාගත හැක.

තවද, ආරම්භකයන් හට සතිය වර්ධනය කරගැනීමට හැකිවනු පිණිස භාවනාවට වඩා උපකාරීවන අවස්ථාවක් විවාදය මගින් සම්පාදනය කරදෙනු ලබයි. විවාද සගයාගේ අභියෝගය හා පන්තියේ මිතුරන් ඇහුම්කන් දෙමින් සිටින්නාවූ තත්ත්වය තුළ ඇතිවන බලපෑම තුළ ඔබට සිහිය පවත්වාගෙන යාමේ බලපෑමක් ඇති කෙරේ. තනිව භාවනා කිරීමේදී, ඔබගේ අධිෂ්ඨානය පමණි සිත විසිර යාම හෝ නිදා වැටීමේ තත්ත්වය නවතාලීම සඳහා පොළඹවන කාරකය වශයෙන් පවතින්නේ. මෙයට අමතරව, ආරාම විවාද භූමිවලදී, හඬනඟා එකිනෙකා සමගින් බො‍හෝ විවාද සිදු වේ. මෙමගින්ද සිහිය පවත්වාගෙන යාමේ බලපෑමක් ඇති කෙරේ. ඔබ වටා පවත්නා විවාදයන් මගින් අවධානය වෙනතක යොමු කිරීම හෝ කෝප ගැන්වීම සිදු වන්නේ නම් ඔබ පරාජිතයෙකි. විවාද භූමිය තුළ සිහිය පවත්වාගෙන යාමේ කුසලතා ගොඩනගා ගත් පසු, ‍හුදෙක් භාවනාවට පමණක් නොව, ඝෝෂාකාරී ස්ථානයන්හි භාවනාව සඳහාද ඔබට ඒවා යොදාගත හැක.

තවද, විවාදයන් ඔබගේ පෞරුෂය වර්ධනය කිරීමටද උපකාරී වේ. ඔබට ලජ්ජාශීලීව සිටිමින් විවාද කළ නොහැක. ප්‍රතිවාදියා අභියෝග කරන විටදී නැගිට කථාකළ යුතුය. අනෙක් අතින්, ඔබ අහංකාර වන්නේ නම් හෝ කෝප ගන්නේ නම්, ඔබගේ සිත අපැහැදිලි ‍වන අතර, නිරනුමානවම විවාද සගයා විසින් ඔබ පරාජය කරනු ඇත. සැම කල්හිම, භාවමය සමබරතාවය පවත්වාගත යුතුය. ජය ගන්නේ හෝ ‍පරාජය වන්නේ වුවද, විවාදය තුළින් ප්‍රතික්ෂේප කළ යුතුව පවත්නා "මා" හඳුනා ගැනීමේ අද්විතීය අවස්ථාවක් උදාකර දෙනු ලබයි. "මම දිනුවෙමි; මා හරිම දක්ෂයෙක්" හෝ "මං පැරදුණා. මට පිස්සු" යැයි සිතෙන හෝ හැ‍ඟෙන විටදී, ඔබට තමා හා අනන්‍ය කරගන්නාවූ දැඩි හා වැදගත් "මා" යන්නෙකු පිළිබඳ ප්‍රක්ෂේපණයක් පැහැදිලිව හඳුනාගත හැක. මෙයයි සම්පූර්ණයෙන්ම මනහ්කල්පිත වූ හා ප්‍රතික්ෂේප කළ යුතුවූ "මා" යන අදහස.

Top