අප ගතකරන ජීවිතය සදාකල් පවතින්නක් නොවේ. එසේ වුවද "මරණය අපගේ සතුරාය" යනුවෙන් සිතීම සම්පූර්ණයෙන් වැරදි අදහසකි. මරණය යනු අපගේ ජීවිතයේ කොටසකි. සත්‍ය වශයෙන්ම, බෞද්ධ දෘෂ්ටි කෝණයකින් සලකා බලන කල, මෙම සිරුර යම් ආකාරයක සතුරෙකි. මෝක්ෂය හෙවත් විමුක්තිය උදෙසා නිර්ව්‍යාජ ඇල්මක් ඇතිකරගනු පිණිස, අපගේ ආකල්පය පිළිබඳ සිතා බැලිය යුතු වේ: එනම්, අපගේ උපත, මෙම සිරුර, එහි ස්වභාවයමද දුක වන අතර, එ් අනුව එය අවසන් කිරීම හෙවත් සන්සිඳීම කළ යුත්තක් වන බවයි. එනමුදු, මෙම ආකල්පය මගින් බොහෝ ගැටළු ඇතිකළ හැක. මරණය සතුරා වශයෙන් ගන්නේ නම්, මෙම සිරුරද සතුරෙකු වන අතර සමස්තයක් ලෙස ජීවිතයද සතුරෙකු වේ. එය පමණ ඉක්මවා ගමන් කිරීමකි.
සැබැවින්ම, මරණය යනු අවම වශයෙන් මෙම සිරුර සම්බන්ධ පැවැත්මේ අවසානයයි. මෙම ජීවිතය තුළ යම් සමීප සම්බන්ධතා සහිතව ගොඩනගාගත් සියලු දේ අතහැරීමට අපට සිදුවනු ඇත. සතුන් මරණය ප්‍රිය නොකරන අතර, එ් අනුව ස්වභාවිකවම මනුෂ්‍යයා සම්බන්ධ තත්ත්වයද එයම වේ. එනමුදු, අප ස්වභාව ධර්මයේම කොටසක් වන බැවින් මරණයද අපගේ ජීවිතයේ කොටසක් වේ. තර්කානුකූලව සලකා බලන්නේ නම් ජීවිතයට ආරම්භයක් හා අවසානයක් ඇත - උපතක් හා මරණයක් පවතී. එසේ නම් එය අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. එසේ නමුදු, මරණය පිළිබඳ අපගේ යථාර්ථවාදී නොවන ප්‍රවේශයන් හා අදහස් මගින් අමතර කණගාටුවක් හා සාංකාවක් ඇති කරනු ලබයි.
එබැවින්, බෞද්ධ පිළිවෙත් පුරන්නෙකු වශයෙන් මරණය හා අනිත්‍යය පිළිබඳ දිනපතා සිහි කිරීම ඉතා ප්‍රයෝජනවත් වේ. අනිත්‍ය දහමේ මට්ටම් දෙකකි: වඩා දළ මට්ටම [සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය] හා සියුම් මට්ටම [හේතු ප්‍රත්‍යයන්හි බලපෑමට ලක්වූ සියලු සංඛත ධර්ම මොහොතින් මොහොත වෙනස් වන්නේය] වශයෙනි. සත්‍ය වශයෙන් අනිත්‍ය දහමේ සියුම් මට්ටම බුදු දහමේ සැබෑ ඉගැන්වීම වේ; එනමුදු අපගේ පැවැත්ම සදාකාලික වූවක්ය යන හැඟීම මත පදනම් වූ පාපකාරී භාවයන් සමහරක් අවම කරන බැවින් අනිත්‍යය පිළිබඳ දළ මට්ටමද පොදුවේ පිළිවෙතෙහි වැදගත් කොටසක් වේ.
බටහිර රටවල්හි සිට අන් සියලු ප්‍රදේශයන්හිද මහා බලකොටු හා පවුරු බැඳ වැජඹුණු මහා රජවරුන් හා පාලකයන් සලකා බලන්න. මෙම අධිරාජයෝ තමා කිසිදින නොමියෙන බව සිතූහ. එසේ නමුදු, මෙම ව්‍යුහයන් හෙවත් ආකෘතීන් සැලකිල්ලෙන් විමසා බලන විටදී එ්වාහි යම් අමනෝඥ බවක් පෙනේ. චීන මහා ප්‍රාකාරය සලකා බලන්න. එතුළින් එය ඉදි කිරීමට වෙහෙසුණු යටත් වැසියනට මහත් දුකක් ඇති කරන ලදී. එසේ වුවද, මෙම නිර්මාණ සිදු කරන ලද්දේ "මාගේ බලය හා රාජධානිය සදාකල් පවතිනු ඇත" හා "මාගේ අධිරාජයා සදාකල් වැජඹෙනු ඇත" යන හැඟීමෙනි. බර්ලින් තාප්පය පිළිබඳ සලකා බැලුවහොත්, එක් නැගෙනහිර ජර්මානු කොමියුනිස්ට් නායකයෙකු පැවසුවේ එය වසර දහසක් පවතිනු ඇති බවයි. මෙකී සියලු හැඟීම් ඉස්මතු වනුයේ තමා හා තම පක්ෂය හෝ ඇදහිලි කෙරෙහි පවත්වාගෙන යනු ලබන ග්‍රහණය හා එ්වා සදාකල් පවතිනු ඇත යන සිතිවිල්ල හේතුකොටගෙනය.
අපගේ පෙළැඹීමේ කොටසක් වශයෙන් ධනාත්මක ආශාවක් පැවතිය යුතුය යන්න සත්‍යයකි - ආශාවකින් හෙවත් කැමැත්තකින් තොරව චලනයක් සිදුවිය නොහැක. එසේ වුවද, මෝහ මිශ්‍රිත ආශාව හෙවත් කැමැත්ත භයානක එකකි. නිදසුනක් ලෙස, "මම සදාකල් ජීවත් වෙමි" යන අදහස නිරතුරු ඇති කරවන නිත්‍යතා හැඟීමක් පවතී. එය යථාර්ථවාදී නොවේ. එය මෝහයයි. එය ආශාව - නිරන්තරයෙන් තව තවත් දේවල් ඕනෑකම හෙවත් රැස්කිරීමේ අවශ්‍යතාවය - හා සම්බන්ධ වූ විටදී එමගින් වඩ වඩාත් කරදර හා ගැටළු ඇති කෙරේ. එනමුදු ප්‍රඥාවන්ත ආශාව හෙවත් අපේක්ෂාව ධනාත්මක එකක් වන අතර, එය පැවතිය යුත්තකි.
හිස් කබල් වැනි දේ මගින් ඇතැම් තන්ත්‍ර පිළිවෙත් තුළ අනිත්‍යය සිහි කැඳවීම් දක්නට ලැබෙන අතර ඇතැම් මණ්ඩලයන්හි සොහොන් පිටි සිතින් මවා ගන්නෙමු. මේ සියල්ල අනිත්‍යය පිළිබඳ අප වෙත සිහි කැඳවන සංකේත වේ. දිනක් සොහොන් පිටියක් හරහා මාගේ රථයෙන් ගමන් කළෙමි. පසු කාලීනව "මට සොහොන් පිටිය හරහා ගමන් කරන්නට සිදු වුණා. එ්ක තමයි අපේ අවසන් ගමනාන්තය. අපට එතනට යන්න වෙනවා"යි පවසන අවස්ථාවන්හි එම ගමන මා හට සිහිපත් විය. කුරුසිය මත සිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ද සිය අනුගාමිකයන් වෙත පෙන්වා දෙන ලද්දේ අවසානයේ මරණය අප වෙත ළඟාවන බවයි. බුදුන් වහන්සේද එවැන්නක් සිදුකළ සේක. අල්ලාහ් දෙවියන් වහන්සේ පිළිබඳ මම නොදනිමි - උන්වහන්සේ රූපයකින් පෙනී නොසිටී - එනමුදු, සැබැවින්ම මුහම්මද් තුමා විසින් එය පෙන්වා දෙන ලදී.
එබැවින්, යම් දිනෙක මරණය අප වෙත ළඟාවනු ඇත යන කරුණ පිළිබඳ යථාර්ථවාදී විය යුතුය. මරණය උදාවන බවට වූ යම් ආකල්පයක් ආරම්භයේ සිට ගොඩනගා ගන්නේ නම්, මරණය සැබෑ ලෙසම පැමිණි කල ඔබ එතරම් කලබල නොවනු ඇත. එ් අනුව, මේ පිළිබඳ දිනපතා සිහි කිරීම බෞද්ධ පිළිවෙත් පුරන්නෙකු විෂයයෙහි ඉතා වැදගත් වේ.