ධර්ම පිළිවෙත් පිරීම විෂයයෙහි සාර්ථකත්වය යථාර්ථවාදී ආකල්පය මත රඳා පවතී. දේවල් සැබෑ ලෙසම පවත්නා ආකාරය හා අනුගතවන අයුරින් ධර්ම දේශනා විමසා බැලීම මෙමගින් අදහස් කෙරේ. එවන් විමසා බැලීමක් උදෙසා, බුදුන් වහන්සේ විසින් සිද්ධාන්ත සතරක් දේශනා කරන ලද අතර ඒවා වූකලි බෞද්ධ චින්තනයේ මූලික උපකල්පනයන් වේ. “හුදෙක් විශ්වාසය හේතුකොට හෝ මා කෙරෙහි පවත්නා ගෞරවය හේතුකොට මාගේ දේශනා නොපිළිගන්න. ඒවා රන් මිලදී ගන්නාක් මෙන් විමසා බලා පිළිගන්න” යි බුදුන් වහන්සේ දුන් උපදේශය සිහි තබාගන්න.
එම සිද්ධාන්ත සතර වනුයේ:
- රඳා පැවැත්ම (ltos-pa’i rigs-pa)
- ප්‍රායෝගිකත්වය (bya-ba byed-pa’i rigs-pa)
- හේතු සාධක මගින් ස්ථාපනය (tshad-ma’i rigs-pa)
- දේවල්හි ස්වභාවය (chos-nyid-kyi rigs-pa) යි.
මාර්ගයේ ශ්‍රේණිගත අදියර පිළිබඳ ශ්‍රේෂ්ඨ ඉදිරිපත් කිරීමක් (Lam-rim chen-mo) නම් කෘතියේ මෙම සතරවිධ කරුණු පිළිබඳ ෂොංඛපා විස්තර විස්තර කරන ආකාරය විමසා බලමු.
රඳා පැවැත්ම පිළිබඳ සිද්ධාන්තය
පළමු සිද්ධාන්තය වනුයේ ඇතැම් දේ ඒවාහි පදනම ලෙස පවත්නා අන් කරුණු මත රඳා පවත්නා බවයි. මෙය රඳා පැවැත්ම පිළිබඳ සිද්ධාන්තයයි. යම් ප්‍රතිඵලයක් අත්වනු පිණිස, එහි හේතු ප්‍රත්‍ය මත රඳා පැවැත්මක් පැවතිය යුතුවේ. මේ වූකලි අප සියලු දෙනා හට පිළිගත හැකි සිද්ධාන්තයකි. ඉන් අදහස් කෙරෙනුයේ යම් කිසිවක් පිළිබඳ වැටහීමක් හෝ යහපත් ගුණාංගයක් වැඩි වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන්නේ නම්, එය රඳා පවත්නේ කවරක් මතද යන කරුණ විමසිය යුතු වේ. එහි පදනම වශයෙන් ක්‍රියාත්මකවනු පිණිස කල්තබා අප විසින් ගොඩනගා ගත යුත්තේ කවරක්ද?
ආධ්‍යාත්මික සාර්ථකත්වයේ සෑම මට්ටමක්ම එහි පදනම වූ සෙසු සාර්ථකත්වයන් හා සාධක මත රඳා පවතී. නිදසුනක් ලෙස, අපට වෙන්කොට දැකීමේ අවබෝධය හෝ ශූන්‍යතාවය හෝ යථාර්ථය පිළිබඳ වැටහීම ගොඩනගා ගැනීමට අවශ්‍ය වන්නේ නම්, මෙම අවබෝධය කවරක් මත රඳා පවත්නේද යන්න විමර්ශනය කොට දත යුතු වේ. එය සමාධිය මත රඳා පවතී. සමාධියකින් තොරව අපට වැටහීම වර්ධනය කරගත නොහැක. සමාධිය රඳා පවත්නා පදනම කවරක්ද? එය ස්වයං විනය මත රඳා පවතී. අවධානය විසිර යන විටදී එය නිවැරදි කිරීමේ විනයක් රහිත නම්, අපට සමාධිය ගොඩනගා ගැනීමේ හැකියාවක් නොමැත. එබැවින්, ශූන්‍යතාවය පිළිබඳ වෙන්කොට සැළකීමේ දැනුවත්භාවය ගොඩනගා ගැනීමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් ස්වල්ප වූ හෝ ස්වයං ශික්ෂණයක් හා සමාධියක් ගොඩනගා ගැනීම සඳහා පළමුව කටයුතු කළ යුතුව පවතී.
ධර්මය අධ්‍යයනයේදී මෙම පළමු සිද්ධාන්තය අදාල කරගැනීම වැදගත්ය. ධර්ම පාඨ ග්‍රන්ථයන්හි කියවීමට ලැබෙන ආශ්චර්යමත් ශක්තීන් අත්පත් කරගැනීමට අප බොහෝ දෙනෙකු කැමති වුවද අපගේ පැතුම් පිළිබඳ යථාර්ථවාදී වන්නේ නම් එම සාර්ථකත්වයන් රඳා පවත්නේ කවරක් මතද යන්න පිළිබඳ විමර්ශනය කළ යුතු වේ. අපගේ අභිමතාර්ථ සාධනය කරගනු පිණිස ගොඩනගාගත යුතුවන්නේ කවරක්ද යන්න දැනගත් විටදී ඒවා සාක්ෂාත් කරගන්නා ආකාරයද දන්නෙමු. අපට එවිට පදනම් මට්ටමේ සිටම ආරම්භය ගත හැක. මෙමගින් අපගේ විමසුම් යථාර්ථවාදී ඒවා බවට පත් කරනු ලබයි.
ප්‍රායෝගිකත්වය පිළිබඳ සිද්ධාන්තය
දෙවැන්න වනුයේ ප්‍රායෝගිකත්වය පිළිබඳ සිද්ධාන්තයයි. හේතු ප්‍රත්‍යයන්හි බලපෑමට ලක්වන සෑම සංසිද්ධියක්ම එහි නිශ්චිත කාර්යය ඉටු කරයි. ඇවිලවීම පිළිබඳ කාර්යය සිදු කරනුයේ ගින්න විනා ජලය නොවේ. මේ වූකලි, නැවතද, බුදු දහමේ මූලික උපකල්පනයක් හෙවත් සිද්ධාන්තයක් වන අතර එය අපටද පිළිගත හැකි දෙයක් වේ. එහි ප්‍රායෝගිකත්වය වනුයේ ධර්මය අධ්‍යයනයේදී හා ඉගෙනීමේදී, මෙය හෝ එය විසින් ඉටු කරනු ලබන කාර්ය භාරය විමර්ශනය කළ යුතුය. ප්‍රේමය හා සමාධිය වැනි අප වර්ධනය කරගත යුතුවන සහ වියවුල් සහගත බව හෝ කෝපය වැනි අප මිදිය යුතුවන ඇතැම් චිත්ත ස්වභාවයන් හෝ හැඟීම් පිළිබඳ අපට උපදෙස් ලබාදෙනු ලබයි. අනුගමනය කළ යුතුවන යම් විධික්‍රමයන් පිළිබඳවද අප වෙත උගන්වනු ලබයි. විධික්‍රම අවබෝධ කරගනු පිණිස, ඒවා මගින් සිදුකරනු ලබන්නේ කවරක්ද යන්න සහ ඒවාහි ක්‍රියාකාරිත්වය කවරේද යන්න විමර්ශනය කළ යුතු වේ. ඇතැම්වා ගැලපෙන අතර සෙසු ඒවා එසේ නොවන බැවින්, ඇතැම් චිත්ත ස්වභාවයන් සෙසු ස්වභාවයන් වැඩි වර්ධනය කිරීමට හෝ ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක වෙයි.
නිදසුනක් ලෙස, ආදරය ගොඩනැගීම පිණිස වූ නිශ්චිත භාවනා ක්‍රමයක් සම්බන්ධ විමර්ශනය හා අත්දැකීම මගින් ඒ සම්බන්ධ අපගේ විශ්වාසය වැඩි වර්ධනය කරනු ලබයි. අපි “මේක හරිද, වැරදිද” යනුවෙන් විමර්ශනය කරන අතර, ඉනික්බිති ඒ පිළිබඳ අත්දැකීමක් ලබාගැනීමට උත්සාහ කරන්නෙමු. මෙය සිදු කිරීමේ අර්ථය නම් එමගින් විධික්‍රමය පිළිබඳ විශ්වාසයක් අප වෙත ලබාදීමයි. යම් පිළිවෙත් විධියක් නිවැරදි වන අතර එය සාර්ථක බවට විශ්වාසය ඇති කිරීමෙන් ඇතිවන කාර්යය කවරක්ද? එමගින් එය ගැඹුරින් පුහුණු වීම සඳහා වූ අපගේ හැකියාව වැඩි වර්ධනය කරනු ලබයි. අපට අප කරන කාර්යය පිළිබඳ විශ්වාසයක් නොමැත්තේ නම් එම පුහුණුවෙහි නොයෙදෙන්නෙමු. එක් එක් පියවරෙන් ඉටු කෙරෙන කාර්ය භාරය පිළිබඳ වැටහීමක් ඇත්තේ නම්, ඒ එක එකක් සඳහා හදවතින් කැප වන්නෙමු. අවබෝධ කර නොගන්නේ නම්, ඒ කිසිවක් නොකරන්නෙමු.
මෙයට අමතරව, වෙනත් දෙයකට හානි සිදු කිරීම හෝ විරෝධය දැක්වීම සඳහා යමෙක ක්‍රියාකාරිත්වය අවබෝධ කරගත යුතුවේ. නිදසුනක් ලෙස, යම් ක්‍රමයක් පිළිබඳව පවත්නා විශ්වාසය විසින් ඒ පිළිබඳ පවත්නා අතීරණාත්මක බව විනාශ කරනු ලබයි. යම් ක්‍රමයක් පිළිබඳව හෝ එම ක්‍රමය අනුගමනය කිරීම සඳහා අප සතුවන හැකියාව පිළිබඳ විශ්වාසයක් නොමැති වීම හේතුකොට ඒ මගින් කවර හෝ ප්‍රගතියක් ලැබීමේ හෝ සාර්ථකත්වයක් අත්පත් කරගැනීමේ හැකියාව වළක්වාලනු ලබයි.
ඉගෙන ගන්නා එක් එක් දෙයක් මගින් හා පුරනු ලබන එක් එක් පිළිවෙත් පියවර මගින් සවිබල ගැන්වෙනුයේ කවරක්ද හා විනාශ කෙරෙනුයේ කවරක්ද යන්න දැන සිටීම ඉතාමත් ප්‍රයෝජනවත් වේ. එවිට අප සිදුකරන කාර්යය පිළිබඳ තාත්ත්වික ආකල්පයක් පවත්වාගත හැකිවේ. නිදසුනක් ලෙස, ආදරය වැනි නිශ්චිත ධනාත්මක චිත්ත ස්වභාවයක් හෝ ආකල්පයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය වනුයේ මන්ද? එමගින් චිත්ත සාමය ඇති කිරීම සඳහා වූ කාර්ය භාරයක් ඉටු කෙරෙන අතර අන්‍යයන්ට උපකාර කිරීමේ හැකියාව අපට ලබාදෙන්නේය යන්න වලංගු හේතුවකි. තරහව වැනි නිශේධනාත්මක චිත්ත ස්වභාවයකින් මිදීමට අවශ්‍ය වන්නේ මන්ද? එමගින් සිදුවන දෙය හේතුවෙනි: එමගින් අන්‍යයන්ට මෙන්ම අපටද කරදර ඇති කෙරේ. දුම්බීම වැනි අප ඇලී සිටින්නාවූ හානිකර චර්යා රටාවන් නවතාලීමට අපේක්ෂා කරන කල්හි මෙම අවබෝධය ඉතා වැදගත් වේ. දුම්බීම මගින් අපගේ පෙනහළුවලට සිදුවන දෙය මෙන් යම් ක්‍රියාවක් මගින් සිදුවන දෙය පිළිබඳ පැහැදිලි වැටහීමක් පවත්නේ නම් එම කාර්යය නවතාලිය යුත්තේ මන්ද යන්න අපි අවබෝධ කරගන්නෙමු. ඒ ආකාරයෙනි ක්‍රියාකාරිත්වය සම්බන්ධ සිද්ධාන්තය ක්‍රියාත්මක කරනුයේ.
හේතු සාධක මගින් ස්ථාපනය නම්වූ සිද්ධාන්තය
තෙවැන්න වනුයේ හේතු සාධක මගින් ස්ථාපනය කිරීමේ සිද්ධාන්තයයි. යම් කරුණක් වලංගු දැනුමක් මගින් ප්‍රතිරෝධනය කරන්නේ නම් විනා එය ස්ථාපනය කෙරෙන හෝ සනාථ කෙරෙන බව මෙමගින් අර්ථවත් වේ. ධර්ම ග්‍රන්ථමය අධිකාරිය විසින් එයට ප්‍රතිවිරුද්ධ කරුණු දක්වන්නේද යන්න තීරණය කරනු පිණිස ධර්මය ලෙස උගන්නා කරුණක් පළමුව විමසා බැලිය යුතුවේ. යම් දේශනාවක් ධර්ම දේශනාවක් බව දැනගන්නේ කෙසේද? එය බුදුන් වහන්සේ දේශනා කළ දේ හා අනුගත වේ. බුදුන් වහන්සේ විසින් මතුපිටින් පරස්පර සේ පෙනෙන විවිධ දේ විවිධ අනුගාමිකයන් වෙත දේශනා කරන ලද හෙයින් බුදුන්ගේ ගැඹුරුම අපේක්ෂාව වටහා ගන්නේ කෙසේද? යම් තේමාවක් බුදුන් වහන්සේගේ දේශනාව තුළ නැවත නැවතද ඉස්මතුවන තේමාවක් සේ පෙනී යන්නේ නම්, එමගින් බුදුන් වහන්සේ සැබෑ ලෙසම එය අදහස් කළ බවක් හැඟෙන බව භාරතීය ගුරු ධර්මකීර්ති තුමා විසින් විග්‍රහ කරන ලදී. විශේෂයෙන් ආචාර ධාර්මික ගැටළු සම්බන්ධයෙන් සලකා බලන කල මෙය වැදගත් කරුණකි.
යමක් දැනගැනීමේ දෙවන වලංගු විධික්‍රමය වනුයේ තර්කනය හා අර්ථ දැක්වීමයි. එය තර්කය හා අනුගතද, හෝ තර්කනයෙන් ප්‍රතිරෝධනය වන්නක්ද? එය සාමාන්‍ය දැනීම හා අනුගතද, මුළුමනින්ම අසාමාන්‍යද? ඉනික්බිති එන දැනගැනීම පිළිබඳ තෙවන වලංගු විධික්‍රමය වනුයේ සෘජු වැටහීමයි. සැබෑ ලෙසම භාවනා කරන විටදී හෙවත් සිතා බලන කල්හි අපගේ අත්දැකීම් මගින් එය ප්‍රතිරෝධනය කරන්නේද? නැතහොත් තහවුරු කරන්නේද?
මෙ සිද්ධාන්තය යොදාගැනීම පිළිබඳ නිදසුනක් සලකා බලමු. “ආදරය මගින් කෝපය මැඩ පැවැත්විය හැක” වැනි යම් දුර්වලතාවයක් හෝ ගැටලුවක් යම් ප්‍රතිවිරුද්ධ ගුණයක් යෙදීම මගින් මුලිනුපුටා දැමිය හැකි බවට වන දේශනාවක් ශ්‍රවණය කළ හැක. පළමුව මෙය බුදුන් වහන්සේගේ දේශනා හා අනුගත වන්නේද යන්න සලකා බලන්නෙමු. පැහැදිලිවම එය බුදුන් වහන්සේ දේශනා කළ කිසිදු කරුණකට ප්‍රතිරෝධී නොවේ.
එය තර්කානුකූලව නිවැරදිද? එසේය. ආදරය යනු අන්‍යයන් සතුටින් සිටීවාය යන පැතුමයි. මා හට හානි කරන්නාවූ හා මම තරහින් සිටින අනෙකා මෙයාකාරයෙන් කටයුතු කරන්නේ මන්ද? මෙම පුද්ගලයා මෙකී දේ සිදු කරනුයේ ඔහු හෝ ඇය අසතුටින් සිටින බැවිනි; එම පුද්ගලයා මානසිකව හා භාවමය වශයෙන් වියවුලෙන් පසුවන්නෙකි. මා මේ පුද්ගලයාට ආදරය කරන්නේ නම්, ඔහු හෝ ඇය සතුටින් සිටිත්වාය යන්න මාගේ පැතුම වනු ඇත; එම පුද්ගලයා එතරම් කාලකණ්ණි හෝ වියවුල් සහගත තත්ත්වයෙන් නොසිටීවා යන්න මාගේ පැතුම වනු ඇත. එවන් ආකල්පයක් තුළ එම පුද්ගලයා හා කෝප වීම වළක්වනු ලබයි. එය මුළුමනින්ම තර්කානුකූලය. මෙම පුද්ගලයා විසින් බොහෝ වූ හානි සිදු කරන්නේ නම්, මා හට ඔහු එසේ සිදු කිරීම වැළැක්වීමට අවශ්‍ය වන්නේ නම්, මවිසින් මාගේ ආදරය ව්‍යාප්ත කළ යුතුය. ඔහු හෝ ඇය සතුටින් ජීවත් වූයේ නම් එම පුද්ගලයා විසින් මෙම හානිය සිදු නොකරන බැවින් මවිසින් එම පුද්ගලයා සතුටින් සිටීවායි පැතිය යුතුය. එම පුද්ගලයා සමග තරහ වීම තුළ ඔහු හෝ ඇය මා හට හානි කිරීම නැවතීමක් සිදු නොවනු ඇත. මෙම ඉගැන්වීම තුළ තාර්කික අදහසක් ගැබ්වේ.
අවසානයේ අපි සෘජු අවබෝධය හෝ භාවනාමය අත්දැකීම් තුළින් විමසීම සිදු කරන්නෙමු. වෙනත් වචනවලින් පවසන්නේ නම්, එය සාර්ථක වන්නේද යන්න විමසනු පිණිස කාර්යය සිදුකර බලන්නෙමු. ආදරය පිළිබඳ භාවනා කරන්නේ නම් එමගින් මාගේ කෝපය අවම වනු ඇත්ද? එසේය. ඒ වූකලි යමක් යුක්ති සහගත දේශනාවක්ද යන්න සම්බන්ධ තෙවන පරීක්ෂාවකි. මෙසේය හේතු සාධක මගින් ස්ථාපනය නමැති සිද්ධාන්තය ක්‍රියාත්මක කරන්නේ.
දේවල ස්වභාවය සම්බන්ධ සිද්ධාන්තය
අවසන් සිද්ධාන්තය වනුයේ දේවල ස්වභාවය සම්බන්ධ සිද්ධාන්තයයි. මෙය වූකලි ගින්න උණුසුම් වන අතර ජලය තෙතමනය සහිත වූවක්ය ආදී වශයෙන් ඇතැම් කරුණු දේවල ස්වභාවයය යන සිද්ධාන්තයයි. ගින්න උණුසුම් හා ජලය තෙත් වනුයේ මන්ද? එය ඒවාහි ස්වභාවයයි. ධර්මය තුළ සියලු දෙනා සතුටින් සිටීමට කැමැති වන අතර කිසිවෙකු හෝ දුක් වීමට කැමති නොවන්නේය ඈ ලෙස දේවල ස්වභාවය හේතුවෙන්ම සත්‍ය වන කරුණු කවරේද යන්න විමර්ශනය කළ යුතුය. එසේ වනුයේ මන්ද? එසේ වනුයේ ඒවාහි පැවැත්මම එසේ වන බැවිනි. තවත් නිදසුනක් සලකා බලමු. හානිකර චර්යාවන් තුළින් දුකද, ධනාත්මක චර්යාවන් තුළින් සතුටද උපදී. ඒ මන්ද? එය විශ්ව ධර්මතාවයයි. නොඑසේව බුදුන් වහන්සේ එවන් තත්ත්වයක් නිර්මාණය කළා නොවේ; එය ඒවාහි පැවැත්ම පිළිබඳ සත්‍ය තත්ත්වයයි. ඇතැම් දේවල් ඒවාහි සැබෑ ස්වභාවය අනුව එසේ පවත්නා බවට විමර්ශනය කොට සොයාගත හොත් අපට ඒවා ජීවිතයේ සත්‍යයන් ලෙස පිළිගැනීමට සිදුවේ. ඒවා පිළිබඳව සිත් වියවුල් කරගැනීම හුදෙක් කාලය නාස්ති කිරීමක් පමණි.
ධර්ම පිළිවෙත් පිරීම සම්බන්ධයෙන් බොහෝ සෙයින් අදාල වන දේවල ස්වභාවය සම්බන්ධ කරුණක් වනුයේ සංසාරය ඉහළ පහළ ගමන් කරන්නක් වන බවයි. මෙය හුදෙක් වාසනාවන්ත හා අවාසනාවන්ත පුනර්භවයන් ලැබීමට පමණක් අදාළ නොවන අතර අපගේ එදිනෙදා ජීවිතයේ සෑම මොහොතකටම අදාල වේ. අපගේ චිත්ත ස්වභාවයන් හා කළ යුතු බවට අපට දැනෙන දේ නිරතුරු ඉහළ පහළ ගමන් කරයි. එය දේවල සත්‍ය ස්වභාවය වශයෙන් පිළිගන්නේ නම්, ඒ පිළිබඳ සිත අවුල් කර නොගන්නෙමු. සංසාරයෙන් අපේක්ෂා කරන්නේ කවරක්ද? සැබැවින්ම ඇතැම් දිනවල භාවනාව යහපත් පරිදි සිදුවන අතර ඇතැම් දිනවල එසේ නොවේ. ඇතැම් දිනවල භාවනා පුහුණුව සිදු කිරීමේ කැමැත්තක් ඇතිවන අතර, වෙනත් දිනවල එසේ නොවේ. මෙය කලබල වීමට තරම් කරුණක් නොවේ. එය දේවල්හි ස්වභාවයයි. එය පසෙක ලන්න. ඉන් සිත කලබලයට පත් කර නොගන්න. එය ඉතාමත් තීරණාත්මක දෙයකි.
තාත්විකව ධර්මය කෙරෙහි ප්‍රවේශයක් ගන්නේ නම්, බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම කරුණු සතර ඉතා ප්‍රයෝජනවත් වේ. ඒවා පිළිබඳ අපගේ වැටහීම හා ඉගෙන ගන්නා දේශනාවකට එය අදාල කරගන්නා ආකාරය තහවුරු කරගනු පිණිස, අපගේ සිරුරු හා පවත්නා බැඳීමෙන් ඉවත් වීම යන නිදසුන සලකා බලමු.
- මෙම විරාගය ගොඩනංවා ගැනීම රඳා පවත්නේ කවරක් මතද? එය අනිත්‍යය , පුනර්භවය, තමා පවත්නා ආකාරය, සිරුර, සිත හා තමා අතර පවත්නා සම්බන්ධතාවය ආදී කරුණු වටහා ගැනීම මත පදනම් වේ.
- අපගේ සිරුරු හා පවත්නා බැඳීමෙන් ඉවත් වීමේ කාර්යය කවරක්ද? ලෙඩ වීමේදී, වයසට යාමේදී හෝ ශරීරය දුර්වල වීමේදී සිත අවුල් කර නොගැනීමට හා කෝප නොගැනීමට උපකාරී වනු පිණිස එම කාර්යය සිදුවේ.
- මෙය හේතු සාධක මගින් ස්ථාපිත තත්ත්වයක්ද? එසේය. ශරීරය හා පවත්නා බැඳීමෙන් ඉවත්වීමෙන් දුකට හේතු ඉවත් කෙරෙන බව බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදී: එම දුකට හේතුව නම් අනිත්‍ය දෙයක් තමා හෝ තමාගේ කරගැනීමෙන් ඇතිවන බැඳීමයි. එය තර්කානුකූලද? එසේය. මක් නිසාද, සිරුර මොහොතින් මොහොත වෙනස්වීමට හා වයස්ගත වීමට ලක්වේ. එහි ක්‍රියාකාරිත්වය අපි අත් විඳින්නෙමුද? එසේය. විරාගය ගොඩනගා ගන්නා විටදී, අප අත් විඳින දුක හා ගැටලු අවම වන බව අපට පෙනේ.
- දේවල ස්වභාවය කවරේද? මාගේ සිරුර පිළිබඳව පවත්නා ඇල්ම ඉවත්කර ගැනීම පිළිබඳ සිතා බලන්නේ නම් හෝ භාවනා කරන්නේ නම්, මාගේ සතුට දිනෙන් දින වර්ධනය වනු ඇත්තේද? නැත. එය එසේ නොවේ. මෙය සංසාරයයි; එය ඉහළ, පහළ ගමන් කරන්නකි. අවසානයේ, දිගු කාලීන දෘෂ්ටි කෝණයකින් විමසා බලන කල්හි, මා හට වඩාත් සතුටු විය හැකි අතර මාගේ ජීවිතය වඩා යහපත් විය හැකි නමුත් මෙය සරල රේඛීයව සිදු නොවේ. එය දේවල ස්වභාවය නොවේ.
සාරාංශය
අපගේ සිරුරු පිළිබඳ පවත්නා ඇල්මෙන් ඉවත්වීම වැනි දේශනාවක් විමර්ශනය කරනු පිණිස සිද්ධාන්ත සතර යොදා ගැනීමෙන් එයට ප්‍රවේශ වන ආකාරය පිළිබඳ තාත්වික ආකල්පයක් ගොඩනගා ගන්නෙමු. මෙලෙසින්, “හුදෙක් විශ්වාසය හෝ ගෞරවය හේතුවෙන්ම මාගේ දේශනා පිළිගැනීම සිදු නොකරන්න. රන් මිලට ගන්නාක් මෙන් විමසා බලන්න” යනුවෙන් උපදෙස් දෙන අවස්ථාවේදී බුදුන් වහන්සේ විසින් අදහස් කරන ලද්දේ ඒවා මෙම සිද්ධාන්ත සතර යොදා විමර්ශනය කරන ලෙසයි.