මාර්ගය අවිහිංසාවයි

අවිහිංසාව යනු ගැටුම් නිරාකරණය කොට සාමය සාක්ෂාත් කරගැනීමේ යථාර්ථවාදී මාර්ගයයි. එය වූකලි කරුණාව මූලික මනුෂ්‍ය ස්වභාවයය යන විද්‍යාත්මක සොයාගැනීම් හා අනුගත වේ. පසුගිය වසරයන්හි ඉතිහාසය පිළිබඳ විමසා බලන්නේ නම්, හිංසනය මගින් වඩ වඩාත් වෛරයම, වඩ වඩාත් සෘණාත්මක භාවයන්ම ගෙනඑන බව දැකිය හැක. හිංසනයට එරෙහිව හිංසනය යොදාගත හොත්, එතුළ ධනාත්මක ඵලයක් නොමැත. යුරෝපයේ නායකයන් විසින් නිවැරදි ක්‍රමය හිංසනය නොවන බව අවබෝධ කරගත්හ. ඔවුහූ වඩාත් පුළුල් ලෙස සිතන්නට වූ අතර, එ් අනුව, දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව, ඔවුහූ යුරෝපා සංගමය ආරම්භ කළහ. පළමු හා දෙවන ලෝක යුධ සමයන් තුළ ප්‍රංශය හා ජර්මනිය සතුරු රටවල් වූ ආකාරය මම නිරන්තරයෙන්ම ජනතාවට කියමි. සාපේක්ෂ භෞතිකවාදය පිළිබඳ මාගේ මිත්‍රයා හා දේශකවරයා වූ කාල් ෆ්‍රෙඩ්රිච් වොන් වෙයිෂැකර් වයස අවුරුදු 90දී මා හට ප්‍රකාශ කළේ තමා තරුණ අවධියේදී ජර්මනිය විසින් සියලු ප්‍රංශ ජාතිකයන් සතුරන් ලෙස සැලකූ බවත්, එමෙන්ම ප්‍රංශයද සියලු ජර්මන් ජාතිකයන් සතුරන් ලෙස සැලකූ බවත්ය. එනමුත් මේවන විට මෙම ආකල්ප මුළුමනින්ම වෙනස්ව ඇත. 

ජනතාව වඩා ගැඹුරු අත්දැකීම් ලබන්නට පටන්ගත් විටදී, හිංසනය යල්පිනූ දෙයක් බව ඔවුහූ වටහා ගත්හ. හිංසනය ප්‍රබල ලෙස "අප" හා "ඔවුන්" යන සංකල්පයන් මත රඳා පවත්නා අතර, එ් අනුව එම පදනමින් සටන් ආරම්භ වේ. එනමුත් සියලු අසල්වැසියන් එකම ප්‍රජාවක් සේ සැලකීම තුළ, ඔවුහූ යුරෝපා සංගමය ආරම්භ කළහ. මා නිරතුරු පවසන දෙයක් නම්, යුරෝපා සංගමය ආරම්භ වූ තැන් පටන්, යුරෝපය තුළ යුද්ධයක් ඇති කෙරෙන ස්වභාවයේ රණ්ඩු සරුවල් නොමැත. යුරෝපා සංගමයක් නොවී නම්, ඇතැම් විට මේවන විටද යම් බරපතල ගැටලු ඉස්මතුව තිබෙන්නට තිබිණි. එනමුත්, පුද්ගලයෝ අවිහිංසාවාදී වීම මගින් සිය මූලික මිනිස් ස්වභාවය හා අනුගත වෙති.

20වන සියවස ආරම්භය හා අවසානය අතර කාලය සලකා බලන විටදී ජනතා සිතිවිලි සැලකිය යුතු වෙනසකට භාජනය වී ඇත. නිදසුනක් ලෙස, පෝලන්තයේ සහයෝගිතා ව්‍යාපාරය සලකා බලමු. එහි රුසියානු සොල්දාදුවන් 200,000 දෙනෙකු සිටි නමුත් ජනතාව එදිරිවාදිත්වයට එරෙහිව අවිහිංසාවාදී ක්‍රමයන්ගෙන් ගනුදෙනු කරන්නට අදිටන් කරගත්හ. හිංසනය තුළින් බොහෝ දුක් විඳීමෙන් අනතුරුව, මෙම මහාද්වීපයේ ජනතාව විසින් අවිහිංසාව වඩාත් යහපත් විධික්‍රමය බව අවබෝධ කරගෙන ඇති බවට එවන් දේ පැහැදිලි දර්ශකයන් වේ.

රුසියාවද යුරෝපා සංගමයට බැඳෙන්නේ නම් සතුටු වෙමි. යුරෝපා සංගමය තුළ පවත්නා හැඟීම ලතින් ඇමරිකාවේ හා අප්‍රිකාවේද පවත්නා බව සිතමි. අප්‍රිකාව තුළ එකිනෙක වෙනස් බොහෝ රටවල් පවත්නා නමුත්, එයට පළමුව හුදෙක් උතුරු අප්‍රිකාව තුළින් ආරම්භයක් ගෙන ඉන්පසු මධ්‍යම, නැගෙනහිර, බටහිර හා දකුණු අප්‍රිකාවද ඇතුළත් වන සේ එය ව්‍යාප්ත කළ හැක. ඉන්පසු සමස්ත ලෝකයම ඇතුළත් කරගත හැක. අවසානයේ අපගේ අරමුණ විය යුත්තේ සමස්ත ලෝකයම එක් සංගමයක් බවට පත් වීමයි. මෙය සිදුකළ හැක්කක්ය යන්න මාගේ අදහසයි. මෙයයි මාගේ සිහිනය. 

ඉන්දියාව මනා නිදසුනකි. ඉන්දියාව යනු උතුරු, මධ්‍යම, නැගෙනහිර, බටහිර හා දකුණ ඇතුළත් සංගමයකි. සියලු ප්‍රාන්ත එකිනෙකක් වෙන් වෙන් වූ රටවල් සෙයින් තමාටම අනන්‍ය භාෂාවන් හා ලබ්ධීන් සහිත එ්වා වේ. එනමුත් ඔවුහූ එක් සංගමයක් පිහිටුවාගෙන ඇත. මෙය ඇතැම් විට හිස් සිහිනයක් පමණක් විය හැකි නමුදු, මාගේ සිහිනය වනුයේ ඉන්දියාව, චීනය හා ජපානය යම් දිනක තනි සංගමයක් පිහිටුවනු ඇති බවයි. සංගමය යන සංකල්පය අවිහිංසාව යන සංකල්පය මත පදනම් වේ.

මෙම සියවස සංවාදයේ සියවසක් විය යුතුය. ජනතාව තුළ විවිධ අභිලාශයන් පවත්නා විටදී, පැවතිය යුතු වන්නේ සංවාදයක් විනා අවි ආයුධ නොවේ. එය ඇතිකළ හැක්කකි. පළමුව න්‍යෂ්ටික ආයුධ වියුක්තිය ඇතිකළ යුතුය. මෙය ඉතා වැදගත්ය. දකුණු අප්‍රිකාවේ පැවැත්විය යුතුව තිබුණද එහි රජය මුහුණ පා සිටි දුෂ්කරතාවයන් හේතුකොට රෝම නගරය කරා ගෙනයන ලද නොබෙල් සම්මානලාභීන්ගේ රැස්වීම් අවස්ථාවේදී, න්‍යෂ්ටික ආයුධ වියුක්තිය ඇති කරවනුයේ කවරාකාරවද යන කරුණ පිළිබඳ කථා කළෙමු. එම අවස්ථාවේදී මෙම අරමුණ සඳහා කාල සටහනක් සකස් කොට එතුළට න්‍යෂ්ටික බලයද ග්‍රහණය කරවිය යුතු බවට මම යෝජනා කළෙමි. එනමුත් කිසිවක් හෝ සිදු නොවීය. "න්‍යෂ්ටික ආයුධ වියුක්තිය" යන්න ඉතා යහපත් දෙයක් සේ ශ්‍රවණය වුවද, එය නිශ්චිත කාල සටහනකින් තොරව ඵලදායක ලෙස ක්‍රියාත්මක කළ නොහැකි එකක් විය හැක. ඉන්පසු, එය ලෝක ව්‍යාප්ත ව්‍යාපාරයක් බවට පත් වන්නේ නම්, ඇතැම් විට එය සාක්ෂාත් කරගත හැකි විය යුතුය. ඉන් පසු, අප විසින් සියලු ප්‍රහාරක අවිද, ඉන්ද පසු ආරක්ෂක අවිද ඉවත් කළ යුතුය. සාමකාමී ලෝකයක් ඇතිකරගනු පිණිස, නිරවිකරණය පියවරින් පියවර ක්‍රියාවට නැගිය යුතුය.

බාහිර සාමයක් සාක්ෂාත් කරගනු පිණිස, පළමුව අභ්‍යන්තර මට්ටමට සහභාගි විය යුතුවේ. පමණ ඉක්මවූ කෝපයක්, ඊර්ෂ්‍යාවක් හා ලෝභයක් ලෝකය තුළ පවතී. එ් අනුව, බාහිර හා අභ්‍යන්තර නිරවිකරණය සමගාමීව හා එක්වර සිදු කළ යුතුවේ. අභ්‍යන්තර නිරවිකරණය අධ්‍යාපනය තුළින් ඇතිවන්නකි. වඩාත් කාරුණික සිතක් සහිත විටදී, අපගේ ශාරීරික සෞඛ්‍යයද වඩාත් යහපත් වේ.

මේ හා සම්බන්ධව සලකා බලන කල, සිනහසීම වැදගත් වේ. එරවීමක් හෝ බරපතල මුහුණක් වෙනුවට සිනහව දැකීම ජනයාට ප්‍රිය වේ. සුනඛයෙකු හට සිනහසෙන විටදී, ඌ වල්ගය වනයි. සුනඛයෙකු හට ආහාර දී කෝපගත් මුහුණක්, රෞද්‍ර මුහුණක් පෙන්වුවහොත්, එම ආහාර ගත් පසු සුනඛයා ඉවත්ව යනු ඇත.

සමාජ සතත්ත්වයන් හට සමාජය කෙරෙහි සැලැකිලිමත්බවක් පවත්නේ ඔවුන්ගේ නොනැසී පැවැත්ම ජන සමාජයේ සෙසු අය මත රඳා පවත්නා බැවිනි. මනුෂ්‍යයන් වන අප සමාජ සත්ත්වයන් වන අතර සමස්ත ලෝකය අපගේ ප්‍රජාව වේ. මෙම චින්තන විධිය සහිත විටදී, අපි අන්‍යයන් කෙරෙහි ගෞරවය ගොඩනගා ගන්නෙමු. ඉන්පසු, විවිධ අදහස්, අභිලාශයන් පවත්නා නමුත්, කටයුතු ඉදිරියට සිදු කරන්නේ කවරාකාරවද යන කරුණ සම්බන්ධ යම් එකඟතාවයකට එළැඹිය හැක.
 
පළමුව අන්‍යයන්ගේ, අපගේ සොයුරු සොයුරියන්ගේ හිමිකම්වලට ගරු කළ යුතුවේ. අප කැමති වුවද, අකමැති වුවද, අප සියලු දෙනා මෙම ග්‍රහලෝකයේ එක්ව ජීවත්විය යුත්තෝ වෙමු. යුරෝපා සංගමය තුළ, නැගෙනහිර හා බටහිර එකිනෙකා මත රඳා පවත්නා අතර, උතුර හා දකුණද එකිනෙකා මත රඳා පවතී. සියලු දෙනාගේ අනාගතය රඳා පවත්නේ එකිනෙකා අනෙකා මත රඳා පැවැත්ම තුළය. ගෝලීය ආර්ථිකයක් සඳහා ජාතික සීමා මායිම් එතරම් වැදගත් නොවේ.
 
ගෝලීය උණුසුම්වීම බරපතල ගැටලුවකි. එය නොකඩවා පැවතුණහොත්, එළැඹෙන සියවසේදී, ලෝකයේ බරපතල දුෂ්කරතා ඇතිවනු ඇත. මම භික්ෂුවක වන බැවින් දරුවන් නොමැත. එනමුත්, මව්පියන් හා ආච්චි සීයලාද වන ඔබ හට ඔබගේ දරුවන් හා මුණුපුරු මිණිපිරියන් සම්බන්ධ වගකීම් පවතී. එබැවින් කරුණාකර ගෝලීය උණුසුම්වීම නමැති කරුණ බරපතල සේ සලකා බලන්න.

තවද, මනුෂ්‍ය ජනගහණය වර්ධනය වෙමින් පවතී. මා ඉන්දියාවට පැමිණෙන විටදී එය බිලියන හයක් විය. වර්තමානයේ එය බිලියන හතකි. සියවස අවසානය වනවිට එය බිලියන දහයක් වනු ඇතැයි විද්‍යාඥයෝ පවසති. එ් අනුව පරිසරය හා සමාජයද ඇතුළත් සියලු දෙනාගේ යහපත පිළිබඳ කල්පනාකාරී වන්න.

ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඇති මාර්ගයන් වනුයේ අවිහිංසා මාර්ගයන් පමණි. ඉන්දියාව තුළ අවිහිංසාව හා ලෞකික ආචාර ධර්ම සම්බන්ධ පුරාණ භාරතීය දර්ශනය පුනර්ජීවනය කිරීමට උත්සාහ කරමි. ඉන්දියාව යනු අවිහිංසාවේ නිවහනයි. වසර 3000කටද වැඩි කාලයක් පුරා ආගමික සමගියක් පැවත ඇත. ඉන්දියානු මුස්ලිම්වරුන් විසින් ඇෆ්ඝනිස්ථානයේ, සිරියා‌වේ ඈ වශයෙන් විහිද ඇති සිය සුන්නි හා ෂියා මිතුරන් හට උපකාර කළ යුතු යැයි මම යෝජනා කළෙමි. ඉන්දියාව තුළ සුන්නින් හා ෂියාවරුන් අතර කිසිදු ගැටලුවක් පැවතී නොමැත. ඉන්දියාව තුළ හින්දුන්, මුස්ලිමුන්, ක්‍රිස්තියානුවන්, පාසිවරුන් ආදීන් සමාදානයෙන් ජීවත් වෙති. මෙයාකාරයෙන්, මවිසින්ද ආගමික සමගිය ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.

භෞතික දේ පිළිබඳ පමණ ඉක්මවූ අවධාරණයක් පවතී. ඉන්දියාව තුළ නවීන භෞතික අධ්‍යාපනය අවිහිංසාව, හොඳ නොහොඳ පිළිබඳ වගකීම හා භාවමය දැනුම සම්බන්ධ පෞරාණික සම්ප්‍රදායන් සමගින් සම්බන්ධ කිරීම පහසු කටයුත්තකි. භාවයන් සම්බන්ධ ඉන්දියාවේ පෞරාණික සම්ප්‍රදායන් පුනර්ජීවනය පිණිස මම පූර්ණ වශයෙන් කැපවී සිටිමි. චීනය තුළද පෞරාණික සම්ප්‍රදායන් පවතී. වර්තමානයේ එහි මිලියන 400ක බෞද්ධ ජනතාවක් වාසය කරයි. ඉන්දියාව හා චීනය සම්බන්ධ කළහොත් එය සුවිශාල ජනගහණයක් වනු ඇත.

පියවරින් පියවර, විවිධ වෘත්තීන් භාවිතයෙන්, අපට සාමකාමී, කාරුණික ලොවක් ගොඩනැගිය හැක. එවිට විසි එක්වන සියවසේ අවසන් භාගය වඩාත් සාමකාමී එකක් බවට පත්කළ හැක. මාගේ වයස දැන් අවුරුදු 84ක් වන අතර, තවත් වසර දහයකින් හෝ විස්සකින් මා හට සමුගැනීමට සිදුවනු ඇත. එනමුත් අවශ්‍ය කාර්යය දර්ශනයක් හා ප්‍රායෝගික විධික්‍රමද සමගින් මේ මොහොතේ ආරම්භ කළ හැක. එපමණයි. ස්තුතියි.

Top