බුදුරජාණන් වහන්සේ හා උන් වහන්සේගේ කාලයේ සිදුවූ දේශපාලනික සිදුවීම්

ඓතිහාසික බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සම්භාව්‍ය බෞද්ධ සාහිත්‍යය තුළින් ස්ථර ගණනාවක් හරහා ඉස්මතු වේ. එහි ආරම්භක සංස්කරණය කිසිදු තනි පාඨ ග්‍රන්ථයක දක්නට නොලැබෙන අතර ථේරවාද සම්ප්‍රදායේ පාලි සුත්ත (සංස්. සූත්‍ර) හා විනය සාහිත්‍යය තුළ වාර්තාගත සිදුවීම් එකිනෙක සම්බන්ධ කිරීම තුළින් පමණක් නිර්මාණය කරගත හැක. මහාසාංඝික, සර්වස්තිවාද සහ මහායාන සම්ප්‍රදායන්හි පසුකාලීන ග්‍රන්ථ මෙම පූර්ව ග්‍රන්ථවලින් මතුවන හිස් දළ සටහන ඇතැම් විට බොහෝ වූ අධිමානුෂික ලක්ෂණවලින් අලංකාර කරයි. කෙසේ වෙතත්, පාලි සාහිත්‍යයෙන් මතුවන මුල් චිත්‍රයෙන් කරදරකාරී, අනාරක්ෂිත කාලවල ජීවත් වෙමින්, පෞද්ගලිකව සිය දිවිය මෙන්ම තම පැවිදි ප්‍රජාව විෂය කොටගෙනද නොයෙකුත් දුෂ්කරතා සහ අභියෝගවලට මුහුණ දුන් ඉතා මනුෂ්‍ය ස්වරූපයේ පුද්ගලයකු පිළිබඳ හෙළිදරව් කරනු ලබයි. ස්ටීවන් බැචෙලර් විසින් ඔහුගේ ‘බෞද්ධ අදේවවාදියෙකු පිළිබඳ පාපොච්චාරණය’ නමැති කෘතිය තුළින් ඉදිරිපත් කරන ලද විද්වත් පර්යේෂණ මත පදනම්ව, බුදුන්ගේ ජීවිතයේ මෙම මුල්ම අනුවාදය මෙහි ගෙනහැර දක්වමු. සියලුම නම් ඔවුන්ගේ පාලි අනුවාදවල දක්වනු ඇත.

ක්‍රිස්තු පූර්ව 566 දී වර්තමාන දකුණු නේපාලයේ ලුම්බිණි උද්‍යානයේ බුදුන් වහන්සේගේ උපත සිදුවිය. සාකියයන්ගේ අගනුවර වන (සංස්. ශාක්‍ය) කපිලවත්ථු (සංස්. කපිලවස්තු) හි නුදුරු ප්‍රදේශයක මෙම උද්‍යානය පිහිටා තිබිණි. ඔහුගේ පුද්ගලික නම සිද්ධත්ත (දොන්-ග්‍රබ්, සංස්. සිද්ධාර්ථ) යන්න පාලි පිටක ග්‍රන්ථ තුළ දක්නට නොලැබුනද; පහසුව සඳහා, අපි එය මෙහි භාවිතා කරමු. බුදුන් පිළිබඳව නිතර භාවිතා කරන තවත් නමක් වූ ගෝතම (සංස්. ගෞතම) යන නාමය , සැබැවින්ම, උන් වහන්සේගේ වංශ නාමයයි.

පසු කාලීන බෞද්ධ සාහිත්‍යය තුළ විස්තර කෙරෙන අයුරු සිද්ධත්ථයන්ගේ පියා වු සුද්ධෝදන (සංස්. සුද්ධෝදන) රජෙකු නොවූ අතර, ඔහු ශාක්‍යයන්ගේ ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයෙකු වශයෙන් කටයුතු කළා විය හැකි ගෝතම වංශයේ කුලීන වංශාධිපතියෙකු විය. පාලි පිටක ග්‍රන්ථ තුළ උන් වහන්සේගේ මවගේ නම වාර්තා නොවන නමුදු පසුකාලීන සංස්කෘත මූලාශ්‍ර තුළ ඇය මායා දේවිය වශයෙන් හඳුනාගනු ලබයි. සිද්ධාර්ථයන්ගේ මව උන් වහන්සේගේ උපතින් කෙටි කලක් ඇතුළත මියගිය බැවින් එම වකවානුවේ චාරිත්‍රය පරිදි උන් වහන්සේගේ පියා ඉන්පසු විවාහ කොටගත් ඇයගේ සොයුරිය වූ ප්‍රජාපතිය (සංස්. මහාප්‍රජාපතී) විසින් ඔහු හදාවඩා ගන්නා ලදී.

ශාක්‍ය ජනපදය පුරාණ ජනරජයක් වූ නමුදු සිද්ධත්ථයන්ගේ උපත සිදුවන සමය වනවිට, එය බලවත් කෝසල (සංස්. කෝශල) රාජධානියේ කොටසක් විය. කෝසල රාජධානිය වත්මන් බිහාරයෙහි ගංගා නදියේ උතුරුදිග ඉවුරු සීමාවේ සිට හිමාලය කඳු සීමාව දක්වා විහිදිණි. එහි අග නගරය සාවත්ථි (සංස්. ශ්‍රාවස්ථි) නම් විය.

බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන ස්ථානයන්හි භූගෝලීය පිහිටීම ආශ්‍රිත කෙටි විස්තරයක් තුළින් උන් වහන්සේගේ චරිතාපදානය වටහා ගැනීම පහසු කරවිය හැකි බැවින්, එය මෙහිලා ගෙනහැර දක්වමු. ශාක්‍ය ජනපදය ශාක්‍ය ජනපදයේ ගිනිකොණ දෙසට වන්නට මල්ල (සංස්. මල්ල) නමැති පළාත පිහිටන සේ කෝසලයේ නැගෙනහිර කොටසෙහි පිහිටා තිබිණි. මල්ල රාජධානියේ නැගෙනහිර දෙසට වේසාලියේ (සංස්. වෛශාලි) අග නගරය පිහිටි වජ්ජි (සංස්. වර්ජි) ජනරජය පිහිටා තිබිණි. වජ්ජි ජනරජය වංශාධිපති සමූහාණ්ඩුවක් විසින් පාලනය විය; ලිච්ඡවි (සංස්. ලිච්ඡවි) වංශය එ් අතරින් ජනප්‍රියම වංශය විය. වජ්ජි සහ කෝසල රාජ්‍යයනට දකුණු දිශාවට වන්නට ගංගා නදිය හරහා පිහිටන පරිදි රජගහ (සංස්. රාජග්‍රා) නුවර අග නගරය කරගත් බලසම්පන්න මගධ (සංස්. මගධ)රාජ්‍යය විය. කෝසලයේ බටහිර දිශාවට වන්නට වත්මන් පාකිස්තානු පන්ජාබ් ප්‍රදේශය තුළ පර්සියානු ආචිමෙනිඩ් අධිරාජ්‍යයේ මාණ්ඩලික ප්‍රදේශයක් වූ ගන්ධාරය (සංස්. ඝන්ධාර) පිහිටා තිබිණි. එහි අග නගරය වූ තක්ෂිලාවේ (සංස්. තක්ශෂිලා) එවක ජනප්‍රියතම වූ විශ්වවිද්‍යාලය පිහිටා තිබිණි. එහි පර්සියානු අදහස් හා සංස්කෘතීන් එ්වාහි සම කාලීන භාරතීය අදහස් හා සංස්කෘතීන් සමගින් මුහු විය.

සිද්ධාර්ථයන් හැදී වැඩුණු කපිලවත්ථුව එකල ප්‍රධාන වාණිජ ගමන් මාර්ගය වූ උතුරු මාර්ගය හරහා වැටී තිබූ ප්‍රධාන නගරයක් විය. උතුරු මාර්ගය මගින් කෝලසය බටහිර දෙසින් ගන්ධාරයට සම්බන්ධ වූ අතර, ශාක්‍ය, මල්ල, හා වජ්ජි ජනරජය හරහා විහිදී දකුණු දෙසින් මගධයට සම්බන්ධ විය. මෙලෙසින්, සිද්ධාර්ථ ගෞතමයන් වයස අවුරුදු විසි නවයට එළැඹීමට ප්‍රථම කාල පරිච්ඡේදය පිළිබඳව පාලි පිටක ග්‍රන්ථයන්හි සඳහන් වනුයේ ඉතා ස්වල්ප විස්තර ප්‍රමාණයක් වුවද, ඔහු බොහෝ දුරට සංස්කෘතීන් ගණනාවකට විවෘත වූවෙක් විය හැක. සාක්ෂි මගින් සනාථ කළ නොහැකි වුවද, ඔහු තක්ෂිලාවේ පවා ශිල්ප ශාස්ත්‍ර හදාරා තිබුණා විය හැක.

සිද්ධාර්ථයන් විසින් සංස්කෘත සාහිත්‍යය තුළ යශෝධරා ලෙස හැඳින්වෙන භද්දකච්චායනා විවාහ කරගන්නා ලදී. ඇය සිද්ධාර්ථයන්ගේ නෑණන්ඩිය වූ අතර, දේවදත්තයන්ගේ (සංස්. දේවදත්ත) සොයුරිය වූවාය. දේවදත්තයෝ පසු කාලීනව සිද්ධාර්ථයන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට පත්විය. ඔවුනට පුත් රාහුල (සංස්. රාහුල) ලෙස එක් දරුවෙකු ලැබිණි. සිය දරුවාගේ උපතින් කෙටි වේලාවක් තුළ බුදුන් වහන්සේ වයස විසි නවයේදී කපිලවත්ථුව හැරපියා ආධ්‍යාත්මික සත්‍යය සොයා මගධය බලා පිටත්විය. උතුරු මාර්ගය දිගේ ගමන් කරමින් ගංගා නම් නදිය තරණය කළ උන් වහන්සේ රජගහු නුවරට වැඩියහ. එකල මගධය බිම්බිසාර රජු විසින්ද, කෝසලය පසේනදි (සංස්. ප්‍රසේනජිත්) රජු විසින්ද පාලනය කෙරිණි. කෝසල හා මගධ රාජ්‍යයන් අතර පැවති සන්ධානයක කොටසක් වශයෙන් එම රජවරුන් දෙදෙනා විසින් එකිනෙකාගේ සොයුරියන් විවාහ කොටගෙන තිබිණි. පසේනදි රජුගේ සොයුරිය දේවි (සංස්. දේවි) නම් වූවාය.

මගධයේදී සිද්ධාර්ථයන් විසින් ආලාර කාලාම (සංස්. ආරාද කාලාම) හා උද්දකා රාමපුත්ත (සංස්. උද්‍රක රාමපුත්‍ර). නමැති ගුරුවරුන් දෙදෙනෙකුගේ ප්‍රජාවන් තුළ අධ්‍යාපනය ලබාගන්නා ලදී. බ්‍රාහ්මණ සම්ප්‍රදායෙන් පැමිණෙන්නන් වූ ඔවුහූ උන් වහන්සේට ශුන්‍යත්වය පිළිබඳ ධ්‍යාන සමාපත්තිය හා නේවසඤ්ඤානාසඤ්ඤායතනය සාක්ෂාත් කරගන්නා මට්ටම දක්වා ගුරූපදේශ ලබාදුන්හ. කෙසේ වුවද මෙම සාක්ෂාත්කරණයන්ගෙන් තෘප්තිමත් නොවූ සිද්ධාර්ථයෝ මෙම ගුරුවරුන් හැර ගියහ. ඉන්පසු අත්ථකිලමතානුයෝගයට නැඹුරුවූ උන් වහන්සේ එහිදී කිසිදු ආහාරයක් නොගන්නා පමණටම පාහේ එම ප්‍රතිපදාවට කැපවූහ. එයිනුදු තමා සොයන විමුක්තිය සාක්ෂාත් නොවන බව උන් වහන්සේට වැටහිණි. ඉන්පසු සිය ආහාර වර්ජනය අත්හළ උන් වහන්සේ අසල පිහිටි වත්මනෙහි බුද්ධගයාව නමින් හඳුන්වනු ලබන උරුවේල (සංස්. උරුබිල්වා), ග්‍රාමයට වැඩම කරන ලදුව වයස අවුරුදු තිස් පහේදී බෝ රුකක් පාමුළදී සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගත්හ. මෙම සංසිද්ධිය ඇතිවන විට උන් වහන්සේ මගධයට පැමිණ වසර හයක් ගතවී තිබිණි.

සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමෙන් අනතුරුව, උන් වහන්සේ ඉසිපතනයේ (සංස්. සෘෂිපතන) මිගදායට හෙවත් බරණැස් නුවරින් මදක් පිටතට වන්නට පිහිටි වත්මන් සාර්නාත් ප්‍රදේශයට වැඩි සේක. මෙය ගංගානම් ගඟට දකුණු පසට වන්නට පිහිටියද, සිය යොයුරිය බිම්බිසාර රජු වෙත විවාහ කර දීමේදී ඇය වෙත ලබාදෙන දායාදයෙහි කොටසක් වශයෙන් පසේනදි රජතුමා විසින් මෙම ප්‍රදේශය මගධයට පවරා දී තිබිණි. සිය සගයන් පස්දෙනා හෙවත් පස්වග මහණුන් සමගින් මිගදායේ වස් සමය ගතකළ බුදුරජාණන් වහන්සේ වෙත කෙටි කලක් තුළ අනුගාමිකයන් කිහිප දෙනෙකු ආකර්ශනය වූ අතර, මෙම පිරිස හරහා උන් වහන්සේ විසින් රැකබලා ගැනීමට නියමිත බඹසර වාසී සංඝ සමාජයේ නිර්මාණය ආරම්භ විය.

වේසාලියේ මහාලි නමැති ලිච්ඡවි වංශවතා හට බුදුන් වහන්සේ පිළිබඳ දැනගන්නට ලැබුණු අතර, උන් වහන්සේ හට මගධයට වඩින ලෙස ආරාධනා කළ යුතු බවට අදහසක් බිම්බිසාර රජු වෙත ඉදිරිපත් කරන ලදී. එ් අනුව මෝසම් සමයෙන් අනතුරුව බුදුන් වහන්සේ හා උන් වහන්සේගේ වර්ධනය වෙමින් පැවති සඟ පිරිසද මගධයේ අගනුවර වූ රජගහ නුවර බලා නැගෙනහිර දෙසට වඩින්නට විය. බුදුන් වහන්සේගේ දේශනාවන් කෙරෙහි පැහැදුණු බිම්බිසාර රජු විසින් වැසි සමය තුළ සිය සඟ පිරිස නවතා තැබීමට යෝග්‍ය වූ ‘වේලුවන’ (සංස්. වේනුවන) නමැති අත්හැර දමන ලද උද්‍යානය උන් වහන්සේ වෙත පූජා කරන ලදී.  

ඉතා කෙටි කලක් තුළ එම ප්‍රදේශයේ ප්‍රචලිත ප්‍රාදේශීය ගුරුවරයෙකුගේ ප්‍රධාන අනුගාමිකයන් වූ සාරිපුත්ත (සංස්. ශාරිපුත්‍ර) හා මොග්ගල්ලාන (සංස්. මෞද්ගල්‍යායන) යන දෙදෙනාද බුදුන් වහන්සේගේ සංඝ ප්‍රජාවට ඇතුළු වූහ. පසු කාලීනව ඔවුහූ බුදුරජාණන් වහන්සේගේ සමීපතම අනුගාමිකයන් බවට පත්වූහ. වර්ධනය වන භික්ෂු සංඝ පිරිසට සිඛපද පනවන ලෙස සාරිපුත්තයන් වහන්සේ විසින් බුදුන් වහන්සේ වෙතින් ඉල්ලා සිටින ලද අතර, සංඝ ප්‍රජාව විසින් ජෛනාගමිකයන් වැනි සෙසු භික්ෂු ආධ්‍යාත්මික කණ්ඩායම් පිළිපැද්දාවූ සිරිත් විරිත් අතරින් ඇතැම් එ්වා අනුගමනය කිරීම යෝග්‍ය බවට බිම්බිසාර රජු විසින් යෝජනා කරන ලදී. විශේෂයෙන්ම මෙම පිරිස ධර්ම සාකච්ඡා පිණිස මාස තුනකට වරක් රැස්වීම යෝග්‍ය බව රජු විසින් නිර්දේශ කරන ලදී. එ් සඳහා බුදුරජාණන් වහන්සේගේද එකඟතාවය පළවිය.

එක් දිනෙක කෝසලයේ අග නුවර වූ ශ්‍රාවස්ථියෙන් පැමිණි ධනවත් සිටුවරයෙකු වූ අනාථපිණ්ඩික (සංස්. අනාථපිණ්ඩද) ව්‍යාපාරික කටයුත්තක් සඳහා රජගහ නුවරට පැමිණියේය. බුදුන් වහන්සේ කෙරෙහි පැහැදුණු ඔහු විසින් පසේනදි රජුගේ අගනුවර වූ ශ්‍රාවස්ථියෙහි වස් සමය ගතකරනු පිණිස උන් වහන්සේ වෙත ස්ථානයක් පූජා කරන ලදී. ඉන් මොහොතකට පසු බුදුන් වහන්සේ හා සඟ පිරිස කෝසලය බලා පිටත්වූ අතර, අනාථපිණ්ඩිකට උන් වහන්සේලා වෙත යෝග්‍ය නැවතුම් ස්ථානයක් පිරිනැමීමට හැකිවූයේ ඉන් වසර ගණනාවකට පසුවය.

මේ අතරතුර, බුදුන් වහන්සේ කපිලවස්තුවෙහි සිය පවුලේ සාමාජිකයන් දැකබලාගනු පිණිස ආපසු වැඩි සේක. උන් වහන්සේගේ පියා වූ සුද්ධෝදනයන් වහා උන් වහන්සේගේ අනුගාමිකයෙකු බවට පත්වූ අතර උන් වහන්සේගේ අට හැවිරිදි පුත් රාහුල සාමණේර හිමිනමක ලෙස සසුන් ගතවිය. ඉන් අනතුරුව එළැඹි වසර කිහිපය තුළ බුදුන් වහන්සේගේ මස්සිනාවරුන් වූ ආනන්ද (සංස්. ආනන්ද), අනුරුද්ධ (සංස්. අනුරුද්ධ), හා දේවදත්ත මෙන්ම ‘සුන්දරනන්ද’ නමින්ද ප්‍රකටව සිටි බුදුන් වහන්සේගේ ඥාති සොයුරු නන්ද (සංස්. නන්ද) යන කුමාරවරුද සඟ පිරිසට එක් වූහ.

බුදුන් වහන්සේගේ සුළුමව් ප්‍රජාපතී ගෝතමියද එසේ වර්ධනය වෙමින් පැවති සංඝ සමාජයට එක්වීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළ නමුදු බුදුන් වහන්සේ විසින් පළමුව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී. ඉන් අධෛර්යයට පත් නොවූ ඇය සිය හිස මුඩු කොට, කහ සිවුරු හැඳ කාන්තාවන් විශාල පිරිසක්ද සමගින් බුදුන් වහන්සේ පසුපස ගමන් කරන්නට වූවාය. ප්‍රජාපතිය විසින් නොකඩවා බුදුන් වහන්සේ වෙතින් පැවිද්ද ඉල්ලා සිටි නමුත් බුදුන් වහන්සේ එම ඉල්ලීම දෙවන හා තෙවන වතාවටද ප්‍රතික්ෂේප කළ සේක. අවසන බුදුන් වහන්සේගේ පිරිනිවන සිදුවීමට වසර කිහිපයකට පෙර ආනන්දයන් වහන්සේ මැදිහත් වෙමින් ඇය වෙනුවෙන් නැවතද වරක් එම ඉල්ලීම සිදුකරන ලද අතර බුදුන් වහන්සේ අවසන එම කාන්තාවන් පැවිදි කිරීමට එකඟ වූ සේක. මෙම සිදුවීම වජ්ජි ජනරජයේ වේසාලි නුවරදී සිදුවූ අතර, එය සම්බුද්ධ ශාසනයට අදාළ භික්ෂුණී සංඝයාගේ ආරම්භය විය.

අනාථපිණ්ඩික සිටුතුමා එතුමාගේ මහා ත්‍යාගශීලිත්වය පිළිබඳව ප්‍රසිද්ධව සිටි අතර කෝසලයට බුදුන් වහන්සේගේ පුනරාගමනයෙන් වසර කිහිපයකට පසුව ඔහු විසින් ‘ජේතවනය’ (සංස්. ජේතවන), හෙවත් ‘ජේත ගේ උයන’ නමින් හැඳින්වුණු ශ්‍රාවස්ථියේ පිහිටි උද්‍යානයක් මිලදී ගනු පිණිස විශාල රන් කහවණු ප්‍රමාණයක් වැය කරන ලදී. එහි එතුමා විසින් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වස් වසනු උදෙසා අතිශයින් සුව පහසු ආරාමයක් කරවන ලදී. අවසන, උන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයෙන් වසර විස්සකට පමණ පසු, සෑම වසරකම මෝසම් සමයේ මාස තුනක කාල පරිච්ඡේදය තුළ භික්ෂුන් වහන්සේ එක් ස්ථානයක වැඩ වාසය කළ යුතු අතර වසරේ අනෙක් කාලය තුළ සිදුකරන ආකාරයෙන් තැනින් තැන පිඬු සිඟා වැඩීම නොකළ යුතු බවට සිය භික්ෂු සංඝයා වෙත විධිමත් ලෙස පනවන ලද වස් වැසීම (සංස්. වර්ෂක) නමැති චාරිත්‍රය ක්‍රියාත්මක කරවන ලදී. සමස්තයක් ලෙස ගත්කල බුදුන් වහන්සේ විසින් ජේතවනාරාමයේ වස් සමයන් දහනවයක් ගත කරන ලද අතර දේශනා 844ක් දේශනා කරන ලදී. ජීවිතයේ අවසානය කාලය තුළ බංකොලොත්භාවයට පත්වුවද, අනාථපිණ්ඩික සිටුතුමා බුදුන් වහන්සේගේ ප්‍රධාන දායකයෙකු ලෙස නොකඩවා කටයුතු කළේය.

බුදුන් වහන්සේගේ වයස අවුරුදු හතලිහක් පමණ වූ කාල වකවානුවේදී කෝසල රජ පසේනදි හට ජේතවනයේදී ගෞතම බුදුන් හමුවිය. බුදුන් වහන්සේ දැක රජු මහත් ප්‍රසාදයට පත්වූ අතර පසු කාලීනව පසේනදි රජුද උන් වහන්සේගේ දායකයෙකු හා අනුගාමිකයෙකු බවට පත්විය. කෙසේ වුවද පසේනදි රජු සමගින් බුදුන් වහන්සේ තුළ පැවති සම්බන්ධතාවය නිරතුරු ඉතා මෘදු ස්වභාවයේ එකක් විය. රජු දහම් කරුණු ඉගෙනීමෙහි ලා බුද්ධිමත් දායකයෙකු වුවද ලෞකික කටයුතු හා නිරතුරු බැඳී පැවති රජුගේ ජීවිතය අතිශය කෲර එකක්ද විය. නිදසුනක් ලෙස, ඇතිවූ මතිභ්‍රම තත්ත්වයක් තුළ මල්ල රාජධානියෙන් පැමිණි එතුමාගේ මිතුරෙකු වූ හා ඔහුගේ සේනාවේ සේනාධිපතිවරයාද වූ බන්ධුල සෙනෙවිවරයා රජු විසින් මරා දම්මවන ලදී; එනමුදු පසුව මේ පිළිබඳ පසුතැවිල්ලට පත් රජු විසින් බන්දුල සෙනෙවිවරයාගේ බෑණා කෙනෙකු වූ කාරායනයන් සිය සේනාධිපති තනතුරට පත් කරන ලදී. බොහෝ වසර ගණනකට පසු කාරායන සෙනෙවි විසින් සිය මාමාගේ මරණයට පලිගැනීමක් ලෙස රජු බලයෙන් පහ කරවන ලදී. කෙසේ වුවද බුදුන් වහන්සේ විසින් නිසැක වශයෙන්ම සොරුන්ගෙන් හා වන සතුන්ගෙන් සිය සඟ පිරිසට ආරක්ෂාව සලසා ගැනීමේ අවශ්‍යතාවය හා ඔවුනට ආධාර අනුබල ලබාදෙනු පිණිස ධනවත් දායකයන් කරා ප්‍රවේශ වීමේ හැකියාවද සලකා රජුගේ දෝෂ සහගත කටයුතු ඉවසා වදාළ සේක.

ඔහුගේ රාජ වංශයේ පැවැත්ම ආරක්ෂා කරගනු පිණිස පසේනදි රජුට පුත් කුමරෙකු අවශ්‍ය විය.  මගධ රජ බිම්බිසාරයන්ගේ සොයුරිය වූ ඔහුගේ අග බිසවට රජුට දාව දරුවන් බිහි නොවූ බව පැහැදිලි වේ. බුදුන් වහන්සේගේ අනුගාමිකයෙකු වූ පහත් යැයි සම්මත කුලයක රූමත් කුමරියක වූ මල්ලිකා (සංස්. මල්ලිකා) ඉන් අනතුරුව රජු විසින් සිය දෙවන බිසව ලෙස විවාහ කරගන්නා ලදී. පහත් යැයි සම්මත කුලයක උපන් ඇය රාජ කුලයට නින්දාවක් සේ රාජකීය බ්‍රාහ්මණ පූජකවරුන් විසින් සලකන ලදී. මල්ලිකාව විසින් පසේනදි රජුට දාව වජිරි (සංස්. වජ්‍රි) නම් දුවක වැදුවාය.

ඉන්පසු පුත් කුමරෙකු උදෙසා තෙවන බිරිඳකද විවාහ කරගත යුතුය යන්න රජුගේ අදහස විය. එ් අනුව රජු විසින් බුදුන් වහන්සේගේ පියාගේ මරණයෙන් අනතුරුව ශාක්‍ය ජනපදයේ පාලකවරයා බවට පත්වූ, බුදුන් වහන්සේගේ ඥාති සොයුරෙකු වූ මහානාමයන්ගේ (සංස්. මහානාම) දියණියක වූ වාසභා කුමරිය විවාහ කරගන්නා ලදී. මහානාමයෝ බුදුන් වහන්සේගේ සමීප අනුගාමිකයන් වූ ආනන්ද හා අනුරුද්ධ කුමරුන්ගේ සොයුරා විය. මහානාමයන් විසින් කුල කාන්තාවක සේ අඟවා වාසභා පිටත්කොට යවන ලද නමුදු සැබැවින්ම ඇය මෙහෙකාර ස්ත්‍රියකට දාව උපන් අවජාතක දියණියක වූවාය. වාසභා විසින් විඩුඩභ නමින් පසේනදි රජුට දාව පුතෙකු බිහිකළ නමුදු මවගේ ලේ ඥාතිත්වයට අදාළව සැඟවුණු රැවටුම් ක්‍රියාවලිය හේතුකොට කෝසලයන්ගේ ඔටුන්නේ හිමිකරු වශයෙන් ඔහුට හිමි තත්ත්වය අඩමාන එකක් විය. වාසභා කෙරෙහි තමාගේ වූ ඥාතිත්වය හේතුකොට මෙම ව්‍යාජ රංගනය තුළ බුදුන් වහන්සේද යම් දුෂ්කරතාවයකට පත් විය.

මෙම අවජාතකත්වය පිළිබඳ නොදැන සිටි විඩුඩභයන් විසින් වයස අවුරුදු දහසයේදී ශාක්‍ය ජනපදයේ විසූ සිය සීයා වූ මහානාමයන් බැහැ දැකීම පිණිස සංචාරය කරන ලදී. පසේනදි රජුගේ හමුදා සේනාධිපති වූ කාරායනයන් හට විඩුඩභයන්ගේ මව පිළිබඳ සත්‍ය තොරතුරු දැනගන්නට ලැබිණි. රජුගේ පුත් කුමරු වහල් කතකගේ අවජාතක මුණුපුරෙකුය යන කරුණ එම සේනාධිපතිවරයා විසින් පසේනදි රජු හට වාර්තා කළ අවස්ථාවේදී රජු ශාක්‍ය වංශිකයන් කෙරෙහි කෝපාවිශ්ඨව වියරු වැටිණි. සිය බිරිඳ හා ඇයගේ පුතුද මාළිගයෙන් පිටමං කළ රජු ඔවුන් වහල් සේවයට යොමු කරවන ලදී. ඔවුන් උදෙසා බුදුන් වහන්සේ විසින් කරන ලද මැදිහත්වීම තුළ අවසන රජු විසින් ඔවුන් නැවත රජ මාළිගය කරා කැඳවන ලදී.

කෙසේ වුවද, මෙම සිදුවීමෙන් අනතුරුව කෝසලයේ බුදුන් වහන්සේගේ පැවැත්ම අනාරක්ෂිත වූ අතර, වයස අවුරුදු හැත්තෑවේදී පමණ උන් වහන්සේ මගධයට හා එහි අගනුවර වූ රජගහ නුවරටද ආපසු වැඩි සේක. එහි පැමිණි උන් වහන්සේ රජුගේ උණ උද්‍යානයට වඩා වැඩි කලක් ජීවක (සංස්. ජීවක) වෛද්‍යවරයාගේ අඹ වනයේ වාසය කළ සේක. මින් පෙනී යනුයේ එ්වන විටද බුදුන් වහන්සේ රෝගී තත්ත්වයෙන් සිටින්නට ඇති බවයි.

බුදුන් වහන්සේ හැත්තෑ දෙවෙනි වියට එළැඹි කල, උන් වහන්සේගේ අග්‍ර දායකවරයා වූ මගධයේ බිම්බිසාර රජුට අජාතසත්ථු (සංස්. අජාතශතෘ)නමැති සිය පුතු උදෙසා රජකම අත් හැරීමට බල කෙරිණි. සිය පිය රජු සිරගත කළ අජාතසත්ථු විසින් මියයන තුරු ඔහු හාමතේ තබන ලදී. පසේනදි රජුගේ සොයුරිය වූ බිම්බිසාර රජුගේ වැන්දඹු බිරිඳ දේවි ද එම සන්තාපයෙන්ම කලුරිය කළාය. ඇයගේ මරණයට පළි ගැනීමක් ලෙස දේවි කුමරියගේ දෑවැද්දේ කොටසක් ලෙස බිම්බිසාර රජු වෙත පිරිනමන ලද ගංගා නම් නදියට උතුරු දෙසින් වූ වාරණාසිය වටා වූ ගම් ආපසු සිය අණසකට යටත් කරගනු පිණිස සිය බෑණනුවන් වූ අජාතසත්ථුට එරෙහිව පසේනදි රජු විසින් යුද්ධ ප්‍රකාශ කරන ලදී. එම යුද්ධය තීරණයකින් තොරව අවසන් වූ අතර, සාමය පවත්වාගනු පිණිස පසේනදි රජු හට සිය දියණි වජිරි කුමරිය අජාතසත්ථු හට විවාහ කරදීමට සිදුවිය.

එම කාල වකවානුවේදීම පමණ අජාතසත්ථුගේ ගුරුවරයා බවට පත්ව සිටි,බුදුන් වහන්සේගේ මස්සිනා වූ දේවදත්ත බුදුන්ගේ සංඝ පිරිසේ පාලනය සියතට ගැනීම සඳහා වූ උත්සාහයක නිරත විය. වන වාසය, රුක් සෙවණෙහි පමණක් සයනය කිරීම,ගිහියන්ගේ නිවෙස් වෙත නොයාම, කඩමලු පමණක් ඇඳීම, ඇඳුම් පැළඳුම් ත්‍යාග නොපිළිගැනීම හා නිර්මාංශකව ජීවත්වීම ඈ වශයෙන් භික්ෂූන් වහන්සේ උදෙසා අතිරේක විනය නීති ගණනාවක් පනවනු පිණිස බුදුන් වහන්සේ එකඟ කරගැනීමට දේවදත්ත උත්සාහයක නිරත විය. එමගින් සිය ශාසනය තපස්වී චර්යා අන්තයකට ගමන් කරවමින් සමාජයෙන් දුරස් කරවනු අතැයි යන හැඟීම ඇතිවූ බැවින් බුදුන් වහන්සේ විසින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ලදී. බුදුන් වහන්සේගේ පාලනයට අභියෝග කරමින්, බුදුන් වහන්සේගේ බොහෝ නවක භික්ෂූන් සිය අදහස්වලට නම්මවා ගනිමින් බුදුනට එදිරිවාදී වූ වෙනම සඟ පරපුරක් නිර්මාණය කිරීම තුළ දේවදත්තයන් විසින් සංඝ භේදයක් ඇති කරවන ලදී. සත්‍ය වශයෙන්ම දේවදත්තයන් විසින් අවස්ථා ගණනාවකදීම බුදුන් වහන්සේ ඝාතනය කිරීමේ අසාර්ථක සැලසුම් ගණනාවක්ද ක්‍රියාත්මක කරන ලදී. අවසන සාරිපුත්ත හා මොග්ගල්ලාන හිමිවරුන් විසින් බුදුන් වහන්සේගේ සංඝ පිරිසෙන් වෙන්ව ගිය භික්ෂූන් ආපසු බුද්ධ ශාසනයට සම්බන්ධ වීමට එකඟ කරවා ගන්නා ලදී.

දේවදත්තයන් පසු කලෙක සිය ක්‍රියාකාරකම් කෙරෙහි පසුතැවිලි වූ බවක් පෙනීයන නමුදු එකරුණු උදෙසා බුදුන් කමා කරවා ගැනීමට ප්‍රථම ඔහුගේ මරණය සිදුවිය. කෙසේ වුවද, බුදුන් වහන්සේ විසින් කිසි විටෙක හෝ ඔහුට එරෙහිව එදිරිවාදී හෝ සතුරු ආකල්පයක් පවත්වා නොගන්නා ලදී. සිය පියා මරා දැමීම පිළිබඳ පසුතැවිලි වූ අජාතසත්ථු රජුද, රාජකීය වෙදැදුරු ජීවකයන්ගේ උපදෙස් මත, බුදුන් වහන්සේ ඉදිරියේ විවෘතව සිය පීතෘ ඝාතක කර්මය පාපෝච්චාරණය කළ අතර එ් පිළිබඳ සිය පසුතැවීම ප්‍රකාශ කළේය.

ඉන් වසරකට පමණ පසු, බුදුන් වහන්සේ විසින් නැවතද වරක් සිය ඥාතිවරයන්ගේ ගම්බිම් ප්‍රදේශය වූ ශාක්‍ය ජනපදය කරා සංචාරයක නිරත විය. සිය ගෞරවය දැක්වීම සඳහා පසේනදි රජු පැමිණ බුදුන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී, රජය පෙරළා දැමීමේ කුමන්ත්‍රණයක නිරත වූ කාරායන සෙනෙවිවරයා විසින් කෝසල රාජධානියේ රාජ්‍යත්වයට විඩුඩභ කුමරු පත් කරවන ලදී. යායුතු මඟක් නොදුටු බලයෙන් පහ කෙරුණු ප‌සේනදි රජු සිය ඥාති පුත් අජාතසත්ථු රජුගේ ආරක්ෂාව පතා මගධයට පළාගිය නමුදු, නගරයට ඇතුළු වීමේ අවසරයක් නොලද ඔහුගේ මළ සිරුර පසුදින සොයාගන්නා ලදී.

මේ අතර සිය ලේ ඥාතිත්ව පරපුර සම්බන්ධයෙන් ඔහුගේ සීයා වූ මහානාමයන් විසින් සිදුකරන ලද වංචනික ක්‍රියාවට පළි ගැනීමේ අදහසින් කෝසලයේ නව රජු වූ විඩුඩභයන් විසින් ශාක්‍යයනට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන ලදී. ඔබ දන්නා පරිදි මහානාම බුදුන් වහන්සේගේ මස්සිනා කෙනෙකු වූ අතර, එ්වන විට ශාක්‍ය ජනපදයේ පාලකවරයාද විය. අදාළ ප්‍රහාරය සිදු නොකරන ලෙස රජුට කරුණු එ්ත්තු ගැන්වීමට බුදුන් වහන්සේ විසින් අවස්ථා තුනකදී උත්සාහ කරන ලද නමුදු, රජුගේ අරමුණ අවසන මල්ඵල ගැන්විණි. ශාක්‍ය ජනපදයේ අගනුවර වූ කපිලවත්ථුවෙහි සියලු වැසියන් ඝාතනය කරන ලෙස කෝසල හමුදාවන් වෙත අණ ලැබී තිබිණි. එම සමූල ඝාතනය වැළැක්වීමට නොහැකි වූ බුදුන් වහන්සේ ද මින් පෙර පසේනදි රජු විසින් ගත් අසාර්ථක උත්සාහය පරිදිම අජාතසත්ථු රජුගේ ආරක්ෂාව පතා මගධයට පළා ගිය සේක.

මගධය කරා වූ මාර්ගය වජ්ජි ජනපදය හරහා වැටී තිබූ අතර, වේසාලි අගනුවර බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්තයන් විසින් උන් වහන්සේගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටින ලදී. එහිදී පෙරදී බුදුන් වහන්සේගේ උපස්ථායකයෙකු වූ වේසාලියේ වංශවතෙකුද වූ හා මින් පෙර බුද්ධ චීවරයෙන් හා සංඝ ශාසනයෙන්ද ඉවත්ව සිටි  සුනක්ඛත්ථ (සංස්. සුනක්ෂස්ත්‍ර) විසින් වජ්ජි පාර්ලිමේන්තුව ඉදිරියේ අපහාසාත්මක ලෙස බුදුන්ගේ නුගුණ ප්‍රකාශ කරන ලදී.  බුදුන් වහන්සේ සතුව කිසිදු අධි මානුෂික බලයක් නොමැති අතර, තණ්හාව නවතාලන විධික්‍රමය හුදෙක් තර්කයනට අනුව උගන්වන නමුදු අධ්‍යාත්මික තත්ත්වයන් සාක්ෂාත් කරගන්නා ආකාරය එතුළ දේශනා නොකෙරෙන බවද ඔහු විසින් එහිදී ප්‍රකාශ කරන ලදී. බුදුන් වහන්සේ විසින් මෙය තමා වෙත කරන ලද ප්‍රශංසාවක් වශයෙන් භාරගන්නා ලදී. එසේ වුවද. මෙම හෙළා දැකීම හා ඇතැම් විට මෙම කාලය තුළම භික්ෂූණී ශාසනයක් පිහිටුවීමද හේතුකෙට බුදුරජාණන් වහන්සේ වෙත වජ්ජි රාජධානිය තුළ පැවති සහාය හා මනා පැවැත්මද අහිමි වන්නට විය. එ් හේතුකොට, බුදුරජාණන් වහන්සේ ගංගානම් නදිය තරණය කොට රජගහ නුවරට වැඩි අතර එ් ආසන්නයේ පිහිටි ගිජ්ජකූට (සංස්. ගජ්රකූට), පර්වතය හෙවත් ගිජු ලිහිණි කඳු මුදුන සිය වාසස්ථානය කරගත් සේක.

අජාතසත්ථු රජුගේ අග්‍රාමාත්‍ය තනතුරෙහි කටයුතු කළ වස්සකාර බුදුන් වහන්සේ බැහැ දැකීමට පැමිණියේය. අජාතසත්ථු විසින් සිය රාජ්‍යය තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා සැලසුම් කර ඇති සැලැස්ම හා කල් නොයවා වජ්ජි ජනපදය ආක්‍රමණය කිරීමේ ඔහුගේ අදහසද ඔහු විසින් බුදුරජාණන් වහන්සේ වෙත දැනුම් දෙන ලදී. සිය සම්ප්‍රදායික ගෞරවාන්විත ආචාර සමාචාර විධීන් නොකඩවා පවත්වාගෙන යන්නාවූ වජ්ජින් බලහත්කාරයෙන් ජයගත නොහැකි බවට බුදුරජාණන් වහන්සේ විසින් උපදෙස් ලබාදුන් නමුදු කෝසල රාජ්‍යය විසින් ශාක්‍යයන් ආක්‍රමණය කළ අවස්ථාවේදී සිදු වූ පරිදිම සිදුවීමට නියමිත යුද්ධය වළකාලීමට උන් වහන්සේ අපොහොසත් විය. තවද, බුදුන් වහන්සේගේ සමීපතම ශ්‍රාවකයන් වූ සාරිපුත්ත හා මොග්ගල්ලාන දෙනමද මෙම කාල පරිච්ඡේදය තුළම පිරිනිවන් පෑමද මේ හා සමගම උන් වහන්සේට සිදුවූ තවත් අලාභයක් විය. වයෝවෘද්ධ සාරිපුත්තයන් රෝගී තත්ත්වය හේතුකොට පිරිනිවන් පෑ අතර, හුදෙකලා වන අරණක වස් වසන අතරතුර දාමරිකයන් විසින් කරන ලද පහරදීමක් හේතුකොට මොග්ගල්ලානයන්ගේ පිරිනිවීම සිදුවිය.

මගධයේ කිසිදු අනුකම්පාවක් හෝ ආධාරයක් නොලැබූ බුදුරජණන් වහන්සේ විසින් නැවතද බොහෝ දුරට උන් වහන්සේගේ මව්බිම වූ ශාක්‍ය ජනපදය කෝසල රාජ්‍යය විසින් ආක්‍රමණය කිරීමෙන් අනතුරුව එහි තත්ත්වය දැකබලාගනු පිණිස උතුරුදිග බලා වැඩීමට තීරණය කරන ලදී. පිටත්වීමට පෙර සිය අවසන් අවවාදයන් ලබාදෙනු පිණිස ගිජ්ජකූට පර්වතයට සියලුම සංඝයා රැස්කරන ලෙස බුදුන් වහන්සේ විසින් ආනන්දයන් වෙත දැනුම් දෙන ලදී. වජ්ජි පාර්ලිමේන්තුවේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුගමනය කරමින් භික්ෂු සමාජය හැඩ ගස්වන ලෙස උන් වහන්සේ විසින් භික්ෂූන් වෙත උපදෙස් ලබාදෙන ලදී. එනම්, උන් වහන්සේලා විසින් නිතිපතා රැස්වීම, සමගිව වාසය කිරීම, දන් බෙදා හදා ගැනීම හා වැඩිහිටියනට ගරු කිරීම ආදිය කළ යුතු බවයි.

ඉන් කෙටි කලකට පසු ගිජ්ජකූට පර්වතයෙන් හා මගධයෙන්ද නික්මුණු බුදුරජාණන් වහන්සේ වජ්ජි ජනරජයේ වේසාලියට ප්‍රවේශ වීමෙන් අනතුරුව වස් සමය ගතකරනු පිණිස එහි නැවතිණි. ඉස්මතු වෙමින් පැවති යුද අවදානම මධ්‍යයේ එහි සමාජය පරිහානියට පත්වෙමින් පැවති බව උන් වහන්සේට අවබෝධ විය. වජ්ජි පාර්ලිමේන්තුව කෙරෙහි වූ සිය ප්‍රසාදය ගිලිහී යාම හේතුකොට මෝසම් සමය හුදෙකලාවම ගත කළ බුදුරජාණන් වහන්සේ විසින් සිය මිතුරන් හෝ දායකයන් උපකාරයෙන් හැකි පරිදි කල් ගත කිරීමට අවශ්‍ය ආරාම ආදිය සපයාගන්නා ලෙස සංඝයා වහන්සේ වෙත උපදෙස් ලබාදෙන ලදී.

මෝසම් වැසි සමය තුළ අසූ වියැති බුදුරජාණන් වහන්සේ බරපතල ලෙස රෝගී වූ අතර මරණාසන්න තත්ත්වයකට පත්විය. අවසන් වතාවටද භික්ෂු සංඝයා උදෙසා උපදෙසක් ලබාදෙන ලෙස ආනන්දයන් වහන්සේ විසින් උන් වහන්සේගෙන් ඉල්ලා සිටින ලදී. තමා දත් සියලු දේ තමා විසින් දැනටමත් උන් වහන්සේලා වෙත දේශනා කොට ඇති අතර, මින් ඉදිරියට එම ධර්මයම ඔවුන්ගේ මූලික සරණය හා මාර්ගගෝපදේශයද විය යුතු බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. දුකින් මිදීම පිණිස කිසිදු නායකයෙකු හෝ සමාජයක් මත රඳා පවතිනු වෙනුවට තමා තුළටම ධර්මය එ්කාබද්ධ කරගත යුතු බව දේශනා කරන ලදී. ඉන් අනතුරුව බුදුන් වහන්සේ විසින් තමා නොබෝ දිනකින් පිරිනිවන් පෑමට සූදානම් බව ප්‍රකාශ කරන ලදී.

සිය අනුගාමික ඥාති සොයුරන් වූ ආනන්න හා අනුරුද්ධයන්ද සමගින් වැසි සමය අවසන බුදුන් වහන්සේ නැවතද සිය ගමන ආරම්භ කළ සේක. ශාක්‍ය ජනපදය දක්වා ගමන අතරතුරදී මල්ල රජදරුවන්ගේ ප්‍රධාන නගර දෙකෙන් එකක් වූ පාවා නුවර උන් වහන්සේලා නතර වූ සේක. එහිදී චුන්ද (සංස්. චුන්ද) නමැති කම්මල්කරුවෙකු විසින් එම කණ්ඩායම වෙත විෂ සහිත උාරු මස් දානයක් පිරිනමන ලදී. යම්කිසි අනතුරක සේයාවක් දුටු බුදුරජාණන් වහන්සේ විසින් සිය ඥාති සොයුරන් හට එම උාරු මස් නොවළඳන ලෙස උපදෙස් දුන් නමුදු තමන් වහන්සේ විසින් වළඳන ලද අතර, ඉතිරි කොටස වළදමන ලෙස උපදෙස් ලබාදෙන ලදී. මල්ල රාජධානිය වූකලි ශාක්‍ය සමූල ඝාතනයට නායකත්වය දුන් කාරායන නම් ජනරාල්වරයාගේ වාසභූමිය වූ බැවින් එම විෂ කැවූ දානය බුදුන් වහන්සේගේ සමස්ත ධර්මස්කන්ධය සිය මතකයේ තබාගෙන සිටි ධර්ම භාණ්ඩාගාරික ආනන්දයන් වහන්සේ ඉලක්ක කොට පිළියෙල කරන ලද්දක් බවට විශ්වාස කිරීමේ බොහෝ ඉඩකඩ පවතී. ආනන්දයන් වහන්සේ මරණයට පත් වූයේ නම් බුදුන් වහන්සේගේ ධර්මය හා සංඝ සමාජයද අඛන්ඩව නොපවතින්නට ඉඩ තිබිණි.

තියුණු අතීසාර තත්ත්වයකින් පෙළෙමින්ම තමා එ් ආසන්නයේ පිහිටි කුසිනාරා (සංස්. කුෂිනගර) නුවර වෙත කැටුව යන ලෙස බුදුන් වහන්සේ විසින් ආනන්දයන්ගෙන් ඉල්ලා සිටින ලදී. එහි රුක් දෙකක් අතර පනවන ලද ඇඳක වැතිරුණු බුදුරජාණන් වහන්සේ එහි පැමිණ සිටි භික්ෂූන් අමතා ඔවුන් තුළ විමසා දැනගැනීමට අවශ්‍ය යම් පැනයක් හෝ සැක සංකාවක් පවත්නේදැයි විමසා සිටි සේක. ශෝකයෙන් මුසපත්ව සිටි ආනන්දයන් වහන්සේ ඇතුළු පිරිස නිහඬව සිටි අතර, ඉන්පසු බුදුන් වහන්සේ ක්‍රි.පූ. 485දී වයස අවුරුදු අසූවක් ආයු වළඳා පිරිනිවන් පෑ වදාළ සේක.

බුදුන් වහන්සේගේ සිරුර ආදාහනය කරන්නට මඳ වේලාවකට පෙර පාවා නුවර සිට භික්ෂු පිරිසක් එහි වැඩියහ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ නායකත්වයෙන් යුත් එම පිරිස විසින් සිය අවසන් ගෞරව දක්වන තුරු ආදාහන කටයුතු මදකට නතර කරන ලෙස අවධාරණාත්මකව ඉල්ලා සිටින ලදී. මහාකාශ්‍යප හිමි වූකලි එයට වසර කිහිපයකට පෙර වයෝවෘද්ධ අවදියේදී පැවිදි දිවියට පත්වූ මගධ රාජ්‍යයේ බ්‍රාහ්මණ වංශිකයෙකු විය. බුදුන් වහන්සේට පළමු වරට උන් වහන්සේ හමුවූ අවස්ථාවේදී එම බ්‍රාහ්මණ වංශික භික්ෂුවගේ අලුත් චීවරය ගත් බුදුන් වහන්සේ තමා හැඳ සිටි දිරාගිය චීවරය එ් වෙනුවට එම භික්ෂුව වෙත ලබාදෙන ලදී. බුදුන් වහන්සේගේ චීවරය භාරදීමට අදාළ මෙම සිදුවීම පසු කාලීනව බලාධිකාරය පවරා දීම හා බෞද්ධ භික්ෂු සමාජයේ ආරම්භය සනිටුහන් කරන සිදුවීමක් ලෙසද වාර්තා කෙරිණි.

සිය පිරිනිවන් පෑමෙන් අනතුරුව ධර්මයම භික්ෂු සංඝයාගේ ගුරුවරයා බවට පත්වනු ඇති බවට බුදුන් වහන්සේ විසින් අවස්ථා ගණනාවකදීම සිය අනුගාමික පිරිස වෙත පැහැදිලිව ප්‍රකාශ කොට තිබිණි. වජ්ජි පාර්ලිමේන්තු මාදිලියට අනුව සිය සංඝ සමාජයේ ඉදිරි කටයුතුද සිදුවීම උන් වහන්සේගේ අපේක්ෂාව විය. කෝසල, මගධ ආදී රාජධානි ක්‍රමවේදයන් අනුගමනය කරමින් සංඝ සමාජයේ ප්‍රධානියා වශයෙන් එක් තනි ප්‍රධාන භික්ෂුවක හඳුනා ගැනීමේ ක්‍රමයට භික්ෂුන් හුරු කරවීමට උන් වහන්සේ අදහස් නොකළහ.

කෙසේ වුවද, බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් අනතුරුව මහාකස්සප හා ආනන්ද හිමිවරුන් අතර බල අරගලයක් පැවති බැව් පෙනේ. වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම් මෙය ගුරුවරයාගෙන් ගෝලයා හට එ්කාධිපති බලතල හුවමාරු වූ සම්ප්‍රදායික භාරතීය ක්‍රමවේදය හා පිඬුසිඟා වඩින භික්ෂූන් කුඩා ප්‍රජාවන් ලෙස ජීවත් වෙමින් පොදු පිළිවෙත් හා ප්‍රතිපත්ති සමුදායක් අනුගමනය කරන වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් අතර අරගලයක් සේ පෙනේ. එහිදී මහා කාශ්‍යපයන්ට ජය හිමිවිය.

බුදුන් වහන්සේගේ ආදාහනයෙන් අනතුරුව උන් වහන්සේගේ ධාතු කොටස් බෙදා දීමෙන් පසු බුදුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය නැවත දේශනා කරමින්, තහවුරු කොට එය කේතගත කරනු වස් ඊළඟ වස් සමය තුළ රජගහ නුවර සංගායනාවක් පැවැත්විය යුතු බවට මහාකස්සප තෙරුන් විසින් කරන ලද යෝජනාවට භික්ෂුන්ගේ එකඟතාවය පළවිය. එයට සහභාගි විය හැකි වැඩිහිටි පිරිස් තෝරාගැනීම මහාකස්සපයන් වෙත පැවරිණි. උන් වහන්සේ විසින් විමුක්තිය සාක්ෂාත් කරගත් අරහතුන් වහන්සේලා පමණක් තෝරාගන්නා ලද අතර, එම සංඛ්‍යාව 499ක් විය. මුළදී මහාකස්සපයන් විසින් ආනන්දයන් වහන්සේ එම සංඛ්‍යාව තුළට ඇතුළත් නොකරන ලද්දේ උන් වහන්සේ එ් දක්වාද අර්හත් ඵලය සාක්ෂාත් කොටගෙන නොතිබි බැවිනි. ආනන්දයන් වහන්සේ තුළ බුදුන් වහන්සේ දේශනාකොට වදාළ ධර්මය සම්බන්ධ වඩාත්ම ප්‍රශස්ත මතකය පැවති නමුදු මහාකස්සපයන් විසින් උන් වහන්සේ එම සංගායනාවට ඇතුළත් නොකරන ලදී. මෙයට අමතරව, ආනන්දයන් වහන්සේ සිය සංඝයා වහන්සේ එක් තනි නායකත්වයක් යටතට පත් නොවිය යුතු බවට වූ බුදුරජාණන් වහන්සේගේ අපේක්ෂාව හා දැඩිසේ පක්ෂපාතී වෙමින් එය ප්‍රචලිත කළ භික්ෂුවක විය. භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම සඳහා බුදුන් වහන්සේ වෙත කරුණු දක්වන ලද පුද්ගලයාද ආනන්දයන් වහන්සේම වූයේය යන කරුණද ආනන්දයන් කෙරෙහි මහාකස්සපයන් වහන්සේ තුළ නොකැමැත්තක් ඇතිවීමට බලපෑ තවත් සාධකයක් විය හැක. මෙමගින් මහාකස්සපයන්ගේ ආරක්ෂණවාදී බ්‍රාහ්මණ පසුතලයට යම් පහරක් වැදුණා විය හැක. කෙසේ වුවද, අවසන ජ්‍යෙෂ්ඨ භික්ෂුන් වහන්සේ විසින් ආනන්දයන් වහන්සේ එම සංගායනා පිරිසෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන ලද අතර, එම පොදු අදහසට අවනත වූ මහාකස්සපයන් වහන්සේ විසින් ආනන්දයන් වහන්සේටද එයට සහභාගි වීමට අවසර ලබාදෙන ලදී. ථේරවාද විස්තරයට අනුව, ආනන්දයන් වහන්සේ විසින් එම සංගායනාව පවත්වන්නට යෙදුනු දිනයට පෙරදින අර්හත්වය සාක්ෂාත් කරගන්නා ලදී.

සංගායනා සභාව රැස්වන තුරු අපේක්ෂාවෙන් සිටි කාල පරිච්ඡේදය තුළ ආනන්දයන් වහන්සේට අජාතසත්ථු රජුගේ අග්‍රාමාත්‍ය වස්සකාර (සංස්. වර්ෂකාර) මුණ ගැසිණි. වජ්ජිනට එරෙහිව මගධ හමුදාවන් විසින් සැලසුම් කොට ඇති ප්‍රහාරයට අමතරව, ඔවුන් මගධයෙන් බටහිර දිශාවට වන්නට පිහිටි අවන්ති රාජධානියේ පජ්ජෝත (සංස්. ප්‍රද්‍යෝත) රජුගෙන්ද අපේක්ෂාවෙන් සිටි ප්‍රහාරයක් වෙනුවෙන් සූදානම් වෙමින් සිටි බව ආනන්දයන් හට දැනගන්නට ලැබිණි. මේ අනුව, සිය සඟ ප්‍රජාවට නායකත්වය ලබාදෙනු පිණිස කිසිදු නායකත්ව පරපුරක් සිටිය යුතු බවක් බුදුරජාණන් වහන්සේ විසින් අපේක්ෂා නොකළද, මෙම ආපදා සහගත හා අවිනිශ්චිත සමය පසු කරමින් බුදුරජාණන් වහන්සේගේ දහම හා භික්ෂු සමාජයද නොනැසී පැවැත්මට නිසැක වශයෙන්ම මහාකස්සපයන් වහන්සේ විසින් ගත් නායකත්වය හේතුවිය.

රජගහ නුවර ආසන්නයේ පිහිටි සප්ත පත්‍ර ගුහාව යන අරුතැති සත්තිපන්තිගුහාවේදී (සංස්. සප්තපර්ණගුහා) පවත්වන ලද මෙම පළමු ධර්ම සංගායනාවට අර්හත් භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් සහභාගි වූහ. මහාකකස්සපයන් වහන්සේ මූලාසනයේ වැඩසිටි අතර, ආනන්දයන් වහන්සේ සිය මතකයෙන් සූත්‍රයන්ගෙන් බොහොමයක් ගායනා කළ අතර, උපාලි (සංස්. උපාලි) තෙරුන් වහන්සේ විසින් භික්ෂු විනයට අදාළ නීති සජ්ජායනා කරන ලදී. මෙම සංගායනාව සම්බන්ධ ථේරවාද සංස්කරණයට අනුව, දැනුමට අදාළ විශේෂ මාතෘකා කේන්ද්‍ර කරගත් අභිධම්ම (සංස්. අභිධර්ම) දේශනා මෙම අවස්ථාවේදී සජ්ජායනා නොකෙරිණි. කෙසේ වුවද සාර්වස්තිවාද සම්ප්‍රදායේ එන වෛභාෂික සංස්කරණය තුළ ප්‍රකාශ කෙරෙන පරිදි සියල්ල නොවුවද ඇතැම් අභිධර්ම දේශනා සංඛ්‍යාවක් මහාකස්සපයන් වහන්සේ විසින් සජ්ජායනා කරන ලදී. එනමුදු සෞත්‍රාන්තික ප්‍රකාශයනට අනුව මෙම අභිධර්ම දේශනා සැබැවින්ම බුදුරජාණන් වහන්සේගේ වචන නොවන අතර එ්වා අර්හතුන් වහන්සේලා සත් දෙනෙකු විසින් සම්පාදිත එ්වා වේ.

තිබ්බතීය සම්ප්‍රදායනට අනුව, මහාකස්සපයන් වහන්සේ විසින් සප්ත සංඝ පිය පරපුරක් ආරම්භ කරන ලදී. චීනයේ ෂාන් සම්ප්‍රදායන් හා පසුකාලීන කොරියානු සන් හා ජපන් සෙන් සම්ප්‍රදායන් තුළද බෝධිධර්මයන් වහන්සේ එහි විසි අටවැනියා වන පරිදි භාරතයේ සඟ පියවරු විසි අට දෙනෙකුගේ පෙළපතක් පිළිබඳ මං සලකුණු ප්‍රකාශ කෙරේ. නැගෙනහිර ආසියාව තුළ ඔහු පළමු ෂාන් සංඝ පීතෘ ලෙස සැලකේ.

සාරාංශයක් ලෙස ගත්කල, අතිශයින් දුෂ්කර තත්ත්වයන් යටතේ නිතිපතා වර්ධනය වූ සිය ශ්‍රාවක හා අනුගාමික පරපුර පිහිටුවමින් එයට අවශ්‍ය සහාය ලබාදෙනු පිණිස මහත් පරිශ්‍රමයක නිරත වූ ආකර්ශනීය නායකත්වයකින් යුත්, ඛේදනීය ස්වරූපයේ ආධ්‍යාත්මික නායකයෙකු ලෙස බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිරූපය ථේරවාද සම්ප්‍රදාය තුළ හෙළිදරව් කෙරේ. දේශපාලන කුමන්ත්‍රණවලට, යුද්ධ ගණනාවකට සිය මාතෘභූමියේ ජනතාව සමූල ඝාතනය කිරීමකට, ආණ්ඩුවක් ඉදිරිපිට පෞද්ගලිකවම හෙළා දැකීමකට, සිය ශ්‍රාවකයන් අතරින්ම සිය නායකත්වයට එරෙහිව නැඟුණු අභියෝගයකට, සිය සමීපතම ශ්‍රාවකයෙකු මරා දැමීමකට හා අවසන ආහාර විෂවීමෙන් සිදුවූ පිරිනිවීමකටද උන් වහන්සේට මුහුණ පෑමට සිදුවිය. එනමුදු මෙකී සියලු දුෂ්කරතාවයන් මධ්‍යයේ බුදුන් වහන්සේ විසින් චිත්ත සාමය පවත්වාගන්නා ලද අතර, එ් කිසිවකිනුදු අධෛර්ය නොවූ සේක. සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව ධර්මය දේශනා කළ වසර හතලිස් හයක කාල පරිච්ඡේදය තුළ, අර්හත්වයට හා බුද්ධත්වයටද පත්වීම සඳහා අනුගමනය කළ යුතුවන මාර්ගය ලොවට හෙළි කිරීම සඳහා උන් වහන්සේ අඛන්ඩ කැපවීමක නිරත වූ සේක.

Top