ජීවිතය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බෞද්ධ ක්‍රම

එදිනෙදා ජීවිතයේදී ප්‍රයෝජනය පිණිස බෞද්ධ ක්‍රම යොදාගන්නා ආකාරය පිළිබඳ කථා කිරීමට මේ සන්ධ්‍යාව යොදා ගැනීමට අදහස් කරන්නෙමු. බෞද්ධ ක්‍රම හෝ බෞද්ධ දේශනා සම්බන්ධයෙන් කථා‍ කරන විටදී, ඒ සඳහා යොදාගනු ලබන සංස්කෘත වචනය “ධර්ම” නම් වේ. “ධර්ම” යන වදනින් සැබැවින්ම අදහස් කෙරෙන දෙය කවරක්ද යන්න විමසා බලන්නේ නම්, එමගින් අදහස් කෙරෙන්නේ අප “බැඳ තබන්නාවූ දෙයකි”. ධර්ම යනු අප බැඳ තබන හෝ ගැටලු හා දුක්වලින් අප වළකා තබාගන්නා දෙයකි.

චතුරාර්ය සත්‍යය

බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද පළමු කාරණය “චතුරාර්ය සත්‍යය” යනුවෙන් හැඳින්වේ. ඉහළ අවබෝධයක් සහිත හා යථාර්ථය වටහාගත හැකි අයෙකු විසින් වටහාගනු ඇත්තාවූ සත්‍යයන් සතරක් ඇත්තේය යන්න එමගින් අදහස් කෙරේ. මෙම සත්‍යයන් සතර වනුයේ:

  • අප සියලු දෙනා විසින් මුහුණ දෙනු ලබන සත්‍ය ගැටලු.
  • ඒවාහි සැබෑ හේතු.
  • අප වෙත මෙම ගැටලු තවදුරටත් ඇති නොවන පරිදි ඒවා සත්‍ය ලෙසම නවතාලිය හැක්කේ නම් තත්ත්වය කවරාකාර වනු ඇත්ද.
  • අපගේ සියලු ගැටලු මෙයාකාරයෙන් නවතාලන වැටහීම්, ක්‍රියාකාරිත්ව විධි ආදිය.

අපගේ සැබෑ ගැටලු

ගැටලු හා ඒවා සම්බන්ධයෙන් කිව යුතු බොහෝ දේ බුදු දහම තුළ පවතී. සැබැවින්ම, බුදුන් වහන්සේගේ සියලු දේශනා අපට ජීවන දුෂ්කරතාවයන්ගෙන් මිදීම සඳහා උපකාර කිරීමේ අපේක්ෂාවෙන් සිදුකරන ලද ඒවා වේ. මේ සඳහා වූ ප්‍රවේශය සැබැවින්ම ඉතා තාර්කික හා ප්‍රායෝගිකද වේ. අප මුහුණ දෙන කවර ගැටලුවක් වුවද හේතු මූලික කොටගෙන ඉස්මතු වේ. ඒ අනුව අප මුහුණ දෙන ගැටලු ක‍වරේද යන්න විමසා බලනු පිණිස අප තුළටම ඉතා ගැඹුරින් හා අවංකවම විමසා බැලිය යුතුවේ. අප බොහෝ දෙනෙකු හට, එය එතරම් පහසු ක්‍රියාවලියක් නොවේ. අපගේ ජීවිතයේ දුෂ්කර ක්ෂේත්‍ර කවරේද යන්න විමසා බැලීම සැබැවින්ම ඉතා වේදනාත්මක කරුණක් වේ. නිදසුනක් ලෙස සෞඛ්‍ය සම්පන්න නොවන සම්බන්ධතාවයන් ඈ ලෙස බොහෝ පුද්ගලයෝ මෙය ප්‍රතික්ෂේප කරති. තමාට ගැටලු ඇති බව පිළිගැනීමට ඔවුහූ අකමැති වෙති. එනමුත්, ඔවුහූ අසතුටක් අත් විඳිති. එනමුත් මෙකරුණ “මම අසතුටින් සිටිමි” යන තැනින් නතර කළ නොහැක. සැබෑ ගැටලුව කවරේද යන කරුණ ගැඹුරින් විමසා බැලීමට අපට සිදුවේ.

අපගේ ගැටලුවලට හේතු

ඉනික්බිති අපගේ ගැටලුවලට හේතු කවරේද යන කරුණ විමසා බැලිය යුතුවේ. ගැටලු හුදෙක් ස්වායත්ථව හා නිරායාසයෙන් ඉස්මතු නොවේ. ඒ සඳහා හේතුවක් පැවතිය යුතු අතර, සැබැවින්ම අසතුටුදායක තත්ත්වයක් ඇති කරවීමට අදාළවන බොහෝ සාධක මට්ටම් පවතී. නිදසුනක් ලෙස, යම් සම්බන්ධතාවයකට අදාළ පෞරුෂත්ව ගැටුම් පවත්නා විටදී, ප්‍රමාණවත් තරම් මුදල් නොමැති වීම ආදී වශයෙන් වූ ආර්ථික සාධකද සෙසු ඥාතීන් සමගින් වූ ගැටලුද පවතී. ගැටලුවට දායකවන සියලු ආකාර හේතු සාධක පැවතිය හැක. එනමුත් ගැටලුවේ ගැඹුරුම හේතුව කවරක්ද යන්න සොයාගනු පිණිස වඩ වඩාත් ගැඹුරට කරුණු සොයා බැලීමට සිදුවන බව බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. අපගේ ගැටළුවලට අදාළ ගැඹුරුම හේතුව වනුයේ යථාර්ථය පිළිබඳව පවත්නා අපගේ ව්‍යාකූලත්වයයි.

අප තුළ අසතුට, වේදනාව පවත්නා අතර එය සැබැවින්ම යම් ආකාරයේ හේතුවක් තුළින් ඉස්මතු වේ. නිදසුනක් ලෙස, අප විසින් බොහෝ කෝපයකින් ආදී ලෙස කැළඹිලිකාරී ආකාරයකින් කටයුතු කරනු ලැබිය හැක. කිසිවෙකු හෝ කෝපයෙන් සිටින අතර සතුටින්ද නොසිටී. ඒ අනුව මෙහිලා කෝපය මගින් අපගේ අසතුට නිර්මාණය කරන අතර අප විසින් කෙසේ හෝ එම කෝපයෙන් මිදිය යුතු බව වටහාගත යුතුය.

අප අසතුටින් තබන්නාවූ අපගේ ගැටලුව නිරතුරුවම අප සිතට වදදෙන කරුණක්ද විය හැක. සිත් කරදරයට හෝ වදයට පත්වීමද ඉතා අප්‍රසන්න චිත්ත ස්වභාවයකි. කිසිවෙකු හෝ සිතට වදදෙන කරුණකින් පෙළෙමින් සිටින විටදී සතුටින් නොසිටී. මහා ඉන්දියානු බෞද්ධ ගුරුවරයෙකු වූ ශාන්තිදේවයන් විසින් ප්‍රකාශ කරන ලද්දේ ඔබ යම් දුෂ්කර තත්ත්වයක සිටින අතර එය වෙනස් කිරීම සඳහා යම් කිසිවක්ද සිදුකළ හැක්කේ නම්, වද වන්නේ මන්ද යන්නයි. හුදෙක්ම එය වෙනස් කරන්න. එයින්ද ප්‍රයෝජනයක් අත් නොවනු ඇත. ඒ අනුව වද වීමේ අප්‍රයෝජනවත් බව පිළිබඳ වියවුලක් අප තුළ පවත්නා අතර ඒ අනුව නොකඩවා වදයට, කණගාටුවට පත්වෙමු. මෙහිදී ගත යුතු අදහස නම් කණගාටු වීමෙන් හෝ සිත වදයට පත්කර ගැනීමේ කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවයි.

ඉන්පසු, අපට මුහුණ දීමට සිදුවන තවත් ගැටලු මට්ටමක් වේ. එය නම් කිසිදු විටෙක තෘප්තියට පත් නොවීම පිළිබඳ ගැටලුවයි. සැබැවින්ම අපි සතුටින් සිටින කාල පරිච්ඡේදයන් අත් වි‍ඳින නමුත් අවාසනාවකට මෙන් ඒවා සදා කල් නොපවතින අතර අපට නිරතුරු වඩ වඩාත් දේවල් අවශ්‍ය වේ. එය කිසි විටෙකුදු තෘප්තිය හෝ සෑහීමක් දනවන දෙයක් නොවේ. අපගේ ප්‍රියතම ආහාරය එක් වරක් පමණක් ගැනීමෙන් අපි තෘප්තියට පත් වෙමුද? අපට එය නැවත නැවතද ආහාරයට ගැනීමට අවශ්‍ය වේ. තවද, අප විසින් එය වරෙකට පමණ ඉක්මවා ආහාරයට ගන්නේ නම්, එවිට ආරම්භයේදී අප තුළ පැවති සතුට උදර වේදනාවක් බවට පත්වේ. ඒ අනුව, අපි මෙයාකාරයේ සතුට සම්බන්ධව තරමක් ව්‍යාකූල තත්ත්වයක පසු වන්නෙමු. හුදෙක් එය පවත්නා ආකාරයෙන් භුක්ති විඳ, එය කල් නොපවත්නා දෙයක් බව හා කිසි විටෙකුදු එයින් සදාකල් පවත්නා තෘප්තියක් අත් නොවන බව වටහාගනු වෙනුවට, අපි එහි එල්ලී සිටිමු. අපට එම සතුට අහිමි වන විටදී, බොහෝ සෙයින් අසතුටට පත් වෙමු.

එය වූකලි ආදරණීයයෙකු හෝ ප්‍රිය මිතුරෙකු සමගින් සිට ඉන්පසු ඔවුන් අප හැරයන තත්ත්වයක් මෙනි. සත්‍ය වශයෙන්ම ඔවුන් යම් අවස්ථාවකදී අප හැරයනු ඇති බැවින් ඔවුන් සමගින් සිටින කාලය භුක්ති විඳිය යුතුය. මේ සම්බන්ධයෙන් ඇතැම් විට අප භාවිත කරන රූපකයක් ඇත. අප‍ගේ ජනේලය මත වසන කුරුල්ලෙකු මෙන් අපගේ ඉමහත් ආදරයට පාත්‍රවූ අයෙකු අපගේ ජීවිතයට සම්බන්ධ වන විටදී ඔහුගේ සමාගමයෙහි පවත්නා ප්‍රියජනක බව භුක්ති විඳිය හැකි අතර, එනමුත්, එම කුරුල්ලා නිදහසේ සැරි සරන්නෙකු බැවින් මද වේලාවකින් ඌ ඉගිල යනු ඇත. අප ඌට ඉතා මෘදු ලෙස සලකන්නේ නම්, ඇතැම් විට ඌ ආපසු පියඹා එනු ඇත. එනමුත් කුරුල්ලා අල්ලා කූඩුවක සිර කළහොත්, එම කුරුල්ලා බොහෝ අසතුටට පත්වනු පමණක් නොව, මරණයට පවා පත්විය හැක. එමෙන්ම, මෙම පුද්ගලයෝද මෙකී අලංකාර පක්ෂියා මෙන් අපගේ ජීවිතවලට සම්බන්ධ වන අතර, කළ හැකි හොඳම දෙය වනුයේ ඔවුන් අප සමග සිටින කාල පරිච්ඡේදය මනා සේ භුක්ති විඳීමයි. කවර හෝ හේතු සාධකයක් මත , කවර හෝ කාල පරිච්ඡේදයක් සඳහා, ඔවුන් අපගේ ජීවිතවලින් ඉවත්ව යන්නේ නම්, සැබැවින්ම එය සිදු වන්නකි. ඒ පිළිබඳ සන්සුන් හා තැන්පත් මනසින් සිට “අනේ මාව දාල යන්න එපා. මට ඔයා නැතිව ජීවත් වෙන්න බෑ” වැනි ඉල්ලීම් නොකරන්නේ නම්, ඔවුන් නැවතද අපගේ ජීවිතවලට සම්බන්ධ වීමේ හැකියාවක් ඇත. නොඑසේ නම්, ඔවුන් ග්‍රහණය කොටගෙන ඔවුන් වෙතින් ඉල්ලීම් සිදු කිරීම මගින් හුදෙක් සිදුවනුයේ ඔවුන් අප කෙරෙන් පළවා හැරීමක් පමණි.

අපගේ සාමාන්‍ය සතුට හා ජීවිතයේ ප්‍රීතියට අදාළ ස්වභාවය පිළිබඳ චිත්ත ව්‍යාකූලත්වයන් පවත්නා විටදී සැබැවින්ම අපට ගැටලු ඉස්මතු වේ. අප සතු ප්‍රීතිමත් අවස්ථාවන් පවා අපට භුක්ති විඳිය නොහැකි වන්නේ ඒවා අපට අහිමිවනු ඇතැයි නිරතුරු වද වෙමින් හා බිය වෙමින් සිටින බැවිනි. අපි ආහාර බඳුනක් ලද සුනඛයන් මෙන් වෙමු. එම සුනඛයා ආහාර ගන්නා නමුත් කිසිවෙකු හෝ එය ඩැහැ ගැනීමට ආසන්නයට නොඑන බවට තහවුරු කරගනු පිණිස වටපිට බලමින් ගෙරවීමද සිදු කරයි.  අප සතු දේ භුක්ති විඳිමින් එය අවසන් වන විටදී එයද පිළිගනු වෙනුවට ඇතැම් විට අපිද එසේ වෙමු. එනමුත් මෙකරුණ පෙනෙන තරම් සරල කාරණයක්ද නොවේ. ඇතැම් විට එය සරල දෙයක් සේ ඇසෙන්නක්ද නොවිය හැක. එනමුත් ඒ සඳහා පුහුණුවක්, ජීවිතයට අදාළ දේවල් දැකීමේ විවිධ ආකාරයන් හුරු කරගැනී‍මක් අවශ්‍ය වේ.

අප‍ගේ ගැටලු සැබෑ ලෙසම නවතාලීම

අපගේ ගැටලු සදාකාලිකව නවතාලිය හැකි අතර එය සිදු කරන ආකාරය ඒවාහි හේතුවලින් වැළකී සිටීම බව බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. එය වූකලි ඉතා තාර්කික, බුද්ධිමත් ප්‍රවේශයකි. ඉන්ධන අත් හරින්නේ නම්, තවදුරටත් ගිනි හට නොගනු ඇත. මෙම ගැටලු කිසි දින නැවත ඉස්මතු නොවන පරිදි ඒවායින් මිදීමේ හැකියාවක් පවත්නා බව බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදී.

හුදෙක් මෙම ගැටලුවලින් තාවකාලික නිදහසක් ලැබීමෙන් පමණක් තෘප්තියට පත් නොවිය යුතුය. එය නින්දට යාම වැන්නකි. නිදිසුව ලබන විටදී දුෂ්කර සම්බන්ධතාවනට අදාළ ගැටලුවක් ඔබට නොමැත. ඒ අනුව, අවදිවන විටදී එය නැවත ඉස්මතුවන බැවින් විස‍ඳුම එය නොවේ. එය ඔබ යම් නිවාඩු චාරිකාවක නියැලෙන අතර, ආපසු නිවසට පැමිණි කල පෙර පැවති ගැටලු තවදුරටත් එහි පවත්නා තත්ත්වයක් මෙනි. ඒ අනුව, නිවාඩු කාලයක් යනු වඩාත් යෝග්‍ය හෝ ගැඹුරින්ම කල් පවත්නා විසඳුම නොවේ.

තවද, හුදෙක් ලෝකයෙන් ආවරණයව සිටිමින් ඔබගේ ගැටලු පිළිගෙන ඒවා සමගින් ජීවත්විය යුතු බවක්ද බුදුන් වහන්සේ විසින් දේශනා නොකරනු ලබන්නේ එයද එතරම් යහපත් විසඳුමක් නොවන බැවිනි. මක් නිසාද, එවිට අපට තරමක අසරණ බවක් දැනෙන බැවිනි. අපට කිසිවක් කළ නොහැකි බැවින් සියලු උත්සාහයන් අත්හිරින්නේය යන හැඟීමකි එය. මහා ප්‍රගතියක් නොලැබුවද, එහිදී අවම වශයෙන් උත්සාහයක් දැරූ බවක් අපට දැනේ.

අපගේ ගැටලු නවතාලීමේ ක්‍රම

එනමුත් මෙම ගැටලු සැබෑ ලෙසම නවතාලීමේ, ඒවාහි සැබෑ අවසානයක් දක්නා තත්ත්වයක් සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය වන්‍නේ නම්, බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සතරවන සත්‍යය හෙවත් අපගේ ව්‍යාකූලත්වය වන ගැඹුරුම හේතුවෙන් මිදීම පිණිස යම් ආකාරයේ ක්‍රමයක් අනුගමනය කිරීමෙන් යම් ආකාරයේ නිවැරදි වැටහීමක් ලබාගැනීමේ තත්ත්වය සාක්ෂාත් කරගත යුතුය. නිරතුරුවම එකරුණ සිහියේ තබාගත නොහැක්කේ නම් මනා වැටහීමක් ලැබීම ප්‍රමාණවත් නොවන බැවින් චිත්ත ඒකාග්‍රතාවය ගොඩනගා ගැනීම අවශ්‍ය වේ. එනමුත් එම වැටහීම තුළ අවධානය යොමුකරගෙන සිටීමට හා එය සිහියේ තබැගැනීමට එම චිත්ත ඒකාග්‍රතාවයට හැකිවනු පිණිස අප තුළ ස්වයං විනයක් පැවතිය යුතුවේ. ඒ අනුව අපගේ ගැටලු වළකාලීම සඳහා අප විසින් යොදාගනු ලබන පොදු බෞද්ධ විධික්‍රම වනුයේ යම් ආකාරයක විනයක්, චිත්ත ඒකාග්‍රතාවයක් හා නිවැරදි වැටහීමක් අනුගමනය කිරීමයි (ඇතැම් විට එය “ප්‍රඥාව” වශයෙන්ද හඳුන්වනු ලැබේ).

මෙයට අමතරව, අපගේ ගැටලුවල ප්‍රබලතම හේතු අතරින් එකක් වනු‍යේ අපගේ ආත්මාර්ථයයි. යම් ආකාරයකින් මෙලොව ජීවත්වන එකම පුද්ගලයා තමා බවට අප විසින් සිතන බවක් පෙනෙන බැවින් යථාර්ථය පිළිබඳව පවත්නා ව්‍යාකූලත්වය මත අපගේ ආත්මාර්ථයෙන් බොහෝ කොටසක් රඳා පවතී. අන් අය සිටින බව අප විසින් පිළිගන්නා විටදීද, පැහැදිලිවම තමා විශ්වයේ වැදගත්ම පුද්ගලයා හෙවත් විශ්වයේ කේන්ද්‍රය බවට පත්වේ. එම සාවද්‍ය සංකල්පනාව හේතුකොට, “මා හට නිරන්තරයෙන්ම මට අවශ්‍ය ලෙස කටයුුතු කිරීමට හැකිවිය යුතුය. නිරන්තරයෙන් මා හට අවශ්‍ය දේ ලබාගැනීමට හැකිවිය යුතුය” ලෙස සිතන අතර, අපට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට නොහැකි වන්නේ නම්, එවිට බොහෝ සෙයින් අසතුටට පත් වන්නෙමු.

එනමුත් එයාකාරයෙන් කරුණු සලකා බලන කල මා සම්බන්ධ කිසිදු විශේෂත්වයක් නොමැති බැවින් එය යථාර්ථය පිළිබඳ ඉතා ව්‍යාකූල අදහසක් වේ. සියලු දෙනා සතුටින් සිටීමට කැමති අතර, කිසිවෙකුට හෝ අසතුටින් සිටීමට කැමැත්තක් නොමැත්තේය යන අදහස තුළ අප සියලු දෙනා එක සමානයන් වේ; සෑම අයෙකුටම තමාට අවශ්‍ය දේ ලබාගැනීමේ කැමැත්තක් පවත්නා අතර, තමා කැමති දේ ලබා නොගැනීමට කිසිවෙකුට ‍හෝ අවශ්‍ය නොවේ. එනමුත් කෙසේ හෝ අප එක්ව ජීවත්විය යුතුවන බැවින් එසේ ජීවත් විය යුතුද වේ. ඒ අනුව සෙසු අය පිළිබඳ කරුණාව, සැලකිල්ල හා ගැටලු මැඩ පවත්වා ඒවා වළකාලනු පිණිස ජන හිතකාමිත්වයද එක්කළ යුතුවේ. අන් අය අපට උපකාර කරන්නේ නම් ඒ පිළිබඳ අප තුළ කැමැත්තක් ඇතිවන්නාක් මෙන්, ඔවුන්ද අප ඔවුනට උපකාර කරන්නේ නම් ඒ පිළිබඳ කැමැත්තක් දක්වනු ඇත.

කැළඹිලිකාරී භාවයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම

සැබැවින්ම සෑම අයෙකුම ශාන්තුවරයෙකු හෝ බෝධිසත්ත්වයෙකු නොවන්නේය යන්න සත්‍යයකි. සෑම අයෙකුම යම් මට්ටමකට හෝ ව්‍යාකූලත්වයට පත්ව සිටී. මෙම ව්‍යාකූලත්වය හේතුකොට අපි කැළඹිලිකාරී භාවයන්ගේ බලපෑමට යටත්ව කටයුතු කරමු. නිදසුනක් ලෙස, මම මා විශ්වයේ කේන්ද්‍රය බවත් වඩාත්ම වැදගත් පුද්ගලයා බවත් සිතන්නේ නම්, ඒ හා සමග බැඳුණු හැඟීම වනුයේ අනාරක්ෂිත බවයි. ඔබ ව්‍යාකූල වන විටදී අනාරක්ෂිත වන අතර, “හොඳයි. මම තමයි වඩාත්ම වැදගත් පුද්ගලයා විය යුත්තේ. එනමුත් අනෙක් අය මා හට එසේ සැලකීමක් නොකරයි” යන සිතිවිල්ල ඔබට ඇතිවේ. ඒ අනුව එහි අනාරක්ෂිත බවක් පවතී.

අප අනාරක්ෂිතව සිටින විටදී වඩාත් ආරක්ෂිත බවක් හැ‍‍ඟෙනු පිණිස යොදාගත හැකි ක්‍රමෝපායන් කවවෙර්ද? ඉන් එකක් වනුයේ “මා හට මා වටා ප්‍රමාණවත් දේ තබාගත හැක්කේ නම් යම් ආකාරයකින් එමගින් මා හට ආරක්ෂිත බවක් ඇති කරනු ඇත. ප්‍රමාණවත් මුදලක් හෝ ප්‍රමාණවත් අවධානයක් හෝ ප්‍රමාණවත් සෙනෙහසක් ලබාගත හැක්කේ නම් එමගින් යම් ආකාරයකින් මා ආරක්ෂා කරනු ඇත” යන හැඟීමයි. එනමුත්, අප පෙරදී දුටු පරිදි මෙයාකාරයේ සතුටක ස්වභාවය වනුයේ අපට කිසි විටෙකුදු සෑහීමකට පත්වීමක් නොමැති හා තෘප්තියක් අත් නොවන බැවින් නිරන්තරයෙන්ව වඩ වඩාත් අවශ්‍ය වීමයි.

ඒ පිළිබඳ සිතා බලන්න. එහි යම් අරුතක් ගැබ්වේ. අපට අපගේ ආදරණීයයා විසින් හුදෙක් “මං ඔයාට ආදරෙයි” යන්න එක් වරක් පමණක් පැවසීම ප්‍රමාණවත් වේද? ඔවුන් එය වරක් පමණක් පවසන්නේ නම් ඉන් සෑහීමකට පත්වී එය නැවතත් කිසි විටෙක හෝ පවසා ගැනීමට අවශ්‍ය නොවන තත්ත්වයක් ඇති වන්නේද? අපට ඉන් කිසි විටෙකුදු ආරක්ෂිත බවක් නොහැ‍ඟේ. නිරන්තරයෙන්ම එය නැවත නැවතද ඇසීමට අවශ්‍ය නොවන්නේද? අපි “හොඳයි, ඒක ආයෙක් කියන්න අවශ්‍ය නෑ. මං ඒක දන්නවා”යි පවසන ඉමකට කිසි දින නොඑමු. ඒ අනුව ලෝභය පිළිබඳ කථාකරන විටදී, එය හුදෙක් භෞතික දේවල් හා මුදල් සම්බන්ධ ලෝභය පමණක් නොවේ. අපි ආදරය ලැබීමටද, අප බො‍හෝ දෙනෙක් විශේෂයෙන් අවධානය ලැබීමටද කැමැත්තක් හෙවත් ලෝභයක් දක්වමු. එකරුණ කුඩා දරුවන් තුළ අපි දකිමු. ඒ අනුව එය එක් යාන්ත්‍රණයකි: අපට අප වටා ප්‍රමාණවත් දේ ලබාගත හැක්කේ නම්, එමගින් අප ආරක්ෂා වනු ඇත. එය කිසිදින ප්‍රායෝගිකව සාර්ථක නොවන්නකි.

ඊළඟ යාන්ත්‍රණය වනුයේ කෝපය හා පිළිකුල හෙවත් විකර්ශනයයි. “මා හට තර්ජනාත්මක බව පෙනෙන යම් දේවල් මා වෙතින් ඉවත් කළ හැක්කේ නම්, එමගින් මා හට ආරක්ෂිත හැඟීමක් ලබාදෙනු ඇත” වශයෙනි. එනමුත් අපට කිසි දින ආරක්ෂිත බවක් නොදැනේ. නිරන්තරයෙන්ම තර්ජනයට ලක්වූ බවක් දැනේ. යමෙකු විසින් අප අකමැති යම් කිසිවක් සිදු කළහොත් ආරක්ෂා වීමේ අදහසින් නිරතුරු ස්වයං ආරක්ෂක හැඟීමෙන් පසුවන අතර, ඉන්පසු කෝපයට පත්වී ඔවුන් පළවා හරින්නෙමු. ඇතැම් විට එය ඉතා ආත්ම පරාජිත තත්ත්වයක් විය හැක. අනෙකා අප කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් ලබා නොදෙන අතර ප්‍රමාණවත් කාලයක්ද ලබා නොදෙන බවක් හැ‍ඟෙන බැවින් ඔහු වෙත කෑමොර දෙන ස්වභාවයේ සම්බන්ධතාවයක් පිළිබඳ සිතමු. එහිදී කෝපයට පත්ව “ඔයා මං ගැන ඔයිට වැඩිය හොයල බලන්න ඕන. වැඩි කාල වේලාවක් මාත් එක්ක ඉන්න ඕන” ආදී දේ හඬගා කියමු. එහි ප්‍රතිඵලය කවරක්ද? සාමාන්‍යයෙන් ඔවුන් අපගෙන් වඩාත් ඈත්වනු ඇත. නොඑසේ නම්, අපට උපකාරයක් ලෙස යම් කෙටි කලක් අප සමගින් සිටින නමුත් අප සමග එතරම් පහසුවෙන් නොසිටිති. යමෙකු සමගින් කෝපයට පත්වීම තුළින් ඔහු අප කෙරෙහි වඩ වඩාත් කැමැති වනු ඇතැයි සිතන්නේ කෙසේද? මෙය න්‍යාය විරෝධී දෙයක් නොවන්නේද? අප වඩාත් ආරක්ෂිත බවට පත් කරනු ඇතැයි අපේක්ෂාවෙන් යොදාගනු ලබන මෙකී යාන්ත්‍රණයන් බොහොමයක් මගින් සැබැවින්ම සිදුවන්නේ දේවල් වඩාත් අයහපත් අතට හැරීමයි.

අප විසින් යොදාගනු ලබන තවත් යාන්ත්‍රණයක් වනුයේ බැමි බැඳීමයි. එය අදාළ ගැටලුව සම්බන්ධයෙන් යම් ආකාරයකින් කටයුතු නොකරන්නේ නම් එයට පැවැත්මක් නොමැති වීම හෝ ස්වයංක්‍රීයවම එය ඉවත්වනු ඇතිය යන මෝහය පත පදනම් වේ. “මට ඒ ගැන අහන්නට අවශ්‍ය නෑ” ආකාරයේ ආකල්පයකි. ඒ අනුව ඔබ විසින් තාප්පය බඳිනු ලබයි. එනමුත් සැබැවින්ම එම මෝහ තත්ත්වයද සාර්ථක නොවන්නකි. ගැටලුව හුදෙක් එය අප විසින් නොසලකා හැරීම හෝ පිළි නොගැනීම හේතුවෙන් ඉවත්ව නොයනු ඇත.

මෙම කැළඹිලිකාරී භාවයන් මත පදනම්ව සිදුවන දෙය නම්, අපි සියලු ස්වභාවයේ හානිකර ආකාරයන්ගෙන් කටයුතු කිරීමයි. අපි කෑමොර දෙමු. අපට යමෙකුට පහර දීම පවා සිදුකළ හැක. “අනේ අසරණ මා. මට කිසිවක් නෑ” යන හැඟීමක් ඇති වුවහොත්, එමගින් ඔබට යම් ආකාරයේ උපකාරයක් ලැබෙනු ඇතිය යන සිතිවිල්ලෙන් සොරකමෙහි පවා නියැළිය හැක. බොහෝ වූ වසර ගණනාවක් ඉන්දියාවේ ජීවත් වූ සමයට අදාළ නිදසුනක් මා හට සිහිවේ. ඉන්දියාව යනු ඔබට සිහියට නගාගත හැකි සියලු ආකාරයේ බොහෝ වූ කෘමීන්ගේ වාසභූමියයි. ඔබට ඒ සියලු දෙනා මරා දැමිය නොහැක; එමගින් ඔබට කිසි ලෙසකිනුදු ජයගත හැකි නොවනු ඇත. එකම විසඳුම වනුයේ ඔවුන් සමගින් ජීවත්වීමට ඉගෙනීමයි. ඔබගේ කාමරයේ විවිධාකාරයේ කෘමීන් ගැවසීම පිළිබඳ ඔබ එතරම් කැමැත්තක් නොදක්වන්නේ නම්, මදුරු දැලක් භාවිත කළ හැක - ඒ අනුව ඔබ වටා දැලක් පවත්නා අතර ඔබ ආරක්ෂිත වනු ඇත. නිරන්තරයෙන් තව තවත් කෘමීන් ඇතුළුවන තත්ත්වයක රෑ මුළුල්ලේ නිදි වර්ජිතව සිටීමට සිදුවන පරිදි කාමරයේ සියලු මදුරුවන් මරන්නට කටයුතු කිරීමට වඩා එය වූකලි සාමකාමී විසඳුමකි. එනමුත් පාපකාරී චර්යාවක නියැළීමේ එකී ආවේගය බලහත්කාරී ලෙස ඉස්මතුවේ: “මුන්ගෙන් මිදිය යුතුය” වශයෙනි.

පාපකාරී චර්යාවෙහි විවිධ ස්වරූපයන් පවතී. බොරු කීම, පරුෂ වචන කීම, කාමයෙහි වරදවා හැසිරීම, ස්ත්‍රී දූෂණය ඈ මේ සියල්ල එතුළ පවතී.  පාපකාරී චර්යාවන්හි නිරත වන විටදී, මූලිකව එමගින් අසතුටක් ඇති කරවනු ලබයි. එය වූකලි අන් අය පිළිබඳ අසතුටක් පමණක් නොව, විශේෂයෙන් තමා පිළිබඳවමද වූ අසතුටකි. ඒ පිළිබඳව සිතා බලන්නේ නම්, ප්‍රාණ ඝාතයෙන් වැළකීම පිළිබඳ බුදු දහම තුළ බොහෝ‍ සෙයින් සාකච්ඡා කෙරේ. දැන් මෙයින් ගතයුතුවන අදහස නම්, ඔබ විසින් මදුරුවන් වැනි තමා අකමැති ඕනෑම දෙයක් විනාශ කරලීමේ පුරුද්ද ඇතිකර ගතහොත්, එවිට එය ඔබගේ පළමු ස්වයංක්‍රීය ප්‍රතිචාරය වනු ඇත. එය හුදෙක් ප්‍රාණ ඝාතය පිළිබඳව පමණක් සත්‍ය වන්නක් නොවේ. අප අකමැති දෙයක් පවත්නේ නම්, ඒ සමගින් සන්සුන් මනසකින් කටයුතු කිරීමට ඉගෙන ගනු වෙනුවට, ඉතා හිංසාකාරී ලෙස එයට ශාරීරිකව හෝ වාචිකව හෝ භාවමය වශයෙන් පවා පහර දෙමු.

ඇතැම් විට සැබැවින්ම ඔබට ප්‍රාණ ඝාතය සිදු කිරීමට සිදුවනු ඇත. නිදසුනක් ලෙස, ඔබගේ වගාවට හානි කරන කෘමීන් සිටිය හැක. ‍රෝග බෝකරන කෘමීන් සිටිය හැක. බුදු දහම යනු ආගමික උන්මාදයක් පිළිබඳ දර්ශනයක් නොවේ. එනමුත් එකරුණ සම්බන්ධයෙන් අමනෝඥද නොවිය යුතුය. “මම මේ මැලේරියා මදුරුවන්ට වෛර කරනවා” වැනි කෝපය හා වෛරය මුසු හැඟීමකින් තොරව එය සිදු කිරීමට උත්සාහ කරන්න. ඉන් අනතුරුව ඇතිවන සෘණාත්මක ප්‍රති විපාක පිළිබඳවද අමනෝඥ නොවිය යුතුය. සරල නිදසුනක් ගනිමු: අපි අපගේ එළවළු හා පළතුරු සියලු දේ වටා පළිබෝධ නාශක යොදන්නේ නම් අපටද ඒවා ආහාරයට ගැනීමට සිදුවන බැවින් එමගින් රෝග බෝවිය හැක. ඒ අනුව එහි සෘණාත්මක අතුරු ඵල පවතී. නැවතද අපගේ සුපුරුදු අදහස් මාරුවට එන්නේ නම්, මෙමගින් දක්වන අදහස වනුයේ ආදරය හා කරුණාව මගින් ඌණ පූරණය කෙරෙන විනය, චිත්ත ඒකාග්‍රතාවය හා නිවැරදි වැටහීම අපගේ විධික්‍රම වන බවයි.

ආචාර ධාර්මික ස්වයං විනය

ජීවිතයේ ගැටලු වළකාලීම පිණිස මෙකී වැළකුම් ක්‍රියාමාර්ග යොදාගන්නේ කෙසේද? පළමු මට්ටම හෙවත් අප විසින් සිදු කරනු ලබන පළමු කාර්යය වනුයේ පාපකාරී ක්‍රියාවන්හි නියැළීමෙන් වැළකීම නමැති ආචාර ධාර්මික ස්වයං විනය යොදා ගැනීමයි. පාපකාරී ක්‍රියාවන්හි නියැළීම යනු කෝපය, ලෝභය, ඇල්ම, ඊර්ෂ්‍යාව, මෝහය, අහංකාරය ආදී මෙකී කැළඹිලිකාරී භාවයන්ගේ බලපෑම යටතේ ක්‍රියා කිරීමයි. ඉන් අදහස් වනුයේ අපට පාපකාරී ක්‍රියාවක නියැළීමේ හැඟීමක් ඇතිවන විටදී, “නෑ.මට ඒ විදිහට කටයුතු කරන්නට අවශ්‍ය නෑ” යන ඉතා පැහැදිලි තීරණයකට එන බවයි.

ඔබ විසින් සිදු කරන ලද යම් අත් වැරැද්දක් සම්බන්ධයෙන් ඔබ වෙත බැණ අඬගැසීමේ හැඟීමක් ඇතිවන විටදීම, බැණ අඬගැසීම මගින් තත්ත්වය හුදෙක් වඩාත් නරක අතට හැරවීම පමණක් සිදු කරන බව මා හට දැනේ. මා හට ඔබ නිවැරදි කිරීම හෝ සිදුවූ කවර හෝ අත් වැරැද්දක් සම්බන්ධයෙන් කටයුතු කිරීම සිදුකළ හැකි නමුත්, බැණ අඬගැසීම මගින් සිදුවනුයේ තත්ත්වය වඩාත් අයහපත් අතට හැරීම පමණි. විශේෂයෙන් අයහපත් නම් ඔබට සාප කිරීම ආදියෙන් නිශ්චිතවම තත්ත්වයෙහි කිසිදු යහපත් වර්ධනයක් ඇති නොවනු ඇත. ඒ අනුව, ආචාර ධාර්මික ස්වයං විනය යනු අප බලහත්කාරී හැඟීමක් මත පාපකාරී ක්‍රියාවක නියැළීමට යන්නේය යන කරුණ හැකි විගස හෝ එම පාප ක්‍රියාව සිදු කිරීමට පෙර පවා හඳුනා ගැනීමයි. එයාකාරයේ ක්‍රියාවක නියැළීමේ ආවේගයක් ඇති නමුත් “මින් කිසිදු පලක් ඇති නොවනු ඇත” යන වෙන්කොට දැකීම හෙවත් යෝනිසෝ මනසිකාරය යොදමින් එම අ‍ාවේගය ක්‍රියාත්මක නොකිරීමට ස්වයං පාලනයක් ඇතිකර ගන්නෙමු.

කෝපය ඔබ තුළ තබාගනිමින් ඇතුළත පැසවමින් අවසන පුපුරා යන තත්ත්වයක් දක්වා සිර කර තබාගැනීමට මෙහිදී යෝජනා නොකෙරේ. ක්‍රමය එය නොවේ.  අපට ඒ සම්බන්ධයෙන් කටයුුතු කිරීමට නොහැකිව ඇත්තේ නම්, එය හුදෙක් ඇතුළතින් වර්ධනය වේ. එය අනෙකා මත මුදා නොහරින්න. බිත්තියකට මිටින් පහර දීම සලකා බලන්න. එමගින් සිදුවනු ඇත්තේ ඔබගේ අත වේදනාවට පත්වීම පමණක් වන අතර, එය අමනෝඥ කටයුත්තකි. ඒ අනුව එය වෙනයම් ආකාරයකින් මුදා හැරිය යුතුවේ. කොට්ටයකට පහර දීම හෝ නිවසේ මුළු බිමම සෝදා දැමීම සිදු කරන්න. එය වූකලි කෝපය හා ඉච්ඡා භංගත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ “මවකගේ ස්වභාවයක්” වන අතර සැබැවින්ම වෙහෙස වී නිවසේ කටයුතු කිරීම හෝ දිගු දුරක් දිව යාම හෝ ශරීර සුවතා මධ්‍යස්ථානයේ දැඩි ව්‍යායාමයක නියැළීම එම ඉච්ඡා භංගත්ව කෝපයේ ශක්තිය විසුරුවා හැරීමට උපකාරී වේ.

සතිය හා චිත්ත ඒකාග්‍රතාවය

මෙයාකාරයේ චර්යාවනට වඩ වඩාත් පුරුදු වී එයාකාරයෙන් කටයුුතු කිරීමට අදහසක් එන විටම හානිකර චර්යාවන්ගෙන් වැළකුණහොත්, මෙහිදී යොදාගනු ලබන දෙය යෝනිසෝ මනසිකාරය හෙවත් වෙන්කොට දැකීමයි. අපි ප්‍රයෝජනවත් හා හානිකර දේ වෙන්කොට ගනිමු. ඒ පදනමින් හුදෙක් කෝපය ඇතුළත තබාගැනීමකින් තොරව සන්සුන්ව සිටීමට අපට හැකිවේ. ඒ අනුව මෙහිදී අප විසින් වගා කරගන්නාවූ ප්‍රධාන දෙය වනුයේ සාමාන්‍යයෙන් “සතිය” ලෙස පරිවර්තනය කෙරෙන සංකල්පයයි. ඉන් අදහස් වනුයේ “සිහි තබාගැනීමයි”. එය වූකලි මා කළ යුතු දේ, මා ජීවිතය ගතකළ යුතු ආකාරය, ජීවිතයේ ක්‍රියාත්මක විය යුතු ආකාරය නමැති ශික්ෂණයට අනුගතව සිටී‍මේ මානසික මැලියම මෙනි. එය අමතක කිරීමකින් තොරව එයට ඇලී සිටීමකි. එය සතියයි. එය “සක්‍රීය සිහි තබාගැනීම” නම් අරුතැති වචනයකි.

ඒ අනුව අප විසින් සිදු කිරීමට උත්සාහ කරන දෙය වනුයේ වඩාත් අවදියෙන් සිටීමයි. “බුදුන් වහන්සේ” යන යෙදුම තුළ සැබැවින්ම අදහස් වනුයේ “මුළුමනින්ම සතිමත්ව සිිටින්නෙකු” යන අදහසයි. අපි අපට දැනෙන හැඟීම් කවරේද, මෙයාකාරයෙන් හෝ එයාකාරයෙන් කටයුතු කිරීම සඳහා අපගේ සිත් තුළට බලහත්කාරයෙන් ඇතුළුවන බලපෑම් කවරේද යන කරුණු සම්බන්ධයෙන් අවදිව සිටිමින් මෙම දේවලට වහල් නොවෙමින්, වැටහීම තුළ අපට ක්‍රියාකළ යුතු ආකාරය තෝරාගත හැකි බව අවබෝධ කරගන්නෙමු. මම අයහපත් චිත්ත ස්වභාවයක පසුවන්නේ නම්, එය වෙනස් විය හැක; එය වෙනස් කිරීමට යමක් අපට කළ හැක. ඇතැම් විට අයහපත් චිත්ත ස්වභායකින් සිටී‍මට අදාළ විසඳුම බොහෝ සරල එකක් වේ. පවත්නා සරලම ක්‍රමයක් වනුයේ “කේන්තියෙන් අඬන දරුවා නිදි කරවීමයි”. අපට අප පිළිබවඳවද පමණ ඉක්මවා දිගු කලක් අවදිව නිරන්තරයෙන්ම හඬමින් සිටි දරුවෙකු වැනි හැඟීමක් ඇතිවේ. නිරන්තරයෙන්ම අයහපත් චිත්ත ස්වභාවයකින් සිටින විටදී අපි එයාකාර වෙමු. එබැවින් වැතිරී, මද නින්දකින් සැබෑ නින්දකට පිවිසෙන්න. ඉන් අවදිවන විට සාමාන්‍යයෙන් තත්ත්වය වඩා යහපත් වේ.

නොඑසේ නම් ඔබ යමෙකු හා එකඟ නොවන තත්ත්වයක සිටින්‍නේ නම් හා එය ඉතා තියුණු තත්ත්වයකට පත්වන්නේ නම්, මෙවැනි තත්ත්වයක අනෙකා සැබැවින්ම ඔබ පවසන දෙයට ඇහුම්කන් නොදෙන අතර, ඔබද සැබැවින්ම ඔවුනට ඇහුම්කන් නොදෙන්නේය යන්න ඔබ දන්නා කරුණකි. “අපි දෙන්නම ටිකක් සන්සුන් වුණාම මේ ගැන ආයෙ කථා කරමු”යි පවසා එම සංවාදය නවතාලීම වඩාත් යහපත්ය. ඉන්පසු සිත සන්සිඳුවාගනු පිණිස ඇවිදීම වැනි කාර්යයක නියැළෙන්න.

මේවා ඉතා සරල ක්‍රමයන් වේ. බුදු දහම තුළ සැබැවින්ම එයට වඩා වැඩි ගැඹුරු කාර්ය ක්‍රම උගන්වනු ලබන නමුදු මෙය ආරම්භයකි. අපට සැබැවින්ම යෙදිය හැකි ක්‍රමයන්ගෙන් ආරම්භය ගත යුතුවේ. එනමුත් වැදගත් දෙය වනුයේ මූලධර්මයයි. එම මූලධර්මය වනුයේ ගැටලුවේ හේතුව විමසා එම ගැටලුව මැඩ පැවැත්වීම සඳහා යමක් සිදු කිරීමයි. හුදෙක් ගැටලුවේ වින්දිතයෙකු බවට පත් නොවන්න. එක් අතකින්, ඔබගේ ජීවිතය තුළ සිදුවන දෙය සම්බන්ධ පාලනයක් ඇති කරගන්න.

දැන්, අපගේ චර්යාවෙහි ප්‍රයෝජනවත් දෙය කවරක්ද, හානිකර දෙය කවරක්ද යන වැටහීම ග්‍රහණය කරගෙන සිටීමේ සතිමත් බව ගොඩනගා ගත හැක්කේ නම්, හා සිදුවන දෙය පිළිබඳ අවධානය යොමු කරමින් කටයුතු කළ යුතුවන ආකාරය සිහි තබාගනිමින් එයාකාරයෙන් කටයුතු නොකරන්‍නේ නම් එය නිවැරදි කළ හැක්කේ නම්, අපට එම කාර්යය අපගේ කයින් ක්‍රියා කිරීම සම්බන්ධවද, වචනය සම්බන්ධවද, සිදු කළ හැක්කේ නම්, එවිට අපගේ සිතිවිලි ආශ්‍රිතව සිත සම්බන්ධවද එම කාර්යය සිදුකිරීමේ ශක්තිය ගොඩනගා ගත්තා වේ.

ඒ අනුව, වද වීමේ හෝ “අනේ අසරණ මා, කවුරුවත් මට ආදරය කරන්නෙ නෑනෙ” ආදී වශයෙන් වූ සිතිවිලි දාමයන් ඉස්මතු වන විටදී, “අනේ මට ආත්මානුකම්පාව, වද වීම ආදී චාරිකාවේ යෙදෙන්න අවශ්‍ය නෑ. මේකෙන් වෙන්නෙ මාව තව තවත් අසතුටටම පත් කරන එක”යි පවසා වඩාත් ධනාත්මක දෙයක් වෙත අපගේ අවධානය නැවත යොමුකළ හැක. අපට අපගේ සිරුර, සිත සමගින් හුදෙක් කණගාටු වෙමින් සිටීමට වඩා වැඩි ධනාත්මක දේ කළ හැක. සිත කණගාටුවට ලක්කරගෙන සිටින විටදී මෙන් සියලු දේ කෙතරම් අයහපත්ද යනුවෙන් සිතීමට වඩා සිතිය හැකි වඩාත් ධනාත්මක දේ බොහෝ පවතී. මක් නිසාද, අවධානය අයාලේ යන විටදී එය ආපසු කැඳවිය හැකිවන පරිදි චිත්ත ඒකාග්‍රතාවය ගොඩනැගීමට මෙහිදී උත්සාහ කරන බැවිනි.

නිදසුනක් ලෙස, යමෙකු සමගින් සංවාදයක නිරත වෙමින් සිටින අතර අවධානය අයාලේ යන්නට වුවහොත්, වද වීමට දෙයක් නැත, එය “ඔයා කතාව නතර කරන්නේ කොයි වෙලාවෙද?” හෝ “හවසට තේ බොන්න මොනවද කන්නෙ?” වැනි ඕනෑම දෙයක් සම්බන්ධයෙන් විය හැකි අතර, අනෙක් පුද්ගලයා කෙරෙහි අවධානය යොමු කිරීම නවතාලීම හෝ “එයා දැන් කියපු දේ මහ පිස්සු කතාවක්” වැනි චිත්ත විවේචනයන් සිදු කරමින් සිටින තත්ත්වයෙන් අවධානය නැවත ගෙන ඔවුන් වෙත ඇහුම්කන් දීමේ කාර්යය කෙරෙහි අවධානය යොමු කරමු.

මෙය චිත්ත ඒකාග්‍රතාවය යොදා ගැනීමේ ඉතා ප්‍රායෝගික ක්‍රමයක් වන නමුත් ඒ සඳහා විනයක් අවශ්‍ය වේ. පළමුව අපගේ කායික හා වාචසික චර්යාව තුළින් එම ශික්ෂණය ගොඩනගා ගන්නෙමු. අවධානය ආපසු ගෙන යම් වක්‍ර මාර්ගයන්හි යාම් නිවැරදි කිරීමේ මෙකී කුසලතාවය ගොඩනගාගත් කල්හි, එය සියලු ආකාරයේ අවස්ථාවනට යොදාගත හැක. එය සැබැවින්ම බොහෝ ප්‍රයෝජනවත් වේ. නිදසුනක් ලෙස, ඔබ ඔබගේ සිරුර ග්‍රහණය කරගෙන සිටින ආකාරය පිළිබඳ සතිමත් වන්නට පටන් ගනී. අවධානය යොමු කිරීමේදී ඔබගේ උරහිස් ආතතියට පත්ව උස්ව ඇත්තේ නම් බෙල්ලද කැක්කුම් දෙන්නේ නම් එයාකාරයේ තත්ත්වයන් හඳුනා ගනිමින් උරහිස, බෙල්ල ආදිය ඉහිල් කරගනී. එය වූකලි හුදෙක් අවධානය යොමුකොට, සිහි තබා ගනිමින් ඒ සම්බන්ධයෙන් යම් කිසිවක් සිදු කිරීම සම්බන්ධ තත්ත්වයකි. ඔබ ඉතා කැළඹිල්ලට පත් වන්නට වුවහොත්, හා එය අදාළ තත්ත්වයට මුළුමනින්ම නුසුදුසු වන්නක්ද වේනම්, සහ ඔබ යමෙකු කෙරෙහි වඩ වඩාත් හඬ නගා සහ එදිරිවාදී ලෙස කතා කරන්නට වන්නේ නම්, එය හඳුනාගනිමින් එය වෙනස් කරගනී. හුදෙක්ම ඔබ එහිදී ඔබගේ උරහිස හා බෙල්ල ඉහිල් කරගත්තාක් මෙන් සන්සුන් වන නමුත් එය සිදු කරන්නේ වඩාත් ශක්තිමත්ව හා භාවමය වශයෙනි.

මෙය ජීවිතයේ මෙම ධර්ම ක්‍රම යොදා ගන්නා ආකාරය සම්බන්ධ සමස්ත රහස අන්තර්ගත කථාන්තරයයි. හුදෙක් ඒවා සිහි තබාගනිමින් ඒවා සිදු කරමින්, භාවිතයේ යෙදීමට තරම් වූ විනයක් පවත්වා ගන්න. ඔබ විසින් එම කාර්යය සිදු කරනු ලබන්නේ යහපත් අයෙකු වීමට අවශ්‍ය හෙයින් හෝ ගුරුවරයා සතුටු කිරීමට අවශ්‍ය හෝ එවන් අන් දෙයක් හේතුවෙන් නොවේ. ඔබ විසින් එය සිදු කරනු ලබන්නේ ගැටලුවලින්, දුෂ්කරතාවන්ගෙන්, මිදෙනු පිණිසය. මක් නිසාද, ඒ පිළිබඳ කිසිවක් හෝ සිදු නොකරන්නේ නම්, ඔබ කාලකණ්ණි තත්ත්වයකට පත්වනු ඇති අතර එය යහපත් තත්ත්වයක් නොවන බව දන්නා බැවිනි. ඒ අනුව, අපගේ චිත්ත ඒකාග්‍රතාවය, අපගේ හැඟීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම වශයෙන් අපගේ ස්වයං විනය මානසික ක්ෂේත්‍රයට යෙදිය යුතුය. සැබැවින්ම හැඟීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම වඩාත් මටසිළුටු, වඩාත් දුෂ්කර දෙයකි. එනමුත් මවිසින් ප්‍රකාශ කරන ලද පරිදි, ඔබ පමණ ඉක්මවා කලබලයට පත් වන්නේ නම්, ඔබට සන්සුන් විය හැක.

නිවැරදි වැටහීම

යම් මට්ටමකට හෝ චිත්ත ඒකාග්‍රතා මෙවලම ගොඩනගාගත් පසු, ඔබ විසින් සැබෑ ලෙසම සිත සමාධිගතව පවත්වාගත යුතුවන දෙය වනුයේ සිදුවන කාරණය සම්බන්ධ නිවැරදි අවබෝධයයි. අපගේ පැවැත්ම, අන්‍යයන්ගේ පැවැත්ම, ලෝකයේ පැවැත්ම ආදිය පිළිබඳව ඈ ලෙස අප තුළ යථාර්ථය සම්බන්ධ විවිධාකාර ව්‍යාකූලත්වයන් පවත්නා අතර, එම ව්‍යාකූලත්වය හේතුකොට, සැබැවින්ම යථාර්ථවාදී නොවන දේ සම්බන්ධ සියලු ආකාර ප්‍රක්ෂේපණයන් අප තුළ පවතී. අපට “මං නිකමෙක්. පරාජිතයෙක්” යන ප්‍රක්ෂේපණය ඇතිකරගත හැක. නොඑසේ නම්, “මම මේ ලෝකයේ වසන අසිරිමත්ම පුද්ගලයාය” යන ප්‍රක්ෂේපණය ඇතිකරගත හැක. අපට “අසරණ මා කෙරෙහි කිසිවෙකු හෝ ආදරයෙන් නොසලකයි” යන ප්‍රක්ෂේපණයද ඇතිකරගත හැක. එනමුත්, සැබෑ ලෙසම ජීවිතයට අදාළ සියලු දෙනා සම්බන්ධයෙන් විග්‍රහයක යෙදෙමින් මාගේ මව කිසිදින මා හට ආදරය කර නැත, මාගේ බල්ලා මා වෙත කිසිදින ආදරය කර නැත, කිසිවෙකු හෝ ආදරය කර නැත ලෙස සිතන්නේ නම්, සැබෑ යථාර්ථය එය වීමේ ඉඩකඩ ඉතා අවම වේ.

ඒ අනුව මෙම මනෝ කල්පනාවන් ප්‍රක්ෂේපණය කරමින් ඒවා සත්‍ය බවට විශ්වාස කරන්නෙමු. එයයි අමිහිරිම දෙය.  යම් යොදාගත් කටයුත්තක් සම්බන්ධව ගත්කල, එයට පමාවී ගියද කම් නැතැයි විශ්වාස කරමු. එවිට අපි අන්‍යයන් කෙරෙහි අකාරුණික වෙමු. එනමුත් මා තුළ මෙන්ම සියලු දෙනා තුළද හැඟීම් ඇත. කිසිවෙකු හෝ තමා නොසලකා හැරීම කෙරෙහි කැමති නොවෙති. තමා යම් කිසිවෙකු සමගින් යොදාගත් කටයුත්තක් ඇති අවස්ථාවක අනෙකා ඔබ ඇමතීමකින් හෝ තොරව පමා වන්නේ නම් එවන් තත්ත්වයකට කිසිවෙකු හෝ කැමති නොවනු ඇත.එබැවින්, අප විසින් මෙම මනෝ කල්පනාවන් විනිවිද යාම පිණිස අපගේ චිත්ත ඒකාග්‍රතාවය යොදා ගනිමින් අ‍පගේ නොසැලකිලිමත් චර්යාව තුළින් අන්‍යයන් හට වේදනාවක් ඇති නොවන්නේය ඈ ලෙස ඇතිවන මේ සියලු විකාර අදහස් ප්‍රක්ෂේපණය කිරීම නවතාලිය යුතු වන්නේ එය සැබැවින්ම ගැටලුවල ගැඹුරුම හේතුව වන බැවිනි: “මම විශ්වයේ කේන්ද්‍රය වෙමි. මා හට නිරතුරු මට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට හැකිවිය යුතුය. මම වැදගත්ම පුද්ගලයා වෙමි”. එය පැහැදිලිවම මනඃකල්පිත ප්‍රක්ෂේපණයකි. කිසිවෙකු හෝ වඩාත් වැදගත් පුද්ගලයා බවට පත් නොවේ. එනමුත් අපගේ මනෝ කල්පනාවන් සත්‍ය සේ විශ්වාස කිරීමේ පදනමින් ගත්කල, අපි ආත්මාර්ථකාමීන් වෙමු. ඒ අනුව, ආත්මාර්ථය මැඩ පැවැත්වීමට අවශ්‍ය වන්නේ නම්, එම මනෝ කල්පනාව කැබලිවලට කඩා දමා එය ප්‍රක‍්ෂේපණය කිරීම නවතාලිය යුතුය. මම විශ්වයේ කේන්ද්‍රය වන අතර, මෙලොව සිටින එකම පුද්ගලයාද මා බවට මා හට හැ‍‍ඟෙන නමුත් මෙය මායාවක් බව සිහි තබාගනිමින් එකරුණ විශ්වාස නොකිරීමට උත්සාහ කළ යුතුය (මක් නිසාද, මා මාගේ දෑස් වසාගත් විටදී මාගේ හිස තුළ මේ හඬ පවත්නා අතර, ‍අන් කිසිවෙකු නොපෙනෙන බැවින් සිටින එකම පුද්ගලයා මා වන බවක් හැ‍ඟේ): “එය එවැන්නක් නොවේ. හුදෙක් එසේ පෙනෙන්නක් පමණි”.

සෑම කල්හිම එම අවබෝධය සහිතව සිටීම අපගේ ගැටලු සැබෑ ලෙසම නවතාලීමේ සැබෑ මාර්ගය බව බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. එම නිවැරදි අවබෝධය සෑම කල්හිම පැවතියේ නම්, කිසිදු ව්‍යාකූලත්වයක් නොපවතිනු ඇත. අප තුළ කිසිදු ව්‍යාකූලත්වයක් නොපැවතියේ නම්, කිසිදු කෝපයක් නොපවතිනු ඇත; ඇල්මක්, ලෝභයක් ආදිය නොපවතිනු ඇත. අප තුළ මෙකී කැළඹිලිකාරී භාවයන් කිසිවක් හෝ නොපැවතියේ නම්, අපි හානිකර චර්යාවන්හි නොනියැළෙනු ඇත. අපි හානිකර කාර්යයන්හි නොනියැළුණේ නම්, අපි අන්‍යයන් හා අප කෙරෙහිමද මෙකී සියලු ආකාර ගැටලු ඇති නොකරනු ඇත. එය වූකලි ජීවිතයේ දුෂ්කරතාවයන් සම්බන්ධයෙන් කටයුුතු කරන මූලික බෞද්ධ විධික්‍රමය වේ.

වඩා සතුටුදායක සම්බන්ධතාවයන් පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නේනම්, පහත කරුණු හඳුනාගත යුතුවේ:

  • මම මනුෂ්‍යයෙකු වෙමි. ඔබද මනුෂ්‍යයෙකි. අප සියලු දෙනා තුළ එකම ආකාරයේ හැඟීම් ආදිය පවතී.
  • සියලු දෙනා තුළ ප්‍රබලතා පවතී. දුබලතාද පවතී. මා තුළද, ඔබ තුළද ඒවා පවතී.
  • කිසිවෙකු හෝ ධවල හස්තියෙකු මත නැඟි කුමරෙකු හෝ කුමරියක නොවේ.

ඔබගේ කථාන්තර තුළද එම රූපකය ඇත්තේද? අපි නිරන්තරයෙන්ම සුදු අසු පිට නැගි සර්ව සම්පූර්ණ සහකරුවෙකු/සහකාරියක සොයන නමුත් එය සුරංගනා කථාවක් පමණි. එය සැබෑ ලොව පවත්නා තත්ත්වයක් නොවන නමුදු අපි එය ප්‍රක්ෂේපණය කරමු. එම සුරංගනා කථාව විශ්වාස කිරීම හේතුකොට, මෙම පුද්ගලයා එම කුමරු හෝ කුමරිය වනු ඇතැයි සිතන අතර, ඔවුන් එසේ නොවන කල කෝපයට පත්ව ප්‍රතික්ෂේප කරන්නට පවා පෙළඹෙමු. ඉන්පසු අපට හමුවන ඊළඟ භව්‍ය සහකරු /සහකාරිය සමග බැඳී ඔහු හෝ ඇය එම කුමරා ‍හෝ කුමරිය වනු ඇතැයි අපේක්ෂා දල්වමු. එනමුත් අපට කිසි දින එම කුමරු හෝ කුමරිය හමු නොවනුයේ එවැන්නන් මෙලොව නොමැති බැවිනි.

ඒ අනුව, අපට ‍සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතා ගොඩනගා ගැනීමට අවශ්‍ය වන්නේ නම්, යථාර්ථය පිළිගැනීමට සිදුවේ. යථාර්ථය වනුයේ, මා ප්‍රකාශ කළ පරිදි, සියලු දෙනා තුළ යහ ලක්ෂණද, දුර්වල ලක්ෂණද ඇති අතර, කෙසේ හෝ ඔවුන් සමග එක්ව වාසය කිරීමට උගත යුතු අතර, කිසිවෙකු හෝ විශ්වයේ කේන්ද්‍රය නොවන බවයි. ඉන්පසු සැලකිය යුතු කරුණ වන්නේ ඕනෑම ආගමක හෝ මානුෂවාදී දර්ශනයක හමුවන පොදු දේශනාවන් හෙවත් කාරුණික, අනුන් පිළිබඳ සැලකිලිමත්, ප්‍රේමණීය ආදී අය වෙමින් ඉවසිලිවන්තව, ත්‍යාගශීලීව, සමාව දෙමින් කටයුතු කළ යුතු බවයි. සෑම ආගමක් හා සෑම මානුෂවාදී දර්ශනයක් තුළම එකම කරුණ උගන්වන අතර, බුදු දහම තුළද එය එසේම වේ.

සේවා ස්ථානයෙහි අපගේ සම්බන්ධතා තුළද එම මූලධර්මයන්ම අදාළ වේ. ඔබගේ කාර්යාලයේ ඔබ සමගින් කටයුතු කරන අය සමගින් කාරුණිකව කටයුතු කරන්නේ නම්, (හෝ ඔබ වෙනත් අය සේවයෙහි නියුක්ත කරවන්නෙක් නම් එම සේවා නියුක්තිකයන් හට කාරුණික වන්නේ නම්), සමස්ත ව්‍යාපාරය වඩාත් යහපත් ලෙස ක්‍රියාත්මක වන්නක් වේ. ඔබ යම් ගබඩාවක සේවය කරන්නේ නම් හා ගනුදෙනුකරුවනට කාරුණිකව හා ප්‍රිය මනාපව සලකන්නේ නම්, සමස්ත පරිසරය වඩාත් ප්‍රියජනක නොවේද? යමෙකු සිය කටයුතුවලදී අවංක වන්නේ නම්, හෙවත් අන් අය රැවටීමට ලක් නොකරන්නේ නම්, නැවතද කරුණු වඩ වඩාත් යහපත් පරිදි සිදුවේ. අපි ලාභයක් ඉපැයීමට කටයුතු නොකරන අතර ජීවත් වීම සඳහා යම් මුදලක් ඉපැයීමට උත්සාහ නොකරන බවක් ඉන් නොඇඟවේ. මෙහි අදහස නම්, ඒ පිළිබඳ තණ්හාධික නොවිය යුතු බවයි.

සියලු දෙනා සමාන තත්ත්වයේ අය නොවන බැවින් අන් අය අප රවටන විටදී, ඔබ කුමක් අපේක්ෂා කරන්නේද? බෞද්ධ දෘෂ්ටි කෝණයකින් සලකා බලන කල, මොවුන් අයහපත් පුද්ගලයන් යැයි නොකියමු; කිව හැක්කේ ඔවුන් ව්‍යාකූලත්වයට පත්වූවන් බවයි. ඔවුහූ සිත් වියවුල් කොටගෙන සිටිති. මෙයාකාරයෙන් කටයුතු කිරීම තුළ ඔවුන් හටම වඩ වඩාත් ගැටලු ඇතිවනු ඇත්තේය යන කරුණ ඔවුහූ තේරුම් නොගනිති. කිසිවෙකු හෝ ඔවුන්ට කැමති නොවෙති. එබැවින් ඔවුන් පාත්‍ර විය යුත්තේ අපගේ වෛරයට නොව අනුකම්පාවටය. ඔවුන් අපගේ කරුණාවට ලක්විය යුතු අය වශයෙන් ගෙන ඔවුන් කෙරෙහි ඉවසිලිවන්ත වන්නේ නම්, ඔවුන් අප රවටන විට අපට භාවමය දුකක් ඇති නොවන අතර, නැවත රැවටීමට ලක් නොවන පරිදි ඊළඟ අවස්ථාවන්හි වඩාත් ප්‍රවේශම් වෙමු. එනමුත් ඔබ පුද්ගලයන් වෙතින් අපේක්ෂා කරන්නේ කවරක්ද? බොහෝ පුද්ගලයෝ එයාකාර වෙති. ඒ අනුව යථාර්ථය එයයි. ප්‍රක්ෂේපණය වනුයේ සියලු දෙනා අවංක වන බවයි. සියලු දෙනා අවංක නැත. සියලු දෙනා අවංක වූයේ නම් එය ප්‍රසන්න තත්ත්වයක් වුව, සියලු දෙනා එසේ නොවේ. එබැවින් අවම වශයෙන් අපට අවංක වීමට උත්සාහ කළ හැක.

අබෞද්ධයන් හට මෙම ක්‍රම භාවිත කළ හැකිද?

මෙම ක්‍රම යෙදීම පිණිස අපට භාවනාවට හා චාරිත්‍රයනට අදාළ දැඩි බෞද්ධ ආධ්‍යාත්මික මාර්ගයක් අනුගමනය කිරීමට සිදුවේද? සැබැවින්ම නැත. මෙකී සියලු දේ භාවිතයට ගනු පිණිස දැඩි, ප්‍රමිතිගත ආධ්‍යාත්මික මාර්ගයක් අනුගමනය කළ යුතු නොවේ. පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් නිරන්තරයෙන්ම කාරුණික වීම, වඩාත් සතිමත් වීම, අමනෝඥ නොවීම, මනෝ ලෝක ප්‍රක්ෂේපණය නොකිරීම ආදී ලෞකික ආචාර ධර්ම හා මානව වටිනාකම් පිළිබඳ කථා කරයි. මේවා වූකලි ඕනෑම අයෙකු හට අනුගමනය කළ හැකි පොදු මාර්ගෝපදේශ වේ.

භාවනාව පිළිබඳ කථා කරන විටදී, හිඳගෙන එයාකාරයෙන් සිතීමට උත්සාහ කරමින් හා අපගේ අවධානය වෙනතක යනවිට එය නැවත අල්ලා ගනිමින් සිදුකරන චින්තන විධිය හුරුකර ගැනීමේ ක්‍රමයක් පිළිබඳව පමණක් කථා කරන්නෙමු. ඔබට එම කාර්යය භාවනාව සඳහා ඉඳගෙන බුද්ධ රූපයක් හෝ ඔබගේ හුස්ම කෙරෙහි හෝ අවධානය යොමු කරගෙන සිදුකළ හැකි නමුත් එය පොතක් කියවන විටදීද, ආහාර පිසින විටදීද, ඕනෑම කාර්යයක් සිදුකරන විටදීද සිදුකළ හැක. ආහාර පිසින විටදී හුදෙක්ම එම පිසීමේ කාර්යය මත අවධානය යොමු කරන්න. සිත විකාර අදහස්වල පැටලී යන විටදී, නැවත ආහාර පිසීමේ අරමුණට එය රැගෙන එන්න. එය විධිමත් බෞද්ධ භාවනා පිළිවෙතක් වීම අවශ්‍ය නොවේ. කවරාකාර හෝ බෞද්ධ චාරිත්‍ර විධියක් හෝ විධිමත් බෞද්ධ වටපිටාවකින් තොරව මෙකී වඩාත් ප්‍රයෝජනවත් සිතීමේ, ක්‍රියාකාරීමේ විධීනට හුරුවීමේ බොහෝ ක්‍රම පවතී.

ඒ අනුව, මෙය වූකලි අප විසින් ගැටලු වලකාලීම පිණිස ධර්මය හෙවත් වැළකුම් ක්‍රියාමාර්ග යොදවන ආකාරයයි. ඔබට ඇති ප්‍රශ්න මොනවාද?

ප්‍රශ්න

අභ්‍යන්තරව හා බාහිරව සිදුවන දෙය පිළිබඳව දැනුවත්ව සිටීම

ගැටළු වළකාලනු පිණිස අප විසින් හුදෙක් සියලු අවස්ථාවන්හි සමාධිගතව සිටිය යුතුද?

එක් අතකින් මෙයට පිළිතුර එසේය යන්නයි. එනමුත් එය සම්පූර්ණ පින්තූරය නොවේ. නිදසුනක් ලෙස අපට යමෙකු හට පහර දෙන විටදීද, බැණ අඬගසන විටදීද එම කාර්යය පිළිබඳ බොහෝ චිත්ත ඒකාග්‍රතාවයක් සහිතව කටයුතු කළ හැකි බැවින් එය සම්පූර්ණ පින්තූරය නොවේ. අපගේ සිතිවිලි, හැඟීම් ආදී වශයෙන් අප තුළ සිදුවන දෙය පිළිබඳ දැනුවත්ව සිටින අතරම, සෙසු පුද්ගලයන් සමගින් අප වටා සිදුවන දේ පිළිබඳවද සූදානම්කාරීව හා දැනුවත්ව සිටිය යුතුය යන අදහසින් අපට අවදි සිහියෙන් සිටීමට සිදුවේ. පවුලේ සාමාජිකයෙකු, හෝ ආදරණීයයෙකු හෝ ආදී වශයෙන් වූ යමෙකු නිවසට පැමිණෙන විටදී, ඔවුන් බොහෝ සෙයින් වෙහෙසට පත්ව ඇති බව ඔබට පෙනී යා හැක. එකරුණ කෙරෙහි පරීක්ෂාකාරී විය යුතුය. ඔවුන් වෙහෙසට පත්ව ඇති බැවින් යම් වැදගත් කරුණක් සම්බන්ධයෙන් විශාල සාකච්ඡාවකට එළැඹීමට සුදුසු මොහොත නොවනුයේ ඔවුන් වෙහෙසට පත්ව ඇති බැවිනි. ඒ අනුව ඔබ නිරතුරු සූදානම්කාරීව, චිත්ත ඒකාග්‍රතාවයක් සහිතව, ඔබ වටා සිදුවන දේ පිළිබඳ අවධානය යොමු කොටගෙන සිටිය යුතු වේ. එනම් මා සම්බන්ධ තත්ත්වය පමණක් නොව, අන් අය සම්බන්ධ තත්ත්වය පිළිබඳවද වූ අවධානයකි.

ඒ අනුව අපි හුදෙක් අප පිළිබඳව පමණක් දැනුවත්ව සිටින අතර, අන් අය පිළිබඳව දැනුවත්ව නොසිටින අන්තයකට නොයන්නෙමු; අනෙක් අන්තය වන අප කෙරෙහි අවධානය යොමු නොකරමින් අන්‍යයන් කෙරෙහි අවධානය යොමු කිරීමේ අන්තයටද නොයන්නෙමු. එයද වැළකී සිටිය යුතුවන අන්තයකි. “නොහැකියි” යන්න පැවසිය නොහැකි රෝග ලක්ෂණයෙන් පෙළෙමින් සිටින බැවින් නිරන්තරයෙන් අන්‍යයන් හෙවත් සිය පවුල, හෝ අන් කවුරුන් හෝ වෙනුවෙන් කටයුතු කරමින් මුළුමනින්ම වෙහෙසට පත්ව කඩා වැටෙන හා අවසන නුරුස්නා තත්ත්වයකට පත්වන අයද සිටිති. අපට දේවල් දැනෙන ආකාරය පිළිබඳවද අවධානය යොමු කරමින් අපගේම අවශ්‍යතාවයන් කෙරෙහිද සැලකිලිමත් වීම වැදගත් වේ. විවේකයක් අවශ්‍ය විටදී, විවේකයක් ලබා ගනිමු. “කණගාටුයි; මේක කරන්න බෑ. බර වැඩියි. මට හැකියාවක් නෑ”යි කිව යුතුවන අවස්ථාවේදී “නොහැකියි” යන්න පවසන්න. එසේ “නොහැකියි”පවසන විටදී, හැකිනම් යම් විකල්ප විසඳුමක්ද ඔවුන් වෙත ලබාදිය යුතුය. “සමහර විට මේ අයට ඔබට උපකාර කරන්න පුළුවන් වේවි” යන යෝජනාවක් ලබා දෙන්න.

කෙටියෙන් ප්‍රකාශ කරන්නේ නම්, බාහිරව හා අභ්‍යන්තරවද සිදුවන සියලු දේ සම්බන්ධව අවධියෙන් සිට ඉන්පසු නිවැරදි වැටහීම, ප්‍රේමය හා කරුණාව යොදන්න.

කෝපය සම්බන්ධයෙන් කටයුතු කිරීම

කෝපය හෝ සෙසු හානිකර භාවයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ක්‍රමයක් ලෙස බිම ඇමදීම පිළිබඳව ඔබතුමා ස‍ඳහන් කළා. එනමුත් බුදු දහම තුළ බොහෝ වූ වඩා ගැඹුරු ක්‍රමයන් පවත්නා බව ඔබ පෙන්වා දුන්නා. මෙම ක්‍රම සොයාගන්නේ කවර තැනෙකින්ද යන්න පිළිබඳ අවම වශයෙන් ඉඟියක් හෝ ලබාදිය හැකිද?

හොඳයි. තරමක් ගැඹුරට යන්නේ නම්, යමෙකු සමගින් කෝපයට පත්ව සිටින විට එම කෝපය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ එක් මට්ටමක් වනුයේ ඉවසීම ගොඩනගා ගැනීමයි. මෙහිදී ඉවසීම ගොඩනගා ගන්නේ කෙසේද? බොහෝ වූ විධික්‍රම පවත්නා නමුත් ඉන් එක් ක්‍රමයක් වනුයේ “ඉලක්කාකාර ඉවසීමයි”: “මවිසින් ඉලක්කයක් ලබා නොදුන්නේ නම්, කිසිවෙකු විසින් හෝ එයට පහර නොදෙනු ඇත”. නිදසුනක් ලෙස, මම මා වෙනුවෙන් යමක් කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටින අතර, ඔබ එය නිවැරදිව සිදු නොකරයි. මෙහිදී ප්‍රවණතාවය වනුයේ මා ඔබ සමග කෝපයට පත්වීමයි. නොඑසේ නම් ඔබ එම කාර්යය  කිසිසේත් නොකළාද විය හැක. ඒ අනුව, එය කාගේ වරදද? සැබැවින්ම වරද මා අතය. මක් නිසාද, මම එය මවිසින්ම සිදුකර ගැනීමට නොහැකි තරමට වූ කුසීත බව හේතුවෙන් ඔබට එය කරන්නට පැවරීම හේතුවෙනි. ඒ අනුව මා අපේක්ෂා කරන්නේ කවරක්ද? ඔබ යමක් සිදු කරන ලෙස යමෙකු වෙතින් ඉල්ලා සිටින විටදී, අපේක්ෂා කරන්නේ කවරක්ද? දෙවසරක් වයසැති කුඩා දරුවෙකු හට උණුසුම් තේ කෝප්පයක් ඔබ වෙත ගෙන එන ලෙස පැවසුවහොත් ඔහු එය අතරමගදී ඉහිරවා ගනු ඇත. සැබැවින්ම ඔවුන් එය ඉහිරවා ගන්නා ස්වභාවය ඇති පිරිසකි. යමෙකු විසින් අප වෙනුවෙන් යම් කාර්යයක් කරනු ඇතැයි අපේක්ෂා කිරීමේදීද පවත්නේ මෙම තත්ත්වයමය.

ඒ අනුව, එම ගැටලුව සැබෑ ලෙසම ඉස්මතු කරන ලද්දේ මාගේ කුසීත බව විසින්ය යන කරුණ අවබෝධ කරගනිමි. අනෙකා සමගින් කෝප නොගත යුතුය. මා වෙනුවෙන් යම් කාර්යයක් සිදුකරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටින විටදී, එසේ ඉල්ලා සිටින්නේම මා හට ඒ කාර්යය සිදු කරන්නට නොහැකි තරමට පවතින කම්මැලිකම හෝ මා හට ප්‍රමාණවත් කාලයක් ඒ සඳහා නොමැති වීම වැනි හේතුවක් මත වේ. මෙහිදී ගත යුතු අදහස වනුයේ එම කාර්යය සිදුකරන ලෙස යමෙකු වෙතින් ඉල්ලා සිටියහොත්, ඔවුන් විසින් එය සර්ව සම්පූර්ණ ලෙස ඉටු කරනු ඇතැයි අපේක්ෂා නොකළ යුතු බවයි. නොඑසේ නම් මා අපේක්ෂා කරන අයුරින් එය නොකරනු ඇති බවයි. එයද අවසාන විග්‍රහයේදී නිවැරදි නොවේ. මමද අත් වැරදි සිදු කරමි. මවිසින්ම එම කාර්යය සිදු කරන්නට ගිය විටෙක අත් වැරදීමක් සිදු වුවහොත්, මා සමගින්ම කෝපයට පත් වීමට හේතුවක් නොමැත. “මම සර්ව සම්පූර්ණ නොවෙමි. කිසිවෙකු හෝ සර්ව සම්පූර්ණ නැත. එබැවින්, අනිවාර්යයෙන්ම මා හටද අත් වැරදි සිදුවිය හැක”. ඒ අනුව ඔබ විසින් හුදෙක්ම යථාර්ථය පිළිගනු ලබයි. “මම මනුෂ්‍යයෙකු වෙමි. මනුෂ්‍යයනට වැරදි සිදුවේ. මම වරදක් කළෙමි”. එය නිවැරදි කළ හැක්කේ නම්, එසේ කරමි. මම මා සමගින්ම කෝපයට පත් නොවෙමි. මා සමගින්ම කෝපයට පත් වීමට හේතුවක් නොමැත. හැකිනම් හුදෙක් එය නිවැරදි කරන්න. නොහැකි නම්,  හුදෙක්ම එය අත්හැර එම වරද මතු අනාගතයේදී නැවත සිදු නොවීමට වගබලා ගන්න.

කෝපය සම්බන්ධයෙන් කටයුුතු කිරීමේ වඩාත් ගැඹුරු මට්ටමක් වනුයේ අප සම්බන්ධ යථාර්ථය වටහා ගැනීමයි. දැන් මම ඉතා සරල මට්ටමකින් කථා කරන නමුත් එම සරල මට්ටමෙහි පවා එය ප්‍රයෝජනවත් වේ. “මම විශ්වයේ කේන්ද්‍රය නොවෙමි. එබැවින් නිරතුරු මා හට අවශ්‍ය පරිදිම කටයුතු සිදුවිය යුත්තේ මන්ද? සියල්ල මා හට අවශ්‍ය පරිදි සිදුවන අතර, අන් කිසිවෙකුට හෝ අවශ්‍ය පරිදි කටයුුතු සිදු නොවිය යුතු තරම් මාගේ විශේෂත්වය කවරක්ද?” එවන් සිතිවිලි සමගින්, විශ්වයේ වැදගත්ම දෙය වශයෙන් සලකන“මා” පිළිබ‍ඳ මෙම දැඩි අදහස කැබලිවලට ගැලවීම ආරම්භ කරමු. ඉන්පසු ඔබට තව දුරටත් දිගින් දිගටම මෙම කැබලිවලට ගැලවීම සිදුකළ හැක. “මා” මෙතරම් දැඩි දෙයක් සේ ගනිමින් මා හට අවශ්‍ය පරිදි නිරතුරු සියලු කටයුතු සිදුවිය යුතුය යන අදහස ඇති විටදී, එවිට නිරතුරු ඔබට අවශ්‍ය පරිදි කටයුුතු සිදු නොවන විට කෝපයට පත්වේ. 

අපගේ පැවැත්ම හා සියලු දෙනාගේ පැවැත්ම සම්බන්ධව පැවසිය යුතු බොහෝ දේ බුදු දහම තුළ පවතී. අප පවතින නමුදු, අප විසින් අපගේ පැවැත්ම ඇත්තේ යැයි සිතන, සිදුවිය නොහැකි ආකාරයේ පැවතුම් අප සම්බන්ධව නොපවතී. එනම් මාගේ හිස තුළ හිඳ සිටින කුඩා “මමෙකු” ඇති අතර, මාගේ හිස තුළ නැගෙන හ‍‍ඬෙහි කතුවරයා ඔහුය වැනි සිතිවිලිය. නිරතුරු කථා කරමින්, “මම දැන් මොනවද කරන්නෙ? මං ඒක කරන්නම්” ආදී මැසිවිලි නගන කුඩා මමෙකු මා තුළ සිටින බවක් හැ‍ඟේ. ඉන්පසු ඔබගේ සිරුර යන්ත්‍රයක් සේ සලකා ඔබ සිරුර චලනය කරවයි. එනමුත් එය මායාවකි. ඔබට ඔබ තුළ කිසිදු කුඩා “මමෙකු” සොයාගත නොහැක. එනමුත් මම පවතිමි, කථා කරමි, කටයුතු කරමි. ඒ අනුව මෙම ප්‍රක්ෂේපණයන් යථාර්ථය හා අනුගත වන බවක් පෙනෙන බැවින් ඒවා සම්බන්ධ අපගේ විශ්වාසයන් ඉවත් කරගත යුතුය. එය එසේ බවක් හැ‍ඟේ. මෙම කටහඬ නිරතුරු නැගෙන බැවින් ඇතුළත කථා කරන යමෙකු සිටිය යුතුය යන අදහසයි.

ඒ අනුව අප විසින් “මනෝ විද්‍යාව” ලෙස හඳුන්වනු ලබන මෙම සමස්ත ක්ෂේත්‍රය තුළම බොහෝ කරුණු බුදු දහම විසින් ඉදිරිපත් කරනු ලබයි.

අපගේ සිිරුරු සම්බන්ධයෙන් කටයුතු කිරීම

මා හට ප්‍රශ්න දෙකක් තිබේ. පළමුවැන්න වනුයේ: සිරුර සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳ වැඩිදුර යමක් අපට පවසන්නේ නම් මැනවි. අප විසින් අපගේ සිරුර ඉහිල් කළ යුතු බව ඔබ සඳහන් කළත් අප විසින් මෙයට වැඩි දේවල් කළ යුතු විය හැකියි.  දෙවන ප්‍රශ්නය වනුයේ: මේ සියලු ප්‍රක්ෂේපණයන්ගේ මූලය කවරක්ද? නිදසුනක් ලෙස, අපගේ හිස් තුළ කථාකරන මෙම පුද්ගලයා මෙසේ පෙනී සිටින්‍නේ මන්ද?

ශාරීරික සෞඛ්‍යය පිණිස යොදාගත හැකි බොහෝ විනය කරුණු පවතී. නිදසුනක් ලෙස ‍බෞද්ධ විනය ගත හැක. එය ඔබට තිබ්බතීය සම්ප්‍රදාය තුළ හමුවන අතර, එතුළ සිරුරේ ශක්තිය සමබර කිරීමට අදාළ බො‍හෝ කරුණු ඇත. අපගේ ශක්තීන් හා පොදුවේ අපගේ සෞඛ්‍යය බොහෝ දුරට අපගේ ආහාරය හා චර්යාවේ බලපෑමට ලක්වේ. ඔබ සීත පරිසරයක ගමන් කරන අතර මනා සේ  උණුසුම් ඇඳුම් හැඳ පැළඳ නොමැති බැවින් රෝගී තත්ත්වයට පත්විය හැක. අප කථා කරනුයේ එයාකාරයේ චර්යාවන් පිළිබඳවය. නොඑසේ නම් පමණ ඉක්මවා වැඩ කිරීමද ගත හැක - මෙයාකාරයේ චර්යාවන් මගින් ඔබ රෝගී තත්ත්වයට පත් කරනු ඇත.

අපගේ සිරුරේ ස්වභාවය සම්බන්ධ දැනුවත්භාවයද පවත්වාගෙන යාමට උත්සාහ කරමු. ඔබ අභ්‍යන්තරව වඩ වඩාත් නිහඬ වන්නට වන්නට, ඔබගේ සිරුරේ තත්ත්වය සම්බන්ධව පමණක් නොව, ඔබගේ සි‍රුරේ පවත්නා ශක්තියේ තත්ත්වය සම්බන්ධවද ඔබ වඩ වඩාත් සූදානම්කාරී වේ. නිදසුනක් ලෙස ඔබගේ ශක්තිය බො‍හෝ බියගත් ස්වභාවයක් ගන්නා බව පෙනෙන විටදී, ඔබගේ හෘදය ස්පන්දනය ඉතා වේගවත් වීම ඈ කරුණුවලින් එය දැනගත හැකිවන අතර හුදෙක් ඔබගේ ආහාර වේල ගලපා ගැනීම වැනි ලෙස කළ හැකි අති මූලික දේ පවතී. නිදසුනක් ලෙස, අපට කෝපි හා තද තේ බීමෙන් වැළකිය හැකි, ශක්තිය බස්සවනු ලබන චීස් වැනි ආහාර ගත හැක. උණුසුම්ව සිටින්න; සුළ‍‍ඟේ හමායන තත්ත්වයේ නොසිටින්න. නිරතුරු හඬනගා ක්‍රියාත්මකවන අධි බලැති යන්ත්‍ර බවටද පත් නොවන්න. එමගින් ශක්තිය තවදුරටත් කළඹාලනු ඇත. සන්සුන් වන්න. ඒ අනුව එම මට්ටමේ පිළිවෙතක් පවතී.

සටන් ක්‍රම සහිතව චීන හෝ ජපන් බෞද්ධ සම්ප්‍රදායන් තුළ සිදුකරන ආකාරයට ඔබ සිදුකරන ආකාරයෙන් ශාරීරික අභ්‍යාස ‍හෝ ශාරීරිකව සිදුකරන කටයුතු තිබ්බතීය සම්ප්‍රදාය තුළ අවධාරණය නොකරයි. එනමුත් සැබැවින්ම විවිධ වර්ගයේ සටන් ක්‍රම ඉතා ප්‍රයෝජනවත් විය හැක. ඒවා ඔබගේ චලනය තුළින් සතිය වර්ධනය කරගැනීමේ ක්‍රමයන් වේ. තිබ්බතීයයන් විසින් සිදුකරන ශාරීරික අභ්‍යාස බො‍හෝ සියුම් වේ. එතුළ සටන් ක්‍රම ආකාරයට නොව වෙනස් ආකාරයකට බල පද්ධතීන් සමගින් කටයුතු කරනු ලබයි. එය වඩා යෝග ක්‍රමයට සම්බන්ධ වූ තරමක් වෙනස් විධියකි. ඒ අයුරිනි සිරුර සම්බන්ධයෙන් කටයුතු කරන්නේ.

හිස තුළ නදදෙන හ‍ඬෙහි මූලාශ්‍රය

හිස තුළ නද දෙන හ‍ඬෙහි මූලාශ්‍රය සම්බන්ධයෙන් සලකා බලන කල, මෙය සිතේ ස්වභාවයට සම්බන්ධ වන අතර තරමක් සංකීර්ණ කරුණක් වේ. බුදු දහම තුළ, සිත පිළිබඳව කථාකරන විටදී, අපි යම්කිසි දෙයක් සම්බන්ධව කථා නොකරමු. අපි කථා කරන්නේ මානසික ක්‍රියාකාරිත්වය පිළිබ‍ඳව වන අතර, එම මානසික ක්‍රියාකාරිත්වය සිතීම, දැකීම, භාවයන් දැනීම හා සම්බන්ධ වේ. එය බොහෝ පුළුල් මාතෘකාවකි. එම ක්‍රියාකාරිත්වය තුළ සිදුවන දෙය වනුයේ යම් ආකාර මානසික ආලෝක රුවක් හෙවත් හොලෝග්‍රෑමයක් ඉස්මතු වීමයි. නිදසුනක් ලෙස, අප විසින් යම් කිසිවක් දකින විටදී ඇසේ දෘෂ්ටි විතානයට ආලෝකය ගැටෙන අතර, විද්‍යුත් සංවේදනාවක් ඇති කොට නියුරෝනයන්හි රසායනික ප්‍රතික්‍රියා ඇති කරවන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස යම් කිසිවක් දිස්වන ආකාරයට අදාළ මානසික හොලෝග්‍රෑමයක් ඉස්මතු වේ. එනමුත් එය සැබැවින්ම මානසික හොලෝග්‍රෑමයකි. එය මෙකී සියලු රසායනයන් හා විද්‍යුත් සංවේදනාවන් තුළින් ඉස්මතු වන්නකි.

එනමුත්, මානසික රූප හෙවත් හොලොග්‍රෑමයන් හුදෙක් දෘෂ්‍ය ඒවා පමණක් නොවේ. මෙම මානසික හොලොග්‍රෑමයන් වචන වැනි ශබ්දද විය හැක. ඔබට සමස්ත වාක්‍යයම මොහොතකින් නොඇසී එක් මොහොතකට එක බැගින් එහි කුඩා ‍කුඩා කොටස් බැගින් ඇසෙන අතර, එනමුත්, සමස්ත වාක්‍යයට අදාළ මෙම මානසික හොලෝග්‍රෑමයක් නිර්මාණය වී එමගින් අදහස් කරන දෙය ඔබට වැටහේ. 

එයාකාරයෙන් භාවයන් ආකාරයෙන් වන මානසික හොලෝග්‍රෑමයන්ද, සිතිවිලි ආකාරයෙන් වන මානසික හොලෝග්‍රෑමයන්ද වචන හෙවත් හඬ ස්වරූපයෙන් එන මානසික හොලෝග්‍රෑමයන්ද පවතී. මෙම කරුණු හුදෙක්ම ඉස්මතු වේ. මෙතුළ යම් හඳුනා ගැනීමක් ඇත. ඒ් අනුව, දැකීම හෝ සිතීම හෝ හැඟීම යනු එයයි. එයයි එකරුණ. සිදුවීම් සමගින් සිටින හෝ පාලනය කරන හා සිදුවීමට සලස්වන අයෙකුගෙන් පරිබාහිර වූ “මමෙකු” ගෙන් තොරව එම මානසික ක්‍රියාකාරිත්වය සිදුවේ. ඒ් අනුව එම මානසික හෝලොග්‍රෑමයේ කොටසක් වනු‌යේ “මා” පිළිබඳ සිතිවිලි හෙවත් “ඒ් හඬ මාය” යන්නයි. සිතන්නේ කවුරුන්ද? මම සිතන්නෙමි. සිතන්නේ ඔබ නොව - සිතන්නේ මාය. එනමුත් එය වූකලි මෙම හෝලොග්‍රෑමයන් පිළිබඳ මෙකී සමස්ත ක්‍රියාවලියේ කොටසක් පමණි.

අපගේ හිස තුළ නැගෙන මෙම හඬෙහි මූලාශ්‍රය කවරක්ද? එය වූකලි මානසික ක්‍රියාකාරිත්ව ලක්ෂණයක් පමණි. එය අවශ්‍යයෙන්ම සියලු මානසික ක්‍රියාකාරකම් ක්‍රියාත්මකවන ආකාරය නොවේ. මෙම හඬ නිරතුරු නද නොදේ. ගැඩවිලාද හඬක් සහිතව සිතන්නේදැයි නොදනිමි. සැබැවින්ම ගැඩවිලා හට මොළයක්ද, සිතක්ද ඇති අතර, දේවල් දකී, සිදු කරයි. 

සැබැවින්ම එකරුණ පිළිබඳ සිතීමේදී එය ඉතා සිත් ගන්නාසුළු දෙයක් බවට පත්වේ. කටහඬ ශබ්දය පිළිබඳ හෝලොග්‍රෑමයක් යම් ආකාරයක සන්නිවේදනයක් නොවේද? එය වූකලි වචන නමැති මානසික හඬ ආකෘතියෙන් සිතිවිල්ලක් ප්‍රකාශ කරන හෝ සන්නිවේදනය කරන සංකල්පීයකරණ වර්ගයකි. මෙහිදී සිත් ගන්නා සුළු පැනය වනුයේ: උපතේ සිට ගොළු හා බිහිරි තත්ත්වයක සිටින අයෙකු හට මුළුමනින්ම ශබ්දය පිළිබඳ සංකල්පයක් නොමැති අතර ඔවුන්ගේ හිස තුළ හඬක් පවතීද, නොඑසේ නම් ඔවුන් සංඥා භාෂාවට අනුව සිතන්නේද? එය වූකලි ඉතා සිත් ගන්නා සුළු පැණයකි. මා හට එයට පිළිතුර කිසිදින හමුවී නොමැත.

එ් අනුව, එය හඬක් වේවා, සංඥා භාෂාවක් වේවා, කවර දෙයක් හෝ වේවා ගැඩවිලා සිතන අන් ආකාරයක් හෝ වේවා, පාලන මණ්ඩලය තුළ හිඳ කථා කරන එ් පසුපස සිටින වෙන් වූ “මමෙකු” සිටින අතර, ඇස්වලින් තිරය මතට තොරතුරු පැමිණෙන අතරම ඔවුන් හට මයික්‍රොෆෝනයක් ඇති අතර ඔවුන් කථා කරන අතරම අත්, පා චලනය පිණිස බොත්තමක් ඔබති. මෙය වූකලි සම්පූර්ණ මායාවකි. “අනේ මිනිස්සු මා ගැන මොනව හිතයිද?” හා “මං දැන් මොනවද කරන්නෙ?” යන එ්වාහි ලබන්නා වනුයේ පාලක මණ්ඩලයෙහි හිඳ සිටින එයාකාරයේ “මමෙකි”. අප වද වනුයේ පාලක මණ්ඩලය තුළ සිටින මෙම “මා” කෙරෙහිය.

මෙකී “මා” මායාවක් වැන්නෙකුය යන කරුණ අවබෝධ කරගන්නා විටදී, වද වීමට කිසිවක් හෝ ඉතිරි නොවේ. අපි කථා කරමු, ක්‍රියාද කරමු. සැබැවින්ම එ් මමය: මම කථා කරමි, ක්‍රියා කරමි. මිනිසුන් එයට අකමැති නම්, ඔවුහූ එයට අකමැති වෙති. කම් නැත. බුදුන් වහන්සේද සියලු දෙනා සතුටු නොකළ සේක. සියලු දෙනා බුදුන් වහන්සේට කැමති නොවූ අතර, එ් අනුව මා වෙනුවෙන් කවරක් නම් අපේක්ෂා කරන්නද? අපි හුදෙක් වැටහීම, ආදරය, කරුණාව යොදා ගනිමින් ක්‍රියාත්මක වෙමු. තත්ත්වය එයයි. “එ් අය මං ගැන මොනව හිතයිද?” යන කරුණ පිළිබඳ නොතැවෙන්න. එනමුත් එය සිදු කිරීම පවසන තරම් සරල කටයුත්තක්ද නොවේ.

සෙසු අය කෝපයෙන් පසුවන විටදී ස්වයං පාලනයක් ඇතිකර ගැනීම

වෙනත් අයෙකු අප සමගින් කෝපයෙන් පසුවන විටදී ස්වයං පාලනයක් ඇතිකර ගන්‌නේ කෙසේද?

මූලිකව ඔවුන් කුඩා දරුවෙකු සේ බවක් අපට හැඟේ. “දැන් නින්දට යන්න වෙලාව හරි”යි පවසන විට දෙවසරක් වයසැති කුඩා දරුවා අප සමගින් කෝපයට පත්ව “මං ඔයත් එක්ක හරිම තරහයි. ඔයා හරිම නපුරෙක්”යි පවසමින් මහා කලබලයක් කරන්නට වුවහොත් අපි කෝප වෙමුද? හොඳයි, අතැම්හූ කෝපයට පත්වෙති. එනමුත් ඔහු හුදෙක්ම දෙවසර වියැති අයෙකු වන අතර, ඔබට ඔහුගෙන් කුමක් නම් අපේක්ෂා කළ හැකිද? ඔබ දරුවා සන්සුන් කරන්නට උත්සාහ කරයි. දෙවසරක දරුවෙකු සමගින් කටයුතු කරන ආකාරයටම මෘදු වන්න. එ් පිළිබඳ සිතන්න: දෙවසරක දරුවෙකු සමගින් එයාකාරයෙන් කටයුතු කරන්නේ කෙසේද? සාමාන්‍යයෙන් දෙවසරක දරුවෙකු එතරම් නපුරු ලෙස කටයුතු කරන විටදී, ඔබ ඔහු අතට ගෙන වඩා ගනිමින් ආදරය දක්වන්නේ නම් ඔවුන් සන්සුන් නොවන්නේද? ඔහු වෙත කෑමොර දීමෙන් හුදෙක් ඔහු තවදුරටත් අඬා වැටීමට, කෑගැසීමට සැලැස්වීම පමණි සිදුවන්නේ. එ් අනුව, මිනිසුන් එයාකාර වෙති - ඔවුන්ද වැඩුණු නමුත් ලොකු දරුවන් මෙනි.

Top