ථේරවාද වංශ කථා ඉතිහාසය

ඉන්දියානු අධිරාජ්‍යයෙකු වූ අශෝකයන්ගේ පුත් මහින්ද මගින් සිදුකළ මෙහෙවර හරහා ක්‍රි.පූ. 249 දී පළමු වරට ශ්‍රී ලංකාවට බුදු දහම ලැබිණි. එකල පළමු ශ්‍රී ලාංකික භික්ෂු ශාසනය ආරම්භ විය. ථේරවාද යන නාමය ආරම්භ වූයේ කෙදිනක සිටද යන කරුණ විවාදාපන්න වන නමුදු, මෙකරුණ සරල වනු පිණිස මෙම බෞද්ධ පරම්පරාව 'ථේරවාද' යන නාමයෙන් හඳුන්වමු. ඉන්පසු දිවයිනට අශෝක අධිරාජයාගේ දියණිය වූ සංඝමිත්තාවගේ පැමිණීම සිදුවූ ක්‍රි.පූ. 240 දී ශ්‍රී ලංකාවට භික්ෂුණී ශාසන පරපුර සම්ප්‍රේෂණය කෙරිණි. ද්‍රවිඩ ආක්‍රමණ හා පසුව චෝල අධිරාජ්‍යය විසින් ශ්‍රී ලංකාව පාලනය කිරීමත් සමගින් ක්‍රි.ව. 1050 වන විට මෙම ශාසනික පරපුර අවසන් විය.

මුඛ පරම්පරාගතව එන පරිදි, සංස්කෘත භාෂාවෙන් ස්වර්ණභූමි යනුවෙන් හැඳින්වෙන සුවන්නපුම් රාජධානිය වෙත සෝණ හා උත්තර යන දූතයන් දෙදෙනෙකුද අශෝක අධිරාජයා විසින් පිටත්කොට යවන ලද අතර ඔවුන් විසින් එහි ථේරවාද බුදු දහම හා ශික්ෂු ශාසන පරම්පරාව ආරම්භ කරන ලදී. බොහෝ උගතුනට අනුව මෙම රාජධානිය වනුයේ දක්ෂිණ බුරුමයේ තාටන් වරාය නගරයේ මොන් ජනතාව වසන රාජධානියි. භික්ෂුණී ශාසනයද මෙකලම හෝ මින් පසුව එහි සම්ප්‍රේෂණය වූයේද යන්න අපැහැදිලි කරුණකි.

අවම වශයෙන් ක්‍රි.පූ. පළමුවන සියවසේ සිටම උතුරු බුරුමයේ විවිධ වූ පියු නගර ප්‍රාන්ත තුළ පැවතියද, එය මහායානය, හින්දු දහම හා ආත්මයන් උදෙසා සතුන් බිලි පූජා සිදු කිරීමද ඇතුළත් වූ ප්‍රාදේශීය අරි ආගම සමගින්ද මිශ්‍ර විය. ක්‍රි.ව. 11වන සියවසේ මැද භාගයේදී අනවරත රජු විසින් උතුරු බුරුමය එක් සේසත් කරන ලද අතර තාටන්හි මොන් රාජධානිය යටත් කොට, සිය අග නගරය පැගන් නුවර ස්ථාපනය කොට සිය රාජධානිය පුරා ථේරවාද බුදු දහම හා එහි භික්ෂු ශාසනයද ස්ථාපනය කරන ලෙස අරහන්ත නම් මොන් භික්ෂුව වෙත ආරාධනා කරන ලදී.

ක්‍රි. ව. 1070දී ශ්‍රී ලංකාවේ චෝලයන් පරාජය කිරීමෙන් අනතුරුව පොළොන්නරුවේ නව අග නගරය පිහිටුවීමෙන් පසු, පැගන් නගරයෙන් ආරාධනා කොට මෙහි කැඳවාගත් භික්ෂූන් විසින් ථේරවාද භික්ෂු ශාසන පෙළපත ශ්‍රී ලංකාවේ නැවත ස්ථාපනය කරන ලදී. කෙසේ වුවද, අනවරත රජු විසින් මොන් භික්ෂුණී ශාසනයේ පවත්නා පාරිශුද්ධත්වය ප්‍රශ්න කරන ලද අතර, භික්ෂුණී ශාසනය නැවත ස්ථාපනය කරනු පිණිස කිසිදු භික්ෂුණියක් පිටත් කොට නොයවන ලදී. එ් අනුව එකල ථේරවාද භිකෂුණී ශාසනය ශ්‍රී ලංකාව තුළ පුනර්ජීවනය සිදු නොකෙරිණි. බුරුමයේ භික්ෂුණී ආරාමයක් පැවති බවට පවත්නා අවසන් ශිලා ලේඛනමය සාක්ෂිය හමුවන්නේ මොංගෝලියානු ආක්‍රමණය හමුවේ පැගන් රාජ්‍යය බිඳ වැටුණු ක්‍රි.ව. 1287දීය.

ක්‍රි.ව. 1215 සිට 1236 දක්වා ශ්‍රී ලංකාව ආක්‍රමණය කොට එරටින් බොහෝ ප්‍රදේශයක් පාලනය කරන ලද්දේ (වර්තමානයේ නැගෙනහිර ඉන්දියාවේ ඔරිස්සාහි) කාලිංග නුවරින් පැමිණි මාඝ නම් රජු විසිනි.  මෙම කාල වකවානුව තුළ, ශ්‍රී ලංකාවේ භික්ෂු සංඝයා වහන්සේ බරපතල ලෙස දුර්වල කෙරිණි.  මාඝ රජු පරාජය කිරීමෙන් අනතුරුව, දකුණු ඉන්දියාවේ වර්තමාන තමිල්නාඩු ප්‍රාන්තයේ දුර්වලව පැවති චෝල රාජධානිය තුළ වූ බෞද්ධ මධ්‍යස්ථානයක් වූ කාන්චිපුරම් වෙතින් පැමිණි ථේරවාදි භික්ෂූන් වෙත නැවත භික්ෂු ශාසනය පුනර්ජීවනය සඳහා ක්‍රි.ව. 1236දී ශ්‍රී ලංකාව වෙත ආරාධනා කරන ලදී. කිසිදු දෙමළ භික්ෂුණියකට ආරාධනා නොකළේය යන කරුණ තුළින් ඇඟවෙනුයේ මෙම කාල වකවානුව වනවිට තවදුරටත් දකුණු ඉන්දියාව තුළ ථේරවාද භික්ෂුණී ශාසනය නොපැවති බවයි. බෙංගාලයද ඇතුළත්ව උතුරු ඉන්දියාව තුළ භික්ෂුණී ශාසනයක් පැවති බවට වූ අවසන් ශිලා ලේඛනමය සාක්ෂිය හමුවන්නේ ක්‍රි.ව. 12වන සියවස අවසානයේ සිටය. භික්ෂුණීන් විසින් කවර භික්ෂුණී ශීඛපද ආරක්ෂා කරන ලද්දේද යන කරුණ අපැහැදිලිය.

තායිලන්තයේ සුඛෝතායි රාජධානියේ රම්කම්හැන් රජු විසින් ක්‍රි.ව. 13වන සියවස අවසානයේදී ශ්‍රී ලංකාව වෙතින් තායිලන්තයේ ථේරවාද බුදු දහම පිහිටුවන ලදී. එකල ශ්‍රී ලංකාව තුළ භික්ෂුණී ශාසනයක් නොපැවති බැවින්, කිසිදින තායිලන්තයට ථේරවාද භික්ෂුණී ශාසනයක් ඇතුළු නොවීය. පැමිණියේ භික්ෂු ශාසනය පමණි. ක්‍රි.ව. 14වන සියවස ආරම්භයේදී තායිලන්තයෙන් කාම්බෝජයට පැමිණි ථේරවාදය එහි ස්ථාපනය වූ අතර, ඉන් කෙටි කලකට පසු කාම්බෝජයෙන් ලාඕසයටද එම සම්ප්‍රදාය පැමිණ ස්ථාපනය වූ බැවින්, ථේරවාද භික්ෂුණී ශාසනය කිසි දිනෙක මෙම රටවටලද නොපැමිණියේය.

ථේරවාද රටවල් අතරින් ශ්‍රී ලංකාව පමණක් නිල වශයෙන් ථේරවාද භික්ෂුණී ශාසනය නැවත නිල වශයෙන් ස්ථාපනය කොට ඇති අතර, එසේ ස්ථාපනය ක්‍රි.ව. 1998 වසරේදී සිදුවිය. එ් දක්වා, ශ්‍රී ලංකාවේ කාන්තාවන් හට හුදෙක් දසසිල් මාතාවන් බවට විනා භික්ෂුණීන් බවට පත්වීමේ අවකාශය නොසැලසිණි. එවන් ගිහි කාන්තාවන් සිවුරු හැඳ බ්‍රහ්මචරියාවෙහි නිරත වුවද, ඔවුන් ආරාමික සංඝ ගණයෙහි ලා නොසැලකේ.  බුරුමයේ හා කාම්බෝජයේ කාන්තාවන් හට අටසිල් මාතාවන් බවට පමණක් පත්වීමේ අවකාශය සැලසී ඇත. බුරුමයේ ඇතැම් කාන්තාවෝද දසසිල් ලබති. තායිලන්තයේ ඔවුන් හට අටසිල් මාතාවන් වීමේ හැකියාව පවතී. වෙරළබද බුරුම ප්‍රදේශයේ අරකන් දිස්ත්‍රික්කයේ සිට ක්‍රි.ව. 1864දී බංග්ලාදේශයේ චිතගොං කඳුකර ප්‍රදේශයන් කරා හා චිතගොං දිස්ත්‍රික්කය තුළද ථේරවාද බුදු දහම පුනර්ජීවනය වීමත් සමගින් එහිද කාන්තාවෝ අටසිල් මාතාවන් බවට පත්ව ඇත.

Top