නිවැරදි වචන (සම්මා වාචා), කර්මාන්තවල නියැලීම (කම්මන්ත) හා දිවි පැවැත්ම (ආජීව)

සමාලෝචනය

ආචාර ධාර්මික හික්මීම, සමාධිය හා විචක්ෂණශීලීව නුවණින් විමසා බැලීම යන තෙවැදෑරුම් පුහුණුව අපට අපගේ ගැටලු හා අප අත්දකින යම් දුකක් වේනම් එයද මැඩ පවත්වාලීමට උපකාරී වන ආකාරය කෙරෙහි මෙහිදී සළකා බලනු ලැබේ. අනුගමනය කළයුතු ක්‍රමය වනුයේ අපගේ දුෂ්කරතාවන්හි හේතු සාධක හඳුනා ගනිමින් මෙම හේතු සාධක දුරලීම පිණිස එකී තෙවැදෑරුම් පුහුණුව භාවිත කිරීමයි.

අන්‍යයන් සමග කටයුතු කිරීමේදී අපගේ එදිනෙදා ජීවිතය ගොඩනගා ගැනීම සඳහාද මෙම පුහුණු ක්‍රම තුන අතිශයින් උපකාරී වේ.

  • ආචාර ධාර්මික හික්මීම– අප හැසිරෙන හා අන්‍යයන් හා කථා කරන ආකාරය දෙස බලා සිටීම වැදගත් වේ. හානිදායක හෝ විනාශකාරී විය හැකි කිසිවක් සිදු කිරීමෙන් වැළකී සිටීම සඳහා අප හට ආචාර ධාර්මික හික්මීම අවශ්‍ය වේ.
  • සමාධිය– අන්‍යයන් හා අන්තර් ක්‍රියාකාරකම්වල යෙදීමේදී ඔවුන් තුළ සිදු වෙමින් පවත්නා දේ හා ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගනු පිණිස අපගේ සිත ඒ් කෙරෙහි යොමු කිරීමට අපට හැකි විය යුතුය. නිරන්තරයෙන් අපගේ දුරකථනයන් වෙත නෙත් යොමු කරමින් අපගේ සිත ඒ් මේ අත දිව යන්නේ නම්, ඒ හේතුවෙන් අන් අය හා සන්නිවේදනය බොහෝ දුෂ්කර වූවක් වේ.
  • විචක්ෂණශීලිත්වය– වෙනත් පුද්ගලයෙකු වෙත හොඳින් සවන් යොමු කළේ නම්, සුදුසු ප්‍රතිචාරය කවරක්ද යන්න පිළිබඳව අප හට නුවණින් විමසා බැලීමට හැකි විය යුතුය. මෙය නැවතද, අන් අය සම්බන්ධයෙන් නිවැරදි සිතිවිලි, ක්‍රියාවන් හා වචනය යොමු කිරීමක් වේ.

මෙම පුහුණු ත්‍රිත්වය එකිනෙක හා සම්බන්ධ වී එකිනෙක පෝෂණය කරන බැවින් අප හට ඒ් සියල්ල එකවර එකට යෙදවීමට සිදුවේ. අප අන්‍යයන් සමග නොසිටින විටදී අප සම්බන්ධයෙන්ද මෙම පුහුණු ත්‍රිත්වය සුවිශාල වටිනාකමකින් යුක්ත වේ:

  • එමගින් ස්වයං-විනාශකාරී ආකාරයේ කටයුතු කිරීමෙන් අප වළකාලනු ලබයි.
  • අපගේ සිත් එකඟව පවත්නා බැවින් ඉටුකරගත යුතුව පවත්නා කවර කාර්යයක් වුවද අපහට ඉටුකරගත හැකි වේ.
  • සුදුසු හා නුසුදුසු දේ කවරේද යන්න වෙන්කොට හඳුනාගනු පිණිස අප විසින් අපගේ මූලික බුද්ධිය ප්‍රයෝජනයට ගනු ලබයි.

එපරිදි, ඒවා පුද්ගලික තත්ත්වයන් හා සමාජ අන්තර් ක්‍රියාකාරකම්  සඳහාද අපගේ එදිනෙදා ජීවිතයේදී අපට යොදාගත හැකි ඉතා මූලික මූලධර්ම වේ.

අෂ්ඨාංගික මාර්ගය

පුහුණු ත්‍රිත්වය තුළ පුහුණු වන විටදී, අප එය සිදුකරන ආකාරය පිළිබඳ එක් ඉදිරිපත් කිරීමක් හඳුන්වනු ලබනුයේ “අෂ්ඨාංගික මර්ගය” යනුවෙනි. සරලව ගතහොත් මේවා වූකලි අංග තුනෙහි සංවර්ධනයක් ඇති කරමින් අප පුහුණුවන චර්යා වර්ග අට වේ.

අපගේ ආචාර ධාර්මික පුහුණුව තුළ චර්යාවන් තුනක් අන්තර්ගත වේ:

  • නිවැරදි වචන – අපගේ සන්නිවේදන විධිය
  • නිවැරදි ක්‍රියා සීමාවන්  – අප හැසිරෙන ආකාරය
  • නිවැරදි දිවි පැවැත්ම – අප ජීවිකාව සලසා ගන්නා ආකාරය.

අපගේ සමාධි පුහුණුව තුළද චර්යාවන් තුනක් අන්තර්ගතය:

  • නිවැරදි උත්සාහය – අපගේ සිත විනාශකාරී චිත්ත ධාරාවන්ගෙන් මුදාගෙන භාවනාවට හිතකර චිත්ත ස්වභාවයන් ගොඩනගා ගැනීම
  • නිවැරදි සිහිය – අපගේ භාවනා අරමුණ හා පෙළැඹුම අත් නොහැරීම
  • නිවැරදි සමාධිය – ධනාත්මක කරුණක් කෙරෙහි සිත යොමුකොට පවත්වාගෙන යාම.

අපගේ විචක්ෂණශීලිත්වය හෙවත් සිහි නුවණින් විමසා බැලීම පිළිබඳ පුහුණුව තුළ චර්යාවන් දෙකක් අන්තර්ගත වේ:

  • නිවැරදි දැක්ම – කවරක් නිවැරදිද, වැරදිද හෝ කවරක් හානිකරද, ප්‍රයෝජනවත්ද ආදී වශයෙන් එකින් එක නිවැරදිව සිහි නුවණින් විමසා බැලීම මත පදනම්ව අප විශ්වාස කරන දේ.
  • නිවැරදි කල්පනාව (නිවැරදි පෙළඹුම් සිතිවිල්ල) – අපගේ නිවැරදි දැක්ම මගින් යොමු කෙරෙන ධනාත්මක චිත්ත ස්වරූපය.

වඩාත් සවිස්තරාත්මකව දක්වන්නේ නම්, අට වැදෑරුම් චර්යාවන් එකිනෙකක් තුළ අප විසින් බැහැර කළ යුතුවන වැරදි ආකාරයේ භාවිතාවක්ද, අප විසින් අනුගමනය කළ යුතුවන නිවැරදි ස්වරූපයේ භාවිතාවක්ද වේ.

වචනය (කථාව)

අප අන්‍යයන් හා කථා කරන ආකාරය තුළ අපගේ සිත නිරූපණය වේ. එමගින් සෙස්සන්ට අප දැනෙන ආකාරය හා ප්‍රතිචාරී ලෙස ඔවුන් අප පිළිබඳ සිතන හා සළකන ආකාරය කෙරෙහි බලපෑමක් ඇති කරයි. එබැවින්, ප්‍රයෝජනවත් හා හානිකර කථා විලාසයන් කවරේද යන්න අප විසින් දැන සිටිය යුතු වේ.

වැරදි වචනය (වැරදි කථාව)

වැරදි වචනය යනු අසතුට හා ගැටලු ඇති කරන කථාය:

  • බොර කීම – අසත්‍ය ප්‍රකාශ කරමින් අන්‍යයන් රැවටීමයි. කථා කරන වචනය තුළින් අසත්‍ය ප්‍රකාශ කරන හෝ අන්‍යයන් රවටන අයෙකු වශයෙන් ප්‍රසිද්ධ වුවහොත්, ඒ හේතුකොට කිසිවෙකු අප විශ්වාස කිරීමට හෝ ප්‍රකාශ කරන දේට ඇහුම්කන් දීමට පවා නොපෙළඹෙනු ඇත. මෙමගින් අසතුටුදායක තත්ත්වයක් නිර්මාණය කෙරේ.
  • කේළාම් කීම–  උත්සාහ කොට සබඳතා බිඳ දැමීමේ අරමුණින් යම් අය පිළිබඳ අයහපත් දේ ඔවුන්ගේ මිතුරන් වෙත පැවසීමයි. මෙමගින් ඔවුන් නොමැති තැන්වලදී අප ඔවුන් පිළිබඳවද කවරක් පවසනු ඇත්ද යන සැකය ඔවුන් තුළ ගොඩනැගෙන අතර, එමගින් අපගේ සම්බන්ධතාද බිඳ වැටේ.
  • පරුෂ වචන කීම – කුරිරු ලෙස කථා කිරීම හෝ අන්‍යයන් වෙත බැණ අඬගසමින් බෙරිහන් දී කථා කිරීම හා සාප කිරීමයි. අප අපගේ කථාවෙන් අන් අයට නින්දා කරන විටදී, ඔවුහූද මෙලෙසම අපට කථා කිරීමට පටන් ගනිති. ඔවුන් තමන් වෙත පීඩා පමුණුවා ගැනීමෙන් තෘප්තියක් ලබන ස්වපීඩාකාමීන් නොවේ නම්, නිරන්තරයෙන් ඔවුන් වෙත බැණ අඬගසන අප වැන්නෙකු සමීපයේ රැඳී සිටීමට කැමති නොවනු ඇත.
  • හිස් වචන කථා කිරීම – නිතර “කච කච ගාමින්” නොකඩවා කථා කිරීම, අන්‍යයන්ගේ කථාවලට බාධා කිරීම හා විකාර අදහස් පැවසීම හෝ ඕපාදූප කථා කිරීමයි. මෙහි ප්‍රතිඵලය ලෙස කිසිවකු හෝ අපගේ ප්‍රකාශ බරපතල ලෙස නොගන්නා අතර, අප සමග ගැවසීම හිරිහැරයක් ලෙස අන් අයට හැඟෙනු ඇත. අපි අපගේ කාලය පමණක් නොව අන් අයගේ කාලයද මෙමගින් අපතේ යවන්නෙමු.

නිවැරදි කථාව

ඉහත සතර වර්ගයේ වැරදි කථාවන්ගෙන් අප වළක්වනු ලැබීමට උපකාරී වනුයේ ධනාත්මක කථාවයි. ශික්ෂණයේ පළමු මට්ටම වනුයේ අසත්‍යයක් ප්‍රකාශ කිරීමේ, යමෙකු වෙත බෙරිහන් දී කථා කිරීමේ හෝ අතොරක් නොමැතිව කථා කිරීමේ අදහසක් ඇතිවන විටම එය විනාශකාරී හා අසතුට ජනනය කරන කටයුත්තක් බවට හඳුනා ගනිමින් එබැවින් අප එය සිදු නොකිරීමට බලවත් ලෙස උත්සාහ කිරීමයි.

මෙය කිසිසේත් පහසු කටයුත්තක් නොවන්නේ එසේ නිරායාසයෙන් කථා කිරීමේ බලපෑම ක්‍රියාත්මක වීමට පෙර එය සිදු කිරීමේ හැඟීම ඉස්මතුවන මොහොතේදීම ඔබ විසින් ඔබ පාලනය කරගත යුතු වීම හේතුවෙනි. දෙවන වරටත් එය සිදු කිරීමේ හෙවත් දෙවන වරද රස බැලීමේ අවස්ථාවක් ඇතැම් විට අපට හිමිවනු ඇත. එනමුත් එම අවස්ථාව ලබා ගැනීමේ පෙළඹවීම ඇතිවීමට පෙර අපට මෙසේ සිතිය හැක, “මට එ්ක උවමනා වුණත් මට ඒ් විදිහට කටයුතු කරන්න ඕන නෑ. මට මේ කේක් කෑල්ල උවමනා නෑ; ඒ්කෙන් මං තවත් තරබාරු වෙන එක විතරයි වෙන්නෙ. මට උවමනා බර අඩු කරගන්නයි”. ශික්ෂණය පාර්ශ්වයෙන්ද අප පවසන කරුණ වනුයේ මෙයයි.

මෙසේ කටයුතු කිරීමේ හැඟීමක් ඇතිවන විට, පුරාණ භාරත ගුරු ශාන්තිදේවයන් අපහට උපදෙස් දෙන්නේ ලී කොටයක් මෙන් සිටින ලෙසයි. මොරදීමට හෝ රුචි නොවන යමක් පැවසීමට හැඟීමක් ඇතිවන නමුත් එවිට මා හා ඔබ යන දෙදෙනාම අපහසුතාවයට පත්වන බව අවබෝධ කරගනිමින් එය පැවසීමෙන් වළකිමි. හුදෙක් ලී කොටයක් සේ නිසලව සිටිමි. යම් අඥාන විහිළුවක් හෝ අමන අදහසක් පැවසීමේ හැඟීමක් ඇතිවන නමුත් එවිට එය හිස් කයිවාරුවක් බව මා හට අවබෝධ වී කිසිවක් ප්‍රකාශ නොකර සිටිමි. එය මේ ආකාර දෙයකි.

ශික්ෂණයේ දෙවන මට්ටම වනුයේ ඵලදායක ආකාරයකින් කථා කරමින් ඔබ ඒ වෙනුවට සැබෑ ලෙසම ධනාත්මක කටයුත්තක් කිරීමයි. එසේ සිදු කිරීම මගින් සතුට උපදවන අතර සෑම අවස්ථාවක්ම වඩාත් සුහදශීලී බවට පත්කරනු ඇත යන අවබෝධය මගින් මෙය ඉස්මතු වේ. අවශ්‍ය වනුයේ හේතු ඵල දහමට අනුව සිතීම පමණි.

නිවැරදි කථාව ගොඩනගා ගැනීම සඳහා සත්‍ය වශයෙන්ම සත්‍යවාදීව, මෘදු ලෙස, කාරුණිකව, නිසි කලට, නිසි ප්‍රමාණයට හා අර්ථවත් දේ පමණක් කථා කිරීම සඳහා වූ මනා සිහියෙන් යුත් ප්‍රයත්නයක් හා දැඩි අධිෂ්ඨානයක් අවශ්‍ය වේ: 

  • උදෑසන ආහාරයට ගත් දේ පිළිබඳව හෝ ඕපාදූප කථා කිරීම වැනි සුළු දේ වෙනුවෙන් නිරන්තරයෙන් පුද්ගලයන්ගේ කටයුතුවලට බාධා කිරීම, හෝ නොකඩවා ඔවුන්ට ඇමතුම් ලබාදීම හෝ පණිවිඩ යැවීම ආදියෙන් වැළකී සිටීමට අප උත්සාහ ගත යුතුය. ඒ්වා හුදෙක් අන්‍යයන්ගේ කටයුතුවලට බාධා පමණුවන අර්ථ ශූන්‍ය කයිවාරු පමණි.
  • වෙනත් පුද්ගලයන් හා කථා කිරීමේදී අප පමණ ඉක්මවා කථා නොකරන අතර, දැනටමත් එකඟ වූ කරුණු පිළිබඳව විශේෂයෙන් ඔවුන් වෙත වැඩි වැඩියෙන් ඒ්ත්තු ගැන්වීමට කටයුතු නොකිරීම සුදුසු ක්‍රියාමාර්ගයක් වනු ඇත.

සැබැවින්ම අප විසින් නුවණින් විමසා බැලීමද සිදුකළ යුතුය. නිදසුනක් ලෙස, සත්‍ය කථා කිරීමේදී, යමෙකු අවලස්සන කමිසයක් හෝ ඇඳුමක් පැළඳ සිටී නම් ඒ් පිළිබඳ සඳහන් කිරීම ඔහුට අවමානයක් විය හැකි විටෙක, “ඇත්තටම ඒක හරි කැත පෙනුමයි” වැන්නක් ඔබ විසින් නොපැවසිය යුතුය. ඇතැම් විට ඔබට ප්‍රවේශම්කාරී වීමට සිදුවන නමුදු, එය අදාළ පුද්ගලයාට අනුව තීරණය වේ. මාගේ සොහොයුරිය මා බලන්නට පැමිණි අවස්ථාවක මා සමග එළියට යාම පිණිස ඇය හැට්ටයක් ඇඳ ගත්තාය. එය තරමක් ඇදී ගොස් තිබූ අතර, සිරුරටද නිසි පරිදි නොගැළපිණි. එනමුත් ඇය මාගේ සොයුරිය බැවින් පැහැදිලිවම මා හට එහි පෙනුම හරිම අවලස්සන බව ඇයට පැවසිය හැක. එනමුත්, ඔබගේ පවුලේ සාමාජිකයන් නොවන අය සිටින තැනක එය පැවසීම දුෂ්කර දෙයකි! සත්‍ය තත්ත්වය ඒ වුවද ඔබට ඔබගේ අළුත් පෙම්වතිය අමතා“ඔයා ඇඳගෙන ඉන්න හැට්ටෙ හරිම කැතයි. වෙන එකක් ඇඳගන්න!” යයි පැවසිය නොහැක.

පරුෂ වචන ප්‍රකාශ කිරීම ගත්කල, ඔබට ඇතැම් විට යමක් දැඩිසේ ප්‍රකාශ කිරීමට අවශ්‍ය විය හැක. ඔබගේ දරුවා ගිනිකූරු හෝ ලයිටරයක් හෝ එවැනි වෙනත් යම් කිසිවක් සමග සෙල්ලම් කරමින් සිටින්නේ නම්, එවිට ඔබ දැඩි ස්වරයෙන් කථා කළ යුතු වේ. ඔබ ද්වේෂ සහගත සිතින් කථා නොකරන බැවින් සැබැවින්ම එය පරුෂ වචන ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය නොහැක. එබැවින් සැබෑ ලෙසම ඔබගේ අභිප්‍රාය අතිශයින් වැදගත් වේ.

නිවැරදි කථාව සම්බන්ධ සෙසු උදාහරණ

අප අන්‍යයන් අමතා කරන කථාවනට පමණක් නොව අප කෙරෙහිම සිදු කරන කථාවන්ද ඇතුළත් වන පරිදි මෙම විනාශකාරී කථා විලාශයන් අපට විහිදුවාලිය හැක. මෙම ධනාත්මක කථා විලාසයන් පිළිබඳව අප හට වඩාත් පුළුල් ආකාරයකින් සිතා බැලිය හැක.

අපගේ හැඟීම් පිළිබඳව හෝ අන්‍යයන් පිළිබඳ අපගේ අදහස් සම්බන්ධයෙන් මුසා බස් පැවසීමද බොරු කීමට ඇතුළත් විය හැක. හුදෙක් අපට අවශ්‍ය වනුයේ යමෙකුගේ මුදල් හෝ වෙනයම් දෙයක් වන විටෙක එම ව්‍යාජය විශ්වාස කිරීමට තරම් අප අපවම රවටා ගනිමින් පවා ඔහුට ආදරය කරන බව පවසමින් ඔහු සමග ඉතා ප්‍රියමනාප ලෙස අප හැසිරිය හැක. එක් අතකින් මෙය රැවටීමකි. සැබැවින්ම එවිට අප එම පුද්ගලයා වෙත ගොස් “මං ඇත්තටම ඔයාට ආදරේ නෑ. මට අවශ්‍ය ඔයාගෙ සල්ලි විතරයි” ලෙස නොවසනු ඇත. මක් නිසාද, එවැන්නක් පැවසීමද තරමක් නුසුදුසු වන බැවිනි. එනමුදු, අප අපගේ හැඟීම් හා අදහස් පිළිබඳව සත්‍යවාදී වූයේ නම් අපවම පරීක්ෂාකර බැලිය යුතුය.

එකිනෙකා බිඳවන සුළු කථා යනු අපගේම මිතුරන් පවා අප හැරයාමට සලස්වන තරමේ අමනෝඥ කථා පැවසීමයි. ඇතැමෙකු සෑම කල්හිම මැසිවිලි නගන හෝ නිරතුරු අසුභවාදී කථා පවසන අතර එමගින් අන් සියල්ලන් ඔවුන් වෙතින් ඉවත් කරනු ලබයි. අපද එවැන්නන් නම්, කවුරුන් නම් අප සමග සිටීමට කැමති වනු ඇත්ද? අනෙකාට කිසිවක් පැවසීමට අවස්ථාවක් පවා ලබා නොදෙමින් නොකඩවා කථා කිරීමෙන්ද පුද්ගලයන් තමා වෙතින් බැහැර කිරීම සිදු වේ. මිනිසුන් එයට කැමැත්තක් දක්වන බව අප හැම දන්නා කරුණක් වන නමුත් අපට ඔවුන් නිතරම හමුවීමේ අවශ්‍යතාවයක් පැවතිය නොහැක. අන්‍යයන් පිළිබඳ ප්‍රිය මනාප දේ පැවසීම යහපත් වන අතර, හැකිතාක් දුරට ධනාත්මක වන්න.

පරුෂ වචන ප්‍රකාශ කිරීම යනු අප අන්‍යයන්ට පමණක් නොව අපටද අපවාද සිදු කරන තත්ත්වයයි. අනෙකා මෝඩ හෝ අප්‍රසන්න බව අප ඔහුට පවසන්නේ නම් සත්‍ය වශයෙන්ම එහි කෲරත්වයක් පවතී. අප එම චෝදනාව අප වෙතම යොමු කිරීම තුළද එවැනිම කෲරත්වයක් පවතී. එමගින් සැබෑ ලෙසම අප වඩාත් සතුටු කිරීමක් සිදු නොකරන අතර, එබැවින් අප කෙරෙහිමද, අපටම සත්කාර සිදු කරන ආකාරය පිළිබඳවද, අපගේ සිත් සතන් තුළ අප හා සංවාදයෙහි නිරතවන ආකාරය පිළිබඳවද යහපත් ආකල්පයක් පවත්වාගෙන යාම වැදගත් වේ.

හිස් වචන ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගත්කල, අප අපගේ පුද්ගලික කරුණු, සැක සංකාවන්,  දුක් දොම්නස් පිළිබඳව විචක්ෂණශීලිත්වයකින් තොරව අන් අය හා කථා නොකළ යුතුය. අන්‍යයන් හා නොපවසන හා නොපැවසිය යුතු ඇතැම් දේද පවතී. නිදසුනක් ලෙස, යමෙකු විසින් තමා සම ලිංගිකයෙකු බව හෝ තමා පිළිකා රෝගියෙකු බව පවසා එය රහසක් ලෙස තබාගන්නා ලෙසට ඉල්ලා සිටියහොත්, ඔබ එසේ සිදුකළ යුතුය. පුද්ගල විශ්වාසය කඩ කිරීමද සාමාන්‍යයෙන් හිස් වචන කථා කිරීම යටතේ ගැනේ.

නිවැරදි කථාව යනු සැබැවින්ම නිසි පරිදි, නිසි කලට, නිසි අවස්ථාවන්හි කථා කිරීමයි. අප විසින් ඇතැම් අවස්ථාවන්හි විධිමත් ලෙසද ඇතැම් අවස්ථාවන්හි අවිධිමත් ලෙසද කථා කිරීම අවශ්‍ය වේ. අප විසින් පුද්ගලයනට සුව පහසු එළවන අයුරින් කථා කළ යුතුය. ඔබ යමක් දරුවෙකුට විස්තර කර දෙන විටදී, එය ඔවුන් අවබෝධ කරගන්නා ආකාරයකින් විස්තර කළ යුතු වේ. මෙය වැඩිහිටියන්ට හා වෙනත් සංස්කෘතීන් නියෝජනය කරන පුද්ගලයන් ආදීන් කෙරෙහිද එපරිදිම අදාළ වේ.

ක්‍රියාවේ සීමා මායිම් (හැසිරීම)

අෂ්ඨාංගික මාර්ගයේ දෙවැන්න ක්‍රියාවේ නිවැරදි සීමා මායිම් පිළිබඳව වේ. මෙය තාක්ෂණික යෙදුමයි. සීමා මායිම් පිළිබඳව කථා කිරීමේදී, “මම මේ සීමාවට විතරක් කටයුතු කරන්නම්. නමුත් ඊට ඒහා බෑ.” යන ප්‍රකාශනයෙහි මෙන් යම් සීමාවක් පිළිබඳව කථා කරන්නෙමු.

අයහපත් චර්යාව හෙවත් හැසිරීම

සීමාව ඉක්මවා යාම යන්නෙන් විනාශකාරී චර්යා වර්ග තුනක් අදහස් කෙරේ:

  • ජීවිතයක් පැහැර ගැනීම – යම් ජීවියෙකු මරා දැමීම
  • නොදුන් දේ ගැනීම – අප සතු නොවන දෙයක් ගැනීම, සොරකම් කිරීම
  • නුසුදුසු ලිංගික හැසිරීම්හි නිරත වීම.

මරා දැමීම

සරලව ප්‍රකාශ කළහොත් මෙමගින් වෙනත් අයෙකුගේ ජීවිතය පැහැර ගැනීම අදහස් කෙරේ. මෙහිදී හුදෙක් මනුෂ්‍යයන් පිළිබඳව පමණක් අදහස් නොවන අතර සියලු වර්ගවල සතුන්, මාළු, කෘමීන් යනාදීන්ද ඇතුළත් වේ.

අප අතරින් බහුතරයක් දෙනා සම්බන්ධයෙන් ගත්කල දඩයම හා මසුන් මැරීම අත් හැරීම එතරම් දුෂ්කර කාර්යයක් නොවන්නේය යන්න මාගේ අදහසයි. සමහරෙකුට කෘමීන් නොමරා සිටීම වඩාත් දුෂ්කර විය හැක. “මේ මැස්සා ගිය ආත්මෙක මගේ අම්මා” ලෙස සිතමින් අතීත හා අනාගත ජීවිතවලට පිවිසීමකින් තොරව මෙම කරුණ වෙත ප්‍රවේශ වීමේ බොහෝ විධික්‍රම පවතී. ප්‍රධාන අවධාරණය වනුයේ, අප කෝප ගන්වන යම් දෙයක් වේනම්, අපගේ ආරම්භක සහජ ප්‍රතිචාරය එය විනාශකර දැමීම විය යුතු නැත. මෙමගින් භීෂණකාරී ලෙස අප නොකැමති වන කවරක් වුවද විනාශ කර දැමීමේ පුරුද්ද වඩවන අතර, එය ඉක්බිති ඔබගේ මුහුණ වටා නද දෙමින් පියා සලන මැස්සාගේ සීමාවෙන් ඔබ්බට විහිදේ. ඒ වෙනුවට, අප ප්‍රකෝප කරවන්නාවූ යම් දෙයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ සාමකාමී ක්‍රම සොයාගැනීමට අප උත්සාහ කළ යුතුය. එබැවින්, මැස්සන් හෝ මදුරුවන් සම්බන්ධයෙන් ගත් කල, උන් බිත්තියක් මත වසන විටදී ඔවුන් මත පහළින් කඩදාසියක් යෙදූ වීදුරුවක් තබා උන් පිටතට මුදා හළ හැක. බොහෝ අවස්ථාවන්හිදී අප අකමැති කරුණක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වඩා සාමකාමී, අවිහිංසාවාදී විධියක් සොයාගත හැක.

පෙර කල මා මෙන් දැන් ඔබ ඉන්දියාවේ ජීවත් වන්නෙකු නම් කෘමීන් සමගින් ජීවත් වීමට උගනී. ඉන්දියාවේ වසන සියලු කෘමීන්ගෙන් මිදීමේ කිසිදු ක්‍රමයක් නොමැත. “ඔබ කෘමීන්ට කැමති නම් ඉන්දියාවට කැමති වනු ඇත!” යනුවෙන් සංචාරක නියෝජිතයන් සඳහා වූ වෙළඳ දැන්වීම් ව්‍යාපාරයක් පිළිබඳ එකල මම සිතමින් සිටියෙමි. මා පළමුවෙන් ඉන්දියාවට ගිය අවස්ථාවේදී, මාගේ පසුබිම වූයේ කිසි සේත් කෘමීන් ප්‍රිය නොකරන්නෙකුගේ පසුබිමකි. නමුත් මම බලවත් විද්‍යා ප්‍රබන්ධ ලෝලියෙකු වීමි. දුර ඈත ග්‍රහ ලෝකයක මා මනසින් සංචාරය කළ අතර, එහි ජීවීන්ගේ හැඩය මෙවන් කෘමීන්ගේ මෙන් වන තත්ත්වයක් පිළිබඳව මම සිතන්නට වීමි. එම සතුන් හමුවූ අවස්ථාවන්හි මා ඔවුන් පොඩිකර දැමීමේ අරමුණින්ම පසු වුවහොත් එහි භයානකත්වය පිළිබඳ සිතින් මවා ගතිමි. ඔබද කෘමියාගේ තත්ත්වයෙහි ඔබගේ ජීවිතය තැබුවහොත් එවිට ඔබද ඌ තවත් එක් ජීවියෙකු වශයෙන් සළකා නිසි ගෞරවය ලබාදෙනු ඇත. එකත් එකටම ඔවුන්ද සිදු කරනුයේ ඔවුන්ගේ එදිනෙදා කාර්යයන් පමණි. 

පැහැදිලිවම, සමාජයේ හානිකර මිනිසුන් සිටින්නාක් මෙන් හානිකර කෘමීන්ද ඇති අතර, ඇතැම් විට ඔවුන් පාලනය සඳහා ප්‍රබල ක්‍රියාමාර්ග ගැනීම නුවණට හුරුය. එසේ වුවත්, මනුෂ්‍ය ගැටුම් සම්බන්ධයෙන් වුවද කූඹින් හෝ කැරපොත්තන් පොදි කමින් හානි පමුණුවන නිවසක් සම්බන්ධයෙන් වුවද පළමුව ගැටළුව විසඳීමේ සාමකාමී ක්‍රමයක් පිළිබඳ උත්සාහ කර බැලීම වඩාත් යහපත්ය.

පළඟැටියන් විසින් ඔබගේ වගාවන් කා දමන තත්ත්වයක් සැළකිල්ලට ගන්න. මෙහිදී පෙළඹවීම හෙවත් චේතනාව යන කරුණ බොහෝ සෙයින් වැදගත් වේ. නැවක නාවිකයෙකු වශයෙන් කටයුතු කළ බුදුන් වහන්සේගේ පෙර භවයකින් මෙයට නිදසුනක් ගත හැක. නැවේ ගමන් කළ අන් සියල්ලන් මරා දැමීමට සැලසුම් කළ අයෙක් එහි සිටි අතර සාමකාමී ලෙස මෙම සමූහ ඝාතනය වැළැක්වීමේ කිසිදු ක්‍රමයක් නොමැති බව බෝධිසත්වයන් වහන්සේට අවබෝධ විය; එය වැළැක්වීමේ එකම විසඳුම වූයේ සමූහ ඝාතනයකට සැලසුම් කරමින් සිටි පුද්ගලයා මරා දැමීම පමණක් විය. එබැවින්, ද්වේෂයෙන් හෝ බියෙන් තොරව කරුණා චේතනාවක් පෙරදැරිව - මගීන්ගේ ජීවිත බේරාගනිමින් විශාල පාප කර්ම සමුදායක් එකතු කරගැනීමෙන් අදාළ පුද්ගලයාද වළක්වනු පිණිස - බෝධිසත්වයන් විසින් මෙම පුද්ගලයා මරා දමන ලදී. මෙහිදී බෝධිසත්වයන් විසින් තමා යමෙකු මරන ලද බවද, චේතනාව කවරක් වුවද එය විනාශකාරී ක්‍රියාවක් බවද පිළිගන්නා ලද අතර, ඒ අනුව “අන් අය බේරාගනු පිණිස මෙයින් ඇතිවන කර්ම විපාක භාර ගැනීමට සූදානම්” බව තීරණය කරන ලදී.

එබැවින්, ද්වේෂයෙන් හෝ බියෙන් හෝ වගාවන් අලෙවි කොට බොහෝ මුදල් ඉපැයීමේ අරමුණින් නොව කරුණා චිත්තයෙන් යුතුව වගාව ආරක්ෂා කිරීම සඳහා පළඟැටියන් වැනි කොල්ලකාරී කෘමීන් මරා දැමීම අවශ්‍ය වන්නේ නම්, එවිට එම ක්‍රියාවෙහි විපාකය එය ද්වේෂ සහගතව සිදු කළ අවස්ථාවකදීට වඩා ඉතා හීන වූවක් වනු ඇත. කෙසේ වුවද, බෝධිසත්වයන් මෙන් එය පාප ක්‍රියාවක් බව පිළිගනිමින් ඉන් ඇතිවන කවර විපාකයක් හෝ භාර ගැනීම වැදගත්ය.

සොරකම් කිරීම

බොහෝ මිනිසුන් තමා සතු දේට වඩා තම ජීවිතවලට ඇලුම් කරන නමුත්, ඔබ යමෙකු සතු දේ ගතහොත් එමගින් දෙපාර්ශ්වයටම බොහෝ දුක් වේදනා ඇති වේ. විශේෂයෙන් සොරකම් කළ පුද්ගලයා නිරතුරු “මා අසුවේද?” යන හැඟීමෙන් පෙළේ.

මෙහිදී අප කළ යුතු වන්නේ අප කෙරෙහි ඇතිවන ගැටලුව ළක්වාලීමයි. පැහැදිලිවම ඔබ මාළුවෙකු හෝ කෘමියෙකු මරා දැමුවහොත් එම ක්‍රියාව එම සතුන්ගේ පාර්ශ්වයෙන් ගැටළුවකි. නමුත් අපටද එහි ගැටළුවක් ඇත. මක්නිසාද, අප බොහෝ සෙයින් කෘමීන්ගෙන් කරදරයට පත් වන්නේ නම් එවිට අප නිතර මදුරුවන් අපගේ අවකාශය ආක්‍රමණය කරතියි යන බියෙන් පසුවන අතර ඔවුන් මරා දැමීම සඳහා මැදියම් රැයේ පවා අවදි වීමට සිදුවේ. එය අසහනකාරී මානසික තත්ත්වයකි. මෙම තත්ත්වයන් සම්බන්ධව කටයුතු කිරීමට පොදුවේ සාමකාමී ක්‍රම යොදන්නේ නම්, අපගේ සිතට වඩා සුව පහසුවක් දැනෙනු ඇත.

ක්‍රියාවෙන් පසු නිතරම සැකයෙන් හා තමා අසුවේය යන බියෙන් පසුවීමට සිදුවන සොරකම් කිරීම සම්බන්ධයෙන්ද පැවසිය හැක්කේ එවැන්නකි. එය ඉතා තදබල ආශාවක් මත පදනම්ව සිදු කෙරෙන ක්‍රියාවකි. එහිදී යමක් ලබාගැනීමට අවශ්‍ය කාර්යයන් ඉටු කිරීමට තරම් ඉවසීමක් නොමැතිව, ඔබ විසින් එය වෙනත් අයෙකුගෙන් සොරකම් කිරීම සිදු කරනු ලබයි.

ප්‍රතිවිරුද්ධ චේතනාවන් හෙවත් පෙළඹවීම් සහිතව මරා දැමීම හා සොරකම් කිරීම සිදු කිරීම් පිළිබඳ නිදසුන්ද ඇත:

  • ඇලීම හා ලෝභය හේතුකොටගෙනද ජීවිත හානි කිරීම් සිදුකළ හැක. මෙහිදී ඔබගේ සැබෑ අවශ්‍යතාවය සතෙකු හෝ මාළුවෙකු ආහාරයට ගැනීම විය හැක. ආහාරයට ගැනීම සඳහා අන් කිසිවක්ම නොමැති නම් එය වෙනම සලකා බැලිය යුතු කරුණක් වන නමුත් විකල්ප පවතී නම් එය වෙනත් තත්ත්වයකි.
  • ද්වේෂ සිතින්ද සොරකම් කිරීම සිදුකළ හැක. යමෙකු හට රිදවීමේ අරමුණින් එහිදී ඔබ විසින් ඔවුන් සතු දෙයක් ලබාගැනීම සිදු කරනු ලබයි.

කාමයෙහි වරදවා හැසිරීම හෙවත් නුසුදුසු ලිංගික චර්යාව

අප බොහෝ දෙනෙකුගේ ලිංගික චර්යාවේ ප්‍රබල පෙළඹවීම් කාරකය වනුයේ කාම රාගය වන බැවින් මෙය තරමක් සංකීර්ණ මාතෘකාවකි. බුදු දහම තුළ වැළකී සිටිය යුතු දේ පිළිබඳ මූලික මාර්ගෝපදේශ විස්තර කරනු ලබයි. ඒ්වානම්:

  • කන්‍යා දූෂණය හා ස්ත්‍රී දූෂණය ඇතුළත්ව අපගේ ලිංගික චර්යාව මගින් උවදුරු සිදු කිරීම
  • අකමැති අවස්ථාවන්හි ලිංගිකව එක් වීම සඳහා අන්‍යයන්ට (තම සහකරු/කාරියට පවා) බලපෑම් කිරීම
  • අනෙකෙකුගේ සහකරු/කාරිය සමගින් ලිංගික සම්බන්ධතා පැවැත්වීම හෝ අපගේ සහකරු/කාරිය සිටියදී අන් අයෙකු සමග ලිංගික සබඳතා පැවැත්වීම. අප කෙතරම් ප්‍රවේශම් වුවද, මෙම ක්‍රියාවන් මගින් නිරන්තරයෙන් කරදර ඇති නොවන්නේද?

කාමයෙහි වරදවා හැසිරීම සම්බන්ධ වෙනත් බොහෝ පැතිකඩයන්ද පවතින නමුත්, මෙහිදී තේරුම් ගතයුතු අදහස නම් අප සතුන් මෙන් කටයුතු නොකළ යුතුය යන්නයි. අසල කවරෙකු සිටියද සතෙකු තවත් සතෙකු මත නැගී තම කාර්යය සිදු කරනු ඇත. උන් මුළුමනින්ම කාම රාගය මගින් පාලනය කරනු ලබන අතර, අප තුළ වළකාගත යුත්තේ මෙම තත්ත්වයයි.

එසේනම් අප විසින් සිදුකළ යුතු වන්නේ යම් සීමා මායිම් පනවා ගනිමින් එම සීමාව තුළට පමණක්, එය ඉක්මවා නොයන පරිදි, අපගේ කාමයෙහි හැසිරීම් සීමා කිරීමට අදිටන් කරගැනීමයි. අප විසින් පනවාගනු ලබන එම සීමාවන් තුළ කාමයෙහි හැසිරෙන වාර ගණන, ලිංගික ක්‍රියා වර්ග, ලිංගික තත්ත්වයන් ආදී කවරක් වුව ඇතුළත් කළ හැක. වැදගත් කරුණ වන්නේ , සතෙකු මෙන් අප කැමති කවර ක්‍රියාවක් වුවද, ඕනෑම අවස්ථාවක, ඕනෑම ස්ථානයක, ඕනෑම අයෙකු සමගින් සිදු කිරීමෙන් වැළකී අප විසින් අපගේ ලිංගික ජීවිත හසුරවන ආකාරය පිළිබඳ යම් මාර්ගෝපදේශ පනවා ගැනීමයි. ආචාර ධාර්මික ස්වයං ශික්ෂණය සම්බන්ධයෙන් සළකා බලන විටදී මෙය සැබැවින්ම ඉතා වැදගත් වේ. සීමාව ඉක්මවා කටයුතු කිරීම රාග සිත හේතුකොට සිදුවන අතර රාග සිත විසින් අප්‍රමාණ ගැටලු නිර්මාණය කරන බැවින් ස්වයං ශික්ෂණය යනු අප පනවා ගනු ලබන සීමා මායිම් ඉක්මවා කටයුතු කිරීමෙන් වැළකීමයි.

සුරා පානය

මෙම හානිකර ක්‍රියාවන් අතරට සුරා පානය ඇතුළත් කර නොමැති නමුත් අපගේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ඒවා බැහැර කිරීම ඉතා වැදගත් වේ.

අප විසින් සමාධිය හා ශික්ෂණය ගොඩනගා ගත යුතු වේ. එසේ නම්, බීමතින් සිටින විට සියලු හික්මීම් අපගෙන් ඉවත් නොවන්නේද? මනෝභ්‍රමික මත් ද්‍රව්‍ය හෝ මරිජුවානා පානය කොට අපි පූර්ණ සිහියෙන් තොර තත්ත්වයකට පත් වන්නෙමු. මනස ඉබාගාතේ යන අතර සිත මනෝ විකාර දසුන්වලින් පිරී යයි. විවිධ මත් ද්‍රව්‍යයන්හි හෝ මද්‍යසාරවල ප්‍රතිඵල නිරීක්ෂණය කොට, එම ප්‍රතිඵල අප අපේක්ෂා කරන පුද්ගල සංවර්ධන ඉලක්කයන් සමග සසඳා බැලුවහොත්, උසස් තත්ත්වයකට පත්වීම හා බීමත්කම යනු එකිනෙක පරස්පර අංශ දෙකක් බව පෙනී යනු ඇත. එමගින් බීමත්ව සිටි කාලය සඳහා පමණක් නොව, එහි ප්‍රතිඵලයක් ලෙස පසුව ඇතිවන අසනීප තත්ත්වය බඳු අතුරු ඵලද ඇති කළ හැක. එබැවින් මත් ද්‍රව්‍ය පරිහරණය සම්බන්ධ යම් සීමාවන් පනවා ගැනීම අනිවාර්යයෙන් යහපත් වන අතර, වඩාත්ම යහපත් වන්නේ ඒවා සම්පූර්ණයෙන් අත්හැර දැමීමයි.

ක්‍රියාවේ නිවැරදි සීමා මායිම් (නිවැරදි හැසිරීම)

විනාශකාරී හැසිරීම්වලින් වැළකීම ස්වයං-ශික්ෂණයේ එක් පැතිකඩක් වේ. අනෙක් පැතිකඩ නම් ධනාත්මක ක්‍රියා විධි පිළිපැදීම වන අතර මෙය “නිවැරදි හැසිරීම” නමින් හැඳින්වේ.

මෙලෙස, පර පණ නැසීම වෙනුවට මෙහිදී  ජීවිත සුරැකීම සඳහා සක්‍රීයව උපකාර කිරීම සිදුවේ. සතුන්ට හා මාළුන්ට නිදහසේ ජීවත් වීමට හැකිවන පරිදි පරිසරය විනාශ නොකරමින් එය රැකබලා ගැනීම මෙය පුළුල් ලෙස ක්‍රියාවෙහි යෙදවීමකි. මහත් වූ පසු ආහාරයට ගැනීම පිණිස නොව උන් හොඳින් පෝෂණය කිරීම පිණිසම ඔබ සතු ඌරන්ට ආහාර ලබාදීම ජීවිත සුරැකීමකි. ඔබගේ සුනඛයාට ආහාර ලබාදීමද එක්තරා දිවි සුරැකීමකි. ගිලනුන්ට උපස්ථාන කිරීම හෝ තුවාල වූ අයට උපකාර කිරීම ආදියද එයට ඇතුළත් වේ.

ගුම් නද දෙමින් ඔබගේ කාමරයට පියඹා එන මැස්සෙකු හෝ මීමැස්සෙකු පිළිබඳ සිතා බලන්න. ඌට සැබෑ ලෙසම එහි රැඳී සිටීමට අවශ්‍යතාවයක් නොමැත. පිටතට යාමට අවශ්‍ය වුවද ඌ යායුතු ආකාරය නොදනී. හුදෙක් ඔබගේ කාමරයට පියඹා  ඒම වැනි සුළු අත් වැරදීමක් හේතුකොටගෙන ඌ මරා දැමීම ඔබට තරම් වන කටයුත්තක්ද? ජනේලයක් විවෘත කොට “ෂෝ” වැනි හඬක් නගමින් ඔබට ඌට එළියට පියඹා යාමට උපකාර කළ හැක. එය දිවි සුරැකීමට උපකාර කිරීමකි. මීමැස්සාද ජීවත්වීම ප්‍රිය කරයි. අත් වැරදීමකින් කුරුල්ලෙක් ඔබගේ කාමරයට පියඹා ආවහොත්, ඔබ තුවක්කුව ගෙන ඌට වෙඩි තියන්නේද? මීමැස්සා සහ කුරුල්ලා අතර වෙනස විශාලත්වයේ, පෙනුමේ හා හ‌ඬේ වෙනස පමණි. මැස්සන් කාමරයට ඇතුළු වීම ඔබ රුස්සන්නේ නොමැති නම්, ජනේලය වසා තබන්න, නොඑසේ නම් තිර රෙදි යොදන්න!

සොරකමින් වැළකී සිටීම සළකා බලන කල, මෙහි නිවැරදි ක්‍රියාව නම් අන් අය සතුදේ ආරක්ෂා කිරීමයි. යමෙකුගෙන් යමක් ණයට ඉල්ලාගත හොත්, එයට හානි සිදු නොකිරීමට ඔබ හැකි තරම් වගබලා ගනී. අන්‍යයන් සතු යහපත් දේ සුරැකීම ඔබේ උත්සාහය වේ.

අන් අය සමග පමණක් නොව තමා සමගම පවා ලිංගිකව හැසිරීම ඇතුළත් කාමයෙහි වරදවා හැසිරීම වෙනුවට, රාග ගින්නෙන් දැවෙන සුනඛයෙකු මෙන් නොවී අපි ලිංගිකවද කාරුණික හා මෘදු විය යුතු වෙමු.

නිවැරදි හා වැරදි හැසිරීම සම්බන්ධ සෙසු උදාහරණ 

අපගේ සාකච්ඡාව තව දුරටත් ඉදිරියට ගෙන යන්නේ නම්, මෙම හැසිරීම් වර්ග තුන හා සම්බන්ධ වෙනත් බොහෝ පැතිකඩයන්ද පවත්නා බව අපට දැකගත හැක.

නිදසුනක් ලෙස අන්‍යයන් හට රළු ලෙස සැළකීමෙන් වැළකීම පර පණ නැසීමෙන් වැළකීමේ දිගුවකි. මෙතුළට පුද්ගලයනට පහර දීමෙන් වැළකීම පමණක් නොව ඔවුන්ගෙන් පමණ ඉක්මවා වැඩ ගැනීමෙන් හෝ යම් ශාරීරික හානියක් සිදුවිය හැකි කටයුතු සිදු කරන ලෙස බල කිරීමෙන්ද වැළකීම ඇතුළත් වේ.  අපට මෙම කරුණ අප කෙරෙහිමද අදාළ කරගත හැක - පමණ ඉක්මවා වැඩ කිරීම, නිසි පරිදි ආහාර නොගැනීම හෝ නිසි පරිදි නින්දක් ලබා නොගැනීම මගින් අප අපටමද නුසුදුසු ලෙස නොසැළකිය යුතුය. අපි සැම කල්හිම අන්‍යයන්ට අදාළව අපගේ හැසිරීම සම්බන්ධයෙන් කල්පනා කරන නමුත් එය අප කෙරෙහිමද අදාළ කරගැනීම වැදගත් වේ.

අන් සතු දේ ගැනීම පමණක් නොව විමසීමකින් තොරව අන් අය සතු දේ පරිහරණයද සොරකම යන්නට අයත් වේ. අවසරයකින් තොරව වෙනෙකෙකුගේ දුරකථනය ගෙන දිගු ඇමතුමක් ලබාගැනීම හෝ වෙනෙකෙකුගේ ශීතකරණයෙහි ඇති ආහාර ලබාගෙන පරිභෝජනය කිරීම ආදිය මේ අතරට අයත් වේ. ගාස්තු ගෙවීමකින් තොරව සිනමා ශාලාවකට රහසේ ඇතුලු වීම හෝ - මිනිසුන් මෙය ඇසීමට එතරම් කැමැත්තක් නොදැක්වුවද - ඔබගේ බදු මුදල් නොගෙවීමද සොරකම යන්නට අයත් වේ. “හොඳයි, මං කැමති නෑ බදු ගෙවන්න. මොකද ඒක යන්නෙ යුද්දෙට සල්ලි රැස් කරන තැනට හරි ආයුධ මිලදී ගන්න තැනට හරි තමයි” වැනි තර්ක අපට ඉස්මතු කළ හැක. නමුත් සත්‍ය තත්ත්වය වන්නේ එම මුදල් මාර්ග ඉදිකිරීම්, රෝහල්, පාසැල් ගොඩනැගීම් ආදිය සඳහාද යෙදවීමයි. ඔබට ඒවා අවශ්‍ය වන්නේ නම්, ඔබ යම් බදු මුදලක්ද ගෙවිය යුතු වේ.

බලපත්‍ර රහිත හෝ සොර මෘදුකාංග හෝ වීඩියෝ බාගත කිරීම සොරකමක්ද? මාගේ අදහස නම් විශේෂයෙන් “මෙය ගාස්තු ගෙවා මිස බාගත නොකරන්න” යනුවෙන් පැහැදිලිව සඳහන්ව ඇත්තේ නම් ඒ්වාද එසේ වන බවයි. එය සොරකමක් නොවන බව කිසි ලෙසකින් හෝ ප්‍රකාශ කළ නොහැක. කෙසේ වුවද, මූලධර්මය වනුයේ සීමා මායිම් පනවා ගැනීමයි. විපාක පිළිබඳ නොසිතා ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් සිදු කිරීම හා කිසිවක්ම සිදු නොකිරීම අතර යම් පරාසයක් පවතී. සොරකම් කිරීම සම්බන්ධයෙන් ගත් කල, “මං බැංකුවක් කඩන්න යනවවත් ගබඩාවකින් සොරකම් කරන්න යනවවත් නෙමෙයිනෙ, ගෙවන්නෙ නැතුව ඩවුන්ලෝඩ් කරනව විතරයිනෙ නේද? මේ වෙලාවෙ හැටියට ඒක නොකරම බෑ.” ආදිය අපට පැවසිය හැක. අවම වශයෙන් මෙමගින් යම් සීමා පැනවීමක් සිදු කෙරෙන නමුත් ගාස්තු ගෙවීමකින් තොරව බාගත කිරීම සොරකමක්ය යන කරුණ පිළිගැනීමද වැදගත් වේ. ගෙවීමට මුදල් අතැති විට හා එසේ නොමැති විට දේවල් බාගත කිරීම අතරද විශාල වෙනසක් පවතී. ලාභය තකා හෝ සොර සිතින් මුදල් අතැති විට පවා ගාස්තු‌ නොගෙවා සිටීම වඩාත් බරපතල තත්ත්වයක් වේ. මෙය වළක්වාගත යුතු තත්ත්වයකි.

සොරකම් කිරීම සම්බන්ධ මෙම කාරණයේදී අපට අප පිළිබඳවද විමසා බැලිය හැක - අපට නොවැදගත් දේ වෙනුවෙන් මුදල් නාස්ති කිරීම නවතා දැමිය හැක. නිදසුනක් ලෙස සූදු කෙලිය තුළ අප සතු දේ අවභාවිතයක් සිදු වේ. වියදම් කළ හැකි විටදී අප අපටම මසුරු වීමද නොකළ යුත්තකි. නිසි ආහාර වේලක් ගැනීම හා හොඳ ආහාර මිලදී ගැනීම සඳහා ඔබ සතුව මුදල් පවතින නමුත් ඔබගේ මසුරු බව හේතුවෙන් ඔබ අඩුම මිල සහිත ගුණාත්මක බවින් අඩුම ආහාර මිලදී ගන්නේ නම් මෙයද ඔබ ඔබ වෙතින්ම සොරකම් කිරීමකට සමාන තත්ත්වයකි!

නුසුදුසු කාම චර්යාවන් සම්බන්ධයෙන් ගත් කල, අන්‍යයන් හෝ ඔවුන්ගේ අඹු සැමියන් වෙත යාම පමණක් නොව අපගේම ශාරීරික හෝ භාවමය සෞඛ්‍ය අවදානම් ඇතිකළ හැකි ලිංගික ක්‍රියාකාරකම් නතර කිරීමද එයට ඇතුළත්ය. නිදසුනක් ලෙස, ඔබට බොහෝ සෙයින් ආකර්ශනීය වූ අයෙකු මුණ ගැසුණු විටදී එක් අතකින් ඔවුන් සමග ලිංගිකව හැසිරීමේ අවශ්‍යතාවයක් ඇතිවේ. නමුත් ගැටලුවක් පවතී. ඔවුන්ටද සෑම වර්ගයකම භාවමය ගැටලු හා වෙනත් දුෂ්කරතාවයන් පවතින අතර, ඔවුන් සමග සම්බන්ධතාවයක් ඇති කරගතහොත් එමගින් ඉදිරියේදී කරදර ඇතිවිය හැකි බව ඔබ අවබෝධ කරගනී. එබැවින්, ඔබගේම පෞද්ගලික සෞඛ්‍යාරක්ෂාව සඳහාද, එවන් සබඳතා ඔබ නොපවත්වයි. යමෙකුගේ රූපාකර්ශනය හේතුවෙන්ම ඇතිවන රාගයෙන් අප මත්විය යුතු නැත!

අප අප විසින්ම පනවාගත් සීමා මායිම් ඉක්මවන විට කළ යුත්තේ කුමක්ද?

නොවැළැක්විය හැකි ලෙස වරින් වර අපගේ හැසිරීම සම්බන්ධයෙන් අප පනවාගත් සීමා මායිම් අප විසින්ම ඉක්මවනු ලබයි. එවන් අවස්ථාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා බුදු දහම තුළ විරුද්ධ ක්‍රියා පෙළක් ගෙනහැර දක්වනු ලබයි:

  • කළ දේ පිළිගන්න. තමාට අවංක වන්න.
  • එය නොකළා නම් කෙතරම් යහපත්දැයි සිතමින් ක්‍රියාව පිළිබඳ පසුතැවෙන්න. මෙය ඔබ ඔබ පිළිබඳවම අපරාධකරුවෙකු ලෙස සිතමින් ඔබට සමාව නොදෙන වරදකාරී හැඟීමට වඩා වෙනස් තත්ත්වයකි.
  • උත්සාහයෙන් ක්‍රියාව නැවත සිදු නොකිරීමට අදිටන් කරගන්න.
  • එමගින් ඔබ දුකට පත් කරමින් ගැටලු ඇති කරවන බැවින් පනවා ගත් සීමාව ඉක්මවා නොයන බවට වූ ඔබගේ සිතිවිල්ල හෙවත් පෙළඹීම නැවත තහවුරු කරන්න.
  • විරුද්ධ ක්‍රියාවක් සිදු කරන්න. නිදසුනක් ලෙස, ඔබ යමෙකු වෙත බැණ අඬගැසුවේ නම්, ඔබ යම් වියවුලක සිටි බව හෝ ඒ සමාන පැහැදිලි කිරීමක් සහිතව අවංකව ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටිය හැක.

දිවි පැවැත්ම

මෙහිදී අප අපගේ ජීවිකාව සරිකරගන්නා ආකාරය සාකච්ඡා කෙරේ. මෙහිදී ආචාර ධාර්මික මෙන්ම එසේ නොවන ක්‍රමද පවතී.

අයහපත් දිවි පැවැත්ම

යම් හානිකර කර්මාන්තයක් මගින් හෝ අප හට මෙන්ම අන්‍යයන්ටද උපද්‍රව සහිත ආකාරයකින් මුදල් ඉපැයීමෙන් වැළකීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දෙනු ලබයි. මේ අතරට ගැනෙන නිදසුන් පහත පරිදි වේ:

  • අවි ආයුධ නිෂ්පාදනය හෝ වෙළඳාම
  • සත්ව ඝාතනය, දඩයම් කිරීම, මසුන් මැරීම හා කෘමීන් විනාශ කිරීම
  • මද්‍යසාර හෝ මත් ද්‍රව්‍ය නිෂ්පාදනය, අලෙවිය හෝ ලබාදීම
  • කැසිනෝ සූදුහල් පවත්වාගෙන යාම
  • අසභ්‍ය ඡායාරූප, වීඩියෝ දර්ශන පළ කිරීම හා බෙදා හැරීම.

මෙයාකාරයේ දිවි පැවතුම් මගින් අන්‍යයන් වෙත හානි පැමිණීම හෝ, අසභ්‍ය ඡායාරූප, වීඩියෝ පළ කිරීම වැනි තත්ත්වයන්හිදී, රාගය හා ආශාව වර්ධනය කරවයි. අප නිරතව සිටින නිත්‍ය රැකියාව තුළ පවා පහත ආකාරයේ වංචනිකත්වයන් දුරළා අවංක වීම වැදගත් වේ:

  • සේවාදායකයන් වෙතින් හැකි උපරිමයෙන් මුදල් ලබාගැනීමේ අරමුණින් පමණ ඉක්මවූ ගාස්තු අය කිරීම
  • අවභාවිතය හෙවත් පුද්ගලික පරිහරණය සඳහා ව්‍යාපාරයෙන් මුදල් ලබාගැනීම
  • බලහත්කාරයෙන් මුදල් ලබාගැනීම හෙවත් මුදල් ලබාගැනීමේ අරමුණින් අන් අය බිය වැද්දීම.
  • අල්ලස
  • අන්‍යයන් සූරාකෑම
  • ව්‍යාජ දැන්වීම්කරණය
  • වැඩි ලාභ අත්පත් කරගැනීම පිණිස ආහාර හෝ නිෂ්පාදන බාල කිරීම.

ජීවිකාව සිදුකළ හැකි බොහෝ වංචනික ආකාරයෝ වෙත්. මෙයාකාර දිවි පැවතුම්වලින් වැළකී සිටීම සඳහා අප විසින් ආචාර ධාර්මික ස්වයං-ශික්ෂණයක් පවත්වාගත යුතු වේ.

යහපත් දිවි පැවැත්ම

පහත ආකාරයෙන් අවංක වූද සමාජයට ප්‍රතිලාභ සැලසෙන්නාවූද අයුරින් අපගේ ජීවිකාව සරිකර ගත යුතු වේ:

  • වෛද්‍ය කර්මය
  • සමාජ කටයුතු
  • සාධාරණ වෙළඳාම
  • අන් අයට ප්‍රයෝජනවත් නිෂ්පාදන හෝ සේවා නිපදවීම හෝ අලෙවිය.

සමාජයේ යහ පැවැත්මට සහ අන්‍යයන්ගේ සුභ සාධනයට දායක වන කවර ජීවිකාවක් වුවද උතුම්ය. මේවා අතරින්ද ප්‍රමුඛව:

  • අනුන් රැවටීම හෝ වැඩි ගාස්තු අය කිරීම නොකළ යුතුය
  • සාධාරණ ලාභයක්ද ලැබිය හැකි පරිදි සාධාරණ මිලක් පැනවිය යුතුය
  • ශ්‍රම සූරාකෑමක් සිදු නොවන පරිදි සේවකයන් වෙත මනා සේ වැටුප් ගෙවිය යුතුය.

නිරතුරු විමසනු ලබන එක් කරුණක් වනුයේ අවශ්‍යතාවයයි. එක් කලෙක මම ටිබෙට් ආචාර්වරයෙකු වෙත භාෂා පරිවර්තන සේවා සැපයීමි. එම ප්‍රදේශයේ විශාල වශයෙන් බැටලුවන් සිටි අතර අයෙකු විසින් මෙසේ පවසන ලදී.“මං ජීවත්වන නගරයේ කරන්න තියෙන එකම රස්සාව බැටලුවන් ඇති කිරීම පමණයි. උන් පසුව ලොම් හා මස් පිණිස පාවිච්චි කරනවා. මං මොනව කරන්නද? මට වෙන නගරයකට ගිහිල්ලා වෙන වැඩක් හොයාගන්න බෑ.” මෙයට පිළිතුරු වශයෙන් ටිබෙට් ලාමාවරයා මෙසේ ප්‍රකාශ කළා. “ලොකුම දේ තමයි ඔබ ඔබගේ කටයුතුවලදී අවංක වීම, අනුන් නොරැවටීම, බැටලුවන්ට වරදක් නොවන ලෙස කාරුණික වී උන්ට හොඳින් ආහාර සපයමින් හොඳින් රැකබලා ගැනීම.” ඒ් අනුව, ප්‍රධාන වශයෙන් අවධාරණය කෙරෙන්නේ කාරුණික වීමේ හා අවංක වීමේ අවශ්‍යතාවයයි.

සාරාංශය

අෂ්ඨාංගික මාර්ගය තුළින් සැපයෙන උපදෙස් විමසීමේදී මේවා අප වෙත සීමාවන් පනවන නියෝග සමුදායක් වශයෙන් නොගත යුතු අතර, හුදෙක් අවසානයේ අප වෙතම හා සෙස්සන් වෙතද හානි පමුණුවන පාප ක්‍රියාවන්ගෙන් අප නිදහස් කරන්නාවූ සීමා මායිම් ලෙස පිළිගත යුතුය.

Top