සංසිඳීම පිණිස ආනාපාන සති භාවනාව


සංසිඳීම පිණිස යොදාගනු ලබන සම්ප්‍රදායික බෞද්ධ ක්‍රමය වනුයේ හුස්ම පිළිබඳ අවධානය යොමු කිරීමයි. බෞද්ධ පුහුණුව තුළ හුස්ම ගැනීමේ විවිධ ආකාරයන්ද, විවිධාකාර හුස්ම අභ්‍යාසයන්ද වේ. මවිසින් හුරුවක් ලබා ඇති එ් සියල්ල තුළම පාහේ මුඛයෙන් නොව නාසයෙන්, සිතා මතා නොව, ස්වභාවිකවම හුස්ම ගැනීම හා සම්බන්ධ වේ. 

මෙම ක්‍රම ඇතැම්වා තුළ, අපි හුස්ම රඳවා තබාගන්නා අතර, ඇතැම්වා තුළ එවැන්නක් සිදු නොකෙරේ. ඇතැම් විට ආශ්වාසයේදීද, ඇතැම් විටෙක ප්‍රශ්වාසයේදීද හුස්ම නවතා ගන්නෙමු. එ් සියල්ල හුස්ම අභ්‍යාසය හෙවත් අප හුස්ම ගන්නා ආකාරයට අදාළ සැබෑ අරමුණ මත රඳා පවතී.

සංසිඳීම පිණිස මෙම අභ්‍යාසය සිදු කරන්නාවූ සම්ප්‍රදායික විධික්‍රමය වනුයේ ප්‍රශ්වාස චක්‍රයෙන් පසු ආශ්වාස චක්‍රය සිදු කිරීමයි. අපට ප්‍රශ්වාසයේදී නැවැතුමක් ඇතිකළ හැක්කේ, එවිට ස්වභාවිකම බල කිරීමකින් තොරවම ආශ්වාසය සිදුකළ හැකිවන බැවිනි. හුස්ම ග්‍රහණය කරගැනීම හා සම්බන්ධවන සෙසු ක්‍රම ඇත්තේ වුවද, සංසිඳීම සම්බන්ධ මෙම සරලතම ස්වභාවයේදී ප්‍රශ්වාසය තුළ හුස්ම ග්‍රහණය කරගැනීමක් සිදු නොකරේ. පළමුව ප්‍රශ්වාස කර ඉන්පසු ආශ්වාසය සිදු කිරීමේ චක්‍රය යොදා ගැනීමේ බොහෝ හේතු ඇති නමුදු මෙහිදී අදාළ වන ප්‍රධාන අරමුණ වනුයේ අපට අපගේ සිතිවිලි නිහඬ කරවීමට අවශ්‍ය වන්නේ නම්, එහිදි වැඩි අවධානයක් හෙවත් එ්කාග්‍රතාවයක් අවශ්‍ය වීමයි. මක් නිසාද, ගණනය කිරීමේ මෙම ක්‍රමය මෙම හුස්ම චක්‍රය පිළිබඳ බොහෝ අය සිතන ආකාරයට වඩා වෙනස් වන බැවිනි. එ් සඳහා වැඩි එ්කාග්‍රතාවයක් හා අවධානයක් අවශ්‍ය වන බැවින්, එය වෙනත් දේ පිළිබඳ සිතමින් සිටීම සඳහා වැඩි අවකාශයක් ලබා නොදෙන බැවින්, සිත සංසිඳවීමට උපකාරී වේ.

මෙය සම්ප්‍රදායික ක්‍රමයයි. එනමුත් මා හට මාගේ අත්දැකීමෙන් දක්නට ලැබුණු දේ නම්, බටහිර ජාතීන්, විශේෂයෙන් දේශනාවකට සහභාගි වීමට පැමිණෙන විටදී, බොහෝ සෙයින් ආතතිමය තත්ත්වයකින් පැමිණෙන බවයි. ඔවුන් සාමාන්‍යයෙන් බොහෝ පීඩනයන් සහිත රැකියාවන්හි බොහෝ සෙයින් වෙහෙස වී කටයුතු කර ඇති අතර, සන්ධ්‍යා සමයේ අප විසින් සිදුකරනු ලබන දේශනාවන් කරා පැමිණීම සඳහා බොහෝ වාහන තදබදයන් පසුකර එ්මට සිදුවන අතර, එය ඉන්දියාවේ හෝ තිබ්බතයේ සම්ප්‍රදායික බෞද්ධයන් සම්බන්ධයෙන් කථා කරන විට හෝ හුදෙක් උදෑසන අවදි වී හිඳ යම් භාවනාවක් කිරීම හා සම්බන්ධ තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයකි. එ් අනුව, ආතතියට පත්ව සිටින බටහිර ජාතිකයෙකු බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණි කල ආරම්භයේදීම හුස්ම පිළිබඳ අවධානය පවත්වාගන්නා ලෙස පවසන්නේ නම්, එය සාමාන්‍ය හුස්ම ගැනීමට වඩා බොහෝ සෙයින් වෙනස් වූවක් වන බැවින් හා ඔවුන් ආතතියටද පත්ව සිටින්නේ නම්, එමගින් ඇති කෙරෙන ව්‍යාකූලත්වය හේතුකොට ඔවුන්ගේ ආතතිය තවදුරටත් වැඩි වර්ධනය වේ.

හුස්ම පිළිබඳ මුල්ම අභ්‍යාසයෙහිද අරමුණ වනුයේ සන්සිඳීම වන බැවින්, ආතතිමය පසුබිමකින් පැමිණෙන බටහිර ජාතික පිළිවෙත් පුරන්නන් හට මා යොජනා කරන දෙය වනුයේ ප්‍රශ්වාස හුස්ම චක්‍රය ගණනය කිරීමේ සිට ඉන්පසු සුළු අවකාශයක් තබා ආශ්වාස ගණනය ව්‍යාකූල බවක් දැනෙන අතර එමගින් ආතතිය වඩාත් වැඩි වන්නේ නම්, එය අභ්‍යාසයෙහි අරමුණට පරස්පර වන බවයි. එබැවින්, මෙම නිශ්චිත සන්දර්භය තුළ එම විධික්‍රමයම අවධාරණය කර සිටීමට හේතුවක් නොමැත. එම තත්ත්වය තුළ මා යෝජනා කරන දෙය වනුයේ, චක්‍රය දෙස බැලීමේ සම්ප්‍රදායික ක්‍රමයෙන් ඔවුන් ආතතියට පත් වන්නේ නම්, ඔවුනට චක්‍රය දෙස බැලීමේ වඩාත් බටහිර හිතවාදී ක්‍රමය භාවිත කළ හැකි අතර එය වූකලි හුදෙක් ආශ්වාස කොට ඉන්පසු ප්‍රශ්වාස කරන අතර එ් අතර අවකාශයක් හෙවත් නැවතුමක් නොමැති තත්ත්වයක එම පූර්ණ චක්‍රය ගණනය කිරීමයි. එ් අනුව අපගේ සිත් බොහෝ සෙයින් අවධානය බැහැර තත්ත්වයක පවත්නේ නම්, සංසිඳීම පිණිස, හුස්ම චක්‍රය දෙස අවධානය යොමුකොට එය ගණනය කළ හැක. එනමුත්, සිත් අනවධානයෙන් නොපවත්නේ නම් හෝ සාපේක්ෂව සන්සුන් හෝ සූදානම්කාරීව පවත්නේ නම්, එහිදී ගණනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනැගේ. 

වෙනත් අයුරකින් සඳහන් කරන්නේ නම්, සම්ප්‍රදායික ධර්ම ප්‍රවේශය අනුගමනය කරමින් අපට යොදාගත හැකි ක්‍රම තුනක් වේ. තමාගේ තත්ත්වය මත පදනම්ව, තමා විසින් තමා පිළිබඳ තක්සේරුවක් සිදුකර ගනිමින් විවිධ ක්‍රම යොදාගත හැක. එ් අනුව, 

  • අප බොහෝ සෙයින්ම ආතතියට පත්ව ඇත්තේ නම්, හුස්ම ගැනීම හා පිටකිරීම යන දෙකරුණ එකක් සේ ගෙන සමස්ත හුස්ම චක්‍රය එකක් සේ ගණනය කිරීම පමණක් සිදුකළ හැක.
  • අප එතරම්ම ආතතියට පත්ව නොමැති නමුත් සිත එක්තැන්ව නොපවත්නේ නම්, සම්ප්‍රදායික ගණනය කිරීමේ ක්‍රමය වන හුස්ම පිට කිරීම, ඉන්පසු නැවතීම හා ඉනුදු පසුව හුස්ම ගැනීම ලෙස එන ගණනය සිදුකළ හැක.
  • අපගේ සිත සාපේක්ෂව සන්සුන් නම්, ගණනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති අතර, හුදෙක් හුස්ම පිළිබඳ අවධානය යොමුකළ හැක.

මෙයාකාරයේ විධික්‍රම යොදාගැනීමේදී, අපගේ අවධානයට ලක්වන දෙයනම්, අප විසින් අප පිළිබඳ සංවේදීව සිටිමින් සුදුසු ක්‍රමයක් යෙදිය යුතු බවයි. බෞද්ධ ඉගැන්වීම් සම්බන්ධ ආශ්චර්යමත් දෙය වනුයේ එ්වා මෙකී විධික්‍රමයන්ගෙන් බො‌හෝ සෙයින් පොහොසත් වන බැවින් යම් නිශ්චිත ඉලක්කයක් සාක්ෂාත් කරලීමෙහි ලා යොදාගත හැකි විධික්‍රම ගණනාවක් සාමාන්‍යයෙන් පවතින බවයි. එය සංවේදිතා පුහුණුවෙහිද ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. යම් නිශ්චිත අවස්ථාවකදී අපගේ සැබෑ භාවමය ස්වභාවය කවරක්ද යන්නට සම්බන්ධව අප කෙරෙහිම සංවේදිත්වයක් ගොඩනගාගත යුතුවන අතර, ඉන්ක්බිති යම් සාර්ථකත්වයකට පත්වීම සඳහා විධික්‍රම කිහිපයක් ඉගෙන ගන්නේ නම්, සුදුසු විධික්‍රමය යොදාගැනීම සඳහාද එම සංවේදිත්වය ගොඩනගාගත යුතුවනු ඇත. එම ක්‍රමය සාර්ථක නොවේ නම්, වෙනත් ක්‍රමයක් අත්හදා බලන්න. එ් අනුව, සංසිඳීම පිණිස මෙම විධික්‍රම තුන අතරින් ඕනෑම එකක් මගින් හුස්ම පිළිබඳ අවධානය යොමු කරමු.

 [භාවනාව]

තවද, සංසිඳීමට අදාළ මෙම ප්‍රාරම්භක අදියරේදී, අපගේ ඇස් සම්බන්ධව සලකා බලන්නේ නම්, අපගේ ඇස් විවරව බිමට යොමුකොට හෝ වසාගෙන සිටිය හැක. මෙම ක්‍රම දෙකම බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. බෞද්ධ දේශනාවන් තුළ ප්‍රධාන අංශ දෙකක් වේ. හීනයාන සම්ප්‍රදායේ ශේෂව පවත්නා ථේරවාද සම්ප්‍රදාය තුළ, අපි සාමාන්‍යයෙන් දෑස් වසාගෙන භාවනා කරන්නෙමු. අනෙක් ප්‍රධාන අංශය වන මහායාන සම්ප්‍රදාය තුළ, මෙම කාර්යය සාමාන්‍යයෙන් නාසාග්‍රය හෝ බිම වෙත දෑස් යොමු කරමින් දෑස් විවරව සිදු කරනු ලබයි. එනමුත්, නාසාග්‍රය දිශාවෙන් බිම බලාගෙන කාර්යය සිදු කරන්නේ නම්, දෑස් අවධානය දැඩිව නොව, ලිහිල්ව තබාගනු ලබයි.

එ් අනුව, නැවතද අප විසින් අප පිළිබඳවම සංවේදී විය යුතු නමුත්, අප සැබැවින්ම බොහෝ සෙයින් ආතතියට හා කැළඹිල්ලට පත්ව සිටින්නේ නම්, දෑස් වසාගෙන සිටිමින් භාවනා කිරීම වඩාත් පහසු වේ. එනමුත්, දැනටමත් යම් සන්සුන් බවක් අප තුළ පවත්නේ නම්, බිම බලාගනිමින් දෑස් විවරව තබාගැනීම වඩාත් යහපත් වේ. මක් නිසාද, අපට දෑස් වසාගෙන ලෝකයෙන් මිදෙමින් සිදු කරනු ලබන සංසිඳීමකට වඩා ලෝකය හා අන්‍යයන් සමගින් කටයුතු කිරීමේදීද සංසිඳීම ඇතිකර ගැනීමට අවශ්‍ය වේ. එ් අනුව දෑස් විවරව තබා ගනිමින් එම කාර්යය සිදු කිරීම එම ස්වරූපය කරා යොමු කරවන සුළු වන්නකි.

ඊළඟ පියවර වනුයේ අපගේ අභිලාශය නැවත තහවුරු කිරීමයි. නිරන්තරයෙන් අප පුහුණුවක් සඳහා පැමිණෙන්නේ හෝ භාවනාවක් සිදු කරන්නේ මන්ද යන කරුණට අදාළව යොමුගත වීමක් ලෙස මේ පිළිබඳ සිතන්නෙමු. මා මෙය සිදු කරන්නේ මන්ද? වරදකාරී හැඟීමකින්ද? කණ්ඩායම් පීඩනය හේතුවෙන් මෙය සිදු කරන්නෙම්ද? එය සමාජ උත්සවයක්, කණ්ඩායමකට සම්බන්ධව සිදුකරන කාර්යයක්, හෝ මා නිරන්තරයෙන් පවසන පරිදි "ධර්ම ක්‍රීඩාවක්" ලෙස ආකර්ශනීය නායකයෙකු වෙතින් ඔබගේ ශක්තිය ලබාගැනීම සඳහා සිදු කරන්නේද? නොඑසේ නම්, ගුරුවරයා කෙරෙහි පවත්නා ඇල්ම හේතුවෙන් එම සැසිවලට පැමිණේ. බෞද්ධ ප්‍රවේශය තුළ අවධාරණය කෙරෙනුයේ මේවා නොවේ. මෙය බොහෝ විට බටහිරවාදී ප්‍රවේශයක් වන අතර, එනමුත් සැබැවින්ම ප්‍රයෝජනවත් වන්නකි.

එනමුත්, සම්ප්‍රදායික බෞද්ධ ප්‍රවේශයක් තුළ අභිලාශය නැවත තහවුරු කිරීමක් යන්නෙන් සඳහන් වනුයේ අපගේ අපේක්ෂාව නැවත තහවුරු කිරීමකි. බෞද්ධ අභිලාශය යනු යම් අපේක්ෂා කාණ්ඩයකි. වෙනත් වචනවලින් පවසන්නේ නම්, අප මෙහි පැමිණීමෙන් සිදු කරන්නේ කවරක්ද? අපගේ අපේක්ෂාව කවරක්ද? අපගේ අභිමතාර්ථය කවරක්ද? අපට මෙහි පැමිණීමෙන් සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය වියහැකි අභිමතාර්ථ තුනක් ඇසුරින් මේ පිළිබඳ සිතිය හැකි අතර, එය සුදුසුද වේ. නැවතද, අප විසින් අප කෙරෙහි සංවේදී විය යුතු අතර, අප කෙරෙහිමද, අපගේ සැබෑ අරමුණ කවරක්ද හා අපගේ අභිප්‍රාය කවරක්ද යන කරුණු කෙරෙහිද අවංක විය යුතුය. මක් නිසාද, තමා බෞද්ධයෙකු බව සිතන අයෙකු හට "සියලු සප්‍රාණික සතුන්ගේ සුවසෙත පිණිස බුද්ධත්වයට පත්වීමේ අදහසින් මෙය සිදු කරමි"යි  පහසුවෙන්ම පැවසිය හැකි නමුත් මේවා හුදෙක් වචන පමණි.

බුදුවරයෙකු බවට පත්වීම යන්නෙන් අදහස් කරන දෙය සැබෑ ලෙසම වටහා නොගනිමින් හා පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනරුත්පත්තියෙන් විමුක්තිය ලැබීමේ අවංක අදහසක් නොමැතිව විශ්වයේ සිටින සෑම කෘමියෙකු විසින්ම "සියලු සතුන් කෙරෙහි උපකාරී වනු පිණිස බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමේ අරමුණින් කටයුතු කරමි"යි හුදෙක් පැවසීම අර්ථ විරහිත දෙයකි. එ් අනුව, අපගේ සැබෑ අරමුණ කවරක්ද යන කරුණ කෙරෙහි යථාර්ථවාදී හා අවංක වීම වඩාත් ඵලදායී වේ. එ් අනුව, සුදුසු අරමුණු තුනක් වේ. මෙම ජීවිත කාලය තුළ අපගේ සම්බන්ධතා වැඩි වර්ධනය කරගැනීමේ සැබෑ අභිලාශයක් පැවතීම ඉන් එකක් විය හැක. එ් අනුව, බෞද්ධ විධික්‍රම තුළ යෝජිත චිකිත්සා වර්ගයක් ලෙස මෙම පුහුණුවෙහි යෙදීම සඳහා මෙහි පැමිණෙන්නෙමු.

නොඑසේ නම්, මෙලොව සුවසෙත උදෙසා පමණක් ධර්මය යොදා ගැනීමේ අරමුණින්ද මෙයට ප්‍රවේශයක් ලබාගත හැක. එහිදී "මෙම ජීවිත කාලය තුළ මාගේ සම්බන්ධතා වැඩි වර්ධනය කරගැනීම පිණිස මෙම අභ්‍යාසය සිදු කරන නමුත්, මෙය අර්හත්වයට හා බුද්ධත්වයටද පත්වීමේ පිය ගැටයක් ලෙසද දකින්නෙමි"යි නැවතද අදහස් කළ හැක. එ් අනුව අපගේ සැබෑ අරමුණ හෝ අභිමතාර්ථය කවරක් වුවද, අපි එය නැවතද අවධාරණය කරන්නෙමු. අපි අපගේ අභිමතාර්ථය විෂයයෙහි අවංක වෙමු නම්, එ් කෙරෙහි හදවතින්ම කැපවීම වඩාත් පහසු වේ. නොඑසේ නම්, හෙවත් අපි අපගේ අභිමතාර්ථය කෙරෙහි අවංක නොවන්නෙමු නම්, අපගේ කාර්යය හුදු ක්‍රීඩාවක් පමණක් බවට පත්වේ.

ඉන්පසු චිත්ත එ්කාග්‍රතාවය සහිතව ඇහුම්කන් දීමේ දැනුවත් තීරණයකට එළැඹෙන්නෙමු. අපගේ අවධානය වෙනතකට යන්නේ නම්, එය නැවත අරමුණට ගෙන එ්මට උත්සාහ කරන අතර, නිදිමත ස්වභාවයක් ඇතිවන්නේ නම්, අවදිව සිටින්නට උත්සාහ කරන්නෙමු. අපගේ අවධානය වඩාත් හොඳින් පවත්වාගෙන යාමට උපකාරී වන්නේ නම් ඉරියව්ව නිවැරදි කරමින් සෘජුව හිඳගන්නෙමු (එනමුත් එය රළු, දැඩි ඉරියව්වක් නොවේ). එය තරමක් මන්දගාමී වන්නේ නම්, ශක්තිය නංවාගනු පිණිස ඇහිබැමි අතර ලක්ෂ්‍යය කෙරෙහි අවධානය යොමු කරමින් අපගේ ඇස් බිමින් ඉදිරියට එන පරිදි ඉහළට යොමු කෙරෙන ලෙස හිස කෙලින් අතට පිහිටුවා ගන්නෙමු. එවිට තරමක් කලබලකාරී හෝ ආතතිමය තත්ත්වයක් දැනෙන්නේ නම්, ශක්තීන් බිම්ගත කරනු පිණිස, ඇස් පහතට හෙළන නමුත් හිස සමාන්තරව පිහිටවමින් පෙකණිය දෙසට අවධානය යොමු කරවන්නෙමු. සාමාන්‍ය පරිදි ආශ්වාස කරන විටදී ප්‍රශ්වාස කිරීමට අවශ්‍ය වන තෙක් හුස්ම රඳවා ගන්නෙමු.

එ්කාග්‍රතාවය ඇතිකර ගැනීමේ සවිඥාණික තීරණයක් හෝ අපේක්ෂාවක් ඇතිකර ගැනීම යන කරුණ සෘජුවම එ්කාග්‍රතාවය ඇතිකර ගනුයේ කෙසේද යන්න පිළිබඳ මෛත්‍රියගේ උපදෙස් තුළින් පැණ නගී. ඇහි බැමෙහි මධ්‍යය හා පෙකණිය මත අවධානය යොමු කරමින් ශක්තීන් ගැලපීම කාලචක්‍ර දේශනා තුළින් ඉගැන්වෙන කරුණකි. එ් අනුව, මෙහිදී එ්කාබද්ධ කරනු ලබන මෙම මූලිකාංග නිවැරදි ලෙසම එක් කරවන්නාවූ සම්ප්‍රදායික බෞද්ධ ප්‍රාරම්භක කරුණු සමූහයක් නොමැති වුවද, එ් සියල්ල බෞද්ධ දේශනා තුළින් ඉදිරියට ගත් කරුණු වේ. එනමුත්, බොහෝ බටහිර ජාතීන් දේශනාවන් සඳහා පැමිණෙන විට බොහෝ සෙයින් ආතතියට පත්ව සිටින බවක් මා හට වැටහෙන අතර, මෙයාකාරයේ ප්‍රාරම්භක කරුණු සමූහයක් මගින් එකරුණ ආමන්ත්‍රණය කරන බැවින් එම කරුණු මෙයාකාරයෙන් සංග්‍රහ කළෙමි. අපට බොහෝ පීඩනයන්ට යටත්ව ගතකරන අපගේ ජීවිතවලට යෝග්‍ය වන්නාවූ ප්‍රාරම්භක කරුණු ගොනුවක් පැවතිය යුතුවේ.

Top